චණ්ඩ මාරුතයට ගොඩවූ මිනිස්සු

විමලනාත් වීරරත්න

වත්මන් ආණ්ඩුවට එල්ල කැරෙන ප්‍රධාන චෝදනාවක් වන්නේ ඔවුන් රටට හිතෛෂීවන්ත පිරිසක් නොවේ යන්නය. එනිසා රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, රාජිත සේනාරත්න වැනි අය කරන්නේ මොනවාද යන්න ගැන ඇස ගසාගෙන සිටිය යුතු බව ජාතික බලවේග යැයි කියන පිරිස වෙතින් අවධාරණය කැරෙයි. මේ අය මහින්ද රාජපක්ෂ පන්නයේ භූමි පුත්‍රයන් නොවන බව බැලූ බැල්මට පෙනෙයි. රනිල් ජාතිය, ආගම ගැන කතා කරන්නේම නැත. කතා කළත් ඒවා මතුපිටින් වහරන බව පමණක් හැඟී යයි. මංගල, රට හුදෙක් බෞද්ධයන්ගේ නොවේ කියූ කතාවත් ජාතික බලවේග වැරදි ලෙස අල්ලා ගත්තේ ය. ඔහු සිරවී ඇති අලුත්ම ප්‍රශ්නය වන්නේ චීන සිගරැට් ගෙන්වීමට යෝජනා කිරීමය. සිගරැට්, අරක්කු වැනි දේවල් වලදී දේශීය නිෂ්පාදනය පානය කරපල්ලා යනුවෙන් නීති පැනවිය නොහැකිය. එසේ වුවහොත් බොන්නට සිදුවන්නේ කසිප්පුවල සිට මඳක් ඉහළට ඇති පාන වර්ග පමණි. චීන සිගරැට් ගෙන්වන්නේ ලංකාවේ දැන් බහුල වශයෙන් වාසය කරන චීන ජාතිකයන්ගේ අවශ්‍යතා සඳහාය. මෙවැනි කාරණාවලදී පවා මංගල රනිල් වැනි දේශපාලනඥයන්ට රටට අහිතවත් පිරිසක්ය යන හංවඩුව ගසනු පෙනේ.

බොරු ප්‍රශ්න

රනිල් රටට ආදරේ නැත කීම හෝ සිගරැට් ප්‍රශ්න මේ මොහොතේ තිබෙන සැබෑ මහජන ප්‍රශ්න යට ගැසීමට උපකාරී වන වාද විවාදය. ලංකාව හැමදාම කළේ මෙවැනි වටේ යෑම්ය. පාස්කුදා සිද්ධියෙන් පසු රටේ තිබුණු ප්‍රශ්න තවත් වට ගණනාවකින් විශාල වූයේය. රටේ නායකයන් මැදිහත් විය යුත්තේ ඒවා විසඳීමටද, චීනුන්ගේ සිගරැට් ප්‍රශ්න විසඳීමටද?
ලංකාවේ දේශපාලනය අද වන විට මහජන සේවයක් නොව කානිවල් එකක මට්ටමට පත්ව තිබේ. Tempest යනු චණ්ඩ මාරුතයයි. සමහර කානිවල්වල එම නමින් හැඳින්වෙන ක්‍රීඩා භාණ්ඩයක් තිබේ. එහි ක්‍රියාකාරීත්වය අධිවේගවත්ය. ඊට ගොඩවී අධිවේගී වට කිහිපයක් ගියවිට කරකවා බිම අතහැරියාටත් වඩා උතුර දකුණ මාරුවීමක් විඳගත හැකිය. අද වනවිට ලංකාවේ කවුරුත් මුහුණ දී සිටින්නේ කානිවල් එකේ Tempest එකට ගොඩවූ මිනිස්සු මුහුණ දුන් අත්දැකීමටය. පාස්කු ප්‍රහාරයෙන් පසු දෙමසක් ගතවෙද්දී ආරක්ෂාව තහවුරු යැයි රටේ නායකයන් පුන පුනා කිව්වත් ලංකාවෙන් පමණක් නොව ඉන්දියාවෙන්ද ලංකාවට සම්බන්ධ මුස්ලිම් අන්තවාදී කොටස් අත්අඩංගුවට ගනිමින් පවතියි. ඉන් පෙනී යන්නේ පාස්කු දා අත්විඳි අනතුර මුළුමනින් පහව නැති බවය. වසර හත අටක් තිස්සේ ගොඩ නැගුණු සංවිධානයක් මාස දෙකකින් මුලිනුපුටා දැමීමද කළ නොහැක්කකි. විශේෂයෙන්ම තවුහිත් ජමාත් පැමිණ සිටින මතවාදී වේදිකාව සුන්කර දැමීම රැකවල් ලෑමෙන් හා සෝදිසි කිරීමෙන් පමණක් කළ නොහැක්කකි. රට හැම අතින්ම වැටී තිබෙන්නේ බිංදුවටය. එවැනි ව්‍යාකූලත්වයක් ගරා වැටීමක් තිබියදීත් රටේ නායකයන් ජනතාවගේ අත් අල්ලාගෙන සැණකෙළියෙ Tempest එකට නගින්නට තැත් කිරීම කාලකණ්ණි තත්ත්වයකි.

