ඌරා

ශාන්ති දිසානායක

කඩින් කඩ වහින වැස්ස අතු ඉති අග මල් පොකුරු වඩාත් හැඩ කරවයි. පිපි නොපිපි මල් පමණක් නොව, තුරක හැඩය උලුප්පාලන පත්ද අන් කොයි කවදාටත් වඩා දීප්තිමත්ය. හරිත පැහැයෙන් අනූනය. දූවිලි බිඳකට හෝ රැඳෙන්නට ඉඩ නොහැර සෝදා ඔපලන්නට හදිසි හා කෙටි සිඟිති වැසි වග බලා ගන්නා බැවිනි.

පැහැයත් තුරින් තුර නළවමින් රිදවමින් හමන සුළඟේ මල් සුවඳ සමග මුසුවූ දුගඳක් ද වෙයි. තෙතබර පැහැබර හාත්පස සිසාරා බලන කල ඒ දුගඳ ඇදහිය නොහැක. එහෙත් මිනිස් නැහැ පුඩු පිළිකුළින් හකුළුවාලන තරමට බලසම්පන්න වූ දුගඳට හේතුභූත වූ තිරිසන්නු නොනිවෙන ක්ෂුදා ගින්නක් දැල්වෙන සිහින් දෙඇස් බමවා හඬ නඟති. වැඩි වැඩියෙන් කෑ බවට දෙස් දෙන අශූචි ගොඬේ සිට ලැග ඉන්නා ඌරු පැටවුන් දෙදෙනා අපිරිසිදු බවේ සංකේත සදිසිය. අහරට මිස අනෙකක් නොතකන මේ සිව්පාවුන් හා පවිත්‍රත්වය අහසට පොළොව මෙන් දුරස්ය. කුස් පුරවා ගන්නටම මාන බලන මේ සූකර පෝතකයන් වැඩි කල් නොයවා මිනිස් කුස් සනහාලන මාංශයක් පමණක් නොවන්නේද? ඒ බවක් නොදැන අහරක්ම පතන්නේ ඉක්මනින් වැඩුණු තරමට ඉක්මනින් දිවි තොර වන බවට සැක සංකාවක්ද නැතිවමය.

“ගන්දස්සාරේ බෑ.. නාහේ තියාගෙන කොහොම ඉන්නද අප්පේ….” යි මැසිවිලි නගන්නන්ගේ අඩුවක් නැත.
“මනුස්ස අපි නාලා කරලා සෙන්ට් පවුඩර් ගාගෙන සුවඳ ගගහ හිටියට කරන සමහර වැඩ කොච්චර ගඳද කියලා ඌරන්ට නෝක්කඩු කියන්න බෑනේ ඉතිං…”
ඒ සැණින් සිනා ගඟුලක් මැවිණ. සුවඳවත් යැයි බැලූ බැල්මට පෙනෙන ඇතැම් ක්‍රියාකාරකම්වලද එහෙමට සුවඳක් නැතැයි පසක් වන්නට ඥානාලෝකය යහමින් වුවමනාය.
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ දාගැබ් ව්‍යාපෘතියද ඡන්ද ගණනාවකට වඩා වැඩිමනත් යමක් නොවන වග පෙනී යයි. අනේක ගැටලු මධ්‍යයේ ජීවිතය විඳවන රටක දිස්ත්‍රික්කයක් පාසා චෛත්‍ය ඉදිකිරීමට කල්පනා කිරීම පවා සිහි බුද්ධිය ඇත්තෙකුට තරම් වේද?
දීර්ඝ කාලයක් මුළුල්ලේ අතිශය සංකීර්ණ අර්බුදයන්ගෙන් පීඩා විඳින රටක දැවෙන අවශ්‍යතාව දාගැබ්ද? මහජන නියෝජිතයකුගේ අවබෝධය හා දැක්ම කොතරම් පටුද යනවග මනා කොට පෙන්වා දෙන මේ දාගැබ් ව්‍යාපෘතිය ඒ පටුත්වයට යටින් වන දේශපාලන අභිප්‍රායන්හි දුර්ගන්ධය උලුප්පාලයි. දේශපාලනමය කාරණාවක් වුවද, ඒ අතින් බලන කල සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ පියා නොයෙක් අවමාන අවලාද මධ්‍යයේම ඇරඹූ ඇඟලුම් කම්හල් ව්‍යාපෘතිය වඩා ඵලදායි නොවන්නේද?
දශක ගණනාවක් ඇවෑමෙන් පවා අද දවසේත් ඇඟලුම් කම්හල තාරුණ්‍යයට ශක්තියකි. ශ්‍රමය සූරාකෑම හා ප්‍රමාණවත් වැටුප් ආදිය පිළිබඳව චෝදනා එල්ල කළ හැකි බව සැබෑය. එහෙත් නිෂ්පාදනය අවම වූ රටක ඇඟලුම් කම්හලද දිළිඳු ජනතාවට එක්තරා සහනයක් සලසන බවද යථාර්ථයකි. “සුද්දියන්ට ජංගි මහන බවට නගන ලද අවලාද නොතකා ආර්. ප්‍රේමදාස ජනධිපතිවරයා එක්තරා අන්දමක ප්‍රායෝගික විසඳුමක් ලබා දුන්නේය. ඔහුගේ පුත්‍රයා වත්මන් ලංකාවේ ගැටලු හැඳින ඊට වඩා පියවරක් හෝ ඉදිරියට යනවා වෙනුවට ආපස්සට හැල්මේ දිවීම විමතිය දනවන්නකි.

