ස්වර්ණකාය අසිරිමත් චින්තන වැඩබිම

විමලනාත් වීරරත්න

ලේඛකයා සියල්ල තීරණය නොකර පාඨකයාට භූමිකාවක් ලබාදී තිබීම නූතන ප්‍රබන්ධකරණයෙහි වැදගත් ලක්ෂණයකි. එවිට පාඨකයා ප්‍රබන්ධය සමග පොරබැදීමකට එක්වනු දැකිය හැකිය. එය අසිරිමත් ක්‍රියාවකි. අසිරිමත් වන්නේ ප්‍රබන්ධය සමග පොර බැඳීමේ මහන්සියය. කෙටිකතාවක් යනු ජීවිතයෙන් පෙත්තක් යන අර්ථකථනය ගතහොත් උක්ත පොර බැදීම යනු ජීවිතය අල්ලා ගැනීමට දරන මහන්සිය යැයි කිව හැකිය.

ප්‍රභාත් ජයසිංහ කෙටිකතාකරුවාගේ ස්වර්ණකාය කෙටිකතා සංග්‍රහයේ කතා කිහිපයකදීම පාඨකයාගේ භූමිකාව විශාල එකක් බව දිසේ. ස්වර්ණකාය, කිඳුරු සිංහයා සහ නජීබ්, අශ්ව මුණ සහ මුගටි මුණ යන කතාවලදී ලේඛන වැඩබිම අවසන්ව පාඨක වැඩබිම ඇරඹෙන බව කිව හැකිය.

ස්වර්ණකාය

ස්වර්ණකාය නමින් ප්‍රභාත් රචනා කරන කෙටිකතාව මෑත අවධියේ සමාජ අවධානය ලබාගත් සිදුවීමක් විෂයෙහි ප්‍රබන්ධ වෙයි. උතුරේ යුද සමයේදී විවිධ ආකාරයෙන් හමුදාව අත පත් උතුරේ වැසියන් සතු රත්තරන් යුද්ධයෙන් පසු සාම අවදියේදී යළි උතුරේ වැසියන්ට බෙදාදීම කිළිනොච්චියේදී සිදුකැරිණි. ඒ මහා උත්සවයක් පවත්වමිනි. මෙම ප්‍රස්තුතයේ අභ්‍යන්තරයට එබී බලන ප්‍රභාත් එවැනි ප්‍රස්තුතයක් කෙටිකතාවක් ඔස්සේ ගෙනයා හැකි උපරිම දුරකට ගෙන යන අයුරු පරිශිෂ්ටය.

ස්වර්ණකායේදී උතුරේ (වයඹදිග) ආත්මය සේ ම දකුණේ (ඊසානදිග) ආත්මයද හෙළිදරව් වෙයි. ඊසානදිග භෞතික රන් සිරුරේ සිරවුණු වයඹදිග ආත්මයේ වුවමනාව උතුරේ වැසියන් අතර සිටින රත්තරන්වල සැබෑ හිමිකරුවන් සොයා යළි ඒවා ලබාදීමය. ඊසානදිග ශරීරයද ඊට අනුකූලතාව දක්වන්නේ එම සාධාරණය ඉටු කරනු කැමති ඊසානදිග ආත්මයක්ද ඇති බව පසක් කරමිනි. එහෙත් එම සාධාරණ සිතුවිලිවලට බාධා කරන බලවේග දෙකක් අපට තත්‍ය වශයෙන්ම දැකගත හැකිය. එකක් රත්තරන් යළි ලැබුණත් අවිශ්වාසය නිසා තම රත්තරන් කොටසත් ප්‍රතික්ෂේප කිරීමය. එනම් යුද්ධයෙන් පසු ඇතිවී තිබෙන සාමය යනු උගුලක්ය යනුවෙන් දෙමළ වැසියන් කල්පනා කිරීමය. අනෙක් අතට ඇත්ත අයිතිකරුවන් ප්‍රතික්ෂේප කරන රත්තරන් ඩැහැ ගැනීමට දේශපාලනය හා ජාවාරම් කරන පන්තිය අනවරතව හඹා යෑමය. කිලෝ විස්සක් බරැති පිළිමයක් සඳහා දඹ රත්තරන් පූජා කිරීමට හමුදාවට හැකිද? ඒවා විවිධ ආකාරවලින් උතුරේදී හමුදාව අතපත්වූ රත්තරන් විය යුතුය. එල්ටීටීඊය මිලිටරිමය වශයෙන් පරාජයවීමෙන් පසු ඔවුන්ට මහජනයාගෙන් ලැබුණු මෙන්ම ඔවුන් මහජනයාගෙන් පැහැර ගත් රත්තරන් හමුදාවට ලැබුණි. සමහරු නිවෙස්හි විවිධ ස්ථානවල රත්තරන් වළ දැමූහ. ඒවා හමුදාවට ලැබුණි. තවත් ක්‍රමවලට හමුදාවට රත්තරන් ලැබෙන්නට ඇත. ඒවා යළි අයිතිකරුවන්ට භාරදීම යනු කවර තත්ත්වයක්ද?

