ජනපති නිහඬ වූ අරලිය හෝටලේ පරිසර විනාශය

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

පරිසරය රැකගන්නා බවට උත්සව රැස්වීම්වල නිරන්තරයෙන් ප්‍රකාශ නිකුත් කරන මෙරට පරිසර අමාත්‍යවරයා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට උණවටුණ යද්දෙහිමුල්ලේ ඉදිවන අරලිය බීච් හෝටලයෙන් එම ප්‍රදේශයට සිදුවන පරිසර හානි පිළිබඳව නම් වගේ වගක් නැත. වැල්ලේ දේවාල භූමියේ ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් යැයි සඳහන් කර බෝ පැළ රෝපණයන් කිරීමට දායකත්වය දෙමින් ද අනෙකුත් පුරවැසියන්ට බලපාන නීතිරීති බලනොපාන අයුරින් ද තම සොයුරු ඩඞ්ලි සිරිසේනට හිතු මනාපයේ එවන් ව්‍යාපෘති කරගැනීමට ඉඩ දී තිබෙන්නේ එබැවින් විය යුතුය. පසුගිය ආණ්ඩු කාලයේ සිදුවූ ඥාති සංග්‍රහ ගැන නරිවාදම් දෙසමින් ද වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන බව මතුරමින් ද බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හැසිරීම ද පසුගිය ආණ්ඩු කාලයේ රාජපක්ෂලාගේ ඥාති සංග්‍රහවලට වඩා වෙනස් වූයේ නැත.
පවතින නීතිරීති වලට අනුව රටේ සාමාන්‍ය පුරවැසියන්ට හිමි නොවන ආකාරයේ අනුමැතීන් සහ අනුග්‍රහයන් හිමිවෙමින් ගාල්ල උණවටුන යද්දෙහිමුල්ල ප්‍රදේශයේ ඉදිවන මහා පරිමාණ හෝටල් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු දැන් අවසාන අදියරේය. එහෙත් ඇතැම් ආයතන වලින් ඊට අනුමැතිය ලබාදීමට තිබිය යුතු තත්ත්වයන් සම්පූර්ණ නැතත් එහි ඉදිකිරීම් සිදුවෙමින් තිබෙන අයුරු මීට පෙර ලිපි කීපයකින්ම අප හෙළිදරවු කළෙමු. තවමත් නොවිසඳුණු ගැටලු රාශියක් තිබියදීත් එම ව්‍යාපෘතියේ කටයුතු සිදුවෙමින් පවතින්නේ ගැටලු පැන නැඟුණු විට ඊට කුමක් හෝ පැලැස්තර විසඳුමක් යොදවමිනි. වෙනත් සාමාන්‍ය පුරවැසියකුගේ කටයුත්තකදී නීතිරීති අකුරටම බලා ක්‍රියාත්මක කරන ඇතැම් බලධාරීන් ද දැන් බලවතුන්ගේ දැවැන්ත ව්‍යාපෘති හමුවේ ඉතා නම්‍යශීලීය, නිවටය.