බහු ජාතික හා බහු ආගමික රටක් එක් ආගමක් උත්කර්ෂයට නැංවීමෙන් තවත් ගැටලු නිර්මාණය වීම හැරුණු කොට සිදුවන වෙනත් කෙංගෙඩියක් නැත්තේය. ආගම හුදු පෞද්ගලික කටයුත්තක් බව කල්පනා නොකරන තාක් මේ රට දවන තවන ප්‍රශ්නවලට විසඳුමක් ද නොලැබේ.

ආගමක් අදහන්නට මෙන්ම නො අදහන්නටද මිනිසාට නිදහසක් තිබිය යුතුය. එය මානව අයිතිවාසිකමකි. යමකුගේ ඇදහිල්ල තවකෙකුට පීඩා ගෙන දෙන්නේ නම්, ආගම මනුෂ්‍යත්වයට ඉහළින් වැජඹෙන්නක් නොවන බව තහවුරු නොවේද? නිවන ස්වර්ගය හෝ විමුක්තියට පෙර මිනිසකුට මිනිසකු ලෙස ජීවත්වීමේ ඉඩකඩ ලැබිය යුතුව තිබේ. ඒ ඉඩකඩ, ඒ අයිතිය උදුරා ගන්නට ආගමේ නාමයෙන් අවසර ලැබෙන්නේ නම් නිදහස් හා නිවහල් මිනිසකු ලෙස වැඩිදුරටත් කල්පනා කළ යුතු බව පැහැදිලිය. මෙකී සියලු කරුණු කාරණා මධ්‍යයේ නිවාස ඇමතිවරයාගේ මේ නිරර්ථක ව්‍යායාමය මහජන මුදල් නැති නාස්තියක් විනා රටට, ජනතාවට අංශු මාත්‍රයක හෝ සහනයක් සලසන්නක් නොවන බව පෙනී යයි.

දිවයිනේ සියලු දිස්ත්‍රික්කයන්හි චෛත්‍ය ඉදිකිරීමෙන් මෙරට විරැකියාව, මන්දපෝෂණය, දූෂණ, අපරාධ ආදිය තුරන්ව යන බව මේ සැදැහැවත් ජනතා නියෝජිතයා විශ්වාස කරන්නේද? වැවක් පිළිසකර කිරීමෙන්, පාසලකට වැසිකිළියක්, පුස්තකාලයක් ඉදිකිරීමෙන් මහත් ඵල මහානිසංස අත්පත් කරගත හැකි බව අවබෝධ කරගන්නට හෙතෙම අපොහොසත්වීම අපේ දේශපාලනඥයාගේ චින්තනය කවරේදැයි කියාපායි. නූතන ලෝකය සමග පෙරට යෑමේ ශක්‍යතාව ඔවුන්ට ඇත්තේම නැති බව විනා එයින් ගම්‍යවන්නේ අන් කවරක්ද?

