අපට ඇත්තේ අදහසක් නැති කලා සමාජයක්ද?

කලාවෙහි නියැළෙන ගමන් දේශපාලන ක‍්‍රියාකාරකම්වල යෙදෙන කලාකරුවන් සහ කලා නිර්මාණවල ව්‍යාවෘත වීමම සිය දේශපාලන ප‍්‍රකාශනය බවට පත් කරගත් කලාකරුවන් ආදී වශයෙන් දෙකොටසක් කලා සමාජයේදී අපට හමුවෙයි. අපගේ වැඩි ගරුත්වයට ලක්ව සිටින්නේ එම දෙවැනි කොටසය. ඔවුන් දියුණු කලාවක් වෙනුවෙන් මැදිහත් වනවා යැයි අපි සිතමු.
මගේ අදහස නම් ඒ කියන දෙවැනි ප‍්‍රවර්ගයේ කලාකරුවෝත් ලංකාවේ සංකීර්ණ සමාජ ප‍්‍රශ්න කෙරෙහි නිර්මාණ ඇස යොමු කිරීම ප‍්‍රමාණවත් නොවන බවය. 2009 මැයි මාසයේ අත්දුටු තිස් වසරක ජනවාර්ගික යුද්ධයේ අවසන් දවස් ලංකාවේ සමාජය අත්විඳි ආකාරයක් තිබේ. වසර දහයක් ගතවී ඇතත්, ඒ ගැන කිසිදු කලාකරුවෙක් සංයුක්ත වශයෙන් එම තත්ත්වය ග‍්‍රහණය කරගත් පරිසමාප්ත කලා කෘතියක් කරන්නට වෑයම් කළ බවක් නොපෙනෙයි. දෙවැනි මහා ලෝක සංග‍්‍රාමය පිළිබඳව ජර්මනිය හා පරිවාරයේ රටවල්වල දිගු කාලයක් තිස්සේ චිත‍්‍රපට නිෂ්පාදනය කැරුණි. ඒවා විවිධ පැතිමානවලින් අර්ථකථනය වී තිබුණි. දෙවැනි ලෝක යුද්ධයේ අත්දැකීම් ඇසුරින් තැනුණු හොඳම චිත‍්‍රපටය කුමක්දැයි යනුවෙන් ප‍්‍රශ්නයක් ඇසුවහොත් නම් කළ හැකි චිත‍්‍රපට රැුසක් තිබේ. ඉන් පෙනීයන්නේ කලාකරුවාට තත් විෂය පිළිබඳ සංරචක ගණනාවක් ඔස්සේ ඉම් පෙදෙස් සිය ගණනක් ගවේෂණය කළ හැකි බවයි. 71 කැරැුල්ල හෝ විජේවීර ගැන කරන චිත‍්‍රපටයක් අප දන්නා කියන සිදුවීම්වලින් එහාට පරිකල්පනය කැරෙන නිර්මාණයක් තවමත් බිහිවුණේ නැත. සෑම සමාජ ඛේදවාචකයකදීම එම දුප්පත්කම ලංකාවේ කලාව තුළ දිස්වුණි. මෙරට සිදුවූ ඛේදවාචක වැලක් එක දිගට කියාගෙන ගියත් ඒවා කෙරෙහි නිර්මාණ අවධානය යොමු කිරීමට මෙරට කලාකරුවෝ සමස්තයක් ලෙස අසමත් වූහ. පාස්කුදා ප‍්‍රහාරය සිදුවී තවම මාස දෙකක්වත් ගතවී නොමැති නමුත් තත් විෂයේදී ඒ ගැනත් ඇති කරගත හැක්කේ අතීත ඛේදවාචකවලට සමාන්තර අදහසකි. එවිට අප හැඳින්වූ සුසමාදර්ශ කලාකරුවන් කියන ‘මගේ දේශපාලනය කලා ප‍්‍රකාශනයයි’ යන්නට ලැබෙන වලංගුතාව හා වැදගත්කම කුමක්ද?