මීට සතියකට පමණ පෙර ද එම හෝටල් ව්‍යාපෘතිය සම්බන්ධව පාරිසරික ගැටලු විසඳා ගැනීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේදී සාකච්ඡාවක් පැවැත්වී තිබූ අතර ඊට ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන, හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති, පළාත් වාරිමාර්ග, පරිසර අධිකාරිය, පොලිසිය, ඉඩම් නිලධාරී, ගමේ විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේ සහ ගම්වැසියන් පිරිසක් සහභාගි වී තිබුණි. එහි දී සාකච්ඡාවට ගැනුණු මූලික කරුණක් වී තිබුණේ අරලිය බීච් හෝටල් ව්‍යාපෘතිය සීමාවේද පිහිටි උණවටුන ඕලන්ද ඇළයි. මේ වන විට එම ඇළ පවතින්නේ ගලා නොබසින එකතැන පල්වන තත්ත්වයකය. එම ඇළට ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයන් විසින් අපද්‍රව්‍ය මුදා හැරීමත් එම ජලය එකතැන පල්වීමත් බොහෝ කාලයකට සිට තිබූ ගැටලුවකි. එබැවින් එම ඇළ පවිත්‍රකර දෙන ලෙස මීට පෙර අවස්ථා ගණනාවකදී ගම්වාසීන් විසින් ඉල්ලා තිබුණත් මෙතෙක් එය පවිත්‍ර කිරීමට කිසිවෙකු කටයුතු කර තිබුණේ නැත. ඉදිවන අරලිය හෝටල් ව්‍යාපෘතියට ද අපවිත්‍ර ඇළ මාර්ගය විශාල බාධාවකි. එහෙත් ඇළ මාර්ගය එම හෝටලයේ ඉදිරි කටයුතු සඳහාද අත්‍යවශ්‍ය අංගයකි. ඒ හෝටලයේ අපජලය පිරිපහදු කර හෝ මුදා හැරීමට ගලා බසින ජල මූලාශ්‍රයක අවශ්‍යතාව ඉටු කරන බැවිනි. දැන් එය ගලා බසින්නේ නැති, එකතැන පල්වන ජලාශයකි. මීට පෙර ගම්වැසියන්ගේ යහපත වෙනුවෙන් පවිත්‍ර නොවූ ඇළ මාර්ගය දැන් කුමන චේතනාවක් මත හෝ පවිත්‍ර කිරීමට බලධරයන් උත්සුක වීම නම් එක් අතකට යහපත්ය.
“දැන් ඕලන්ද ඇළේ වතුර පල්වෙනවා, වතුර බැස යන්නේ නැහැ. ඇළට ගම්මු, ගමේ ව්‍යාපාරිකයන් අපද්‍රව්‍ය දානවා. ඒ නිසාත් වතුර බැස නොයාම නිසාත් වතුර එකතැන පල් වෙනවා, ගඳ ගහනවා. ඒකට විසඳුමක් දීම හොඳ දෙයක්. ඒ වගේම ඇළට අපද්‍රව්‍ය දැමීම වැළැක්විය යුතුයි. අපද්‍රව්‍ය දමන අයට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගත යුතුයි. ඇළ ප්‍රතිසංස්කරණය කරලා හොඳින් නඩත්තු විය යුතුයි. ඒත් දැන් ඇලේ තිබෙන ඒ පල්වූ අපිරිසිදු ජලය රූමස්සල කන්දෙන් එහා පැත්තේ මුහුදට දාන්න සාකච්ඡාවේදී ඩඞ්ලි සිරිසේන මහත්මයා ගම්වාසීන්ගේ එකඟත්වය ඉල්ලුවා. ඒකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා.” එම සාකච්ඡාවට සහභාගි වූ ගම්වාසියෙක් පැවසීය. එම ගම්වැසියන් පවසන්නේ ඇළ පිරිසිදු කර ප්‍රතිසංස්කරණය කර පවත්වාගෙන යාම යහපත් දෙයක් වුවත් එහි පවතින අප ජලය රූමස්සල කන්දෙන් ඔබ්බෙහි වන සාගර ජලයට දැමීමට කිසිසේත් එකඟ නොවන බවය. රූමස්සල අභය භූමියත්, බොනවිස්ටා කොරල්පරයත්, සංචාරකයන් ගැවසෙන උණවටුන ස්වාභාවික ජල තටාකයටත් ඉන් සිදුවිය හැකි විනාශයන් පිළිබඳ නොසිතා තම ව්‍යාපාරික ස්ථානයේ යහපත වෙනුවෙන් ප්‍රදේශයේ ස්වාභාවික පාරිසරික සම්පත්වලට හානි පැමිණවීමට ඉඩ හැරිය නොහැකි බව ඔවුන්ගේ අදහස විය.

එම රැස්වීම්වලට ද සහභාගි වී තිබූ ඕලන්ද ඇළ පිරිපහදු කිරීම සම්බන්ධව කටයුතු කරන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේ ඕලන්ද ඇළට අපිරිසිදු ද්‍රව්‍ය බැහැර කිරීම සිදුවන බැවින් එය පිරිසිදු කිරීම සදහා වැඩපිළිවෙළක් සංවිධානය වෙමින් පවතින බවත් ඒ සම්බන්ධයෙන් රැස්වීම් පැවැත්වුණු බවය.

