ආසියාවේ කුණු බක්කියට තල්ලුවෙන්න බැහැ – මංගල සමරවීර- මුදල් ඇමැති

සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න

පාස්කු ඉරිදා එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයෙන් ආර්ථිකමය වශයෙන් රටට සිදුවූ හානිය පිළිබඳ යම් තක්සේරුවක් කර තිබෙනවාද?

මේකෙන් රටක් හැටියට සිදුවෙච්ච විශාලතම පාඩුව තමයි සංචාරක ව්‍යාපාරය ක්ෂණිකව කඩා වැටීම. මේකත් එක්කම ලෝකයේ ප්‍රධාන රටවල් ලංකාවට එන සංචාරකයන්ට වෝනින් එකක් ලබාදීම තුලින් සංචාරකයන් ඒම සම්පූර්ණයෙන්ම නැවතුණා. මේ කාලය තුළදි රුපියල් බිලියන එකසිය පනහක විතර පාඩුවක් සිදුවෙනවා. මොකද සංචාරක පැමිණීම 30%ක් අඩු උනානම් බිලියන 150ක පමණ පාඩුවක් ඇතිවෙන්න පුළුවන්. නමුත් ඇත්තවශයෙන්ම මේක අඩුවුණ ප්‍රමාණය ගැන අපිට දත්ත ලැබෙන්නේ තවත් කාර්තුවක් විතර ගියායින් පස්සේ.

දැනට තියන සංඛ්‍යාලේඛන අනුව අපි මේ අවුරුද්දේ මිලියන 2.6ක සංචාරකයන් පිරිසකගේ පැමිණීම බලාපොරොත්තු වුණා. නමුත් ඒක මිලියන 2කට විතර අඩු වෙන්න පුළුවන්. එහෙම අඩු උනොත් අපි බලාපොරොත්තු වෙච්ච ඇමරිකන් ඩොලර් බිලියන 5, බිලියන 3.7 විතර දක්වා අඩුවෙනවා. ඒ කියන්නේ මේ තුළින් ඇමරිකානු ඩොලර් බිලියන 1.5කට වැඩි ප්‍රමාණයක් මේ වසරේදි රටට අහිමි වෙනවා.

රටේ ආර්ථිකය අර්බුදකාරී තැනක පවතින පසුබිමක මේ සිදුවෙන අලාභ පියවා ගන්නේ මොන විදිහටද?

ගිය මාසය වෙන කොට වන්දි හැටියට මියගිය 174 දෙනෙකුට මිලියන 166.9 කුත් තුවාල වෙච්ච අයට මිලියන 24.4 කුත් අපි ගෙව්වා. ඊට පස්සේ විනාශයට පත් දේවස්ථානවල වැඩ පටන් ගන්නටත් මිලියන 25ක් ඒ වෙලේම නිකුත් කළා. තවදුරටත් ගෙවමින් ඉන්නවා. දැනට ලබාගත් විදේශ ආධාර සහ තියන සල්ලිවලින් තමයි මේවා පියවා ගන්නේ. මේ එක්කම අපි තියන මහා ණය කන්දටත් කරගහ ගෙන යන්නේ. මේ අවුරුද්දේ අපිට ඩොලර් බිලියන 6 ක මෑත ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය ගෙවන්න තිබුණා. නමුත් මේ වෙනකොටත් ඒ ඩොලර් බිලියන හයෙන් හතරකට ආසන්න ප්‍රමාණයක් ගෙවලා තියනවා. ඉතුරු දෙකත් දෙසැම්බර් වෙන විට ගෙවනවා. අපි විදේශ ආධාර ඉල්ලන්න ගියෙත් නෑ. කොහොමත් අපිට සිද්ධියක් වෙච්ච ගමන් විදේශ ආධාර ඉල්ලන්නත් බෑ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව බහුතර සිංහල ජනතාව තුළ මුස්ලිම් විරෝධී අන්තවාදය දැඩිව හිස එසෙව්වා. ඒ මතවාදයන් දැනටත් සමාජය තුළ පැතිරෙමින් පවතිනවා. නමුත් රජය මෙහි බැරෑරුම්කම නිවැරදිව තේරුම් ගෙන තිබෙනවාද? ඊට ප්‍රතිචාර වශයෙන් මොකක්ද රජයේ වැඩපිළිවෙළ?

