ජාතික ආරක්ෂාව යනු දේශපාලකයන්ගේ ආරක්ෂාව නොවේ

මහින්ද හත්තක

ඉස්ලාමීය රාජ්‍ය ත‍්‍රස්තවාදීන් විසින් පසුගිය පාස්කු ඉරිදා සිදු කළ පිළිකුල් සහගත බෝම්බ පිපිරවීම වැළැක්වීමට රාජ්‍ය බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ අපොහොසත්වීම පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කිරීමට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයෙන් පත් කළ තේරීම් කාරක සභාව ගැන දැන් රට තුළ ඇත්තේ මහත් ආන්දෝලනයකි. එක අතකින් එහිදී ඉදිරිපත්වන සාක්ෂි අනුව මහජන මුදලින් නඩත්තු වන ආරක්ෂක අංශ මෙන්ම මහජන ඡුන්දයෙන් තේරී පත්වන නියෝජිතයන් කෙතරම් අ¥රදර්ශී හා නොසැලකිලිමත් ආකාරයට ක‍්‍රියාත්මක වූයේ ද යන්න බෝම්බ ප‍්‍රහාරය මෙන්ම පිළිකුල් සහගත ය. අනෙක් අතට මෙවැනි කමිටුවලින් ජනමාධ්‍යයට විවෘත වන ආකාරයෙන් සාක්ෂි විභාග කිරීම රටේ ආරක්ෂාවට තර්ජනයක් යැයි නගන අවලාද සැලකිය යුත්තේ ද එම මිනුම් දණ්ඩෙනි.
විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ සන්ධානය මුලින්ම විදෙස් බුද්ධි සේවාවලින් පැහැදිලිවම මෙවැනි ප‍්‍රහාරයක් ගැන අනතුරු හඟවා තිබිය දී එය වැළැක්වීමට පියවර නොගැනීම ආණ්ඩුව බරපතළ ලෙස වගකීම් පැහැර හැරීමක් යැයි පවසා ඒ ගැන පාර්ලිමේන්තු කාරක සභාවකින් කරුණු සෙවිය යුතුයැයි යෝජනා කළහ. එම යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට ද සහාය දැක් වූහ. එහෙත් පසුව කුමන කරුණක් නිසා හෝ ඔවුහු එම තේරීම් කාරක සභාවට සිය නියෝජිතයන් නම් කිරීම ප‍්‍රතික්ෂේප කොට එය විවේචනය කළහ. ඊට මූලික හේතුව ලෙස දැක්වූයේ මාධ්‍යයට විවෘත මෙවැනි කරුණු විමසීමක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියැයි යන බොළඳ තර්කයයි. කවදත් යටි ගිරිය පුප්පා හඬ නගන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් විරවංශ මහතා මෙම තේරීම් කාරක සභාව දෙවන මිලේනියම් සිටි අවි ගබඩාව වැටලීම වැනි සිද්ධියකැයි හෙළා දැක්කේය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද දැරුවේ එවැනි මතයකි.
මිලේනියම් සිටි අනවසර අවි ගබඩාව ගැන සඳහන් කිරීමේ දී එවකට උතුරේ හමුදා ආඥාපතිව සිටි දැනට තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු වන සරත් ෆොන්සේකා මහතා දැක් වූ අදහසක් වැදගත් ය. ඔහු පැවසූ ආකාරයට එම සිද්ධිය ප‍්‍රසිද්ධියට පත් වූ අවස්ථාවේ සටන් බිමේ සිටි ඔහු ද මෙතරම් අවි ආයුධ ප‍්‍රමාණයක් රැුස් කර ගෙන සිටීම ගැන පුදුමයට පත් වූයේය. එම ස්ථානය භාරව සිටි නිලධාරියා විශේෂ මෙහෙයුම් වලට නොව හමුදාවේ සාමාන්‍ය කාර්යකට හෝ යොදවා ගත හැකි සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි අයෙකු නොවේ. සාජන්ට් මට්ටමේ සිටි එවැන්නෙකුට මෙවැනි කාර්යයක් බාරදීම සුදුසුයැයි ඔහු ද අනුමත කරන්නේ නැත.
