සැකෙවින් කියවමු – 2 ජාතීන් අසමත් වෙන්නේ ඇයි? – බලය, සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය. – ඩැරොන් අසෙමොග්ලූ සහ ජෙම්ස් ඒ. රොබින්සන්

විජයානන්ද ජයවීර

Why Nations Fail – The Origins of Power, Prosperity and Poverty by Daron Acemoglu & James . A. Robinson

5. අන්තර්ග්‍රහණීය ආයතන වඩා සාදාචාරී යහපත් යුගයක් ඇතිකර ලීමට හේතු වෙයි.
තවදුරටත් එංගලන්තය ම අපේ සිද්ධි අධ්‍යයනය වශයෙන් සලකමු. මූලික අන්තර්ග්‍රහණීය ආයතන නිසි ලෙස ක්‍රියාත්මක වන විට ප්‍රතිඵලයක් වශයෙන් අන්තර්ග්‍රහණීය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුවීම හුදු අහම්බයක් නොවෙයි.

ඊට හේතුව අන්තර්ග්‍රහණීය ආයතන මගින් ආර්ථික වර්ධනය උත්තේජනය කරනවා පමණක් නොව කලක් ගතවන විට එහි ප්‍රත්‍යවර්ත්‍ය ප්‍රතිඵලයක් වශයෙන් අදාළ ආයතනයේ කාර්යක්ෂමතාව ද ඉහළ යෑමයි.

එංගලන්තයේ දේශපාලනික ආයතන වඩ වඩා බහුත්වවාදී වන විට හැම කණ්ඩායමකම පොදු අභිලාෂ සාක්ෂාත් කරගැනීම සහතික කිරීම අවශ්‍ය වුණා. ඒ අනුව එතෙක් අනෙකුත් ප්‍රබල කණ්ඩායම් සතුව තිබූ අයුතු බලය නීතිය මගින් සීමා කිරීමට සිදුවුණා.

පියවරෙන් පියවර දහනමවෙනි සහ විසිවෙනි ශතවර්ෂවල මේ ආයතන වඩ වඩා අන්තර්ග්‍රහණීය ස්වභාවයක් ගත්තා. ධනය බලය කුමක් වුවද ඉඩම් හිමියන්ගේ ඒකාධිකාරය ඉක්මවා ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ට ම එක සමාන ව ලැබෙන තෙක් ඡන්ද බලය ද සර්වජන බලයක් දක්වා පුළුල් වුණා.

ඡන්ද බලය හිමි නොවූ බහුතරය විසින් නොකඩවා කරන ලද අරගල නිසයි අවසානයේ එසේ සර්වජන ඡන්ද බලය සැමට ලැබුණේ. මෙහිදී කම්කරු වර්ජන, සමාජ අසහනය, මහජන පෙත්සම් සහ උද්ඝෝෂණ ව්‍යාපාර මේ අයිතිය දිනා ගැනීමේ ලා බෙහෙවින් දායක වුණා.

ඡන්ද බලය අහිමිව තිබූ අයගේ ඒ ජයග්‍රහණය හුදෙක් කිසිවක් නැති රික්තයක් තුළ ඇති වූවක් නොවෙයි. එක් පැත්තකින් එංගලන්තයේ එවකට වර්ධනය ව තිබූ දේශපාලනික ආයතන බෙහෙවින් සම්මුතිකාමී ඒවා වුණා. අනෙක් අතට ක්‍රමවත් ලෙස ආණ්ඩු කිරීම සහ රජයේ ස්ථාවර භාවය පවත්වා ගැනීම ප්‍රභූවරුන්ගේ අභිලාෂයන්ට ද අත්‍යවශ්‍ය දෙයක් වුණා. හැරත් මූල්‍යමය වශයෙන් මෙතරම් සාර්ථක වූ ක්‍රමයක් කඩා බිඳ වැටීමට ඉඩදීම කාගේ කාගේත් අභිලාෂ හා එකඟ වුණේ නැහැ. එනිසා ප්‍රචණ්ඩ විප්ලවයකින් පීඩා විඳීමට වඩා ඡන්ද බලය හිමි නො වූ අයගේ ඉල්ලීම් වලට කන් දී එකඟත්වයකට පැමිණීම සියලුදෙනාගේ ම හිතසුව පිණිස සිදු වූ දෙයක්.

මෙසේ සර්වජන ඡන්දය පුළුල්වීම දේශපාලන ආයතන තව තවත් බහුත්වවාදීවීමට හේතුවුණා. ඒ අනුව එම ආයතන නිරන්තරයෙන් ම බහු ජනතාවකගේ ආර්ථික අවශ්‍යතා නියෝජනය කිරීමට හැඩ ගැහුණා. එයට අනුරූපව ආර්ථික ආයතනද වඩ වඩා අනතර්ග්‍රාහී බවට පත්වුණා.

සර්වජන ඡන්දය සහ සාධාරණත්වය නමැති යන්ත්‍ර සෙමින් සෙමින් කැරකෙන්නට පටන් ගත් විට එම යන්ත්‍ර කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ලිහිසි තෙල් බවට පත් වූයේ ජනමාධ්‍යයයි.

