හරින් හරිය

ඒ. වික‍්‍රමසූරිය

මෑත කාලයේ පත්වූ ක‍්‍රීඩා අමාත්‍යවරුන් අතර කුමන අඩුපාඩු මත හෝ අගය කළ හැකි වන්නේ දයාසිරි ජයසේකර මහතාය. ඔහු ක‍්‍රීඩා අමාත්‍ය ධුරය සජීවි බව නිතර ඔප්පු කළ අයෙකි. එය සංදර්ශනාත්මක වුවත් අමාත්‍ය ධුරයට පණක් එක් කළේය. එහෙත් දැන් ඇත්තේ එහි අනෙක් පැත්තය. අද වන විට ක‍්‍රීඩා අමාත්‍ය ධුරය පතෝල මට්ටමට වැටී ඇති අතර ක‍්‍රීඩා අමාත්‍යාංශය පතෝල මැස්සක් බවට පත්වී ඇත.
අද පුංචි පහේ සංගමයක් හෝ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අණ පිළිපදිනවාද යන්න සැකය. ක‍්‍රීඩා සංගම් ක‍්‍රීඩා අමාත්‍යාංශය ක‍්‍රීඩා ඇමති අතහැර ක‍්‍රියා කිරීම රටක නීතිය අතහැර ජනතාව පිස්සු කෙළීමට සමානය. ක‍්‍රීඩාවට වෙනම අමාත්‍යාංශයක් අමාත්‍ය ධුරයක් ලබා දුන්නේ පොල් ගාන්නට නොවන බව ආදි අමාත්‍යවරු දැන සිටියහ. එහෙත් දැන් ඩිජිටල් අමාත්‍යවරු නිකම්ම නිකම් කෙටි පණිවුඩයක් ගාණට වැටී ඇත. ගොපල්ල අයාලේ යන කල හරක් රංචුව ගැන කවර කතාද?
පත්වන ඕනෑම ක‍්‍රීඩා අමාත්‍යවරයෙක් සමගම අපට ඉතිරි වූයේ නයි – මුගටි ගැටුමක්ය. ඒ අන් කිසිවක් නිසා නොව, අමාත්‍යවරු පිස්සු කෙළින විට අත්පුඩි තැලීම වෙනුවට ඇමතිට පිස්සු යැයි අපි කෙළින් කීම නිසාය. බේත් කළයුතු යැයිද? අතහැර ඉබාගාතේ යනු වෙනුවට හොඳ කරගත යුතු යැයි විශ්වාස කළ නිසාය. ඒ නිසා අපි පත්වූ අමාත්‍යවරුන්ට හිසකුඩිච්චි දැමීමට සැදී පැහැදී සිටිමු.
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නදැයි කතාවට කියන්නේය. ඇමති බලතල ඕනෑවට වඩා ඇතත් වත්මන් ඇමති නිකමෙක් වී ඇත. එසේ නොවන්න ඔලිම්පික් කමිටුවේ දූෂණ අක‍්‍රමකිතා හොයන්නැයි නව ආයතන සංගම් පිහිටුවන්නේ නැත. ක‍්‍රීඩාව ගැන තමාගේ වගකීම් ගැන මනාව දන්නේ නම් ඒ තැන්වලට ගොස් ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් හත්පොළේ ගාගෙන ක‍්‍රීඩා අමාත්‍යාංශයම ගඳ ගස්සන්නේ නැත. 1965-70 කාලයේ සුගතදාස මහතා සංගම් ප‍්‍රශ්න විසඳුවේ ක‍්‍රීඩා පනතක් නොමැතිවය. ඒ සංගම් සතු ව්‍යවස්ථාවන් සහ විනය කමිටු බලතල උදව්වෙනි. එකල ක‍්‍රීඩා දූෂිතයන්ට විශ්වාසභංග ගෙන එන තැනට වැඬේ ප‍්‍රබල වී ඇත. අද විශ්වාසභංග ගෙන ඒමට සිදුව ඇත්තේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ටය. මුල් කාලයේදීත් ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වූයේ දේශපාලන හෙංචයියන්ය. ඔවුහු ක‍්‍රීඩාව ගැන අල්පමාත‍්‍රයක් දැන නොසිටියහ. ඒත් ඇමතිගේ හිතවත්කමට වැඬේ කරගෙන ගියේය. 1984දී ක‍්‍රීඩා අධ්‍යක්ෂව සිටි ඔලිවර් සිල්වා සහ ඔලිම්පික් කමිටුව අතර ඇතිවූ අවුල ලිහා ගන්නට කුරුඳුවත්ත පොලිසියට මැදිහත් වන්නට සිදුවිය. දැන් දැන් සිදුවන්නේද එහි දෙවැනි කොටසය.
එනම් ගියවර ඔලිම්පික් නිලවරණයට ඉදිරිපත් වී අන්ත ලෙස පරාජය වූ පිල දැන් අලූත් වටයකින් ඔලිම්පික් කමිටුවේ දූෂණ සොයන්නැයි බොරු කමිටුවක් පත්කර ගත් කල ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ද එයට සහභාගි වේ. ගමේ කතාවට බල්ලාගේ වැඬේ බූරුවා කළා වගේ යැයි කියන්නේ මෙවැනි වැඩවලට විය යුතුය. 1970 සිට මේ දක්වා පත්වූ ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ලා අඩු වැඩි වශයෙන් ක‍්‍රීඩා විනාශය ඉක්මන් කිරීමට දායක වූවෝය. ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවටම නායකත්වය දිය යුතු ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රොහාන් ප‍්‍රනාන්දුගේ සුවච කීකරු කුක්කෙක් බවට පත්වී ඇත.
මෙම කමිටුව ගැන අප ගියවර ලියූවෙමු. ක‍්‍රීඩාවේ දූෂණ සෙවීමට පත්වී ඇත්තේ අන්ත දූෂිතයන්ය. ඩයන්, එච්.යූ. සිල්වා, නිශාන්ත, රොහාන්, ප‍්‍රීතිලාත් සමග ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එදින පාටියට අඩියක් ගහන්නට ගියද ඔහුගේ සහභාගිත්වය පෙන්වනුයේ ඔහු ඊට අනුබල දෙන බවය. ඇමතිවරයා වහාම ක‍්‍රීඩා අධ්‍යක්ෂවරයා කැඳවා විමසිය යුත්තේ එවැනි දෙයකට සහභාගි වූයේ ඇයි කියාය. එය බරපතළ ප‍්‍රශ්නයකි. ක‍්‍රීඩා අමාත්‍යාංශය සතු බලය පල් හොරුන්ට විකුණන අතරමැදියා ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ද?
රොහාන්ලා අටවා ගත් පරාජිත සංගමයට ඔලිම්පික් කමිටුව අධීක්ෂණය කළ නොහැකිය. එය ක‍්‍රීඩා ඇමති ප‍්‍රමුඛ අමාත්‍යාංශයේ වැඩකි. කොටින්ම එවැනි සංගමයක් සතේකට මායිම් නොකළ යුතුය. එහෙත් ඔලිම්පික් සංගමයත් එය කරට ගෙන ඇති ගාණය. ඒ ඒ අය එකට සිටින කල එකට හොරා කෑවා විය හැකිය. එහෙත් දැන් බොරු රංගන ඔවුන්ද නොකළ යුතුය. ඔලිම්පික් කමිටුවද මේ ක‍්‍රීඩා සංගම් එකමුතුව ගැන සොයන්නට ඒක පුද්ගල කමිටුවක් පත් කරන බව කියා තිබුණි. ඒ මන්ද යැයි නොහැෙඟ්. ඔවුන්ටද කරන්න වැඩ නැති බව පැහැදිලිය. මේ පිළිබඳ ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා කලබල වී ඇති හැඩය. කුම්බලා මාළු කෑවා නම් විඳවපන් කියන්නේ එබැවිනි. මෙම ක‍්‍රීඩා සංගමය ඔලිම්පික් කමිටුවට බාධාවක් බව ඔවුහු දැන්ම පිළිගෙන ඇත. ඒ නිසාම මේ පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනුවත් කිරීමටද මැක්ස්වෙල් සූදානම් වේ.
මේ සැම ක‍්‍රියා කරන්නේ රා බිව් මීයා සේය. මේ කොහේවත් නැති සංගමයක් පිහිටුවා ගත්තා යැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනුවත් කළ යුතුද? ඒ අය එම සංගමයට ලිව්වද මෙරට ඔලිම්පික් කමිටුව කිවයුත්තේ ඔවුන් බලය නැති නිකම්ම නිකං සංගමයක් බවය. ඇතැම්විට මැක්ස්වෙල්ගේ කලබලයේ සාධනීය පැත්තක්ද ඇත. එනම් මේ සංගමය පිහිටුවීමට ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ද සහභාගි වීම නිසාය. සැබැවින්ම එය ක‍්‍රීඩා අධ්‍යක්ෂවරයෙක් නොකළ යුත්තකි. මේ අමාත්‍යවරයා මුතුගලම බෙල්ලෙන් අල්ලා පැත්තකින් තියන්න යනවිට අපද ඔහුගේ පැත්තට ලියුවේ ඔහු තුළ දක්ෂයකු සිටින බැවිනි. දැන් ඒ දක්ෂයා කුණු කොල්ලයට විකිණී ඇත්දැයි සැක හිතෙන තරම්ය.
කාට වුව කමිටු පිහිටුවාගත හැකිය. තමන් රජ යැයි කියා මේ රටේ ඕනෑම කෙනකුට සතුටු විය හැකිය. එහෙත් ඒ රජ පාට් තව කෙනකුට නොදෙන තාක්ය. ඒ ආකාරයට තමන්ද ඔලිම්පික් කමිටුවේ කෙරුමකු බව පෙන්වන්නට ගොස් සියල්ල අල නොකළ යුතු බව රොහාන් ප‍්‍රනාන්දුට අපි කියමු. රොහාන්ලා එකෙන් දෙකෙන්ම මට්ටු කිරීම ක‍්‍රීඩා ඇමතිගේ වැඩකි. එහෙත් ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් එහිම ලගියි නම් ඇමතිට තලන්නට වන්නේ ගෙදර මුව හමටමය.
මේ හැම දෙයක්ම මේ ආකාරයට එන්නට හේතුව ක‍්‍රීඩා ඇමතිගේ පතෝල පිළිවෙතය. අද ක‍්‍රීඩා සංගම් ක‍්‍රීඩා අමාත්‍යාංශය තුට්ටුවකට මායිම් නොකරති. ඇමති කෙනකු ගාණකට නොගනිති. දැන් හැම සංගමයක්ම යන්නම් වාලේ යති. ඒවා හරි මාවතට ගැනීමට හරින්ට බාරය. හරිය.