එල්ටීටීඊ යුද්ධය පැවති සමයේත් ඉන්පසුවත් ආණ්ඩුවේ බලධාරීන්ගේ අනුමැතිය ඇතිව රහසිගතව ක‍්‍රියාත්මක වූ මෙවැනි කණ්ඩායම් කළ කී දේ ජාතික ආරක්ෂාවට වැදගත් වූයේ කෙසේද යන්න බරපතළ සැකයකි. ප‍්‍රගීත් එක්නැළිගොඩ, ලසන්ත වික‍්‍රමතුංග, කීත් නොයර් වැනි ජනමාධ්‍යවේදීන් මෙන්ම තවත් දේශපාලකයන් සහ තරුණයන්ද, රගර් ක‍්‍රීඩක තාජුඞීන් ද ඝාතනය වූ ආකාරය ජාතික ආරක්ෂාවට වඩා එවකට බලයේ සිටි පාලකයන්ගේ දේශපාලන වුවමනාව අනුව සිදුවූ බව පසුව කළ පරීක්ෂණවලින් මනාව තහවුරු විය. මෙම ඝාතන කෙතරම් දුරට පාලනයක් හෝ නීතියක් නොතකා සිදුවූයේද යත් එවකට සිටි නාවික හමුදාපතිට පවා තම ආරක්ෂාව ගැන සැක සිතී ඒ ගැන රහස් පොලිසියට පැමිණිල්ලක් කිරීමට සිදුවිය. තවම අධිකරණය ඉදිරියට පත්ව නැති මෙම පරීක්ෂණවලින් හෙළිවන වැදගත්ම කාරණය වන්නේ ඒවා පිටුපස දේශපාලන හස්තයක් කි‍්‍රයාත්මක වූයේය යන්නයි. තරුණයන් 11ක් පැහැර ගෙන කප්පම් ගැනීමට ගත් උත්සාහය හැර අනෙක් ඝාතන සියල්ල සිදුකර ඇත්තේ දේශපාලන වුවමනාව අනුවය. එම නිසා ඒවා ගැන කරුණු සෙවීම සහ ඒවා සිදු කළ බවට සැක කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඔවුන් හඳුන්වන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් සේය.
ඉන් පැහැදිලි වන සරල කාරණය වන්නේ අපේ දේශපාලකයන් ජාතික ආරක්ෂාව යනුවෙන් සලකන්නේ ඔවුන්ගේ ආරක්ෂාවය යන්නයි. නීතියෙන් පරිබාහිරව සිදුකරන ලද ඝාතන ගැන සෙවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ එම අර්ථයෙනි. ඔවුන්ගේ දේශපාලන පැවැත්මට තර්ජනයක් විය හැකි ඕනෑම පුද්ගලයෙකු හෝ සිද්ධියක් ‘‘ජාතික ආරක්ෂාවට’’ තර්ජනයකි. ‘‘ජාතික ආරක්ෂාව’’ පවත්වා ගත හැක්කේ එවැනි පුද්ගලයන් ගේ ජීවිතය තුරන් කිරීමෙනි.
පාස්කු ඉරිදා සිදුවූ තිරශ්චීන බෝම්බ ප‍්‍රහාරය ගැන සෙවීම ද ඉහළම තැන්වල සිටින දේශපාලකයන්ගේ පැවැත්මට තර්ජනයක් විය හැකිය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වැඩ කටයුතු ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි වන්නේ එම නිසාය.
ජනතාව සතු අනුල්ලංඝනීය පරමාධිපත්‍යය පැවරෙන දේශපාලකයන්ගේ කටයුතු එම ජනතාවට දැනගැනීමට සැලසීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම ද දේශපාලකයන්ගේ වගකීමකි. රටේ ආරක්ෂාව යනු ජනතාවගේ ආරක්ෂාවයි. ජනතාවට ආරක්ෂාව සැලසිය නොහැකිනම් හෝ එය හිතාමතාම පැහැර හරින්නේ නම් ඔවුන්ට තවදුරටත් ජනතාවගේ නාමයෙන් සියලූ සැප සම්පත් විඳීමේ සදාචාරමය අයිතියක් හෝ යුතුකමක් නැත. ජනතාවට තමන් නිදහස් හා සාධාරණ ඡුන්දයකින් තෝරා පත් කරන ලද නියෝජිතයන් නිසි ආකාරයට කටයුතු කර ඇත්ද යන්න ගැන තීරණය කිරීමට නිසි තොරතුරු ලැබිය යුතුය. එවැනි කරුණු විමසීමක් ජනමාධ්‍යයට විවෘත විය යුත්තේ ජනතාව තොරතුරු ලබාගන්නේ ඒ තුළින් නිසාය. යම් කිසිවෙකු ‘‘ජාතියේ ආරක්ෂාව’’ නම් කඩතුරාවට මුවාවී එම අයිතිය ජනතාවගෙන් පැහැර ගන්නේ නම් එවැනි අය තවදුරටත් ජනතා නියෝජිතයන් නොවේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා සිදු වූ ප‍්‍රහාර ගැන