රජුන්ට හකුරු හැදූ ආකාරයේ මාධ්‍ය ස්වයං නියාමනය ඉක්මවා යාමට කාලය ඇවිත්!

නාලක ගුණවර්ධන – ravaya@nalaka.org

ඇම්බියුලන්ස් එකක් හෙවත් ගිලන් රථයකට මහ පාරේ විශේෂ වරප්‍රසාද ලැබී තිබෙනවා.
එම වාහනවලට ආවේනික අනන්‍යතාවක් තිබෙනවා. රෝගියකු ප්‍රවාහනය කිරීමට නලාව පිඹගෙන ගමන් කරද්දී, පාරේ අනෙකුත් වාහන සහ පදිකයන් හැකි තරමට ඉඩ පාදා දෙමින් ගිලන් රථයට ඉක්මනින් ඉදිරියට යන්න උපකාර කරනවා.
සමහර අවස්ථාවල පාරේ වැරදි පැත්තෙන් යන්නට හෝ රතු එළියක් තිබෙද්දී මංසන්ධියක් හරහා යන්නට පවා ගිලන්රථවලට ඉඩ ලැබෙනවා. එසේ යන විට ඉඳහිට මාර්ග නීතියක් දෙකක් කැඩුනද, ජීවිතයක් රැක ගැනීමේ ප්‍රමුඛතාවය සමාජය දරා සිටින්නේ එලෙසයි.
ගිලන්රථවලට මේ සුවිශේෂී වරප්‍රසාදය හිමි වන්නේ ඒවා රෝගියෙකු ප්‍රවාහනය කරන තාක්කල් පමණයි. වාහන තදබදය කපා ගෙන රෝහල් නිලධාරීන්ට ඉක්මන් ගමන් යන්නට එම වරප්‍රසාදය කිසිසේත් පාවිච්චි නොකළ යුතුයි. එසේම ගිලන්රථ රියදුරා වෙනත් වාහනයක් පදවන විට ඔහුට මහමග විශේෂ වරප්‍රසාද කිසිවක් හිමි වන්නේද නැහැ.
ජනමාධ්‍ය සමාජය අතර තිබෙන නොනිල එකඟත්වය ගැන උපමිතියක් ලෙස මෙය යොදා ගන්නට මා කැමතියි.

ජනමාධ්‍ය ආයතනවලට සහ මාධ්්‍යවේදීන්ට පමණක් විශේෂ වූ ප්‍රකාශන හෝ භාෂණ නිදහසක් නීතියෙන් ලබා දී නැහැ. ඔවුනට ඇත්තේ ද සෙසු සියලු පුරවැසියන්ට තිබෙන අයිතිවාසිකම් සමුදායමයි. (ප්‍රකාශන නිදහස පිළිබඳව නීතිවේදියකු තරම්ම දැනුවත් බවක් තිබූ හිටපු සන්ඬේ ටයිම්ස් කතුවර වික්ටර් ගුණවර්ධන සූරීන් මෙය නිතර අවධාරණය කරන්නට පුරුදුව සිටියා.)

