ජාතීන් අසමත් වෙන්නේ ඇයි? – බලය, සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය. – ඩැරොන් අසෙමොග්ලූ සහ ජෙම්ස් ඒ. රොබින්සන්

Why Nations Fail – The Origins of Power, Prosperity and Poverty by Daron Acemoglu & James . A. Robinson

ආචාර්ය ඩැරොන් අසෙමොග්ලූ අමෙරිකා එක්සත් ජනපදයේ චිරප්‍රසිද්ධ ඵම් අයි ටී (MIT) ආයතනයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිලින්ග් ආසනය හොබවන මහාචාර්යවරයායි. ආචාර්ය ජේම්ස් ඒ රොබින්සන් සුප්‍රකට හාවඞ් විශ්ව විද්‍යාලයේ ආණ්ඩු කිරීම විෂය පිළිබඳ ඬේවිඞ් ෆොලරන්ස් ආසනය හොබවන මහාචාර්යවරයායි. ඔවුන් දෙපොළ විසින් ලියූ Why Nations Fail – The Origins of Power, Prosperity and Poverty (ජාතීන් අසමත් වෙන්නේ ඇයි? – බලය, සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය) නමැති ඉමහත් අවධානයක් දිනා ගත් මේ පොත මුල්වරට පළවෙන්නේ 2012 දීයි. ඒ පොත මෙසේ සැකෙවින් කියවීම දේශපාලනික හා ආර්ථික ගතිකයන් පිළිබඳ ගෝලීය සහ ඓතිහාසික තලයේ ඔබේ වැටහීම තව මුවහත් කරයි.
එදිනෙදා අන්තර්ජාතික ප්‍රවෘත්ති කිහිපයක් වෙත හෙලන කෙටි බැල්මක් සමගම ඉතා මූලික ප්‍රශ්න කිහිපයක් ඔබේ හිතේ පැන නැගීමට මොහොතකට වඩා ගතවෙන්නේ නැහැ. ඇතැම් ජාතීන් පොහොසත් වෙන්නෙත් අනෙක් ජාතීන් දුප්පත් වෙන්නෙත් ඇයි? ඇතැම් ජාතීන් සශ්‍රීක සහ සාධාරණ වන අතර වෙනත් ජාතීන් ඒකාධිපතින්ගේ සහ කෑදර ආත්මාර්ථකාමීන්ගේ ග්‍රහණයට හසුවන්නේ ඇයි?

ශතවර්ෂ කිහිපයක් තිස්සේ ම එවැනි ප්‍රශ්න වලට පිළිතුරු ජාතියක භූගෝලීය පිහිටීමේ සහ සංස්කෘතියේ බලපෑම ඔස්සේ විස්තර කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණා. එහෙත් රටක සමත් අසමත් බව පිළිබඳ ව ඇත්තට ම වැදගත් සාධකය වෙන්නේ එම රටේ ආයතන නිසි ලෙස වර්ධනය වී තිබේද නැද්ද යන්නයි. ඇතැම් ඓතිහාසික සන්ධිස්ථානවලදී හැම ජාතියකටම අන්තර්ග්‍රහණීය (inclusive) හෝ අන්තර්ග්‍රහණීය නොවන (exclusive) හෝ ආයතන ගොඩනගා ගැනීමට සිදුවෙනවා. එවැනි ආයතනවලින් ඇති වන ඵල විපාකයි මෙහිදී අපේ ගවේෂණයට ලක්වන්නේ. ඒ මගිනුයි ජාතියක සාර්ථක වීම හෝ අසාර්ථක වීම නිසි ලෙස විස්තර කළ හැක්කේ.