බලසම්පන්න උදවිය සංනිරීක්ෂණයට ලක් කරමින් ජනමාධ්‍ය නිරන්තරයෙන් ම දේශපාලන සිදුවීම් ගැන ඡන්දදායකයින්ට දැනුම් දුන්නා. කොටින් කිව්වොත් අන්තර්ග්‍රහණීය ආයතන මට්ටමින් දේශපාලනික ක්‍රියාවලිය නොකඩවා ඉටුකර ලීම ජනමාධ්‍ය මගින් සහතික කරනු ලැබුවා.
අත්ලාන්තික් සාගරයේ එගොඩින් ද මේ සම්බන්ධයෙන් හොඳ උදාහරණයක් දිය හැකියි.

විසිවෙනි ශතවර්ෂය එළඹීමත් සමග අමෙරිකා එක්සත් ජනපදයේ ‘චෞර සිටුවරු’ (robber barons) ස්ටෑන්ඩර්ඞ් ඔයිල් සහ එක්සත් ජනපද වානේ සමාගම වැනි ඉතා බලගතු ඒකාධිකාරී ව්‍යාපාර ඇතිකරගෙන තිබුණා. එහෙත් 1901 සිට 1921 දක්වා කාලය තුළ තියඩෝර් රූස්වෙල්ට්, විලියම් ටෆ්ට් සහ වුඞ්රෝ විල්සන් නමැති ජනාධිපතිවරු ඒකාධිකාර විරෝධී නීති රීති සම්පාදනය කොට ආර්ථික බලය තව තවත් ඒකරාශි කර ගැනීමට ඒ ‘චෞර සිටුවරු’ දැරූ වෑයම ව්‍යවර්ථ කළා.
මේ ඒකාධිකාර විසින් බලය අනිසි ලෙස යොදා ගැනීම ජාතික මට්ටමේ ප්‍රශ්නයක් බවට පත් වූයේ පුවත්පත් වල නොපසුබට උත්සාහයන් නිසයි. ඒ පුවත්පත් සැපයූ තොරතුරු වලින් සන්නද්ධ වූ මහජනතාව අනිසි ඒකාධිකාර පාලනය කිරීම පිණිස සුදුසු ප්‍රතිසංස්කරණ ඉල්ලමින් රට පුරා උද්ඝෝෂණ කළා.

6. රටක අධිකාරි බලය ඒකරාශී වීම බොහෝ විට එම රටේ ආර්ථික සංවර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා.
සැම විටම නැණවත් නායකයෝ දරිද්‍රතාව වෙනුවට සෞභාග්‍යය ළඟා කර දීම පිණිස තම රටවල් මෙහෙයවනු ඇතැ’යි බලාපොරොත්තු වීම සාමාන්‍ය දෙයක්.
එහෙත් අවාසනාවකට මෙන් සාමාන්‍යයෙන් දේශපාලනික ප්‍රභූවරු යනු බෙහෙවින් ආත්මාර්ථකාමී කල්ලියක්. මේ හේතුව රටක සංවර්ධනය කෙරෙහි බොහෝ විට අහිතකර ලෙස බලපානවා.

මේ ගැන හොඳ උදාහරණයක් මුද්‍රණ යන්ත්‍රයේ ඉතිහාසය විමසීමෙන් දැන ගත හැකියි. 1445 ජර්මනියේ මේන්ස් නුවර දී උපත ලද මුද්‍රණ යන්ත්‍රය පහළොස්වැනි සියවස අවසාන වන විට ස්ට්‍රාස්බෝර්ග්, රෝමය, ෆ්ලොරන්ස්, ලන්ඩන්, බුඩාපේස්ට්, කැරකොව් වැනි යුරෝපීය නගර වලට ද පැතිර තිබුණා.

එහෙත් යුරෝපයට නුදුරු ව පිහිටි ඔටෝමාන් තුර්කි අධිරාජ්‍යයේ පාලකයෝ එය මුළුමනින් ම ප්‍රතික්ෂේප කළා. ඔවුන් මුද්‍රණ යන්ත්‍රය සැලකුවේ තමන්ගේ අධිකාරී බලයට එල්ල වන තර්ජනයක් ලෙසයි. ඒ අනුව ඔටෝමාන් අධිරාජ්‍ය තුළ මුස්ලිම් ජනතාවට අරාබි බසින් මුද්‍රණ කටයුතු කිරීම තහනම් වුණා. 1727 වන තෙක් ම මේ තහනම පැවතුණා. තහනම ඉවත් කළ පසු ද රජය පිළිගත් ආගමික හා නීතිය පිළිබඳ විශේෂඥයන්ගේ පසුබිම් පරීක්ෂණයකින් තොරව කිසිවක් මුද්‍රණය කොට බෙදා හැරීමට කාටවත් ඉඩ ලැබුණේ නැහැ. මේ ප්‍රතිපත්තිය තුර්කියේ අධ්‍යාපනය කෙරෙහි කෙතරම් විෂම ලෙස බලපෑවේ දැයි කිවහොත් එංගලන්තයේ සාක්ෂරතාව 40්‍ර- 60්‍ර අතර වන විට ඔටෝමාන් තුර්කි අධිරාජ්‍යයේ සාක්ෂරතාව පැවතුණේ 2්‍ර-3්‍ර දක්වා වූ ඉතා පහළ මට්ටමකයි.

