කුසල් පෙරේරා දඬුකඳේ ගැසීමේ යහපාලන වෑයම

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවේ 1(අ) වගන්තියට අනුව ‘සෑම පුරවැසියකුටම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය’ එය එසේ වුවද දේශපාලන විචාරකයකු මානව හිමිකම් ක්‍රියාධරයකු සහ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන කුසල් පෙරේරා විසින් “From Islamic Terrorism to Marauding Sinhala Buddhist Violence” යන ශීර්ෂ පාඨය යටතේ ලියන ලද ලිපිය ඉකුත් මැයි 17 වෙනි දින ඬේලි මිරර් (Daily Mirrar) පුවත්පතේ පළ වීමෙන් පසු එය තුළින් ආගම්වාදය රට තුළ අවුස්සන බවට පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සංවිධානාත්මක අපරාධ අංශය විසින් කොළඹ මහේස්ත්‍රාත් උසාවියට කුසල් පෙරේරාට විරුද්ධව චෝදනා ගොනු කිරීමේ සැලැස්මක් තිබූ බව වාර්තා වේ. එමෙන්ම ඬේලි මිරර් පුවත්පතේ කර්තෘවරයාගෙන් එම ලිපිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමටද පොලිසිය උත්සාහ කර තිබෙන අතර එම උත්සාහයේදී නීතිමය වශයෙන් තිබූ අඩුපාඩුවක් මත එම උත්සාහය මඟ හැරී ගිය බව ඬේලි මිරර් කර්තෘ කේසර අබේවර්ධන පැවසීය.
කුසල් පෙරේරාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබනුයේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි සි සි පි ආර්) පනත 3 වන වගන්තිය යටතේ බව දැන ගැනීමට ලැබිණ. 3 (1) සහ (2) උප වගන්තිවල මෙසේ දැක්වේ.
‘කිසිම තැනැත්තෙකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම නොකළ යුතුය.’

2(1) වන උප වගන්තියේ සඳහන් වරදක්
(අ) සිදු කිරීමට තැත් කරන
(ආ) සිදු කිරීමට ආධාර හෝ අනුබල දෙන හෝ
(ඇ) සිදු කරන බවට තර්ජනය කරන සෑම තැනැත්තෙක්ම මේ පනත යටතේ වූ වරදකට වරදකරු වන්නේය.

ඒ අනුව කුසල් පෙරේරා වරදක් කර ඇත්ද? නැද්ද? විමසා බලා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ දඬුවම් පැමිණ වීම මෙම පනත අනුව සිදුවන්නේ මෙසේය.
‘(3) මේ වගන්තියේ (1) වන උප වගන්තිය හෝ (2) වන උප වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට තීන්දු කරනු ලබන තැනැත්තෙකු මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබීමේදී බරපතල වැඩ ඇතිව අවුරුදු දහයකට වැඩි නොවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කරනු ලැබිය යුතුය.

(4) මේ වගන්තිය යටතේ වූ වරදක් සංඥය සහ ඇප දිය නොහැකි වරදක් විය යුතු අතර, එවැනි වරදක් සිදු කර ඇති බවට සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින කිසිම තැනැත්තකු විශේෂ අවස්ථානුගත කරුණු වලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදා හරිනු නොලැබිය යුතුය.’

පොලිස් ආරංචි මාර්ග වලට අනුව කුසල් පෙරේරාගේ ලිපියට එරෙහිව පැමිණිල්ල ගොනු කර තිබෙන්නේ ගුවන් හමුදාවේ හිටපු එයාර් වයිස් මාර්ෂල්වරයකු විසිනි.
ඉංග්‍රීසි සහ සිංහල දෙබසින්ම ලිපි ලියමින් සියලු ආකාර වාර්ගාවදයන්ට එරෙහි ජනමතයක් වෙනුවෙන් පෙනී සිටින කුසල් පෙරේරාගේ සමාජ මෙහෙවර පිළිබඳ සර්වෝදය ආයතනයේ ලේකම්, වෛi වින්‍යා ආරියරත්න මෙසේ පවසයි.

‘කුසල් පෙරේරා ආගම්වාදී, ජාතිවාදි ලිපි ලියන්නෙක් නොවේ. ඔහු ලියන ලිපි මගින් ආගම් අතර බෙදීමක් ඇති වන්නේ නැහැ. ඔහු මේ මොහොතේ වැදගත් මෙහෙවරක් රටට කරනවා. දේශපාලන විචාරකයකු වන ඔහු මේ මොහොතේ කරන මෙහෙවර රටට අවශ්‍යයි. එසේ නොකළ විට ඒක පාර්ශ්විය තොරතුරු පමණයි ජනතාවට දැන ගැනීමට ලැබෙන්නේ.’

වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා වත්මන් රජය ICCPR  නීතිය යොදා ගැනීම ගැන දක්වන්නේ මෙවැනි අදහසක්.

‘ශ්‍රී ලංකාව පාර්ශ්වකාරයකු ලෙස ICCPR  එකට එකතු වී ජනතාවගේ සිවිල්, දේශපාලන, ආගමික අයිතීන් රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කර තිබෙනවා. එම පනතේ ප්‍රධාන අරමුණ වන්නේත් එම අයිතීන් සුරැකීමයි. එහෙත් වර්තමානයේ අපට දක්නට ලැබෙන්නේ ICCPR  එක මර්දනීය නිතීයක් ලෙස කටයුතු කරන බවයි. පසුගිය කාලයේදී ICCPR  එක යටතේ අත්අඩංගුවට ගෙන දඬුවම් කළ යුතු විශේෂයෙන්ම පල්ලිවලට පහර දුන් අය, මුස්ලිම්වරුනට පහර දුන් අය, ජාතිවාදය, ආගම්වාදය හා වෛරය වපුරපු අය අත්අඩංගුවට ගෙන ඔවුන්ට පහසුවෙන් ඇප ලබාදීම සිදු වුණා. ඒ අයට ICCPR  එක යටතේ පොලිසිය කටයුතු කොට නඩු දැමීමට පෙළඹුනේ නැහැ. උදාහරණ වශයෙන් මහසෝන් බලකායේ අමිත් වීරසිංහ, ඒ වගේම ඩෑන් ප්‍රියසාද්, බොදු බල සේනාව, රාවණ බලකාය යනාදිය හඳුන්වා දිය හැකියි.

ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට, වර්ගවාදයට ICCPR  එක මගින් ආරක්ෂාව සලසා දී ජාතිවාදය, වර්ගවාදය හා ආගම් වාදයට එරෙහිව කටයුතු කරන සිවිල් ක්‍රියාධරයන්, සාහිත්‍යධරයන් සහ ජනමාධ්‍යවේදීන්ට ICCPR  එක යොදාගෙන දඬුකදේ ගැසීමට කටයුතු කිරීම මුළුමනින්ම හෙළා දකිනවා.

ඉතා චේතනාන්විතව, පොලිසිය දේශපාලනඥයින් සහ ආගමික නායකයින් සාහිත්‍යධරයන්, මාධ්‍යවේදීන් හා සිවිල් ක්‍රියාධරයින්ට එරෙහිව ICCPR  එක යොදා ගනිමින් සිටින බවක් පෙනී යනවා. එහිදී විශේෂයෙන් වර්ගවාදී, ආගම්වාදී ආගමික නායකයන් විසින් බහුල වශයෙන් එවැනි ක්‍රියාවල නිරත වෙනවා.
ඒ නිසා පුරවැසි සංවිධානයක් වශයෙන් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ICCPR  එක යොදා ගනිමින් මාධ්‍යවේදීන්ට, සාහිත්‍යධරයින්ට සහ සිවිල් ක්‍රියාධරයින්ට එරෙහිව ගනු ලබන සියලු ක්‍රියා මාර්ග හකුලා ගන්නා ලෙසටයි.
ICCPR  එක අද මර්දනීය නීතියක් බවට පත් කරගෙන තිබීම දැඩි ලෙස හෙළා දකිනවා.’

කුසල් පෙරේරා ආගම්වාදය අවුස්සන බවට චෝදනා කරමින් ඔහුගේ වර්ගවාදයට එරෙහි හඬ යටපත් කිරීමට යහපාලන රජය ගන්නා නිහීන ක්‍රියාව පිළිබඳ ප්‍රවීණ සිනමාකරු අශෝක හඳගම දක්වන්නේ මෙවැනි අදහසක්.

2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත, ICCPR  Act එක, ලංකාවේ සම්මත කරන්නේ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ සීමිත ප්‍රතිපාදන ලංකාවට බලාත්මක කරන්න. එය බලාත්මක කෙරුණේ, බහුතර අධිකාරීත්වයට යටවන සුළුතර ආගමික හෝ ජාතික ප්‍රජාවක් සතු අයිතිවාසිකම් තවදුරටත් සුරක්ෂිත කෙරෙන පරමාර්ථයකිනුයි. එවැනි අයිතිවාසිකම් උල්ලංඝනය කරන අවස්ථාවක අධිකරණයට යන කෙනෙකුට, මුල් අවස්ථා අධිකරණයක විනිසුරුවරයකුගේ අභිමතය නිසා වියහැකි අසාධාරණයක් වළක්වන්නයි, පොලිසියේ හෝ මහේස්ත්‍රාත් මට්ටමේදී වරදකරුට ඇප දීමට බලයක් නැති කරලා තියෙන්නේ.

