ශ්‍රී ලංකාව : ICCPR පනතේ ඇති අඩුපාඩු

2007 අංක 56 දරන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය මගින් ප්‍රකාශයට පත් කර ඇති ICCPR පනත පිළිබඳ මහජනතා සාකච්ඡාවක් ඇති වෙමින් පවතින්නේ නුදුරු කාලයක් තුළ එම පනත ක්‍රියාත්මක කිරීමක් සිදු වන නිසාය.

එම පනත ක්‍රියාත්මක වීමේදී මතුවී ඇති ගැටලු රාශියක් ඇත. එම ගැටලු පිළිබඳව දළ විස්තරයක් පහත සඳහන් වේ. එම පනතේ අරමුණ වී ඇත්තේ යම් මානව හිමිකම් කඩකිරීම් අපරාධයක් සේ ප්‍රකාශයට පත් කිරීමය. මෙසේ කිරීමේදී සියලුම මානව හිමිකම් එක සමාන බවත්, එම මානව හිමිකම් කඩවීමකට යටත් වන සියලු දෙනාටම එක සේ සැලකිය යුතු බවත් යන මූලික නෛතික අයිතිවාසිකම මග හැර ඇත. ඇත්තෙන්ම මෙම පනතින් කරනු ලබන්නේ එහි අංක 3 දරන ඡේදය එනම් මොන යම් කෙනෙක් හෝ යුද්ධය පිළිබඳව ප්‍රචාරයේ යෙදීම හෝ ජාතික, වාර්ගික හෝ ආගමික වෛරයක් පැතිරවීම මගින් උසිගැන්වීමක් හෝ අන් ආකාරයක සැලකීමක්, එකිනෙකාට විරුද්ධත්වයක් දැක්වීමක් හෝ ප්‍රචන්ඩ ක්‍රියාවක් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් සේ ප්‍රකාශ කිරීමය. එසේ කරන හෝ එසේ කීරීමට ප්‍රයත්නයක් දරන හෝ එවැනි ක්‍රියාවකට අනුබල දීමක් කරන හෝ එවැනි ක්‍රියාවක් කරන බවට තර්ජනය කරන ඕනෑම කෙනකු එම වරදට වැරදිකරු වුවහොත් ඔහුට විරුද්ධව අවුරුදු 10ට නොවැඩි සිරදඬුවමක් නියම කළ හැකි බවත් එවැනි අයෙකුට ඇප දීම කළ හැක්කේ මහාධිකරණයකදී පමණක් බවත් ප්‍රකාශයට පත් කොට ඇත.

මෙහිදී විශේෂයෙන්ම නිර්මාණාත්මක ප්‍රකාශනයන් පිළිබඳව විශේෂ අයිතිවාසිකම් ඇත. කලාවත් ඒ මගින් සමාජය තුළ එහි පවතින ගැඹුරු ප්‍රශ්නයන් පිළිබඳව අවබෝධයක් ඇති කරන්නේ නිර්මාණාත්මක සාහිත්‍යය තුළිනි. එම සාහිත්‍ය තුළ පවතින සාකච්ඡාව බොහෝ දුරට මනඃකල්පිත සාකච්ඡාවක් මිස හුදු වාර්තාකරණයක් නොවේ.

මනඃකල්පනිත ප්‍රකාශනයක් තුළින් අපරාධයක් සිදු කළ හැකිද ?

උදාහරණයක් වශයෙන් ලෝකයේ සාහිත්‍ය කෘතීන් අතර විවිධාකර ආකාරයෙන් ඒ ඒ කාලවල පැවතී ඇති ආගමික මතයන් පිළිබඳව ගැඹුරු සාකච්ඡා මතු කර ඇත. යුරෝපය පුරා පැතිර තිබූ ක්‍රිස්තියානි ආගම පිළිබඳව දැඩි විවේචනාත්මක ආකාරයෙන් ලියවී ඇති කවි, නවකතා, කෙටිකතා හා වෙනත් විවිධාකාර නිර්මාණාත්මක ප්‍රකාශනයන් දැක ගත හැකිය. මේ සියල්ල අපරාධ ලෙස සලකා එම කලාකෘතීන් කළ පුද්ගලයන් සිරගත කිරීම් වලට ලක්වූවා නම් අද ලෝක සාහිත්‍යය යැයි කිමට තරම් දෙයක් ඉතිරි නොවීමට ඉඩ තිබුණි.
අපරාධයක ස්වභාවය නම් එය යම් අයෙකු විසින් තවත් අයෙකුට හෝ වෙනත් කණ්ඩායමකට විරුද්ධව කරන ලද ක්‍රියාවක් විය හැකිය. මනඃකල්පිත ප්‍රකාශනයක් එවැනි ක්‍රියාවක් නොවේ. එම වචනයේම අදහස වන්නේ එය ප්‍රායෝගිකව සිදුවන ක්‍රියාවක් හෝ කිසියම් පුද්ගලයකුට හෝ විරුද්ධව කරන ප්‍රකාශයක් නොව යම් ගැඹුරු ප්‍රශ්නයක් ගැන නිර්මාණාත්මකව කරන උපකල්පනයක් බවය.