ජාතික ආරක්ෂාව

‘The Sinhalese have ever been a domestic, not a political people’  යනුවෙන් ලිව්වේ ලංකාවේ බිහිවූ ප්‍රකට විද්වතකු වන මහාචාර්ය ගුණපාල මලලසේකරයෝය. ඔහු මෙසේ ද ලියයි.

“රිදී පැහැ මුහුදින් වට කරනු ලැබ සිය කොදෙව් බිමේ ජීවත් වුණු සිංහලයෝ තම සුරක්ෂිතතාව ගැන සෑහීමකට පත්ව සිටියහ. එහෙයින් ඔවුහු තමන් සතු වස්තුවටත් තමන්ගේ කර්මාන්ත ආදියටත් නිසි රැකවරණ නොයෙදූහ. ඔවුන්ගේ අවශ්‍යතා ඉතා අල්ප විය. ඔවුන් සිය ධනය කැප කළේ ආගමික ප්‍රාසාද නිර්මාණය කරනු උදෙසාය. ඒවා රනින් හා මුතු මැණික්වලින් සරසනු උදෙසාය. එහි ප්‍රතිඵලය වූයේ ආරක්ෂාවරණ නොයොදා තිබුණු වෙරළ තීරය ආක්‍රමණය කරන්නට අසල්වැසි කොල්ලකාරයන්ට ඉඩ සැලසීමය. මේ කොල්ලකරුවෝ අන්තිමේදී අපේ සිහසුනද අරා හිඳගෙන රටද ජනතාවද පාලනය කළහ.”