1. රටක් ධනයෙන් ආඪ්‍යවීම හෝ දුප්පත්වීම රඳාපවතින්නේ හුදෙක් එහි භූගෝලීය පිහිටීම හෝ සංස්කෘතිය හෝ එය සතු දැනුම් සංචිතය මත හෝ නොවේ.
මැක්සිකෝව සහ අමෙරිකා එක්සත් ජනපදය යන දෙරටේ දේශසීමාව නිසා දෙකට බෙදී ගිය නොගාලේස් නමැති එක්තරා නගරයක් තිබෙනවා. නොගාලේස් නගරයේ අමෙරිකානු ඇරිසෝනා ජනපදයට අයත් අර්ධයේ ජීවත් වන්නන්ගේ ජීවන තත්ත්වය දේශසීමාවෙන් අනික් පැත්තේ පිහිටි මෙක්සිකෝ නොගාලේස් සොනෝරා කොටසේ වෙසෙන අයට වඩා බෙහෙවින් ඉහළ මට්ට්මකයි පවතින්නේ. මැක්සිකානු අර්ධයේ වෙසෙන අයට වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් අමෙරිකානු අර්ධයේ වෙසෙන අයට ලබා ගත හැකි අතර ඔවුන් අතර අපරාධ සංඛ්‍යාවද සංසන්දනාත්මක ව ඉතා අඩුයි. අමෙරිකානු අර්ධයේ වෙසෙන අයගේ ආදායමද මෙක්සිකෝ අර්ධයේ නිවැසියන්ගේ ආදායම මෙන් තුන් ගුණයක්.

එවැනි වෙනසක් ඇතිවීමට හේතුවන්නේ කුමක් ද? මෙතෙක් එවැනි අසමානකම් විස්තර කිරීමට සකස් කළ ඉතා බලගතු න්‍යායක් වූයේ භූගෝලීය හේතු පිළිබඳ කල්පිතයයි. එහෙත් භූගෝලීය වශයෙන් එකම තැනක පිහිටි නොගාලේස් දෙනුවර සම්බන්ධයෙන් එම න්‍යාය කිසිසේත් ම ගැළපෙන්නේ නැහැ.

මුල්වරට එම න්‍යාය චිරප්‍රකට ලෙස භාවිත කළේ දහඅටවෙනි සියවසේ විසූ ප්‍රංශ දාර්ශනිකයෙකු වන මොන්ටෙස්කියු විසින්. ඔහු තර්ක කළ අන්දමට සමශීතෝෂ්ණ කලාපයේ ජීවත්වීම හේතුකොට වෙහෙස වී වැඩකිරීම නිසා සහජ කුසලතාවන්ගෙන් පූර්ණ වූ යුරෝපීය මිනිසුන්ට වඩා උණුසුම් නිවර්තන කලාපවල ජීවත්වන මිනිසුන් බෙහෙවින් කුසීතයි, උදාසීනයි.

මේ න්‍යායම නූතන යුගයේ තවත් ආකාරයකින් ඉදිරිපත් කරමින් අප්‍රිකාව, දකුණු ආසියාව සහ මධ්‍යම අමෙරිකාව වැනි උණුසුම් ප්‍රදේශවල ආර්ථික වර්ධනය මෙතරම් මන්දගාමී වී ඇත්තේ ඒ ප්‍රදේශවල ලෙඩ රෝග බහුලව පැවතීම සහ සාපේක්ෂ වශයෙන් නිසරු පසක් තිබීම නිසායයි තර්ක කරන අයද ඉන්නවා.

එවැනි අදහස්වල අතාර්තික බව තහවුරු වන්නේ එකම භූගෝලීය කලාපයක දෙකට බෙදුණු නොගාලේස් දේශ සීමාව දෙපැත්තේ ඇති සමාජයීය වෙනස නිසා පමණක් නොව උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ඇති වෙනසද බටහිර ජර්මනිය හා කලකට පෙර නැගෙනහිර යුරෝපීය රටවල් අතර තිබූ වෙනසද සිංගප්පූරුව, බොට්ස්වානාව, මැලේසියාව වැනි රටවල ඇති කරගෙන තිබෙන දැවැන්ත ආර්ථික දියුණුව ද විමසා බැලු විටයි.

එපමණක් නොවෙයි තවත් සාම්ප්‍රදායික න්‍යාය දෙකක්ද මේ වෙනස සාධාරණීය කළ නොහැකිව අසරණ වී තියෙනවා. ඉන් පළමුවැන්න වන්නේ සංස්කෘතික බලපෑම පිළිබඳ කල්පිතයයි. ලෝකයේ අනෙක් ප්‍රදේශ හා සසඳන විට කාර්මිකකරණය අතින් බටහිර යුරෝපය මේ සා විශිෂ්ට දියුණුවක් ලබා ගැනීමට මූලික හේතුව බටහිර යුරෝපීය රටවල පැවැති ප්‍රොතෙස්තන්ත වැඩ සදාචාරය (Protestant work ethic) නිසා බව ජර්මානු සමාජ විද්‍යාඥයෙකු වූ මැක්ස් වෙබර් පැවසුවා.