කරුණු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන ප‍්‍රකාශ නිකුත් කරන්නේ තමා ද මහජන ඡුන්දයෙන් තේරී පත්වූ අවසානයේදී ජනතාවට වගකිවයුතු මහජන නියෝජිතයෙක්ය යන අදහස බැහැර කරමිනි. ඔහු නගන චෝදනාවක් වන්නේ තමාගේ අනුදැනුම නැතිව මෙවැනි කාරක සභාවක් පත් කිරීම අකටයුත්තකි යන්නයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ප‍්‍රධාන විධායකයා ඔහු නිසා ව්‍යවස්ථාදායකයේත් අධිකරණයේත් කරන කියන සියලූ දේ ඔහුගේ අනුදැනුම හෝ කැමැත්ත අනුව සිදුවිය යුතුයැයි සිතනු විය හැකිය. ඇත්තෙන්ම 2015 ජනවාරි 8 වැනිදාට පෙර සිටියේ එවැනි ජනාධිපති කෙනෙකි. අධිකරණය ඔහුගේ කැමැත්තට නොගැළපෙන තීන්දු ප‍්‍රකාශ කළ විට අග‍්‍රවිනිශ්චයකාරවරිය ගෙදර යැව්වේය. ඒ සඳහා ව්‍යවස්ථාවේ ඇතැම් ප‍්‍රතිපාදන කපටි ආකාරයෙන් යොදා ගත් නමුත් පැහැදිලි සත්‍යය තමාට නොගැළපෙන තීන්දු දෙන අධිකරණයක් නොඉවසන්නේය යන්නයි. මහජනතාව 2015 ජනවාරි අට වැනිදා මෛත‍්‍රීපාල සිරිසේන මහතා තෝරා පත් කර ගත්තේ එම තත්ත්වය වෙනස් කිරීමට ය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය නාමිකව හෝ බලපැවැත්වෙන රටක ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන අතර බලය බෙදීමක් තිබිය යුතුය යන මූලධර්මය බලපවත්වයි. එසේ බලය බෙදීමක් සිදු කිරීමේ න්‍යායාත්මක පදනම වන්නේ ජනතාව සතු පරමාධිපත්‍යය වඩාත් සුරක්ෂිත ආකාරයෙන් ජනතාවගේ අභිවෘද්ධිය සඳහා යෙදවීමය. එම නිසා විධායකයේ වැඩ කටයුතුවලට ව්‍යවස්ථාදායකයට සෘජුව මැදිහත් විය නොහැකි අතර විධායකයා ද ව්‍යවස්ථාදායකය තම විධායක බලය යොදා පාලනය නොකළ යුතුය. මෙම සංකල්පය අනුව විධායකයේ වැඩ කටයුතු විමර්ශනයට ලක් කළ හැකි මාර්ගයක් වන්නේ තේරීම් කාරක සභාවක් තුළිනි. එක්සත් ජනපදය වැනි රටවල විධායක ජනාධිපති විසින් කරන සමහර පත්වීම් ඒ පිළිබඳ ස්ථාවර කමිටුවලින් විමසා බැලේ. එම කමිටුවල වැඩ කටයුතුවලට විධායකයට මැදිහත්වීමේ අයිතියක් නැත. එය ව්‍යවස්ථාමය අයිතියකටත් වඩා බලය බෙදීම පිළිබඳ මූලධර්මය පදනම් කර ගත් අනුලංඝනීය ප‍්‍රතිපත්තියකි.
අවාසනාවකට මෙන් අපේ රටේ විධායකයා මෙම තත්වය පිළිගැනීමට සූදානම් නැත. එම නිසා ඔහු පාස්කු ඉරිදා බෝම්බ පිපිරවීම් ගැන පත් කළ තේරීම් කාරක සභාව අහෝසි කරන්නැයි කතානායකවරයාට නියෝග කළ බව ප‍්‍රකාශ කරයි. ජනමාධ්‍යයට එවැනි නියෝගයක් නිකුත් කෙළේයැයි සඳහන් කළත් කතානායකවරයා පවසන ආකාරයට ඔහුට එවැනි ඉල්ලීමක් යොමු කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ ලේකම්වරයෙකු විසිනි. කෙසේ වුවත් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයෙන් සිදුවන එවැනි කාර්යයන් සීමා කිරීම හෝ අහෝසි කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක විධායකය විසින් නොකළ යුතු නීතියට පටහැනි දෙයකි. එමෙන්ම එම කාරක සභාවෙන් කරන ලද කැඳවීීම්වලට අවනත නොවන්නැයි කළ ඉල්ලීම ඊටත් වඩා බරපතළ කාරණයකි. කිසියම් නිලධාරියෙකු තේරීම් කාරක සභාවේ කැඳවීමක් (සිතාසියක්* පිළිනොපැදීමෙන් පැවරෙන වගකීම් ඔහු (ජනාධිපති* බාර ගැනීමට සූදානම් ය.