“මං හිතන්නෙ කාටවත් නැතිවෙච්ච රත්තරන් බරට රත්තරන් හම්බ වුණේ නෑ. නිකං ලෝකෙ රවට්ටන්න මංචාඩි ගාණක් දාපු ලොකු පෙට්ටියක් මිසක්. ඒක නිකං බොරු මීඩියා ෂෝ එකක්. (ස්වර්ණකාය 59 පිටුව)

ඒ දෙබස කියන්නේ රත්තරන් අහිමි වූ වයඹදිග (උතුරේ) වැසියෙකි.
එබැවින් වයඹ දිග ආත්මය දරා ගත් බුදු පිළිමය ඊසානදිග සාම සෑ ගර්භයෙන් එළියට වැටෙන්නේ බරපතළ ලෙස සිදුවූ රන් කොල්ලයෙන් අසාධාරණයට පත් වයඹ දිග වැසියන්ට අයත් රන් කොටස් බෙදා දී යම් සාධාරණයක් ඉටු කරන අභිලාෂයෙනි. ක්‍රමයෙන් තවදුරටත් සංවර්ධනය වන එම අරමුණ උදෙසා රහසේ පලා යන්නේ බුද්ධ පර්යංකයෙන් වැඩ සිටි බුද්ධ ප්‍රතිමාවකි. එය වයඹදිග (උතුරේ) වැසියන්ගේ විවේචනයට ලක්වන්නකි. එහිදී ප්‍රභාත් මේ කතාවට අපූරු ප්‍රජාතන්ත්‍රවාදී මානයක් දෙයි.

“මාව එහෙම බුදු අච්චුවකට වත් කළාට කමක් නැද්ද කියලා මගෙන් අහන්න කාටවත්ම සිහියක් තිබ්බෙ නෑ. මං එහෙම දේකට කැමතිද කියලා අහන්න කාටවත් වුවමනාවක් තිබ්බෙ නෑ. දැන් යුද්දෙ ඉවරයි කියනවනෙ. එතකොට සාමෙ කියන්නෙ මේකටද? (75 පිටුව)

සාමය යනු යුද්ධයේ ජයග්‍රාහකයාගේ මතය හා ඔවුන්ගේ සැලසුම් පරාජිතයා මත පටවන එකද? උතුරේ ජනයා සටන් වැදුණේ දේශපාලන අයිතිවාසිකම් ගණනාවක් වෙනුවෙනි. වෙනම භූමියක් යන අදහස අතහැරියත් ඔවුන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් තහවුරු කැරෙන ඊට මෙහා කළ හැකි වැඩ රැසකි. ඒවා වෙනුවට ජයග්‍රාහකයෝ තමන් කල්පනා කරන සංවර්ධනය උතුර මත පැටවීමට උත්සාහ කළහ. උතුරේ සාම්ප්‍රදායික ජීවනෝපාය ජන සංයුතීන්හි ඒකත්වය මේ නිසා බිඳී යනු දක්නට ලැබුණි. දකුණේ අතිසාර්ථක සමාජ, දේශපාලන ව්‍යුහයක් ස්ථාපිතව තිබී එහි ඡායාවක් උතුර මත ආරෝපණය කිරීමට සැලසුම් කෙරුණා නම් එය පිළිගත හැකි තත්ත්වයකි. එහෙත් සාම වකවානුවේ සිදුවූයේ දකුණේ මජර ක්‍රමයම උතුර මත සමාන උගුලක් ලෙස ක්‍රියාත්මක වන්නට පටන් ගැනීමය. උතුරින් සන්නද්ධ කල්ලි බිහිවිය. මත්ද්‍රව්‍ය ජාවාරම ඇරඹිණි. අනතුරුව සිදුවූයේ ප්‍රභාකරන්ගේ අඩිකාරී වියරුව වෙනුවට දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක අවනීතිය උතුරේ රජ කරන්නට පටන් ගැනීමය. කොටින්ම උතුරේ රත්තරන් බුදු අච්චුවකට දැම්මා සේ උතුරේ ආත්මය දකුණ රිසි අච්චුවකට දැමීමට ඊසානයෝ ක්‍රියා කළහ.

