ආණ්ඩුවටත් වඳ සැත්කමක් කරලා!

උපාලි කොළඹගේ

අපේ රටේ ජනතාවට ප්‍රශ්නයක් නැති සේය. රැකියා ප්‍රශ්නය, සෞඛ්‍ය ප්‍රශ්නය ආදිය පිළිබඳව ජනතාවගෙන්වත් කිසිදු හා හූවක් නැත. අධ්‍යාපනයට වෙන් කරන මුදල පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උනන්දු වූයේ තමන්ගේ වෘත්තීය ප්‍රශ්න මුල් කරගෙන ඇතිවූ මහජන නොසන්සුන්තාව මුල්කරගෙනය. පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ ප්‍රශ්නයද ගැටලු සහගත වී ඇත්තේ ඊට අදාළ තරුණ දෙමාපියන්ට පමණි. ඒත් තමන්ගේ ප්‍රශ්නය විසඳෙන තුරුය. ඉන්පසු වගේ වගක් නැත.
විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳවද තත්ත්වය එසේය. එහි ඇති අඩුපාඩු සියල්ල ගැටලුකාරී වී ඇත්තේ අදාළ දෙමාපියන්ට පමණි. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ පසු සිසුන් අරබයා පැන නැගෙන සියලු අසහනකාරී තත්ත්වයන් සමාජය දකින්නේ නොරිස්සුම් සහගතවය.

සියලු වෘත්තීය උද්ඝෝෂණ පවා සමාජ අවධානයට යොමුවනුයේ ඉන් ඇතිවන මාර්ග තදබදය පාදක කරගෙනය.
රජයේ රෝහල් පිළිබඳවද සමාජ අවධානය යොමු නොවන තරම්ය. බේත් සඳහා හෝ ඉතා සුළු මුදලක් අය කිරීමෙන් රජයේ රෝහල් දියුණු තත්ත්වයට ගෙන ඒමේ හැකියාවක් ඇතිමුත් ඊට මොනම සෞඛ්‍ය ඇමතිවත් කර ගසන්නේ නැත. අප මේ ගැන විටින් විට කරුණු පෙන්වා දී ඇත්තෙමු. මෙරට වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමී විද්වතකු වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා රජයේ රෝහල්වල බාහිර අංශයෙන් බේත් ලබාගැනීමේදී සත 25ක මුද්දරයක් දිය යුතු බවට යෝජනා කෙළේ මීට දශක ගණනාවකට පෙරය. රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ට චැනල් සේවා තහනම් කළ යුතු බවට වූ යෝජනාවක් ගෙනා බව ද මට මතකය. එදා එම යෝජනා ලත් තැනම ලොප් වූයේ එජාපය මෙන්ම ශ්‍රීලනිපයේ දක්ෂිණාංශික කොටස් විරුද්ධවීමෙනි.

ඇන්.ඇම්.ගේ යෝජනා එදා ක්‍රියාත්මක විණි නම් ඉන්තේරුවටම රජයේ රෝහල් අද පවතිනුයේ උසස් තත්ත්වයෙනි. මෙදා වර්තමාන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා රජයේ රෝහල්වල ශල්‍යාගාරවල (සාමාන්‍ය වේලාවෙන් පසුව) මුදල් ගෙන සැත්කම් කිරීමේ යෝජනාවක් ගෙන ආවද එම යෝජනාව විවාදයට බඳුන් නොවීම යට ගියේය.
කෘතහස්ත සමාජවාදී ප්‍රාඥයකු වූ ඇන්.ඇම්. ආර්ථිකය පිළිබඳ විශාරදයකුද වන්නේය. ඔහු හා වර්තමාන වාමාංශිකයන් යැයි කියා ගන්නා පඹයන් අතර ඇත්තේ අහසට පොළොව මෙන් පරතරයකි. වර්තමාන පැරණි වමේ බොහෝ නායක පඹයන් ඇන්.ඇම්.ගේ පයේ පෑගෙන දුහුවිල්ලක් තරම්වත් නොවටනේය යන්න මගේ පෞද්ගලික අදහසයි. කෙසේ වුවද අප විටින් විට ඇන්.ඇම්.ලාගේ යෝජනා ගෙනහැර දක්වන්නේ ඒවා කෙතරම් ප්‍රායෝගිකද යන්න ජනතාවට පසක් කරලීමටය.
මෙය ඇන්.ඇම්.ගේ විශිෂ්ටත්වය ගෙනහැර දැක්වීමේ ලිපියක් නොවුණද කාලීන වැදගත්කමින් යුතු වූ නිසා තවත් එක් උදාහරණයක් ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි. එනම් ඇන්.ඇම්. ගෙනා පොල් ගස් දෙකක් මැද ගැනීමට අවසර දීමේ යෝජනාවය. ඉන් ඔහු අදහස් කෙළේ හකුරු කර්මාන්තයට අනුබලදීම හා කසිප්පු ගමින් තුරන් කරලීමේ ප්‍රායෝගික පියවරක් වශයෙනි.

එයද කසිප්පු ගමින් තුරන් කරලීමේ දූරදර්ශී පියවරක් ලෙසය මා දකින්නේ. (රා පොල් කට්ටක් බී ලුණු කැටයක් කටේ දාගත් විට දැනෙන සුන්දරත්වය දන්නේ එය අත්වින්දෙකු පමණි.)

