දානෙටත් එන වීර බෑණා

ටිරන් කුමාර බංගගමආරච්චි

ලසිත් මාලිංග පිළිබඳ හීනි කතාබහක් දිගෑදෙමින් තිබේ. ඒ මාලිංගගේ ලංකා ගමන් පිළිබඳවය. මාලිංගගේ නැන්දනිය මියයෑමත් සමග මාලිංග ලංකාවට ආවේය. ගියේය. කුමන කරුණු මත හෝ එය සාධාරණය කළ හැකි හේතු ඇත. ඉන්පසු මාලිංග නැන්දනියගේ හත් දවසටත් එනම් දානමය පිංකමටත් මෙරටට ආවේය. සැබැවින්ම ඇසිය යුතු පැනය නම් මේ කුමන නාඩගමක්ද යන්නය. මාලිංගගේ මේ ලංකා ගමන අපට කියනුයේ කුමක්ද? ඔහුට ලෝක කුසලාන තරගාවලිය මහ කජ්ජක් නොවන බවද? අනෙක් අතට මුදල් ඉපැයීමත් සමග මේ පෙන්වනුයේ ඔහු මහා කෙරුමකු බවද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අයාලේ යන බව නොරහසකි. එසේ නොවන්නට මාලිංගට මෙවැනි කෙරුම් කෙරිය නොහැකිය. මාලිංග දක්ෂයකු බව වෙනම කතාවකි. එහෙත් ඔහු මේ වන විට එතරම් දක්ෂයකු නොවන බවද කිව යුතුය. අයි.පී.එල්. තරගාවලියේ අවසන් පන්දු වාරය අල්ලාගෙන කතා කිරීම නොමනාය. අප කියනුයේ මාලිංග නැන්දනියගේ දානමය පිංකමට ඒම වැරදිය. ඊට ඔහුට දඬුවම් කළ යුතුය. අඩුම තරමේ තරගයක් හෝ ඔහු බංකුවේ තැබිය යුතුය.

ලෝක කුසලාන තරගාවලියක් යනු මෙතරම් හෑල්ලුවට ගන්නා එකදු කණ්ඩායමක් හෝ ක්‍රීඩකයන් සිටිය නොහැකිය. ඒ ශ්‍රී ලංකා පිලම විය යුතුය. එංගලන්ත ගමන දිගු කාලයක් ගතවන දුෂ්කර ගමනකි. මාලිංගගේ ඒමත් සමග ඔහුට පුහුණු කාලය මගහැරේ. අනෙක් අතට තෙහෙට්ටුවත් සමග උපරිමය කළ හැකි නොවේ. ඒ සියල්ල පසෙක ලා කණ්ඩායමකට විනයක් තිබිය යුතුය. ලෝක මට්ටමේ තරගාවලියක් නියෝජනය කරද්දී මීට වඩා කැපවීමක් අවශ්‍යය. දානයට එන කැපවීම ඔහු තම වෘත්තියට නොකරන්නේ ඇයි? මාලිංග තමන් රස්සාවක් කරන බව පිළිගනී. රට වෙනුවෙන් යැයි පම්පෝරි නොගසයි. එය හොඳය. එහෙත් දැන් එය ඕනෑවට වඩා විකාර වී ඇත. ලෝක කුසලාන තරග වැඩක් නෑ. මට නැන්දගේ දානය වැදගත් යැයි ඔහු කියන කතාවය. මාලිංගට නැන්දම්මා හම්බ වුණේද ක්‍රිකට් නිසාම බව මතක් කළ යුතුය. ක්‍රිකට් නොවන්නට මාලිංග රත්ගම මාලිංගමය. තමන් කරන්නේ රස්සාවක් නම් රස්සාවට අවංක විය යුතුය. මාලිංග මෙවර නායකත්වය ඉල්ලාම සිටියේය. ඔහු නායකයා වූවා නම් ඔහු නැන්දනියගේ මළගෙදරට හෝ නොඑන බව අපගේ උපකල්පනයය. මාලිංග මේ කරනුයේ දිමුත්ට කොකාපෙන්වීමකි. මාලිංග පමණක් නොව ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම තිසරලා ද කරන්නේ දිමුත්ට ඇන්නීමට ක්‍රියාකිරීමය. දිමුත් කරුණාරත්න සැබැවින්ම අපූරු නායකයෙකි. ඔහු සිය වෘත්තිය මනාව ඉටු කරන්නේය. ඔහුට අවකංව සහය වන්නේ කුසල් ජනිත් සහ නුවන් ප්‍රදීප් වැනි ක්‍රීඩකයන් පමණි. සෙසු කුහකයෝ ජයග්‍රහණ හරහා දිමුත් මතුවෙතැයි හොර කොටති. මේ ඇත්ත තත්ත්වයය. මේ ජරා ක්‍රමය මීට පෙර සංගක්කාර සහ මහේලා ද කළේය. ඔවුන් තිලකරත්න ඩිල්ෂාන් නායකයාව ඉද්දී කළේම ඔහුට ඇන්නීමය. දැන් මාලිංග, මැතිව්ස්, තිසර කරන්නේද එයමය. මොවුන් ඉවත් කර වෙනත් ක්‍රීඩකයන් ආදේශ කර තරග වැදුණහොත් පරාජයන් වුව නම්බුකාර විය හැකිය. මාලිංග නැන්දම්මාගේ දානයට ඒමෙන් කියනුයේ මෙරට ක්‍රිකට් මළගමද ඔවුන් ජයට සමරන බවය.

