පාර්ලිමේන්තුව සුද්ද කිරීම

වික්ටර් අයිවන්

ජනාධිපති ආණ්ඩුක්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට මාරු කිරීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය වෙනුවෙන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඒ සඳහා සරල ව්‍යවස්ථා සංශෝධන සූත්‍රයක් හඳුන්වා දෙන ලද අවස්ථාවේදීම ඔහු යෝජනා කළ ව්‍යවස්ථාමය ප්‍රවේශය මගේ දැඩි විවේචනයට හේතුවිය.

සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් යොදා ගන්නේ තිබෙන ව්‍යවස්ථාවක වැරදි හෝ අඩුපාඩුකම් නිවැරදි කිරීම හෝ සම්පූර්ණ කරගැනීම සඳහාය. තිබෙන එක් ආණ්ඩු ක්‍රමයක් අහෝසි කොට අලුත් ආණ්ඩුක්‍රමයක් ඇති කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් මගින් මිස, ව්‍යවස්ථා සංශෝධනයකින් සිදුකරන්නේ නැත.

එහිදී මගේ විවේචනයට හේතුවූ දෙවැනි කාරණය වූයේ ලංකාවේ පැවති විධායක ජනාධිපතික්‍රමය තුළ ජනාධිපති නාමමාත්‍රික ජානාධිපතිවරයකු බවට පත් කොට ජනාධිපති ධුරය සතුව තිබුණු සියලු බලතල පාර්ලිමේන්තුවේ අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලය වෙත පවරන සරල පරිවර්තනයක් හොඳ ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීමට හේතු නොවන බවය. ජනාධිපති ජයවර්ධන ලංකාවේ ඇති කළ ජනාධිපති ක්‍රමය අන්ත දූෂිත වනවා සේ ම ඊට ගැළපෙන ලෙස සකස් කෙරුණු පාර්ලිමේන්තු ක්‍රමය ගොඩනැගී තිබුණේද අන්ත දූෂිත ක්‍රමයක් ලෙසය. පාර්ලිමේන්තු ක්‍රමය දූෂිත කිරීමට හේතුවී තිබෙන අත්තිවාරම් අහෝසි කොට එය පිරිසිදු කිරීමකින් තොරව සියලු බලතල පාර්ලිමේන්තුවට ලබාදෙන ක්‍රමයක් තුළ ගොඩනැගෙන ආණ්ඩු ක්‍රමය අන්ත දූෂිත ආණ්ඩු ක්‍රමයක් බවට පත්වනු නොවැළැක්විය හැකිය යන්න මාගේ තර්කය විය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරුන්ට අවශ්‍ය වී නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දූෂිත ලෙස ක්‍රියාකිරීමට තිබෙන ඉඩ අහුරන විධිවිධාන 19 වැනි සංශෝධනයට ඇතුළත් කළ හැකිව තිබුණි. එහෙත් එහි නිර්මාතෘවරුන්ට අවශ්‍ය වූයේ මහජන නියෝජිතයන්ගේ ජන ජීවිතයේ අවංකභාවය සහතික කරන ආණ්ඩුක්‍රමයක් නොව, පාර්ලිමේන්තු නියෝජිතයන් පවත්වාගෙන ගිය වස්තු කොල්ලය තවදුරටත් ඔවුන්ට සිත් සේ කරගෙන යෑමට ලැබී තිබෙන ඉඩ සහතික කරන ආණ්ඩු ක්‍රමයකි.

