මැණික් වලින් අමුතු ගැරිල්ලක්

නිමල් අබේසිංහ

එක්දහස් නවසිය අසූව අනූව දශකවල රත්නපුර නගරය තායිලන්ත මැණික් ව්‍යාපාරිකයන් විශාල වශයෙන් ගැවසෙන ප්‍රදේශයක් වූයේය. රත්නපුර නගරයේ සෑම වීදීයක්ම පාහෙත් නගරයෙන් පිට ප්‍රධාන මාර්ගයේත් කඩ කාමර කුලියට ගත් මොවුහු ගෙවුඩ නමින් හඳුන්වන මැණික් වර්ගය මිලදී ගත්හ. ගෙවුඩ යනු ඉන් පෙර කිසිදු මිලක් නොතිබුණු වටිනාකමක් නොතිබුණු මැණික් වර්ගයක් සේ සැලකුණු පාෂාණ වර්ගයකි. තායිලන්ත ව්‍යාපාරිකයන්ගේ ආගමනයත් සමඟ ගෙවුඩ වලට ඉහළ මිලක් ලැබුණා සේම මැණික් ව්‍යාපාරිකයින්ගේ සේම මැණික් ගරන්නන්ගේද කරල පැසීමේ යුගයක් උදාවිය. එහෙත් අදවන විට රත්නපුර නගරයෙන් තායි මැණික් ව්‍යාපාරිකයකු බෙහෙතකටවත් සොයා ගැනීමට නොහැකිය. මේ හේතුවෙන් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමිව ගොස් තිබේ.

තත්ත්වය මෙසේ වුවද මේ වන විට දේශීය මැණික් ව්‍යාපාරිකයන් රළු මැණික් (කපා හෝ ඔප මට්ටම් නොකරන ලද මැණික්) අපනයනය කිරීම ජයටම සිදුකරතත් එසේ අපනයනය කරන ලද මැණික් විකුණා ලැබෙන මුදල් නිසිලෙස මේ රටට ලැබෙනවාද යන්න සොයා බැලීමේ ක්‍රමවේදයක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ තිබෙන බවක් පෙනෙන්නට නැත.

විදේශ මැණික් ව්‍යාපාරිකයන් මෙරටට මැණික් මිලදී ගන්නට පැමිණෙනවා නම් ඔවුන් විසින් අවම වශයෙන් ඇමරිකන් ඩොලර් 5000ක මුදල් මෙරටෙහි තැනපත් කළ යුතු වේ. මෙය අනිවාර්ය කොන්දේසියකි. ඒ අනුව විදේශිය මැණික් ව්‍යාපාරිකයකු මෙරටින් මැණික් මිලදී ගන්නේ නම් පැහැදිලිවම විදේශ විනිමය මෙරටට ලැබෙන බව තහවුරුය. එහෙත් ලාංකික ව්‍යාපාරිකයින් එසේ පිටරටට ගෙනයනු ලබන මැණික් වලට ලැබෙන මුදල් ලැබෙනවාද යන්න සැකයක් මතුවේ. ඊට හේතු සාධක තිබේ.

2017 වර්ෂයේදී දේශීය මැණික් ව්‍යාපාරිකයන් රළු මැණික් කිලෝ ග්‍රෑම් 767.257ක් තායිලන්තයට අපනයනය කර තිබෙන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ තොරතුරු වලන් හෙළිවේ. ඒවායේ වටිනාකම ඇමරිකන් ඩොලර් 174411.75කි. ඒ අධිකාරියේ ගණනය කිරීම් අනුවය. මේ සියල්ල අපනයනය කර ඇත්තේ දේශීය ව්‍යාපාරිකයින්ය. මෙම මැණික් අපනයනයේදී සිදුවිය යුතු ප්‍රධාන කොන්දේසියක් වනුයේ එම මැණික් රැගෙන යනු ලබන රට සහ ස්ථානය පැහැදිලිව සඳහන් විය යුතුය යන්නය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් මැණික් අපනයනය කිරීම වෙනුවෙන් නිකුත් කර ඇති බලපත්‍රයේ ඒ බව සඳහන් කර තිබුණ ද එම ලිපිනයන් පිළිබඳව විශ්වාසනීයත්වයක් ඇතිකරගත නොහැක. උදාහරණයක් ලෙස ගතහොත් බේරුවල චීන වරාය, ෂේක් අල් පාසි මාවතේ අංක 44/1හි ට්‍රස්ට් ජෙම් හෝල්ඩින් පුද්ගලික ආයතනයට 2017.11.13 නිකුත් කර ඇති බලපත්‍රයට අනුව එම මැණික් රැගෙන යන්නේ, තායිලන්තයේ බැංකොක්හි, සෙයිලොම් ස්කවයර් ජෙම් හවුස් වෙතටය. මෙය පැහැදිලි ලිපිනයක් නොවේ. එලෙසම රත්නපුර, මහවෙල වත්ත පළමු පටුමග 22/5ඊ හි ඉමෝටල් ජෙම්ස් ආයතනය මැණික් රැගෙන යන්නේ තායිලන්තයේ බැංකොක් වෙතය. මෙසේ පැහැදිලි ලිපිනයක් සඳහන් නොකිරීම සැක උපදවන කරුණක් වේ. මෙයින් පෙනෙන්නේ මැණික් රැගෙන යාමේදී රැගෙන යන ස්ථානය සඳහන් කළයුතු බැවින් කුමක් හෝ ලිපිනයක් සඳහන් කර ඇති බව නොවේද?