ආර්ථික වර්ධනයට බාධා කරන තවත් වැදගත් කාරණයක් වන්නේ ‘නිර්මාණශීලී විනාශකාරීත්වය’ (creative destruction) පිළිබඳ ව දේශපාලනික ප්‍රභූවරු දක්වන අනවරත බියයි.
‘නිර්මාණශීලී විනාශකාරීත්වය’ යනුවෙන් මෙහි දී අප හඳුන්වන්නේ කාර්යක්ෂමතාව වැඩි කරන නවෝත්පාදන හා නව සොයා ගැනීම් නිසා ආර්ථිකයේ ඇතැම් අංශ යල්පැන යාමයි. මහන මැසිම සොයා ගැනීම නිසා අතින් මැසූ පාරම්පරික ඇලුම් කර්මාන්තය අභාවයට යාම මේ සඳහා දිය හැකි උදාහරණයක්.

දහනමවැනි සියවසේ මුල් කාලයේ ඔස්ටි්‍රයාවේ රජකම් කළ පළමුවැනි ෆ්‍රැන්සිස් අධිරාජයා කාර්මික කරණයට බෙහෙවින් විරුද්ධ වූ අයකු ලෙස ප්‍රකට යි. 1811 වන තෙක් ම ඔස්ටි්‍රයානු අධිරාජ්‍ය තුළ නව යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම තහනම් වූ අතර රට තුළ දුම්රිය සේවා හඳුන්වා දීමට ද සැලකිය යුතු විරෝධයක් ඇති වුණා. නව තාක්ෂණය තර්ජනකාරී විප්ලව වලට හේතුවේයැ’යි යැයි ෆ්‍රැන්සිස් අධිරාජයා නිතරම බිය වුණා. ඒ හැර රජුට පක්ෂ ප්‍රභූවරු සතුව තිබූ සාම්ප්‍රදායික කර්මාන්තවලට ද නව තාක්ෂණයෙන් අභියෝග එල්ල වෙතැයි බියක් ද තිබුණා.

කාර්මික විප්ලවය හා බද්ධ වූ ‘නිර්මාණශීලී විනාශකාරීත්වය’ පිළිබඳ හුඹස් බිය නිසා ඔස්ටි්‍රයාවේ සංවර්ධනය සෑහෙන පසුබෑමකට ලක්වුණා.
ඒ අනුව 1833 දී අනෙකුත් බොහෝ රටවල් යපස් උණු කිරීම පිණිස වඩා කාර්යක්ෂම ඉන්ධනයක් වූ ගල් අඟරු 90්‍ර ක් ම උපයෝගී කර ගන්නා විට ඔස්ටි්‍රයාව තවමත් පැරණි ක්‍රමයට අනුව යමින් බෙහෙවින් අකාර්යක්ෂම දැව අඟුරු භාවිත කළා. එය හරියට ම කාර්මික විප්ලවය ඔස්ටි්‍රයාවට නො පැමිණියා වගේ දෙයක්. ඇත්ත වශයෙන් ම පළමුවැනි ලෝකය අවසානයේ ඔස්ට්‍රො-හන්ගේරියානු අධිරාජ්‍ය කඩා වැටෙන විට එහි පේෂ කර්මාන්තයෙන් වැඩි කොටසක් ම කාර්මිකකරණයට ලක් වී තිබුණේ නැහැ.
7. නිස්සාරක ආයතන (Extractive Institutions) නිසා ඇතිවෙන දුර්විපාක කාලාන්තරයක් තිස්සේ ම පවතිනවා.

අන්තර්ග්‍රහණීය ආයතන කලක් යන විට වර්ධනය වන ආකාරය ගැන අප සාකච්ඡා කළා. ලෝකය පුරාම නිස්සාරක ආයතනවල වර්ධනය සිදුවන්නේත් ඊට සමාන ආකාරයකටයි. ඒවා හැඩ ගස්වන්නේත් දිග්ගස්සන්නෙත් චිරස්ථායී කරනු ලබන්නේත් ඓතිහාසික බලවේග විසිනුයි.

වහල් ක්‍රමය හා සම්බන්ධ ආයතන සහ ඒවායේ අනවරත ඓතිහාසික බලපෑම විමර්ශනයට ලක් කළ විට මෙය වඩාත් හොඳින් පැහැදිලි වෙනවා.
දාහත්වැනි සියවසේ යුරෝපීය යටත්විජිතවාදීන් අප්‍රිකාවට සම්ප්‍රාප්ත වීමට පෙර ද අප්‍රිකාවේ වහල් ක්‍රමය පැවතුණා. යුරෝපීයයන් වැඩි වශයෙන් ම අප්‍රිකාවට පැමිණියේ නව ලෝකයේ පිහිටි ඔවුන්ගේ උක්වතු වලට අවශ්‍ය බලහත්කාර ශ්‍රමය දඩයම් කර ගැනීමටයි.

වහලුන් සොයා අප්‍රිකාවට පැමිණි පිටස්තරයන්ට වහලුන් විකිණීමෙන් විශාල ධනයක් උපයා ගත හැකි බව ස්වදේශික පාලකයන් තේරුම් ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස අප්‍රිකානුවන් වහල්භාවයට පත් කිරීම වඩ වඩාත් වේගවත් වුණා. ගෝත්‍රික යුද්ධ වලදී අල්ලා ගත් යුද හිරකරුවන් සහ සමාජ අපරාධකරුවන් වශයෙන් නම් කළ අය නිතරම වහලුන් ලෙස විකුණුනා. ඇතැම් අප්‍රිකානු සමාජවල දඬුවම් පැමිණ වීමේ එකම ක්‍රමය වූයේ ද සියලු ආකාරයේ වැරදිකාරයන් වහල්භාවයට පත් කිරීමයි.

