පොලිසියත් කර අරින විකිරණ ආරක්ෂාව

නිමල් අබේසිංහ

ශ්‍රී ලංකාවේ විකිරණ ප්‍රභවයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විධිමත් ආරක්ෂණ ක්‍රමවේදයක් තවමත් ක්‍රියාත්මක කර නැති බව පසුගිය ලිපිවලින් හෙළිදරව් කළෙමු. කනගාටුවට කාරණය වී ඇත්තේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයම පවසන පරිදි ත්‍රස්තවාදීන් අතට මේවා පත්වුවහොත් අති දැවැන්ත විනාශයක් සිදුකිරීමට ඉඩ තිබෙන බව ලිඛිතව දන්වා තිබියදීත් ඒ ගැන මේ රටේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු පාර්ශ්වයන් ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීමය. එක් අතකින් එය පුදුමයක් ද නොවන්නේ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට රටේ බුද්ධි අංශ පවා තහවුරු කරගෙන තිබියදීත් වගකිවයුතු පාර්ශ්ව ඇල්මැරුණු පිළිවෙතක් අනුගමනය කළ බව පාස්කු ඉරිදා සිදුවීමෙන් මේ වනවිටත් පැහැදිලි වී තිබීමෙනි. මෙම පසුබිම තුළ විකිරණශීලී ප්‍රභවයන් ආරක්ෂා කිරීම අශ්වයා පැන ගියාට පසුව ඉස්තාලය වසා දැමීමේ න්‍යායෙන් ක්‍රියාත්මක වනු ඇති බව අපට සිතාගත හැකිය.

සැකසහිත පරීක්ෂණයක්

විකිරණශීලී ප්‍රභවයන් ගබඩා කර ඇති ස්ථානයන් සහ භාවිත කරන ස්ථානයන් සඳහා අවශ්‍ය ආරක්ෂිත උපකරණ සවි කිරීම නිසි පරිදි සිදුවී නැති බව මේ වනවිටත් හෙළිවී ඇතත්, මේවාට සම්බන්ධවූවන් එසේ නොකිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුවේදැයි සැකසහිතය.
දැනගන්නට තිබෙන තොරතුරු අනුව නම් සිදුවෙමින් පවතින්නේ අමාත්‍යාංශ මට්ටමේ පරීක්ෂණයකි. මෙහිදී වඩා වැදගත් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ යුතු පරීක්ෂණයක් බව වගකිවයුත්තන්ට නොවැටහීම කනගාටුදායකය.

