දේශපාලනයේ ඩයනෝසර යුගය ඉවරයි

ටිරන් කුමාර බංගගමආරච්චි

අප කුමක් කතා කළද මේ මොහොතේ මෙරට දේශපාලන ග්‍රහයා කරකැවෙන්නේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න පක්ෂ එකතුව පුරවන ප්‍රහේළිකාව වටාය. රටේ ප්‍රශ්න කප්පරක් වුවද ජනතාව වුව බලා සිටිනුයේ ඒ කවුද යන උභතෝකෝටිකය විසඳා ගන්නට මිසක අන් යමක් නොවේය. මෙරට දේශපාලනය කවුරු කොහොම කිව්වද තවමත් ගමන් කරනුයේ උන්මාදය මතය. ප්‍රතික්ෂේප කිරීම් මෙන්ම වැලඳ ගැනීම්ද සිදුවන්නේ එකම පිරිසක් වටා එකම රටාවකටය. මේ සෙල්ලමේ දෙපැත්තක් විනා තුන් හතර පැති නැත. මුලින්ම ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් තමන් සිය ධුරයෙන් ඉවත් වනවා යැයි මැකෝ ප්‍රකාශ කර තිබුණි. ඔහුද අහස් කූරු යවන්නෙක් නිසා ඒ ගැන කලබල විය යුතු නොවේ. උඩ බලා දුටු කල සතුටු වනු හැර ඒ ගැන අපි කලබල නොවෙමු.

ඊළඟ ජනාධිපතිවරණය කුමන හැඩයක් ගනු ඇත්ද? බොහෝ විචාරක මතය නම් කිසිවකුට දැනෙන ජයක් ලැබිය නොහැකි බවය. ඒ ඒ කෝවවල සිටින විචාරකයන්ට අනුව තම පිල විශිෂ්ට ජයක් ලබති. අද දවසේ දේශපාලන විචාරත් කේන්දරකාරයන්ගේ අනාවැකි බඳුය. අභ්‍යන්තර ආරංචි මාර්ග යැයිද? සමීපතමයන් කේලමට කී දේ අනුවද පක්ෂ අපේක්ෂකයා අහවලා යැයි ඒ වටා සිටින හැම එකාගේම නම කියති. මේ අනුව කවුරු හෝ හරි යා හැකිය. එජාපය ගෝඨා ඒ යැයි දොඩවද්දී පොහොට්ටුවේ පිරිස සජිත්ට නොදේයැයි පතුරු යවති. එජාපයේ බහුතරයක් සජිත් ඉල්ලද්දී රනිල් ගල් පිළිමයක් වන්නේ කෙසේද? ඒ පරිදිම පොහොට්ටුවේ බහුතරය ගෝඨා ඉල්ලද්දී මහින්ද ද නිරුත්තර වෙයි. මේ දෙදෙනාගේ ආශිර්වාදය නැතිව මේ පිල් හරහා කිසිවකුට මතුවිය නොහැකි සේ ම මේ දෙදෙනා අකමැති වුවද මතුවන කාට වුව කැමැත්ත දෙන්නටද මොවුන් දෙපළට ඉදිරියේදී සිදුවනු ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව එසේ නොවුණහොත් ඔවුන් දෙපළද මෙවර වඳ වන බැවිනි. ලංකාවේ දේශපාලන ඩයනෝසිරස් යුගය සිරිසේනගෙන් අහවර විය. දැන් දේශපාලන සුපර්ස්ටාර්ස්ලාට වේදිකාව විවෘතය. පක්ෂ ලොකුකම්, පවුල් ලොකුකම් සියල්ල දැන් අහවර වෙමින් පවතී. ඒ තැනට ධනය රිංගා හමාරය. ජාත්‍යන්තර සහය වුව දැන් ලැබෙනුයේ දිනන කෙනා තෝරාගෙන ඔහුට උදව් කිරීමට මිසක ඔවුන්ට ඕනෑ කෙනා දිනවා සියල්ල කරවා ගැනීමට නොවේ. අද සියලු දේශපාලන යාන්ත්‍රණයන්ම උඩු යටිකුරු වී ඇත. ඇමරිකාව එජාපයේ අපේක්ෂකයකු ගේන්නට වලිකතැයි විමල් -ගම්මන්පිල කීවද, ඇමරිකාවේ ඇත්ත තේරීම ගෝඨා විය හැකිය. ගෝඨා ගේන්න දඟලන විමල්-ගම්මන්පිලලාට ගෝඨා ආ කල එන ඇමරිකාව මේ ඇමරිකාව නොවිය හැකිය. ඒ තරමට අද විදෙස් මැදිහත්වීමද ඒ ඒ රටේ දේශපාලනයට උචිත ආකාරයට හැඩ ගැසී ඇත. ඔවුන්ට වුවමනා ඒ රටෙහිම ජනතාවගෙන් මතුවන කාට වුව නාස් ලණුව දැමීමය. එය වූ කලී ධනපතියෝ පක්ෂ දෙකටම එක හා සමානව සලකනවා බඳුය. කෙසේ වුවද ලංකාවේ දේශපාලනය තීන්දු කරනුයේ ඇමරිකාවට වඩා ඉන්දියාවය. මෙවර මෝදිගේ කෙටිකාලීන සංචාරයේදී ඔහුව බෙදාගැනීමට නොහැකිව මෙරට දේශපාලකයන් නැටූ නැටිල්ලෙන්ම එය පැහැදිලිය. කුඬේ ඇල්ලීමේ සිට කාරයට නැගීම දක්වා සියල්ල අනාගත දේශපාලනයට සම්බන්ධය. මෝදිත් කා සමගත් හොඳය. ඔහුට සිරිසේන ආවද? රනිල් ආවද? මහින්දලා ආවද? වෙනසක් නැත. ඒ කාගේ වුව ලොකු අයියා මෝදිය.

