‘ස්වර්ණ පුස්තකය’ වේයෝ කති

ටිරන් කුමාර බංගගමආරච්චි

හැම තුරු මුදුනකම වෙළෙන්දෙක් වසා සිටී. එයින් මග හැරීම පහසු කර්තව්‍යයක් නොවේ. මහා ඉහළින් සමරණ ස්වර්ණ පුස්තකයෙහි මුඛ්‍ය පරමාර්ථයම වෙළෙඳ ආධිපත්‍යයමය. එය අද වන විට වෙන්දේසියේ දැමෙන මල් වට්ටියක් වී ඇත. ලේඛකයා එය පූජනීයව හඟිනවා යැයි මිථ්‍යාවේ ගිලිය යුතුද නොවේ. අද ලේඛක පොරය කෙසේ හෝ ස්වර්ණ පුස්තක සම්මානය දිනීමය. ඒ සම්මානයේ ඇති ගාම්භීරකම නිසාද? නැත. ඒ සමග දෙන විශාල මුදල් කන්දරාව නිසාය. ඒ නිසාම ස්වර්ණ පුස්තකය සඳහාම ලිවීමත් දැන් ආරම්භ වී ඇත. පොත් ලියා පළක් නැතැයි දෙඩූ ලේඛක බිරින්දෑවරු ලේඛක ස්වාමියෝ දිරි ගන්වනවා නියතය. ලේඛක කොටස ලෙස ලැබෙන සොච්චමෙන් ලේඛකයකුට කළ හැකි සීමාසහිත වැඩ කටයුතුවලට වඩා ස්වර්ණ පුස්තකය දිනාගතහොත් යම් තරමින් ගොඩයා හැකිය. පොත් දුසිමක් ලියා ලැබිය නොහැකි මුදලක් එක් පොතකින් ලැබිය හැකිය. ඒ නිසාම දැන් දැන් ස්වර්ණ පුස්තකය දිනීමට ආශා නොකරන ලේඛකයකු සිටිය නොහැකිය. එහි කිසිදු අවැඩක් නැත.

පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ලේඛකයාට දෙන මේ මුදල මෙන් දස ගුණයක් මේ ව්‍යාපෘතිය හරහා ගොඩ ගසා ගන්නා බව සහතිකය. ස්වර්ණ පුස්තකය දිනන පොත විකිණෙන්නේ උණු කැවුම් මෙනි. එලෙස දිනන පොත විසි දහසක්, තිස් දහසක් ගියැයි දැන්වීම් පළ කිරීමද කලාවක් වී ඇත. ඒ සැම වෙළෙඳ උපක්‍රමය. පොත් කියවන්නෙක් හෝ ළඟ තබා ගන්නෙක් ඒ පොත මිලට නොගෙන සිටීම ඒ හරහා පාපයක් කොට හමාරය. අවසානයේ ස්වර්ණ පුස්තකය දිනූ පොත එකෙන්ම විශාල ප්‍රමාණයක් විකිණෙන්නේය. මේ නිසා ලේඛකයන්ගේ ස්වර්ණ පුස්තක දිනීමේ සිහිනය මෙන් දෙගුණ තෙගුණ උනන්දුවක්, තරගයක් ප්‍රකාශකයන් තුළ ඇත. ඒ තම ප්‍රකාශනය ස්වර්ණ පුස්තකය කොට ඒ පොතෙන්ම ගොඩ යෑමටය. මේ හැංගි හොරා වන අමුතු සන්තෑසියක් නොව එළිපිටම වන උපක්‍රමයක්ය. වෙළෙඳ අර්ථයෙන් එය හරිය. සැවොම පොත්කාරයෝය. එබැවින් ඔවුහු අපූරුවට පොත් පෙරළති.