අතීතයේදී බයිබලයේ අති ඕනෑම දෙයක් වැරදි යැයි යමෙකු කීවොත් එය දැඩි දඬුවමකට යටත් විය යුතු අපරාධයක් සේ සලකන ලදි. ගැලීලියෝ පෘථිවිය වටා සූර්යයා භ්‍රමණය වන බවට එතෙක් තිබූ මතය ප්‍රතික්ෂේප කොට ඇත්තෙන්ම පෘථිවිය සූර්යයා වටේ භ්‍රමණය වනවා යන්න ප්‍රකාශයට පත් කළ විට එය එදා පැවති ක්‍රිස්තියානි සමාජය දෙදරා යන ප්‍රකාශනයක් විය. ඔවුන් එතෙක් කල් තබා ගෙන තිබූ විශ්වාසයන්ට ඉතා ප්‍රබල පහරක් බවට ගැලීලියෝගේ මතවාදය පත්විය. ඔහුට එම මතයන් ප්‍රතික්ෂේප නොකළහොත් වදහිංසාවට පත්කොට ජීවිත කාලය පුරා දඬුවම් කරනු ලබන බවට තර්ජනය කරනු ලැබීය. ඊට යටත් වූ ගැලීලියෝ බොහෝ කාලයක් කිසිම විද්‍යාත්මක ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ නොකර සිටියේය. ඔහුගේ මතයන් ප්‍රකාශයට පත් වූයේ ඔහු ලියා තිබූ ලේඛන වෙනත් රටකට ගෙනගොස් එහි එය ඔහුගේ මිතුරන් විසින් ප්‍රකාශයට පත් කිරීම නිසාය. මෙසේ සිදු නොවුනා නම් අද වනතුරුත් මධ්‍යතන යුගයේ අඳුර තුළ අපට ජීවත් වීමට සිදුවනු ඇත. ගැලීලියෝගෙන් පසුකාලයේ සිදුවුණු විශාල විද්‍යාත්මක අවබෝධයට මුල පුරන ලද්දේ එදා ආගමික වශයෙන් පිළිගැනීමට නොහැකි යැයි ප්‍රකාශයට පත්ව තිබූ මතයකි.

එංගලන්තයේ මුල් යුගයේ ප්‍රධානම ලේඛකයකු හා කවියකු වශයෙන් පවසන චෝසර් යන සදාකාලික සුප්‍රසිද්ධ ලේඛකයා ක්‍රිස්තියානි පූජකවරුන්ට ඉතා තදබල ලෙස පහරදෙන ලේඛන ලිව්වේය. ඒවා ඇත්තෙන්ම ඉතා දරුණු ප්‍රකාශයන් විය. එහි එක කවියක එන කතාව සාරාංශ කොට මෙසේ දැක්විය හැකිය.