ඔබ අසවල් දේ නිර්මාණය සඳහා පාදක කරගත යුතුය යනුවෙන් අපට, කලාකරුවාට අණ පැනවිය නොහැකිය. මෙහි ප‍්‍රායෝගික ප‍්‍රශ්න කිහිපයක්ද තිබේ. එකක් වන්නේ බලහත්කාරයෙන් කිසිම නිර්මාණයක් නිපදවිය නොහැකිවීමය. අනෙක් අතට විශේෂයෙන්ම ප‍්‍රාසාංගික කලා නිර්මාණ සඳහා අර්ථපතියකුගේ අවශ්‍යතාවයය. ඊළඟ ප‍්‍රශ්නය වන්නේ අර්ථපතියකු ලද විට ඒ සමාජ වුවමනාව යටගොස් කරන නිර්මාණය ස්ත‍්‍රී පුරුෂ ලිංගික තේමාවකට ලඝු කිරීමය. ඒවා විචාරකයෝ වනති. වනන්නේ වෙන වනන්නට එකක් නැති නිසාද විය හැකිය. මේ අදහස තරමක් ෆැසිස්ට් යැයි පෙනී ගියත්, ලංකාවේ ආසන්නතම ඉතිහාසයට ගියහොත් 71 කැරැල්ල, 83 කළු ජූලිය, 2014 කළු ජූනිය, 2009 අවසන් යුද්ධය, ඉන්පසු උතුරේ සමාජ ජීවිතයේ විපරිවර්තනය, දකුණේ හැමවිටම සතුරෙක් මත ගොඩනැගෙන දේශපාලනය, ආගම්වාදයේ හා ජාතිවාදයේ නැගීම ආදී ඛේදවාචක ලංකාවේ කලාකරුවෝ, මගහැර ගියහ. ඔවුහු ඒවා පිළිබඳ පරිසමාප්ත නිර්මාණ කතිකාවතක නොනියැලූණහ. කලාව යනුවෙන් ටෙලිනාට්‍ය වැනි දෙයක් කරන අතරම ඍජුව දේශපාලනයට බට කලාකරුවෝ සක‍්‍රීයව යුද්ධයට ආ වැඩූහ. ඉන්පසු අවධියක මුස්ලිම් විරෝධය කුළුගැන්වූහ. ඔවුන් ප‍්‍රතික්ෂේප කිරීම ගැන ජනතාව දෙවරක් සිතිය යුතු නැත. එහෙත් දෙවැනි පිරිස ප‍්‍රශ්නයේ කේන්ද්‍රයට කැඳවා ගැනීම ගැන අප දිගින් දිගටම සිතිය යුතුය.
මහ බැංකුවේ බැඳුම්කර වංචාව ගැන චිත‍්‍රපටයක් කරන්නට හඳගමට නොහැකි විය හැකිය. එහෙත් ප‍්‍රසන්න විතානගේ ‘උසාවිය නිහඬයි’ වාර්තා චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරමින් අධිකරණයේ පැවති, විටින් විට ඉස්මතු විය හැකි මජර තත්ත්වය ගැන හෙළිදරව් කිරීමට මැදිහත් වූයේය. දේශපාලකයන් මහජන සේවයට පැමිණ කෙටි කලකින් ධනපතීන් වීම, වත්කම් බැරකම් නීතිය නොසලකා හැර තිබීම, අල්ලස, දූෂණය රටේ රජවීම, රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව, වැඩි මිලට විදුලිය ගැනීම, ප‍්‍රාදේශීය දේශපාලකයන්ගේ අධිකාරිවාදී දේශපාලනය, යනාදියත් නිර්මාණ ප‍්‍රයානය සඳහා වස්තු කරගත හැකිය. නූරී වතුයායේ අතකොටා නමැති ප‍්‍රාදේශීය සභාපතිවරයා දිගු කාලයක් තිස්සේ එම ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය භීෂණය ලේඛකයන් නිර්මාණකරුවන් තබා විපක්ෂයේ සිටි එජාප, ජවිපෙවත් දුටුවේ නැත. නොදුටුවාට වඩා ඔවුහු එම තත්ත්වය මගහැර සිටියහ. ඔවුන්ට එසේ කළ හැකිද? නූරී තේ වතු අධිකාරිවරයාගේ ඝාතනය තෙක්ම එම තත්ත්වය පැවතුණි. අකුරැුස්සේ සාරුවා ගැන චිත‍්‍රපටයක් කිරීම බැලූ බැල්මට බොරු වැඩක් විය හැකිය. එහෙත් හින්දි සිනමාව උද්වේගයෙන් යුතුවත්, අධිකාරිත්වයෙන් යුතුවත් චිත‍්‍රපට