මගේ පෙනහැල්ල තුළ මූනිස්සමක් තියෙනවා – කටුවාපිටියේ දිවි පුවත

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

එක් නිවසක ඉස්තෝප්පුවේ පාසල් වියේ වූ දරු දෙදෙනෙකි. ඔවුන් හා කිසියම් කටයුත්තක නියැළෙමින් සිටියේ කන්‍යා සොයුරියකි. ඇගේ මුහුණ දැන් විඩාබරය, එහෙත් අධිෂ්ඨානශීලීය. දරු දෙදෙන නිවස තුළට ගිය පසු අප සාකච්ඡාවකට වැටුණෙමු. “බෝම්බ පිපිරීම වුණු දවසේම හවස මම මෙහේ ආවා. එදා ඉඳලා තවම මෙහේ ඉන්නවා. මේ මගේ නංගිගේ ගෙදර. පාස්කු ඉරිදා පල්ලි ගිහින් ආපහු ගෙදර ඇවිත් තිබුණේ දරුවෝ දෙන්නා විතරයි. මගේ නංගියි, එයාගේ මහත්තයායි බෝම්බයෙන් මියගියා. නංගීගේ මහත්තයාගේ අම්මාට තුවාලයි, තවම සිහිය නැහැ.”

දරු තිදෙනෙක් සහිත ඉහත පවුලේ වැඩිමල් දියණිය (20) ඒ වන විට චීනයේ අධ්‍යාපනය ලබමින් සිටියාය. එකොළොස්වන වසරේ සහ හත්වන වසරේ අධ්‍යාපනය හැදෑරූ පුතුන් දෙදෙනා පමණක් පල්ලියේ සිට එදින ගෙදර ආවෝය. ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ පියාත්, මවත් අහිමිවූ දරුවන්ට සිදුවූයේ කුමක්දැයි තවමත් සිතා ගැනීමට හැකි නැත. “ඒ අයට මේක දරාගන්න කොහොම හරි ශක්තියක් අවශ්‍යයි. වෙන කරන්න දෙයක් නැහැ. ඒකට තරහ අරගෙන වෙන අයගෙන් පළිගත්තා වුණත් මියගිය අයට පණ එන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේගෙන් අපි හැමෝටම මේක දරාගන්න ශක්තිය ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා.” කන්‍යා සොයුරිය කල්පනා බරව කියන්නීය. ඇය මේ දරුවන්ගේ අනාගතය පිළිබඳ සිතන්නීය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් ඔවුන්ගේ මානසික සුවයත් වෙනුවෙන් වෙහෙසෙන්නීය. “මම ආවේ මාස හයකට. ඊට පස්සේ දරුවන් වෙනුවෙන් වෙනත් පිළිවෙළක් යොදා ගන්න වෙනවා. මියගිය එක් අයෙක්ට මිලියනය ගණනේ මිලියන දෙකක් දරුවන් තුන්දෙනාට ලැබුණා. එයින් ලක්ෂ දෙකක් මරණ කටයුතුවලට කලියෙන් ලැබුණා, අනෙක් ලක්ෂ දහඅට ළමයි තුන්දෙනාගේ බැංකු පොත්වලට දාලා තිබුණා. දුව විදේශ අධ්‍යාපනය ලබනවා. ඉතින් ඒ දේවල් වෙනදා එයාලගේ තාත්තා බලා ගත්තා. මේ දරුවෝ විතරක් නෙමෙයි, ගමේ අසරණ වුණු තවත් ළමයි ඉන්නවා. ඒ සමහර අයට අනාගතය වෙනුවෙන් කිසිම පිහිටක් නැහැ. අනිවාර්යෙන්ම ඒ අය වෙනුවෙන් රජය මැදිහත් වෙන්න ඕනෑ.” ඇය කියන්නීය.