“දැන් ඇළ තිබෙන්නේ පල්වුණු තත්ත්වයක. ඒක පිරිසිදු කිරීමේ සූදානමක් තිබෙනවා. එය සිදු කරන ආකාරය තවම සැලසුම් කරලා නැහැ. ඇළ පිරිසිදු කර ඇලේ ගලායාම සිදුවන ආකාරයට සකස් කරන්න ඕනෑ. එය පිරිසිදු කළාට පස්සේ නිසි මට්ටමට පිරිපහදු කළ අපජලය එම ජල මූලාශ්‍රයන්ට එක් කළ හැකියි. එහෙම කළාට පස්සේ ඒවා ඕනෑම ජලාශයකට දාන්න පුළුවන්.” යනුවෙනි. රූමස්සල අභයභූමිය, බොනවිස්ටා කොරල්පරය ආදී සංවේදී පාරිසරික කලාපයක් සහ ස්වභාවික පිහිණුම් තටාකය වැනි පාරිසරික සම්පත්වලට එයින් යම් හානියක් සිදුනොවිය හැකි දැයි අප කළ විමසීමේ දී ඔහු ප්‍රකාශ කළේ, ඊට වඩා සංවේදී දිය ඇළිවලටත් පිරිපහදු ජලය දානවා. දෙනියාය, සිංහරාජ පැතිවල අපජලය දාන්නේ ඒ වගේ තැන්වලටයි. පිරිපහදු තත්ත්වයට ආවාම දාන්න පුළුවන්. දැනුත් අපජලය යන්නේ එතැනටම තමයි. ස්වාභාවිකව යන එක නවත්වන්න බෑ. ඉදිවෙන අරලිය හෝටලයේ අපජලය පිරිපහදු කරලා දාන්නේ ඇළට. ඒකේ ගැටලුවක් නෑ, ඇළේ දැන් තත්ත්වය තමයි ගැටලුව.” යනුවෙනි.

මෙම හෝටල් ව්‍යාපෘතිය ඉදිකිරීමට පෙර පාරිසරික තත්ත්ව බලපෑම් ඇගයීම අවස්ථාවේදී ගම්වාසීන් ඉදිරිපත්කර තිබූ විරෝධතා ලේඛනයේ ද ඇතුළත් ප්‍රධාන කරුණක් වූයේද අපද්‍රව්‍ය ඇළට හෝ උණවටුන ස්වාභාවික ජල තටාකයට හෝ වෙරළට කිසිසේත්ම දැමීමට ඉඩ නොදිය යුතු බවය. පිරිපහදු කළද එකතැන පල්වන උණවටුන ස්වභාවික මුහුදු තටාකයට නොදැමිය යුතු බව එම ඉල්ලීම්වල වූවත් ඒ අවස්ථාවේ එම විරෝධතාවන් සම්බන්ධයෙන් කිසිදු කැඳවීමක් හෝ විමසීමක් සිදුනොකිරීමට අදාළ ආයතන කටයුතු කර තිබුණි.

මතුව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අපි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දකුණු පළාත් කාර්යාලයේ නියෝජ්‍ය කළමනාකාරිණී රේණුකා රණවීරගෙන් විමසූ අතර ඇයද මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවන්ට සහභාගි වූ බවත් ඕලන්ද ඇළෙහි අපජලය සමුද්‍රයට දැමීමේ යෝජනාව ඉදිරිපත්වූ අවස්ථාවේ තමන් ඊට විරෝධය දැක්වූ බව ද ඇය පැවසුවාය. “සමුද්‍රීය පරිසර පනතට අනුව කිසිසේත්ම ඒ විධියට අපජලය මුහුදට බැහැර කරන්න බැහැ. එය පවතින නීතියට සම්පූර්ණයෙන්ම පටහැනියි. ඕලන්ද ඇළේ අපජලය මුහුදට දැමීමේ යෝජනාව රැස්වීමේදී ඉදිරිපත්වූ අවස්ථාවේම එසේ කිරීම නීති විරෝධී බව මම දැනුම් දුන්නා. එම ප්‍රදේශය ආශ්‍රිතව තිබෙන බොනවිස්ටා කොරල්පරය ඉතාම වටිනා එකක්. පිරිපහදු කර වුණත් එවැනි වටිනා පාරිසරික ප්‍රදේශයකට ඒවා දාන්න බැහැ. ඒ වගේම මේක සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක්. දූෂිත ජලය පිරිසිදු කරවුවත් එවැනි ස්ථානයකට දමනවා නම් ඊට සංචාරකයන්ගේද අප්‍රසාදය ඇති ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා මෙවැනි කරුණු සම්බන්ධයෙන් හදිසි තීරණවලට එළඹෙන්න පුළුවන්කමක් නෑ. පරිසාර හිතකාමී වන ආකාරයේ තීරණ ගත යුතුව තිබෙනවා.” ඇය සඳහන් කළාය.