ඕනෑම දෙයක අවසාන ඵලය විකිණීමය. එහි දොසක් නැත. දැන් දැන් දෝස ඇත්තේ ඒ සඳහා යන මාර්ගය දූෂිත වන බැවිනි. ස්වර්ණ පුස්තක ආරම්භයේ සිටම ඒ සඳහා තෝරන කෘතියට විවේචන ඒම සිදුවන්නේය. සැවොම එකහෙළා පිළිගන්නා අනුමත කරන පොතක් සෙවිය නොහැකිය. එබැවින් ලියන්නෝම තමාගේ පොත හැර වෙන පොතක් පොතක් යැයි නොසිතති. මේ නිසා කවුරු දින්නද? පරාජය වූවන්ගෙන් ඉතිරි වන්නේ දොස්මුරමය. එය සාමාන්‍ය සරල සිද්ධියකි. එහෙත් ඊට වඩා බරපතළම අත්වැරැද්ද පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නිතර කරනුයේ පොත් තේරීම සඳහා වැඩකට නැති විනිශ්චය මණ්ඩල පත්කිරීමය. කෑමක් මෙන් දිව ගා රස බැලීමට පොතකින් නොහැකිය. ඒ සඳහා විශාල වෙහෙසක්, කැපවීමක් අත්‍යවශ්‍යය. එහෙත් මේ විනිශ්චය මණ්ඩලයන් ඒ සාධාරණත්වය ඉටු කරනවා යැයි සිතිය නොහැකිය. ඒවාට අදාළ පිරිස් තෝරා ගන්නේ කුමන හේතු මතද යන්නම ප්‍රහේළිකාවකි. දන්නා හිතවත්කම් මත මේ පුද්ගලයන් පත්කර ගන්නා බව දැන් දැන් පැහැදිලිය. ඊට ඔවුන් තෝරා ගන්නා තේරීම්ම මනාව පෙන්වති. මෙය පිටුපස ප්‍රකාශකයෝ නැතැයි අපි ඇදහිය යුතුද?