වින්දිත පවුල්වලට උපදේශනය ලබාදීමට ප්‍රදේශයේ තාවකාලික මධ්‍යස්ථානයක් ද පිහිටුවා තිබෙන අතර ඒ මගින් වින්දිතයන්ගේ මානසික තත්ත්වය නගා සිටුවීම සදහා විවිධ වැඩසටහන් පැවැත්වේ. “දරුවෝ හැමදාම අම්මා තාත්තා ගැන මතක් කරනවා, ඒ අය ගැන කතා කරනවා. අහිංසක දරුවන්ගේ හිත්වලත් මේ සිදුවූ දේ නිසා වේදනාවක් වගේම තරහක් ඇති වෙන්න පුළුවන්. ඒ අයගේ මානසික තත්ත්වය යහපත් කරන්න උපදේශනයන් ලබා දෙනවා. මේ ප්‍රහාරයේ වගකීම අයිඑස්අයිඑස් සංවිධානය ගත්තා. ඒ නිසා ඒ පිරිස මිස හැම මුස්ලිම් මනුෂ්‍යයෙක්ම මේකට වගකියන්න ඕනෑ කියලා මම හිතන්නේ නැහැ. සිදුවීමෙන් පස්සේ තවත් ප්‍රදේශවල අසරණ මිනිස්සුන්ගේ දේපොළ විනාශ කිරීම ගැන අපි කිසිසේත්ම එකඟ නැහැ. මේ විනාශය සිදුකළ පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් ලබාදිය යුතුයි. ඒ අවස්ථාවේ අවශ්‍ය පියවර ගත්තා නම් මිනිස්සු ඒ විධියට තමන්ගේ අතට නීතිය අරගෙන එවැනි දේ කරන එකක් නැහැ. දැන් මාස දෙකකටත් ළඟයි. එත් ඒ දේ රජයෙන් සිදුවුණේ නැහැ.” කන්‍යා සොයුරිය පැවසුවේ අපේක්ෂාභංගත්වය රැඳි හඬිනි.
තවත් නිවසක් ඉදිරිපිට තවමත් තිබුණේ මියගිය යුවළක් පිළිබඳ දැන්වීමකි. නිවසේ සුරතලයට ඇති කළ බල්ලන් කීපදෙනෙක් පිරිවරාගත් තරුණියක් ගෙමිදුලේ වූවාය. ඒ නිවෙස්වල සියල්ලන්ගේම මුහුණු තවමත් නොසන්සුන්ය, අඳුරුය. ඇය රොෂිකාය. “මල්ලියි මමයි සෙනසුරාදා රෑ පල්ලි ගියා. පාර සරසන්න බැරිවුණු නිසා අපි ඉරිදා ගෙදර නැවතුණා. තාත්තායි අම්මායි විතරක් එදා පල්ලි ගියා. බෝම්බය පුපුරවාගෙන තිබුණේ තාත්තා හිටිය තැනට අඩියක් විතර දුරින්.” ඇය තම මාපියන්ගේ ඡායාරූප මලින් සරසා තිබුණි. “මේක අමතක කරන්න පුළුවන් දෙයක් කියලා මම හිතන්නේ නෑ. මැරෙන්න ඕන විධියට නෙමෙයි මගේ දෙමවුපියන් මැරුණේ. ඒ අය ලස්සනට සරසලා යවන්න මට පුළුවන් වුණේත් නෑ. අන්තිමට මූණු දෙකවත් දකින්න ලැබුණේ ෆොටෝ එකකින් විතරයි.” ඇය මිමිණුවේ නෙත් කඳුළින් තෙත් වද්දීය. ඔවුන්ගේ වේදනාව පිළිබඳ අපට ඇසීමට අවශ්‍ය නැත. එය සැබවින්ම වේදනාවක්ම බව පැහැදිලි කළ යුතුව නැත. එහෙත් සවන්දිය යුතුව ඇත. “කන්‍යා සොයුරියන් අපි වෙනුවෙන් පත් කරලා තියනවා. ඒ අය සමහර දවසට ඇවිත් හිත් හදන්න උත්සාහ කරනවා. උපදේශනයට කට්ටිය එනවා. ඒත් ඒවායින් මේ දුක නැති කරන්න පුළුවන් කියලා මට හිතෙන්නේ නැහැ. මගේ අම්මා තාත්තා සාමාන්‍ය විධියට ගෙදර ඉඳලා මැරුණේ නැහැ. මට දැන් සමහර වෙලාවට කල්පනාවත් නැති වෙනවා. තාත්තයි, මල්ලියි වැඩට ගියාම අම්මායි මමයි හැම වෙලාවේම ගෙදර එකට හිටියා. මල්ලී ඉගෙන ගන්න ගමන් අර්ධකාලීන රැකියාවක් කළා. දැන් ජීවිතය හරිම අමාරුයි. අවුරුදු දෙකතුනකට හරි වෙන රටකට ගිහින්වත් ඉන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා. ඒත් එහෙම උදවුවක් ඉල්ලන්නත් කෙනෙක් නැහැ. මෙහේ රස්සාවක් කරන්න ගියත් මම රස්සාව කරලා ආපහු එන්න ඕනෑ මේ ගෙදරටමයි. මුළු ගමක්ම දැන් අසරණ වෙලා.” ඇය පවසන්නීය.