එහෙත් නීතිමය අයිතිවාසිකම්වලින් ඔබ්බට යන වරප්‍රසාද ගණනාවක් සමාජ සම්ප්‍රදාය විසින් ජනමාධ්‍ය වලට ලබා දෙනවා. මේ නිසා මාධ්්‍යවේදීන්ට බොහෝ විට සහ බොහෝ තැන්වල ප්‍රමුඛතා සැලකිලි ලැබෙනවා. ඕනෑම පොදු ආයතනයක් වෙත පිවිසීමට සහ මහජන නිලධාරීන් වෙතින් ප්‍රශ්න ඇසීමට ඔවුන්ට ඉඩ තිබෙනවා.
එයට හේතුව ජනමාධ්‍ය පොදු උන්නතිය (public interest) වෙනුවෙන් පෙනී සිටින සහ මහජනයාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය නියෝජනය කරන බවට තිබෙන පොදු පිළිගැනීමයි.
පුවත්පත් කලාවේදියා නැතහොත් මාධ්්‍යවේදියා පිළිබඳව ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමක් කලක් තිස්සේ මෙරට තිබුණා. එහෙත් අද වනවිට මාධ්‍ය ආයතන ගැන මෙන්ම මාධ්්‍යවේදීන් ගැනද ලක් සමාජයේ පවතින්නේ යහපත් ආකල්පයක් නොවෙයි.
මෙයට හේතුවද පැහැදිලියි. පොදු උන්නතිය සහ සමාජ සාධාරණත්වය සඳහා පෙනී සිටිනවා වෙනුවට හිමිකරුවන්ගේ, දේශපාලන පක්ෂවල, ජාතිවාදීන්ගේ හෝ ආගමික අන්තවාදීන්ගේ පටු අවශ්‍යතා වෙනුවෙන් මාධ්්‍යවේදීන් වැඩි වැඩියෙන් ක්‍රියා කිරීමට පටන් අරන්.
අපේ උපමිතිය අනුව මෙය සමකළ හැක්කේ ගිලන්රථ රියදුරෙක් තමන්ගේ ගජමිතුරන් ගිලන් රථයේ නන්වාගෙන විනෝද චාරිකාවක් යන විටදී, ඉක්මනින් ගමන යාම සඳහා නලාව නාද කරමින් රෝගියකු රැගෙන යන්නාක් මෙන් වංචනිකව ක්‍රියා කිරීමයි.
අපටත් වඩා දරුණු ලෙස වාහන තදබදය පවතින බංග්ලාදේශයේ නගරවල මෙම වංචනික ක්‍රියාව ව්‍යාපාරයක් බවටත් පත් වී ඇතැයි මෑතදී මට දැන ගන්නට ලැබුණා. ඒ කියන්නේ එරට සමහර ගිලන්රථ, වාහන තදබදය මැද්දෙන් ඉක්මනින් ගමනාන්තවලට යාමට සාමාන්‍ය කුලී රථවලට වඩා අධික ගාස්තුවක් අය කරමින් මගී ප්‍රවාහන සේවාවක් සපයන බවයි!
මෙවැනි ක්‍රියා ගිලන් රථයට මහමග තිබෙන වරප්‍රසාද දුෂ්ට ලෙස අවභාවිත කිරීමක්. එසේම සමාජ පිළිගැනීම සහ වරප්‍රසාද ලබන මාධ්‍යවේදීන්, පොදු උන්නතිය ප්‍රවර්ධනය කරනු වෙනුවට තමන්ගේ වර්ගය, ආගම, කුලය, උගත් පාසල හෝ දේශපාලන මතවාදය ප්‍රවර්ධනය සඳහා තමන් හසුරුවන ජනමාධ්‍ය අසීමිත සහ අසාධාරණ ලෙස යොදා ගැනීම ඊටත් වඩා දුෂ්ට ක්‍රියාවක්.

දේශපාලන පක්ෂවල නිල පුවත්පත්වලට හා ආගමික සංස්ථාවල නිල ප්‍රකාශන වලට මෙය අදාළ වන්නේ නෑ. අප කතා කරන්නේ ජාතික යයි හඳුන්වා ගන්නා පුවත්පත්, රේඩියෝ සහ ටෙලිවිෂන් මාධ්‍ය ගැනයි.

පොදු උන්නතිය සඳහා පෙනී සිටීම පසෙක තබා මාධ්‍ය අයාලේ යන්නට ගත්තේ අද ඊයේ නොවෙයි. අඩසියවසකට වැඩි කාලයක් මෙය කෙමෙන් කෙමෙන් සිදුව තිබෙනවා. එහෙත් මෑතක් වන තුරු වඩාත් සියුම්ව සහ සටකපට ලෙසින් කළ පක්ෂග්‍රාහී වීම, දැන් එළිපිටම සහ නිර්ලජ්ජිතවම කරන්නට පටන් අරන්.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ලක් සමාජයේ පැතිර ගිය භීතිය, සැකය සහ වාර්ගික ආතතීන් තීව්ර කරන්නට ජාතිවාදී සහ ජාතිකවාදී සිංහල මාධ්‍ය පැහැදිලිවම දායක වුණා. ජාතිවාදී සහ ආගම්වාදී චින්තනයන් වෙන තැන්වලින් ඇරඹුණත් ඒවා පතුරුවන්නට සහ උත්සන්න කරන්නට ලැබෙන මාධ්‍ය දායකත්වය ඉහළයි.