විරැකියාව පිළිබඳ ප්‍රශ්නයද සමාජය බැරෑරුම්ව ගන්නා බවක් නොපෙනේ. රැකියා නැතියවුන් හා ඔවුන්ගේ පවුල්වල අයට මෙය ප්‍රශ්නයක් වුවද සෙස්සන්ට එය සාමාන්‍ය කරුණක් පමණි. මේ රටේ රැකියා නොමැත්තන්ගේ ගැටලු දේශපාලනඥයන්ට නම් හොඳ පන්දුවකි. රැකියා වියුක්තිය බොරු පොරොන්දුවලට තෝතැන්නකි. අවසානයේ උස නම් ‘සෙකියුරිටි’ කොට නම් ‘කම්කරු’ වශයෙන් ඊනියා දේශපාලකයන් රැකියා ප්‍රශ්නය ලඝුකර ඇත්තේද මේ නිසාය.
වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය හමුවේ ඇති ප්‍රශ්නවල නිමක් නැත. මේ සඳහන් කළේ ඉන් අතළොස්සක් පමණි.
එහෙත් දැන් උඩට මතුවී ඇත්තේ මොනවාද?
දොස්තර සාෆි කී දෙනෙක් වඳකර ඇත්ද? බුර්කාව තහනම් කළ යුතු ද? මුස්ලිම් කඩ වර්ජනය නොකරන්නෝ කවරහුද? (මෙම ජාතිවාදීන්ට දැන් ප්‍රභාකරන් මහත්තයා ෂෝයිය) ආදී ඊනියා ජාතිවාදී කරුණුය.

මෛත්‍රී – රනිල් විරසකයද සමාජයේ සෙසු ප්‍රශ්න යටකරලීමට බෙහෙවින් ඉවහල් වී තිබේ.
ඇත්තටම මෙය අපට ප්‍රශ්නයක් විය යුතු නැත. 2015 ජනවාරි 8දා ජනතාව මේ අය බලයට පත් කළේ නිශ්චිත කාල රාමුවක් තුළ දුන් පොරොන්දු ඉටුකරලීමටය. දුන් පොරොන්දු ඉටු කළේ හෝ ඉටු කරන්නේ නැත.

දැන් සිදුව ඇත්තේ රටේ පරිපාලනය පවා අවිනිශ්චිත ලෙස බිඳ වැටීමය. එදිනෙදා ගැටලු පවා එකලාසයක් කිරීමේ අභිලාෂයක් දෙදෙනාටම නැත. දෙදෙනාම අං පටලවාගෙන එකිනෙකා කෙරේ වෛරයෙන් කටයුතු කරනුය දක්නට ඇත්තේ. හීන් නූල්කාරයා කවුද හත්පොළේ ගාගෙන බෙරිහන් දෙන්නා කවුද යන්න ජනතාවට අදාළ නැත. පොරොන්දු ප්‍රකාරව ආණ්ඩු කළ යුතුය. නැත්නම් පව් නොදී ගෙදර යායුතුය. අගමැතිවරු දෙදෙනකු සිටියේ මෙම අබුද්දස්ස වර්තමානයේය. විපක්ෂ නායකවරුන් දෙදෙනකු ද සිටියේය. දැන් පොලිස්පතිලාද දෙදෙනකි.
පැහැදිලිවම දැන් ආණ්ඩු ද දෙකකි.

මේ මොන විහිළුවක්ද?

පාස්කු ඉරිදා ඛේදවාචකය ගැන සොයා බැලීමට පාර්ලිමේන්තුව විසින්ම පත් කළ තේරීම් කාරක සභාවට අත්ව ඇති ඉරණම ද රට මුහුණ පා ඇති ඛේදවාචකයේ තවත් පැතිකඩය. තමන් නිවැරදි නම් ජනාධිපතිතුමා මීට බිය විය යුතු නැත. එහෙත් දැන් පැන නැග ඇත්තේ තමන්ගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිල්ලට දීමට සැරසීමය.

මේ නම් කිනම් අභාග්‍යයක්ද? විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියන ලෙස මේ වෙලාවේ ගතයුතු සුදුසුම පියවර නායකයන් දෙදෙනාගෙන් එක් අයකු පියවරක් ආ පස්සට ගැනීමය. ඉන් රටට සෞභාග්‍යය උදා නොවෙතත් ඉදිරි මැතිවරණය තෙක් එය තාවකාලික සහනදායී පියවරකි.
මැතිවරණවලදී කුමන අන්දමින් කටයුතු සිදුකළ යුතුද යන්න පුරවැසි කාර්ය භාරයයි.

දැන් නම් රටේ කිසිදු ප්‍රශ්නයක් විසඳෙන සේයාවක්වත් නොමැත. එමෙන්ම මේ රටේ බහුතර ජනමාධ්‍ය හරහාද සිදුවන්නේද මෙම අවාසනාවන්ත තත්ත්වය තවත් තීව්‍ර කිරීමය.
කෙසේ වුවද මගේ අදහස නම් මැතිවරණයක් එළැඹෙන තුරු මෙම අවදානම මෙසේම පවතිනු ඇතිය යන්නය. එහෙත් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති අංගවිකලභාවය නිසා ඉන් පසුව වුවද මෙම කඩා වැටීම දිගටම පවතීද යන්න සැකසහිතය. එසේ නොවන්නට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විකෘතීන් ප්‍රකෘතිමත් කරන බවට ජනතාව පක්ෂ නායකයන්ගෙන් පැහැදිලි පොරොන්දුවක් ලබාගත යුතුය. නොඑසේ තවදුරටත් සිල්ලර පොරොන්දුවලට ආකර්ෂණය වුවහොත් රට තවදුරටත් අගාධයට යනවා මිස ඉන් නොමිදෙන බව ඒකාන්තය.