තම මව සහ පියා මිය යාම වෙනුවෙන් වන්දි ලෙස රජයෙන් රුපියල් ලක්ෂ විස්සක් ලැබුණු බවත් ඒ වෙනුවෙන් ලියකියවිලි සොයමින් ඒවා රැගෙන යමින් වෙහෙස වීමටද සිදුවූ අයුරු ඇය සිහි කළාය. දේශපාලනඥයන් මෙවැනි අවස්ථාවල දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කරනු මිස අසරණ අයට සැබෑ ලෙසම උපකාර කරන බවක් පෙනෙන්නේ නැතැයි ඇය පැවසුවාය. ඇතැම් දේශපාලනඥයන් පැමිණ කළ අකාරුණික ප්‍රකාශ ඇය තවත් වේදනාවට පත් කර තිබුණි. “හරීන් ප්‍රනාන්දු මහත්මයාගේ තාත්තා හොස්පිට්ල් එකේ ඉඳලාත් කියලා තිබුණා පල්ලියට යන්න එපා මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. ඒ 225 දෙනාට සීරීමක්වත් වුණේ නැහැ. මේවා ගැන දැනුවත්ව ඉඳලාත් කිසිම පියවරක් අරගත්තේ නැති අයට දැන් අපි ගැන කොහොමත් හිතන්න ඕනෑකමක් නැහැ. අපේ දෙමවුපියෝ ඒ අයට වටින්නේ ලක්ෂ දහයද? අපිට දෙමාපියන් නැති අඩුව ඒ අයට එයින් පියවන්න පුළුවන්ද?” ඇය විමසන්නීය.

පාස්කු ඉරිදා ඉක්මනින් එන බව පවසා තනිව පල්ලියට ගිය තම බිරිඳ නැවත නො ආ බැවින් රෝයි මහතා තම නිවසේ පුතුන් දෙදෙනාද සමග තවමත් සිටියේ කඳුළු වගුරමිනි. එදින සිට තවමත් තම ශෝකය යන්තමින් හෝ අඩු නොවූ බව ඔහු මුමුණන්නේය. නිවසේ සියලුදෙනාම අසනීප තත්ත්වයේ වූ බැවින් එදින පල්ලි නොගිය බවත් බිරිඳ ද අසනීප බව දැනෙන බව කීවත් පල්ලියට ගොස් ඉක්මනින් පැමිණෙන බව කියා පිටත්වූ බවත් ඔහු සිහි කරන්නේය. “දැන් අපිට කිසිම දේකට ආසාවක් නෑ. එයා නිතරම ගේ පිළිවෙළට ලස්සනට තියාගන්නවා. දැන් ඒ කිසිම දේකට අපිට ආසාවක් නැහැ.” ඉතාලියේ රැකියාවක නිරතවූ ඔහු සිය පවුලේ අය සමග මෙරටට නැවත පැමිණ තිබුණේ 2009 වසරේය. ඒ තම දරුවන්ට මෙරට පරිසරය තුළ දී අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය වූ නිසා බව ඔහු පවසන්නේය.