මේ ගැන මා මුළුමනින්ම එකඟ වන විග්‍රහයක් සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මෑතදී ලබා දී තිබුණා. මෙන්න උද්ධෘතයක්:“මේ තත්ත්වයට වගකිව යුතු ප්‍රධාන විත්තිකරුවෙක්ව මම දකිනවා. ඒ තමයි මේ රටේ ජනමාධ්‍ය. මේ රටේ ජනමාධ්‍ය තමයි අප්‍රේල් 21 වෙනි දින සිදුවුණු බෝම්බ ප්‍රහාරය සහ ඉන් පසුව සිදු වූ ප්‍රහාර සංඛ්‍යාව වැඩි කර ගන්න, තමන්ගේ දේශපාලන හාම්පුතාලාට නැවත බලයට පැමිණීමට සේවය සැපයීම හැර කිසිදු ආකාරයක සත්‍ය ගවේශනයක් මේ මාධ්‍ය කරන්න අසමත් වෙලා තියෙනවා.

“පසුගිය දවස්වල සාමාන්‍ය ජනතාව කිව්වා බෝම්බයක් දානව නම් ගිහින් පාර්ලිමේන්තුවට දාන්න- මේ 225ම නැති වුනත් කමක් නැහැ කියලා. රටේ සාමාන්‍ය ජනතාව මේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන, එවැනි කළකිරීමකට පත්වලා තියෙන්නේ. රටේ ජනතාව මේ රටේ මාධ්‍ය ගැනත් කළකිරීමට පත් වෙලා තියෙනවා. ඒ ඔවුන් කටයුතු කරන ආකාරය නිසා. ඔවුන් කටයුතු කරන්නේ සත්‍ය ගවේශනයටද, එසේත් නොමැති නම් කිසිදු සත්‍ය ගවේශනයකින් තොරව, හුදු සන්ත්‍රාසයක් මතු කිරීමටද?” (සම්පූර්ණ විග්‍රහය මෙතැනින් කියවන්න: http://bit.ly/MediaPV)