මහා සංඝයාද නිර්වාණය ඒකායන ප්‍රාර්ථනය වූ සැදැහැතියාද පිනවමින් සිංහල බෞද්ධ ඡන්ද අපේක්ෂාවෙන් සිදුකරන මෙවන් ව්‍යාපෘති වූ කලී අසීමිත ධන නාස්තියක් බව පුන පුනා කිවයුතු නැත.
දැරිය නොහෙන තුන් ගින්නෙන් පෙළෙමින් අරගල කළ දිළිඳු ජනතාවට “පාන් නැත්නං කේක් කාපල්ලා”යි කී මාරි ඇන්ටොනයිව් බිසව මෙන් අපේ නිවාස ඉදිකිරීම් අමාත්‍යවරයාද සියලු ගැටලු පසෙකින් තබා චෛත්‍ය වන්දනාමාන කිරීමෙන් සුගතිය හා නිර්වාණය හිමිකර ගන්නට අපේ පුරවැසියාට ඉඩ ප්‍රස්ථා සැලසීමෙන් අභිනව නායකත්වයට මාවත හෙළි පෙහෙළි කරගන්නට ලක ලෑස්ති වන සෙයකි.

ඊළඟ ඡන්දය…. ඊළඟ නායකත්වය හැරුණු කොට අපේ දේශපාලනඥයාට මේ රට පත්ව තිබෙන ඛේදනීය තත්ත්වය පිළිබඳව අවබෝධයක් හෝ රට නගා සිටුවන්නට සැබෑ වුවමනාවක් හෝ ඇත්තේම නැත.
සෑම දිස්ත්‍රික්කයක් පාසාම චෛත්‍ය ඉදි කරනවා හැරුණු විට කළ හැකි වෙනත් මෙහෙවරක් පිළිබඳව සිතන්නට, වඩා ඵලදායී දේ තෝරා බේරා ගන්නට අමාත්‍යවරයා අපොහොසත් වීම එක්තරා ඛේදවාචකයක් මෙන්ම උත්ප්‍රාසයද දනවන සුලුය. පොදු ජනතාවට කවර හෝ ඉන් පීඩාවක් නොමැති නිසා, සිංහල ජනතා ගැටලු විසඳා රට සුඛිත මුදිත කොට තිබෙන නිසා වන්දනා මාන කිරීමට වැඩි වැඩියෙන් දාගැබ් වුවමනා බවක් හඟින මහජන නියෝජිතයා සම්බන්ධයෙන් අප සතුටු විය යුතු නැද්ද?

රුවන්වැලිසෑය වැඳ පුදා ගන්නට දිවයිනේ ඕනෑම කෙළවරක සිට දින ගණනාවක් ගතවන දුෂ්කර චාරිකාවක නිරත විය යුතු නැත. පැය කීපයකින් ඕනෑම තැනකට යාහැකි තරමට මේ රට කුඩාය. රුවන්වැලිසෑය ප්‍රමුඛ විශිෂ්ට නිර්මාණ රැසක් තිබියදී තැන තැන තව තවත්, චෙත්‍ය ඉදිකිරීම වූ කලී නිරර්ථක හා උන්මත්තක ක්‍රියාවක් නොවේද? මහ නායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝයා වුව මේ අතිවිශාල මුදල් නාස්තිය පිළිබඳව පහදා දිය යුතුය. දාගැබ් පිළිම වැඩි වැඩියෙන් ඉදි කළ පලියට බුදු දහම බබළන්නේ නැත. බුද්ධ දර්ශනය පිළිබඳව අවබෝධයක්ද එයින් තමන්ගේ ජීවිතයට ලැබෙන ආලෝකයද පසෙක තබා හුදු වන්දනයට සීමාවීම නිෂ්ඵලය. නිරර්ථකය. බුදු හිමියන් පවා ඇදහිල්ලට පුද පූජාවන්ට එරෙහිව අරගල කළ බව අපේ භික්ෂුවම අමතක කර දමා ආමිසයටම ආවඩන බව පෙනී යයි. ඒ කෙසේ වෙතත් සැබෑ මහජන නියෝජිතයකුට ආගමික ළැදියාව මත තීන්දු තීරණ ගත නොහැක. ආගමික භක්තිය පෞද්ගලික කටයුත්තක් පමණක් බැවිනි. රටක් සම්බන්ධයෙන් රටේ යහපත තකා නිවැරදි හා ඵලදායී තීන්දු තීරණ ගත යුතුව තිබේ. නිදහසින් පසු අප ඉදිරියට යනවා වෙනුවට ආපස්සට යන්නේ දේශපාලනඥයාගේ බලලෝභයද මහජනයාගේ අනුවණකමද හේතු කොටගෙන නොවේද?