“පියතුමන්ලා, කන්‍යා සොයුරියන් නිතරම මෙහේ එනවා. අපට ඒ අය ගැන දුක හිතෙන තරමටම ඒ අය අපි වෙනුවෙන් මහන්සි වෙනවා. ඒත් අපේ අවාසනාවට ඒ අය මොනවා කරන්නද කියලා මම තනියම හිතනවා.” ඔහුගේ හැම වදනකම වූයේ වේදනාව පමණි. “මගේ බාල පුතා හරිම අහිංසක කෙනෙක්. ඒත් දැන් එයාත් මුස්ලිම් අය ගැන තරහෙන් කතා කරන වෙලාවල් තියනවා. අපේ අම්මා කාට වරදක් කළාද කියලා එයා අහනවා. අම්මා මැරුණේ නැහැ, මැරුවා කියලා එයා දන්නවා. මට මුස්ලිම් දමිළ ඉතාම හොඳ යාළුවෝ ඉන්නවා. සිංහල අය අතරේත් නරක ගතිගුණ තියන අය ඕනෑතරම් ඉන්නවා. ඒත් හැම ජාතියකම හොඳ සහ නරක අය ඉන්නවා කියන දේ මට කල්පනා කරද්දී හිතෙනවා. ඒ නිසා ජාතියක් වශයෙන් නරකයි කියලා කියන්න බෑ. ඒත් දැන් කඬේකට යද්දී වුණත් මේ දේ මතක් වෙනවා. දරුවෝ වුණත් අපේ අම්මා නිකරුණේ මැරුවා නේද කියලා කියනවා. දරුවාට ඉස්කෝලේ ගෙනියන්න උදේ 6.30ට කලියෙන් කෑම ගෙනත් දෙන්න ඕනෑ. අද උදේ මම මේ ළඟ සිංහල අයගේ කඩවල් දෙකකට ගියා, ඒ දෙකම වහලා. පස්සේ මම එහා තියන මුස්ලිම් කඩයට ගිහින් කෑම ගත්තා. කවුරුහරි ඒක දැක්කා නම් කියන්න පුළුවන් බිරිඳත් නැති වුණා, ඒත් මුස්ලිම් කඬේකට යනවා කියලා. ඒත් මට ඒ වෙලාවේ වැදගත් වුණේ දරුවාගේ බඩ පුරවන එකයි. ඉතින් එහෙම දේවල් තියනවා.” ඔහු පවසන්නේ සිහින් හඬිනි.

හෙට දවසේ ජීවිතය කොතැනින් පටන් ගත යුතුදැයි ඔහු ඒ වන විටත් නොදැන සිටියේය. එහෙත් දරු දෙදෙන අධ්‍යාපන කටයුතු සඳහා කෙසේ හෝ පිටත් කර යැවුවේය. ඔවුන් ගිය පසු ඔහු පාළු නිවසේ පුටුවක් මතට වී කල්පනා කරමින් කඳුළු වැගිරුවේය.

ඇන්ටනී ජෝර්ජ් සිය නිවසේ ඉදිරිපස හිඳ පෙර මග බලා සිටියේය. ඔහු හඬ පිට කරන්නේ අපහසුවෙනි. ඒ තවමත් ඔහුගේ පෙනහැල්ලක් තුළ මූනිස්සමක් රැඳී තිබූ බැවිනි. පපුවේ දකුණුපස ස්ථානයක් සිදුරු කරගෙන එය පෙනහැල්ල තුළට ගමන් කර රැඳී ඇති බව වෛද්‍ය පරීක්ෂණ තහවුරු කර තිබුණි. පෙනහැල්ලේ ගැඹුරට වූ තුවාලය මාස තුනකින් පසු සුවවීමෙන් අනතුරුව මූනිස්සම ඉවත් කිරීමට ශල්‍යකර්මයක් කළ හැකි දැයි පරීක්ෂා කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී තිබුණි. “කහිද්දී මළකඩ රස එනවා, පපුවේ වේදනාවක් තියනවා, කැරකිල්ල වගේ එනවා. මූනිස්සම තියන නිසා පැසවන්න ඉඩ තියනවා කියලා දූවිල්ලෙන්, වැස්සෙන් පරෙස්සම් වෙන්න කියලා වෛද්‍යවරු කීවා. මම වඩු වැඩ කළ කෙනෙක්. වැඩට යන්න එපා කීවත් නොයා ඉන්නත් පුළුවන්කමක් නැති නිසා මම දවසක් දෙකක් ගියා. පස්දෙනෙක් ජීවත් වුණේ මම වැඩ කරලා හොයන ආදායමෙන්. ඒත් වැඩ කරන්න අමාරු වුණා. කලන්තය වගේ ආවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් අනෙක් දේවලුත් කරගන්න නම් මම මහන්සිවෙලා හම්බ කරන්න ඕනෑ. ඒත් ඉස්සරහට මට ඒ විධියට වැඩ කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.” ජෝර්ජ් අපහසුවෙන් හඬ පිට කරන්නේය.