ශ්‍රී ලංකාවේ නීති පොත්වල ඉහළ මට්ටමේ නීති රැසක් තිබෙනවා වගේම ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍යයට නම් ආචාරධර්ම මාලාවකුත් තිබෙනවා. එය විශ්වාස කිරීමට පවා හැකිද?
එහි නිල නම “ශ්‍රී ලංකා කර්තෘ සංසදය: වෘත්තිය ප්‍රතිපත්ති මාලාව”. කර්තෘ සංසදය නැමැති හවුල 2011දී මුල්වරට සම්පාදනය කොට නිකුත් කළ එය, 2014දී සංශෝධනය කෙරුණා.
අද මෙහි නිල පිටපතක් වෙබ් අඩවියකවත් හොයා ගන්නට බැහැ. හැබැයි තමන්ම සම්මත කළ ආචාරධර්ම අමුඅමුවේ කෙළෙසීම නම් කර්තෘ සංසදයේ ඉහළ නිලතල හොබවන කතුවරුන් වගකියන පුවත්පත් දිනපතාම වාගේ කරනවා!
නිවැරදි තොරතුරු වාර්තාකරණය ගැන එහි ඉහළින්ම සඳහන් වන්නේ මෙලෙසයි:
“2.1 නිවැරදිවත් විකෘතියකින් තොරවත් ප්‍රවෘත්ති පළ කිරීම ඡායාරූප හා වෙනත් අනුරූප නිවැරදිව සහ විකෘති කිරීමකින් තොරව පළ කිරීම සඳහා මාධ්‍ය, සාධාරණ පරෙස්සමකින් ක්‍රියා කළ යුත්තේය.
2.2 වාර්තාවල නිරවiතාව, එය පළ කැරෙන්නට කලින් සොයා බැලීම සඳහා කර්තෘවරුත් ඒ ඒ පුවත්පත් කලාවේදියෝත් සෑම සාධාරණ ප්‍රයත්නයක්ම දැරිය යුත්තෝය. එවැනි සොයා බැලීමක් ප්‍රායෝගිකව නොකළ හැකි අවස්ථාවකදී ඒ බව වාර්තාවෙහි සඳහන් කළ යුතුය.”
කඩිමුඩියේ පුවත් වාර්තාකරණය කරන විට අත් වැරදීම් සිදුවන්නට පුළුවන්. ඒවා ගැන දැනගත් වහාම නිවැරදි කර ගැනීම සහ සමාව අයැදීමක් ප්‍රකාශයට පත්කිරීම කර්තෘ සංසදයේ මාධ්‍ය ආචාර ධර්මවල නිර්දේශිතයි.
එහෙත් අපේ ජාතිවාදී හා ජාතිකවාදී පත්තර, දැන දැනම විකෘති කරන ලද තොරතුරු පළ කොට අතටම අසු වූ විට සමාව ගන්නවා ඔබ දැක තිබෙනවාද?
ආචාරධර්ම මාලාවේ තවත් තැනක මෙලෙස කියනවා:
“6.4 පුද්ගලයකුගේ වර්ගය, වර්ණය, ආගම හා ලිංගිකත්වය පිළිබඳවත් ශාරීරික හෝ මානසික රෝගාබාධ පිළිබඳවත් අගති සහගත හා අවඥාසහගත කරුණු සඳහන් කිරීමෙන් පුවත්පත් වැළැකිය යුත්තේය. පුද්ගලයකුගේ වර්ගය, කුලය, ආගම, ලිංගික නැඹුරුතා ශාරීරික හෝ මානසික රෝගාබාධ පිළිබඳ විස්තර, කතාවට සෘජුවම අදාළ වන්නේ නම් විනා, එසේ නැතිව ප්‍රකාශයට පත් කිරීමෙන් වැළැකිය යුත්තේය.”
එහෙත් ජාතිවාදී හා ජාතිකවාදී පත්තර, සිංහල නොවන ඕනෑම පුද්ගලයකු ගැන වාර්තා කරන විට වාර්ගික ලේබලය නොවරදවාම පාහේ අලවනවා. එපමණක් නොවෙයි, ස්ත්‍රී පුරුෂ සමාජභාවය අදාළ නොවන වාර්තාකරණයකදී පවා කාන්තාවක් සම්බන්ධ නම් එම පුද්ගලයා කාන්තාවක් බව හුවා දක්වනවා.
ආචාරධර්ම මාලාවේ පිටු 5ක් පුරාම වෘත්තීයභාවය ඉහළ මට්ටමින් පවත්වා ගනිමින් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ගැන ප්‍රමිති රැසක් අඩංගුයි. එහෙත් අද වන විට මේ ලියැවිල්ල මාධ්‍ය ආයතන සහ මාධ්‍ය තීරකයන් බහුතරයක් විසින් මුළුමනින්ම නොතකා හරින තත්ත්වයට පත්ව තිබෙනවා.
කර්තෘ සංසදයේ පරමාදර්ශී ආචාරධර්ම මාලාව සහ එහිම සාමාජික කතුවරුන්ගේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරීත්වය නිතර දකින විට සිහි වන්නේ රජ්ජුරුවන්ට හකුරු හදපු කතාවයි.
ජනවහරේ ප්‍රකට මේ කතාව ඔබට මතකද? අපේ පැරණි රජෙක්, රජවාසලට හකුරු සපයන්නා වරෙක කැඳවා හකුරු හදන හැටි ගැන විමසනවා. උඩට උඩු වියන් බිමට පාවාඩ දමා අතිශයින් පිවිතුරු ලෙස තමන් හකුරු සාදන බව නිෂ්පාදකයා කියනවා.
ඊට ටික කලකට පස්සේ රජු තනිවම ගම් දනව්වල සැරිසරද්දී අහම්බෙන් මෙන් හකුරු හදන තැනට පැමිණෙනවා. මැස්සන් පිරුණු මඩුවක, දහඩිය පෙරා ගෙන කිසිදු පිරිසුදුකමකින් තොරව හකුරු නිපදවන හැටි ඔහු දකිනවා!
රජු කුපිත වී මේ ගැන ඇසූ විට ඔහුට ලැබෙන්නේ මෙවැනි පිළිතුරක්: “දේවයන් වහන්ස, කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි!”
මෙරට සමහර මුද්‍රිත මාධ්‍ය ආයතන එක්වී, ස්වයං නියාමන ක්‍රමවේදයක් හැටියට බිහි කර තිබෙන පුවත්පත් පැමිණිලි කොමිසම තමන්ගේ නිර්ණායක රාමුව ලෙස සලකන්නේ කර්තෘ සංසදයේ ආචාර ධර්ම මාලාවයි.
යම් පුවත්පතක අන්තර්ගතයක් නිසා සෘජුවම අගතියට පත් යමකුට මෙම රාජ්‍ය නොවන කොමිසමට පැමිණිලි කිරීමට හැකියාව තිබෙනවා. එහෙත් මේ වන විට වසර 15ක් තිස්සේ ක්‍රියාත්මක වී ඇති මේ ස්වේච්ඡා ක්‍රමවේදය මුළුමනින්ම අසාර්ථකයි. සමහර පුවත්පත් ආයතන මේ කොමිසමට බැඳී නැහැ. එහි සාමාජිකයන් වන පුවත්පත් පවා එයින් තමන්ට අහිතකර තීන්දුවක් ඉඳහිට හෝ ලැබුණු විට එය නොතකා හරිනවා.
පැමිණිලි කොමිසම නීතියකින් පිහිට වූ ආයතනයක් නොවන නිසා සිය තීන්දු ක්‍රියාත්මක කරවීමේ බලතලයක් එයට නැහැ. (පැමිණිලි කොමිසමට මේ වන වන විට සක්‍රීය වෙබ් අඩවියක්වත් නැහැ. http://www.pccsl.lkමාස ගණනාවක් අක්‍රීයයි!)

