වැස්ස පිහිටවීම

රජිඳු කාශ්‍යප

12 වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසානය ගැන අනාවැකි කීමට තවමත් කාලය වැඩි ය. එසේ වූවත් මේ වන විට නිමා වූ තරගවල ප‍්‍රතිඵල අනුව නවසීලන්තය, එංගලන්තය, ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව ඉදිරියෙන් පසුවේ. එතැන ඉඩක් අප කණ්ඩායමට හිමි ව නැත.
එහෙත් තරගාවලියේ කුමන හෝ පෙරළියක් කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පිවිසෙනු ඇතැයි ශ‍්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තුව ය. ඒ සැබැවින් ම අප ශ‍්‍රී ලාංකිකයන් ම වන බැවිනි. එසේ නොමැතිව එවැනි බලාපොරොත්තුවක් තබා ගැනීමට තරම් ශ‍්‍රී ලංකා කණ්ඩායම කළ දස්කමක් නිමා වූ තරගවලදී ද දුටුවේ නැත.
නවසීලන්තය සමග තරගයේදී පරාජය වෙමින්ද ඇෆ්ගනිස්තානය සමග තරග ජයග‍්‍රහණය කරමින් ද, බංග්ලාදේශය සහ පාකිස්තානය සමග තරග එකඳු පන්දුවක් හෝ යැවීමට නොහැකිව ද අප කණ්ඩායම තරග නිමා කර ඇත.
ක‍්‍රීඩා කරමින් නිමා කළ තරග දෙකේ දී ද අප ක‍්‍රීඩකයන්ගේ ඉහළ දක්ෂතා ප‍්‍රදර්ශනය වූයේ නැත. අඩුම තරමින් ජයග‍්‍රහණය කළ ඇෆ්ගනිස්තාන තරගයේ දී ද අප දුටුවේ ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ය. තරගය ජයග‍්‍රහණය කළ ද එය අසුබ අවසානයකි.
දුටු දක්ෂතා අනුව කණ්ඩායමේ යම් තරමකින් හෝ සාර්ථක වූ පිතිකරුවන් ලෙසින් නම් කළ හැක්කේ නායක දිමුත් කරුණාරත්නත්, ආරම්භක පිතිකරු කුසල් පෙරේරාත් පමණි. දිමුත් තරග දෙකේ දී ලකුණු 82ක් ද කුසල් ජනිත් තරග දෙකේ දී ලකුණු 107ක් ද ලෙසින් ලබා සිටී. අනෙක් කිසිවෙක්ගේ දක්ෂතා ගැන සැහීමකට පත්විය නොහැකි මෙන් ම විශ්වාසය ද තැබිය නොහැකි තත්ත්වයකි පෙන්නුම් කෙරුණේ. දිමුත් සහ ලොකු කුසල් ද පිතිකරණයේදී එතරම්ම විශ්වසනීයත්වයක් අප දුටුවේ නැත. එබැවින් එළැඹෙන තරගවලදී ඔවුන්ගේ දක්ෂතා රටක් ලෙස අප මීට වඩා බලාපොරොත්තු වෙමු.
තරගාවලියට පිතිකරුවන් ලෙසින් එක් වූ ඇන්ජලෝ මැතිව්ස් සහභාගි වූ තරග දෙකේ දී කිසිදු ලකුණක් ලබා නැත. ඔහු ඉනිම දෙකේ දී මුහුණ දී ඇති පන්දු සංඛ්‍යාව ද 11කි. කුසල් මෙන්ඩිස් තරග දෙකේ දී රැුස් කර ඇත්තේ ලකුණු 2කි. ඒ පන්දු 3කට පමණක් මුහුණදෙමිනි. තුන් ඉරියව් ක‍්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමට එක් වූ ධනංජය ද සිල්වාගේ තරග දෙකේ දක්ෂතාව පිතිකරුවෙක් ලෙසින් පන්දු 4කට මුහුණ දී ලකුණු 4ක් ලබා ගැනීම ය. ඔවුන් තිදෙනා ම ක‍්‍රීඩා කළ තරග දෙකේ දී එක් ව ලබා ඇත්තේ පන්දු 18කට මුහුණදෙමින් ලකුණු 6කි. මේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණයේ කොඳු නාරටිය හැසිරුණු ආකාරය.
ඔවුන්ට අමතරව පිතිකරුවන් ලෙසින් යමක් කළ හැකි යැයි විශ්වාසය තබා සිටින ළහිරු තිරිමාන්න තරග දෙකේ දී ලකුණු 29ක් ද තිසර පෙරේරා තරග දෙකේ දී ලකුණු 29ක් ද ඉසුරු උදාන තරග දෙකේ දී ලකුණු 10ක් ද සහ ජීවන් මෙන්ඩිස් තරගයක දී ලකුණක් ද ලෙසය රැුස් කර ගෙන ඇත්තේ.
අනෙක් අතට කණ්ඩායමක් ජයග‍්‍රහණය කරවීමට නම් වඩා වැදගත් වන්නේ කඩුලූ අතර ඇතිවන මනා සබඳතාවන් ය. එහෙත් අප කණ්ඩායමේ කිසිවෙක්ට මේ දක්වා ලකුණු 100ක සබඳතාවක් පැවැත්වීමට හැකි වී නැත. ලකුණු 50ක් ඉක්ම වූ සබඳතාවන් ද පවත්වා ඇත්තේ තුනක් පමණි. මේ අතරට මැද පෙළ පිතිකරුවන් විසින් ගොඩ නැගූ කිසිදු ඉනිමක් ද නැත. පැවැති තරග දෙකේ දී කඩුලූ බිඳ වැටුණ අවස්ථා 12කදී ම ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ රැුස් කරගෙන ඇත්තේ ලකුණු 10කට අඩුවෙනි.
අපට ඉදිරියට යන්නට සිදුව ඇත්තේ ඒ අවමාන සහගත දක්ෂතා සමගින් ය. මෙවැනි ගමනක් සමගින් ලෝක කුසලානයේ අපේ කණ්ඩායම ගැන කීම දැන දැන වස බීම හා සමාන ය.
දැන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව ඇත්තේ ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රේණිගත කරන ලද ලැයිස්තුවේ ඉහළින් ම පසුවෙන්නෝ ය. ඒ අනුව මේ මස 15 වැනිදා ඕස්ටේ‍්‍රලියාව, 21 වැනිදා එංගලන්තය, 28 වැනිදා දකුණු අප‍්‍රිකාව, ජුලි මස 01 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන් සහ 06 වැනිදා ඉන්දියාව සමග ය.
දිමුත් කියන පරිදි තරගාවලිය සැබෑ ලෙස ම ආරම්භ වන්නේ දැන් ය. ඇත්ත ඇති සැටියෙන් දැන සිටීම වැදගත් ය. අපේ ක‍්‍රීඩකයන්ට මේ තරගාවලියේ තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට නම් මේ තරගවලින් තරග කිහිපයක් හෝ ජය ගත යුතුය. දැනට පෙන්වා ඇති දක්ෂතා අනුව නම් එය ලෙහෙසි නැත.