එහෙත් කොමියුනිස්ට්වාදී උතුර සහ ධනවාදී දකුණ වශයෙන් දෙකට වෙන්වන තෙක්ම සංස්කෘතික වශයෙන් එකම අන්දමට සමජාතීය වූ එකම අර්ධද්වීපයක පිහිටි කොරියාව දෙස බලමු. මේ දෙරට අතර ඇති පුළුල් අසමානතාව සංස්කෘතික බලපෑම පිළිබඳ න්‍යාය මගින් පැහැදිලි ලෙස විස්තර කළ නොහැකියි. උතුර හා දකුණ අතර ඇති ඒ අසමානතාවට මූලික හේතුව කැපීපෙනෙන ගැඹුරු සංස්කෘතික වෙනස්කම් නොව එකම රට දෙකට වෙන් කළ කෘත්‍රිම දේශ සීමාවයි.

මේ සංස්කෘතික බලපෑම පිළිබඳ කල්පිතය හා බොහෝදුරට සමාන අන්දමින් යොදාගන්නා තවත් එක් න්‍යායක්වන්නේ නොදැනුවත්කම පිළිබඳ කල්පිතයයි. ඒ කල්පිතයට අනුව රටක දුප්පත්කම ඇතිවන්නේ ආර්ථික වර්ධනය ධෛර්යයමත් කරන නිසි ප්‍රතිපත්ති පිළිබඳ දැනුමක් එරටට නොමැතිවීම නිසයි.

මේ මතයට ද ප්‍රතිපක්ෂව ඉතා පැහැදිලි කරුණු ඉදිරිපත් කළ හැකියි. ඒ සම්බන්ධයෙන් ඇති සරල ම කාරණය නම් කාලාන්තරයක් තිස්සේ ම අප්‍රිකානු රටවලට සපයන ලද විදේශාධාර සහ විශේෂඥ උපදෙස් මගින් ඒ රටවල තිරසාර වෙනසක් ඇති කිරීමට අපොහොසත් වී තිබෙන බව දැන් බොහෝ අය පිළිගත් සත්‍යයක් වී තිබීමයි.
එහෙත් ඒ සියල්ලටම වඩා ඒත්තු යන ලෙස ජාත්‍යන්තර අසමානතාව විස්තර කළ හැකි න්‍යායක් අපට තියෙනවා. දැන් අපි අන්න ඒ න්‍යාය ගැන විමසා බලමු.

2. රටවල් අතර ඇති ජීවන මට්ටම්වල වෙනස්කම් වඩා හොඳින් විස්තර කළ හැක්කේ එම රටවල් අතර ඇති ආයතනික සම්ප්‍රදායේ ඇති වෙනස්කම් ඇසුරෙනුයි.

රටවල් අතර ඇති සෞභාග්‍යයේ වෙනස්කම් වලට හේතු විස්තර කිරීමට තැත් කරන පැරණි ගරුගාම්භීර න්‍යායන් මොහොතකට අමතක කරමු. සත්‍ය ඊට වඩා ඉතා සරලයි. ඇත්ත වශයෙන්ම මෙහිදී අන් සියල්ලටම වඩා රටවල් වල සාර්ථකත්වයට වැදගත් ම වන්නේ එකී රටවල දේශපාලනික හා ආර්ථික ආයතන වල ක්‍රියාකාරීත්වයයි.
කිසියම් රටක සෞභාග්‍ය නිර්ණය වන්නේ එම රටේ දේශ සීමා තුළ ආර්ථික චර්යාව මෙහෙයවන ව්‍යුහ පද්ධති සහ නියාමනක්‍රම ආදිය සංයුක්ත වන ආර්ථික ආයතන පද්ධතියේ ස්වභාවයයි. මේ ආයතන පද්ධතියට දේපොළ පිළිබඳ නීති, මහජන සේවාවල කාර්යක්ෂමතාව සහ මූල්‍ය සම්පත් ලබා ගැනීමට ඇති පහසුව ද ඇතුළත් විය යුතුයි.