පොදු දේපළ කොල්ලකෑම

මේ විෂයේදී මහජන නියෝජිතයන්ගේ සමාජ දේශපාලන ජීවිතය අවංක තත්ත්වයක තබා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් පවත්නා හැම රටකම පාහේ මහජන නියෝජිතයන්ට බලපාන දැඩි නීති රීති ක්‍රියාත්මක වේ. මහජන ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන්ට රාජ්‍ය සමග කවර ආකාරයේ හෝ ව්‍යාපාර කිරීම මුළුමනින් තහනම් දෙයක් ලෙස සැලකෙන අතර රජය සමග ව්‍යාපාර කරන පුද්ගලයන්ට මැතිවරණවලට තරග කිරීම, විධායකයට හා ව්‍යවස්ථාදායකයට තේරී පත්වීම, අසුන් ගැනීම, විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ තීන්දු ගැනීමේ ක්‍රියාවන්ට සම්බන්ධ වීම මුළුමනින් තහනම් වන අතර එවැනි වැරදි කරන අය ඔවුන් දරන තනතුරුවලින් පහකොට දැඩි දඬුවම් දෙන ප්‍රතිපත්තියක් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වන හැම රටකම ක්‍රියාත්මක වේ. පාලක පක්ෂ පොදු දේපළ කොල්ලකෑම යන හිසින් පසුගිය කලාපයේ පළවූ ලිපියෙන්ද ඒ සම්බන්ධයෙන් 1997 දක්වා ලංකාවේ ක්‍රියාත්මක වූ දැඩි නීති ක්‍රියාත්මක වීම වළකා මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පොදු දේපළ කොල්ලකෑමට ඉඩ දෙන දුෂ්ට ක්‍රමයක් ස්ථාපිත කරන ලද ආකාරය හා ඉන්පසු බලයට පත්වූ ජනාධිපතිවරුන් එම දුෂ්ට ක්‍රමයට අලුත් අංග එකතු කරමින් එම ක්‍රමය අද දක්වා පවත්වාගෙන යමින් තිබෙන ආකාරය පැහැදිලි කිරීමක් කරනු ලැබීය.

මෙම දූෂිත ක්‍රමය ලංකාවේ ව්‍යවස්ථාදායකයට හා විධායකයට තේරී පත්වන මහජන නියෝජිතයන් නීතියට පටහැනිව මහා පරිමාණයෙන් ආදායම් උපයන ව්‍යාපාරිකයන් බවට පත්කිරීමට හේතුවී තිබේ. ඔවුන් දරන මහජන තනතුරුවලින් ලැබෙන ආදායමට වඩා නීතියට පටහැනිව කරන මේ ව්‍යාපාරවලින් උපයන ආදායම අතිවිශාලය. ලංකා රාජ්‍යයේ පවත්නා දූෂිතභාවය කෙරෙහි බලපා තිබෙන ප්‍රධානතම හේතුව එය ලෙස සැලකිය හැකිය.

රාජ්‍ය පාලනයේ සුක්කානම හසුරුවන්නන් තමන් භාරයේ තිබෙන පොදු දේපළ කොල්ලකෑම රාජ්‍යයේ අනෙක් අංශවල සිදුවන දූෂණය පාලනය කිරීමට විධායකයට හා ව්‍යවස්ථාදායකයට තිබෙන හැකියාව මුළුමනින් අහිමි කිරීමට හේතුවී තිබෙන්නේ යැයි කිව හැකිය. එය රටේ නීතියේ පාලනය දුර්වල කොට රාජ්‍ය දූෂණයෙන් කුණුවූ රාජ්‍යයක තත්ත්වයකට පත්කිරීමට හේතුවී තිබේ. මෙම දුෂ්ට කොල්ලකාරී ක්‍රමය රජයට ලැබෙන ආදායම් අතිවිශාල ප්‍රමාණයකින් හීන කොට රාජ්‍යයේ ණයගැතිභාවය උග්‍ර කිරීමටද හේතුවී තිබේ.

