මම මොනවාහරි කරයි කියලා ජනාධිපතිතුමා දන්නවා – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න

ඔබවහන්සේ බන්ධනාගාරයෙන් නිදහස් වෙලා ආව ගමන්ම ප්‍රකාශයක් කළා ඉදිරියට ආගමික කටයුතුවලට සීමා වූ ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙන බවට. ඉන් පසුව ප්‍රකාශයක් කරනවා ජාතිය ගොඩනැඟීමේ වැඩපිළිවෙළකට නායකත්වය දෙන බවට. දවසක උපවාස කරන රතන හාමුදුරුවන්ගේ සුව දුක් විමසන්න යනවා. ඊළඟ දවසේ ඒ උපවාසය විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කරනවා. මේ එකිනෙකට පරස්පර ප්‍රකාශ සහ හැසිරීම් ජනතාව තේරුම් ගත යුත්තේ කොහොමද?

ඔබ බලන්න ඕනේ මගේ වෙනස්වීම දිහා නෙවෙයි. මේ රට වෙනස් වෙන විදිහ දිහයි. ඇත්තටම මම බන්ධනාගාරයේ ඉඳන් එළියට එනකොට කල්පනා කරගෙන ආවේ බනක් භාවනාවක් කරගෙන පාඩුවේ මගේ ශාසනික ජීවිතයට යනවා කියලයි. නමුත් මහානායක හාමුදුරුවෝ බැහැ දැකලා කතා කරලා එළියට ආවා විතරයි මේක අහගන හිටිය ඉලන්දාරි තරුණ හාමුදුරුවරු විස්සෝපයට පත්වුණා. කලබලයට පත්වුණා. තව පොඞ්ඩෙන් මට මහානායක පන්සලෙන් එළියට එන්න හම්බවෙන්නෙත් නෑ. මාව වටකරගෙන “එහෙම බෑ. හාමුදුරුවෝ එහෙම කොහොමද අයින් වෙන්නේ?” කියලා කලබල කළා. ඒ කලබල කිරීම් ඇතුලේ මම තේරුම් ගත්තා මොනතරම් අරාජික බවක් මේ සමාජය ඇතුලේ තියනවාද කියලා. විශේෂයෙන් සිංහලයන්ට. ඉතිං ඒකයි මම කිව්වේ “නෑ කලබල වෙන්න දෙයක් නෑ. මම ආපහු අපේ ජාතික වගකීම ඉටු කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා” කියලා. ඒ විදිහට අවස්ථානුකූලව අවශ්‍ය වෙනස්කම් කරගන්න සිදුවෙනවා.

ජාතික වගකීම ඉටු කිරීම හෝ ජාතිය ගොඩනැඟීම සඳහා මොකක්ද දැන් ක්‍රියාත්මක කරන්න යන නව වැඩපිළිවෙළ ?

මේ රටට, මිනිස්සුන්ට තියෙන්නේ එකම රැකවරණය යි. ඒ තමයි මේ සිවුරේ හෙවන. ආයේ මේ සමාජවාදීද, කොමියුනිස්ට්ද, දක්ෂිණාංශිකද, වාමාංශිකද, ලිබරල්වාදීද, ෆැසිස්ට්වාදීද මේ එකක්වත් සහරාන් පන්නයේ බෝම්බ හමුවේ අදාළ නෑනේ. දැන් මේ මරාගෙන මැරෙන පන්නයේ බෝම්බකරුවෝ රට තුළ ඉන්නවා. විදේශීය බලවේග තියනවා. මේ රට සංස්කෘතික ආක්‍රමණයකට ගොදුරු වෙලා තියනවා. වාර්ගික නීති මේ රට ඇතුලේ ක්‍රියාත්මක කරන්න පටන් අරන් තියනවා. ආගමික නීති මේ රටේ ක්‍රියාත්මක වෙනවා. එතකොට, සිංහලයන්ට එක නීතියකුත්, දමිලයන්ට තව නීතියකුත්, මුස්ලිම් අයට වෙනම නීතිත්. ඉතිං කොහෙද මේකේ එක රටක්. ඉතිං අපට ආපහු අලුතෙන් හිතන්න වෙනවා. ඒ නිසා අපේ යෝජනාව වෙන්නේ එක රටක්, එක නීතියක්, එක නායකයෙක්, එක විධානයක් එක්ක මේ රට ඉස්සරහට ගෙනයා යුතු බවයි. ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් හැදිය හැකි ඉහළතම පුළුල් සංධානයක් නිර්මාණය කිරීමට තමයි අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ.

