ගමනක අවසානය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

කුමන පරාජයන් හා පසුබෑම් අත් වුවද සිරිසේන ජනාධිපතිවරයා, ක්‍රීඩාව අතහැර දමා ඇතැයි සිතිය නොහැක. මීට පෙර, ඔහුවත් නොසිතූ දිශාවන් වෙත පවා ඉත්තන් අදිමින්, දාම් යා හැකි මඟක් සෙවීම මේ දිනවල ඔහුගේ කාර්යය වී ඇතැයි අනුමාන කළ හැක. මෑතකදී ඔහු කළ වැදගත් ප්‍රකාශයක් වන්නේ මීළඟ ජනාධිපතිවරණය තුන්කොන් සටනක් නොවන බවය. එය, රටේ ප්‍රධාන දේශපාලන බලවේග දෙක අතර තියුණු සටනක් වනු ඇතැයි ඔහු කළ ඉඟිය ලෙස සැලකිය හැකිය.

ප්‍රතිලාභ

ඒ අනුව එජාපය ප්‍රමුඛ එජාපෙ අපේක්ෂකයා සහ පොජපෙ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා අතර එම සටන දියත් වනු ඇත්තේය. එහිදී ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇතැයි සිතිය හැක්කේ එජාපය ප්‍රමුඛ බලවේගයට එරෙහි කඳවුරට සහයෝගය දැක්වීමය. එහෙත් ඒ උදෙසා ඔහුට ලැබෙන්නේ කුමක්ද?
ඔහු පළමුව අපේක්ෂා තබාගෙන සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට බව අනුමාන කළ හැකිය. එය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පවා දැනුවත් කර තිබුණේ යැයි සිතිය හැකි වුවත්, වෙනස් වූ දේශපාලන තත්ත්වයන් හමුවේ එය යථාර්ථයක් වීමේ ඉඩකඩක් ඇතැයි විශ්වාස කළ නොහැක. කුමන හෝ බාධකයක් මත ගෝඨාභය රාජපක්ෂ, පොජපෙ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නොවුනහොත් එවැනි තත්ත්වයකදී පවා සිරිසේන මහතාට එම අවස්ථාව ලැබේ යැයි සිතිය නොහැක. බැසිල් රාජපක්ෂ වැන්නන්, ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ ගැටළුව හෝ ඔහුට එරෙහිව ඇති නඩු හබ පිළිබඳ නොසලකා හැර කටයුතු කරන ආකාරයක් දැකගත හැකිය. එම හැසිරීම් තුළ පවා පෙන්නුම් කරමින් තිබෙන්නේ සිරසේන මහතාට ඇති ඉඩකඩ අහුරා තබන ආකාරය මිස විවර කර තබන ආකාරය නොවේ.
එම නිසා මීළඟ ජනාධිපතිවරණයෙන් පොජපෙ ප්‍රමුඛ කඳවුර ජයග්‍රහණය කරනු ඇතැයි සිරිසේන ජනාධිපතිවරයාගේ මැනීම වන්නේ නම්, එම කඳවුරට සහයෝගය දක්වන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් ඔහුට ලැබෙන වාසිය විය හැක්කේ තමාගේ, තම පවුලේ සහ තම දේශපාලන සගයන්ගේ සුරක්ෂිතභාවයයි. ඔහුට සහ ඔහුගේ පවුලට එවැනි සුරක්ෂිතභාවයක් ලැබුණත් ඔහුගේ දේශපාලන සගයන් වන ශ්‍රීලනිප නායකයින්ට එවැනි දේශපාලන ආරක්ෂාවක් පිළිබඳ විශ්වාස කළ හැකි යැයි අනුමාන කළ නොහැක. එමනිසා සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා නොවී, පොජපෙට සහය දක්වන ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් ශ්‍රීලනිපයේ අනාගතය කළු වළාවකින් වැසීයාම වැළැක්විය නොහැක.