ඔහුට රජයෙන් රුපියල් පනස්දහසක වන්දි මුදලක් ලැබී තිබුණි. තවමත් පාසල් වියේ පසුවන දරු දෙදෙනාත්, වැඩිමල් දරුදෙදෙනා සහ බිරිඳ යැපුණේ ඔහු වඩු වැඩ කර සෙවූ ආදායමෙනි. දැන් ඔහුට වැඩ කිරීමට අවශ්‍ය වුවත් කළ නොහැකි තත්ත්වයක් තුළ පීඩා විඳිමින් සිටින්නේය. “වන්දි ගැන අපි හොයන්න ගියේත් නෑ, ඉස්සෙල්ලා ජීවිතය රැකගන්නයි උත්සාහ කළේ. ඒ වෙනුවෙන් ඉස්පිරිතාලවල තමයි කාලය ගත කළේ. මම විතරක් නෙමෙයි තවත් එහෙම අය ඉන්නවා. රුපියල් විසිපන්දාහ ලැබුණු අයත් හිටියා. ඒක ඇත්තටම ප්‍රමාණවත් නැහැ. වැඩියෙන් වන්දි ලැබුණු අයත් හිටියා. ජීවිතේ ගැන විශ්වාසයක් නැති අයටත් අඩුවෙන් ලැබී තිබුණා. අපි කාගෙන්වත් ඉල්ලලා ජීවත්වුණු අය නෙමෙයි. අපේ මහන්සියෙන් ජීවත් වුණු අයයි. මට කිසිම අසනීපයක් තිබුණේ නැහැ, ඒත් දැන් අපි සදාකාලික ලෙඞ්ඩු බවට පත්වුණා. ඒ නිසා අපි දැන් අසරණ වෙලා ඉන්නවා. ඒ අය හරියට මේවා සොයා බලා සාධාරණයක් කරන්න ඕනෑ.” ඔහු පවසන්නේය.

කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ සහකාර පූජක ශමීර රොඩි්‍රගු පියතුමා අප සමග පැවසුවේ ප්‍රහාරයේ වින්දිතයන් බවට පත්වූ අය වෙනුවෙන් වැඩසටහන් රාශියක් ප්‍රදේශයේ සිදුවෙමින් පවතින බවය. සෑම පවුලකටම වෛද්‍යවරයෙක්, කන්‍යා සොයුරියක්, උපදේශකවරයෙක් පත්කර තිබෙනවා. ඒ අය සතියකට වරක් පමණ ගොස් ඒ පවුල්වල අය හමුවෙනවා, කතාබහ කරනවා. ඊට අමතරව මානසික උපදේශනය සඳහා වසරකට පමණ කුලී පදනම මත ස්ථානයක් ලබා ගත්තා. එතැන උපදේශන සේවාව සඳහා කණ්ඩායමක් කටයුතු කරනවා. සෙත් සරණ ආයතනය, නාගරික සංවර්ධන අධිකාරිය සමග එකතුවී මිනිසුන්ගේ එදිනෙදා කටයුතු සිදුකර ගැනීමට අවශ්‍ය මූල්‍යමය උපකාර සිදුකරනවා. රෝහලට යාමට අපහසු අයට, ප්‍රතිකාර ලබා ගැනීමට අපහසුතා ඇති අයට මූල්‍යමය උපකාර, වෛද්‍ය උපදේශන, ප්‍රතිකාර වගේම වියළි ආහාර ලබාදීම් සිදු කරනවා.”
නිවාස නවීකරණය කිරීමේ කටයුතුවලටත් රජය ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් ශමීර රොඩි්‍රගු පියතුමා පවසයි. සෑම සතියකම අඟහරුවාදා සවස කොළඹ ප්‍රහාරය සිදුවූ පල්ලිවල පියතුමන්ලා අදාළ බලධාරීන් රැස්වී වැඩසටහන්වල ප්‍රගතිය සම්බන්ධව සාකච්ඡා කරන බව පියතුමා පවසන්නේය. තුවාලවූවන්ට ලැබුණු වන්දි පිළිබඳ ගැටලු තිබෙන බව දැනගැනීමට ලැබුණු බව ද ඔහු ප්‍රකාශ කරයි. “සමහර අය ලියාපදිංචි වී නෑ, සමහර අය දන්න කියන අයට පමණක් දීලා, සමහර අය ඉන්නේ ඈත නිසා ඒ අයට ප්‍රාදේශීය ලේකම්වරු දන්වා නෑ. එවැනි ගැටලු රාශියක් තියනවා. ඒ අනුව සමහර අයට ලැබිලා නැහැ, සමහර අයට අඩුවෙන් ලැබිලා, සමහර අයට පොඩි තුවාලයටත් වැඩියෙන් ලැබුණු බව කියනවා. ඒවා ගැනත් අපි අඟහරුවාදා රැස්වීමේ දී සාකච්ඡා කරනවා.” ප්‍රහාරයෙන් මාපියන් අහිමි වූ දරුවන් භාර ගැනීමට කැමති අය ඉදිරිපත් වූවත් එම දරුවන්ගේ ඥාතීන් එකඟ නොවූ බව පැවසූ පියතුමා එම දරුවන්ගේ ඥාතීන් ඔවුන්ගේ කෑම බීම, ඉඳුම් හිටුම් ගැන සොයා බලමින් සිටින බවත් ඔවුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය ශිෂ්‍යත්ව ලබාදිය හැකි නම් ඒ අයට සහනයක් බව පවසා ඇති බැවින් එවැනි ප්‍රතිපාදන සැපයිය හැකි පුද්ගලයන් ඉදිරිපත් වූ විට එම පවුල් වෙත යොමු කිරීමට කටයුතු කරන බවද පියතුමා සඳහන් කරයි. ඇතැම් පවුල්වල ස්වයං රැකියා අවශ්‍ය අය පිළිබඳ දත්ත රැස් කර ඒ අයට අවශ්‍ය මූලික ප්‍රතිපාදන හා ද්‍රව්‍යමය ආධාර ලබා දීමේ කටයුතු ද ඉදිරියේදී සිදුකිරීමට කටයුතු සැලසුම් වෙමින් පවතින බවද ඔහු පැවසුවේය.