බෞද්ධයෝ

මේ සියලු කාරණා මත ඉදිරි ජනපතිවරණය සුවිශේෂී එකක් වනු ඇත. අන් කවරදාටත් වඩා මෙවර ජාතිවාදී ඉර මේ මැතිවරණයේදී සලකුණු වෙනු නියතය. ඉදිරි ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ඡන්ද එක ගොඩකට ගොඩ ගැසෙනු ඇත. ඒ ඡන්ද ගොඩටම අලුතින් සිංහල කතෝලික ඡන්දද ඒකරාශි වනු ඇත. මෙතෙක් සිංහල කතෝලික ඡන්ද කියා කේවල්වීමක් නොවූවද මෙතැන් සිට එහිද ආරම්භය සනිටුහන් වනු ඇත. දෙමළ අරගලය අහවර කළ පසු හතුරකු නැතිව හුදකලාව පිස්සු වැටී සිටි සිංහලයාට ඒ සඳහා මුස්ලිම් පිරිස පටලවා ගැනීමේ පුදුම ගායක් තිබුණි. දර්ගා සිද්ධිය මෙන්ම තෙල්දෙණිය සිද්ධි ඊට අවැසි වුවමනාවන් වුවත් බලාපොරොත්තු ඉලක්කය නොසැපිරිණි. එහෙත් පාස්කු ප්‍රහාරය ඊට පුදුම ආශිර්වාදයක් විය. දැන් බෙදුම හටගෙන අවසන්ය. එය ඉදිරි ජනාධිපතිවරණයේදී නියමාකාරයෙන් ලකුණු වනු ඇත. ඉදිරි ජනාධිපතිවරණයේදී තනිකරම සටන් පාඨ වනු ඇත්තේ ජාතිවාදයය. මෙහිදී එක දෙයක් පැහැදිලිය. එනම් සංහිඳියාව, ජාතික සමගිය වැනි සටන් පාඨවලට වඩා දුටු ජාතිවාදී සටන් පාඨ ජයගනු ඇත. සංහිඳියාව ව්‍යාජයක් බව යහපාලනය මනාව පෙන්වීය. සංහිඳියාවට ජයගත හැකිව තිබූ හොඳම කාලය මොවුන් විනාශ කරගත්තේ ඒ වචන පවා හෑල්ලු කරමිනි. අද රනිල් සංහිඳියාව යැයි කියන කලම මැවෙනුයේ කුකුල්ලු දුටු නරියකුගේ කටින් කෙළ බේරෙන දසුනකි.