මේ රජය පක්ෂ දෙකක රජයක් උනාම අපේ තනි මතයට වැඩ කරන්න අමාරුයි. ඒ එක්කම ආණ්ඩුව තුළත් විවිධ මත තියෙන්න පුළුවන්. මම නම් කොයි තරම් අප්‍රසාදයට, අවලාදයට ලක්වුණත් ඒ මතය වෙනුවෙන් පෙනී සිටිනවා. මම දැක්කා මාතර මගේ ආසනයේ පසුගියදා අපි බොහොම කෙටි දැනුම් දීමකින් “අවෛරයේ හෝරාව” නමින් විරෝධතාවක් මාතර නගරයේ සංවිධානය කළා. එතෙන්ට ආව සෙනඟ දැක්කාම මට පුදුම හිතුණේ තමන්ගේ උවමනාවෙන් එතනට ඇවිල්ලා මේ රටේ ජාතික සමඟිය වෙනුවෙන් බහුතරයක් වූ මාතර සිංහල බෞද්ධ ජනතාව පෙනී සිටීම ගැන. මමත් හිතනවා මේ සම්බන්ධයෙන් මීට වඩා ක්‍රියාකාරී වැඩපිළිවෙළක් රජයට තිබිය යුතුයි.

මුස්ලිම් කඩ වර්ජනය කිරීම පිළිබඳව සිංහල ජනතාව තුළ පෙළඹවීමක් ඇති කරන මතවාදයක් සැළකිය යුතු ආකාරයෙන් ව්‍යාප්ත කෙරෙමින් තිබෙනවා. එහි බලපෑම පිළිබඳ කිසියම් තක්සේරුවක් ආණ්ඩුවට තිබෙනවාද?

මේ තුළින් එක පැත්තකින් දේශපාලන අස්ථාවරභාවයක් ඇති කරන්නත්, අනෙක් පැත්තෙන් යම් පිරිසක් වෙළඳ වාසි ලබාගැනීමේත් අරමුණෙන් මේ ඔක්කොම කරන්නේ. මම දකින්නේ ඉතාමත් භයානක අදියරකට මේ රට තල්ලු වෙලා තියනවා. අපි නොහිතන විදිහට අන්තවාදීන් මේ සිද්ධිය හරහා ඉදිරියට ඇවිල්ලා තියනවා. යළි වතාවක් මේ රටේ කළු ජූලියක් ඇතිවෙන්න ඉඩ දෙන්න බෑ. මුදල් ඇමැතිවරයා විදිහට මම දන්නවා තව කළු ජූලියක් ඇති උනොත් ඇත්තටම ආසියාවේ කුණු බක්කියට අපි තල්ලු වෙනවාමයි. මේකට තාවකාලිකව හිතේ ආවේගයට රැවටුණ පිරිසක් හිටියා. නමුත් මම හිතන්නේ ක්‍රම ක්‍රමයෙන් යළි වතාවක් ඒ ජනතාවට තේරෙනවා මේක ඇත්තද නැත්තද කියලා. මුස්ලිම් කඩවලට යන්න එපා කියලා යම් මතයක් ඇති කළත්, දැන් ආයේ වතාවක් රට යථා තත්ත්වයට පත්වෙමින් තියනවා.

මුස්ලිම් මැති ඇමැතිවරුන්ගේ හැසිරීමෙන් ඔවුන් ප්‍රජාවක් ලෙසින් එකට සිටගෙන ඇති බව ප්‍රකට වෙනවා. ඒත් සමඟම පොදුවේ ඔවුන්ට එල්ල කෙරෙන චෝදනාවලටත් යම් වලංගුභාවයක් ලැබෙනවා නේද?

අද මුස්ලිම් ඇමැතිවරුන්ට අන්තවාදියෝ යැයි කියමින් ඇඟිලි දික් කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි මේ රටට අන්තවාදය හදුන්වාදීපු විමල් වීරවංශලා. ගිනි තියපු මේ අන්තවාදීයෝ අද සුදු ඇඳගෙන ඇවිල්ලා, කපටි සූට් ඇඳගෙන ඇවිල්ලා බුද්ධ රූපය ඉස්සරහා තියාගෙන ජාතිවාදය වපුරන්න හදනවා. මේ සිද්ධිය වෙන්නත් ඉස්සෙල්ලා මේ රට තුළ තමන්ගේ දේශපාලන වාසිය සඳහා ජාතිවාදී කෝලාහල ඇති කරගන්නට උත්සාහ කළ ඒ බලවේගයන් මේ කම්පනයට පත්වෙච්ච ජනතාව තමන්ගේ මතයට ඩැහැ ගන්නට ඉතාමත් විධිමත්ව කටයුතු කරන්න පටන්ගත්තා.