මේ කියන ආර්ථික ආයතන ඒවායේ අරමුණ අනුව අනත්ර්ග්‍රහණීය (inclusive) ආයතන සහ නිස්සාරක (extractive) ආයතන වශයෙන් ප්‍රවර්ග දෙකකට බෙදා දැක්විය හැකියි.
මේ අතරින් අන්ත්ර්ග්‍රහණීය ආර්ථික ආයතන ආර්ථික සාර්ථකත්වය උත්තේජනය කරවන අතර ඒවා සැලසුම් කර ඇත්තේම ආර්ථික ක්‍රියාකාරකම්වල පුළුල් සහභාගීත්වය ධෛර්යමත් කිරීම සඳහායි. ආර්ථික නිදහස පෝෂණය කිරීමද එම අන්තර්ග්‍රහණීය ආර්ථික ආයතන මගින් ඉටු කරන තවත් වැදගත් කටයුත්තක්.

උදාහරණයකට අමෙරිකානු එක්සත් ජනපදය සහ දකුණු කොරියාව වැනි රටවල වෙළෙඳපොළ නියාමන නීතිරීති උද්ගත වී ඇත්තේ පුද්ගලික දේපළ පිළිබඳ නීතිවල ආභාෂයෙන් මෙන්ම දියුණු බැංකු අංශයකින් සහ ශක්තිමත් මහජන සේවා අධ්‍යාපන පද්ධතියකින් ලැබුණු ආවේෂයෙන්.

සමාජයේ කොයි කාටත් එක සේ පොදු වූ නීතිරීති නිසා තමන්ට මහන්සි වී වැඩකළ හැකි බවත්, වඩ වඩා නිර්මාණශීලී විය හැකි බවත්, සිය උත්සාහයන්ට අනුකූලව ප්‍රතිලාභ ලැබිය හැකි බවත්, මෙන්ම අන් අය විසින් කඩා වඩා ගනු ලැබීමකින් තොරව තමන් උපයාගත් ධනසම්පත් සුරක්ෂිත කළ හැකි බවත් එම රටවල මිනිසුන් අවබෝධකර ගන්නවා.
එයට ප්‍රතිවිරුද්ධව නිස්සාරක ආයතන (extractive institutions) මගින් කරන්නේ සමාජය තුළ වෙසෙන අන් සියලු කණ්ඩායම්වලින් ආදායම උපදවාගෙන වෙනත් සුවිශේෂ කණ්ඩායමක ඵල ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමයි. උදාහරණයක් වශයෙන් යටත්විජිත සමයේ ලතින් අමෙරිකානු රටවල ආණ්ඩු සැකසී තිබුණේ ම ස්වදේශික ජනගහනය සන්ත්‍රාසයට පත් කොට ඔවුන්ගේ දේපොළ බුක්තිය යටත්විජිතවාදීන්ගේ යහපත පිණිස පැහැර ගැනීමටයි. මෙයට අනුරූපව උතුරු කොරියාවේ කිම් පවුල් පාලනය පෞද්ගලික දේපළ අයිතිය අහෝසි කොට මහජනතාව මර්දනය කරමින් තෝරාගත් වරප්‍රසාදිතයන් අතළොස්සක් අතර බලය සංකේන්ද්‍රණය කර ගත් නිස්සාරක පාලනයක්.

ආර්ථික ආයතන මෙන් ම දේශපාලනික ආයතනත් අන්තර්ග්‍රහණීය (inclusive) හෝ නිස්සාරක (extractive) හෝ විය හැකියි.
අන්තර්ග්‍රහණීය දේශපාලනික ආයතනවල මූලික ස්වභාවය වන්නේ බහුත්වවාදී (pluralism) වීමයි. මෙයින් අදහස් කරන්නේ ජනසමාජය සංයුක්ත වී ඇති විවිධාකාර කණ්ඩායම් දේශපාලනික වශයෙන් නියෝජනය වීම තුළින් ආයතනික බලය ඔවුන් අතර සැලකිය යුතු ලෙස බෙදී යාමයි. සත්‍යවශයෙන් ම අන්ත්ර්ග්‍රහණීය වීමට නම් අදාළ ආයතන මධ්‍යගතව පවත්වාගෙන යාම ද අත්‍යවශ්‍ය වෙනවා. බලය මධ්‍යගතවීමේ ප්‍රතිඵලය වන්නේ නීතියේ ආධිපත්‍ය පවත්වා ගැනීමට පහසු වීමයි. එනිසා තම තමන්ගේ අධිමානය (superiority) පවත්වාගැනීම පිණිස එකිනෙක කණ්ඩායම් අතර සටන් කරගැනීම අවශ්‍ය වන්නේ නැහැ.