වහලුන් සහ කපු වැනි අනෙකුත් අමුද්‍රව්‍ය සැපයීමේ හිලව්වට වෙළෙන්දෝ යුරෝපයේ සිට අප්‍රිකාවේ ස්වදේශික පාලකයන්ට අවි ආයුධ ගෙන්වා දුන්නා. එයින් සිදු වූ එකම දේ අප්‍රිකානු ගෝත්‍රිකයන් අතර ප්‍රචණ්ඩ ගැටුම් උසිගැන්වීමට හැකිවීමයි.

ලෝක මට්ටමේ වහල් වෙළෙඳාම 1807 දී තාක්ෂණික ව නතර වූ නමුත් අප්‍රිකාවේ දී එය දිගටම පැවතුණා. එකම වෙනස වුණේ එහි දී වහල්ලු යනු අභ්‍යන්තර හා බාහිර වෙළෙඳ පොළවල් වලට නිෂ්පාදනය කිරීම පිණිස වැඩ කිරීමට බල කරනු ලැබූ හුවමාරු භාණ්ඩයක් වීම පමණයි.

එහෙත් එයින් ඒ ක්‍රියාදාමය අවසන් වුණේ නැහැ. විසිවෙනි සියවසේ දෙවැනි භාගයේ දී අප්‍රිකානු නිදහස් අරගල ව්‍යාපාර බෙහෙවින් සාර්ථක වුණත් යටත් විජිතවාදීන් විසින් පිහිටු වන ලද පීඩාකාරී නිස්සාරක ආයතන දිගටම පැවතුණා.

එයට උදාහරණයක් වශයෙන් සියරා ලියොනය ගනිමු. එය දහනම වැනි සියවසේ මුල සිට 1961 දක්වා ම පැවතුණේ බි්‍රතාන්‍ය යටත් විජිතයක් ලෙසයි. බි්‍රතාන්‍ය රජුගේ නාමයෙන් එක් එක් ප්‍රදේශ පාලනය පිණිස බි්‍රතාන්‍යයයෝ ස්වදේශීය පරම ගෝත්‍රික නායකයන් පත් කළා.

වර්තමානයේ මේ පරම ගෝත්‍රික නායකයන් යාවජීව පාලකයන් ලෙස පත් කරන්නේ ඡන්දයකින් තෝරා පත් කර නොගත් ගෝත්‍රික අධිකාරිය නම් වූ ආයතනයක් මගිනුයි. බි්‍රතාන්‍ය පාලන සමයේ මෙන් ම රදළ පවුල් කිහිපයක සාමාජිකයන්ට පමණයි මේ ක්‍රමය යටතේ පරම ගෝත්‍රික නායකයන් බවට පත් විය හැක්කේ.
මෙයින් කියවෙන්නේ කලින් තිබුණාක් මෙන් ම දේශපාලන ක්‍රමය බෙහෙවින් නිස්සාරක වී ඇති බවයි.

ආර්ථික ක්‍රමයට සිදු වී ඇත්තේ ද ඒ හා සමාන වූ දෙයක්. 1949 දී බි්‍රතාන්‍යයන් විසින් සියරා ලියොන් නිෂ්පාදන වෙළෙඳ මණ්ඩලය පිහිටවනු ලැබුවා. නිෂ්පාදනවල මිල උච්චාවචනයවීම් වලින් ගොවීන් ආරක්ෂා කැරුණු වස් පිහිට වූ ආයතනයක් ලෙසයි මෙය හැඳින්වූයේ. එකම දේ ඒ සඳහා ගොවීන් විසින් කිසියම් ගාස්තුවක් ගෙවීමට සිදුවීමයි. අනුක්‍රමයෙන් වරින් වර ඉහළ නැංවූ මේ ගාස්තුව 1960 මැද භාගය වන විට ගොවීන්ගේ ආදායමෙන් භාගයක් පමණ වූවා.

නිදහස ලැබීමෙන් පසුව ද මේ ක්‍රමය අවසන් වුණේ නැහැ. ඇත්ත වශයෙන් ම 1967 දී අගමැති ධුරයට පත් වූ සිආකා ස්ටීවන්ස්ගේ රජය ගොවීන්ගේ ආදායමෙන් 90්‍ර පමණ බදු වශයෙන් අය කළා.

මෙහි දී පැණ නගින තර්කානුකූල ප්‍රශ්නය වන්නේ නිදහස ලැබීමෙන් පසුව ද එවැනි නිස්සාරක ආයතන කඩා නොවැටුණේ ඇයි ද යන්නයි? ඊළඟට අපි ඒ ගැන සොයා බලමු.
8. දරිද්‍රතාවේ විෂම චක්‍රය නිස්සාරක ආයතන (extractive institutions) වල ඵලයකි.

නිස්සාරක ආයතන සාමාන්‍යයෙන් බිහිවන්නේ රටක නායකයන් නිවැරදි සංවර්ධන ප්‍රයත්න වලට ප්‍රතිරෝධය දක්වමින් සිය බලය තහවුරු කර ගැනීමට වෙර දරන විටයි.
එහෙත් එය හුදෙක් ආරම්භය පමණයි. ප්‍රශ්නය වන්නේ නිස්සාරක දේශපාලනික ආයතන යනු ස්වයං චිරස්ථායී වන ආයතන වීමයි.
නිස්සාරක ව්‍යුහයක අරමුණ වන්නේ ම පාලන තන්ත්‍රය කෙරෙහි ප්‍රභූ පැලැන්තියේ ඇති ග්‍රහණය සුරක්ෂිත කර තබා ගැනීමයි. ඒ අනුව එම නිස්සාරක ව්‍යුහය ස්වාර්ථය පිණිස ම චිරස්ථායී කිරීම ද ප්‍රභූ පැලැන්තියේ අභිලාෂයයි.