දෙමළ ජාතික සන්ධානය අනාථවීම

ජේ.ආර්. සිරිමාවෝ පරද්දන තැන සිට එජාපයේ ගමන ඇදුණේ සුළු ජාතික ඡන්ද මතය. තොණ්ඩමන් එජාපයේ සලකුණක් වුවත් පසුකාලීනව ඔහු වටහා ගත් දේශපාලනය නම් සැමදා බලයේ සිටීමය. එයට ඔහුට පසුබිම ඕනෑතරම් විය. එනම් ජයගන්නේ කවුද ඒ පක්ෂයට එකතුවීමය. අවසානයේ තොණ්ඩමන් එසේ කිරීම සාමාන්‍ය විය යුත්තක් බවටම පත්විය. එජාපය සමග වතුකරය ඇතැයි යන මිථ්‍යාව ඉන් ගැලවුණි. මුස්ලිම් ප්‍රජාව මුලදී එජාපයේම කොටසක් වූ මුත් පසුව ඔවුන් එජාපයට අත්‍යවශ්‍ය කොටසක් ලෙස පිටින් එකතු විය. ඔවුන් අතරින්ද තොණ්ඩමන් අනුගමනය කරන පිරිස නිර්මාණය වූ අතර ඔවුන්ද දිනන පිල කවුරු වුව ඒ පිලෙහි විය. මේ සාමාන්‍ය දේශපාලන වටපිටාව කුඩු පට්ටම් වූයේ දෙමළ ජාතික සන්ධානය ඇතිවීමත් සමගය. එනම් ප්‍රභාකරන් අහිමිවීමත් සමගය. ප්‍රභාකරන් අහිමිවීමත් සමග දෙමළ ජනතාවට මහ ජාතියේ පිහිට අවශ්‍ය විය. එහිදී ඔවුන් අවම කොන්දේසි ලෙස තෝරා ගත්තේ ප්‍රභාකරන් අහිමි කළ අයට විරුද්ධව සිංහල පක්ෂයක සිට ගැනීමය. එහිදී ඉබේටම එජාපය ලකුණු විය. ඒ යුද්ධයේ අයිතිය රාජපක්ෂලා කාටවත්ම නොදුන් නිසාය. ඒ හැර එජාපය තෝරා ගන්නට දෙමළ ජාතික සන්ධානයට ඇති සාධාරණ හේතුවේද යන්න ගැටලුවකි.

පාස්කු ප්‍රහාරය

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සමග මුස්ලිම් ප්‍රජාව වෙනම ලකුණුවීමත් සමග එතෙක් දෙමළ ප්‍රජාව කෙරෙහි පැවති උනන්දුව හීනවෙන්නට විය. ලංකාවේ දේශපාලනය එහා මෙහා හරවන රිමෝට් කන්ට්‍රෝලය බවට පාස්කු ප්‍රහාරයට පෙර පැවතියේ දෙමළ ජාතික සන්ධානයය. එහෙත් දැන් ඒ තත්ත්වය සුනු විසුනු වී ඇත. මුස්ලිම් සියල්ල එකමුතුව ඇමතිකම් අතහැරීමත් සමග ඒ අය එකාවන්ව සිට ගැනීමත් සමග ඉදිරි දේශපාලනයේ තීරණාත්මක සාධකය මුස්ලිම්වරු වී ඇත. ඒ නිසාම දෙමළ ජාතික සංවිධානයට තමන් ප්‍රබල වන්නට නම් මුස්ලිම් ප්‍රජාව හිටගන්නා පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්ත තෝරා ගන්නට සිදුවනු ඇත. දෙමළ ප්‍රජාව රාජපක්ෂලාට වඩා මුස්ලිම් ප්‍රජාවට අකමැති බව උපකල්පනය කළ හැකිය. එදා එල්ටීටීඊ ගැටුම්වලදී මුස්ලිම් ප්‍රජාව සිට ගත්තේ සිංහල ජනතාව සමගය. ඒ නිසාම අද දෙමළ ජනතාව වුව මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව සිංහල ප්‍රජාව ඉදිරියේ සිට ගනු ඇත. එහි ප්‍රතිවිපාකය විය හැක්කේ නියතවම මේ මත ඉලක්ක කොටගෙන දෙමළ ජාතික සන්ධානය දෙකඩවීමය. පිරිසක් සුමන්තිරන් ප්‍රමුඛ එජාපය තෝරා ගන්නා විට තව පිරිසක් රාජපක්ෂලා තෝරා නොගනිතැයි සිතිය නොහැක්කේ මෙරට ඔක්තෝබර් විප්ලවයේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක්ද මහින්ද පිල තෝරා ගත් බැවිනි.
විජේවීරගේ විප්ලවය තෝරා බේරා ගන්නට අද පරම්පරාව අසමත් සේ ම දෙමළ වත්මන් පරම්පරාවටද ප්‍රභාකරන්ගේ විප්ලවය මගහැරෙනු ඇත. ඒ නිසාම සිංහල තරුණයා තුළින් ජවිපෙ මගහැරුණා සේ ම දෙමළ තරුණයා තුළින් දෙමළ ජාතික සන්ධානය මගහැරෙනු නියතය.