උණවටුන රූමස්සල අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබන්නේ 2003.01.03 අංක 1269/25 දරන ගැසට් පත්‍රය මගිනි. ඒ අනුව හෙක්ටයාර් 170.7ක ප්‍රදේශයක් එම අභයභූමි රක්ෂිත ප්‍රදේශයට අයත්ය. එබැවින් රූමස්සල අභයභූමිය තුළට අපද්‍රව්‍ය බැහැර කිරීම නීති විරෝධී කටයුත්තකි. කිසියම් ව්‍යාපාරයකට සම්බන්ධ සංවර්ධන කටයුත්තක් ඒ තුළ වෙනවා නම් ඊට පාරිසරික තත්ත්ව බලපෑම් ඇගැයීමක් කළ යුතුය. ඊට අමතරව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද බලපත්‍ර ලබා ගත යුතුයි. ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් නිකුත් කරනු ලැබ ඇති බලපත්‍රවල කොන්දේසිවල පැහැදිලිව සඳහන් වී තිබෙන්නේ ද එම අභයභූමියට කිසිදු අපද්‍රව්‍යයක් නොදැමිය යුතු බවය. පිරිපහදු කර හෝ නොකර එම ප්‍රදේශය ආශ්‍රිතව අපද්‍රව්‍ය බැහැර කිරීම කුමන ආකාරයෙන් සිදුවුවවද එය එම පරිසරයට බලපෑම් ඇති කරන්නේය. අභයභූමියක පවතින්නේ සාමාන්‍ය තත්ත්වය නොව, සංවේදී පරිසර තත්ත්වයකි. එවැනි තත්ත්වයක් තුළ ඕලන්ද ඇළෙහි අපජලය රූමස්සල කන්දට ඔබ්බෙන් වන සමුද්‍රයට මුදාහැරීමට යෝජනා වී තිබේ. එය නීති විරෝධී මෙන්ම විශාල පරිසර හානියක් ද සිදුවිය හැකි ආකාරයේ කටයුත්තකි. එමෙන්ම ඉදිකිරීම්වලට අනුමැතිය ලබා දී දැන් ඉදිකිරීම් කටයුතු අවසාන අදියරේ තිබියදී අපජලය බැහැර කිරීමට ස්ථාන සපයා දීම වෙනුවෙන් කටයුතු සිදුවෙමින් පවතින බව පෙනේ. ඒ අනුව වැරදි පාරිසරික තත්ත්ව බලපෑම් ඇගයීමේ කරුණු පදනම් කරගෙන මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට අවසර ලබා දී තිබෙන බව ද පැහැදිලිය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද අප කළ විමසීමේ දී ඔවුන් ප්‍රකාශ කළේ උණවටුන රූමස්සල අභයභූමිය ආශ්‍රිතව පමණක් නොව කිසිසේත්ම සාගරයට අපද්‍රව්‍ය බැහැර කිරීම සිදුකළ නොහැකි බවය.

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ මෙවැන්නකි. “පල්වූ වතුර මුහුදට දැමීම සම්පූර්ණයෙන්ම තහනම්. අනදරය පිළිබඳ ආඥා පනතට අනුවත්, දණ්ඩ නීති සංග්‍රහයට අනුවත් එසේ කරන්න බැහැ. වෙරළ සංරක්ෂණ ආඥා පනතට අනුවත් එය තහනම් ක්‍රියාවලියක් වෙනවා. මොකද මේවා හරහා පරිසරයට වඩාම බරපතළ හානි සිදුවිය හැකියි. ඒ නිසා දැනට ලෝකයේ පිරිපහදු ක්‍රියාවලියකින් පසු තමයි සාමාන්‍යයෙන් වතුර එහෙම සාගරයට එකතු කරනවා නම් එකතු කරන්නේ. එසේ නොමැතිව කටයුතු කිරීම පරිසර නීතිය අනුවත් සදාචාරාත්මකවත් බරපතළ ප්‍රශ්න මතු කරනවා.”
පිරිපහදු කර හෝ එවැනි ජලය මුහුදට මුදා හැරීම සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළේය. “පිරිපහදු කිරීම පිළිබඳවත් තත්ත්වයන් ගණනාවක් තිබෙනවා. ඒවා කුමන මට්ටමින් පිරිපහදු කරගන්නවාද කියන දේ ගැටලු සහගතයි. පිරිසිදු ලෙස ඇසට පෙනුනත් පිරිසිදු නොවිය හැකියි. පිරිපහදු කිරීම කියන්නේ ඒ අපජලය සාමාන්‍ය ජලය බවට පත් කිරීමයි. නමුත් ඒ තත්ත්වයට පිරිපහදු කරගැනීමට අවශ්‍ය යන්ත්‍ර මෙරට එතරම් භාවිත වෙන්නේ නැහැ. අඩුම තරමේ ජල සම්පාදන මණ්ඩලයවත් පානීය ජලය වෙනුවෙන් මේවා කරන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තිබියදී මෙවැනි ව්‍යාපාර සදහා එවැනි දේ කරාවි කියා බලාපොරොත්තු වෙන්න බැහැ. මේවා රූමස්සල අභයභූමිය, එහි කොරල්පර විනාශ වීමට හේතු විය හැකියි.