ස්වර්ණ පුස්තකය සඳහා තෝරා ගන්නා පළමු වටයට අදාළ පොත් දොළහ ප්‍රසිද්ධ කර හමාරය. මේ තේරීමම බරපතළ ගැටලු සහගතය. මුලින්ම දොළහට තේරීමත්, පසුව අවසන් පහට ඒමත් පහෙන් එකක් ස්වර්ණ පුස්තකයවීමත් දක්වා යන මගෙහි බැරෑරුම්ම සහ අසීරුම කාර්ය පොත් දොළහ තේරීමය. ඊට ගිය වසරේ ප්‍රකාශිත පොත් කන්දරාවක් සෑම තේරීම් සාමාජිකයෙක්ම කියවිය යුතුය. කියවීම මූලිකම දෑය. ඔවුන්ට සොච්චමක් වුව ඒ සඳහා වටිනාකමක්ද වේ. එහෙත් වටහා ගැනීම අවබෝධ කර ගැනීම කෙසේ වෙතත් මේ සාමාජිකයන් ඇතැම් පොත් කියවනවාද යන්නත් සැකය. ඒ සැකයට අදාළ සාධාරණ හේතු ඕනෑතරම් ඇස් පනා පිටම තිබේ. මෙවර ස්වර්ණ පුස්තකයට අදාළ පොත් දොළහ තේරූ විනිශ්චය මණ්ඩලය දෙස බලමු. ඒ මණ්ඩලය මෙසේය. එච්.ඩී.එස්. මල්කාන්ති, තිස්ස ප්‍රේමසිරි, නිශානි දිසානායක, ශ්‍රීමතී චන්ද්‍රලතා මුණසිංහ, අශෝකා තිලකරත්න, ශෂිකා පෙරේරා, ඉරේෂා විමලරත්න, විමල් කැටපේආරච්චි, රෝහිත වනිගසේකර, මහාචාර්ය නෙවිල් ඩී. පෙරේරා ඒ අතරය. මේ අය ගැන වෙන වෙනම ලිවීමෙන් පළක් නැත. ඇතැමුන් ගැන ලියන්නට තරම් දන්නා දෙයකුත් නැත. සමස්තයක් ලෙස ගෙන කතා කරන්නේ නම් මොවුන් කාගේ බහකට හෝ මේ පොත් ඇතුළත් කළා විය හැක. එසේ නොවන්න මෙහි තිබිය යුතු පොත් එළියට විසිවන්නට කොහෙත්ම විදිහක් නොවේ. මේ සාමාජිකයන්ගෙන් අපි මෙසේ අසමු. අවංකවම තම කාර්යය ඉටු කළේ නම් ගියවර ප්‍රකාශිත පොත් අතරට විශේෂයෙන්ම පොත් දොළහ අතරට මොහාන් රාජ් මඩවලගේ ‘කලම්බු’ මංජුල වෙඩිවර්ධනගේ ‘පැරිස් වලාකුළු’, එරික් ඉලයප්ආරච්චිගේ ‘රතු පලස’, සේපාලි මායාදුන්න ලියූ ‘දුග්ගන්නාව’ ඇතුළත් නොවූයේ කෙසේද? ගියවර ප්‍රකාශිත පොත් අතර මේ පොත් අවසන් දොළහට නොතේරෙන්නේ නම් මේ පාදක මණ්ඩලයේ සාමාජිකයන්ගේ දැනුමේ බරපතළ ගැටලු ඇති බව කිව යුතුය. වටහා ගැනීමේ ශක්තිය හීනවී ඇති බව කිව යුතුය. කොටින්ම මේ අය සැබැවින්ම පොත් කියවන්නෝද යන්න වෙනම ප්‍රශ්න කළ යුතුය. මේ පුද්ගල චරිත දෙස බලන කල මොවුන්ට ඉහත පොත් නොතේරෙනවා විය හැකිය. එහෙත් විනිශ්චය මණ්ඩලයක් යම් විචාර බුද්ධියක් සහිත පිරිසකගෙන් සමන්විත විය යුතුය. අප කතාව පටන් ගත්තේම මේ සියල්ල වෙළෙඳ උපක්‍රම බව කියමිනි. ස්වර්ණ පුස්තක මූලික වටයේ පොත් දොළහ පවා සැලකිය යුතු අලෙවියක් ලබයි. මේ සාමාජිකයන් නොකියෙව්වාද පොත් කියවන සමාජය මේ දොළහ කියවා බලා ස්වර්ණ පුස්තකය තම තම නැණ පමණින් තෝරති. මේ නිසා ප්‍රකාශකයෝ මූලික දොළහේ සිටම තම බිස්නස් එක අරඹති. මේ නිසා දොළහ තේරීමම ව්‍යාපාරික වැඩක් යැයි සිතේ. එයට ඇහින්දාස් විනිශ්චය මණ්ඩලයක් පත් කරන්නේම ඒ පටු අරමුණ ජයගැනීමට බව පෙනේ. ඉහත පොත් අවසන් දොළහට නොතේරුණේම මේ පාදක මණ්ඩලය අවංක නැති නිසා බව අපගේ හැඟීමය. ඔවුහු වංක වී ඇත්තේ විවිධ අරමුණු නිසා විය හැකිය. ඒ කුමන අරමුණක් නිසා හෝ මොවුන් කරනුයේ ලේඛක ඝාතනයකි. සාමූහිකව එක්ව ඝාතනය කිරීමකි. ඉහත සඳහන් පොත් අවසන් දොළහට නොව අවසන් පහට පැමිණ ස්වර්ණ පුස්තකය දිනිය හැකි මට්ටමේ පොත්ය. එහෙත් ඒවා දොළහටවත් ඇතුළත් නොවේ නම් මේ පාදක මණ්ඩලය ගැන බරපතළ විපරමක් කළ යුතුය.