කොල්ලයේ ඇතැම් ලක්ෂණ

මහජන නියෝජිතයන්ට කොල්ලකන්නට ඉඩදී තිබෙන්නේ රජයට ආදායම් ලැබෙන හොඳම ආදායම් මාර්ගයන්ය. මත්පැන් බලපත්‍ර වසර කිහිපයකට බලපාන පරිදි වෙන්දේසි ක්‍රමයකට විකුණන ක්‍රමයකට යාම මගින් රජයට විශාල ආදායමක් ලබාගත හැකි මාර්ගයකි. මන්ත්‍රීවරුන් හරහා ලබාදී තිබෙන මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව 1200කට වැඩිය. වැලි, ගල්, පස්, දැව වැනි බලපත්‍රවල ඒකාධිකාරය හිමිකරගෙන තිබෙන්නේද මහජන නියෝජිතයන්ය. ඒවාද ලොකු මිලකට විකිණිය හැකි බලපත්‍ර වන අතර දැන් ඒවායින් ලැබෙන්නේ නාමික ආදායමක් පමණය. විදුලි සංදේශ සංඛ්‍යාත ලෝකයේ සැලකෙන්නේද ඉතා අධික මිලකට වෙන්දේසියේ විකිණිය යුතු මහජනයාට අයත් සීමිත සම්පතක් ලෙසය.
ජනාධිපතිනි කුමාරතුංග පාලන කාලයේදී රූපවාහිනී හා ගුවන්විදුලි බලපත්‍ර ගණනාවක් ඇගේ ගජ මිතුරකුගේ නමට නාමික මිලකට ලබාදෙන ලද අතර එම පුද්ගලයා ඒවා තවත් පාර්ශ්වයකට විකිණීමෙන් ලද ආදායම රුපියල් කෝටි සිය ගණනක් විය හැකිය. ඒ මගින් ඔහු උපයන ලද ආදායම ලැබිය යුතුව තිබුණේ ඔහුට නොව, මහා භාණ්ඩාගාරයටය. චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලය අවසන් වන අවස්ථාවේදී විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානියා, එම තනතුර අතහැර ගියේ තමන්ගේ නමටද බලපත්‍රයක්ද ලියාගෙනය. ඔහු එම බලපත්‍රය විදුලි සංදේශ සමාගමකට විකුණා ඇත්තේ ඩොලර් මිලියන 5කට බව කියනු ලැබේ. රූපවාහිනී බලපත්‍රවලට ලැබෙන වටිනාකමේ තරම ඉන් තේරුම් ගත හැකිය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2005 මැතිවරණයේදී වැඩ කළ පුද්ගලයන් ගණනාවකට හා පක්ෂ දෙකකට (ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික හෙළ උරුමයට) රූපාවාහිනී හෝ ගුවන්විදුලි බලපත්‍ර ලබාදෙන ලදි. එහිදී ගුවන්විදුලි බලපත්‍රයක් ලබාගත් ප්‍රසිද්ධ හිමිනමක් එම බලපත්‍රය ලංකාවේ ප්‍රකට තේ සමාගමක හිමිකරුවකුට විකුණන ලද අතර එම විකිණීමෙන් හිමි නම උපයාගත් ශුද්ධ ආදායම රුපියල් ලක්ෂ 400කි. එම රුපියල් ලක්ෂ 400 ලැබිය යුතුව තිබුණේ හිමි නමට නොව මහා භාණ්ඩාගාරයටය. මහජන මන්ත්‍රීවරුන් හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් නාමික මිලක් ගෙවා අත්පත් කරගෙන තිබෙන රජයේ ඉඩම්වල ප්‍රමාණය කොතරම් විශාලද? රටේ ප්‍රධාන වැව් අවට හා නැගෙනහිර වෙරළ තීරයේ ඔවුන් අල්ලා ගෙන තිබෙන විශාල වාණිජ වටිනාකමක් ඇති ඉඩම්වල ප්‍රමාණය කොතරම්ද? ඒවා වෙන්දේසියේ විකුණුයේ නම් රජයට උපායගත හැකිව තිබුණු ආදායම කොතරම් විශාලද?

අධිකරණ ක්‍රියාමාර්ගයක්

ඊළඟ ජනාධිපතිවරණයෙන් හා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ලංකාවේ නැවත ඇතිවන්නේ ජනාධිපති සතුව තිබුණු සියලු බලතල පාර්ලිමේන්තුවට ලැබෙන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකි. ‘ඊළඟ ජනාධිපති පඹයෙක්’ යන සිරස්ලතයෙන් ආචාර්ය නිහාල් ජයවික්‍රම ලියා තිබෙන අනගි ලිපිය හැම කෙනකු විසින්ම කියවිය යුතුය. ඔහු ව්‍යවස්ථා සම්පාදන විෂය පිළිබඳව ලංකාවට සිටින විශාරදයන් කිහිපදෙනාගෙන් කෙනෙකි. ඔහු එම විවරණයෙන් කියන්නේ ඊළඟට තේරී පත්වන ජනාධිපතිවරයා විධායක බලයක් නැති විලියම් ගොපල්ලව පන්නයේ ජනාධිපතිවරයකු වන බවය. රාජ්‍යයේ සියලු විධායක බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවෙන් තේරී පත්වන අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටය.
මෙය බරපතළ අඩුපාඩුකම් තිබියදීත් 1977ට පෙර පැවති තත්ත්වයට එනම් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට මාරුවීමට සමානය. එහෙත් පාර්ලිමේන්තුව තිබෙන්නේ එදා පැවති තත්ත්වයෙහි නොව, ඉතාම දූෂිත හා විකෘති තත්ත්වයකය. එම විකෘති තත්ත්වය කෙරෙහි බලපා තිබෙන ප්‍රධානතම හේතුව ලෙස සැලකිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල බහුතරයක් නීතියට පටහැනිව රජය සමග විවිධ ආකාරවලින් ව්‍යාපාර කරන තත්ත්වයකට පත්ව සිටීමය. එම තත්ත්වය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ස්වභාවය පමණක් නොව, පාර්ලිමේන්තුවේ ස්වභාවයද විකෘති කිරීමට හේතුවී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පවත්නා එම දූෂිත තත්ත්වය ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයකට පෙර වෙනස් කර ගතයුතු නැද්ද?