දේශපාලනික ආයතන තුළ බහුත්වවාදය නොමැතිනම් සහ ආයතන මධ්‍යගතව නොපවතී නම් ඒවා ද සාමාන්‍යයෙන් නිස්සාරක ආයතන වශයෙන් සැලැකිය හැකියි.
අන්තර්ග්‍රහනීය දේශපාලනික ආයතන වල ඇති ප්‍රයෝජනය නම් එමගින් ජනසමාජයේ විවිධ කණඩායම් අතර බලය බෙදා ගැනීමට හැකිවීමයි. මෙය නිස්සාරක ආර්ථික ප්‍රතිපත්ති (extractive economic policies)  ප්‍රතික්ෂේප කිරීමටත් එහි ප්‍රතිඵලයක් ලෙස ජන සමාජයේ හැම සාමාජිකයෙකුටම අන්‍යොන්‍ය වශයෙන් ආර්ථික ප්‍රතිලාභ බුක්ති විඳීමටත් හැකි වෙනවා.

එදිනෙදා ජීවිතය හසුරුවා ගැනීමේදී හා ප්‍රතිලාභ ලබා ගැනීමේදී රටක ආයතනවලින් සිදුකරණ බලපෑම අතිශයින් තීරණාත්මකයි. ජාතියක සාර්ථක අසාර්ථකභාවය ඇත්ත වශයෙන්ම ආයතනවල අභිලාෂය මත ගොඩනැගෙන්නක්.

3. තීරණාත්මක සන්ධිස්ථානවලදී උද්ගතවිය හැකි එක් සිද්ධියක ප්‍රතිඵලයක් වශයෙන් විභින්න (divergent) නොහොත් එකිනෙකට වෙනස් ආයතනික අභිලාෂ බිහිවිය හැකියි.
අන් කිසිම සිදුවීමකට වඩා මධ්‍යකාලීන සහ නූතන යුගයේ මුල් අවදියේදී යුරෝපය කෙරෙහි තදින් බලපෑ එක්තරා විශේෂ සිදුවීමක් ඇතිවුණා. එනම් කළු මරණය (Black Death) නමැති රුදුරු වසංගතයට මුළු යුරෝපය ම ගොදුරු වීමයි. දාහතරවන සියවසේදී ඈත පෙරදිග සිට වෙළෙඳ මාර්ග ඔස්සේ යුරෝපා මහාද්වීපයට අවතීර්ණ වුණ මේ බියකරු වසංගතයෙන් යුරෝපීය ප්‍රජාවෙන් හරි අඩකට කිට්ටු ප්‍රමාණයක් මරණයට පත් වුණා.

මේ දරුණු මනුෂ්‍ය විපත්තියට අතිරේකව, ඒ නිසා ඇතිවුණු ආර්ථික පරිහානිය ඉදිරි ශතවර්ෂ ගණනාවකට යුරෝපයේ ස්වභාවය හැඩගැස්වීමේ ලා විශාල වශයෙන් බලපෑවා.
ඒ නිසා අපට ඒ කළු මරණ වසංගතය ඓතිහාසික වශයෙන් තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි. ඉන් අදහස්වන්නේ කිසියම් තීරණාත්මක සංසිද්ධියක් ජාතියක, මහාද්වීපයක එසේත් නැත්නම් මුළු මහත් ලෝකයේම සමාජයීය-දේශපාලනික බලතුලනය මුළුමනින්ම කණපිට පෙරළා දමන සිදුවීමක් බවට පත්වීමයි.
මේ ව්‍යසනකාරී කළු මරණය පිවිසීමට පෙර යුරෝපා මහාද්වීපයේ සමාජ ආර්ථික ක්‍රමය හැඩගැසුණේ වැඩවසම් ක්‍රමය මගින් මෙහෙයවනු ලැබූ අතිශයින් ම පීඩාකාරී නිස්සාරක අභිලාෂ තිබූ පාලනතන්ත්‍රවල මෙහෙයවීමෙන්.