මෙරට මුද්‍රීත මාධ්‍යවලට නාමික වශයෙන් හෝ ආචාරධර්ම රාමුවක් තිබෙන නමුත් රේඩියෝ සහ ටෙලිවිෂන් මාධ්‍යවලට එබඳු කිසිවක් නැහැ. අගතියට පත් අයකුට පැමිණිලි කළ හැකි කිසිදු යාන්ත්‍රණයක් ද නැහැ.

රට ගිනි තබමින් වාර්ගික අසමගිය වැඩි කරමින් ජාතිවාදී හා ජාතිකවාදී අරමුණ උදෙසා පෙනී සිටින මාධ්‍යවලට තව දුරටත් වරප්‍රසාද ලබා දිය යුතුද?
මාධ්‍ය නිදහසට මුවා වී බොහෝ අකටයුතුකම් කරන කතුවරුන් සහ මාධ්‍යවේදීන් සඳහා නීතිමය වගවීමක් තිබිය යුතුයි.
“රාජ්‍ය නියාමනය එපා, අපි ස්වයං නියාමනය හරහා වගකීම් සහගත මාධ්‍යකරණයක් හදා ගන්නම්,” යනුවෙන් කතුවරුන් සහ මාධ්‍ය හිමිකරුවන් 2004 සිට කියනවා. දශක එකහමාරකට පසුව මෙය සිදුවන බවට සාක්ෂි තිබේද?

එසේ නැත්නම් දැන්වත් රට ගිනි තබන, ජාතිවාදය සහ වාර්ගිකත්වය ප්‍රවර්ධනය කරන මාධ්‍ය නීතිමය නියාමනයකට නතු කරමුද?
මීට වසර කීපයකට පෙර බාගත කර ගත් මාධ්‍ය ආචාරධර්ම ලේඛනය, මා යළිත් වෙබ්ගත කළා. බලාගන්න මෙතනින්:  http://bit.ly/MediaELK