ඒ අනුව රනිල් වික්‍රමසිංහ රටේ ආරක්ෂාව ගැන විශේෂ අපරික්ෂාකාරී තැනැත්තකු නොවේ යැයි කෙනෙකුට කිව හැකිය. මේ කොහොමටත් රටේ පැවති සාමාන්‍ය තත්ත්වයයි. මලලසේකර කියා ඇති දේ මෑතකදී සරත් ෆොන්සේකාද මතක් කර දුන්නේය. ඔහු කීවේ පළමුව ජාතික ආරක්ෂාව තර කළ යුතුය යන්නය. නැතහොත් ඊළඟට ඇති ආර්ථිකය ස්ථාවර කරගත නොහැකිය. මලලසේකර වියතාණන් 50 දශකයේදී ලියා ඇති දේ අදත් අප අභ්‍යාස නොකරන ජාතියකි. මලලසේකර මේවා කියා ඇත්තේ හරස් අරමුණක් රහිතවය. එහෙත් ආරක්ෂාව ගැන අද රටේ යම් යම් ක්‍රියාවන්හි නිරත පුද්ගලයන් හා ආයතන ක්‍රියා කරන්නේ එසේම නොවේ. පාස්කු ප්‍රශ්නය ගැන විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, එහි පැමිණි කාත්තන්කුඩි පොලිස් පරීක්ෂකවරුන්ගෙන් ප්‍රශ්න කළේ වැරදි වචනයක් ලබාගෙන තෙවැන්නකුට චෝදනාවක් එල්ල කරන්නට මෙනි. මීට පෙර තේරීම් කාරක සභාවට පැමිණි හිස්බුල්ලා කියා තිබුණේ 2015දී තමන් මහින්ද රාජපක්ෂට උදව් කරන විට සහරාන් මෛත්‍රීපාල සිරිසේනට උපකාර කළ බවය. සරත් ෆොන්සේකා කාත්තන්කුඩි පොලිස් පරීක්ෂකවරයාගෙන් පුන පුනා ඇසුවේ 2015 ජනාධිපතිවරණයේදී සහරාන් මොනවද කළේ කියා තමා දන්නෙම නැද්ද කියාය. එජාපය ලැබෙන අවස්ථා ප්‍රයෝජනයට ගෙන පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන වගකීම ජනාධිපතිට දැමීමටත්, ජනාධිපති ලැබෙන අවස්ථා පාවිච්චි කරමින් පාස්කු ප්‍රහාරය තවත් අයගේ ඇඟට දැමීමටත් දරන වෑයමෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැත. එම පොලිස් පරීක්ෂකවරුන් රාජකාරිය හරිහැටි ඉටුකර නැති බවත් මෙහිදී පැහැදිලි විය. එනම් ආරක්ෂක අංශ පවා මලලසේකරගේ වදන් සාධනය කර තිබේ. මේ අවුල ප්‍රයෝජනයට ගෙන තවත් සහරාන්ලා නම් බිහිවිය හැකිය. දයාසිරි ජයසේකර කියා තිබුණේ ටාජ් සමුද්‍ර හෝටලයට තව්හිත් ජමාත්ලා පහර නුදුන් හේතුව එහි පිරිසක් සිටි නිසා කියාය. දිගින් දිගටම ඒ කතාව ගැන ප්‍රශ්න කරන විට ඔහු කීවේ කවුද සිටියේ යන්න සොයා බැලිය යුතු බවකි. මෙයින් පෙනී යන්නේ දේශපාලන නායකයන් මේ ප්‍රහාර මාලාව ගැන කිසියම් හෝ හෝඩුවාවක් දැන සිටි බවය. දැනගෙන නොකීවේ මහජනයා මැරුණු විට විසඳන්නට තිබෙන ප්‍රශ්න අවම වීමේ වාසිය ගැනීමටද? ලංකාවේ අග නගරයක මුහුදු තීරයට ආසන්නව ආබාධිත දරුවන් රැසක් සිටින ළමා නිවාසයක් තිබුණි. එය අවම ආධාරවත් නොමැතිව ඉතා අසීරුවෙන් පවත්වාගෙන ගිය එකකි. 2004දී පැමිණි සුනාමියෙන් ඒ ප්‍රශ්නය විසඳා දුන්නේ ළමා නිවාසය මුහුදට යටකරමිනි. සමහර ප්‍රශ්න ඒ ක්‍රමයටත් විසඳෙයි. ලංකාවේ නායකයන් ප්‍රශ්න එසේ විසඳන තෙක් සිටිනවාද?