සිංහල ජාතිය ගොඩනඟන වැඩපිළිවෙළක් නොවෙයිද ඒ කියන්නේ?

සිංහල ජාතිය කියන එකට වඩා වැදගත් මේ රටේ උපන් සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් මේ හැම කෙනෙක්ම මම කියන්නේ භූමි පුත්‍රයෝ. මේ පොළොවෙනේ ඉපදිලා තියෙන්නේ. එතකොට අපිට උවමනයි මේ රට ඇතුලේ ඉපදුණු හැම කෙනෙක්ම භූමි පුත්‍රයෝ හැටියට සළකලා, මේ රට ඒගොල්ලන් උපන් භූමිය හැටියට සළකලා උපන් බිමේ මිනිසුන්ට එකම ආකාරයකට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරගන්න. ඒකටයි එක නීතියකට රට යටත් කරන්න ඕනේ කියලා කියන්නෙත්. මුස්ලිම් ළමයින්ට මද්‍රසා පාසල්. සිංහළ ළමයිනට ළදරු පාසල්. එය වැඩිදියුණු වෙද්දි සහිරා කොලේජ්. හින්දු කොලේජ්, සිංහල බෞද්ධ පාසල්, කතෝලික පාසල්. කෝ අධ්‍යාපනයට එක වැඩපිළිවෙළක්. එක එක පන්නෙටනේ වැඩ වෙන්නේ. එතකොට කොහොමද අපි යුනිටි එකක් හදන්නේ. අපි ජපානෙට ගියොත් සිංහල ජාතියේ දරුවත් එකයි ජපන් දරුවත් එකයි එක ඉස්කෝලේ ඉගෙන ගන්නවා. එහෙමනේ හදන්න ඕනේ අපේ රටේ. කෝ ඒකට වැඩපිළිවෙළක්. ඒ නිසා අපිට දැන් ඕනේ මේ රට එක අරමුණකට පෙළගස්සන හැමෝටම සමඟියෙන් සමාදානයෙන් බය සැක නැතිව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්නයි. එහෙම නැතිව සිංහලයන්ට වෙනම එකක් නෙවෙයි.

අතීතයේ ඉඳළාම රට ගොඩනැඟීම කියන කාරණයේදි දේශපාලනය කරන හාමුදුරුවරුන්ගේ මැදිහත්වීම සිදුවුණේ ජාතීන් අතර එකමුතුවක් ඇතිවන ආකාරයට නොවෙයි, තවදුරටත් බෙදීම් ඇතිවෙන ආකාරයටයි කියලා චෝදනාවක් එල්ල වෙනවා. එහෙම පිරිසක් කොහොමද රටක් ගොඩනඟන්නේ කියන ප්‍රශ්නයක් මතුවෙනවා නේද?