එක් මිනිසෙකුට අපාය යනු කුමක්දැයි දැන ගැනීමට ආශාවක් ඇති වී එය බැලීමට අපායට ගියේය. ඔහු එදා සිටි ක්‍රිස්තියානි පූජකවරුන්ගේ අඩුපාඩුකම් පිළිබඳව දැන සිටි අයෙකි. ඔහු අපායේ යන යන තැන බැලුවේ අපායට මෙම පුජකවරුන් එනවාද යන්න ගැනය. එහෙත් ඔහුට එවැනි කිසිවෙක් හඳුනාගත නොහැකි විය. එවිට ඔහු එක් යක්ෂයකුට කතා කොට ඔබගේ මෙම අපායට ක්‍රිස්තියානි පූජකවරුන් එන්නේ නැද්දැයි ප්‍රශ්න කළේය. එවිට යක්ෂයාගේ උත්තරය වූයේ ඔවුන් මහා විශාල වශයෙන් පැමිණෙන බවය. මම නම් එක් අයෙක්වත් දැක්කේ නැත යන්න අමුත්තාගේ උත්තරය විය. එවිට යක්ෂයා කීවේ ඔබ ඔය පාර දිගේම තවත් ඉදිරියට යන්න. එසේ යන ඔබ දකීවි මහා යක්ෂයෙකු බිම දිගා වී සිටිනවා. එවිට ඔබට පෙනෙනු ඇති ඔහුගේ අධෝමුඛයෙන් යම් කුඩා සතුන් එළියට යාමත් ඉන්පසු තවත් කණ්ඩායමක් එයින් ඇතුලු වී යකෂයාගේ ශරීරය තුළට යාමත්. මේ අනුව මග බලාගෙන ගිය අමුත්තා එම සිද්ධිය දැක්කේය. යක්ෂයා ඔහුට කීවේ මේ සියලු දෙනාම ක්‍රිස්තියානි පූජකයෝය. ඔවුන්ට හිමි තැන එතැන යැයි යනුවෙනි. මෙවැනි ඉතා දරුණු හා ප්‍රබල විවේචනයක් එදා කළ චෝසර් අද සලකනු ලබන්නේ ඉංග්‍රීසි භාෂා සාහිත්‍යයේ පීතෘවරයෙකු වශයෙනි.

එහෙත් තවත් සංස්කෘතින්හිදී ආගමකට විරුද්ධ යැයි උඩින් පෙනෙන කිසියම් හෝ ප්‍රකාශයක් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් සේ සලකයි. විශේෂයෙන්ම ශරියා නීතිය බලපවත්වන මුස්ලිම් රටවල කුරානයට විරුද්ධව කරනු ලබන ඕනෑම ප්‍රකාශනයක් සලකනු ලබන්නේ ආගම් විරෝධී ද්‍රෝහී ක්‍රියාවක් ලෙසය. එවැනි වාතාවරණයක ප්‍රතිඵලය වන්නේ එයට කෙදිනකවත් නිදහස් සමාජයක් බවට පරිවර්තනය වීමට ඇති බැරිකමය.

එවැනි වාතාවරණයක් ඇති වීම නැති කළ හැක්කේ කෙසේද යන්න ඒ කාලයේ පැවති ප්‍රධාන දාර්ශනික ගැටලුවක් විය. එය විසඳා ගැනීමට මාර්ගය පාදන ලද්දේ ජෝන් ලොක් නමැති විශ්ව කීර්තියක් අද දක්වාත් දරන ලේඛකයකුගේ ප්‍රකාශනයක් මගිනි. ඒ ප්‍රකාශනයේ මාතෘකාව වූයේ ඉවසීම, “Tolerance”, යන්නය. මෙයින් ප්‍රකාශ වන්නේ විවිධාකාර මතවාදයන් දැරීමට විවිධාකාර පුද්ගලයන්ට හැකි බවත් ඒවායින් වන සමාජ ව්‍යවසනයක් වේ නම් ඒවා නැති කර හැක්කේ අන්‍යෝන්‍ය අවබෝධය වගා කිරීමට ගන්නා උත්සාහය මත බවය. පසුකාලීන යුරෝපය පුරා මෙයින් ඇති වූ ඉවසීමේ හැකියාව මේ රටවල විද්‍යාත්මක දියුණුවටත් එම විද්‍යාත්මක දියුණුව තුළින් ඇති වූ යාන්ත්‍රික දියුණුවටත් එම යාන්ත්‍රික දියුණුව නිසා ඇති වූ ආර්ථික වර්ධනයටත් එම ආර්ථික වර්ධනයේ ඵල බෙදා ගැනීම සඳහා ඇති වූ සියලුම මතවාද වලටත් පදනම සේ පවතී.

මේ අනුව පෙනී යන්නේ ICCPR පනතේ 3 වන වගන්තිය යටතේ පරීක්ෂණයක් කරන පොලිස් පරීක්ෂකවරුන් වෙත පැවරෙන්නේ ඉතාම බැරෑරුම් කාර්යයක් බවය. ඔවුන් වෛරය පැතිරවීම යන්නෙන් කුමන අදහසක් කියවේද නැද්ද යන්න තෝරා බේරා ගත යුතුය. යමෙක් තවත් කණ්ඩායමකට විරුද්ධව ආයුධ පාව්චියෙන් හෝ වෙනත් ක්‍රම වලින් මරණය, හිරිහැර කිරීම හෝ තුවාල කිරීම ආදිය කිරීමට උත්සාහ කරන්නේ නම් එය පැහැදිළිවම අපරාධ ඝනයට වර්ග කළ හැකිය.