අප (පුනරුදය ව්‍යාපාරය) හිතන්නේ එය වෙනස් කර ගැනීම සඳහා ක්‍රියා කළ යුතු බවය. එවැනි වෙනස් කරගැනීමකින් පමණක් ආණ්ඩුක්‍රමයේ තිබෙන සියලු ප්‍රශ්න විසඳෙන්නේ යැයි අපි විශ්වාස කරන්නේ නැත. ඒ සඳහා සමස්ත ක්‍රමයේ ව්‍යුහමය විපර්යාසයක් අත්‍යවශ්‍ය වේ යැයි අපි විශ්වාස කරමු. ඒ අරමුණ කරා යන ගමෙන්දී මහජන ඡන්දයෙන් තේරී පත්වී සිටින මහජන නියෝජිතයන් නීතියට පටහැනිව භුක්ති විඳිමින් සිටින රාජ්‍යය අසමත් රාජ්‍යයක් කිරීමට හේතුවී තිබෙන ප්‍රධානම සාධකය ලෙස සැලකිය හැකි රාජ්‍ය සමග ව්‍යාපාර කිරීමේ අයිතිය ඊළඟ ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර අහිමි කිරීම අත්‍යවශ්‍ය වේ යැයි අපි විශ්වාස කරමු.
ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට අපි සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය දැනුම්දීම් කතානායකවරයා වෙතත්, විගණකාධිපතිවරයා වෙතත් කර තිබෙන්නේය. ඒ සඳහා මේ දක්වා හුවමාරු වී තිබෙන ලිපි තුනක් ප්‍රසිද්ධියට පත් කරන්නේ මහජනයාගේ දැනගැනීම සඳහාය. අපි අපේක්ෂා කරන්නේ රජය සමග ව්‍යාපාර කරන මන්ත්‍රීවරුන් පිළිබඳව ඉක්මන් විගණනයක් සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමය. මහජන මන්ත්‍රීවරුන්ට නීතියට පටහැනිව ව්‍යාපාර කරන්නට ඉඩහැර තිබීම පාර්ලිමේන්තුව දීර්ඝ කලක් තිස්සේ පවත්වාගෙන යන වරදක් වන අතර, ඒ බව පළමුවෙන්ම රටට පෙන්වාදීමේ ගෞරවයද හිමිවිය යුත්තේද අධිකරණයටය. ඒ සඳහා අධිකරණය විසින් පාර්ලිමේන්තුවට කර තිබෙන අනතුරු ඇඟවීම් දෙකක් පාර්ලිමේන්තුව විසින් මුළුමනින් නොසලකා හැර තිබෙන බව කිව යුතුය. අප උත්සාහ කරන්නේ අධිකරණයේ එම ජනහිතකාමී ව්‍යවස්ථාමය ස්ථාවරය අධිකරණයට පෙන්වා දී නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන මහජන නියෝජිතයන් ගැන හදිසි විගණනයක් සඳහා වන නියෝගයක් අධිකරණයෙන් ලබාගැනීමය. ඒ මගින් ඔවුන් දරන තනතුරුවලින් ඔවුන් ඉවත් කිරීමට අදහස් කරන අතර එවැනි අයට ඉදිරි ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට නාමයෝජනා ඉදිරිපත් කිරීමට තිබෙන අයිතියද අහිමි කිරීමට අපේක්ෂා කරමු. ඒ මගින් අදාළ නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරවා ගැනීමට හැකි වෙතොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ක්‍රියාකරන විශාල පිරිසකට මන්ත්‍රීකම් අහිමි වනු ඇති අතර ඊළඟ ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට තිබෙන අයිතියද අහිමි වනු ඇත.
එම නෛතික ක්‍රියාමාර්ගය සඳහා දැනට හුවමාරු වූ ලිපි තුනක් මෙහි පළකරන්නේ මහජනයාගේ දැනගැනීම සඳහාය. මහජනයා අතර මෙම වැඩසටහනේ කොටස්කරුවන් ලෙස ක්‍රියාකිරීමට උනන්දුවක් දක්වන අය වේ නම් ඔවුන්ටද විවිධාකාරවලින් මේ වැඩසටහනේ කොටස්කරුවන් බවට පත්විය හැකිය.
පහත පළවනුයේ මේ ප්‍රශ්නය පිළිබඳව කතානායක කරු ජයසූරිය මහතා වෙත යවන ලද පළමු ලිපියයි.