ත්‍රාඩ දේශපාලනයේ වැරැද්දනේ මේ. සංඝයාවහන්සේලාට තියන රාජකාරිය, භූමිකාව සංඝයාවහන්සේලා තේරුම් ගන්න ඕනේ. සංඝයාවහන්සේලා දේශපාලකයන්ගේ ඔඩොක්කුවලට පැනලා ඔඩොක්කු කුක්කෝ වෙන්න ගියාමනේ අවුල වෙන්නේ. ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍ර දුර්වල වෙනකොට හාමුදුරුවරුන් ඉස්සරහට දානවා. මම කියන්නේ මේ රටේ ආගමයි දේශපාලනයයි වෙන්කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඒක කරගන්නේ නැතිව මේ ගමන යන්න බෑ. හාමුදුරුවරුන්ට තියනවා මේ රටේ ඵෙතිහාසික කාර්යභාරයක්. හාමුදුරුවරුන්ට පැවරිලා තියන ඵෙතිහාසික ගමන් මඟ හාමුදුරුවරුන්ට තෝරාගන්න වෙනවා. ඒක තියෙන්නේ දේශපාලකයට වඩා ගොඩක් උඩින්. අන්න ඒක දැන් බිඳවැටිලා තියනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ගුරු කොටගත් වැඩපිළිවෙළක්වත් නෙවෙයි තියෙන්නේ එක එකාගේ චින්තනලට කොටුවෙලා. එක එකාගේ දේශපාලන වැඩපිළිවෙළවල් අනුව තවත් එක්තරා විදිහකට සිවුරුදාගත්ත දේශපාලන ගෝල බාලයන් ටිකක් තමයි අපි දකින්නේ. එතනින් මේක ගැලවෙන්න ඕනේ. ඉස්සරවෙලාම සංඝයා සාමග්‍රියට පත්වෙලා අපට වැරදිච්ච තැන් නිවැරදි කරගෙන නායකයන්ට අනුශාසකත්වය සැපයුවොත් අදට වඩා හොඳ තැනකට මේ රට පත්කරගන්ඩ පුළුවන්.

හාමුදුරුවරුන්ට ශාස්තෲවරයා පවරලා තියෙන කාර්ය කාර්යභාරය වෙනස් එකක් නේද?

ඒක මෙහෙමනේ. රටට රජුන් නැති කළ රජුන් තැනූ කොටසක්නේ මේ අපි, හාමුදුරුවරු. ඊළඟට අපි විශ්වාස කරනවා මේ රටේ තියෙන්නේ බුද්ධ භෝග කියලා. රජදරුවෝ අවස්ථා ගණනාවකදි මේ භූමිය සාංඝිකව පූජා කරලා තියනවා. ඒ නිසා බුද්ධ භෝග කොල්ලකමින් සිංහල ජාතියට සිද්ධ වෙන ඵෙතිහාසික අසාධාරණය ගැන කතා කරන්නේ නැතුව අපිට බලන් ඉන්න බෑ.

කොතනින්ද ඔය කියන වැඬේට ආරම්භයක් ගන්නේ?

මේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න අපි ජාතික මට්ටමේ කොමිසමක් පත්කරන්න ඕනේ. ඒක මිනිස්සුන්ට විවෘත කරන්ඩ ඕනේ මොනවද සමාජයේ මුස්ලිම්, දෙමළ, සිංහල මිනිස්සුන්ට තියන ප්‍රශ්න කියලා පැහැදිලි කරගන්න. ජනවර්ග අතර තියන මේ ආතතියට හේතු මොනවාද? හැමෝටම ඇවිල්ලා ඒ කොමිසමට සාක්කි දෙන්න පුළුවන්. මේක කරගන්නේ නැතිව තවදුරටත් යන මේ ගමනෙන් වෙන්නේ දෙතුන්ගොල්ල අනවශ්‍ය විදිහට කඳවුරු බැඳගන්න එකනේ.
ඔය කියන වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාව ඔබවහන්සේ ගෙනයමින් සිටින්නේ සිංහල සමාජයත් එක්ක විතරයි නේද? මේ වගේ ප්‍රශ්නයක් විසඳන්න නම් දෙමළ මුස්ලිම් සෙසු සමාජ සමඟත් යහපත් සංවාදයකට යාම අවශ්‍ය වෙනවා නේද?