අනෙක් අතට සමාජය තුළ නිර්මාණාත්මක කෘතීන් බිහි වීමත් එම කෘතීන් මගින් බුද්ධිය උද්දපනය වීමත් එම බුද්ධි උද්දීපනය මගින් එකිනෙකා කෙරෙහි ඇති අන්‍යොන්‍ය අවබෝධයත් ඒ තුළින් සමාජයේ විවිධාකාර වෙනස්කම් ඇති කරගැනීමත් යන්න වෙනම කරුණකි. පොලිස් පරීක්ෂකවරුන් මේ පිළිබඳව ස්වාධීන තීරණ ගත යුතු අතර හුදෙක් පෙත්සමක් ඉදිරිපත් කළ පලියට කෙනකු අත්අඩංගුවට ගන්නේ නම් එම පොලිස් පරීක්ෂකයන් විසින් කරනු ලබන්නේ නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම යන බරපතල අපරාධයන්ය. එම අපරාධයන්ගේ හරයද ජාත්‍යන්තර ප්‍රකාශයන් තුළ ඉතා ප්‍රබලව ප්‍රකාශයට පත් වී ඇත.

එසේ ප්‍රකාශයට පත්වීමට පදනම වූයේ හිතුවක්කාර ලෙස අත්අඩංගුවට ගැනීම් විශාල වශයෙන් කෙරුණු එක්තරා කාලයක් තුළ සමාජයේ ඇති වූ විරෝධතා හා මත ප්‍රකාශනයන්ය. මෙම මත ප්‍රකාශනයන් තුළින් නීතියක් ගොඩනැගේ. එම නීතියේ අරමුණ වූයේ අත්අඩංගුවට ගැනීම නීතිමය ආකාරයකින් පමණක් සිදු කළ හැකි බව හා එම නීතිය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පරීක්ෂකයන් විසින් අනුගමනය කළ යුතු බවය.

ඉංග්‍රීසි නීතිය පිළිබඳව මුල් යුගයේම පොතක් ලියූ ඒ.වී. ඩයිස් නමැති ප්‍රධාන නෛතික අංශයේ බුද්ධිමතෙකු 19 වන ශතවර්ෂයේදී මෙසේ ලියා ඇත. එනම්, අපේ රටේ නීතියට අනුව අත්අඩංගුවට ගැනීම වරදකි. එය වරදක් නොවන්නේ අවස්ථා දෙකකදී පමණි. එනම්, යම් අපරාධයක් පිළිබඳ පරීක්ෂණයක් කරන්නේ නම් හෝ එම පරීක්ෂණයෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන්නේය, යන අවස්ථා වලදී පමණි. යම් නිලධාරියකු මෙම අවස්ථා දෙකෙන් පිටත අත්අඩංගුවට ගතහොත් ඔහු අපරාධයක් සිදු කරයි. ඒ අනුව ඔහු අපරාධය කිරීම පිළිබඳව ඔහුට දඬුවම් කළ යුතු මෙන්ම එම අත්අඩංගුවට පාත්‍ර වූ වින්දිතයාට වන්දි ද ගෙවීම රජයේ යුතුකමක් වේ.

ලංකාවේ ICCPR පනතේ ඇති ප්‍රබලම දුර්වලකම නම් එය අපරාධයක් බවට ප්‍රකාශයට පත් කරන්නේ එහි 3 වන වගන්තිය යටතේ ඇති කරුණු පමණක් මතය. අනෙක් වගන්ති යටතේ වැටෙන කරුණු මූලික අයිතිවාසිකම් වලට සම්බන්ධ කොට ඒවායින් සහන ලබා ගත යුතු යැයි කියයි. එහෙත් මූලික අයිතිවාසිකම් වලට සම්බන්ධ කොට කෙනකුට විරුද්ධව අපරාධ නඩුවක් පවත්වන්නට බැරිය. ඒ අනුව ඔහු අපරාධයක් කල අයකු සේ දඬුවම් කිරීමටත් බැරිය. වැරදි ආකාරයට මිනිසුන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිළධාරීන් හෝ වෙනත් නිලධාරියෙක් අපරාධයක් කළා සේ සලකා ඔවුන්ට විරුද්ධව අපරාධ නඩු විධිවිධාන පනත යටතේ පරීක්ෂණයක් කොට ඔවුන් අධිකරණ වලට පමුණුවා දඬුවම් කිරීම ICCPR ජාත්‍යන්තර ප්‍රකාශනය ක්‍රියාත්මක කරනවා නම් එහි අත්‍යාවශ්‍යම කොන්දේසියක් වේ.