 

පළමු ලිපිය

එම්.කේ. වික්ටර් අයිවන්,
නො. 83,
පිළියන්දල පාර,
මහරගම.
2019-05-10
ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමා,
පාර්ලිමේන්තු සංකීර්ණය,
ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.

කථානායකතුමනි,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජය සමග ව්‍යාපාර කිරීම-
මෙය පාර්ලිමේන්තුවට අදාළව කරන පැමිණිල්ලක් වන අතර, ලාංකේය සමාජ දේශපාලනයේ ව්‍යුහමය විපර්යාසයක් වෙනුවෙන් සහභාගී ව්‍යවස්ථා සම්පාදන මාදිලියක් උදෙසා පෙනී සිටින, මාද ඇතුළත් පුනරුදය ව්‍යාපාරය වෙනුවෙන් ඉදිරිපත් කරන පැමිණිල්ලක් ලෙසද සලකන මෙන් ඉල්ලා සිටිමි.
පුනරුදය ව්‍යාපාරය විසින් ලංකාවේ ඇතිවී තිබෙන පරිහාණිය ගැන කරන සොයා බැලීමකදී පාර්ලිමේන්තුව එම තත්ත්වයට වගකිව යුතු ප්‍රධානතම ආයතනය ලෙස හඳුනා ගන්නා ලදී. රටේ පරිහාණිය සෑම අංශයකම දක්නට තිබෙන තත්ත්වයකි. ඉහවහා ගිය දූෂණය, ආකාර්යක්ෂමතාවය, නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම, පරිපාලනය බිඳ වැටීම, රාජ්‍යයක තිබිය යුතු සුපරීක්ෂාව බිඳ වැටීම ඒ අතර ප්‍රධාන වේ. ඒ සියලු දේට පාර්ලිමේන්තුව ප්‍රධාන වශයෙන් වගකිව යුතු ආයතනය ලෙස සැලකිය හැකිය.
කිසියම් කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව පවතින්නේ නෛතික හා සදාචාරමය වශයෙන් සුජාතභාවය අහිමි කර ගත් තත්ත්වයකය. ඊට බලපා තිබෙන ප්‍රධාන හේතුව වශයෙන් අප දකින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජය සමග ව්‍යාපාර කරන විෂම තත්ත්වයක් පැවතීමයි. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කිසි සේත් නොකළ යුතු වරදකි. මන්ත්‍රී තනතුරු අහිමි කිරීමට තරම් බරපතල වරදක් ලෙස මුලු මහත් ශිෂ්ටසම්පන්න ලෝකයම පිළිගත් වරදකි. එම බිහිසුණු වරද ඉදිරියේ පාර්ලිමේන්තු බලධාරීන්ද ඇස් වසා ගෙන සිටින තත්ත්වයක් පෙනෙන්නට තිබේ.
පාර්ලමේන්තු මන්ත්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාර කරන්නට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් තුළ ඉඩක් ඇත්තේම නැත. එය ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඉතාමත් තදින් ක්‍රියාත්මක වන ප්‍රතිපත්තියකි. එය 1977 දක්වා ලංකාවේද තදින් ක්‍රියාත්මක විය. එහෙත් 1977න් පසුව අද දක්වාම මෙම බරපතල වරද මහා පරිමාණයෙන් සිදුවන දෙයක් බවට පත්ව තිබේ.
පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් රජය සමග ව්‍යාපාර කිරීම ක්‍රම ගණනාවකට සිදුවේ.
1. රජයේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියා කිරීම.
2. රජයේ ආයතනවලට භාණ්ඩ සැපයීම.
3. රජයේ ඉඩම් හිමිකර ගැනීම.
4. රජයේ බලපත්‍ර ලබා ගනිමින් විද්‍යුත් මාධ්‍ය, මත්පැන්, දැව, පස් හා වැලි ව්‍යාපාර පවත්වා ගෙන යාම.
දැන් මන්ත්‍රීවරුන් මෙකී වැරදි කරමින් සිටින්නේ හොර රහසේ නොව ප්‍රසිද්ධියේය. රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 3000ක් අයිති කර ගෙන තිබෙන බවට, අදාළ ඔප්පුවල පිටපත් සමග අල්ලස් දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙන බවද වාර්තා විය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ඉඩම් මන්ත්‍රීවරුන් ලබා ගෙන තිබෙන බවද ප්‍රකට කරුණකි. මන්ත්‍රීවරුන්ගේ වත්කම්වලට අදාළව කෙරෙන පරීක්ෂණවලට ඇඟිලි ගැසීම් සිදුවන බවද පෙනේ. සමහර පරීක්ෂණ අවසානයකින් තොරව ඇදි ඇදී යන තත්ත්වයක්ද තිබේ. අවසන් කරන පරීක්ෂණ වලදී පවා නඩු පැවරීම සඳහා අසාමාන්‍ය තරම් දීර්ඝ කාලයක් ගත වන බවද පෙනේ.
ඇල්බට් සිල්වා සහ රාජිත සේනාරත්න යන අයගේ මන්ත්‍රී ධූර අහෝසි කළ නඩු තීන්දු දෙකේදීම අධිකරණය විසින් පාර්ලිමේන්තුව වක්‍රාකාරයෙන් හෝ දෝෂදර්ශනයට ලක් කර තිබේ. එසේ තිබියදීත් පාර්ලිමේන්තු බලධාරීන් මෙම බරපතල වරදට ඉඩදී ඉවත බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවද පෙනෙන්නට තිබේ.
ලංකාව කාළකන්ණි කිරීමට හේතුවී තිබෙන මෙම බරපතල වරද සිදු කිරීමට තවදුරටත් ඉඩ නොදී, ඉදිරි මැතිවරණවලට පෙර එම වරද නිවැරදි කරන ලෙස ඉල්ලා සිටින අතර, ඒ සඳහා ඔබතුමා අනුගමනය කරන්නට යන්නේ කුමන ක්‍රියාමාර්ගයක් ද යන්න දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටිමි.
මෙයට,
විශ්වාසී,

