තියුණු වන දේශපාලන ව්‍යාකූලත්වය සහ බල අරගල

පසුගිය සති කිහිපය තුළ ලංකාවේ දේශපාලනයේ සිදුවන දේවල් දෙස බලා සිටින විට, නිර්පාක්ෂිකව සිතන පුරවැසියන්ට පෙනෙන, ඔවුන්ගේ සිත් සසල කරවන, දෙයක් තිබේ. එය නම්, රට විශාල දේශපාලන අවිනිශ්චිතතාවේ අර්බුදයක් කරා වේගයෙන් ගමන් කරන බව සහ එය දේශපාලන නායකත්වය, වෘත්තීය දේශපාලනඥයන්, කතෝලික සහ බෞද්ධ ආගමික නායකත්වය, ජනමාධ්‍ය ආයතන හිමි මුදලාලි පන්තිය සහ ජනමාධ්‍යවේදීන් යන තුන්ගොල්ලගෙන් සමන්විත අශුද්ධ සන්ධානයක සහභාගිත්වයෙන් සිදුවන බවත්ය.
මේ විනාශකාරී ක‍්‍රියාවලියේ සාක්ෂි තම ඇස් ඉදිරිපිට ප‍්‍රකාශ වෙද්දී, ඒවා ගැන අතිශයෝක්තිමය නාට්‍යකාරයෙන් සිදුකරන මාධ්‍ය වාර්තා බලා සිටින සහ අසා සිටින බොහෝ පුරවැසියෝද, එම ක‍්‍රියාවලියේම වක‍්‍ර කොටස්කරුවන් බවට පත්වී සිටිති. තමන්ගේ දේශපාලන ළැදියාව ඇති පක්ෂයේ දෘෂ්ටි කෝණයෙන් පමණක් ඒ දෙස බලන එම පුරවැසියෝ, ප‍්‍රීති වෙති; විනෝද වෙති. දේශපාලන උද්දාමයටද පත්වෙති. ඒ අතර රූපවාහිනිය, පුවත්පත් සහ සමාජ මාධ්‍යය දැන් අපේ පුරවැසියන්ගේ දේශපාලන විඥානය විකෘති කරන අලූත්ම අබිං බවට පත්වී තිබේ. ජනවාර්ගික වෛරය, ජනවාර්ගික ඊර්ෂ්‍යාව සහ ජනවාර්ගික ආත්මෝන්මාදය සමාජය අතර නොමිලේ බෙදාහරින සහ බොහෝ පුරවැසියන් සතුටින් පරිභෝජනය කරන, ඔවුන්ගේ දේශපාලන විඥානය රෝගී කරන අබිංය. මාකඳුරේ මධුෂ්ගේ කතාව ජනමාධ්‍යවල අවධානයෙන් ගිලිහී ගොස් තිබෙන්නේ නිකම්ම නොවේ. අලූත් මුස්ලිම් විරෝධී අබිං කතා මධුෂ්ගේ මත්ද්‍රව්‍ය කතාවලට වඩා ලාභදායකය.
වෙනත් උපමාවකින් කියන්නේ නම්, අප රටේ පුරවැසියන්ගේ ඉරණම වී තිබෙන්නේ, අතිශයින්ම ශෝකජනක සහ විනාශකාරී අවසානයක් සහිත නාට්‍යයක ඇති, තාවකාලිකව හාස්‍යය දනවන දෙබස් සහ ජවනිකාවලින් මහත් විනෝදය ලබමින් ඔල්වර හඬ දෙන පේ‍්‍රක්ෂක පිරිසකගේ තත්ත්වයට පත්වීමකි. රූපවාහිනී තිරය, ස්මාට් ෆෝන් මුහුණත සහ පුවත්පත් මුල් පිටු මෙම තාවකාලික විනෝදජනක දෙබස් සහ ජවනිකා පුරවැසියන් ඉදිරියේ තබන ප‍්‍රධාන මාධ්‍ය තුනයි.

