කවුද එන්නේ?

ටිරන් කුමාර බංගගමආරච්චි

මෙරට දේශපාලනය ගැන කුමන මතිමතාන්තර ඉදිරිපත් කර කළද ජනතා අභිලාෂයන් තවමත් ඇත්තේ පක්ෂ දේශපාලනය තුළමය. සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන් සමග සම්මුඛ වුවද ඇසෙන එක් පැනයක් ඇත. එනම් කවුද එන්නේ යන්නය. මේ දැඩි උනන්දුව සෑම තැනකම පාහේ එක හඬට අසන්නට ලැබේ. පක්ෂ ප්‍රධානීන්ට වඩා පක්ෂ ගැති පාක්ෂිකයෝ තම පක්ෂයෙන් එන්නේ කවුද? විරුද්ධ පක්ෂයෙන් එන්නේ කවුද යන්න ගැන නොවිසිලිමත්ය. ඒ නිසා ප්‍රධාන ප්‍රශ්නය පිළිතුරු නැතිව එහා මෙහා වෙමින් පවතී. කවුද එන්නේ.

පොහොට්ටුවෙන්

පොදු ජන එක්සත් පෙරමුණෙහි අපේක්ෂකයා තමන්ම බව ගෝඨාභය රාජපක්ෂ මුලසිටම කීවද අගට එනවිට ඔහුගේ නම කැපෙන ලකුණුය. වත්මන වනවිට ගෝඨාටද තමා අපේක්ෂකයාද යන්න දෙගිඩියාවක්ව ඇති බව නියතය. එක්කෝ ගෝඨාවම දාන්නට මහින්ද අමුතු සෙල්ලම් දානවාද විය හැකිය. ඒ කෙසේ වෙතත් ඒ නිසාම පොහොට්ටුවෙන් එන්නේ කවුද යන්න කා අතරත් පැනයකි. පොහොට්ටු අපේක්ෂකයා ගෝඨා නොවුණහොත් කවුද? මේ ඉතිරි ප්‍රශ්නය. සමහරු ඊට ශිරන්ති රාජපක්ෂගේ නමද කියනු ඇසේ. මහින්ද වටා ජනතාව රොක්වන බව සැබෑය. එහෙත් මහින්ද දාන ඕනෑම අශ්වයකුට ඔට්ටු අල්ලන්න ජනතාව කැමතිද යන්න ඒ අයගේ පාක්ෂිකයන් අතර විචිකිච්ඡාවක් පැවතිය හැකිය. ඒ අනුව ශිරන්ති යනු දිනිය හැකි අශ්වයකු නොවේ. එසේ නම් මහින්දට විශ්වාස කළ හැකි හොඳම තේරීම සාර්ථක නැත. ඒ තැනට ඊළඟට දැමිය හැක්කේ චමල්ය. ඔහුද දිනිය හැකි තරගකාරී චරිතයක් නොවේ. එසේ නම් ඊළඟ විශ්වාසය බැසිල්ය. දේශපාලනිකව බැසිල් හපනෙකි. එහෙත් බැසිල් ද කැමැත්ත උරගා බලන්නට විසි කළ හැකි ජනතා ප්‍රිය චරිතයක් නොවේ. මේ චරිත ඉදිරියට ගෙන මාරාන්තික යුද්ධයක් කරන්නට මහින්දට සිදුවනු නොඅනුමානය. පවුලට පිටින් දිනේෂ් වැනි කෙනෙක් අපේක්ෂකයා කළද ජනතා කැමැත්ත දිනීම ලේසි නැත. එයට හේතුව මහින්ද කියන ඕනෑම පඹයකුට මනාපය දෙන්න මෙවර ඔහුගේ පාක්ෂිකයන් වුවද දෙවරක් සිතන්නට ඉඩ ඇති බැවිනි. ඒ අනුව මහින්දට ඇත්තේ විකල්ප දෙකකි. එකක් අකමැත්තෙන් හෝ ගෝඨාට අපේක්ෂකත්වය දීමය. නැතහොත් ගෝඨාට වඩා භයානක සිරිසේනව වැලඳ ගැනීමය. මෙහිදී භයානක යන්න වටහාගතයුත්තේ නරක කියන අරුතෙනි. මෑතකාලීන දේශපාලනය තුළ බිහිවූ නරකම දේශපාලන චරිතය සිරිසේනය. අනෙක් සියලු දේශපාලන කපටින් දේශපාලනය කරනමුත් සිරිසේන කරනුයේ දිය රෙද්දෙන් බෙල්ල කැපීමේ වැඩය. ඔහු මෙරට ඔක්තෝබර් විප්ලවය කරනු ඇතැයි කවුරු සිතුවේද? මේ නැවත බලයට නොඑන බව කී මිනිසාය. මහින්ද පරද්දන්නට මහින්දගේ ආප්පයම කා එළියට ආ කෙනාය. එහෙව් ඔහු යටතේ මහින්ද නැවත අගමැතිවීමත්, මහින්දගේ ජනපති බවට සිරිසේන පත්වීමත් ඓතිහාසික දේශපාලන සන්ධිස්ථානයකි. ධනයට, බලයට කෑදරව පක්ෂ මාරු කිරීමේ දේශපාලන කැතකමේ කැතම තැන එතැන බව සිරිසේන රටටම ඔප්පු කළේය. එහෙව් සිරිසේන රනිල් සමග නටන මේ නාඩගම මහින්ද සමග වුව හෙට නොකරනු ඇතැයි සිතිය හැකිද? ඒ ඔහුගේ හැටිය. ග්‍රාමසේවක පන්නයේ දේශපාලනයකට යා හැකි දුර එබඳුය. හෙට මහින්ද සමග ආණ්ඩු පිහිටුවා ඕනෑනම් ඔහුට රනිල්ව නැවත අගමැති කරගැනීමේ හැකියාව ඇත. ඔහුගේ වම කරන දේ දකුණ නොදනී. එහෙව් අයකු සමග දේශපාලනය කරනවාද යන පැනය මහින්ද පෙළනවා සහතිකය. ඔක්තෝබර් විප්ලවයට සිරිසේනට මහින්ද සහයෝගය නොදෙන්න ඔහුට මීට වඩා වටිනාකමක් තිබුණි. එහෙත් දේශපාලන බලයට කෑදරයකු වන මහින්ද හරහා ඊට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය. මේ නිසා මහින්දට දැන් ගෝඨාද, සිරිසේනද යන්න සලකා බැලීමට සිදුව ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා තිබුණේ සිරිසේන ජනපති, මහින්ද අගමැති බවය. ඔවුන් යහපාලනය පත්වූදා සිට මැවූ සිහිනය එයය. ඔක්තෝබර් විප්ලවයට එස්.බීලා කරගහන්නෙත් ඒකය. එහෙත් සිරිසේන ජනාධිපතිද යන්න තීරණය කරන්නේ ශ්‍රී ලංකා එක නොව පොහොට්ටුවය. ඊට මහින්ද වුව තනිවම කළ බලපෑම කොතෙක්ද යන්න ප්‍රශ්නයකි. මහින්ද විශ්වාස කළද ඔවුන්ගේ බහුතරය සිරිසේන විශ්වාස නොකරති. දේශපාලන අවබෝධයක් ඇති සැම ඉන්නේ ඒ පැත්තේය. එසේ නම් පොහොට්ටුවේ අපේක්ෂකයා තවමත් විවෘතය. මහින්ද මත එය විසඳෙනු ඇත. අවසානයේ අකමැත්තෙන් වුව ඔහුගේ මතයට සැවොම එකඟ වනවා ඇත. එහෙව් මොහොත එන තෙක් ඉන්නට ජනතාව නොඉවසිලිමත්ය. පොහොට්ටු පාක්ෂිකයෝ අහන්නේ කවුද එන්නේ කියාය.