එහෙත් පසුගිය කාලයේ මෙම පනත යටතේ කෙරුණු අත්අඩංගුවට ගැනීම්වල ගැන ස්වභාවය අනුව පැහැදිලි වුණේ මෙම පනත බලාත්මක කිරීම නිසා රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන ප්‍රකාශනයේ නිදහස වැනි මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමට කිසියම් පාර්ශ්වයකට ඉඩ සැලසෙන බවයි. මෙය පනතේ මූලික පරමාර්ථයන්ගෙන් බරපතල ලෙස අපගමනය වීමක්.

කිසිම පදනමක් නොමැතිව කෙරෙන පැමිණිල්ලක් වුවත් පොලීසිය භාරගෙන අධිකරණයට තොරතුරු වාර්තා කළහොත්, මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැහැ චූදිතයාව රිමාන්ඞ් නොකර ඇප ලබා දීමට. ඔහුට ඇප ලබා දිය හැකි වන්නේ විශේෂ අවස්ථානුගත කරුණු මත පදනම්ව මහාධිකරණයක් විසින් පමණයි. මෙය බරපතල තත්ත්වයක්.
කුසල් පෙරේරා කියන්නේ රටේ ජ්‍යෙෂ්ඨ දේශපාලන විචාරකයෙක් සහ රචකයෙක්. කාලයක් තිස්සේ විවිධ මාතෘකා ඔස්සේ පුවත්පත් වලට ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන් ලිපි සපයන්නෙක්. ඔහුව චූදිතයෙකු කරන අදාළ ලිපිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ උද්ගත වූ තත්ත්වය අළලා කළ දේශපාලන විචාරයක්. එය ප්‍රසිද්ධ පුවත්පතක පළ වුණු ලිපියක්. කෙනකුට මේ පිළිබඳ විකල්ප මතයක් ඇත්නම් එය ලිපියක් හරහා එම පුවත් පතේම හෝ වෙනත් පුවත්පතක පළකරන්න පුළුවන්. ඒ හරහා හරවත් සංවාදයක් ගොඩනගා ගත හැකියි. ප්‍රසිද්ධ පුවත්පතක, ප්‍රසිද්ධියේ ලිපියක් මගින් මතයක් පළ කළ කෙනෙකුට දඬුවම් කිරීමට ICCPR  හෝ කුමන හෝ පනතක් යොදා ගන්නවා කියන්නේ දරුණු මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක්. මේ විදියට කිසිම කෙනෙකුට කිසිම අදහසක් පළකල නොහැකියි. ලංකාවේ සිදුවෙමින් තියෙන්නේ ජාත්‍යන්තර ප්‍රඥප්තියක් අදහස් මර්දනයට බරපතල ලෙස අපහරණය කිරීමක්. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් හරහා මේ පිළිබඳ වහා අර්ථ නිරූපණයක් ලබාගත යුතුයි. මානව හිමකම් කොමිසම ද මේ සඳහා වහා මැදිහත් විය යුතු බවයි මගේ අදහස.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ, කුසල් පෙරේරා විසින් ලියන ලද ලිපිය සහ ඔහුට එරෙහි පැමිණිල්ල පිළිබඳව නීතිපතිවරයා වෙත යොමු කර නීතිපති උපදෙස් මක ඉදිරියේදී කටයුතු කිරීමට පොලිසිය කටයුතු කරන බවය.

පටු වර්ගවාදී, ජාතිවාදී, ආගම්වාදී පුද්ගලයන්ගේ පැමිණිලි මත කුසල් පෙරේරා වැනි රටේ උද්ගත බරපතල ප්‍රශ්න දෙස විමර්ශනශීලිව බලන මාධ්‍යකරුවෙක් දඬු කඳේ ගැසීමට රජය කටයුතු කිරීම තුළ රජය බලාපොරොත්තු වන්නේ කුමක්ද? වර්ගවාදය, ජාතිවාදය සහ ආගම්වාදය තව තවත් උත්සන්න වී ශ්‍රී ලංකාව එකම යුද පිටියක් බවට නැවතත් පත් කිරීමද? 30 වසරක වර්ගවාදී යුද්ධයෙන් ශ්‍රී ලංකාව කිසිදු පාඩමක් ඉගෙන නොතිබෙන බව තවදුරටත් මෙයින් සනාථ නොවන්නේද?