දේශපාලකයන් එකිනෙකාට ඇඟිල්ල දිගු කරගත්තත් ජනතාව අතර දැන් හැම කෙනෙක් ගැනම තියෙන්නේ කලකිරීමක්. මේ පාර්ලිමේන්තුවේ සිටින 225ම ඉදිරි මැතිවරණයේදි ගෙදර යැවිය යුතුයි කියන අදහසයි දැන් කතා බහට ලක්වෙමින් පවතින්නේ.

කවුරුත් දේශපාලනඥයන්ට බනිනවා. දෙසිය විසිපහම ගෙදර යවන්න ඕනේ කියනවා. නිදහසෙන් පස්සේ හිටපු ඔක්කොම නායකයෝ රට විනාශ කළා කියලා කියනවා. නමුත් ඇත්ත කතාව මේ රටේ හිටපු නායකයන්ට හරි දේ කරන්න උවමනාවක් තිබිච්ච අවස්ථාවල පවා නිවැරදි දේ කරන්න නොදුන්නේ මේ අන්තවාදී කොටස්. විශේෂයෙන්ම මේ රටේ පසුගාමී තත්ත්වයට වගකියන්න ඕනේ භික්ෂු පරම්පරාව. ඔක්කොම නෙමෙයි, මේ භික්ෂූන්වහන්සේලා කියලා සිවුරු දාගෙන ඇවිල්ලා, ඉතාමත්ම ප්‍රතිගාමී අදහස් ඇතිව, දෙදහස් පන්සීයක උරුමය ගැන කතා කරමින්, හැමදාම මේ රට කුණු බක්කියක තියාගන්නට උත්සාය කළ කොට්ඨාසය තමයි ඔය අන්තවාදී භික්ෂූන්වහන්සේලා. මේ තත්ත්වය නිදහසින් පස්සේ පටන් ගත්තේ බණ්ඩාරනායක මහත්තයා රොස්මිඞ් පෙදෙසේදි භික්ෂූන්වහන්සේලා කීප දෙනෙක්ගේ උවමනාවට බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ඉරලා පුච්චපු වෙලාවෙ. ඒ වෙලාවේ එතුමා කිව්වා ස්වාමින්වහන්ස ඔබවහන්සේලාගේ උවමනාව අනුව මම මේ ගිවිසුම ඉරලා පුච්චලා දැම්මත් මේකේ ඵල විපාක රටට වසර තිහක් වැනි කාලයක් තුළ විඳින්න වෙනවා කියලා. කිව්වා වගේම හැත්තෑ ගණන් අසූ ගණන් වෙනකොට දෙමළ ත්‍රස්තවාදය ඇතිවුණා. මේ රට මේ තරම් ආපස්සට ඇවිල්ලා තියෙන්නේ, රට මේ තත්ත්වයට පත් කළේ භික්ෂු පරම්පරාව.

ජෝන් අමරතුංග ඇමැතිවරයා ප්‍රකාශයක් කරලා තිබුණා සංචාරයකයන් ආකර්ශනය කරගන්න නයිට් ක්ලබ් සහ කැසිනෝ ව්‍යාප්ත කරන්ඩ ඕනේ කියන අදහසක්. මුදල් ඇමැතිවරයා විදිහට ඒ ගැන ඔබේ අදහස මොකක්ද ?

අද ලෝකයේ හැම දියුණු රටකම තියනවා නයිට්ස් ක්ලබ්. ඇයි මොකක්ද ඒකේ වරද? ඔක්කොටම ඉස්සෙල්ලා අපි තීන්දු කරන්න ඕනේ අපේ රටේ සියලු බාර් වහගෙන, නයිට් ක්ලබ් වහගෙන, අර මූලධර්මවාදී රටක් වශයෙන් ඉන්නවාද, එහෙම නැත්නම් සංචාරකයනුත් ගෙනල්ලා, අපේ තියන අගැයීම් අනුව මේ රට දියුණු කරනවාද කියලා. එතනදි මමත් හිතනවා නයිට් ක්ලබ් තියන එක හොඳයි කියලා. නයිට් ක්ලබ් කියන්නේ අපරාධකරුවන්ගේ තිප්පොලවල් නෙවෙයි. අද ලෝකයේ තරුණ තරුණියන් රෑට ගිහිල්ලා සතුටු වෙන්න කැමතියි. ඉඳලා හිටලා පොඩි ඩි්‍රන්ක් එකක් දාන්න කැමතියි. නමුත් එතනදි අපි වගබලාගන්න ඕනේ ඔය මත්ද්‍රව්‍ය ආදි දේවල් නැති කරන්න එහෙම නැත්නම් ඒවා මර්දනය කරන්න පොලිසියට බලය දෙන්න ඕනේ.