ශ්‍රී ලංකාවෙන් රළු මැණික් අපනයනය තහනම් බව පනතෙහි සඳහන් නොවුණද සම්මතයක් ලෙස මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ රළු මැණික් අපනයනය තහනම් බවය. මුල් අවධියේදී ගෙවුඩ සහ ගෙවුඩ කට්ටා වැනි බාල වර්ගයේ මැණික් (මෙරටදී පිලිස්සීමට නොහැකි බැවින්) අපනයනයට අවසර දී තිබුණි. ගෙවුඩ පිළිස්සීමේ තාක්ෂණය දියුණු තායිලන්ත ව්‍යාපාරිකයින් ශ්‍රී ලංකාවට බුරුතු පිටින් පැමිණ ඒවා රැගෙන ගියේ ගෙවුඩ ගෙන යාමට අවසරය ලබාදී තිබුණු බැවින්ය.

තත්ත්වය එසේ වුවත් 2017 වසර වන විට ගෙවුඩවලින් බැහැර රළු මැණික් වර්ගද අපනයනය කිරීමට අධිකාරිය ව්‍යාපාරිකයන්ට ඉඩ දී තිබෙන බව පැහැදිලිය. මේ තත්ත්වය වඩාත් දරුණු වන්නේ 2018 වසරේදීය. 2018 අගෝස්තු 21 දින අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව අනුව කොරන්ඩම් පවුලේ රළු මැණික් ගල්ද අපනයනය කිරීම සඳහා අවසර දී තිබේ. කොරන්ඩම් පවුලට නිල්, රතු, පුෂ්පරාග, පර්පල් සැපයර් ඔරෙන්ජ් සැපයර්, ආරනුල් ආදී මැණික් වර්ග ගණනාවක්ම අයත්ය. එය එක්තරා ආකාරයක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද විය හැකිය. 1993 අංක 50 දරණ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනතේ 16 වගන්තියේ ‘අධිකාරියේ අනුමැතිය ඇතිව මිස කිසිම තැනැත්තෙකු විසින් ශ්‍රී ලංකාවෙන් මැණික් අපනයනය නොකළ යුතුය’ යනුවෙන් සඳහන්ව ඇත. මේ වගන්තිය ඇතුළත් කර ඇත්තේ ප්‍රදර්ශන සඳහා විදේශීය රටවලට මැණික් ගෙනයන නිසාවෙනි. එහෙත් මෙම වගන්තියට මුවා වී 2018.08.21 දින අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් මගින් රළු මැණික් අපනයනය සඳහා ස්වදේශීය ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා දී ඇත. එසේම 2018.08.28 දාතමින් යුත් මණ්ඩලීය තීරණ පත්‍රිකාවේ සඳහන් වන්නේ රේනියර් නානායක්කාර නමැත්තෙකු අධ්‍යක්ෂ මණ්ඩලයට විස්තර කර හඳුන්වා දී ඇත්තේ ගෙවුඩ සහ ගෙවුඩ කට්ටා මෙන්ම කොරන්ඩම් පවුලට අයත් මැණික් වර්ග කැපීම, ඔපදැමීම සහ පිළිස්සීම සඳහා ශ්‍රී ලංකාව තුළ නවීන තාක්ෂණ උපකරණ නැති බවය. එනිසා මේවා අපනයනය කිරීමට දේශීය ව්‍යාපාරිකයින්ට අවස්ථාව ලබාදීම කළ යුතු බවය.

මෙම අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා 2018 වසරේ අනුමැතිය ලබාගෙන තිබුණද 2017 වසරේ සිට එම අවසරය ලබා දී ඇති බව පෙනේ. එහිදී අපනයනය කරන මැණික්වල වටිනාකමින් 25%ක ගාස්තුවක් අධිකාරියට අයකර ගැනීමේ ක්‍රමවේදයක්ද තිබී ඇත. මෙමගින් අධිකාරියට ආදායමක් ලැබෙන බවට තර්ක කළ හැකි වුවත් එසේ ගෙනයන මැණික් අලෙවියෙන් ලැබෙන මුදල් පෙරළා ශ්‍රී ලංකාවට නිශ්චිතව ලැබුනේද යන්න කිසිවෙකුත් නොදනී. අනෙක් අතින් මේවාට රේගු ගාස්තු අය කිරීමක්ද සිදු නොවේ. අයකරනුයේ රේගු නිලධාරීන්ගේ ගාස්තුව පමණකි. එයද ඉතාම සුළු මුදලකි. මෙයද සැක සහිතය.