කැබිනට් අර්බුදය
විනාශකාරී අවසානයක් සහිත අප රටේ දේශපාලන නාට්‍යයේ පිටපත, මතුපිටින් හාස්‍යය දනවන, එහෙත් හරය අතින් බලන විට විනාශකාරී, ජවනිකා ගණනාවක්ම දැනටමත් රඟපානු ලැබ තිබේ. ඒවා අතරින් අලූත්ම ජවනිකාව නම්, කැබිනට් මණ්ඩලයේ ක‍්‍රියාකාරීත්වය අඩපණවීමයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම ගැන තමන්ගේ පුද්ගලික සහ නිල වගකීම ඉටු නොකිරීමේ දෝෂයෙන් මිදීම යන පුද්ගලික සාධකය මත පදනම්වෙමින්, ජනාධිපති සිරිසේන මහතා කරන්නට පටන් ගෙන තිබෙන්නේ කුමක්ද? මගේ අවුරුදු හතරක් වයසැති මුණුබුරාවත් නොකරන ආකාරයේ, වගකීම් විරහිත, දේශපාලන වශයෙන් තවත් විනාශකාරී වැඩකි. එනම් සතිපතා සිදුවිය යුතු, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තම මූලික වගකීමක් විය යුතු, රටේ රාජ්‍යකරණ ක‍්‍රියාවලියේ අතිශයින්ම වැදගත් කාර්යය යැයි සැලකිය යුතු, කැබිනට් මණ්ඩල රැුස්වීම් වර්ජනය කිරීමයි. මෙය වනාහී ගිය වසරේ ඔක්තෝබර් 26දා ඒ මහතා කළ ක‍්‍රියාවට වඩා විනාශකාරී ප‍්‍රතිඵල ගෙන දෙන වගකීම් විරහිත ක‍්‍රියාවකි. එය වනාහී හුදෙක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත් පමණක්ම නොවේ; රටේ හදිසි නීතිය පවතිද්දී, ත‍්‍රිවිධ හමුදාවට සාමාන්‍ය නීතිය ඉක්මවා යන හදිසි නීති බලතල දී තිබියදී, සාමාන්‍ය නීතිය අත්හිටුවා තිබෙන පසුබිමක, රාජ්‍යකරණයේ කේන්ද්‍රීයතම ආයතනය වන කැබිනට් මණ්ඩලය ක‍්‍රියාවිරහිත කිරීමේ, අනිසි සහ අනපේක්ෂිත දේශපාලන ප‍්‍රතිඵල ගැන සිහිබුද්ධියෙන් සිතා බැලීමට, ජනාධිපතිවරයාට නොහැකිවීම, සුළුවෙන් තැකිය හැකි කරුණක් නොවේ. එහෙත් අගමැතිවරයාටත්, කතානායකවරයාටත් මේ කරුණේ ඇති බැ?රුම්කම වැටහී තිබෙන බවක්ද නොපෙනේ. ඔවුන්ගේ අපේක්ෂාව වී තිබෙන බව පෙනෙන්නේ, ජනාධිපති කරන දේශපාලන වැරදිවලින් ඒකපාක්ෂික වාසි ලබා ගැනීමයි. මේ ගැන, දේශපාලන විමසිලිභාවයෙන් යුත් පුරවැසියන්ට නම්, අප රටේ ප‍්‍රධාන පුරවැසියන් තිදෙනා සිතන ආකාරයට සිතිය නොහැකිය. මන්දයත්, හදිසි නීතිය පවත්නා අවස්ථාවක, කැබිනට් මණ්ඩලයේ ක‍්‍රියාකාරීත්වය බිඳ වැටීම සහ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතරත්, ජනාධිපති සහ අගමැති/කතානායක අතරත් අලූත් විවෘත සටනක් ආරම්භවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයේ ආයතනික බිඳවැටීමකටත්, නිර්-ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පවලට දොර විවෘත කිරීමක් සහ රාජ්‍ය ව්‍යුහය බිඳ වැටීමක්ද වන නිසාය.
එහෙත් මේ ගැන කිසිදු තැකීමක් ජනාධිපතිවරයාට ඇති බවක් නොපෙනේ. ඔහුගේ වඩාත් උනන්දුව තිබෙන බව පෙනෙන්නේ, ජනාධිපති මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසිරවීමේ තත්ත්වයක් නිර්මාණය කර, තමන්ට වාසි ලැබෙන ආකාරයට අලූත් පාර්ලිමේන්තුවක් තෝරා ගැනීමේ තත්ත්වයක් නිර්මාණය කිරීමයි. ජනාධිපතිවරයාගේ මේ න්‍යාය පත‍්‍රය ගැන දැන සිටියත්, එය වැළැක්වීමට අගමැතිවරයාට නොහැකිය. පසුගිය දෙසැම්බර් මාසයෙන් පසුත්, තමන් වෙත තිබුණු වාසිදායක දේශපාලන තත්ත්වයක් තිබියදීත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව දිගටම උල්ලංඝනය කරමින් හිතුවක්කාරව ක‍්‍රියාකිරීමට ජනාධිපතිවරයාට ඉඩදීමේ බරපතළ දේශපාලන වරද කළ අගමැතිවරයා සහ එජාපයට, දැන් එජාපය දුර්වල කිරීමට ජනාධිපතිවරයා කරන දේ වැළැක්වීමට හැකියාවක් නැත. පාර්ලිමේන්තු කාරක සභාව නිසා සිදුවූයේ මෙම බල අසමතුලිතතාව ජනාධිපතිවරයාට අවාසි ලෙස වෙනස්වීමට තුඩුදිය හැකි නිසාය. ඔක්තෝබර් 26දා පිපිරුණු බලඅරගලය, දැන් අලූත් මුහුණුවරකින්, අලූත් අදියරයකට ළඟාවී තිබේ. මෙම බලඅරගලයේ නව රවුමේ ප‍්‍රතිඵල කෙබඳු වේදැයි සිතීම, දේශපාලන වශයෙන් ස්වාධීන පුරවැසියන්ගේ වගකීමයි.

පූජ්‍යතන්ත‍්‍රය
මේ අතර කතෝලික සහ බෞද්ධ පූජ්‍යතන්ත‍්‍රය ක‍්‍රියා කරන්නේ, දේශපාලන ප‍්‍රභූතන්ත‍්‍රයට නොදෙවැනි ආකාරයකටය. පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසු ලංකාවේ දේශපාලනයේ සිදුවූ අනිසි සහ නිෂේධනීය ප‍්‍රතිඵල අතරින් ප‍්‍රධාන එකක් වූයේ, ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නය අලූත් මුහුණුවරක් ගැනීමයි. එහි ප‍්‍රධාන ගතිලක්ෂණ නම් මුස්ලිම් ප‍්‍රජාව අලූත්ම ‘සතුරා’ බවට පත්කිරීමයි. එම සතුරාට ප‍්‍රහාර එල්ල කිරීමට, අලූත්ම වාර්ගික සන්ධානයක් බිහිවූයේ එම පසුබිම තුළය. ඔය නම් මුස්ලිම් විරෝධී කතෝලික-බෞද්ධ සන්ධානයයි. එයට නායකත්වය දුන්නේ, මුලදී සංහිඳියාවාදී නැඹුරුවක් දැක්වූ කතෝලික කාදිනල්තුමාය. එහෙත්, තමාට අලූතෙන් ලැබුණු ජාතික මට්ටමේ භූමිකාව වාර්ගික දේශපාලනීයකරණයට ලක්වීමට ඉඩ දුන් කාදිනල්තුමාට සිදුවූයේ මෙම මුස්ලිම් විරෝධී කතෝලික-බෞද්ධ සන්ධානයේද නායක කාර්යය පිළිගැනීමටය.