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු කමිටුව පිළිබඳවත් රටේ ඇතිවූ තත්ත්වය පිළිබඳත් පියතුමාට තිබුණේ මෙවන් අදහසකි. “මෙතැන දී තමන්ගේ අතේ වරදක් තිබුණත් තවත් කෙනෙකුට බෝලය පාස් කිරීමේ නිරතවෙලා ඉන්න බව පෙනෙනවා. වරදකරුවන් හඳුනා ගන්නවාට වඩා මෙතැන දී අනවශ්‍ය දේ කතා කරන බව තමයි පෙනෙන්න තියෙන්නේ. එම කමිටුවේත් ඉන්න සමහර අය යම් යම් වැරදි සහ වංචා සඳහා නඩු තිබෙන අයයි. ඒ නිසා මම හිතන්නේ එය ඒ තරම් සුබදායක හෝ තේරුමක් සහිත දෙයක් නෙමෙයි. ඊට වඩා නිවැරදි ප්‍රතිඵලයක් ලැබෙන ආකාරයට එය කළ හැකිව තිබුණා. තමන්ගේ දේශපාලන බලය පවත්වාගන්න වගේම අනාගතයේ පාර්ලිමේන්තු යෑමට හෝ තිබෙන පුටුව රැකගැනීමට හෝ මෙම පසුබිම තුළ සිංහල මුස්ලිම් භේදයක් ඇති කරන්න උත්සාහ කරන අයත් ඉන්නවා. හැම මුස්ලිම් කෙනෙක්ම අන්තවාදීයි කියලා අපි ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. හැම දෙමළ අයෙක්ම එල්ටීටීඊ නෙමෙයි නේ. ඉතාම අතළොස්සක් තමයි මේ අන්තවාදී මතය තුළ ආගමේ නාමයෙන් සහ දෙවියන්ගේ නාමයෙන් මිනිස්සු මරලා තියෙන්නේ. ඒත් මේකට හැම මුස්ලිම් ජාතිකයෙක්ම පළි නැහැ. මේ සිදුවීම නිසා සිංහල මිනිස්සු එක්ක හොඳින් හිටිය අහිංසක මුස්ලිම් මිනිස්සුත් කොන්වුණා. මේ දේ නැති වෙන්න කාලයක් යයි. ඒකෙදී හැමෝම මේකට සම්බන්ධ නැහැ කියන කාරණය අපි තේරුම් ගත යුතුයි. ඒවගේම මේවාට වගකිවයුතු අය සොයාගෙන ඒ අයට දඬුවම් කිරීමයි කළ යුත්තේ. දේශපාලනඥයන් තමයි මේවාට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑ. තමන්ගේ බලය රැකගැනීමට අවශ්‍ය නිසා ඒ අය අවශ්‍ය අය අත්අඩංගුවට ගන්නවත් කටක් ඇරලා කියන්නේ නැහැ. ලංකාවේ එක නීතියක් තිබිය යුතුයි. බෞද්ධ, කතෝලික, මුස්ලිම් ඕනෑම කෙනෙකුට තිබිය යුතුවන්නේ එක නීතියක් විතරයි.” ඒ පියතුමාය.

පියතුමා ප්‍රකාශ කළේ කටුවාපිටිය අවට මුස්ලිම් ප්‍රජාව වාසය කරන හුණුපිටිය, දළුපොත, පෙරියමුල්ල ආදී ප්‍රදේශවල ජනයා පල්ලියේ මංගල්‍ය, පෙරහැර ආදී ආගමික කටයුතු වලදී ඒවාට සම්බන්ධවී කටයුතු කළ බවයි. ඔවුන් කිසිදු ගැටුමක් ද ඇතිකරගෙන නොතිබූ බවය. එහෙත් මේ සිදුවීම නිසා ආරක්ෂක අංශවලට එම ප්‍රදේශවල ද මෙහෙයුම් කටයුතු සිදුකිරීමට සිදුවූ බව පියතුමා පවසන්නේය.

මෙරටට සුනාමි අනතුරු ඇඟවීම් ලැබුණේ ඉන් මහා විනාශයක් සිදුවී ජීවිත විශාල ගණනක් අහිමිවන්නට පෙරය. එහෙත් සුනාමි රළට ඕනෑ ලෙස විත් සියල්ල සුණු විසුනු කර යන තෙක් කිසිදු පියවරක් ගත්තේ නැත. ඒ ස්වභාවික විපතකි, 2004දීය. 2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ඊට ගොදුරුවූ සාමාන්‍ය වැසියා හැර බොහෝ දේශපාලඥයන්, වගකිව යුතු නිලධාරීන් දැන සිටි බවට සාධක හමු විය. එහෙත් එය වැළැක්වීමට පියවර ගත්තේ නැත. විනාශය සිදුවී දැන් දෙමසකට ආසන්නය. ඔවුහු තවමත් විහිළුසහගත කමිටු රැස්වෙමින් බෝල පාස්කරමින් වරදකරුවන්ට දඬුවම් දීම මගහරිමින් කාලයට යන්නට ඉඩහරිමින් සිටිති, තව තවත් තමන්ට බලයේ රැඳෙන්නට මංපෙත් සොයති. එහෙත් මේ සෙල්ලමෙහි ඉත්තන් බවට පත්වූ මිනිසුන් ජීවිතය කොතැනින් පටන් ගන්නදැයි නොදැන තවමත් හැඬූ කඳුළින් ගත කරති.