ගිවිසුම් නැත

මෙම ව්‍යාපෘතියට පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධ කරගෙන තිබුණද එය නීත්‍යනුකූල මට්ටමින් සිදුවූවක්ද යන ගැටලුව පවතී. එසේ වූයේ නම් ඒ වෙනුවෙන් විධිමත් ගිවිසුමක් දෙපාර්ශ්වය අතර අත්සන් කර තිබිය යුතුය. එවැන්නක් සිදුව නැති බව දැන් පැහැදිලිය. එසේ වී නම් බියගම ගැමා මධ්‍යස්ථානයේ සවි කළ අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතිය ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ ස්ථාපිත කර තිබිය යුතුය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මෙයට සම්බන්ධවූවන් තිදෙනා අනිල් රංජිත්, හෆීල් සහ පොලිස් අධිකාරි දවුලගල ක්‍රියාකර ඇත්තේ මෙය රාජ්‍ය ආයතනයකට සම්බන්ධ ක්‍රියාවලියක් ලෙසින් නොවේ. පුද්ගලයන් තිදෙනකු විසින් ආරම්භ කරන ලද පෞද්ගලික ව්‍යාපෘතියක් ලෙසටය. ඒ නිසාමදෝ මෙම ව්‍යාපෘතිය මගින් සිදුකළ කාර්යය හා සවිකළ ආරක්ෂිත උපකරණ මොනවාද, ඒවා ක්‍රියාත්මක වේද යන්න පිළිබඳ නිශ්චිත සංඛ්‍යා ලේඛන හෝ ගණන් මිනුම් කිසිවක් නැත. ඒවා ලැයිස්තු ගතකර භාරගත් අයෙක්ද නැත. මෙයින් පෙනෙන්නේ කුමක්ද? විකිරණශීලී ප්‍රභවයන් ආරක්ෂා කරගැනීම එහි ඇති බරපතළකම ගැන කිසිදු අවධානයක් දක්වා නොමැති බවය. විශේෂයෙන්ම මේ ව්‍යාපෘතියේ සම්බන්ධීකරණය කළ පුද්ගලයා වන අනිල් රංජිත්ගේ ක්‍රියාකලාපය අතිශයින් ප්‍රශ්නකාරීය. ඔහු ක්‍රියාකර ඇත්තේ කිසිදු වගවීමක්, වගකීමක් නැති රාජ්‍ය නිලධාරියකු ලෙසටය.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ 2017 වාර්ෂික වාර්තාවේ විදේශීය පුහුණුව ලැබූ පුද්ගලයන්ගේ නාමලේඛයක් වේ. එහි පුහුණුව ලැබූ පුද්ගලයින් පුහුණුව සඳහා අනුග්‍රාහකත්වය දුන් ආයතන සහ කිනම් රටෙහිද යන විස්තරද ඇතුළත්ය. (එහි 40 වන පිටුවෙහි) 2017 ජූලි 07 සිට ජූලි 21 දක්වා ඔස්ටි්‍රයාවේ වියානාහි පැවති වැඩමුළුවටත් 2017 අගෝස්තු 28 සිට සැප්තැම්බර් 15 දක්වා ජපානයේ මියාරුහි පැවති වැඩමුළුවටත් සහභාගි වූයේ කිනම් පුද්ගලයන්ද යන්න සඳහනක් නැත. අනෙක් සෑම විදේශ වැඩමුළුවකටම සහභාගි වූවන්ගේ නම සහ තනතුර සඳහන් වුවත් මේ වැඩමුළුවලට සහභාගිවූවන්ගේ නම් වෙනුවට සඳහන්ව ඇත්තේ පරීක්ෂණ – කර්මාන්ත යෙදවුම් බලගැන්වීම යනුවෙන්ය. එසේම 39 පිටුවෙහි සඳහන් පරිදි වියානාහි පැවැත්වූ වැඩමුළු තුනටත් සහභාගි වූවන්ගේ නම් සඳහන් කර නැත. මේවාට සහභාගි වූ පුද්ගලයන්ගේ නම් සඳහන් නොකිරීම තුළින් මතුවන සැකය වන්නේ නුසුදුසු හෝ රහස් පුද්ගලයන් මේවට සහභාගි වී ඇති බවය. එසේ නම් මේ හොර රහසේ සහභාගි වූවෝ කවුරුන්ද ඔවුන්ට එසේ යෑමට අවසරය ලබා දුන්නේ කවුරුන්ද? එයින් මෙරටට අනර්ථයක් විය හැකිද ආදී ප්‍රශ්න රැසක් මතුවේ. ඒවාට පිළිතුරු දිය යුත්තේ කවුද? කෙසේ වුවත් මේ රහසිගත පුද්ගලයන් හෙළිදරව් කරගැනීම අතිශය වැදගත් වනු ඇත. මෙහිදී අවධාරණය කළයුතු කරුණක් වන්නේ මෙයට මුවාවී ත්‍රස්ත කල්ලියක සාමාජිකයකුට වුවද මේ පුහුණු වැඩමුළුවලට සහභාගිවීමේ ඉඩහසර විවර ව තිබී ඇති බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මල්ලේ පොල් පිළිතුරු

පොලිස් දෙපාර්තමේන්තුව 2012 වසරේ සිට හෝ 2013 වසරේ සිට මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටියේද? ගිවිසුම් අත්සන් කර තිබේද? පොලිස් දෙපාර්තමේන්තු නිලධාරීන් විදේශ පුහුණුවලට සහභාගි කරවා තිබේද? ඔවුන්ට ඒ සඳහා දෙපාර්තමේන්තු අවසරය ලැබී තිබුණේද? වශයෙන් ප්‍රශ්නාවලියක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකරට යොමු කළ විට ඔහුගේ පිළිතුර වූයේ 2014 අංක 40 දරන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත ප්‍රකාරව පොලිසිය ක්‍රියාකර තිබෙන බවය. නීතිඥවරයකු ද වන උගත් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී ලබාදී ඇත්තේ යන්නේ කොහිද ඇසූ විට මල්ලේ පොල් න්‍යායේ පිළිතුරකි.
2014 අංක 40 දරන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනතේ පොලිසිය සම්බන්ධයෙන් සඳහන් වන්නේ මෙලෙසය. 16 (1) බලයලත් පරීක්ෂකයකුට තම කර්තව්‍ය ඉටුකිරීමේදී සහාය වීම සඳහා සහකාර පොලිස් අධිකාරී තනතුරට ඉහළ නිලයක් දරන යම් පොලිස් නිලධාරියකුගේ සේවය ලබාදෙන ලෙස සභාව විසින් පොලිස්පතිවරයාට ඉල්ලීමක් කරනු ලැබිය හැකිය.”