නිර්මාණය කරන්නේ මෙවැනි සමාජ දූෂකයන් පාදක කරගෙනය. ඒවා බලා ජනතාව දැනුවත් වී තිබෙන ක‍්‍රමය පෙරළා නොදමන බව සැබෑය. එහෙත් රාවය නිර්මාතෘ වික්ටර් අයිවන්ගේ ජනමාධ්‍ය ගවේෂණයක ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි’ වාර්තා චිත‍්‍රපටය මෙන් යටකී ඕනෑම සංසිද්ධියක් පිළිබඳව වාර්තා චිත‍්‍රපටයක් කළ හැකිය. ඒවා හින්දි සිනමාවේ ප‍්‍රාදේශීය දේශපාලකයකුට හෝ දූෂිත පොලිසියට වීරයකු පහර දෙන ආකාරය නරඹා රසිකයෙක් සතුටු වනවාට වඩා වෙනස් ආකාරයකට ප‍්‍රතිඵල ලබාදිය හැකි නිර්මාණ බවට පත් කරගත හැකිය. උසාවිය නිහඬයි රට වටා ප‍්‍රදර්ශනය කර මෙරට අධිකරණ ක‍්‍රියාවලියෙහි එක් අඳුරු පාර්ශ්වයක් මහජනයාට නිරාවරණය වන්නට හැරියා සේ මජර දේශපාලනයේ කුණුවූ නිලධාරි තන්ත‍්‍රයේ ආචීර්ණ කල්පිකයන් මහජනයාට ප‍්‍රත්‍යක්ෂ කරවීමට ඉහත වස්තු විෂයයන් භාවිත කළ හැකිය. මේවාත් පොදු ජනයාගේ ඇස් යොමුවන, ප‍්‍රඥාව දල්වන තේමාවන්ය. මේ වනවිට කැමරාව පමණක් අතැතිව වාර්තා චිත‍්‍රපට අඩුම වියදමකින් කළහැකිවීම මෙම ක‍්‍රියාවලියට අත ගසන කණ්ඩායමකට පහසුවක් වෙයි. සැබැවින්ම අද වනවිට නාට්‍යයකට වඩා පහසුවෙන් සරසල චිත‍්‍රපටයක් කළ හැකිව තිබෙන්නේ තනි පුද්ගල භූමිකාව, සංකල්පීය වශයෙන් චිත‍්‍රපට කලාව තුළ ප‍්‍රධාන සංරචකය බවට පත්ව තිබෙන තත්ත්වය තුළය.
පාස්කු දා සිදුවූ මරාගෙන මැරෙන ප‍්‍රහාර කිහිපයෙන් පසු කලාකරුවන් ලංකාවේ සමාජයට කීවේ කුමක්ද? මගේ කල්පනාව අනුව නම් මේ තීරණාත්මක සමයේ කලාකරුවන්ගේ පාර්ශ්වයෙන් කැපී පෙනෙන දෙයක් සිදුවූයේ නැත. ප‍්‍රශ්නය දිග් ගැසී සියලූම පක්ෂවල මුස්ලිම් මහජන නියෝජිතයන් තනතුරුවලින් ඉවත් වී දුන් පණිවුඩය ගැන කලා සමාජය කියන්නේ කුමක්ද? තක්බීර්වී බලා සිටිනවාට වඩා කලා සමාජයට මේවා ගැන අදහසක් තිබිය යුතුය. බලවත් කලා සමාජයක් තිබෙන රටක නම් සමාජ දේශපාලන සිදුවීම් කෙරෙහි ඔවුන් දක්වන ආකල්ප පොදුජන සමාජයට වැදගත් වෙයි. පොදු ජන සමාජය ඒ අනුවත් ඇතැම් දේවල් තක්සේරු කරයි. ඇතැම් සංකීර්ණ ප‍්‍රශ්න කෙරෙහි අවබෝධයක් ඇතිකර ගනියි. සමහරවිට නිගමනවලට එයි. බහුජනයාගේ නිරීක්ෂණ මෙන්ම නිගමන සමාජයකට වැදගත්ය. කලාකරුවන් යනු නිලධාරීන් නොවේ. නිලධාරීන් හරි කෙළින් ඉරි ගසා චක‍්‍රලේඛ අනුව වැඩ කරන විට කලාකරුවන් වැඩ කරන්නේ පොදු ජන රුචිකත්වය සංවේදී කලාපයන් හා ප‍්‍රඥාව ඔස්සේය. එබැවින් මුස්ලිම් ඇමතිවරු ඉවත්වීම පිළිබඳව කලා සමාජයත් සංවේදී විය යුතුය. සකලවිධ වර්ගවාදය පිටු දකින වර්ග මුසුවක් හා පැවැත්මක් අභ්‍යාස කැරෙන කලා ප‍්‍රකාශනාවලියක් කලා සමාජයෙන් නිෂ්පාදනය විය යුතුය.