අත- පොහොට්ටු කතා

එවැනි තත්ත්වයකට විසඳුම් සහිත මාවත විය හැක්කේ ශ්‍රීලනිප සහ පොජපෙ අතර තවමත් නොනැසී පවත්නා සාකච්ඡා මාලාවය. පොජපෙ, ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ මෙන්ම ශ්‍රීලනිපය එක්ව ගොඩනැගීමට යන සන්ධානයේ, ශ්‍රීලනිපයට හිමි තැන නිල වශයෙන් සලකුණු විය හැක්කේද එම සාකච්ඡා තුළය.
එම සාකච්ඡා වලදී සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම තබා ජනාධිපතිවරණයෙන් පසු එළෙඹෙන මහ මැතිවරණයේදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 23 දෙනාට යළි පාර්ලිමේන්තුවට පිවිසීමේ මාවත පවා, පැහැදිලිව විවර කර තබාගැනීම ශ්‍රීලනිපය මුහුණ දෙන බරපතළ අභියෝගයක් බව සිතිය හැක. එම අභියෝගය ජයගත නොහැකි වුවහොත් එජාපයට හෝ පොජපෙට ද එක් පයක් තබාගෙන සිටින්නන්ට හැර, අනෙක් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අත්විය හැකි ඉරණම මෙන්ම අවසානයේ ශ්‍රීලනිපයට අත්විය හැකි ඉරණමද සිතාගත හැකිය. එවැනි තත්ත්වයකදී සිරිසේන ජනාධිපතිවරයාට අවසානයේ අත්විය හැක්කේද දේශපාලන අන්ත පරාජිතයකුගේ ඉරණම මිස ගෞරවනීය ජයග්‍රාහකයකුගේ ඉරණමක් යැයි සැලකිය නොහැකිය.

එජාපයේ ඉඩ

අනෙක් පැත්තෙන් එජාපය ප්‍රමුඛ එජාපෙ තුළද සිරිසේන ජනාධිපතිවරයාට කිසිදු ඉඩකඩක් විවරව ඇතැයි සිතිය නොහැක. එජාපය තුළ රනිල්- සජිත් ලෙස මතුව ඇති බෙදීම තවදුරටත් පැහැදිලි වෙමින් පැවතියද එයින් ලැබිය හැකි බවට සිරිසේන මහතා අනුමාන කර තිබුණේ යැයි සිතිය හැකි වාසිය පවා, සිදුව ඇති දේශපාලන වෙනස්කම් ඔස්සේ අහෝසි වී යාමේ සම්භාවිතාව වැඩිය. ජනාධිපතිවරයා, සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට වැඩි හිතවත්කමක් පළ කරමින් සිටීම දැකිය හැකි වන්නා සේම එජාපයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක්ද සිරිසේන මහතා සමග අඛණ්ඩව ගණුදෙනු කරමින් සිටීම සැඟවිය හැක්කක් නොවේ. එවැන්නක් අඛණ්ඩව සිදුවිය හැක්කේද සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටිනතාක් පමණක් වන්නා සේම, බලපෑම් සහගත දේශපාලන භූමිකාවක් ඔහුට අහිමි වීමේ දේශපාලන තත්ත්වය තුළ, එජාපය, එජාපයේ ප්‍රශ්න එජාපය තුළම විසඳා ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි සිතිය හැක. එවැනි වාතාවරණයකදී එජාපය මීළඟ ආණ්ඩුව පිහිටුවහොත් සජිත් ඇමතිවරයාට එහි හිමිවන ස්ථානය මත සිරිසේන ජනාධිපතිවරයාගේ සුරක්ෂිතභාවය තහවුරු වනු ඇතැයි සිතිය හැක. එසේ නොමැති නම් 2015 දී එජාප ආණ්ඩුවකට මග පාදා දුන් ජනාධිපතිවරයා ලෙස කෘතඥතාව මත සිරිසේන මහතා සුරක්ෂිත වනවා හැර වෙනත් විකල්පයක් ඉතිරි වේ යැයි විශ්වාස කළ නොහැක.