නයිට් ක්ලබ් තිබ්බයි කියලා මේ රටේ සාරධර්ම නැති වෙන්නේ නෑ. අද මේ නයිට් ක්ලබ් නැති රටේ තමයි මේ තරම් සාරධර්ම පිරිහිලා තියෙන්නේ.
ලංකාව සංචාරක ආකර්ශනය දිනාගෙන තියෙන්නේ නයිට් ක්ලබ්, කැසිනෝ වගේ කාරණා නිසාද?

සංචාරකයන් ලංකාවට එන්නේ එක පැත්තකින් ලංකාව කියන්නේ පුදුම ලස්සන රටක්. ඒ එකක්. ලස්සන මුහුදුකරයක් තියනවා. මාල දිවයිනට ගියොත් ඒත් මුහුද ඒ වගේ ලස්සනයි තමයි. ඒත් මුහුදේ නෑවයින් පස්සේ කරන්න දෙයක් නෑ. හැබැයි ලංකාවේ පැරණි ශිෂ්ඨාචාරයක්, බෞද්ධාගමින්, හින්දු ආගමෙන්, සමහර තැන්වල ඉස්ලාම් ආගමෙන් පෝෂණය වෙච්ච සංස්කෘතියක් තියනවා. ඒ ආකර්ශනයන් බලන්න යන ගමන්ම… අපි කියන්නේ නෑ හන්දියක් හන්දියක් ගානේ නයිට් ක්ලබ් දාන්නය කියලා. නමුත් දාන්න ඕනේ මිනිහට දාන්න ඕනේ. සංචාරය ඉවර කරලා රෑට නයිට් ක්ලබ් යන්න කැමැති අය ඉන්නවා නම් ඒ අයට ඒ නිදහස තියෙන්න ඕනේ.

ඔබ චීන සිගරට් ආනයනයට අවසර දෙන්න යන එක ගැන සෞඛ්‍ය ඇමැතිවරයා වෙනස් මතයක් දරනවා නේද?

පුවත්පත්වලින් කියන දේවල් ඇරෙන්න මට හමුවෙන කිසිම තැනකදි එතුමා මට ඔය ගැන මොකුත්ම කියලා නෑ. අපි සෞඛ්‍ය ඇමැතිතුමා අගය කරනවා මනුෂයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්න ගත්ත ක්‍රියා මාර්ග ගැන. මෙතනදි තියෙන්නේ මේ සෞඛ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. අද මේ කාර්යාලයෙන් එළියට ගිහිල්ලා, මේ හන්දියට ගියොත් චීන සිගරට් ගන්න පුළුවන්. අද ලංකාවට චීන සිගරට් අලුතෙන් ගෙන්නන්න දෙයක් නෑ. ඇත්තවශයෙන්ම අද ලංකාවෙදි ලෝකයේ තිබෙන ප්‍රධාන පෙළේ සිගරට් වර්ග ගන්න පුළුවන්. නමුත් මේ හැම සිගරට් එකක්ම ගේන්නේ ස්මගර්ස්ලා. හොරෙන් ගේන සිගරට්. අපි කියන්නේ මේවාට බද්දක් ගෙවන්න. ඇයි ඉතිං මේ කොහොමත් විකිණෙන එකට රජයට බද්දක් ගන්න එක වැරදිද? හොරෙන් කරන දේ එළිපිට කරනවා නම් අපිට ඒ ගැන යම් පාලනයක් ඇති කරගන්න පුළුවන්. එච්චරයි අපි කරලා තියෙන්නේ. අනිත් එක මේක හැංගි හොරා කරපු දෙයක් නෙවෙයි මම පසුගිය අය-වැයේදිත් කිව්වා මේ වගේ ලයිසන් කීපයක් ඇති කරනවා කියලා.

චීන සිගරට් ආනයනයට මේ විදිහට විශේෂ අවධානයක් යොමු වෙන්න ඒ තොරතුරු ඔබට සන්නිවේදනය වෙන්නේ කොහොමද? චීනුන්ගේ අවශ්‍යතා ගැන හොයන්න මුදල් අමාත්‍යාංශයෙන් සමීක්ෂණ වගේ දේවල් කරනවාද?