උදාහරණයකට දහනව වැනි සියවසේ දී අමෙරිකා එක්සත් ජනපදයේ වහල් ක්‍රමය පවත්වා ගෙන ගිය දකුණු දිග ප්‍රාන්ත රාජ්‍යවල පැවති තත්ත්වය විමසා බලමු. එම ප්‍රාන්ත වල සුදු ඉඩම් හිමි ප්‍රභූවරු දේශපාලනික හෝ ආර්ථික අයිතීන් හෝ නො තිබුණු කළු වහල් සේවකයන්ගේ ශ්‍රමයෙන් ඉමහත් ලෙස ලාභ ඉපද වූවා.
1865 ඇමෙරිකානු සිවිල් යුද්ධය අවසානයේ උතුරු ප්‍රාන්ත රාජ්‍ය එකතුව ජයග්‍රහණය කළ පසු වහල් ක්‍රමය නීති විරෝධි කර අහෝසි කර දමනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කළු මිනිසුන්ට ද ඡන්ද බලය හිමි වුණා.

එහෙත් දකුණු දිග ප්‍රාන්ත රාජ්‍ය වල ඉඩම් හිමි ප්‍රභූවරු වහල් බවින් නිදහස් වූ හිටපු වහලුන් තවදුරටත් ලාභ ශ්‍රමිකයන් වශයෙන් යොදා ගෙන ඔවුන් සූරා කෑමට සූදානම් වුණා.
තම බලය තහවුරු කර ගැනීමේ අටියෙන් ඉඩම් හිමි පැලැන්තිය ඡන්දදායකයන් වීමට බලාපොරොත්තු වන අයට ඇඟ බදු සහ සාක්ෂරතා පරීක්ෂණ නියම කරා. එහි ඇත්ත අභිප්‍රාය වුණේ කාලාන්තරයක් තිස්සේ ම අධ්‍යාපනය ලබාගැනීමෙන් වළක්වන ලද කළු ජාතිකයන්ට ඡන්දය භාවිත කිරීමේ අයිතිය අහිමි කිරීමයි.

මේ බල අසමතාවයේ ගතික ස්වභාවය 19වෙනි සියවසේ අගභාගයේ දී සහ 20වෙනි සියවසේ මුල භාගයේ දී පැන වූ ජිම් ක්‍රෝ (Jim Crow) නීති මගින් මනා කොට පෙන්නුම් කරනවා. එම නීති මගින් වර්ණභේදී විසංගමනය (segregation) හෙවත් කළු හා සුදු ජාතිකයන්ට වෙන වෙනම පාසල් සහ කල්ලන්ට වෙනම මගී ආසන ආදී විවිධාකාර ලෙස වෙනස් කොට සැලැකීම් නීත්‍යනුකූල කරනු ලැබුවා.

පාලන තන්ත්‍ර මාරු වූ විට දී වූවද එවැනි නිස්සාරක ආයතන දිගින් දිගටම පැවතීම බෙහෙවින් අධ්‍යයනයට ලක් ව ඇති විෂයයක්. ඒ ප්‍රවණතාව විසිවෙනි සියවසේ මුලදී ජර්මානු සමාජ විද්‍යාඥයෙකු වූ රොබර්ට් මයිකල්ස් විසින් හඳුන්වන ලද්දේ ‘කතිපයාධිකාරිත්වයේ යකඩ නීති’ (the iron law of oligarchy) යන නමිනුයි. මින් අදහස් කරන්නේ බලය ග්‍රහණය කර ගෙන ඇත්තේ එකම ප්‍රභූ කල්ලිය ද නැත්නම් වෙනත් ප්‍රභූ කල්ලියක් ද යන්න නො තකා සිය සුපුරුදු කටයුතු නොකඩවා ම පවත්වා ගෙන යාමට කතිපයාධිකාරී ආයතන දක්වන ළැදියාවයි.

පශ්චාත් නිදහස් අරගල සමයේ අප්‍රිකාවේ ද ඇත්තට ම සිදුවූයේ ඒ හා සමාන දෙයක්. යුරෝපීයයන් විසින් එහි ගොඩ නැගූ නිස්සාරක ආයතන අදටත් ඒ ආකාරයෙන් ම වාගේ ක්‍රියාත්මක වෙනවා.

එවැනි ආයතන විසින් බලය පිරිනමන ලද අය එම බලය තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරන බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැහැ.
උදාහරණයකට සියරා ලියෝනයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ සිආකා ස්ටීවන්ස්ගේ හැසිරීම සලකා බලමු. සිය දේශපාලන විරුද්ධවාදියාට ආධාර කළ මෙන්ඩි ගෝත්‍රිකයන් ගෙන් ඔහු එලව එලවා පලිගත්තා. මෙන්ඩි ගෝත්‍රිකයන්ගේ නිජබිම් වූ ප්‍රදේශ වල සිට අපනයන පිටට යැවූ දුම්රිය සේවා විනාශ කොට ඔවුන්ගේ ආර්ථිකය කඩාකප්පල් කර දැමීමට ද ඔහු කටයුතු කළා.

