පාස්කු ඉරිදායින් දෙමසකට පසු…..

ජයදේව උයන්ගොඩ

මා මේ ලිපිය ලියන්නේ බදාදා උදේය. ඊයේ සිට රට පුරා පැතිරෙමින් තිබෙන ආරංචියක් නම්, 29දා සිරකරුවකු එල්ලා මැරීමට, ජනාධිපතිවරයාගේ නියෝගය මත, කටයුතු සූදානම් කරගෙන යන බවයි. මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවකු වී ඇති සිරකරුවකු එල්ලා මැරීමේ ආශාව පසුගිය මාස කිහිපය තුළම ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ නොයෙක් වර ප්‍රකාශයට පත් කළ මනෝභාවයකි.

29දා හෝ ඉදිරි දිනයක, සිරකරුවකු එල්ලා මැරීම ඇත්ත වශයෙන්ම සිදුවන්නේ නම්, එය වනාහි ලංකාව ශිෂ්ටාචාරයේ පඩිපෙළේ පඩි ගණනාවක්ම පහළට තල්ලු කිරීමකි. දේශපාලන ප්‍රචණ්ඩත්වය, යුද්ධ, මිනීමැරුම් යනාදිය පසුගිය දශක ගණනාව තුළ කොතරම් ඉහළට ගොස් තිබුණත්, ශිෂ්ටාචාරමය අතින් ලංකාව පවත්වාගෙන ගිය එක් ගෞරවනීයත්වයේ සාධකයක් වූයේ රාජ්‍යය සිරකරුවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීමයි. තම මරණ දඬුවමේ ආශාව ඉටුකර ගැනීමට ජනාධිපතිවරයා ඇත්තටම ක්‍රියාකළහොත්, එය වනාහි පාලකයා වශයෙන් ඔහු ලංකාවට සිදු කරන ඉතාම බරපතළ ශිෂ්ටාචාරමය හානියකි. ලංකාවේ ශිෂ්ටාචාරමය පරිහානියේ වසා තිබුණු දොරටුවක් වවෘත කිරීමෙන් ඔහු ඉතිහාසයට එක්වනු ඇත්තේ, කුරිරු පාලකයකු ලෙසය. මේ ගැන ප්‍රමාද වී හෝ සිහිකිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට විනාඩි කිහිපයක්වත් ඉඩ ලැබෙනු ඇතැයි මම උදක්ම ප්‍රාර්ථනා කරන්නෙමි. තමාට පුද්ගලිකවත්, තම රටටත්, තමා නියෝජනය කරන පුරවැසියන්ටත් ශිෂ්ටාචාරමය වශයෙන් හානි නොකිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු සතු දේශපාලන මෙන්ම සදාචාරමය වගකීමකි.

මාස දෙකකින් පසු

29දා සිරකරුවකු එල්ලා මැරීම සිදුකරන්නේ නම්, එය සිදුවෙනු ඇත්තේ, පාස්කු ඉරිදා ඇතිවූ ව්‍යසනයෙන් මාස දෙකකුත්, සතියක් ඉක්ම ගියාට පසුය. පසුගිය සති අට තුළම ලංකාවේ පැවැති දේශපාලන ව්‍යාකූලත්වය සහ අවිනිශ්චිතතාව, පසුගිය සතිය තුළදී සෑහෙන දුරට සමනය වී තිබෙන බව පෙනේ. විශේෂයෙන්ම මුස්ලිම් විරෝධී ජනවාර්ගික කෝලාහලයක් රටේ ඇති කිරීමට ඇතැම් ජනමාධ්‍ය ව්‍යාපාරිකයන්, ජනමාධ්‍යකරුවන්, දේශපාලනඥයන් සහ පූජ්‍යතන්ත්‍රයේ සමහර කොටස් ගත් උත්සාහය වැළකී යාම සහ සාමාන්‍ය ජනතාව උදේ හවස ජනමාධ්‍යයෙන් සිදුකෙරුණු වර්ගවාදී කුලප්පු කිරීම්වලට හසු නොවීම, අප රටේ දේශපාලනයේ පසුගිය සති අට තුළ තිබුණු සියලු පසුබෑම් මැද මතුවුණු වැදගත්ම සාධනීයකාරණයයි. ජනවාර්ගික සාමය සහ සංහිඳියාව පිළිබඳ පොදු ජන විඥානය එහි පසුබෑම් මැද්දේ වුවද, බිඳ නොවැටී පැවතීම දේශපාලන වශයෙන් සැනසුම් සුසුමක් හෙළීමට මෙරට සාමය ගරු කරන, මධ්‍යස්ථවාදී පුරවැසියන්ට අවස්ථාව ලබාදෙයි.