අද වන විට නවකතාව පුළුල් මං විවර කරගෙන විවිධ පරාසවලට ගමන් කරමින් සිටී. මොහාන්ගේ ලිවීම් වූ කලි සරල ආකෘතියෙහි ගැඹුරු අරුත් සපයන්නෙහිය. එය මතුපිටින් බලන්නකුට හසු නොවේ. නොකියවන අයට කෙසේවත් හමු නොවේ. මංජුල වූ කලී භාෂා වික්‍රමයක් හරහා තම දේශපාලන මතය චරිතවලට කා වද්දා පාඨකයාට එන්නත් කරන්නෙකි. එරික් යනු ශල්‍ය වෛද්‍යවරයෙකි බඳු සූක්ෂ්ම ලියන්නෙකි. සේපාලි ‘දුග්ගන්නාවෙන්’ ඉතිහාසයක පරාමිතීන් පාඨක හද මනස හා ගටයි. එහෙව් වටිනා සම්පත් මගහැරුණේ නොව මග හළා ගියා යන්න නිවැරදිය. මේ සැම සමග බොහෝ අයට විවිධ ආරෝවන් තිබිය හැකිය. ඒ කිසිවක් මොවුන්ගේ ලිවීමේ දක්ෂතා හෑල්ලු කරන්නට හේතු නොවේ. අපට සිටින අතළොස්සක් වූ ලේඛක රංචුව අතර ඉහළින්ම සිටින කීපදෙනා අතර මොවුහු සිටිති. ඒ ගැන විවාදයක් නැත. මොවුන්ගේ පොත් දොළහටත් නොතේරෙනවා කීම ඉළ ඇදෙන විහිළුවකි. විනිශ්චය අරභයා වූ බරපතළ ඛේදයකි.

මේ බොහෝ සාමාජිකයෝ කතාකරුවාගේ ප්‍රවාදය ගැඹුරින් තේරුම් ගැනීමට මහන්සි නොවන බව පැහැදිලිය. මේ ලේඛකයන්ගේ ප්‍රවාද පහසුවෙන් සොයා ගත හැකිද නොවේ. මොවුන් විශේෂ වන්නේද එබැවිනි. මංජුලගේ පොත් තිත්ත කසායක් මෙනි. බොහෝ අය එය බාගෙට කියවා නවත්වති. එබැවින් එහි ගුණයක් නොවිඳිති. එහෙත් සමීක්ෂකයකු මේ සාමාන්‍ය රසිකත්වය ඉක්මවා මංජුලගේ යටි පෙළ අල්ලා ගත යුතුමය. ලිංගිකත්වය මොහාන්ගේ ප්‍රවාදයේ මූලිකාංගයය. එරික් පවා ප්‍රහේළිකාවකි. ප්‍රහේළිකා වෙහෙස වී පිරවිය යුතු දෑය. එහෙත් විනිසුරුවෝ තවමත් හද්ද පරණය. එරික් මතුකර දක්වන ගෝලීය නවකතා දර්ශනය මොවුන්ට විෂය වන්නේම නැත. මොවුන් තෝරන කතාවලින්ම ඒ බව වැටහේ. ඉතා පහසුවෙන් වටහාගත හැකි කතා තෝරන ළාමක පිරිසක් බව මොවුන්ගේ තේරීමම වටහා දේ. ඒවාද උඩින් පල්ලෙන් අතගා තෝරන්නට ඇති දෑය. බැලූ බැල්මට පැහැදිලි වන්නේ මොවුන් ලබා ගන්නා මුදලටද සාධාරණය නොකරන බවය. එනම් පොත් නොකියවන බවය. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ප්‍රබලයන්ට තමන්ගේ එක පොතක් හෝ දොළහට ඇතුළත් නම් ඒ ඇතිය. ලංකාවේ පොත් ප්‍රකාශකයෝ තනිකරම මුදලාලිලා මිසක ඉන් එහා අරුතක් ඔවුන්ට නොපවතී. ඔවුන්ට තමන්ගේ එක් පොතක් හෝ මේ වටයේ කැරකි කැරකී තිබුණහොත් එය අවසාන පහට ගොස් තමාට වාසනාව ගෙනෙන බව මොවුහු දනිති. ලේඛකයෝ මේ ප්‍රකාශකයන්ගේ තුරුම්පු වී ඇත.