එයට අනුරූප ව ඔහු තව තවත් අධිකාරී බලතල ආරෝපණය කර ගත්තා. ඉතින් සියරා ලියෝනයේ ජාතික ආයතන තව දුරටත් ජනතාව නියෝජනය කළ බව නම් සත්‍යයක් නොවෙයි.

9. නිස්සාරක ආයතන තුළින් වර්ධනයක් ලබාගැනීම කිසි සේත් ම නො කළ හැක්කක් ද නොවේ. එහෙත් ප්‍රශ්නය වන්නේ එවැනි වර්ධනයක් තිරසර වර්ධනයක් නොවීමයි.
කොයි අන්දමට බැලූවත් පෙර පැවති සෝවියට් සමූහාණ්ඩුව අන්තර්ග්‍රහණීය දේශපාලන හා ආර්ථික ආයතන පරිපෝෂණය කළ ආණ්ඩුවක් වශයෙන් සැලකිය නොහැකියි.
එසේ වූවද ආරම්භයේ සිට 1970 ගණන් දක්වා ම ඇතැම් ක්ෂේත්‍ර තුළ සෝවියට් සමූහාණ්ඩුව ලබාගත් සාර්ථකත්වය අවිවාද ජනකයි. සෝවියට් සමාජය ද නවොත්පාදනශීලී සමාජයක් විය. ප්‍රථම ගගනගාමියා අභ්‍යවකාශයට යැවීමට සෝවියට් සංගමය සමත් වූයේ එබැවිනි. 1928 සිට 1960 දක්වා කාලපරිච්ඡේදය තුළ සෝවියට් ආර්ථිකය වසරකට 6්‍ර බැගින් වූ සැලකිය යුතු වර්ධන වේගයකින් දියුණු වී තිබුණා.

මේසා කැපී පෙනෙන දියුණුවකට එක් හේතුවක් වුණේ දිගු කලක් තිස්සේ මුළුමනින් ම ඌන සංවර්ධිත ව පැවති ප්‍රාන්ත කිහිපයකින් ම සෝවියට් සමූහාණ්ඩුවෙ සංයුක්ත වීමයි. සමූහාණ්ඩුවට අයත් එවැනි ඇතැම් ප්‍රාන්ත රාජ්‍යවල වැඩවසම් ක්‍රමය අහෝසි කර ඒ වන විට වැඩි කාලයක් ගත ව තිබුණේ නැහැ. එහි ඵලයක් වශයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයට වෙන් කර තිබූ සම්පත් බොහොමයක් වඩා ඵලදායී වූ කාර්මික ක්ෂේත්‍රයට ඥානාන්විත ලෙස ආයෝජනය කිරීමට සෝවියට් සමූහාණ්ඩුව සමත් වුණා.
එහි ප්‍රතිඵලය වුණේ ආර්ථිකය දැවැන්ත ලෙස වර්ධනය වීමයි. නිස්සාරක ආර්ථික ආයතන වලින් සමන්විත මෙවැනි ක්‍රමයකින් ඒ සා විශාල ආර්ථික දියුණුවක් ලබා ගැනීමට හැකි වීම බැලු බැල්මට ම විමතිය දනවන දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන්. සෝවියට් ක්‍රමය තුළ දේපළ අයිතිය ඉතා සීමිතයි. කම්මැළි කම්කරුවන්ට නියමිත දඬුවම වුණේ හිරගෙදරයි. මේ සියල්ලට ඉහළින් නිර්දය ජනක ඒකපාර්ශ්වීය ඒකාධිපතිත්වයකින් යුත් බෙහෙවින් නිස්සාරක දේශපාලනික ආයතන ක්‍රමයක් ද තිබුණා.
එවැනි නිස්සාරක ආයතන ක්‍රමයක් තුළ සාර්ථක කරගත් ආර්ථිකයක් තිරසර ආර්ථිකයක් බවට පත් නොවන බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැහැ.

වරක් සිය ආයෝජන වඩා කාර්යක්ෂම භාවිතය පිණිස යෙදවූ පසු වර්ධනය තවදුරටත් ව්‍යාප්ත කිරීම පිණිස සෝවියට් සමූහාණ්ඩුවට වැඩි ඉඩ කඩක් තිබුණේ නැහැ. ඒ හැර සෝවියට් ආර්ථික ක්‍රමය නිර්ව්‍යාජ ලෙස ම නවෝත්පාදන බිහි කිරීම සහ ඒ මත ආර්ථික වර්ධනය ඇති කිරීම පිණිස සැලසුම් කළ එකක් ද නොවෙයි.

මෙයට හේතු ඉතා පැහැදිලියි. නිස්සාරක ආර්ථික ක්‍රම සාමාන්‍යයෙන් ශ්‍රම ඵලය දිරි ගන්වන ආකාරයේ පාරිතෝෂික පිරිනමන ඒවා නොවෙයි. සෝවියට් පාලක පැලැන්තිය රටේ ආර්ථිකයට සහභාගී වන බලවේග සිය අත්තනෝමතික අභිමතය පරිදි ‘නිවැරදි’ කිරීමේ කටයුත්තේ නිරන්තරයෙන් නියැලී සිටියා. ඒ අනුව ඔවුන් අතින් වැරදි සිද්ධ වීම කිසි සේත් ම වැළැක්විය නොහැකියි.

