පාලක පක්ෂ පොදු දේපළ කොල්ලකෑම

නූතන ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම ලංකාවේ රජකරන කාලකණ්ණිභාවය කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධකයක් වන විට ලංකාවේ රාජ්‍ය පාලකයන් තමන් භාරයේ තිබෙන පොදු වස්තුව කොල්ලකෑම රටේ කාලකණ්ණිභාවය කෙරෙහි බලපා තිබෙන අනෙක් වැදගත්ම සාධකය ලෙස සැලකිය හැකිය. ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීමේ ප‍්‍රශ්නය මීට පෙර ලියන ලද ලිපියකින් මා සැකෙවින් සාකච්ඡුා කර තිබෙන අතර ලංකාවේ රාජ්‍ය පාලකයන් ඔවුන් භාරයේ තිබෙන පොදු වස්තුව කොල්ලකෑම පිළිබඳ ප‍්‍රශ්නය මේ ලිපියෙන් සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමයක් තුළ රාජ්‍යය සතු දේපළ මහජනයා සතු පොදු දේපළ ලෙස සැලකිය හැකි අතර මහජනයා තෝරාපත් කරගන්නා පාලක පක්ෂ එම පොදු දේපළවල තාවකාලික භාරකරුවන් ලෙස ක‍්‍රියා කරති. තමන් භාරයේ තිබෙන පොදු දේපළ ආරක්ෂා කරමින් ඒවායින් රජයට ලැබෙන ආදායම ප‍්‍රශස්ත තත්ත්වයක තබා ගැනීම එම පොදු දේපළවල තාවකාලික භාරකරුවන් ලෙස ක‍්‍රියා කරන පාලක පක්ෂය වෙත පැවරී තිබෙන ප‍්‍රධාන වගකීමකි. පොදු දේපළ අයිතියෙහි භාරකරුවන් ලෙස ක‍්‍රියාකරන්නන්ට ඉන් අයථා ලෙස වාසි ලබාගැනීමට (තමන්ට තම පවුලේ අයට හෝ ගජ මිතුරන්ට) තිබෙන ඉඩ අහුරන දැඩි නීති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් පවත්වාගෙන යන හැම රටකම ක‍්‍රියාත්මක වන අතර පාලක පක්ෂය භාරයේ තිබෙන පොදු වස්තුව අත්පත් කරගැනීම හෝ ගජමිතුරන්ට පවරා දීම හෝ කොල්ලකෑම සැලකෙනුයේ ඉතා බිහිසුණු, දඬුවම් ලැබිය යුතු තුච්ඡු වරදක් ලෙසය.

පොදු දේපළ කොල්ලය
එහෙත් පොදු දේපළවලට අදාළ එම පිළිගත් ධර්මතාව ලංකාවේ මැනවින් ක‍්‍රියාත්මක වූයේ 1977 දක්වා පමණය. එතැන් සිට අද දක්වාම රාජ්‍ය පාලකයන් භාරයේ තිබෙන පොදු දේපළ කොල්ලකෑම රාජ්‍ය පාලනයේ නිත්‍ය හා ප‍්‍රමුඛ ලක්ෂණයක් බවට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය. ඒ නිසා ආණ්ඩු බලය සඳහා කෙරෙන තරගයද පොදු දේපළ කොල්ලකෑමේ අයිතිය හිමිකර ගැනීම සඳහා කෙරෙන ලොකු වියදමකින් යුතු අවලස්සන හා රළු පරුෂ තරගයක් බවට පත්වී තිබේ. ලංකාවේ රාජ්‍ය පාලන ක‍්‍රමය තුළ බලවත් ලෙස මුල් බැසගෙන තිබෙන මේ ක‍්‍රමය යටතේ පාලක පක්ෂයට තමන්ගේ පාලන කාලය තුළ තමන් භාරයේ තිබෙන මහජන දේපළ හෙවත් පොදු වස්තුව සිත් සේ කොල්ලකෑමේ අයිතිය ලැබී තිබේ. පොදු දේපළ ආරක්ෂාව සඳහා ඒවායේ භාරකරුවන්ට අයථා ලෙස පරිහරණය කිරීම වැළකීම සඳහා ඇති නීති මුළුමනින් ක‍්‍රියාවිරහිත තත්ත්වයකට පත් කිරීමට සමත්ව තිබෙන අතර ඒ නිසා නීතිය කෙරෙහි ඇති කරගන්නා බියකින් තොරව පොදු වස්තුව කොල්ලකෑමේ හිමිකම භුක්ති විඳීමට පාලක පක්ෂවලට ලැබී තිබෙන්නේය.