වැඩවසම් ක්‍රමය යටතේ එකල ඉඩම්වල අයිතිය තිබුණේ රටේ රජතුමාටයි. ඔහු එම ඉඩම් තමන්ට අභිමත පරිදි රදළවරුන්ට පවරා දුන්නා. ඊට හිලව්වක් වශයෙන් රජතුමාට බදු හා සේවා සැපයීමටත් අවශ්‍ය වූ විට යුධකිරීම පිණිස සේනා සම්පත් සපයා දීමටත් රදළවරු කැප වුණා. රදළවරුන්ට පවරා තිබූ ඉඩම් වගා කරනු ලැබුවේ වැඩවසම් ක්‍රමයට ගොවිතැන් කළ අඳ ගොවීන් විසින්. තමන් ලබාගත් අස්වැන්නෙන් වැඩි කොටස බදු වශයෙන් සිය රදළ ස්වාමියාට ගෙවීමට මේ අඳ ගොවීන්ට සිදුවුණා. රදළ ස්වාමියාගේ කැමැත්තකින් තොරව වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වීමට ගොවීන්ට අවසරයක් තිබුණේ නැහැ. හැරත් ගොවීන් කෙරෙහි අධිකරණ බලය පැවැත්වීමේ පූර්ණ අවසරය තිබුණේද රදළ ස්වාමියාටයි.

කෙසේවෙතත් අවසානයේදී කළු මරණ වසංගතය නිසා යුරෝපය පුරා අතිවිශාල ශ්‍රම හිඟයක් ඇති වුණා. මේ නිසා විශේෂයෙන් බටහිර යුරෝපයේ ඉතිරිව සිටි අඳ ගොවීන් බදු බර අඩුකිරීම ඇතුළුව සිය අයිතිවාසිකම් ඉල්ලා සිටීමට මෙය ඉතාමත් ම සුදුසු අවස්ථාව බව වහාම තේරුම් ගත්තා.

එහෙත් නැගෙනහිර යුරෝපයේ දී එය එසේ සිදුවුණේ නැහැ. එහි විසු ගොවීන් බටහිර යුරෝපයේ ගොවීන් තරම් හොඳින් සංවිධානය වුණේ නැහැ. ඒනිසා වැඩවසම් රදළයන්ට තම අඳ ගොවීන් පහසුවෙන් මෙල්ල කර ගැනීමට හැකිවුණා. ඒ අනුව බටහිර යුරෝපයේ මෙන් නොව නැගෙනහිර යුරෝපයේ ආයතන වඩ වඩාත් නිස්සාරක ප්‍රතිපත්ති අනුගමනය කරමින් ගොවීන්ගේ බදුබර තව තවත් වැඩිකිරීමට පෙළඹුණා.

මේ නිසා කළු මරණ වසංගතය බටහිර යුරෝපීය සමාජයේ තීරණාත්මක සංධිස්ථානයක් ඇති කළ බව නිසැකයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් නොබෝ කලෙකින් වැඩවසම් ක්‍රමය දියකර දැමීමටත් තම ආයතනවල නිස්සාරක අභිලාෂ හැකිතරම් අවම කිරීමටත් බටහිර යුරෝපයට හැකිවුණා. එහෙත් නැගෙනහිර යුරෝපය ගමන් කළේ ඊට ප්‍රතිවිරුද්ධ දිසාවටයි.
තීරණාත්මක සංධිස්ථානයකදී වෙනස් අභිලාෂ ඇති විභින්න (divergent) මාර්ගවලට ආයතන බෙදීයාම පිළිබඳ මේ ප්‍රපංචය හඳුන්වන විශේෂ යෙදුමක් තිබෙනවා. එය හඳුන්වන්නේ ‘ආයතනික ප්ලාවිතය’ (institutional drift) යන නමින්. මෙයින් තේරුම් යන්නේ අනෙත් ආකාරවලින් බොහෝ දුරට එක සමාන වූ ප්‍රදේශ ද එකිනෙකට වෙනස් දිශානතියන් බලා ද්විභේදනය වීමට ඉඩ ඇති බවයි.