(ආ) සභාව විසින් ඉල්ලීම කරන ලද අවස්ථාවකදී එවැනි පොලිස් නිලධාරියකුගේ සේවය ලබාදීම තහවුරු කිරීම පොලිස්පතිවරයාගේ කාර්යයක් විය යුතුය.
මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මතව සහතික වනුයේ 2014 නොවැම්බර් මස 04 වැනි දිනදීය.
අප කතා කරන ව්‍යාපෘතිය සම්බන්ධව ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරනුයේ 2012 ජනවාරි 30 දිනය. පොලිස්පතිවරයාගෙන් සේ ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ඇසිය යුතු වනුයේ එදවසත් ක්‍රියාත්මක වූයේ මෙම පනතම ද යන්නය.

මෙවැනි මොන්ටිසෝරි පිළිතුරු දීමෙන් හෑල්ලුවන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් පොලිස්පතිවරයාත්ය. අනෙක් අතින් ඔවුන් මේ සෙල්ලම් කරනුයේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ මූලික අයිතිවාසිකමක් සමග බව අවබෝධ කරගන්නේ නම් මැනවිය. එලෙසම මේ හුරතල් වන්නේ රටේ ජාතික ආරක්ෂාවත් සමගය. විකිරණ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසියේ අවධානය කොතරම් හෑල්ලුවට පත්වී ඇතිදැයි පෙනෙන තවත් කාරණාවක් තිබේ. ඊට හොඳම උදාහරණය කුරුණෑගල රෝහලේදී මුස්ලිම් ජාතික වෛද්‍යවරයකු වඳ සැත්කම් හාර දහසක් සිදුකර ඇතැයි පුවත්පතක පදනම් විරහිතව පළවූ වාර්තාවක් කෙරෙහි ක්ෂණික අවධානය යොමු කළ වැඩ බල පොලිස්පතිවරයා ඒ ගැන පරීක්ෂණයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කිරීමය.

විකිරණශීලී ප්‍රභවයන් අනාරක්ෂිත හෙයින් ජාතික ආරක්ෂාව අනතුරේ බවට කරුණු කාරණා සහිතව අප තොරතුරු හෙළි කළද පොලිස්පතිවරයා ඒ ගැන අවධානය යොමු කර නැත්තේ ඔහුට එහි බරපතළකම නොදැනීම නිසාද, නැතිනම් ඔහුගේ පූර්වගාමී පොලිස්පතිවරයා ආදර්ශයට ගැනීමෙන්ද යන්න අපි නොදනිමු.

අප මෙතෙක් කතා කළේ ගැමා මධ්‍යස්ථානය වැනි රාජ්‍ය ආයතනයන් ඇසුරේ පවතින විකිරණශීලී ප්‍රභවයන් ගැනය. බියගම ඇන්සල් ලංකා ආයතනයේ පවතින කොබොල්ට් 60හි ප්‍රමාණය කිලෝ කියුරි 6000ද ඉක්මවන බව කියැවේ. බියගම ගැමා මධ්‍යස්ථානයේ පවතින්නේ කොබොල්ට්- 60 විකිරණශීලී ප්‍රභවයන් කිලෝ කියුරි 200ක් පමණය. ඒ අනුසාරයෙන් ඇන්සල් ලංකාහි පවතින කොබොල්ට් 60 විකිරණශීලී ප්‍රභවයන්හි බිහිසුණු බව සිතාගත හැකිය. මහරගම සහ මහනුවර රෝහල්වල භාවිත කරන කොබොල්ට් 60හි කිලෝ කියුරි ප්‍රමාණය එයටත් වැඩි බව කියැවේ. එහෙත් ඒවා ගබඩා කර තබනුයේ කැලණියේ කන්ටේනර් ගබඩාවකය. මේසා විශාල විකිරණශීලී ප්‍රභවයන් ගැන පරමාණුක බලශක්ති නියාමන සභාව දක්වන සැලකිල්ලේ තරම වගකිවයුත්තන්ට නොවැටහෙන්නේ රටේ ජනතාවගේ අවාසනාවට විනා වෙනකක් නිසා නොවේ.