පාස්කුදා ප‍්‍රහාරයෙන් පසුව කලාකරුවෝ එය හෙළා දුටහ. ඊට දැඩි විරෝධය හා මියගිය අය වෙනුවෙන් සංවේගය පළ කළහ. එහෙත් විනාශයකින් පසු සමාජය ගොඩනංවන, පොදු ජන මනස හදන සංයුක්ත ක‍්‍රියාවලියක ව්‍යාවෘත වන්නට ඔවුහු මේ දක්වා අසමත් වූහ. නාට්‍යකරුවෝ මේ බරපතළ සිද්ධියෙන් පසුව තම නාට්‍ය දර්ශන අවලංගු වී ඇති බැවින් ආර්ථිකමය වශයෙන් අපහසුතාවට ලක්වූ බව මාධ්‍යයට කීහ. නාට්‍ය සංවිධායකයෝ ඒ ගැන මැසිවිලි නැගූහ. සමාජය ලද ක්ෂිතිමය අත්දැකීම නිසා වෙන කිසිම දේකට අවධානය යොමු නොවන බව පොදුවේ කලාකරුවෝ කීහ. එසේ නම් කලාකරුවන් කළයුත්තේ තමන් පුංචි පහේ කම්කරුවන් බවට පත් නොවී මේ අර්බුදය සමනය කරගැනීමට මගක් සෙවීමය. කොටින්ම ඒ දෛනිකත්වයෙන් මිදී රටේ උද්ගතවූ ප‍්‍රශ්න ගැඹුරින් සාකච්ඡා කළ හැකි මගක් සොයා ගැනීමය. එය ඍජුව හෝ නිර්මාණ දේශපාලනයෙන් කළ හැකිය. එහිදී මග කුමක් වුවත් වැදගත්වන්නේ අවසාන අරමුණය. බෝම්බ ප‍්‍රහාර නිසා ජීවිත දෙසිය පනස් තුනක් අහිමිවීමටත් වඩා බරපතළ වන්නේ ඉන්පසුව රට තුළ ජාතීන් අතර ඇතිවී තිබෙන අවිශ්වාසයය. ලාංකීය ජාතියක් ලෙස ගොඩ ඒමට නම් එම අවිශ්වාසය මුළුමනින් නැති කරගත යුතුය.
ජනතාව මේ මොහොතේ දේශපාලනඥයන්ව මඩ නාවයි. ඒ මඩ නෑමට දේශපාලනඥයෝ සුදුස්සන් වෙති. ඒ සමගම මහජනයා රටෙහි අලූත් වෙනසක් අපේක්ෂා කරයි. එහි ව්‍යුහය ගැන කිසිවකුටත් අදහසක් නැතත් එය වංචාකාරී, මර්දනකාරී හා ගේම් ගසන දේශපාලනය පිටු දකින එකක් විය යුතු බව පැහැදිලිය. සැබැවින්ම ලංකාව ප‍්‍රතිපත්තිගරුක රටක් බවට පත්විය යුතුය. එම ක‍්‍රමික වැඩසටහනෙහි ලොකු භූමිකාවක් වගකීම්සහගතව කලාව මෙහෙයවන්නට රිසි කලාකරුවන්ට තිබේ.