එජාපය

යහපාලන ආණ්ඩුවක් ගෙන ඒමත් සමග එජාපයක් නැති විය. එජාපය යනු සාමූහික ආණ්ඩු හදන්නෙක් විනා තනි පක්ෂයක් නොවන බව 2015ට පෙර සිටම ඔප්පු කළද 2015ත් සමග එයට තනි ගමනක් නැත්තටම නැති විය. ශ්‍රී ලංකා එකටද දැන් එම සන්තෑසියමය. කෙසේ වුවත් එජාපය හවුල්ව කාව අපේක්ෂකයා කරන්නේද යන්නත්, පාක්ෂිකයන් අතර ඉතිරි ප්‍රශ්නයය. කවුද දාන්නේ. ඒ අතර තරගයට නම් කිහිපයක්ම කියවේ. අයෙක් කරුය. ඊට අමතරව සජිත්ය. මේ ප්‍රබලනම් දෙක ඇරුණු කොට නවීන්, චම්පික, රාජිත මෙන්ම තව බොහෝ අය ඇත. එජාපයේ බහුතරය අපේක්ෂකයෝය. මෑතකදී රාජපක්ෂවාදී මාධ්‍යයක ප්‍රධාන පුවත එජාප අපේක්ෂකයා ගැනය. එහි උඩින්ම ඉන්නේ කරුය. දෙක සජිත්ය. තුන්වන තැන නවීන්ය. මේ සමීක්ෂණ කාගේ ඒවාද, කෙසේ කරන ඒවාද යන්න දන්නේ ඒ අයමය. ඒ කොහොම වුවත් රාජපක්ෂලාටද එජාප අපේක්ෂකයා විය යුත්තේ කරු බව පැහැදිලිය. ඒ ඇයි? කරු යනු පහසුවෙන් පැරදිය හැකි නිසාය. ඒ අපගේ හැඟීමය. කරුව කරේ තබාගෙන සිටින්නේ අමුතුම පන්නයේ පිරිසකි. එදා සිරිසේන ගේන්නට යම් වැඩ කොටසක් කළ පිරිස අද ඒ සියල්ල තමන්ගේම වික්‍රම ලෙස සලකා අද තනි මතයට කරු පුම්බති. එදා සිරිසේන ලවා කරනවා කී පස් පංගුවම මෙදා කරු ලවා නිවාරණය කරන බව මොවුහු කියති. මේ ව්‍යාපාරයට තැනක් නැත. ඒ නිසා කරුට යා හැකි ලොකු ඉඩක් නැත. කරු යනු සිහින දකින පුංචි පිරිසකගේ සිහින නායකයෙකි. රනිල් කරුව දිනවන්න නගිනු ඇතැයි සිතිය නොහැකිය. චන්ද්‍රිකා සිටින්නේද කරු ගෙන එන තැනය. සරත් විජේසූරියලා එහි අනෙක් නඩයය. මේ අය රනිල්ට ඇති පදම් ගසමින් කරු ගේන්න හදන්නේ එජාපය නැතිවද? එජාපය යනු තවමත් රනිල්ය. එජාපයේ බිම් මට්ටමින් සජිත්ට යම් ප්‍රවණතාවක් ඇතත්, ඔහු තනිකරම මහරාජාගේ රූකඩය බැවින් සජිත්ට රනිල්ගේ ඇත්තේ නිම නොවන විරෝධයකි. සජිත්ද ඔළුව නමාගෙන මහරාජාට ඕනෑ අයුරින්ම ක්‍රියා කරන්නේය. සජිත් – සිරිසේන මිත්‍රකම ගොඩ නගන්නේ තනිකරම මහරාජාය. එසේ නම් රනිල්ට සජිත්ව අපේක්ෂකත්වයට දානවාද යන්නත් ප්‍රශ්නයකි. එහෙත් කරුට සාපේක්ෂව වැඩි වාසි ඇත්තේ සජිත්ටය. එය පිළිගත යුත්තේ සීතල කාමරවල ඉඳන් කියන බයිලාවන් අතහැරය. මේ දෙදෙනාම හැර විකල්පයක් රනිල්ට නැත. මෙයින් පරිබාහිරව කෙනෙක් දැමීම දැන් ලොකු අවදානමක් වන බැවිනි. එසේ නම් එජාපයේ අපේක්ෂකයා කවුද? මියෙම්-රැකෙම්වා කියා අවදානම මේ මොහොතේ ගතයුත්තේ වෙනකකු නොව රනිල්ය. කරු සහ සජිත්ට වඩා රනිල් අපේක්ෂකයා වීම වටිනේය. රනිල් අත්හදා නොබලන තැන එතැනය. එහෙත් එය ඉහත තුරුම්පුවලට වඩා ඵලදායි විය හැකිය. 19 සමග අගමැති බලසම්පන්න යැයි ජනපති නාමික යැයි කීවද එය එසේම වන අයුරු නොපෙනේ. මේ නිසා අගමැති සජිත් කර රනිල් තරග කළහොත් තත්ත්වය වෙනස් විය හැක. එහෙත් තවමත් එජාප අපේක්ෂකයන් සිටින්නේද කවුද දාන්නේ යන දෙගිඩියාවෙනි.