මේ පසුබිම තුළ ලංකාවේ සමකාලීන දේශපාලනයේ තවත් නිශේධනීය වර්ධනයක් මතුවී තිබේ. එනම් පූජ්‍යතන්ත‍්‍රයේ දේශපාලනයට ඍජුවම මැදිහත්වීමත්, රාජ්‍ය බලයේද පරදුපාර්ශ්වයක් ලෙස මතුවීමත්ය. මෙය 1950 ගණන්වලදීත් සිදු නොවූ ආකාරයේ වර්ධනයකි. එකල සිදුවූයේ බෞද්ධ පූජ්‍යතන්ත‍්‍රය ආණ්ඩු නිර්මාපක කාර්යයට පමණක් අතගැසීමය. එය සිදුවූයේ පූජ්‍යතන්ත‍්‍රය, සිවිල් දේශපාලනඥයන්ට සහ දේශපාලන පක්ෂවලට යටත්, ද්විතීයික භූමිකාවක් ඉටුකිරීමෙනි. එහෙත් අද තත්ත්වය ඊට වඩා වෙනස් එකකි. සිවිල් දේශපාලන නායක තන්ත‍්‍රයත්, දේශපාලන පක්ෂයක් පිළිබඳ සමාජ විශ්වාසය දරුණු අර්බුදයකට පාත‍්‍ර වී තිබේ. අල්ලස්, බලය අයුතු ලෙස අපයෝජනය කිරීම, රාජ්‍ය පාලන කාර්යයේදී දිගටම දක්වන අකාර්යක්ෂමතාව, සීමාවිරහිත දේශපාලන ස්වාර්ථකාමීත්වය සහ අවසානයක් නැති බල අරගල යන මේ අවලක්ෂණ පිළිබඳව ආගමික නායකයන්ගෙන් මෙතෙක් කල් ඉදිරිපත් වූයේ චර්යා ධාර්මික විවේචනයකි. දැන් එම විවේචනයේ චර්යාධාර්මික රාමුව ඉක්මවා ගොස් තිබේ. එය දැන් දේශපාලන විවේචනයක් වී තිබෙනවා පමණක් නොවේ. තම දේශපාලන අපේක්ෂා සහ විජිගීෂා පිළිබඳව කතෝලික සහ බෞද්ධ පූජ්‍ය ප‍්‍රභූන් දැන් සාකච්ඡුා කරන්නේ විවෘතවමයි. පුරවැසියන්ගේ අධ්‍යාත්මික පමණක් නොව දේශපාලන ගැලවුම්කාරයන් ලෙසද දැන් ඔවුහු විවෘතවම කතා පවත්වති; පණිවුඩ ලබා දෙති. අප රටේ ආත්මාර්ථකාමී සහ පිරිහුණු සිවිල් දේශපාලන නායකත්වය මේ අලූත් ප‍්‍රවණතාව පිළිබඳව වගකිව යුතුය.
කෙටියෙන් කියන්නේ නම්, මේ දිනවල ලංකාව සිටින බව පෙනෙන්නේ, දේශපාලන පරිවර්තනයේ අලූත් අවධියක එළිපත්ත ඉදිරියේය. ඒ පිළිබඳව පැහැදිලිවම පෙනෙන එක් දෙයක් තිබේ. එය නම් සිදුවන්නට යන බවට ලකුණු පහළ වන පරිවර්තනය සාධනීය එකක්වීමට තිබෙන ඉඩකඩ ඉතා අඩුය යන්නයි. ලංකාවේ වැසියන් අපේක්ෂා කළයුත්තේ මෙම බලයේ සිටින සහ බලයට ඒමට බලා සිටින දේශපාලන ප‍්‍රභූතන්ත‍්‍රය, අලූතෙන් දේශපාලනීකරණය වී ඇති ආගමික පූජ්‍ය ප‍්‍රභූතන්ත‍්‍රය සහ ජනමාධ්‍ය මුදලාලිතන්ත‍්‍රයට වෙනස්, අලූත් පරම්පරාවක් බිහිවෙනු දැකීමටය.