මහජන ඡුන්දයෙන් තේරී පත් වූ තවත් නියෝජිතයෙකු වන මෛත‍්‍රීපාල සිරිසේන මහතාට නීත්‍යනුකූලව රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරි පැහැර හැරීමක් හෝ නොසලකා හැරීමක් පිළිබඳ වගකීම බාරගත හැකි ද යන්න වෙනම ප‍්‍රශ්නයකි. අපට වඩාත් වැදගත් වන්නේ ඔහුගේ මෙවැනි නියෝගයකින් හෝ තර්ජනයකින්, තම ආරක්ෂාව සැලසීමට පාලකයන් අසමත් වූ ආකාරය දැනගැනීමට ජනතාවට ඇති අයිතිය යටපත් කිරීමේ උත්සාහයයි. පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරයෙන් මරණයට පත් 250කට අධික පිරිසගේ සහ තුවාල ලැබූවන්ගේ ආරක්ෂාව ජාතික ආරක්ෂාව නොවන්නේ ද? එය වැළැක්වීමට අවස්ථාවක් තිබියදීත් ඒ ගැන නොසලකා සිටි මහජන මුදලින් නඩත්තුවන පුද්ගලයන් ගැන දැන ගැනීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙසේද? ජාතික ආරක්ෂාව යනු දේශපාලකයන්ගේ ආරක්ෂාව නම් මේ කරුණු සෙවීම වැදගත් වන්නේ නැත.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ මෙතෙක් ලබා දුන් සහ ජනමාධ්‍යයේ වාර්තා වූ සාක්ෂි අනුව රටේ පාලකයන් තුළ ජාතික ආරක්ෂාව ගැන අල්ප මාත‍්‍ර හෝ සැලකිල්ලක් තිබූ බවක් නොපෙනේ. එහි ඉදිරිපත් වූ කරුණු අනුව ජාතික ආරක්ෂාව කෙතරම් වැදගත් ද යත් මාස ගණනාවකින් ජාතික ආරක්ෂාව පිළිබඳ මණ්ඩලයේ රැුස්වීම් පවත්වා නැත. ඉඳහිට හෝ එහි රැුස්වීම් පවත්වා ඇත්තේ නායකයාගේ පටු දේශපාලන වුවමනාව අනුවය. ජනාධිපති සහ අගමැති අතර විරසකකමක් පවතින නිසා අගමැති ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැුස්වීම්වලට කැඳවන්නේ නැත. රටේ නීතිය හා සාමය පවත්වාගෙන යෑමේ සුවිශේෂ වගකීම පැවරී ඇති පොලීසියේ ප‍්‍රධානියා, පොලිස්පති එම රැුස්වීම්වලට කැඳවන්නේ නැත. ඔහුට වඩා ධූරාවලියෙන් පහත සිටින නිලධාරීන් කෙළින්ම වාර්තා කරන්නේ රටේ ජනාධිපතිවරයාටය. පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සිදු කළ පුද්ගලයන් සහ එම සංවිධාන ගැන කෙරෙන විමර්ශන පිළිබඳ වගකීම පැවරෙන්නේ ජාතික බුද්ධි අංශයේ ප‍්‍රධානියාටය. වෙනත් අයට එම විමර්ශන කිරීම තහනම් ය. ආරක්ෂක ලේකම්ට පවා ජාතික ආරක්ෂාව ගැන වගකීමක් නැත. ඔහු තොරතුරු ලබාගන්නේ තුන්වැනි පාර්ශ්වයන්ගෙනි. මෙම කරුණු ජනතාව දැන ගැනීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙසේද යන්න දේශපාලකයන් පැහැදිලි කළ යුතුය.