ඒ ඕගොල්ලන්ට මතු පිටින් පේන දේනේ. ඕගොල්ල දන්නවාද අපි කොච්චර මුස්ලිම් අයත් එක්ක කතා කරනවාද, කොච්චර දෙමළ අයත් එක්ක කතා කරනවාද කියලා. අපි අනිවාර්යයෙන් ඒගොල්ලත් එක්ක අභ්‍යන්තර සාකච්ඡාවක ඉන්නවා. හැබැයි අපි දේශපාලනයක් නොකරන හින්දා ඒ මිනිස්සු ගැන මෙතනදි හෙළිදරව් කරන්ඩ ඕනේ නෑ. වහාබ්වාදයට විරුද්ධ වෙන සූපී මුස්ලිම් මිනිස්සු මේ අන්තවාදයට විරුද්ධව නැඟිටගෙන ආවා. කාන්තාන්කුඩියෙන්ද, බේරුවලින්ද, මාදම්පේ හලාවතින්ද, ගාල්ල වැලිගමින්ද, ඒ සූපී මුස්ලිම් මිනිස්සු අද ඉතාම බයේ මේ අන්තවාදයට මූණ දෙන්න බැරිව තමන්ගේ කට පියාගෙන ඉන්නවා. මොකද වහබ්වාදී ආගමික අන්තවාදයට සියලු දේශපාලකයෝ යටවුණා. අපි එහෙම කරන්නේ නෑ. අපි එහෙම මිනිස්සු විනාශ කරන්නෙත් නෑ. හෙළිදරව් කරන්නෙත් නෑ. හැබැයි අභ්‍යන්තරිකව අපි ඉතාම හොඳ සාකච්ඡාවක නිරතවෙලා ඉන්නවා මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න.

සිංහල සමාජය සිංහල අනන්‍යතාවක් දෙසට නැඹුරුවෙමින් තිබෙනවා නම්, දෙමළ සමාජයත් දෙමළ අනන්‍යාතාව වෙතට තිබෙනවා නම්, මුස්ලිම් සමාජය ඔවුන්ට නෑකම් තිබෙන ඔවුන්ගේ අනන්‍යතාවක් දෙසට නැඹුරුවීම වරදක් ලෙසින් සැළකිය හැකිද?

බහුභූත පිස්සු කතාවක්නේ ඔය කියන්නේ. මේ රට කාගෙද? මේ ඉතිහාසය නිර්මාණය කරලා තියෙන්නේ කවුද? මේකේ ශිෂ්ටාචාරය ගොඩනඟලා තියෙන්නේ කවුද? දැන් ඔය කතාව ගිහිල්ලා අපිට කතා කරන්න පුළුවන්ද යුරෝපයේ. ජපානයේ. මේ මොන කතාවක්ද මේ? ලෝකයේ ඕනෑම රටක ‘පුරවැසියාට හිමි’ සහ ඒ රටේ ‘ජාතියට හිමි’ කියලා වරප්‍රසාද දෙකක් තියනවා. අපට වැරදුනේ ඔන්න ඔතන. මේකේ පුරවැසියා කවුද කියලා තේරුම් ගත්තෙත් නෑ. ඵෙතිහාසික ජාතිය කවුද කියලා තේරුම් ගත්තෙත් නෑ. සිංහලයන්ගේ අනන්‍යතාව මේකේ ආරක්ෂා කරගන්නේ නැත්නම් අපි ඒක සෞදියට ගිහිල්ලා කරන්ඩද? මැදපෙරදිගට ගිහිල්ලා කරන්ඩද? අපට කියලා භාෂාවක් තියනවා. අපට කියලා සංස්කෘතියක් තියනවා. අපට කියලා අනන්‍යතාවක් තියනවා. දැන් අපේ කොච්චර මිනිස්සු ඉන්නවාද මැදපෙරදිග. ඒගොල්ල එහෙ ගිහිල්ලා ශ්‍රී ලංකා කොලනි හදන්න යන්නේ නෑනේ. එහෙ නීතියට යටත් වෙලා වැඩකරන්නේ. ඉපදුනේ මේ රටේ නම් ඇයි මේ රටවල් දෙකක පය තියාගෙන ඉන්නේ. මේ රටේ නීතියට ගරු කරන්ඩ එපැයි. මේ රටේ සංස්කෘතියට අනුගත වෙන්ඩ එපැයි. මේ වෙලා තියෙන්නේ මේ අසීමාන්තික නිදහස වැරදි විදිහට පාවිච්චි කිරීම සහ නීතිය හරියට ක්‍රියාත්මක නොකිරීමයි. හෙල්මට් එක ගලවලා යනකොට පළවෙනි දවසෙම දඬුවම දුන්නා නම් දිගටම හෙල්මට් නීතිය ක්‍රියාත්මක වෙනවා. එක පුරා විද්‍යා ස්ථානයක් අල්ලනකොට පහුවදා පුරාවිද්‍යා නීතිය ක්‍රියාත්මක කළා නම් කවුරුත් නීතියට යටවෙලා. මේ වෙලා තියෙන්නේ දේශපාලකයෝ නීතිය හසුරුවනවා. නීතිය හරියට කරන්න දෙන්නේ නෑ. එවැනි වටපිටාවක් ඇතුලේ තමයි අනවශ්‍ය ගැටුම් නිර්මාණය වෙලා තියෙන්නේ.