සහයෝගීතාව

පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් අප මැදහත් හා උගත් මුස්ලිම් සමාජයට එක්තරා චෝදනාවක් එල්ල කළෙමු. ඒ මැදහත් හා උගත් මුස්ලිම්වරු ලෙස ඔබ අන්තවාදී කොටස් මතවාදීව පරාජය කිරීමට උත්සාහ නොකිරීම පිළිබඳවය. එහෙත් මහ ජාතියේ සාමාජිකයන්ට ඥානසාර හිමිගේ උන්මත්තක අබසරණ ස්ථාවරයට එරෙහිවීමට හැකිවිය. ඒ ආගම්වාදය, ජාතිවාදය පිළිකෙව් කරන යම් පිරිසක් සිංහල මහ ජාතිය තුළ සිටින නිසාය. මුස්ලිම් සමාජය සමස්ත ජනගහනයෙන් 10%කි. ඔවුන් සිංහලයන් මෙන් කැපී පෙනෙන ලෙස රට පුරා විසිරී නැත. රට පුරා විසිරී සිටියත් මුස්ලිම් ජන ඝනත්වයේ ස්වභාවය අනුව ආගමික අන්තවාදයට එරෙහිව මත ප්‍රකාශ කිරීම සිංහල සමාජයට සාපේක්ෂව අසීරු කාර්යයකි. තම විරුද්ධ මතවාදියා කෙරෙහි සිංහල බෞද්ධ අන්තවාදියාට නැති සමීපතාවක් මුස්ලිම් සමාජය තුළ පුද්ගලයන් අතර තිබේ. මේ තත්ත්වය තුළ සහරාන් ගැන දැනගෙන සිටියත් මුස්ලිම් මැදහත් පුද්ගලයන් නිහඬ වූවා විය හැකිය.

දැන් සිංහල මහ ජාතිය කළයුත්තේ මැදහත් මුස්ලිම් ජනයා මේ ප්‍රශ්නයේදී අත්නොහැරීමය. සෑමවිටම ඔවුන් සමග සිටීමෙන් මුස්ලිම් අන්තවාදයට තිබෙන ඉඩ ක්‍රමයෙන් ඇහිරීමට හැකිවනු ඇත. ජාතික බලවේග යැයි කියන පිරිස රනිල් රටට අදරේ නැත කියමින් සිටිනවාට වඩා උද්ගත වූ විභේදනය සමනය කරගන්නා මගක් සෙවීම වැදගත්ය. ජාතීන් අතර සංහිඳියාව ඇතිවන්නේ නම් රනිල් කොහෙත්ම අදාළ නොවනු ඇත.

වැදගත්ම දේ ජාතීන් අතර සහයෝගීතාවයි. මුස්ලිම් ඇමතිවරු ඉවත්වීම මෙරට ජාතීන් අතර සහයෝගීතාවට ආධාරකයක් නොවන බව එම ඇමතිවරුන්ට මොළයක් තිබෙනවා නම් කල්පනා කරන්නට තිබුණි. ඒ අතින් මුස්ලිම් ඇමතිවරුන් කළේ සහරාන් පන්නයේම වැඩකි. ඔවුන් කළ යුතුව තිබුණේ මේ ප්‍රශ්නය ගැන අවංකව කතා කිරීමය. එමෙන්ම තමන්ද ජාතික නායකත්වයේ හිඳිමින් ලාංකික ජාතියට මගපෙන්වන බව ප්‍රකාශ කිරීමය. එය නොකර ඇමතිවරු සහරාන්ලා වන්නට යෑම ජාතීන් අතර සහයෝගිතාවට නොව බෙදීමකට හේතුවෙයි. මුස්ලිම් ඇමතිවරු සිංහල ජාතික බලවේග, බඬේ බිජු, තියාගෙන මේ ප්‍රශ්නය ගැන අදහස් පළ කරන ජනාධිපති, අගමැති ආදී කවුරුත් එක ස්ථාවරයකට නොපැමිණ මෙතැන් සිට ඉදිරියට පාස්කු ප්‍රහාරයෙන් පසු ලංකාව මුහුණ දී සිටින අර්බුදයට විසඳුම් ප්‍රවේශ මාර්ගයක් හෝ පාදාගත නොහැකි වනු ඇත. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ සැණකෙළියේ Tempest එකට නැගපු මිනිසුන් මුහුණ දුන් චණ්ඩ මාරුතයේ අත්දැකීමට මුහුණදීමටය.