මහින්ද රාජපක්ෂගේ යුගයේ ඉඳන් චීන කම්කරුවන් විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. මේ චීන කම්කරුවෝ විශාල වශයෙන් සිගරට් බොනවා. හැබැයි ඒගොල්ලන්ට අපේ තියන ගෝල්ඞ්ලීෆ් එකවත්, බෙන්සන් ඇන්ඞ් හෙජර්ස් එකවත් අල්ලන්නේ නෑ. සිගරට් බොන මිනිහා තමන්ගේ බ්‍රෑන්ඞ් එක වෙනුවෙන් හොයාගෙන යන්නේ.
හිටපු චීන තානාපතිවරයා පවා මට විදේශ ඇමැතිවරයා වශයෙන් කිව්වේ මේ අයට සමහර වෙලාවට නිල නොවන මට්ටමෙන් සිගරට් සපයන්න වෙලා තියනවා කියලා. ආණ්ඩුව ඒකේ වාසිය ගන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවේ. කොහොමත් අද මේක තියනවා කොළඹ. එහෙම හොරෙන් තියාගෙන ඉඳීමෙන් අපි මේ ජාවාරම්කාරයන්ව ආරක්ෂා කරන එකයි කරන්නේ. ඕක දැනගන්න සමීක්ෂණ කරන්න ඕනේ නෑ. මුදල් ඇමැතිවරයා හැටියට මම හැම වෙලේම බලන්නේ අපේ ආදායම වැඩිකරගන්නේ කොහොමද කියලා. මොකද එක පැත්තකින් මේ රටේ ජනතාව තොටිල්ලේ ඉඳන් සොහොන දක්වාම හැම දේම නිකන් ඉල්ලනවා. අධ්‍යාපනය නොමිලේ. සෞඛ්‍ය සේවය නොමිලේ. මේවා නිකන් දෙන්නේ ගස්වලින් වැටිලා නෙවෙයි. ඒ හැම එකකටම අපි මහාභාණ්ඩාගාරයෙන් ගෙවන්න ඕනේ. අනික් පැත්තෙන් අපි ආදායම වැඩි කරගන්නේ දුප්පත් මිනිහාගේ කරපිට තියලා නෙවෙයි.

මුදල් අමාත්‍යංශය යටතේ ඇති විවිධ ආයතනවලින් ඇතැම් රූපවාහිනී ආයතනවලට දෙන දැන්වීම් පාලනය කරන්න ඔබ පසුගියදා උපදෙස් දී තිබුණා. ජනමාධ්‍ය පාලනයට මේක කොතරම් දුරට ගැළපෙන ක්‍රමවේදයක්ද?

මමත් කියන්නේ ඒක සුදුසු ක්‍රමයක් නෙවෙයි. එහෙත් ජාතීන් අතර වෛරය ඇති කිරීමට ජනමාධ්‍ය කටයුතු කිරීම තරම් ජඩ දෙයක් නෑ මම දකින හැටියට ලංකාව වගේ රටක. විශේෂයෙන් මේ වගේ භයානක තත්ත්වයක් තියන වෙලාවක. අන්න ඒ නිසා තමයි මම එහෙම කළේ. වගකිවයුතු කිසිම රටක බෝම්බ දැමීමකින් පස්සේ මළ මිනී පවා පෙන්නන්නේ නෑ. එහෙත් මේ රටේ ඔය රූපවාහිනී ආයතන ඒ තියන මළ මිනී අමු අමුවේ පෙන්නුවා. ජාතිවාදී යුද්ධයක් කරා රට ගෙනයන්න උත්සාහ කළා. ඒ තියන වෛරය තව තවත් මුවහත් කරන්න හැදුවා. ඒක දිගින් දිගටම අදත් කරනවා. මේ රටේ අන්ත ජාතිවාදය ඒ අය පෝෂණය කරනවා. ඒ වගේ වෙලාවක මට කරන්න පුළුවන් එකම දේ තමයි මම ඒ කළේ. අද මේ ලෝකයේ තියන යථාර්ථය තේරුම් අරගෙන මේ වගේ වෙලාවක මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් තියෙන්න ඕනේ. එහෙම එකක් නැති තැන මේ පණිවිඩය මේ විදිහට හරි ඒ අයට දෙන්නයි මම උත්සාහ කළේ.