පොත් කියවීම ඇබ්බැහියකි. පුරුද්දකි. එක්තරා විදිහකට උමතුවකි. එහෙත් මේ මණ්ඩලවල අය නම් මේ තරමට හෝ කියවනවා ඇත්තේ ගාණක් ගෙවා මණ්ඩලවලට පත් කරන නිසා විය යුතුය.

‘ස්වර්ණ පුස්තක’ සම්මානය අබිබවා යන්නට නම් ඊට වඩා වැඩි මුදලක් වෙනත් සම්මානයක් හරහා දිය යුතුය. සම්මානයක වටිනාකම රැඳෙනුයේ සම්මත තේරීම්හි විවෘතභාවය හා ප්‍රදානය කරන මුදලේ අගය මතය. ‘ස්වර්ණ පුස්තකය’ තුළ ඇත්තේ මුදලේ අගයය. මෙය සාමූහික ජාවාරමක් වී ඇත. පොත්කාරයෝ සමග සෙල්ලම් නැත. ඒ ඔවුන් පොත්කාරයෝ වන බැවිනි. ප්‍රකාශකයෝ ‘ස්වර්ණ පුස්තකය’ හරහා කරන්නේද පොතක් දැමීමය. පොත් කියවන්නට නම් පොත් පෙරළිය යුතුය. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ඒ පොත පෙරළා බොහෝ කල්ය. දැන් එහි ඇති දෑ කට පාඩමින් කිව හැකිය. නුසුදුස්සෝ මේ කමිටුවලට දාන තරමටම මෙම සංගමය සුදුස්සෝ වෙති. මෙය දැන් ස්වර්ණ පුස්තකය නොව වෙළෙන්දන්ගේ පුස්තකයය. එහි මූලික වටයේ සිට අවසානය දක්වා ඇත්තේ වෙළෙඳ උපක්‍රමය. හැම ප්‍රධාන ප්‍රකාශකයෙක්ම මේ ගැන දැනුවත්ය. මෙහි ලේඛකයා යනු හොඳම වෙළෙඳ භාණ්ඩයය. ඒ අතරට බාල බඩු තේරීම අපරාධයකි. එයද හිතා මතා කරන බව ඉහත සඳහන් කළ පොත් කපා හැරීමෙන්ම පැහැදිලිය. මේ විනිසුරු මඩුල්ලෙන් ඔවුන් තේරූ පොත් දොළහට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිය. එහෙත් කැපී ගොස් ඇත්තේ හොඳම පොත් බව කීමට අපට අයිතියක් ඇත. මේ සම්මත විනිශ්චය උදෙසා සාහිත්‍ය ඥානයෙන් හෙබි විනිසුරුවන් කවදා තෝරා ගනිත්දැයි කවුරු දනිත්ද? එතෙක් මේ පණ්ඩිතමානී මෝඩ තකතීරුවන් නිරුවත් කළ යුතුමය. ඒ අතර විනිසුරුවෝ මෙන්ම ප්‍රකාශකයෝද සිටිති. මේ දැනුවත්ව වන දැනුවත්ව කරන ව්‍යාපාරයකි. ඒ හේතුවෙන් ඉහතා හොඳ පොත් කැපී යෑමෙන් ඒවා වැඩි පාඨක ප්‍රමාණයක් අතට යෑම වැළකීම මහා අපරාධයකි. අද වූ කලී අපරාධම ඇගැයෙන සමාජයකි. ඉතින් කවර කතාද?