එම්.කේ.වික්ටර් අයිවන්
පුනරුද ව්‍යාපාරය වෙනුවෙන්

කතානායකවරයා එම ලිපියට එවන ලද පිළිතුරු ලිපිය මෙසේය.

2019 මැයි මස 24 වන දින,
එම්.කේ. වික්ටර් අයිවන් මහතා
නො. 83, පිළියන්දල පාර.
මහරගම.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජය සමග ව්‍යාපාර කිරීම
උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබ විසින් එවන ලද 2019.05.10 වන දිනැති ලිපිය හා බැඳේ.
ජනතා නියෝජිතයන් වශයෙන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කරන ආකාරය පිළිබඳ ඔබගේ අවධානය අගය කොට සලකමි.
එම ලිපියේ ඔබ විසින් දක්වා ඇති පරිදි, යම් දූෂණයක් හෝ වංචාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ නෛතික පියවර ගැනීමේ හැකියාව පවතින්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනයන් මගින් වන අතර, එම ආයතනයන් මගින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් වන චෝදනා විභාග කිරීම ප්‍රමුඛ කොට සැලකිය යුතු බව මාගේ ද අදහසයි.
පාර්ලිමේන්තුව වශයෙන් උක්ත කාර්යය පහසුකර ගැනීම සඳහාත්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගවීම තහවුරු කරනු පිණිසත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයක් හඳුන්වා දී ඇති අතර, එමගින් මන්ත්‍රීවරුන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ලේඛනයක් සකස් කිරීමටත් එම බැඳියාවන් අනාවරණය කිරීම සහ ප්‍රකාශයට පත්කිරීමටත් පියවර ගනිමින් පවතින බව දන්වනු කැමැත්තෙමි. තවද, මන්ත්‍රීවරුන් විසින් පොදු දේපළ භාවිත කිරීම හා අදාළ ආචාර ධර්ම පිළිබඳවද එකී චර්යා ධර්ම සංග්‍රහයේ දක්වා ඇති බව ද වැඩිදුරටත් දන්වනු කැමැත්තෙමි.
මීට
විශ්වාසී

කරු ජයසූරිය
කතානායක

පහත පළවනුයේ කතානායකවරයාගේ පිළිතුරු ලිපියට යවන ලද ලිපියයි.