ආර්ථික දුෂ්කරතාව විඳ දරාගත නුහුණු තරුණ මවක් සිය දරු දෙදෙනා සමග දුම්රියට පැන දිවි නසා ගත් බව අපේ නිවාස අමාත්‍යවරයා දන්නේද? තිස්සමහාරාමයේ මාස එකොළහක ළදරුවකුගේ මරණය සිදුවී තිබෙන්නේ රෝග පීඩාවක් කරණ කොට නොවන වගද කුසගින්න නිසා බවද දැන දැනත් දිස්ත්‍රික්කයක් පාසා චෛත්‍ය ඉදිකරන්නට හිත හදා ගන්නට එතුමාට හැකිවනු ඇත්ද? ඒ මාස එකොළහේ දරු පැටියා වෙනුවෙන් එතුමා පමණක් නොව, රට කරවන ඇත්තෝද මුළු මහත් රටක්මද විළියෙන් හා ශෝකයෙන් පශ්චත්තාප වියයුතු නැද්ද? විවිධ සංදර්ශන පැවැත්වීම සඳහා මිලියන ගණන් මුදල් වැය කරන ආණ්ඩුව මහජනයා කුසගින්නෙන් දැවෙන බව දැන දැනත් නටන නාඩගම පිළිකුලින් හෙළා දැකිය යුතුය. මහා පරිමාණ උත්සව පැවැත්වීමෙන් ආණ්ඩුව ලබන ස්වයං වින්දනය විනාශකාරී වන්නේ එලෙස නැති නාස්ති කර දමන්නේ මහජන මුදල් බැවිනි. වක්‍ර බදු මගින් මහජනයා මිරිකා උපයා ගන්නා මුදල් නිකරුණේ විනාශ කර දැමීමේ මහා පාපයට ආණ්ඩුව වන්දි ගෙවිය යුතු නැද්ද? මහ පොළොවේ වැළලෙන්නට සිටියා යැයි කියනු ලබන රාජ්‍ය නායකයා අඩුම තරමින් මහ පොළොව මත හෝ පය ගසන්නට ඉඩක් නොලැබෙන පරිද්දෙන් නිරන්තරයෙන් ගුවන් ගතවන අතර ජීවිතය ලබා මාස එකොළහකින් මරණය වැළඳ ගන්නට සිදුවූ දරු පැටියා සම්බන්ධයෙන් අපේ හදවත් කකියන්නේ නැත්නම් අපට සරිලන්නේද එවන් අසංවේදී නායකයන්මය. දරුවා පාසලට යවා ගන්නට බැරුව වැළපෙන දෙමාපියන් බහුතරයක් මෙරට සිටින බව නොදැන චෛත්‍ය ඉදිකරන්නට දඟලන අමාත්‍යවරුන්මය.

නිදහස ලබා දශක ගණනාවකට ඇවෑමෙන් ලංකාව වූ කලී ආර්ථික සමෘද්ධියෙන් හා සබුද්ධික පුරවැසියන්ගෙන් සමන්විත රටක් බැවින් දිස්ත්‍රික්කයක් පාසා නොව ග්‍රාමසේවක වසමක් පාසා චෛත්‍ය බැගින් ඉදි කළ යුතු බව යෝජනා කරන්නට තරම් ශ්‍රද්ධා සම්පන්න වෙමු.

සරු දෙය සරු ලෙසද, නිසරු දෙය නිසරු ලෙසද මනා කොට දැන හැඳිනගත් බුදු හිමියන්ට පවා නින්දාගෙන දෙමින් උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ හරසුන් සියල්ල හිස් මුදුනින් ගනිමින් මේ රට අගාධයටම තල්ලු කරන්නට වෙහෙසෙන, බල සිහින විසින් දුබල කළා වූ නායක කාරකාදීන්ට සිහි නුවණ පහළ වේයායි ප්‍රාර්ථනා කරමු!

බහුං චෙ සරණං යන්ති
සබ්බනානි වනාදිම
ආරාම රුක්ඛ චෛත්‍යානි
මනුස්සා භයතජ්ජිතා
බියෙන් තැති ගත් මිනිසුන් පර්වතයන්ද, වනයන්ද, ආරාමායන්ද, ගස්ද, චෛත්‍යයන්ද සරණ කොට ගනිත්.
නෙතං ඛො සරණං ඛෙමං
නෙතං සරණ මුත්තමං
නෙතං සරණාම ගම්ම
සබ්බ දුක්ඛා පමුච්චති
මේ පර්වතාදිය සරණ යාම නිර්දය බව එලවන්නක් නොවේ. මේ සරණය උතුම් නොවේ. මේ සරණය ගෙන සියලු දුකින් නොමිදේ.
බුදු හිමි
බුද්ධ වග්ග
ධම්ම පදය