ජවිපෙ

මේ අතර ජවිපෙ කියන්නේ තම පක්ෂය තමන්ගේම නියෝජිතයකු අපේක්ෂකයා කරන බවය. මීට පෙර නොවූ තත්ත්වය නම් දැන් සැවොම කරන දේශපාලනය වී ඇත්තේ නංගි පෙන්නා අක්කා දීග දීමකි. කල්තබා තරග වදිනුයේ තමන් යැයි කියා ඊට අවැසි වැඩ කරන්නට දැන් සැවොම බයය. එයට හේතුව කල්තබා පෙන්විය හැකි චරිත දැන් නැති බැවිනි. සියලු චරිත ජරාජීර්ණ වී ඇත. හප්පඩ වී ඇත. කල් ඉකුත් වී ඇත. කරනුයේ අවසාන මොහොතේ අලුත් ලේබල් අලවා පරණ බඩුම විකිණීමය. හදිසියේ දෙන විට ජනතාව හසුවීම සාමාන්‍යය. තෝරා ගතයුත්තෙත් එයම නම් ජනතාව ඒ මොහොතේ හොඳ දේ තෝරා ගනු ඇත. මේ අනුව ඒ තේරීම අපි වෙනම එනවා යැයි කීවද ජවිපෙට කළහැකි දෙයක් නැත. ඔක්තෝබර් විප්ලවය මෙන්ම පාස්කු ප්‍රහාරයත් මේ දේශපාලන ජරාජීර්ණකමත් යන සියල්ල තුළ වෙනම සුරැකුණු අවංක පක්ෂ දේශපාලනයක් මෙරට නැත. මහින්ද, රනිල්, සිරිසේන මෙන්ම අනුර කුමාරද දැන් අහෝසි වී ඇත. තනිව ආවා කියන ඔවුන්ට තනි ගමනක් නැත. ඔවුන්ට තරගය ඇත්තේ නාගානන්ද සහ රොහාන් සමගය. ඉන් ඉදිරියට නම් යා හැකිවනු ඇත.

සෝභිත අඳින ඥානසාර

ඥානසාර හිමිගේ සියලු උත්සාහය 2015දී සෝභිත හිමි කළ රංගනය රඟදැක්වීමය. ඥානසාර භික්ෂුව කියනුයේ නව නායකයකු සොයාගත යුතු බවය. ඒ සඳහා කැපවෙන බවය. එසේ නම් ඒ තේරීම සිරිසේනම විය නොහැකිද? තම ගැලවුම්කරුවා ඔසවා ගැනීම පාපයක්ද?
ලංකාවේ සමස්ත දේශපාලනය ගැනම බරපතළ ප්‍රශ්නයක් ඇත. ඒ සියල්ල ප්‍රතික්ෂේප කරන බහුතරයක්ද සිටිති. එහෙත් අප අමතක නොකළ යුත්තේ තවමත් මේ ප්‍රවාහයෙන් පිට පැන යා හැකි දියුණු සංවිධාන මෙරට නැති බවය. පොඩි පොඩි කල්ලි පවා, සංවිධාන පවා අවසානයේ හොරාට කරනුයේ ලොකු දේශපාලන පක්ෂයකට මුක්කු ගැසීමය. ඒවායේ කොන්ත්‍රාත් කිරීමය. ඒ නිසා මේ ක්‍රමය යටතේ අපට සිදුව ඇත්තේ හෝද හෝදා මඬේ දමන්නටය. නරක අයගෙන් අඩු නරකයා තෝරනවා හැර තවමත් විකල්පයක් කල්පයකට සොයා ගත නොහැකිය. ඊට උචිත ජනතාවක්ද මෙරට නොපවතී. ආණ්ඩු හොඳ වී ජනතාව දියුණු විය යුතුද? ජනතාව දියුණු වී ආණ්ඩු හොඳ කළ යුතුද යන පැනයට අපි වහා පිළිතුරු සොයා ගත යුතුය. එවිට ප්‍රශ්නයේ අඩක් විසඳා ගත හැකිය.