රත්තරන් වයඹ හැම ගෙදරකින්ම ප්‍රතික්ෂේප වීම උතුරේ සාමාන්‍ය ජනයාගේ ජීවිත අරමුණු සමග බද්ධ වූවක් බව පෙනේ. ඔවුන් කැමති අලුත් ජීවිතයකටය. දෙමළ ඩයස්පෝරාවට උතුරේ ජීවත්විය නොහැකි නිසා විප්‍රවාසී වී එම විප්‍රවාසය ආත්ම කොට ගත්හ. ඔවුන්ගේ දරුවන්ට මේ ප්‍රශ්න එකක්වත් අදාළ නැත. ඔවුන්ට ඇත්තේ බටහිරට හෝ යුරෝපයට අනන්‍ය ප්‍රශ්නය. උතුරේ ඉතිරි වූ වැසියෝ පළමු පියවරේදී ඒ සා දුර නොගියත් ඔවුන් මුහුණපෑ ප්‍රශ්නයේ අතීත කෙළවරවල් බරපතළ ලෙස නඩත්තු නොකළේ යුද්ධයෙන් අනතුරුව දකුණේ ගොඩනැගුණු රුදුරු පාලනයෙන් ගැලවෙන්නටය. ඊසානදිග ලැගුම්හලේ හිමිකරු හමුවීමට එන වයඹ දිග වැසියා රත්තරන් නොලැබීම යන පශ්චත්තාප වෙයි. ඔහු ලැගුම්හල් හිමියාගෙන් තරමක් ලොකු ගනුදෙනුවක් කරගැනීමට යත්න දරන්නේ දියණියගේ විවාහය සිදුකොට දීමටය. ඔවුන්ගෙන් පැහැරගත් හෝ අස්ථානගතවූ රත්තරන් දකුණේ ආණ්ඩුව ලබා දුන්නා නම් මේ ප්‍රශ්නය ඇති නොවෙයි. ඩයස්පෝරාවට මෙන් දකුණේ ඉතිරි වූ ජනයාට ආර්ථික සමෘද්ධිය ළඟාකර ගැනීම පහසු නැත. එබැවින් ඔවුන් මතුපිටින් නොපෙන්නුවත් ඊසානදිග සමඟ යටපත් කොටගත් වෛරයකින් පසුවනු ඇත. වයඹදිග බස වහරන ඊසානදිග ආගමික අනන්‍යතාවෙන් යුතුව පෙනී සිටින සාමි පිළිබඳව ඔවුන්ට සැකයක් මතුවීම සාධාරණය. මෙය ආණ්ඩුවේ උගුලක් විය හැකිය. එබැවින් අයිති දේත් ප්‍රතික්ෂේප කිරීම ප්‍රශ්න අවම කරගැනීමට හේතුවකි.

උතුරේ වැසියන්ට එල්ටීටීඊයේ මැදිහත්වීම ගැනත් ඇත්තේ ප්‍රසාදයක් නොවන බව පෙනෙන්නේ ෆෙඞ්රික් නමැති එල්ටීටීඊ සාමාජිකයාගේ අතිධාවනකාරීත්වය හා ඉන්පසු ඔහු හමුදාවෙන් පුනරුත්ථාපනය වී පැමිණ දරන ‘යකා කියන තරම් කළු නැත’ යන ස්ථාවරය උතුරේ සාමාන්‍ය ජනයා පිළිනොගන්නා නිසාය. එම සාමාන්‍ය ජනයා ආයුධ සමග කරන දේශපාලනයකට විරුද්ධය. එහෙත් ආයුධ බලය නිසා ඔවුහු යටත්ව සිටියහ. වයඹදිග වැසියාගේ අපේක්ෂාව ශික්ෂාකාමී සාමාන්‍ය දිවි පෙවෙතක් බව ප්‍රත්‍යක්ෂය. බුද්ධ ප්‍රතිමාව සිය ආත්මය අතහැර ගියපසු සිදුවන්නේ කුමක්ද? එසැණින් එකිනෙකාට විරුද්ධ දේශපාලන කණ්ඩායම් දෙකක් පිළිමය වෙනුවෙන් සටනට පිවිසීමය. එහෙත් හෘදය සාක්ෂිය නැති පිළිමයක් වෙනුවෙන් කණ්ඩායම් කිහිපයක් අරගල කරති. මේ අරගල කරන්නේ වස්තුව ප්‍රතික්ෂේප කළ පිරිස නොවන බව සැබෑය. වයඹදිග වැසියා පිළිබඳ ප්‍රබල අර්ථ රූපකයක් මේ කාරණය ඔස්සේ ප්‍රභාත් අවධාරණය කරයි. පිළිමය සිය ආත්මය අතහැර යෑමෙන් පසු එක් ප්‍රවෘත්තියක දැක්වෙනුයේ කිලෝ 20ක පිළිමය සිව දෙවියන්ගේ රුදු තාණ්ඩව ලක්ෂණය නිරූපණය කරන බවය. එවිට එය පරිත්‍යාගශීලී අනුකම්පක අනුප්‍රාණයක් සහ ප්‍රතිමාවක් නොවන බව කියැවෙයි. හෘදය සාක්ෂ්‍යය අතහැරීම යනු ඕනෑම තත්ත්වයකට පත්විය හැකි පසුබිමක් නිර්මාණයවීමකි. දේශපාලන අරගලය තවදුරටත් තියුණු වෙද්දී කිලෝ විස්සක පිළිමය ගොදුරකට පනින අඳුන් දිවියකුගේ ඉරියව්ව නිරූපණය කරන්නක් බව ප්‍රවෘත්තියක දැක්වෙයි. කිලෝ විස්සක කවර හෝ ස්වර්ණකාය හෘදය සාක්ෂ්‍යයක් තිබුණු පිළිමයක සිට හෘදය සාක්ෂ්‍යය අහිමි සිවතාණ්ඩව හා අඳුන් දිවි රූපකාය දක්වා රූපාන්තරණය වීමට සමාන්තරව මහජන චින්තනයෙහි විපරිවර්තනයක් සිදුව තිබේ. සිවතාණ්ඩව කායෙහි හා අඳුන් දිවි කායෙහි පෙර පරිත්‍යාගශීලී ගුණය වෙද්ද? නැති බව සංකේතවත් වෙයි. එය ස්වර්ණකාය තුළ හුදෙකලාව වන්නක් නොවේ. මිනිස් ක්‍රියාකාරීත්වය ඊට සමාන්තරය. හෘදය සාක්ෂ්‍යය යන්න ස්වර්ණකායෙහි යතුර වනවිට දේශපාලනිකව නොදැමුණු ජනයා යතුරු සිදුර බවට පත්වෙයි. යතුර අහිමි තත්ත්වයක් තුළ ස්වර්ණකායෙහි හද දොර විවර කරගත නොහැකිය. සමාජයක් හැටියට මේ තත්ත්වයෙහි බිහිසුණු බව තේරුම් ගත යුතුය. “හරියටම අන්න ඒ මොහොතෙ මට දැනෙන්න ගත්තා රත්තරන් අඳුන් දිවි පිළිමය ඇත්ත අඳුන් දිවියෙකුට රූපාන්තරණය වීමේ පළමු රිදුම. අඳුන් දිවියා උගේ ලේ වැකිච්ච දත් විළිස්සනවා කරුවලේ වුණත් මං දැක්කා.” (91 පිටුව)

කෙටිකතා චින්තනය ගොඩනැගීමට සාපේක්ෂව චරිත ගොඩනැගීම කරන ප්‍රභාත් සිය කෙටි කතාවේදී අභිප්‍රේත අදහස ප්‍රයනය සඳහා ලේඛන කායෙහි සකල රෝම කූප අවදි කර ගන්නා ආකාරය වෙසෙස්ය. ඔහු තත් විෂයෙහි කිසිවක් අත්හැර නැත. අනතුරුව පාඨකයා ඉම නොපෙනෙන වැඩබිමක අතහැර කෙටිකතාකරුවා සැඟවෙයි. ඇමරිකානු සීල් භටයකු පරිදි පාඨකයා දුෂ්කර මඟ සොයාගෙන ස්වර්ණකාය ස්පර්ශ කළ යුතුය.

කිඳුරු සිංහයා සහ නජීබ්

ධනේශ්වර සංවර්ධනය විසින් ජනතා අරගල පසුබිම අභාවයට යැවීම කෙබඳු කාරණයක්ද? අරගලයේ සකලවිධ ජනතා ජයග්‍රහණ නව ලිබරල්වාදය විසින් සමාජයට දායාද කර දී තිබේ නම් මහජන අරගලය තවදුරටත් සමාජයට අදාළ වන්නට විදියක් නැත. ධනේශ්වර සංවර්ධනය තුළ පැරණි අරගලකරුවකු මුහුණදිය හැකි හිස්කම හා අනතුරුව මතුවන පරාරෝපණය කිඳුරු සිංහයා සහ නජිබ් වෙතින් ඉතා පරිසමාප්ත අයුරින් ප්‍රතීයමාන කැරෙයි.

“සහෝදරවරුනි
වේගවත් කතාවක්. එතන හිටපු දහපහළොස් දෙනා රොක් වුණා කතාව අහන්න. ලී මිටි තාප්පෙ උඩ ඉඳගෙන සිගරට් එකක් බිව්වේය.
ලී සහෝදරයව මරා ගත්තෙ ආණ්ඩුව. නජීබ් හිතේ තිබුණු වේගෙනේම කිව්වා.
“කවුද ලී කියන්නෙ?” එතැන හිටපු බොහෝ දෙනෙක් එහෙම ඇහුවා. (ස්වර්ණකාය 145 පිටුව)

ධනේශ්වර සංවර්ධනය කිසිදාක නොලැබෙන ලංකාව වැනි රටකට මේ කතාව මේ ආකාරයෙන්ම අදාළ නැතත් පැරණි අරගල වීරයන් විෂයෙහි වර්තමාන සමාජය පසුවන්නේ පූර්ණ නිර්වින්දනයකය. ඒ ධනපති කුමන්ත්‍රණ, අරගලකරුවන් අතරම පාවාදීම්, බෙදීම් හා අරගලය විසින්ම අරගල පසුබිම පරාජය කරන සාධක ඕනෑම රටකට අදාළ නිසාය.
නජිබ් හිරගෙදරින් නිදහස්ව තමන් වාසය කළ කැම්පොං නගරයට යළි එනවිට සියල්ල ඔහුට ආගන්තුකය. දුරස්ය. පුතා පවා සමීප නැත. දේශපාලනය නායකයා වන ලී සහෝදරයා සමග ඔවුන් අරගලය මුවහත් කළා. ප්‍රතාපවත්ව බැබලුණු කොවුස්කි චතුරශ්‍රය පුංචි තැනක් බවට පත්වී ඇත. නජීබ් දැක්කේ චතුරස්‍රය මහා බිල්ඩිං පාමුල වැතිරී සිටින ආකාරයෙනි. එවිට ඔහු දායක වූ අරගලයද ධනේශ්වර සංවර්ධනය පාමුල වැතිරී ඇත්ද? හිරගෙදර සිට නිවසට ටැක්සියේ එන අතර පුතා පියා සමග වචන දෙක තුනකට වඩා නොතෙපළයි. ඔහු අවධානයෙන් පසුවන්නේ ජංගම පරිගණකයත් සමගය. තමාද කොවුස්කි චතුරස්‍රය සේ අවසැඟව පුතා ළඟ පසුවන බවක් නජීබ්ට දැනෙයි. තමා අරගල කළ අධ්‍යාපන අවස්ථා, සෞඛ්‍ය පහසුකම්, ගමනාගමනය, සැමට නිවාස, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ආදී සියල්ල සමාජයට නව ක්‍රමයෙන් ලැබී තිබේ නම් ඒවා වෙනුවෙන් අරගල කළ පුද්ගලයකු තුළ මතුවිය හැකි ප්‍රතිවිරෝධී තත්ත්වය කෙතෙක් විය හැකිද? ඊළඟට ඒ සියලු වරප්‍රසාද සමාජයට ලැබුණේ අරගලයේ ප්‍රතිඵල ලෙස නොවේ නම් මේ තත්ත්වය එම සමාජයේ යළි ජීවත් වන්නට පටන් ගත් නොසැලෙන අරගලකරුවකු දරාගන්නේ කෙසේද? නජීබ් ගෙදර එන අතරමගදී සිට මුහුණපාන්නේ එම මහත් වූ ප්‍රතිවිරෝධී තත්ත්වයටය.

“ඉස්සර එක පාරක් ලී සහෝදරයව අත්අඩංගුවට අරන් නිදහස් කරපු වෙලාවෙ කිලෝමීටරයක් විතර දුරට පෙළපාළියක් වගේ ජනකායක් රතු කොඩි වනමින් පාර දෙපැත්තෙ පෙළ ගැහිලා හිටියා. අද නජීබ් නිදහස් වෙනකොටත් දහපහළොස් දෙනෙක් ඇවිත් හිටියා. ඒත් ඒ හිටියෙ අර විප්ලවීය තේජසින් කොඩි ළෙලවමින් සටන් පාඨ කියමින් නෙමෙයි. හරියට ඉස්පිරිතාලෙ හිටපු ලෙඩෙක් සනීපවෙලා ගෙදර යන කොට සතුට ප්‍රකාශ කරන්න ආව වගේ. (120 පිටුව)

නජිබ්ට මේ වටපිටාවේ වෙනස්කම පළමු නිමේෂයේදීම පුතාගෙන්ම දැනෙන්නට ගනියි. පුතා තමන්ට පුතා වනවාට වඩා වටපිටාවේ කොටසක් බව නජීබ්ට පසක් වෙයි. මේ පරාරෝපිත භූමිකාවට එරෙහි වන්නට හැකිද? නොහැකිද? ඔහුට හෘදය රෝගය හැදුණු අවස්ථාවේ අගමැති අරමුදලෙන් ලබාදෙන මුදල් ඔහු ප්‍රතික්ෂේප කරයි. එබඳු ක්‍රමයක් හදන්නේ අසාධ්‍ය රෝගීන්/පුරවැසියන් කාටත් නම් නජිබ් එය ප්‍රතික්ෂේප කරන එකට අර්ථයක් ලැබෙන්නේ නැත.

“අත්අඩංගුවට පත්වූවන්ගේ සංගමයේ සාමාජිකයො නම් ටෙලිෆෝන් එකෙන් කතා කරලා නජිබ්ගෙ තීරණය එළිපිටම අගය කළා.
නජීබ් සහෝදරයා එහෙම කියපු එක හොඳයි. උන්ට මූණට ගැහුව වගේ දෙයක් ඒක.

හැමෝමත් කිව්වෙ එහෙමයි. ඒක මුලින්ම අහපු වෙලාවෙ නම් නජිබ්ට හිතුණා එහෙම දේවල්වලට තේරුමක් ලැබෙන්නෙ ඒ වගේ වචනවලින් කියලා.” (136 පිටුව)
මහජනයාට අවශ්‍ය අරගල නොවේ. සමෘද්ධිමත් දිවියකි. එය ලැබෙන ආකාරය ඔවුන්ට වැදගත් නැත. වැදගත්වන්නේ අත්පත්වීමය. නජිබ් හිරේ සිටි දහඅට වසර තුළ ඔහුගේ පවුලේ ලොකු වෙනස්කම් රැසක් සිදුව තිබේ. ඔහුගේ බිරිඳ සාරාට, දරු දෙදෙනාට ඉහළටම ඉගැන්වීමට හැකි වූවාය. නගරයේ තට්ටු නිවසක් ලැබුණි. ඇගේ අසනීපයට සෞඛ්‍යය රක්ෂණාවරණයක් ලැබුණි. දරුවන්ට ඉහළම රැකියා ලැබී තිබේ.

“එක අතකට ඒ කාලේ අපි හිටපු විදියට හිටිය නං ඔය එකක්වත් කරගන්න පුළුවන්ද?” ඈ ඇහුවෙ දවල් කෑම මේසෙදි. (128 පිටුව)
හිරෙන් නිදහස්ව පැමිණි නජිබ්ව පිළිගන්නා උත්සවයේදී නගර රාජ්‍යයේ නෙල්සන් මැන්ඩෙලා ලෙසට නජීබ්ව හැඳින්වෙයි.

“ජයවේවා කියලා හැමෝම කිව්වා. එතකොට හැමෝම ඉඳන් හිටපු අසුන්වලින් නැගිට්ටා. ජයවේවා කියලා එක හඬින් කෑගැහුවා. නජිබ්ගෙ ඇඟේ ලේ ධාවනය වේගවත් වුණා. ඇස් තෙත් වුණා. ඔහු කොච්චර හැඟීම්බර වුණාද කියනව නම් හිරේ හිටපු එක තේරුම් සහගත වැඩක් වගේ උම්මත්තක අදහසක් මොහොතකට හිතට ආවා.” (134 පිටුව)

අරගලකරුවා එම ව්‍යාජ අදහසෙන් නොමිදෙන්නට නම් සමාජය පැරණි වියවුල් තත්ත්වයේම පැවතිය යුතුද? ඔහු සංවේදී වන්නේ ප්‍රාථමික සමාජ හඳුනා ගැනීමටද? නජීබ් නොව ඕනෑම සමාජයක් තරණය කළ යුතු අදහස එය නොවේද? අනෙක් අතට වර්තමාන පරපුර කවර ජයග්‍රහණ ලබා තිබුණත් ඔවුන්ට අනන්‍යතා අර්බුදයක් තිබේ. තමන්ට නැති හැඳුනුම්පතක් තම පියාට ඇති බව නජීබ්ගේ පුතා දැනගන්නේ ටැක්සිකාරයා පුදුමසහගත ලෙස නජිබ් ගැන මතකය අවදි කරද්දීය. නූතනයාට ඇත්තේ අනන්‍යතා ප්‍රශ්නයක් පමණද? හැඳුනුම්පතක් තිබුණු ලී සහෝදරයාට, නජීබ්ලාට නූතන දියුණුව අත්කර ගන්නා මාවතකට ප්‍රවිෂ්ට විය නොහැකි වූයේ මන්ද?

නජීබ් නගර රාජ්‍යයේ වෙනස්වීම ගැන තමන් දකින හා හිතන දේවල් කවි කතාවකට ලියන්නට තැත් කරන විදිය හා එය ලියවෙන ආකාරය මේ කතාවේ ප්‍රබල අර්ථ රූපකයක් බවට පත්වෙයි. ඔහු පළමු කෙටිකතාව ලියන්නට වන්නේ පැතලි විවේචන න්‍යායකිනි. එහෙත් පසුව ඔහුට ලියවෙන්නේ අරගලය හා ශීඝ්‍ර ධනේශ්වර දියුණුව අතර ද්වන්ද්වයයි. පළමු කතාව තුළ තම දේශපාලනය තුළ අධිනිශ්චය වූ ලී සහෝදරයා ඔහුට හමුවන්නට විදියක් නැත. එහෙත් දෙවැනි කතාවේදී පිටුවහලේ සිට ජීවත්වීම පිණිස පලතුරු විකුණන ලී සහෝදරයා ඔහුට හමුවෙයි. ඔහු එවිට වෙනදා මෙන් ප්‍රකට දේශකයකු නොවේ. සිගරට් බොමින් මිටි තාප්පය උඩ වාඩිවී සිටින උපේක්ෂාසහගත සැහැල්ලු මිනිසෙකි. නජීබ් එසේ සැහැල්ලු මිනිසකු නොවීමට හැමවිටම අතීත සිහින විජිතයේ කොටසක් ඉතුරු කර ගනී. සියල්ලට පසුත් කිඳුරු සිංහයාගේ හොම්බේ ලේ සලකුණක් ඇති බව ඔහුත් හඟියි.
අනෙක් අතට මෙය ධනවාදී සංවර්ධනයේ නොව සමාජවාදී සංවර්ධනයේම නැගීම විය නොහැකිද? කිඳුරිය වෙනුවට කිඳුරු සිංහයා රූපකයක් ලෙස ආදේශවීම යනු නජිබ්ට නොව ලීට වත් නොතේරෙන නැතහොත් ඔවුන් ඉච්ඡාභංගත්වයට පත් කරන කාල මැෂිමක විය නොහැකිද?

ප්‍රභාත් ජයසිංහගේ ස්වර්ණකාය කෙටිකතා සංග්‍රහය මීට අමතරව තවත් කෙටිකතා පහකින් සමන්විතය. ‘අශ්ව මුණ සහ මුගටි මුණ’ ඒවා අතරින් තවත් වෙසෙස් කතාවක් බව කිව හැකිය. මේ සියලු කතාවලදී ප්‍රභාත් පාඨකයා ඇද දමන සංකීර්ණ වැඩබිමක් තිබේ. ඉන් යම් පමණකට හෝ ගොඩ ඒමටත් සෑහෙන වෙහෙස මහන්සියක් දැරිය යුතු බවත් කිව යුතුය.