උදාහරණයක් වශයෙන් 1956 දී සෝවියට් පාලකයෝ නව නිර්මාණ වල නිෂ්පාදන ඵල දායකත්වය අනුව නවෝත්පාදන පාරිතෝෂික ප්‍රදානය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නා. එහෙත් මෙහි දී නිෂ්පාදන ඵල දායකත්වය යන්න ගණනය කළේ ආයතනයක සමස්ත වේතන පිරිවැය අඩු වන ප්‍රමාණය අනුවයි. මෙහි තේරුම වුයේ ශ්‍රම භාවිතය අවම කරන නවෝත්පාදන නිසා සේවකයන්ට ලැබෙන වේතනය අඩු වීමේ අවදානමයි. මන්ද නවෝත්පාදන නිසා වේතන පිරිවැය අඩු විය යුතු බැව් පාලක පැලැන්තිය නියම කළ නිසායි.
නිස්සාරක ක්‍රම වල තවත් ලක්ෂණයක් වන්නේ ඒවායේ නායකයන් අප කලින් විස්තර කළ ‘නිර්මාණශීලී විනාශකාරීත්වය’  (creative destruction) අධෛර්යමත් කිරීමයි. එයට හේතුව ආර්ථික වර්ධනයට කොයි තරම් වැදගත් විය හැකි වුව ද ඕනෑම ආකාරයක නවෝත්පාදනයක් පාලක පැලැන්තියේ සමාජ තත්ත්වයට, ස්ථාවරයන්ට හා වරප්‍රසාද වලට සෘජු තර්ජනයක් විය හැකි වීමයි.

අවසාන වශයෙන් කිව යුතු කරුණ වන්නේ නිස්සාරක දේශපාලන ක්‍රම ඇති රටවල ප්‍රභූ පැලැන්තිය තුළ ඇති අභ්‍යන්තර ගැටුම් නිසා අස්ථාවරත්වය හා අව වර්ධනය ඇති විය හැකි බවයි. එයට හේතුව අන් අය අබිබවා වරක් සර්ව බලය තහවුරු කරගත් විට තමන්ට ලැබෙන ප්‍රතිලාභ හා කොල්ලකා ගත හැකි අති මහත් ධන ප්‍රමාණය ගැන දැනීමක් ඒ හැමට ඇති නිසායි. ඒ හැම කෙනෙකුට ම අවශ්‍ය වන්නේ කේක් ගෙඩියෙන් ලොකු ම කොටසයි.

10. දරිද්‍රතාවේ විෂම චක්‍රය බිඳ දැමීම අපහසු දෙයක් වුණත් කළ නොහැකි දෙයක් නොවේ.
අවශ්‍ය වේ නම් සමාජයක ජීවන මට්ටම තිරසාර ලෙස වර්ධනය කර ගැනීමට හැකි බව අප දුටුවා. එහෙත් එයට අත්‍යවශ්‍ය වන්නේ අන්තර්ග්‍රහනීය හා බහුත්වවාදී ආර්ථික හා දේශපාලනික ආයතන ක්‍රමයක පැවැත්මයි.

කෙසේ වෙතත් සෞභාග්‍ය අනාගතයක් ඇති කිරීම පිණිස කළ යුතු ව ඇත්තේ කුමක් ද? ඓතිහාසික වශයෙන් දැනටත් නිස්සාරක දේශපාලන හා ආර්ථික ආයතන වලින් පීඩනයට ලක් ව ඇති එහෙත් ඒ ප්‍රවණතාවෙන් ගැලවීමට අවශ්‍ය කරන රටවල් විසින් කළ යුතු ව ඇත්තේ කුමක් ද?

එහි දී ප්‍රථමයෙන් ම තේරුම් ගත යුතු කාරණය වන්නේ ඉතිහාසය නියතිවාදී  (deterministic) නොවන බවයි. එයින් ඇත්තටම අදහස් කළේ සෑම විටම අනාගතය අතීතය විසින් හැඩ ගස් වනු ලබන්නේ නැති බවයි.

අප විසින් නිරීක්ෂණය කරන ලද පරිදි නිස්සාරක(extractive) සහ අන්තර්ග්‍රහනීය (inclusive) යන දෙවර්ගයේ ම ආයතන බිහි වන්නේත් පවතින්නේ සමාජයක් තීරණාත්මක සන්ධිස්ථානයකට පිවිසි පසු අදාළ දේශපාලනික හා ආර්ථික ආයතනික ක්‍රමයේ ඇතිවෙන විතැන්වීම නිසායි. එහෙත් එම විතැන්වීම පූර්ව නිශ්චිත මාර්ගයක යන ගමනක් නොවේ. මන්ද විෂම චක්‍ර මෙන් ම යහපත් චක්‍ර ද එවැනි අවස්ථා වල දී කැඩී බිඳී යාමට ලක් විය හැකි නිසයි.

බි්‍රතාන්‍ය සහ අවශේෂ යුරෝපය දෙස නැවත බලමු. ඇත්ත වශයෙන් ම මෑතක් වන තෙක් ම ඒවායේ ආයතන බොහෝමයක් නිස්සාරක ඒවා වුණා. කෙසේ වෙතත් තීරණාත්මක සන්ධිස්ථාන විසින් මේ රටවල් වඩා අන්තර්ග්‍රහනීය ආයතන ඇති කිරීම කරා යොමු කරවනු ලැබුවා. එයින් ඇතැම් ඒවා රුදුරු කළු මරණය විසින් ද තවත් බොහෝ ඒවා ධනවාදයේ අනවරත පැතිරීම විසින් ද ඉදිරියට තල්ලු කරන ලද ඒවායි.