ආගම සහ දේශපාලනය

මේ අතර, අස්ගිරි අනුනායක හිමියන්ගේ ‘මුස්ලිම්වරුන්ට ගල් ගැසීම’ පිළිබඳව වාර්තා වූ ප්‍රකාශය නිසා ආගම සහ දේශපාලනය පිළිබඳ ප්‍රශ්නය අප රටේ දේශපාලන සාකච්ඡාවේ මැදටම යළිත් පැමිණ ඇත. තමා කළ ප්‍රකාශයක් විකෘති කර ප්‍රකාශ කර ඇතැයි අනුනායක ස්වාමීන් වහන්සේ පුවත්පත්වලට ප්‍රකාශ කර තිබිණ. තම ප්‍රකාශයේ දේශපාලන බැරෑරුම්කම ගැන උන්වහන්සේ කල්පනා කරන්නට ඇති බවද පෙනේ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව අපට දක්නට ලැබුණු දෙයක් වූයේ ආගමික පූජ්‍ය/පූජක තන්ත්‍ර රටේ දේශපාලන සාකච්ඡාවටත්, දේශපාලන ගමන් මගටත් කළ අතිමහත් බලපෑමයි. බෞද්ධ, කතෝලික සහ ඉස්ලාම් යන ආගම් තුනට අයත් පූජ්‍ය/පූජක නායකයෝ සහ නියෝජිතයෝ, ගිහි දේශපාලනඥයන් තරම්ම මහජන දේශපාලන වේදිකාව මත නැගී සිටියහ.

මේ අතර, අප රටේ ආගමික පූජ්‍ය/පූජක තන්ත්‍රය හා දේශපාලනය ගැන පොදු නිරීක්ෂණයක් කිරීමට, විමසිලිමත්ව සිටින පුරවැසියන්ට අවකාශ ලැබේ. එය නම් ඔවුන් බොහෝ දෙනාගේ දේශපාලන මනස සහ විඥානය කොතරම් පූර්ව – ප්‍රජාතන්ත්‍රවාදීද, නැතහොත් නිර්-ප්‍රජාතන්ත්‍රවාදීද යන්නයි. එමෙන්ම නූතන සමාජයට කොතරම් නොගැළපෙන්නේද යන්නයි. මෙම දුර්වලතාව වැඩියෙන්ම ප්‍රකාශ කරන්නේ බෞද්ධ පූජ්‍යතන්ත්‍රයේ ඉහළ මට්ටමේ සිටින භික්ෂූන් වහන්සේලා වීම, පසුගිය සති කිහිපය තුළ කෙනකුට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි කරුණක් ද විය. මේ කරුණ පිළිබඳ විවෘත සහ ගැඹුරු සාකච්ඡාවක් අප රටේ ඇතිවිය යුතුව තිබේ. දැනට රටේ තිබෙන උණුසුම අඩුවී ගියාට පසුවවත් එය කළ යුතුය. ඒ සඳහා බුද්ධිමය නායකත්වය දිය හැකි බෞද්ධ, කතෝලික සහ ක්‍රිස්තියානි පූජ්‍යවරු අප සමාජයේ සිටිති. එතුමන්ලාගේ මැදහත්වාදී හඬ දැනට තිබෙන්නේ යටපත් වීය. එහෙත් එය මතුකර ගැනීම, අප රටට අවශ්‍ය සමාජමය හා දේශපාලන සිහිබුද්ධිය සහ නොපිස්සුව (Sanity එක) යළි ගොඩනැගීමට අත්‍යවශ්‍යය.

අන්තර් – ආගමික අවබෝධය

මෙලෙස මැදහත්වාදීව සහ මානුෂිකව සමාජ දේශපාලන ප්‍රශ්න දෙස බැලීමට බුද්ධිමය වශයෙන් කැපවුණු ක්‍රිස්තියානි පූජක පිරිසක් ගිය සතියේ දිනෙක මට හමුවූහ. ඔවුන් සමග කළ සාකච්ඡාවේදී මතුවූ තේමාවක් වූයේ අන්තර්-ආගමික අවබෝධය ඉලක්ක කරගත් සාකච්ඡා මාලාවක ඇති ක්ෂණික වැදගත්කමයි. එම කරුණ විභාග කිරීමේදී පෙනුණු කරුණක් නම් අන්තර්-ආගමික සහයෝගිතාව පිළිබඳ සාකච්ඡාවක් ඵලදායීවීම අප සිතනවාට වඩා දුෂ්කර කාර්යයක්ය යන්නයි. එම දුෂ්කරතාවට හේතු බොහෝ තිබිය හැකියි. ඉන් ප්‍රධාන එකක් වන්නේ අන්තර්-ආගමික සම්බන්ධතා පිළිබඳව ඇති පසමිතුරුවාදී ඓතිහාසික ස්මරණයි. යුරෝපයේ කතෝලික-ඉස්ලාම් ගැටුම් සහ යුද්ධ, කතෝලික – ක්‍රිස්තියානි ගැටුම් හා යුද්ධ, ඉන්දියාවේ බෞද්ධ-හින්දු ගැටුම් මෙන්ම හින්දු-මුස්ලිම් යුද්ධ, ඉන්දියාවේ මෙන්ම ලංකාවේද. හින්දු-බෞද්ධ-ක්‍රිස්තියානි ගැටුම් යන මේවා පිළිබඳව ඇත්තේ නිශේධනීය ස්මරණයන්ය. මෙම ඉතිහාසයේ සහ අතීත ස්මරණවල බර උසුලාගෙන, එම බර කරපිටින් ඉවත් කර ගන්නේ නැතිව, අන්තර්-ආගමික සහයෝගතාව ගැන සාකච්ඡාවක් ආරම්භ කළත්, එම සාකච්ඡාවට ඒ තරම් දුර යා නොහැකි බව ලංකාවේ අන්තර්-ආගමික සංවාදවල අත්දැකීමෙන් මා නිරීක්ෂණය කර ඇති දෙයක් බව මම එම පූජක කණ්ඩායමට කියා සිටියෙමි.