තවත් ඉත්තන් සහ 19

ජනාධිපතිවරයා දැන් අදිමින් සිටින තවත් ඉත්තෙකු වන්නේ, ජයග්‍රාකයා යැයි සිතාගෙන කටයුතු කර එසේ නොවූ පසු, ඊට ‘සාධාරණ’ හේතු දක්වන පරාජිතයාගේ භූමිකාව යැයි සිතිය හැක. 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඔහු දැන් දක්වන අදහස් සහ අගමැතිවරයා සමඟ ඇති විරසකය පිළිබඳ දක්වන අදහස් හැඳින්විය හැක්කේ නිදහසට කරුණු කියන පරාජිතයකුගේ භූමිකාවක් ලෙසය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවුල් ජාලාවක් බව, මේ වන විට රටේ සාමාන්‍ය පුරවැසියකුට පවා අවබෝධ වී ඇතැයි විශ්වාස කළ හැකිය. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම දෙවන පියවර ලෙස ක්‍රියාත්මක කිරීමේ පොරොන්දුව ඉටු නොකළ ‘යහපාලන’ ආණ්ඩුව, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම පවා මඟහැර, 19 පමණක් ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය පාලනය වියවුලක් බවට පත් කළා පමණක් නොව, වගකීම් විරහිත ජනාධිපතිවරයෙක්- අගමැතිවරයෙක්- ඇමති මණ්ඩලයක් – පාර්ලිමේන්තුවක් බිහි කිරීමෙන් නොනැවතී එවැනි රාජ්‍ය නිලධාරීන් පවා බිහි කළේය. එය රට අරාජික කළා පමණක් නොව අස්ථාවරත්වයට ද පත් කළේය.
වැදගත් වන්නේ ඒ සියලු අවුල් සහගත තත්ත්වයන් විසඳා රට ස්ථාවර කිරීමේ මාවතක් සොයනවා වෙනුවට ඊළඟට පැවැත්වෙන මැතිවරණ පළමු ස්ථානයට ගෙන දේශපාලන වාසි උදෙසා එකිනෙකා ඒවා යොදා ගනිමින් රට වියවුලක් බවට පත් කිරීමේ මාවත තෝරා ගැනීමය. එයින් අත් වන ප්‍රතිඵලය වන්නේ දේශපාලන වශයෙන් පමණක් නොව, ආර්ථික හා සමාජීය වශයෙන්ද ශ්‍රී ලංකාව සෙලවෙන සුළු රටක් බවට පත් වීමය. මෙම දේශපාලන- ආර්ථික- සමාජ කඩා වැටීමට, එළඹෙන ජනාධිපතිවරණයෙන් විසඳුමක් නොලැබුණද සියලු නායකයන් ජනතාවට පෙන්වමින් සිටින්නේ එය කප්රුකක් ලෙසය. එහෙත් එම මැතිවරණ ප්‍රතිඵලය සිතූ- පැතූ සම්පත් ලැබෙන මාවත් වෙනුවට, රට තවත් අවුලට ඇද දමන මාවත් විවර කිරීමට හේතුවිය හැකිය.

එවැනි තත්ත්වයක් පෙනෙමින් තිබියදී පවා, තමන්ගේ ‘ගමනක අවසානය’ වඩා වාසිදායක මංසන්ධියක් කරා මෙහෙයවීමේ උත්සාහය, සිරිසේන ජනාධිපතිවරයා අතහැර ඇතැයි සිතිය නොහැක. ඔහුගේ උත්සාහය ඔහුගේ ඉරණම තීරණය කිරීමට හේතුවිය හැකි වුවද රටේ ඉරණම තීරණය කිරීමට හේතුවිය නොහැක.