එමෙන්ම සුදු සහ කළු මිනිසුන් අතර අයිතිවාසිකම් පිළිබඳ ව ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවති අසමානකම් සමනය වීමෙන් පසු අමෙරිකා එක්සත් ජනපදයේ ද පැවති අන්තර්ග්‍රහණීය නොවන ආයතන සෙමින් සෙමින් අන්තර්ග්‍රහනීය ආයතන බවට පත් වුණා. තවත් බොහෝ යුතුකම් ඉටු වීමට ඇතත් 1950 ස් හා 1960 ගණන් වල දී සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය විසින් පෙන්වා දෙන ලද පරිදි වෙනස් වීම සිදුවීමට නියමිතයි”.

දැන් ඉතින් කුමක් කළ යුතු ද? ඔව් අප විසින් කළ යුත්තේ අන්තර්ග්‍රහනීය ආයතන බිහි කිරීම දිරි ගැන්වීම තුලින් ලෝකය පුරා ආර්ථික සමෘද්ධිය ව්‍යාප්ත කිරීමයි. කෙසේ වෙතත් ආසියාව සහ අප්‍රිකාව පුරා ප්‍රජාව සතු සම්පත් පැහැර ගන්නා නිස්සාරක ආයතන අභියෝගයට ලක් කිරීමට විදේශාධාර මගින් ඇති කළ හැකි බලපෑම අල්ප බව අප වටහා ගත යුතුයි.
වඩා ධනාත්මක වෙනසක් ඇති කිරීමට නම් විදේශාධාර දැනට වඩා අර්ථවත් අන්දමින් භාවිතා කළ යුතුයි. ඒ අනුව කළ යුත්තේ තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් දැනට පිට මං කර ඇති කොටස් සවි බල ගන්නවා සිය රටවල ඇති නිස්සාරක ආයතන ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ට ඇති හැකියාව වැඩි කර ගැනීමට ආධාර කිරීමයි.

මේ සම්බන්ධයෙන් දිය හැකි හොඳ උදාහරණයක් වන්නේ බ්‍රසීලයයි. දේශපාලනඥයන් හා ආර්ථික විශේෂඥයන්ට වඩා බ්‍රසීලයේ වෙනස් වීම මෙහෙයවන ලද්දේ සවි බල ගැන්වූ (empowered) ඡන්දදායක ජනතාව විසිනුයි. 1985 දී බ්‍රසීලයේ මිලිටරි ආඥාදායකත්වය පළවා හරින ලද්දේ බිම් මට්ටමේ ජනතා ව්‍යාපාරය මගින් මහජනතාව ඒකරාශි කිරීමෙනි. විශේෂයෙන් වෘත්තීය සමිති වලින් මෙහෙය වූ සමාජ ව්‍යාපාර මිලිටරි ඒකාධිපතිත්වයට එරෙහිව පුළුල් සංධානයක් ගොඩ නැගීමට පෙරමුණ ගත්තා.

එසේ මිලිටරි ඒකාධිපතිත්වය බිඳ වැටීම මෑත කාලීන බ්‍රසීලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වුණා. ඒ අනුව වසර 2000 සිට මෙතෙක් (2012) දක්වා ලෝකයේ වැඩි ම වේගයකින් වර්ධනය වන ආර්ථික අතරින් එකක් බවට බ්‍රසීලයේ ආර්ථිකය පත් වුණා.

වර්තමානයේ ජාතීන්ගේ දේශපාලනික හා ආර්ථික අසමත් කමට දිය හැකි හොඳම විසඳුමක් වන්නේ එම රටවල ඇති නිස්සාරක ආයතන (extractive institutions) අන්තර්ග්‍රහණීය ආයතන (inclusive institutions) බවට පෙරළීමයි.

සෞභාග්‍යය සහ දරිද්‍රතාව යන දෙකම ඉරණම විසින් තීන්දු කරන ලද ඒවා හෝ රටක සංස්කෘතිය හෝ භූගෝලීය පිහිටීම හෝ නිසා සිදු වන ඒවා නොවෙයි. ඇතැම් රටවල් අනෙකුත් රටවලට වඩා හොඳින් කටයුතු කිරීමේ හේතුව එම රටවල ආයතන ක්‍රියාත්මක වන ආකාරයයි. ආයතන වල මේ ආකාර ගත වීම ඓතිහාසික ව සිදු වන දෙයකි. ඇතැම් විට ඒ සඳහා සියවස් ගණනක් ගත වේ. ජාතියක ආයතන වල ස්වභාවය, එනම් ඒවා අන්තර්ග්‍රහණීය ආයතන (inclusive institutions) ද නැතහොත් නිස්සාරක ආයතන (extractive institutions)  ද යන කරුණ මත එම ජාතියේ සාර්ථක අසාර්ථක බව තීරණය වෙයි. නිස්සාරක ආයතන නිසා අමාරුවේ වැටී ඇති රටවල් නිසි ලෙස ඉලක්ක කිරීම තුළින් ඒ රටවල අන්තර්ග්‍රහණීය ආයතන ක්‍රමයක් බිහි කර ගැනීමට ආධාර කළ හැකිය. ඒ සඳහා දැඩි උත්සාහයන් අවශ්‍ය වේ. එහෙත් දරිද්‍රතාවේ විෂම චක්‍රය යනු නිසැක ලෙස ම කැඩිය හැකි දෙයකි.

www.thathu.com අඩවියෙන්