මේ ගුවන් ගමන් මාලිංගගේ මුදලින් වනවා ඇත. මාලිංගලා හම්බ කර ඇති මුදල් කන්දරාව අනුව මේවා කජ්ජක් නොවේ. එහෙත් මෙරට වෙනත් ක්‍රීඩාවක අයකු විදෙස් ගත වුවහොත් ඔහුට අම්මා, තාත්තා මළාද ඒ එන දවසට මිස නැවත ඒමක් නැතිය. එකක් ඔහුට මාලිංගට මෙන් මුදල් නැත. අනෙක ක්‍රීඩාවකදී ඔහු ඒ වෙනුවෙන් කැපවී ඇති බැවිනි. වසර ගණනාවක් දුක් විඳ, කැපකිරීම් කොට ලෝක මටටමේ තරගාවලියකට යනුයේ දාන කන්නට එන්න නොවේය. තමන් කරන්නේ වෘත්තියක් බව දන්නේ නම් රට දිනවීමත් ඒ වෘත්තියේම කොටසක් බවද දැනගත යුතුය. මේ ලෝක කුසලාන තරගාවලියත් සමග මාලිංග, මැතිව්ස්, තිසර සමුගන්නේ නම් හෝ ඔවුන්ට සමුදෙන්නේ නම් මැනවිය. රටට අවශ්‍යවන්නේ පුද්ගලයෝ නොව, වාත්තීය මට්ටමේ කණ්ඩායමක්ය. එංගලන්තය, ඉන්දියාව කොතරම් වෘත්තිමය මට්ටමකට පැමිණ ඇත්ද? ඔවුන්ගේ කණ්ඩායම් හැඟීම කොතරම් ප්‍රබලද? ක්‍රීඩා විලාසය මොනතරම් පියකරුද? තරගකාරීද? බංග්ල්දේශය මොනතරම් අභිමානවත්ද? ඔවුන්ය නියම වෘත්තීය ක්‍රීඩකයෝ. දිමුත්, කුසල් ජනිත්, නුවන් නුඹලා මාලිංග, මැතිව්ස්, තිසරට වඩා නියම වෘත්තීය ක්‍රීඩකයෝය. හෙට දවස නුඹලාගේම විය යුතුය. මාලිංග දැන් ක්‍රිකට්වලට වඩා දාන බණට ආසය. ඒ බව ඔහු තකහනියිමේ ඔප්පු කොට ඇත.