2019-6-12
එම්.කේ. වික්ටර් අයිවන්,
නො. 83,
පිළියන්දල පාර,
මහරගම.

ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමා,
පාර්ලිමේන්තු සංකීර්ණය,
ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.

කථානායකතුමනි,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජය සමග ව්‍යාපාර කිරීම-
මා විසින් 2019.05.10 දා පාර්ලිමේන්තුවේ කතානායක වශයෙන් ඔබ වෙත එවන ලද ලිපියට ඔබ තුමා විසින් එවන ලද 2019.05.24 දිනැති පිළිතුරු ලිපිය සම්බන්ධයෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජය සමග ව්‍යාපාර කරන බවට මාගේ ලිපියෙන් එල්ල කර තිබෙන චෝදනාව කතානායක වශයෙන් ඔබ තුමා එවන ලද පිළිතුරු ලිපියෙන් ප්‍රතික්ෂේප කර නැත.

ඔබ තුමා එහි සඳහන් කර තිබෙන්නේ එවැනි වැරදි කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නෛතික පියවර ගැනීමේ හැකියාව තිබෙන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට වන බවය. ඒ ගැන අප දරන මතය වන්නේ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට පෙර ප්‍රශ්නයේ බරපතළකමේ තරම එනම්; මන්ත්‍රීවරුන් කොපමණ සංඛ්‍යාවක් නීතියට පටහැනිව එම වරද කරන තත්ත්වයට පත්වී තිබෙන්නේද යන්න සොයා බැලීමේ වගකීමක් කතානායක වශයෙන් ඔබ තුමාට තිබෙන බවය.

ඒ ගැන කරන ඉක්මන් විගණනයකින් යථා තත්ත්වය දැන ගත හැකි අතර එම විගණනය ජාතික විගණන කොමිසම ලවා කරවා ගත හැකිය. එම කොමිසමට ඒ සඳහා අවශ්‍ය නෛතික බලය සේ ම එවැනි විගණනයකට අවශ්‍ය කරන පහසුකම් සේ ම ධාරිතා ශක්තියද තිබෙන්නේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මේ ප්‍රශ්නයට නිවැරදි විසඳුමක් නොවන බව අපගේ මතයයි. මා මාගේ මුල් ලිපියෙන් අඟවා තිබෙන ආකාරයට එම කොමිසම වෙත මන්ත්‍රීවරුන්ට එරෙහිව ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීමක් සිදු නොවේ. වසර 7-8ක් තරම් දීර්ඝ කාලයක් ගතවීත් අවසන් නොකළ විමර්ශන පවතී. ඒ ගැන කරුණු විමසීමකින් ඔබතුමාටද එහි යථා තත්ත්වය දැනගත හැකිය.

මෙම කාරණය රාජ්‍ය පාලනයට අදාළ ඉතාමත් බැරෑරුම් ප්‍රශ්නයක් ලෙස සලකා ක්‍රියා කිරීමට අවශ්‍ය වන්නේ සමස්ත රාජ්‍ය පාලනයම දූෂිත කොට අක්‍රමවත් කිරීමටත්, රාජ්‍යයේ ආර්ථික පදනම විශාල ප්‍රමාණයකට බංකොළොත් කිරීමටත් හේතුවී තිබෙන නිසාය. රටේ නීති සම්පාදක ආයතනය වශයෙන් නීති සම්පාදකයන්ගේ ජන ජීවිතය අවංක තත්ත්වයක තබා ගැනීමට අවශ්‍ය නීති සැකසීම අවුරුදු 40ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව විසින් දිගින් දිගට ම මගහැර තිබෙන බවද කිව යුතුය. ඇල්බට් සිල්වාගේ මන්ත්‍රී ධුරය අහිමි කරමින් අධිකරණය විසින් 1978දී ලබාදී තිබෙන නඩු තීන්දුවෙන්ද, ඉන් තවත් අවුරුදු 20කට පසුව එනම් 1998දී රාජිත සේනාරත්නගේ මන්ත්‍රී ධුරය අහිමි කරමින් දී තිබෙන නඩු තීන්දුවෙන්ද ඒ ගැන අධිකරණය නැවත අවධානය යොමු කර තිබෙන බවද කිව යුතුය.