ICCPR පනතේ එක් කොටසක් පමණක් ප්‍රකාශයට පත් කොට එහි අඩංගු තවත් විශාල කරුණු ගණනාවක්ඒ  ආකාරයේ අපරාධ ලෙස නොසැලකීම මෙම පනතට ෂක්‍ක්‍ඡඍ පනත යනුවෙන් කීමේ අයිතිය ප්‍රශ්නයට ලක් කරයි. මෙය ICCPR පනතක් නොවේ. ICCPRයන නම එයට දමා ඇත්තේ ජාත්‍යන්තර ව්‍යාකූලත්වයක් ඇති කිරීම සඳහායි. යම් අයෙකු ICCPR පනත යටතේ අත්අඩංගුවට ගත්තා යැයි කී විට එයින් ඇති වන්නේ මෙය ICCPR ජාත්‍යන්තර පනතේ ඇති අයිතීන් ආරක්ෂා කර දීමට ගන්නා උත්සාහයක් ලෙසය. එහෙත් එවැනි උත්සාහයක් මෙම පනත තුළ පෙනෙන්නට නැත.

පනතේ අරමුණ සේ පෙනෙන්නට ඇත්තේ තෝරා ගත් යම් පුද්ගලයන්ට දඬුවම් කිරීමේ අරමුණෙන් කරන ලද්දක් මිස සියලුම දෙනාට ICCPR ජාත්‍යන්තර ප්‍රකාශනයෙන් දී ඇති සියලුම අයිතිවාසිකම් රැක දීම සඳහා ගන්නා ලද ප්‍රකාශයක් නොවන බවයි.

තවත් අඩුපාඩුවක් නම් 3වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් අයකුට ඇප දීම මහාධිකරණයක් මගින් පමණක් සිදු කළ යුතු යැයි කීම මගින් බොහෝ කාලයක් ඔහු රිමාන්ඞ් භාරයේ තබා ගැනීමට මග පෑදේ. මහේස්ත්‍රාත් උසාවියේ සිට මහාධිකරණයක් කරා ගොස් එහිදී ඇප ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගත වන බව කවුරුත් දනී. මේ පනත නිසා එවැනි කාලයක් රිමාන්ඞ් භාරයේ සිටීමට චෝදනා ලැබුවකුට සිදු වේ. ඉන් පසුව එවැනි වරදක් නොකලා යැයි තීන්දු කළා වුවද ඒ වනවිට ඔහුව සමාජයෙන් ඉවත් කර තැබීමේ කර්තව්‍ය කර ගෙන ඇති අතර ඒ මගින් විවිධාකාර දේශපාලන වාසි ලබා ගත හැකිය.

ඉහත කරන ලද දළ හැදින්වීම මගින් ගත හැකි නිගමනය නම් ලංකාවේ ෂක්‍ක්‍ඡඍ පනත විශාල වශයෙන් සංශෝධනය කළ යුතු බවත් එසේ කරන තුරු ඒ පනත යටතේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විධිවිධාන ප්‍රකාශයට පත් කළ යුතු බවත්ය. මෙම විධිවිධාන මගින් අපරාධ නඩු පටිපාටිය යටතේ ඇති සියලුම අයිතිවාසිකම් රැක ගත යුතුවාක් මිස ඒවා අත්හැරදැමීමක් සිදු නොවිය යුතුය. විශේෂයෙන්ම පැමිණිල්ලක් ලද පමණින් මිනිසුන් අත්අඩංගුවට ගැනීමේ නීතිවිරෝධී ක්‍රියාමාර්ග නොකරන ලෙස සියලුම ඉහළ පොලිස් නිළධාරීන්ට හා පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් නිකුත් කළ යුතුව ඇත.

The Asian Human Rights Commission (AHRC)