මෙම ප්‍රශ්නය වඩාත් තියුණු වී තිබෙන්නේ ආගමික ඉතිහාසය සහ ඒ පිළිබඳ අතීත ස්මර්ණ, ‘ජාතිය’ නමැති නූතන දේශපාලන ප්‍රපංචය පිළිබඳ දේශපාලන විඥාන ගොඩනැගීමටද පදනම්ව තිබෙන නිසාය. ආගමික ඉතිහාස ජාතියේ ඉතිහාස සමග එකට බැඳීම පිළිබඳ ගැටලුව ලිහාගත යුත්තේ කෙසේද? යන ප්‍රශ්නයට පහසු පිළිතුරක් නැත. එයට පිළිතුරු පරිකල්පනය කිරීමට අවශ්‍ය දේශපාලන භාෂාවක් අප සතුව තිබේද? එවැනි නව දේශපාලන භාෂාවක් ලබාගන්නේ කවර මූලාශ්‍රවලින්ද? එවැනි ඥාන මීමංසාත්මක ආවේශ සහ අනුප්‍රාණ, ලෝක ආගම්වල තිබෙන දාර්ශනික සහ චර්යාධාර්මික ඉගැන්වීම්වලින් ලබාගත හැකි නොවේද?

මා කල්පනා කරන හැටියට, මෙවැනි තේමා ගැන බැරෑරුම්ව සාකච්ඡා කිරීමට දැන් අප ලැහැස්ති විය යුතුය. එවැනි ලැහැස්ති වීමකදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ දාර්ශනික සහ ආචාරධාර්මික පදනම් සමග සාධනීය සංවාදයක යෙදීමට ආගමික චින්තන සහ සම්ප්‍රදායවලට හැකිවනු ඇත. එක් කෙටි උදාහරණයක් දක්වන්නේ නම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ දාර්ශනික ඉගැන්වීම්වල ඇති ඉවසීම, උපේක්ෂාව, නිදහස, වෙනස්කම් දරා සිටීම යන සංකල්ප සම්භාව්‍ය ඉන්දියාවේ බෞද්ධ හා ජෛන දාර්ශනික සහ චර්යාධාර්මික චින්තනය තුළ බොහෝ කලකට පෙර ගොඩ නගා තිබුණු ඒවාය. ජෝන් ලොක්ගේ සහ ජෝන් ස්ටුවට් මිල්ගේ ලිබරල්වාදී ප්‍රතිමානීය මූලධර්ම, බොහෝ කලකට පෙර ධර්මාශෝක රජු ගල්වල කෙටූ ලේඛනවල ගැබ්වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී චර්යාව ගැන මූලික ඉගැන්වීම් සෑම ආගමකම පොදු ජන සම්ප්‍රදාය තුළ තිබේ. සියලු ආගමකම ඇති සමාජ සාධාරණත්වවාදී ලෞකික ඉගැන්වීම් නූතන සමාජවාදී සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවල තිබේ. ‘ආගම් යනු විඥානවාදී මිථ්‍යා විඥානයකි’ යන පැරණි පටු මාක්ස්වාදී ප්‍රවේශය දැන් යල්පැන ගොස් ඇති.
අද වැදගත් වන්නේ ආගමික, ශිෂ්ටාචාරමය සහ දාර්ශනික සම්ප්‍රදාය තුළ ඇති සංවාදයේ හැකියාවට ඉඩ ලබාදෙන චින්තනමය සාම්‍යතා යළි සොයා ගැනීමයි. එය වනාහී ලංකාවේ ප්‍රගතිශීලී බුද්ධිමතුන් අද මුහුණ දෙන අභියෝග ගණනාවකින් එකකි.