ඇල්බට් සිල්වාගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීමෙන් පසුව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් ඔහු පත්කළ මන්ත්‍රීවරයකු ලෙස කඹුරුපිටිය ආසනයට පත් කළ අතර, රාජිත සේනාරත්නගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඔහු ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රීවරයකු වශයෙන් පත් කළ බවද කිව යුතුය. අධිකරණය විසින් විසමාචාර චෝදනා මත මන්ත්‍රී ධුරය අහිමි කළ පුද්ගලයන්ට එම තීන්දුවල තීන්ත වේලෙන්නටත් පෙර වෙනත් ආකාරවලින් පාර්ලිමේන්තුවට පත් කිරීම යහපත් හෝ නීතියට අනුකූල ක්‍රියා ලෙස සැලකිය නොහැකිය. එ මගින් එම නායකයෝ දෙදෙනාම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජය සමග ව්‍යාපාර කිරීම බරපතළ වරදක් ලෙස නොසැලකූ බව පෙන්නුම් කරති. රාජිත සේනාරත්නට අදාළ එම නඩු තීන්දුවෙන් පසුවද එම විෂයට අදාළ නීති සම්පාදනයකට නොයෑමෙන් පාර්ලිමේන්තුවද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එම දූෂිත පැවැත්මට අනුබල දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බවද පෙනේ.

ලංකා රාජ්‍යයේ ඇතිවී තිබෙන දූෂණය, නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම, ණයගැතිභාවයේ වර්ධනය හා රාජ්‍යයට ලැබෙන ආදායම් හීනවීම කෙරෙහි මහජන ඡන්දයෙන් විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට තේරී පත්වන මහජන නියෝජිතයන් නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කිරීම ප්‍රධානතම හේතුවක් ලෙස බලපා තිබෙන්නේය යන්න අපගේ මතයයි. එම විසම තත්ත්වය තවදුරටත් දිගින් දිගට පවත්වා ගෙන යන්නට ඉඩ නොදිය යුතුය යන්න හා ඊළඟ ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ක්‍රියා කළ යුතු බව අපි විශ්වාස කරමු. කතානායකවරයා වශයෙන් එම තත්ත්වයේ යහපත් වෙනසක් ඇති කිරීම සඳහා ඔබතුමාට ප්‍රායෝගිකව ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් මෙසේය.
1. මෙම ප්‍රශ්නයේ බරපතළකම මන්ත්‍රීවරුන්ට පැහැදිලි කර දී මෙම විෂයට අදාළව තම තමන්ගේ තත්ත්වය දිවුරුම් පෙත්සම් මගින් පැහැදිලි කරන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. රජයේ ඉඩම් බදු ගෙන ඇති, රජයේ ආයතන සමග කොන්ත්‍රාත්කරුවන් හෝ සැපයුම්කරුවන් ලෙස ක්‍රියා කරන, ගුවන් විදුලි හෝ රූපවාහිනී බලපත්‍ර ලබා ගෙන ඇති, මත්පැන්, එතනෝල්, ප්‍රති අපනයන, ගල්, වැලි, පස්, දැව හෝ ප්‍රවාහන බලපත්‍ර ලබා ගෙන ඇති අයට එම දිවුරුම් පෙත්සම්වලින් කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටිය හැකිය.
2. ආණ්ඩුව සමග ව්‍යාපාර කරන මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ගැන විගණන පරීක්ෂණයක් සිදු කර, ඒ ගැන පාර්ලිමේන්තුවට වාර්තා කිරීමේ වගකීම විගණකාධිපතිවරයා වෙත පැවරිය හැකිය.

රජය සමග ව්‍යාපාර කරන පුද්ගලයන් මැතිවරණවලට තරග කිරීම නීතියට පටහැනි වන බැවින්, සමස්ත රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය විකෘති කිරීමට හා දූෂිත කිරීමට බලපා තිබෙන මෙම බරපතළ වරද ඉදිරි ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නිවැරදි කිරීම සඳහා ඔබතුමා කෙබඳු පියවර ගන්නේද යන්න අප වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමු.
මෙයට, විශ්වාසී,
………………………….
වික්ටර් අයිවන්
පුනරුද ව්‍යාපාරය වෙනුවෙන්

පිටපත් :
1. විගණන කොමිසමේ සභාපති, විගණකාධිපතිතුමා,
2. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා.