හතුරු – සිංහයා වී ඇත

රජිඳු කාශ්‍යප

පරාජයේ දී වහං වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ නිමා වූ එංගලන්ත කණ්ඩායම සමග වූ තරගයේ දී ලත් ජයග්‍රහණයත් සමග සිංහ සෙයියාවෙන් කරළියට පැමිණ ඇත. දැන් ඔහු පවසන්නේ එළැඹෙන සිකුරාදා (28දා) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව හා සමග තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හොඳ ආරම්භයක් ගන්නේ නම් ජයග්‍රහණය අපහසු නොවන බවයි.

එක් අතකට, මේ පරාජයේ දී නොයෙකුත් අවලාද නගමින් සැඟවෙන්නට උත්සාහ කළ හතුරුසිංහ ම දැයි වරෙක සිතේ. අපට එසේ සිතෙන්නේ ක්‍රීඩාවේ මූලික සිද්ධාන්තය හෝ ඔහු නොදන්නේ යැයි සිතෙන නිසාය. තරගයක ජයග්‍රහණය හෝ පරාජය යනු පොදු කාරණයක් යන්න එකී සිද්ධාන්තයයි. ජයග්‍රහණයේ දී උදම්වීමත් පරාජයේ දී හඬා වැටීමත් සාමාන්‍යය. නමුත් එහි කොන් ගැනීමක් තිබිය නොහැකිය. එවැන්නක් සිදුවේ නම් එතැන පැවැති ක්‍රීඩාවේ යහගුණයක් නොමැත.

අප පසුගිය සතියේ දී ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ප්‍රතිවිප්ලවයක් බලාපොරොත්තුවෙන් සටහන් තැබුවෙමු. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනාගතය තීරණය වන්නේ ඔහුගේ පිත්ත කතා කරන අයුරින් යැයි පැවැසූවෙමු. ඔහු අනුව යමින් කුසල් මෙන්ඩිස් ද, ධනංජය ද සිල්වා ද ගොඩ එනු ඇතැයි පැවැසීමු. ඉන් එක් කාරණයක් පමණක් ඉටු නොවෙමින් මැතිව්ස් ද මෙන්ඩිස් ද යළි කතාබහට ලක්වෙන මට්ටමේ ඉනිම් ක්‍රීඩා කළහ. වැරදුණේ ධනංජය ද සිල්වාටය. නමුත් ඔහු පන්දු යැවීමේ දී එහි අඩුව පිරවූයේය.
ඔවුන්ට අපගේ ස්තූතිය හිමිවේ.

අප ඉහත කාරණා ප්‍රකාශ කළේ කණ්ඩායමක් ලෙසින් ගොඩ ඒමට ඇවැසිම දේ මෙරට සිටිමින් දුටු නිසාය. එය අප පමණක් නොවේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සෑම කෙනෙක් ම දුටු දුර්වලතාවක් ය. ඒ බැව් කට ඇර කියන්නට හතුරුසිංහලා මැලි වූයේය. ඒ තමන්ගේ පුහුණුකාරීත්වය ප්‍රශ්නාර්ථයක් වෙනු ඇතැයි ඔවුන් දන්නා නිසාවෙනි.
තරගයක ජයග්‍රහණය සේ ම පරාජය ද ඕනෑම කෙනෙක්ට උරුමය. එය අමුතු දෙයක් නොවේ. අප වඩාත් පන්නරය ලැබිය යුත්තේ පරාජයේදීය. නමුත් චන්දික හතුරුසිංහලා, අසන්තා ද මෙල්ලා අපේ ක්‍රීඩකයන්ට ඉගැන්වූයේ පරාජයේ දී ඉදිඹුවන් කටු ඇතුළට රිංගන්නා සේ කාමර තුළට රිංගීමට සැලැස්වීමය. ඔවුන් ද ඒ තුළටම වී සැඟවීමය.
එදා ඔවුන් එසේ කළේ තණතිලිවල අවුලකට හෝ තම කණ්ඩායම වෙත ලබාදෙන ලද පහසුකම්වල අවුලක් ප්‍රධාන කොට නොවේ යන්න සහතිකය. සැබැවින් ම එය දිගින් දිගට ම ලත් පරාජයන් හේතුවෙන් ලත් ආතතිය නිසා ඇති වූවක් විය හැකිය. ඔවුන්ට මාධ්‍ය ඉදිරියේ පවසන්නට දෙයක් නොමැති වූ නිසා වෙන්නට ඇත. එහෙත් එදා පරාජයෙන් පසුව ඇති දේ ඇති අයුරින් පැවැසුවේ නම් අද කෙතරම් අගනේද?

අදහස් දුන්නාට, පහසුකම් දුන්නාට මොළේ දිය නොහැකි බැව් කතාවක් තිබේ. මේ වනවිට හතුරුසිංහලා ගැන ද පැවැසීමට ඇත්තේ එය ය. හතුරුසිංහලා මේ බිමේ වපුරන්නට යන්නේ පරාජයෙන් පසු සැඟවීමටත්, ජයග්‍රහණයෙන් උදම්වීමටත් යන්න පමණක් නම් එතැනට ලෝකයේ වැඩිම වැටුප ගෙවමින් ඔහුව තබා ගැනීමේ පළක් නැත. එකී න්‍යායන් උගන්වන්නට පුහුණුකරුවෙක් අවශ්‍ය ම නැත. ඊට යම්තම් බෝලයකට තට්ටුවක් දමන්නට පුළුවන් තිලංග සුමතිපාල හෝ ශම්මි සිල්වා වැන්නෙක් සිටීම ප්‍රමාණවත්ය. නොඑසේ නම් කවුරුන් යටතේත් තම රැකියාව රැක ගන්නා ඈෂ්ලි ද සිල්වා වැන්නෝ ද ඊට යහපත් ය. ඔවුන් එකී ක්‍රියාවේ කාටත් වඩා දක්ෂයෝය.

තරග පරාජයේ දී හොටු පෙරාගෙන නාහෙන් අඬාගෙන සැඟවුණ හතුරුසිංහ දැන් මාධ්‍ය ඉදිරියේ මහා වීරයෙක් වී ඇත. යහපත් ක්‍රිකට් විචාරකයෙක් බවට ද පත් වී ඇත. ජයග්‍රාහී තරගයේ පංගුකාරයන් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග පමණක් නොවේ නායක දිමුත් කරුණාරත්න ද අබිබවා, මාධ්‍යට කතා කරන්නා වී ඇත්තේ හතුරුසිංහ ය. අමතක කරන්න එපා, මේ පරාජයේ දී සැඟවුණ හතුරුසිංහ ම ය.

“ඒක තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ අරුමය. ඕනෑම තරගයක වැදගත්ම දේ තමයි ආරම්භය. ප්‍රතිවාදී කණ්ඩායමට පීඩනයක් එල්ල කළාම අපි හොඳින්ම සූදානම් කණ්ඩායම වුවත්, අඩුවෙන්ම සූදානම් කණ්ඩායම වුවත් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. එංගලන්තය තමයි මෙවර තරගාවලියේ හොඳින්ම සූදානම් කණ්ඩායම. ඔවුන් මීට අවුරුදු 4කට කලින් බංග්ලාදේශ කණ්ඩායමට පරාජය වුණ දවසේ ඉඳන් මේ ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වුණා.”

පරාජයෙන් හැකිලුන හතුරුසිංහ ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියට පැමිණි අයුරුය ඒ. හතුරුසිංහ මේ සිංහ හම පොරවා ගන්නේ ඇයි? එතැන ඔහුට වටිනාකමක් තිබෙන නිසාය. පුහුණුකරුවෙක්ට පරාජයේ දී වටිනාකම අඩු වෙන්නත් ජයග්‍රහණයේ දී වටිනාකම වැඩි වෙන්නත් හේතු නැත. නමුත් හතුරුසිංහලාගේ කිරා මැන බැලීම එසේ ය. ඒ කිරා මැනීම ඉදිරියේ පැවැත්වෙන තරගයේ දී තමන්ගේ වාසියට තබා ගැනීමට ද හතුරුසිංහ පසුබට වෙන්නේ නැත.

“මෙම තරගාවලිය පුරාවට අපි සැලකිලිමත් වූ දේවල් ගැනම මෙම තරගයේදීත් අපිට සැලකිලිමත් වෙන්න වෙනවා. මුලින් පන්දු යැවුවත්, පිතිකරණයේ යෙදුණත්, සාර්ථක ආරම්භයක් ලබාගත යුතුයි. අපිට ඉක්මනින් තරගයට අවතීර්ණ වෙලා තරගය පුරාවට තරගයේ රැඳී සිටින්න සිදුවෙනවා. ඒක තමයි අපි හැම තරගයකම කරන්න උත්සාහ කරන්නේ.”

හතුරුසිංහ පවසන්නේ එළැඹෙන දකුණු අප්‍රිකාව සමග තරගයේ දී කරන කියන දේ ගැනය. තරගාවලිය තුළ මේ දක්වා සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත්ව ඇති දකුණු අප්‍රිකානු කණ්ඩායම ගැන කියනු කවරේද? ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමේ දී ම පැවැසුවේ ඔවුන්ට දකුණු අප්‍රිකාව සමග තරගය ජය ගත හැකි බවයි. දකුණු අප්‍රිකාව මේ වන විට ඒ බැව් මනාව ඔප්පු කර ඇත. ඒ ඔවුන් මේ වන විට ජයග්‍රහණය කර ඇත්තේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති තරගය පමණක් වීම නිසාය.

හතුරුසිංහ දැන් මේ පොර ටෝක් දෙන්නේ එංගලන්ත තරග ජයග්‍රහණයෙන් පසුව ලත් උදම්වීම හේතු කොට ගෙනය. බැරිවෙලාවත් එංගලන්ත තරගය ද අප පරාජය වී නම් හතුරුසිංහ කෙනෙක් සොයාගැනීමට නොහැකි වනු ඇත. එසේ වී නම් ඊට හේතු කාරණා පැවැසීමට වන්නේ නායක දිමුත් කරුණාරත්න, ලකුණු අතරට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් සහ පන්දු යැවීමේ දී දක්ෂතා දැක්වූ ලසිත් මාලිංගට විය හැකිව තිබුණි.

අපට සිටින්නේ එවන් පුහුණුකරුවෙකි. ඉදිරි කාලයේ දී කළ යුතු දේ නොකියන, අතීතයේ සිදු වූ යහපත් දේ මගින් පමණක් තම නම ඉදිරියේ සිනා මූණු අලවා ගන්නා අපූරු පුහුණුකරුවෙකි. එවැන්නෙක් තවදුරටත් කණ්ඩායමකට ඇවැසිවේදැයි සිතා බැලීම වත්මන් පාලකයන්ගේ වගකීමක් වන්නේය.