සිංහල සහ දෙමළ ජාතීන් අතර ඵෙතිහාසික විරසකයක් තිබුණත් සිංහල සහ මුස්ලිම් ජාතීන් අතර මෑතක් වෙන තෙක්ම පැවතුනේ සමීප මිත්‍ර සම්බන්ධතාවක්. මේ මිත්‍රත්වය මේ ආකාරයෙන් බිඳී යාමට ඉඩහැරීම හෝ ඊට අනුබල දීම කවුරුන් කළත් බරපතල වරදක් නොවේද?

සහරාන්ලා පුපුරන්න පටන් ගන්නේ ඊයේ පෙරේදා උනාට මේකේ ආරම්භය හැත්තෑ ගනන්වල, අසූ ගනන්වල. ගෝලීයව ඇතිවෙලා තියන තත්ත්වය අපි තේරුම් ගන්න ඕනේ. අද විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් ඉස්ලාම් කතන්දරය ගත්තාම, ඉස්ලාමය සම්බන්ධයෙන් ලියලා තියන දේවල්, විශේෂයෙන් බටහිර යුරෝපයේ, මුස්ලිම් ජාතිකයන්ව ඉඳලා, ඉස්ලාමය අදහලා, ඒකේ ඉහළටම ඉගෙනගත් අය පවා අද ඉස්ලාමය විවේචනය කරනවා. ඒ අයගේ ලියවිලි අරන් බැලුවාම පේනවානේ ඕනෑම ජන සමාජයක මුස්ලිම් ජනගහනය 2%ඉක්මවපුවම, 5% ඉක්මවපුවම, 7%ඉක්මවපුවම මේ විදිහට 50% දක්වා ගණන් හදලා තියනවා මොකද වෙන්නේ කියලා. ඒවාට ලෝකයේ ඕනේ තරම් ආදර්ශ තියනවා. 10% ඉක්මවපු ගමන් ඒගොල්ලන්ගේ අන්තවාදය, සමාජ බෙදුම්වාදය ඔක්කොම ගේනවා. ඒක මේ අමුතු දෙයක් නෙවෙයි. ලෝකයේ අනෙක් රටවලට වෙච්ච දේම තමයි. දැන් මේ ප්‍රශ්නය පැරීසියේ නැත්ද? එංගලන්තයේ නැත්ද? ඕස්ටේ්‍රලියාවේ නැත්ද? බෙල්ජියමේ නැත්ද? ඒ හැම රටකටම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙලා තියනවා. මොන තත්ත්වයක් යටතේවත් මේවා නොසලකා වැඩකරන්න අපිට බෑ.

මෙයට විසදුම්, විකල්ප විදිහට සිංහල ජනගහණය වැඩි කරගන්න ඕනේ, සිංහල අම්මලා වැඩි වැඩියෙන් දරුවන් වදන්න ඕනේ කියන මතවාදයක් සමාජ ගත කෙරෙමින් තිබෙනවා. ඒ මතවාදය සමඟ ඔබවහන්සේත් සිටිනවාද? එය විසඳුමක් යැයි සිතනවාද?