මෙම කොල්ලය ක‍්‍රියාත්මක වන්නේ එක ස්වරූපයකින් නොව, ස්වරූප ගණනාවකිනි. රජයේ වටිනා ඉඩම් තමන් වෙත හෝ තම පවුලේ සාමාජිකයන් වෙත හිමිකර ගැනීම හෝ ගජ මිතුරන් වෙත හිමිකරදීම එම කොල්ලයේ එක ස්වරූපයක් ලෙස සැලකිය හැකිය. ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම සතුව තිබෙන ඉඩම නාමික මිලකට දීර්ඝකාලීන පදනමක් මත බදු ගැනීම ඉඩම් විෂයේ එම කොල්ලය ක‍්‍රියාත්මක ජනප‍්‍රිය ස්වරූපයක් ලෙස සැලකිය හැකිය. ප‍්‍රධාන වැව් අසල හා මුහුදට යාව තිබෙන ලොකු වාණිජ වටිනාකමක් තිබෙන රජයේ ඉඩම් අත්පත් කරගැනීම එම ඉඩම් කොල්ලයේ තවත් ස්වරූපයක් ලෙස සැලකිය හැකිය.
රජයේ කොන්ත‍්‍රාත් තමන් වෙත හෝ තමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත හිමිකර ගැනීම හෝ ගජ මිතුරන් වෙත හිමිකරදීම මේ කොල්ලය ක‍්‍රියාත්මක වන තවත් ස්වරූපයක් ලෙස සැලකිය හැකිය. විශාල ආදායම් උපයාගත හැකි රජයේ ව්‍යාපාරික බලපත‍්‍ර එනම් ගුවන්විදුලි හා රූපවාහිනී විකාශන බලපත‍්‍ර, මත්පැන් බලපත‍්‍ර, එතනෝල් බලපත‍්‍ර, ප‍්‍රතිඅපනයන බලපත‍්‍ර, මගී ප‍්‍රවාහන බලපත‍්‍ර, දැව, වැලි, පස් හා ගල් වැනි බලපත‍්‍ර තමන් වෙත හෝ, තම පවුලේ අය වෙත හිමිකර ගැනීම හෝ ගජ මිතුරන් වෙත හිමිකරදීම එම කොල්ලය ක‍්‍රියාත්මක වන තවත් වැදගත් ස්වරූපයක් ලෙස සැලකිය හැකිය. රජයේ ව්‍යාපාර පුද්ගලික අංශයට විකුණන අවස්ථාවලදී ඒවා තමන් වෙත හෝ, තම පවුලේ අයට හිමිකර ගැනීම හෝ ගජ මිතුරන්ට හිමිකරදීම එම කොල්ලයේ තවත් ස්වරූපයකි. විදේශ ආයෝජනයන් සහිත සංවර්ධන ව්‍යාපෘතිවලදී එම ව්‍යාපාරවල විදේශ කොන්ත‍්‍රාත්කරුවන් ලෙස වැඩ කරන විදේශ සමාගම්වල දේශීය නියෝජිතයා ලෙස ක‍්‍රියාකිරීමේ අයිතිය තමන් වෙත හෝ, තම පවුලේ අයට හිමිකරදීම හෝ ගජමිතුරන්ට හිමිකරදීම එම කොල්ලයේ තවත් ස්වරූපයක් ලෙස සැලකිය හැකිය.

ක‍්‍රමය ස්ථාපිත කිරීම
ලංකාවේ රාජ්‍ය පාලනයේ සුක්කානම හසුරුවන පාලක පක්ෂය විසින් අවුරුදු 42ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු අභියෝගයකින් තොරව පවත්වාගෙන ගොස් තිබෙන මෙම වස්තු කොල්ලය රටට හා රජයට කර තිබෙන අලාභයේ ප‍්‍රමාණය රුපියල් බිලියන ලක්ෂ ගණනක් විය හැකිය. රටේ වර්තමානයේ දක්නට තිබෙන ආර්ථික බංකොළොත්භාවය කෙරෙහි එය ප‍්‍රධානතම සාධකයක් ලෙස බලපා තිබෙන්නේ යැයිද කිව හැකිය. එම තත්ත්වය මහජන ඡුන්දයෙන් විධායකයට හා ව්‍යවස්ථාදායකයට තේරී පත්වන මහජන නියෝජිතයන්ගේ (ජනාධිපතිවරුන්ගේ ඇමතිවරුන්ගේ හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ* භූමිකාවේ අයහපත් ගැඹුරු වෙනසක් ඇති කොට ඒ සියලූදෙනාට තිබිය යුතු නෛතික හා සදාචාරමය සුජාතභාවය අහිමි කොට ඒ සියලූදෙනා තමන් භාරයේ තිබෙන පොදු වස්තුව කොල්ලකන කොල්ලකරුවන් බවට පත්කිරීමට හේතුවී තිබේ. එම තත්ත්වය රටක තිබිය යුතු නීතියේ ආධිපත්‍යය දුර්වල කොටදූෂණය පාලනය කිරීම සඳහා මහජන වියදමින් පවත්වාගෙන යන සියලූ ආයතන ක‍්‍රමවල ක‍්‍රියාකාරීත්වයද බෙලහීන කොට සමස්ත රාජ්‍ය හා එහි ආයතන ක‍්‍රමය දූෂණය රජ කරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ.
රට නිසරු හපයක් බවට පත්කිරීමට හේතුවී තිබෙන මෙම දූෂිත හා දුෂ්ට ක‍්‍රමය ඉබේ ඇතිවී තිබෙන ක‍්‍රමයක් නොව, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් හිතාමතා ඇති කොට තමන්ගේ දීර්ඝ පාලන කාලය තුළ රටේ දේශපාලන ක‍්‍රමය තුළ හොඳින් මුල් බැසගෙන තිබෙන ක‍්‍රමයක් ලෙස සැලකිය හැකිය. ජේ.ආර්. ජයවර්ධනගේ පූර්වගාමී පාලනයන් තුළ විවිධ වැරදි හා අඩුපාඩුකම් තිබුණා විය හැකි වුවත්, මෙවැනි දුෂ්ට හා විනාශකාරී ක‍්‍රමයක් පැළපදියම් කිරීමට ඔවුන් උත්සාහ කර නැත. එහෙත් ජනාධිපති ජයවර්ධනගෙන් පසු බලයට පැමිණි සියලූ පාලකයන් ජනාධිපති ජයවර්ධන ස්ථාපනය කළ එම දූෂිත ක‍්‍රමයට අලූත් අංග හඳුන්වාදෙමින් එය ශක්තිමත් කොට පවත්වාගෙන යෑමට අවශ්‍ය දායකත්වය ලබාදී තිබෙන්නේ යැයි කිව හැකිය.
ජනාධිපති ජයවර්ධන මේ ක‍්‍රමය හඳුනා ගන්නට ඇත්තේ නැපෝලියන්ගෙනි. ජේ.ආර්.ගේ වීරයා වූයේ නැපෝලියන්ය. නැපෝලියන් කුලී හමුදාවන් මගින් ලොකු අධිරාජ්‍යයක් ගොඩනගා ගත් නායකයෙකි. ඔහු කුලී සෙබළුන්ගේ පක්ෂපාතීත්වය හා ඔවුන්ගේ සටන්කාමී ජීව ගුණය පවත්වාගෙන යෑම සඳහා අල්ලා ගන්නා ලද නගරවල වස්තුව කොල්ලකෑමේ අයිතිය එම කුලී සෙබළුන්ට ලබා දුන්නේය. ජනාධිපති ජයවර්ධන සිය වීරයා යුද්ධය සඳහා යොදා ගත් එම පිළිවෙත දේශපාලනය සඳහා යොදා ගත්තේය.
ජනාධිපති ජයවර්ධන ඇති කළ ජනාධිපති ක‍්‍රමය තුළ පාර්ලිමේන්තුවට තිබුණු උත්තරීතර තත්ත්වය සේ ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට හිමිවී තිබුණු බලපරාක‍්‍රමයේද ලොකු හීනවීමක් ඇතිවී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ජනාධිපතිගේ රබර් මුද්‍රාවක් බඳු තත්ත්වයකට පත් කළේය. ඒ නිසා ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් තුළ අතෘප්තිසහගත හැඟීමක් ඇති කිරීමට හේතුවී තිබුණේ නම් එය නැති කොට ඒ සියලූදෙනා තමන් අපේක්ෂා කළ දීර්ඝකාලීන පාලනයක් සඳහා කොන්දේසි විරහිතව තමන්ට ආධාර කරන තැනක තබා ගැනීම සඳහා ඔවුන්ට අයථා ලෙස ධනය උපයාගත හැකි ක‍්‍රමවේදයක් ඔහු හඳුන්වා දුන්නේ යැයි කිව හැකිය.

ජේ.ආර්.ගේ භූමිකාව
ජනාධිපති ජයවර්ධනට තමන් හඳුන්වා දෙන ලද දුෂ්ට කොල්ලකාරී ක‍්‍රමයට, ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් එකතු කරගැනීම සඳහා ඉතාමත් අවලස්සන හා පහත්ම ගණයේ ආදර්ශ ලබාදීමට සිදුවිය. ජනාධිපති ජයවර්ධන තමන්ට හා තම පවුලේ අය සතුව මාදම්පේ තිබූ නිසරු පොල් ඉඩමක් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමට දී එම කොමිසම සතුව නාත්තණ්ඩියේ තිබූ සරුසාර පොල් ඉඩමක කොටසක් (කීනකැලේවත්ත) තමන් වෙත හිමිකර ගත්තේය. මෙය කවර නායකයකුගෙන්වත් බලපාපොරොත්තු විය නොහැකි පහත් හා නීතියට පටහැනි ක‍්‍රියාවක් විය.
ජනාධිපති ජයවර්ධනගේ ඒ ආදර්ශයත් සමග ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් හා මන්ත‍්‍රීවරුන් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම සතුව තිබූ වටිනා ඉඩම් නාමික මිලකට දීර්ඝකාලීන වශයෙන් බදු ගනිමින් ඉඩම් හිමි වැවිලිකරුවන් බවට පත්වූහ. ජනාධිපතිවරයාට මන්ත‍්‍රීවරුන්ට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ආණ්ඩුවේ ඉඩම් අත්පත් කරගැනීමට ඉඩදීම මගින් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මහා පරිමාණයෙන් ආණ්ඩුවේ වටිනා ඉඩම් ඒවාහි තිබුණු වතු බංගලා හා ගොඩනැගිලි සමග නාමික මිලකට අත්පත් කරගැනීමට ඉඩ දුන්නේය. ඒ සමග නීතිය නොසලකා ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට රජයේ කොන්ත‍්‍රාත්කරුවන් ලෙස ක‍්‍රියාකරන්නටද, ආදායම් උපයා ගත හැකි බලපත‍්‍රලාභීන් ලෙස ක‍්‍රියාකරන්නටද ඉඩ දුන්නේය. ඒ හැම දෙයක්ම නීතියට පටහැනි බව ජනාධිපති ජයවර්ධන දැන සිටියේය. ඔහුට අවශ්‍ය වී තිබුණේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ධනය පසුපස හඹායන හා හොඳින් හෝ නරකින් තමන්ට ලැබී තිබෙන දේශපාලන බලය ආරක්ෂා කරගැනීම පිණිස උපරිම ශක්තිය යොදා ක‍්‍රියාකරන පිරිසක් බවට පත්කිරීමය.
1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල ආසනයට එජාපයෙන් තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඇල්බට් සිල්වාට ඔහුගේ නමට භූමිතෙල් බලපත‍්‍රයක් තිබීම මත අධිකරණය විසින් ඔහුගේ මන්ත‍්‍රීකම අහිමි කළේ ජනාධිපති ජයවර්ධන තමන්ගේ මන්ත‍්‍රී කණ්ඩායමට පොදු දේපළ කොල්ලකෑමේ අයිතිය හිමිකර දෙමින් තිබූ අවස්ථාවකදීය. එම අධිකරණ තීන්දුව ජනාධිපති ජයවර්ධන කි‍්‍රයාවට නගමින් තිබූ එම වැඩසටහනේ නීති විරෝධීභාවය පෙන්නුම් කර දුන් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ජනාධිපතිවරයා එම අධිකරණ තීන්දුවට හිස නමා මහජන මන්ත‍්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාර කිරීමට ඉඩදෙන ප‍්‍රතිපත්තිය හකුළා ගන්නවා වෙනුවට කළේ රජය සමග ව්‍යාපාර කිරීමේ වරදට මන්ත‍්‍රීකම අහිමි කළ ඇල්බට් සිල්වාට කඹුරුපිටිය ආසනයට නම් කළ මන්ත‍්‍රීවරයකු ලෙස පත්කිරීමය. අධිකරණය විසින් ඇල්බට් සිල්වාගේ මන්ත‍්‍රීකම අහිමි කරන ලද්දේ 1979 සැප්තැම්බර්වලදීය. ඔහු කඹුරුපිටිය ආසනයට නාමකරණයෙන් පත් කළේ 1979 නොවැම්බර්වලදීය.

කොළේ වසා කොළේ ගැසීම
ජනාධිපති ජයවර්ධන එම නීති විරෝධී කොල්ලකාරී ක‍්‍රමය හඳුන්වා දී පවත්වාගෙන යෑමේදී ඒ ආශ‍්‍රයෙන් මතුවන ඕනෑම ප‍්‍රශ්නයක් තමන්ට ලැබී තිබුණ මුක්තිය මගින් යටපත් කරන්නට හැකිවේ යැයි කල්පනා කරන්නට ඇති බවට සැකයක් නැත. ලැබී තිබුණු මුක්තියෙන් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නවාට අතිරේකව වැරදි කරන තමන් කැමති හෙංචයියන්ද එම මුක්තියේ ආධාරයෙන් ආරක්ෂා කර ගැනීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබුණි. මහජනයා තෝරා පත්කර ගන්නා නියෝජිතයන් නීතියට පටහැනිව පොදු වස්තුව කොල්ලකන තත්ත්වයක තබා ගැනීමට කොතරම් උනන්දුවක් දක්වා තිබෙනවාද කියනවා නම් ඔහු තනන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගාම්භීර පෙනුමක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාර කිරීම තහනම් කරන වගන්තියක් 1978 ව්‍යවස්ථාවටද ඇතුළත් කර තිබුණි.
ඊට අදාළ 91 (1) (ඉ) ව්‍යවස්ථාව මෙසේය.
”රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් නැතහොත් රජය වෙනුවෙන් හෝ රාජ්‍ය සංස්ථාවක් වෙනුවෙන් එළඹ ඇත්තාවූ යම්කිසි ගිවිසුමකට යම්කිසි තැනැත්තකුගේ යම් ආකාරයක සම්බන්ධතාවක් තිබීම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් තෝරා පත්කර ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ ඡුන්දය දීමට හෝ නුසුදුස්සකු යැයි පාර්ලිමේන්තුව විසින් නීතියෙන් නියම කරනු ලැබේද එවැනි ගිවිසුමකට ඒ ආකාරයෙන් සම්බන්ධතාවක් ඇති තැනැත්තෙක් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයකු වශයෙන් තෝරා පත් කරගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේදී ඡුන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය.”
”මෙම ව්‍යවස්ථාමය ඡේදයේ එන පාර්ලිමේන්තුව විසින් නීතියෙන් නියම කරනු ලැබේද ’ යන වාක්‍යයට ඔබේ අවධානය යොමු කරන්න. ඉන් කියන්නේ එම ඡේදයේ විස්තර වන කාරණා ප‍්‍රායෝගික තත්ත්වයකට ගැනීම සඳහා පාර්ලිමේන්තුව ඒ සඳහා වන නීති සම්පාදනයකට යායුතු බවය. එහෙත් ජනාධිපති ජයවර්ධන ඒ සඳහා නීතියක් සම්පාදනය කළේ නැත. ජනාධිපති ජයවර්ධන හා ඔහුට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුව ඒ සඳහා වන නීති සම්පාදනයකට යෑමෙන් වැළකී සිටින්නට ඇත්තේ ජනාධිපති ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පොදු දේපළ කොල්ලකෑමට ලබාදී තිබූ නීති විරෝධී අයිතිය ආරක්ෂා කරගැනීම සඳහා වන බවට සැකයක් නැත. එම අවලස්සන නොහොබිනා තත්ත්වය අනාවරණය වූයේ 78 ව්‍යවස්ථාව නීතිගත කොට අවුරුදු 20ක් ගතවීමෙන් පසු රජය සමග ව්‍යාපාර කිරීමේ වරදට රාජිත සේනාරත්නගේ මන්ත‍්‍රීකම අහිමි කිරීමට හේතුවූ 1998 පැවති නඩු විභාගයේදීය.

රාජිත සේනාරත්න නඩුව
ඒ වනවිට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් අතිවිශාල පිරිසක් නීතියට පටහැනිව රජය සමග විවිධ ජාවාරම් කරන ජාවාරම්කරුවන් බවට පත්ව සිටියෝය. එහෙත් නඩු පැවරීමක් සිදුවූයේ රාජිත සේනාරත්නට එරෙහිව පමණය. ඒ වනවිට නාවික හමුදාවට, ගුවන් හමුදාවට, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට හා රාජ්‍ය ඖෂධ සංස්ථාවට දන්ත ශල්‍ය උපකරන සැපයීමේ ගිවිසුම් රාජිත සේනාරත්නගේ සමාගම විසින් ඇති කරගෙන තිබුණු බව සනාථ විය. 1978 ව්‍යවස්ථාවට අදාළ ලෙස එවැනි වැරදි කරන මන්ත‍්‍රීවරුන්ට දඬුවම් කරන නීතියක් පාර්ලිමේන්තුව ඇති කරගෙන නොතිබීම නිසා අධිකරණය විසින් රාජිත සේනාරත්නට දඬුවම් කරන ලද්දේ සෝල්බරි ව්‍යවස්ථාව යටතේය. මහජන නියෝජිතයන්ගේ ජන ජීවිතයට අදාළ අවංකත්වය හා නිර්මලත්වය ආරක්ෂා කිරීම සඳහා තිබුණු ශක්තිමත් සම්ප‍්‍රදායක් තොග පිටින් බැහැර කිරීම විශ්වාස කිරීමට අපහසු තරම් බරපතළ කාරණයක් වන බව එම නඩු තීන්දුවේ සඳහන් වේ. එය ව්‍යවස්ථාවේ 91 (4) (ඉ) වගන්තියට අදාළව නීති සම්පාදනයක් නොකිරීම ගැන අධිකරණය පාර්ලිමේන්තුවට එල්ල කළ බරපතළ චෝදනාවක් ලෙස සැලකිය හැකිය. විස්මය දනවන ඊළඟ වැදගත් කරුණ වනුයේ අගමැති රනිල් වික‍්‍රමසිංහද ජේ.ආර්. ජයවර්ධන දෙන ලද පූර්වාදර්ශය අනුව යමින් අධිකරණය විසින් මන්ත‍්‍රී ධුරය අහිමි කරන ලද රාජිත සේනාරත්නව ජාතික ලැයිස්තුවෙන් මන්ත‍්‍රීවරයකු බවට පත් කිරීමය. ඒ මගින් ජේ.ආර්. ජයවර්ධන විසින් ආරම්භ කොට පවත්වාගෙන යමින් තිබූ මහජන නියෝජිතයන්ට පොදු දේපළ කොල්ලකෑමට ඉඩදෙන නින්දාසහගත සම්ප‍්‍රදාය රනිල් වික‍්‍රමසිංහද ආරක්ෂා කළා පමණක් නොව එය එම සම්ප‍්‍රදාය ආපසු හරවන්නට ඉඩ නොදෙන බවට දෙන ලද ප‍්‍රබල සංඥාවක් ලෙසද සැලකිය හැකිය.
ඒ නඩු තීන්දුව මගින් නීති සම්පාදනය කරන ආයතනය වශයෙන් පොදුවේ පාර්ලිමේන්තුවේ දූෂිත ස්වභාවය ගැනද වැදගත් පාඩමක් ඉගෙන ගත හැකිය. එම නඩු තීන්දුව දෙන අවස්ථාව වන තෙක්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ ජන ජීවිතය අවංක තත්ත්වයක තබා ගැනීමට අවශ්‍ය කරන නීති සම්පාදනයකට යාමෙන් පාර්ලිමේන්තුව වැළකී සිටියේය. අධිකරණය ඒ වරද පෙන්වාදීමෙන් පසුවද අද දක්වා අවුරුදු 21ක් තරම් කාලයක් ගතවීත් පාර්ලිමේන්තුව එම වරද නිවැරදි කරන තැනකට ගියේ නැත. ඉන් පෙනෙන්නේ රටේ නීති සම්පාදනය කරන ආයතනයද එම ආයතනයේ නීති සම්පාදකයන්ගේ දූෂිත හා කොල්ලකාරී ස්වභාවය වෙනස් කිරීමට කැමති නැති බව නොවේද?
ඒ නිසා ඇතිවී තිබෙන ප‍්‍රතිඵලය වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් අතිවිශාල බහුතරයක් ආණ්ඩුව සමග ව්‍යාපාර කරන ව්‍යාපාරිකයන් බවට පත්ව සිටීමය. සමහරෙක් ආණ්ඩුවේ ඉඩම් මිලදී ගෙන වැවිලිකාර ව්‍යාපාරිකයන් බවට පත්ව සිටිති. රටේ ප‍්‍රධාන වැව් අවට නිවාස හෝ හෝටල් පවත්වාගෙන යන මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රමාණය කොතරම්ද? ඒවා රජයේ ඉඩම් නොවේද? රජයේ කොන්ත‍්‍රාත්කරුවන් ලෙස ක‍්‍රියා කරන, තැබෑරුම් සඳහා බලපත‍්‍ර ඇති, ගල්, වැලි, පස් හා දැව ව්‍යාපාර සඳහා බලපත‍්‍ර ඇති, ප‍්‍රති අපනයන ව්‍යාපාර සඳහා බලපත‍්‍ර ඇති මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව කොතරම් විශාලද? ඒ ගණයට වැටෙන මන්තී‍්‍රවරුන් නීතියට අනුව මන්ත‍්‍රීවරුන් ලෙස සැලකිය හැකිද? පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් බහුතරයක් අයත්වන්නේ ඒ ගණයට නම් ලංකාවේ පාර්ලිමේන්තුව නීතිමය වශයෙන් හා සදාචාරාත්මක වශයෙන් සුජාතභාවය හිමිකරගත් පාර්ලිමේන්තුවක් ලෙස සැලකිය හැක්කේ කෙසේද? ඒ ගැන සොයා බැලීමේ වගකීමක් කතානායකවරයාට නැද්ද? විගණකාධිපතිවරයාට නැද්ද?
එය ලංකා රාජ්‍ය පාලනයේ තිබෙන දෝෂ අතර තිබෙන ලොකුම දෝෂය ලෙස සැලකිය හැකිය. මහජන ඡුන්දයෙන් විධායකයට හා ව්‍යවස්ථාදායකයට තේරී පත්වන රාජ්‍ය පාලනයේ සුක්කානම හසුරුවන්නන් තමන් භාරයේ තිබෙන පොදු වස්තුව කොල්ලකන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරයි නම් ඒ රට නිසරු හපයක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. ලංකාවට සිදුවී තිබෙන්නේද එය නොවේද?
රාජ්‍යයේ සුක්කානම හසුරුවන්නන්ගේ තමන්ට ලැබී තිබෙන රාජ්‍ය බලය අයථා ලෙස වස්තුව උපයා ගැනීම සඳහා යොදා ගන්නේ නම් ඒ තත්ත්වය නීතියේ ආධිපත්‍යය දුර්වල කිරීමට හේතුවේ, සමස්ත රාජ්‍ය ආයතන ක‍්‍රමය දූෂිත හා අකාර්යක්ෂම කිරීමට හේතුවේ. රාජ්‍යයට ලැබෙන ආදායම් හීන කොට රට දුප්පත් කිරීමට හේතුවේ. රාජ්‍යයකට තිබිය යුතු ප‍්‍රඥාව හා පරීක්ෂාවෙන් සිටීමේ ගුණය අහිමි කරයි. රටේ පොදු වස්තුව කොල්ලකෑම ප‍්‍රධාන අරමුණ කරගත් පිරිසකට රට බංකොළොත් කිරීමට මිස දියුණු කිරීමට පුළුවන්කමක් තිබිය නොහැකිය.
මේ පිළිකාව ඉවත් කිරීමේ කාර්යයට ප‍්‍රමුඛ වැදගත්කමක් ලබාදීම අත්‍යවශ්‍යය.