ව්‍යාපෘතියට අවශ්‍ය ජල, විදුලි ආදී තවත් අවශ්‍යතා ගණනාවක් ද සැපයීමට තවමත් කිසිසේත් පහසුකම් නොමැති පසුබිමක් මත මෙම ව්‍යාපෘතිය කරගෙන යාමට අවසර ලැබී තිබුණි. ප්‍රදේශවාසීන්ගේ විදුලි සැපයුම විසන්ධි කර හෝ මෙම ව්‍යාපෘතියේ කටයුතු වලට පහසුකම් සැපයෙමින් තිබුණි. මේවාට අමතරව මෙවැනි ව්‍යාපෘතියක් සඳහා ප්‍රමාණවත් පිවිසුම් මාර්ගයක් ද නොමැතිව තිබියදී ඊට අනුමැතිය හිමිවූ අතර මීළඟට පැමිණීමට නියමිත ඉල්ලීම වන්නේ එම පිවිසුම් මාර්ගය පළල් කිරීමය. එක් ව්‍යාපාරිකයෙකුගේ අවශ්‍යතාවකට පහසුකම් සැපයීමට ඒ අනුව ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ අයිතිවාසිකම් අහිමිකිරීමේ ඉල්ලීම ද ඉදිරිපත්වනු ඇත.

මෙම හෝටල් ව්‍යාපෘතිය ඉදිකිරීමට පාරිසරික තත්ත්ව ඇගයීම සිදුකරන අවස්ථාවේ දී සඳහන් කර තිබුණේ පිරිපහදු කරන එම අපජලයෙන් 40%ක් නැවත ප්‍රයෝජනයට ගැනීමටත්, 60%ක ප්‍රමාණයක් ජලධාරාවකට දැමීමටත් අදාළ හෝටල් ව්‍යාපෘතියේ සැලසුම බවය. එහෙත් ඒ සඳහා ඒ වන විටද නිශ්චිත විසඳුමකට එළඹ තිබුණේ නැත. ඒවා හෝටල් ව්‍යාපෘතියට මුහුණලා තිබෙන උණවටුන මුහුදු තීරයට හෝ හෝටල් ව්‍යාපෘතියේ මායිමේ තිබෙන ඕලන්ද ඇළට ගලා යාමට සැලැස්වුවහොත් විශාල පාරිසරික ගැටලු මතුවීමට ඉඩ තිබෙන බවට ප්‍රදේශවාසීහු ඒ කාලයේද දිගින් දිගටම අනතුරු ඇඟවීය. ඕලන්ද ඇළ වෙනත් දිශාවකට හරවා හෝ මෙම ව්‍යාපෘතියට අවශ්‍ය අයුරින් කටයුතු සිදු කිරීමට ඒ වන විට බලධාරීන් සාකච්ඡා පවත්වමින් තිබුණි. මෙවන් තත්ත්වයන් මත මෙම හෝටල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් ඇගයීම (Environmental Impact Assessment) සිදුකිරීමේ නියෝජිත ආයතනය ලෙස කටයුතු කළ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දුන්නේ කෙසේද යන්න ද ගැටලු සහගතය.

මේවා ගැටලු වන්නේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට මිස බලවතුන්ට නොවේ. පරිසර අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාට ද මේවා සම්බන්ධ ගැටලු නැත. දිවුරුම් දෙන අවස්ථාවේ වසර පහකින් රට හදා යන බව පැවසූ ජනාධිපතිවරයා දැන් තවත් ජන වරමක් පතා බලතණ්හා වියරුවක සිටින බව පෙනෙන්නේය. ඔහුට දැන් රටේ තිබෙන වියවුල් තත්ත්වයන්ට විසඳුම් සොයනවා වෙනුවට තිබෙන්නේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැනි කටයුතු වෙනුවෙන් වෙහෙසීමය. ඒ අතර තම ඥාති හිතවතුන්ට හිතු මනාපයේ රටේ පොදු නීති නොතකා කටයුතු කිරීමට ද ඉඩ සලසා ද තිබෙන්නේය.