අපි බර්ත් කොන්ට්‍රෝල් ගැන කතා කරන්න ඕනේ මුස්ලිම් ප්‍රශ්නයක් ගැන හිතලා නෙවෙයිනේ. රටේ තියන සම්පත් ගැන හිතලා. රටේ වතුර ටික සීමිතයි. ඉඩකඩම් සීමිතයි. වාතලය සීමිතයි. අපිට තියන සියලුම ස්වාභාවික සම්පත් සීමිතයිනේ. මේ ජනවර්ගයක් ඉලක්ක කරලා එක ජාතියක් බෝ කරන්නයි තව ජාතියක් මරන්නයි කියලා අපිට කියන්න බෑනේ. ඒක සදාචාරාත්මක නෑනේ. අපිට විතරක් නෙවෙයි මේක මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්. ඒ නිසා අපි ස්වාභාවික සම්පත් ගැන හිතලා යම් කිසි සාකච්ඡාවක් ඇති කරගන්න ඕනේ අපි මොකක්ද මේකට කරන්නේ කියලා.

මුස්ලිම් වෙළඳ ව්‍යාපාර වර්ජනය කිරීම ගැනත් අදහසක් සිංහල සමාජය තුළ පතුරවමින් සිටිනවා. ඒ මතවාදයත් සමඟ එකඟද?

මේ පත්තුවෙච්ච බෝම්බේ නිසා වදින්න ඕනේ තැන්වලට නෙවෙයිනේ වැදුනේ. අහිංසක කඩල වෙළෙන්දටත් වැදුනා. පාරේ වඬේ විකුණගෙන ජීවත් වෙච්ච මිනිහාටත් වැදුණා. ඒක අපරාධයක්. අපි ව්‍යාපාර වර්ජනය කරනවා නම් කරන්ඩ ඕනෑ සමස්ථ මුස්ලිම් ව්‍යාපාර නෙවෙයි. අපි හඳුනාගන්න ඕනේ වහාබ්, සලෆි අන්තවාදීන්ගේ ව්‍යාපාර මොනවද කියලා. අන්න ඒවා හදුනාගෙන ඒවා වර්ජනය කරලා අපේ පාරම්පරික ස්වදේශීය මුස්ලිම් මිනිහා අපි ආරක්ෂා කරගන්න ඕනේ. දැන් මේ සිද්ධ වෙන ඇතැම් දේවල් හුදකලාවේ තැන්තැන්වල සිද්ධ වෙන දේවල්. අපිට හරි අමාරුයි පාලනය කරන්න. ඒකයි මම කිව්වේ ජාතික න්‍යාය පත්‍රයක් නැති වුණාම වැඬේ ඔක්කොම අවුල් වෙනවා කියලා. එහෙම උනාම වෙන්නේ අනවශ්‍ය මානයකට මේක ගමන් කිරීමයි.

ඔබට ජනාධිපති සමාව ලැබෙන්නේ ජනාධිපතිවරයා සිරගෙදරදි ඔබ හමුවී කළ සාකච්ඡාවකින් පසුවයි. මොනවගේ එකඟතාවයන්ද මේ සාකච්ඡාවෙදි දෙපාර්ශ්වය අතර ඇති කරගත්තේ?

කිසිම එකඟතාවයක් නෑ. ජනාධිපතිතුමා හමුවුණු වෙලාවෙදි මම ඉස්ලාම් ප්‍රශ්නය ගැන බොහෝ තොරතුරු එතුමාට කිව්වා. අපි හිතන තැන නෙවෙයි මේ ප්‍රශ්නය තියෙන්නේ කියලා පෙන්නා දුන්නා. මම හිතන්නේ එතුමා ඔළුවට ගන්ඩ ඇති මේ හාමුදුරුවෝ එළියට ආවොත් මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්ඩ මොනවා හරි යමක් කරයි කියලා. ඒ වගකීම හිසින් දරාගෙන තමයි මම මේ කටයුත්ත කරන්න ඇත්තේ. එහෙම නැතිව කිසිම කොන්දේසියක්වත්, කිසිම දේශපාලනයක්වත් මොනවත් එතුමා කතා කළේ නෑ.