මැණික් අලෙවිය මුළුමනින්ම පාහේ විදේශ වෙළෙඳපොළ මත රඳා පවතින්නකි. මේ තත්ත්වය තුළ කපා ඔපදැමූ මැණික් අපනයනය කිරීම වඩාත් ලාභදායක මෙන්ම වාසිදායක බව අමුතුවෙන් කිවයුතු නොවේ. එසේ වූ විට උපයාගත හැකි විනිමය ප්‍රමාණයද ඉහළය.

තවත් වැදගත් කාරණයක් වන්නේ ශ්‍රී ලංකාව තුළ මැණික් ඔපදැමීම, කැපීම හා පිළිස්සීම සඳහා නවීන තාක්ෂණය නැතිනම් කළ යුත්තේ ඒවා සපයාගැනීම නොවේද? එවිට නව රැකියා උත්පාදනයක්ද සිදුවන්නේ විදේශ විනිමය ඉහළ යනවාට අමතරවය. එහෙත් අප තවමත් ප්‍රාථමික නිපැයුම් නැතිනම් අමුද්‍රව්‍යම පිටරට යැවීමේ දිළිඳු මානසිකත්වයක සිටිමින් කටයුතු කිරීම කණගාටුදායකය.

2017 වසරේදී තායිලන්ත ව්‍යාපාරිකයන් මෙරටට පැමිණ රැගෙන ගොස් ඇති රළු මැණික් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 14.036කි. එහි වටිනාකම ඇමරිකන් ඩොලර් 44318.36කි. මේ මුදල් නියත වශයෙන්ම මෙරටට ලබුණු බව ස්ථීරය. ඒ ඔවුන් මැණික් මිලදී ගැනීමට පැමිණෙද්දී නියත වශයෙන්ම ඇමරිකන් ඩොලර් 5000ක මුදලක් මෙරටට රැගෙන ආ යුතු බවට කොන්දේසියක් ඇති බැවින්ය. එහෙත් දේශීය ව්‍යාපාරිකයන් මැණික් රැගෙන යද්දී එවැන්නක් සිදු නොවේ. එසේ රැගෙන යන මැණික් අලවියෙන් ලැබෙන මුදල් මෙරටට ලැබෙන බවට තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක්ද මේ රටේ නැත. එනිසා ඒ මුදල් කුමන ආකාරයකින් ගෙන එනවාද යන්න රහසකි. එයින් අහිමි වන විදේශ විනිමය ප්‍රමාණය විශාල වූවක් බව 2017 දී දේශීය ව්‍යාපාරිකයින් මැණික් අපනයනය කර ඇති ප්‍රමාණය අනුව සිතා ගත හැක.

රළු මැණික් අපනයනය නිසා මෙරටට අහිමි වන්නේ විදේශ විනිමය පමණක් නොවේ. මැණික් කැපීම, ඔප දැමීම ආදී කර්මාන්තයන්හි නියැලෙන්නන්ගේ රැකියා අවස්ථාද අහිමි වෙයි. උදාහරණයක් ලෙස 2017දී දේශීය ව්‍යාපාරිකයන් අපනයනය කළ රළු මැණික් කිලෝග්‍රෑම් 767.257 සලකා බැලුවහොත් එය ටොන් තුන්කාලකට මදක් වැඩිය. මේ ප්‍රමාණය කැපීමට හෝ ඔප දැමීමට කාර්මිකයන් කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වේද?ඉන් අඩක් මෙරටදී කැපීම හෝ ඔප දැමීමට කොපමණ ප්‍රමාණයකට රැකියා අවස්ථා උදා වේද? මේවා ගැන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින් නොසලකා හැරීම අධිකාරියේ අරමුණු එහෙම පිටින්ම විනාශ කිරීමකි.

මෙරටේ දේවල් වන විධියට නම් රළු මැණික් අපනයනයේදී තවත් වංචා දූෂණ සිදුවීමට ඇති ඉඩකඩ බොහෝය. ඒ මැණික් වල වටිනාකම තීන්දු කිරීම සම්බන්ධයෙනි. එය නිසිලෙස සිදුවේද යන සැකය දැඩිලෙස පවතී. අපනයනය කරන මැණික්වල වටිනාකම තීන්දු කිරීම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ තක්සේරු නිලධාරීන් දෙදෙනකුද ශ්‍රී ලංකා රේගුවේ එක් අයෙකුගේද සහභාගිත්වයෙන් සිදුවේ. කෘෂි උපකරණ ලෙස නම්කර ඉතා ඉහළ වටිනාකම් ඇති බෙන්ස් වැනි රථ වාහන රේගුව හරහා මෙරටට ගෙනෙන රටක අඩු වටිනාකම් පෙන්වා මැණික් ගෙනයා නොහැකිද?