කළු මරණයෙන් ශතවර්ෂ කිහිපයකට පසු එයට අනුරූප බලපෑමක් ඇති කළ තවත් සිද්ධියක් සිදුවුණා. මෙවර තීරණාත්මක සංධිස්ථානය වුණේ ගෝලීය වෙළඳාම පුළුල් වීම සහ අමෙරිකාව යටත්විජිතකරණයට ලක් වීමයි. එහෙත් ඒ සංසිද්ධි වලින් හැම යුරෝපීය රටකටම වාසි සැලසුණේ නැහැ. ඒ නිසා ආයතනික ප්ලාවිතය කරා ඒ රටවල් යන ගමන තවත් වේගවත් වුණා.

සියවස් ගණනක් පුරා එක සමානව පැවැති රටවල ආයතනික ආකල්ප අතර සුවිශාල වෙනස්කම් බිහි කිරීමට තුඩු දෙන ආකාරයේ ආයතනික ප්ලාවිතයන් ඇති කිරීම පිණිස අවශ්‍ය වන්නේ එවැනි තීරණාත්මක සංධිස්ථාන කිහිපයක් පමණයි.

4. කාර්මිකකරණය කිරීම පිළිබඳ මුල්කාලීන පුරෝගාමින් වූ එංගලන්තය වැනි රටවල සශ්‍රීකත්වයට හේතු වුනේ සියවස් කිහිපයකට පෙර සිට අනුක්‍රමයෙන් දියුණු කරන ලද අන්තර්ග්‍රහනීය ආයතන ක්‍රමයයි.

නූතන යුගයට පාදක වූ කාර්මිකකරණය ඇති වීමට තිබූ බාධක පළමු කොට ම බිඳ දැමූ එක්තරා සුවිශේෂ රටක් වෙයි. එය නම් එංගලන්තයයි. එංගලන්තය කාර්මිකකරණය කිරීමේ ක්‍රියාවලිය ඇරඹුණේ දාහත්වෙනි සියවසේදීයි. දහනමවන සියවස වන විට එංගලන්තය ලෝකයේ සුපිරි බලවතෙක් බවට පත්වුණා.
මෙය ප්‍රශ්න කළ යුතු දෙයක්. ඇයි එංගලන්තය? ඇත්ත වශයෙන්ම ඊට මූලික හේතුව අන්තර්ග්‍රහණීය ආර්ථික ආයතන බිහිකිරීමට මග පෑදූ සෑහෙන කලක් තිස්සේ එංගලන්තයේ පාර්ලිමේන්තුව වැනි දේශපාලනික ආයතනවල සිදු වූ වර්ධනයයි.

මේ දේශපාලනික ආයතනවල සාර්ථක වර්ධනයට මුල් පදනම දැමුණේ බොහෝ කලකට පෙර සිටයි. 1215 දී මැග්නා කාර්ටා ගිවිසුම අත්සන් තැබීම ඉංග්‍රිසි පාර්ලිමේන්තුවේ කලල බීජය ඇතිවීමේ නිමිත්තයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වඩාත් තීරණාත්මක වූ වර්ධනය ඇති වුණේ 1688 සිදු වූ ශ්‍රේෂ්ඨ ඉංග්‍රිසි විප්ලවය නිසායි. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සහයෝගයෙන් දෙවැනි ජේම්ස් එලවා දමා තෙවැනි විලියම් රජකමට පත්වුණා. ඔහුට සහයෝගය දැක්වීම තුළින් රජුගේ බලය අඩු කොට තමන්ගේ බලය වැඩිකර ගැනීමට පාර්ලිමේන්තුවට හැකි වුණා.

රජු මෙන් නොව, ඉඩම් හිමියන්ගේ සහභාගිත්වයෙන් පමණක් තෝරාගනු ලැබුවත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත්වුණේ ඡන්දයකින්. ඒ නිසා ඡන්දයෙන් පත්වුණු පාර්ලිමේන්තුවට තම ඉඩම් හිමි ඡන්දදායකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට සිදුවුණා. එසේ කිරීමේ දී ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ඡන්දදායකයන්ගේ ක්‍රියාශීලී සහභාගිත්වය ධෛර්යමත් කරනසුලු අන්තර්ග්‍රහණීය ආර්ථික ආයතන ගොඩනැගීමටත් සිදු වුණා.

අනතුරුව පාර්ලිමේන්තුවේ මැදිහත් වීමෙන් නීතිමය වශයෙන් බලාත්මක කළ හැකි දේපොළ අයිතිවාසිකම් ඉංග්‍රිසි නීති පද්ධතියට හඳුන්වා දෙනු ලැබුවා. එමගින් තහවුරු කළ ප්‍රබල දේපොළ ආරක්ෂණ නීති නිසා ආයෝජන සහ නවොත්පාදන නිරන්තරයෙන් දිරි ගැන්වුණා.

බැංකු ක්‍රමයද ඊට අනුගාමී ව පාර්ලිමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කරණු ලැබුවා. එංගලන්ත මහ බැංකුව පිහිටුවන ලද්දේ 1694දියි. එහි මූලික කටයුත්තක් වුණේ අවශ්‍ය අන්දමින් ආයෝජනය කිරීම පිණිස එංගලන්ත වැසියන්ට ණය ලබා දීමයි.

එංගලන්තයේ බදු ක්‍රමයද ඊට අනුව ප්‍රතිසංස්කරණය වුණා. නිෂ්පාදන කර්මාන්ත දිරි ගැන්වීම පිණිස යපස් උදුන් වැනි ඇතැම් කාර්මික නිෂ්පාදන භාණ්ඩ සඳහා බදු පැනවීම අහෝසි කරනු ලැබුවා. ඒ වෙනුවට ඉඩම් බදු ආදේශ කරනු ලැබුවා. රාජ්‍ය නිලධාරිතන්ත්‍රය පුළුල් කරනු ලැබූ නිසා සුරාබදු අයකිරීම වඩා කාර්යක්ෂම කර ගැනීමට ද හැකිවුණා. බදු ප්‍රතිපත්තියේ මූලික අරමුණක් වුණේ බදු මුදල් නැවත ආයෝජනය කිරීම තුළින් ආර්ථිකය උත්තේජනය කිරීමයි.

ඒ නිසා එංගලන්තයේ යටිතල පහසුකම් කැපී පෙනෙන අන්දමින් දියුණු වුණේ දහ අටවැනි සහ දහ නවවැනි ශතවර්ෂ වලදීයි. පළමුවෙන්ම එංගලන්තය පුරා ඇළ මාර්ග ජාලයක් ගොඩනැගුණු අතර ඉන්පසු දුම්රිය මාර්ගද ව්‍යාප්ත කරනු ලැබුවා. මේ පරිවහන ක්‍රම දෙක මගින් රට පුරා නිමි භාණ්ඩ සහ අමු ද්‍රව්‍ය පරිවහනය කාර්යක්ෂම කිරීමට හැකි වුණා.
මේ සියලු සාධක එංගලන්තය ශීඝ්‍රයෙන් කාර්මිකකරණය කිරීමට සමත් වුණා. මේ වන විට විශාල පරිමාණයෙන් නිමි භාණ්ඩ නිපදවීමට අවශ්‍ය හැකියාව එංගලන්තයේ කර්මාන්තකරුවන් විසින් ගොඩනගනු ලැබ තිබුණා. එම භාණ්ඩ ලෝකය පුරා අලෙවි කරනු ලැබූ අතර එතුළින් ලැබුණු ඉමහත් ලාභය මගින් බදු ආදායම ඉහළ නැංවීමට හැකි වූ නිසා ආර්ථිකය නිරන්තරයෙන් ප්‍රතිපෝෂණය වුණා.

ඉදින් ධනවාදය එංගලන්තයේදී ඉතා හොඳින් වැඩ කළා. එහෙත් මේ ආර්ථික වර්ධනය සහ ඊට උදව් වූ යටිතල පහසුකම් නිසා එංගලන්තයේ ආයතන වඩා අන්තර්ග්‍රහණීය කිරීමට හැකිවූයේ කෙසේද? ඊළඟට අපි ඒ ගැන සාකච්ඡා කරමු.

මතු සම්බන්ධයි