මෙම වගකීම් පැවරුණ දේශපාලකයන් සහ නිලධාරීන් නිසි ආකාරයට කි‍්‍රයාත්මක වූයේ නම් බෝම්බ ප‍්‍රහාරයෙන් 250ක් මියයන්නේ නැත. 500කට අධික පිරිසක් තුවාල ලබන්නේ නැත. ඉන්පසුව නැවතත් එවැනිම අවස්ථාවාදී දේශපාලකයන්ගේ උසිගැන්වීම මත සාමාන්‍ය මුස්ලිම් ප‍්‍රජාවට එල්ල කළ ප‍්‍රහාර සහ දේපොළ විනාශය සිදුවන්නේ නැත. ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව සංචාරකයන්ගේ පැමිණීම කඩා වැටීමෙන් සංචාරක කර්මාන්තයේ නියැලි දස දහස් ගණනකගේ ජීවන වෘත්තීන් අනතුරට පත්වන්නේ නැත. තිස් වසරක යුද්ධයෙන් පසුව සාමය දිනා ගත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය ලෝකය ඉදිරියේ නැවතත් බිඳ වැටෙන්නේ නැත. මේ කරුණු පරමාධිපත්‍යය ඇතැයි කියන ජනතාව දැන ගැනීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද?
ඇත්තෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විරුද්ධවීමෙන් හා එහි වැඩ කටයුතු සීමා කිරීමට උත්සාහ කිරීමෙන් අපේ රටේ දේශපාලකයන් අරමුණු කරනුයේ ‘ජාතික ආරක්ෂාව’ කඩතුරාවෙන් තම වැරදි සහ අතපසුවීම් යටපත් කිරීමට සහ ජනතාව නැවත වරක් ඇන්දවීමට ගන්නා ප‍්‍රයත්නයයි. මේ රට ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත් කෙරෙන ගිවිසුම් අත්සන් කිරීම ජනතාවගෙන් හොරා කරන්නේ ජාතික ආරක්ෂාවට වඩා රටත් ජාතියත් ගැන ඇති තම නොසැලකිල්ල නිසාය. 2007දී වසර දහයක කාලයක් සඳහා පළමු වරට අත්සන් කොට 2017දී නැවතත් කාලසීමාවක් නැතිව අමතර කොන්දේසි සහිතව ඇමරිකා එක්සත් ජනපදය සමග අත්සන් කළ අත්පත් කර ගැනීමේ සහ සේවා හුවමාරු කර ගැනීමේ ගිවිසුම ගැන පාර්ලිමේන්තුව හෝ ජනතාව දැනුවත් නොකෙළේ ජාතික ආරක්ෂාව නිසා ද? ජන ජීවිතයට සහ රටේ අනාගතයට බලපාන කරුණු ජනතාවගෙන් වසන් කිරීම කුමන ආකාරයෙන් හෝ ජාතික ආරක්ෂාව සඳහා නොවේ.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම විධායකයේ බලතලවලට අභියෝගයකි. එය සංවරණ සහ තුලන ක‍්‍රමයක් යටතේ අත්‍යවශ්‍ය අංගයකි. විධායකයට අසීමිත විධායක බලයක් පැවරීම වැළැක්වීමටත් ව්‍යවස්ථාදායකයට වගකීමෙන් යුතුව කටයුතු කිරීමටත් එවැනි ක‍්‍රියාමාර්ග සහ සම්ප‍්‍රදායන් තහවුරු විය යුතුය.
මෙහිදී සිහිපත් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ මෙම කි‍්‍රයාදාමය අවංකව සහ විනිවිද භාවයෙන් සිදුකිරීමය. ජනතාවට සැබෑ ආරක්ෂාව ලැබෙන්නේ එවිටය. මෙම තේරීම් කාරක සභාව පිහිටුවීමේදී එය නිර්ණායකයක් වී නැත. බැඳුම්කර කොමිසමේදී බොරු සාක්ෂි දුන්නේයැයි චෝදනා එල්ල වී සිටින රවි කරුණානායක මහතා වැනි පුද්ගලයෙකු මෙවැනි තේරීම් කාරක සභාවට පත් කිරීමෙන් අවංකභාවයක් හෝ විනිවිද පෙනෙන තත්ත්වයක් නැති බව අනුමාන කළ හැකිය. එම නිසා වත්මන් පාලන ක‍්‍රමය යටතේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලින් හෝ ජනාධිපති කොමිෂන් සභාවලින් ජනතා සුභ සිද්ධිය හෝ රටේ ආරක්ෂාව තහවුරු නොවන බව තේරුම් ගත යුතුය.