වැඩිහිටියෝ රනිල්ගේ බටලන්ද ගැන කතා කරද්දී පොඩිහිටියෝ රනිල් සරණ ගියහ. ඒ පරිදිම ගෝඨාගේ මෙහෙයුම් අමතක කොට දෙමළ අලුත් පරම්පරා ඒ සරණ යෑමටද බැරි නැත. අද දේශපාලනය තරම් විවෘත කිසිවක් නැත. තෝරා ගැනීම් එමටය. හරි වැරැද්ද සොයා ගැනීම දුෂ්කර වී ඇත්තේ එලෙස නිවැරදිව ඉර ගසා මේ අය හරි මේ අය – වැරදි යැයි කිවහැකි කිසිවක් නැති බැවිනි.

මෝදි

ඒ නිසාම දෙමළ ජාතික සන්ධානය වුව දැන් පිහිට පතනුයේ මෝදිගෙනි. ඔවුන්ට ඇති එකම විසඳුම මෝදිය. එහෙත් මෝදිට මෙරට දෙමළ ජාතික ප්‍රජාව යනු ප්‍රධාන ප්‍රශ්නය නොවේ. ඒ අනුව ඔහුගේ තෝරා ගැනීමට දෙමළ ජාතික සන්ධානයට අනුගතවීම හැර වෙන ඉඩක් නොපවතී. එසේ නොමැති නම් සුමන්දිරන් මෙන් එජාපයේම කොටසක් වී එජාපයේ තනතුරු ලැබිය හැකිය. එහෙත් ඒ තත්ත්වය සැමට නැත.

මේ වනවිට පාස්කු ප්‍රහාරයත් සමග මුස්ලිම් ඩයස්පෝරාවක්ද නිර්මාණයවෙමින් පවතී. මේ අනුව දෙමළ ඩයස්පෝරාව මත තිබූ බලය වහන් වනු ඇත. දැනටමත් යුද අපරාධ ගැන ජාත්‍යන්තරය තුළ තිබූ උනන්දුව පාස්කු ප්‍රහාරය සමග අහකට වී ඇත. ඔවුන්ට මේ වනවිට ඉතිරි වූයේ මෝදිගේ ගමනේදී කළ කතාවක් පමණි. එම ප්‍රකාශය නම් මෙරට දෙමළ ජාතීන්ට නවදිල්ලියේ දොරටු විවර කරන බව මෝදි පැවසීය. එහෙත් එය කොතරම් සාර්ථක වනු ඇත්ද යන්න වෙනම කතාවකි. එහෙත් එහිදී මෙරට දෙමළ ජාතීන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඔහු සැදී පැහැදී ඇති බව පෙන්විය. මේ හැම කෙනකුම කරනුයේ තම වාසියට සරිලන දේශපාලනයකි. ඇමරිකාව මෙන්ම ඉන්දියාව කරනුයේද එයමය. අයි.එස්. ප්‍රහාර කල්තබා ලංකාවට දැනුම්දීමට ඉන්දියාව ක්‍රියාකරනුයේ අසල්වැසි මිත්‍ර රට නිසා නොව, අයි.එස්. ලංකාාවේ බෝවීම හරහා වඩා නරක ප්‍රතිඵල අත්විඳින්නට වන්නේ ඔවුන්ට නිසාය. අසල්වැසියන් වන විට නිතර සාමූහිකත්වය වැදගත්වන්නේ දෙපිරිසේම රැකවරණ ආරක්ෂාව වෙනුවෙනි. මෙහිදී සිදුවන්නේද එයමය. දුර සිටින ඇමරිකාව අත පොවන විට බයවන අප ළඟ සිටින ඉන්දියාව අත පොවන විට බිය නොවන්නේ අසල්වැසි දේශපාලනය නිසාය. දුර ළඟ කියා දෙයක් නැත. දේශපාලන අතපෙවීම් යනු තම රටවල වාසියටම විනා අන් කිසිවකට නොවේ.

ඉදිරිය

ඉදිරි ජනාධිපතිවරණය තීරණාත්මක වන්නේ මේ සියලු කරුණු මතය. එය බොහෝ දුරට ජාතිවාදීන් ජයග්‍රාහී වන මැතිවරණයක් වනු ඇත. කිසිවකු විශිෂ්ට ජයක ලබනු නැතැයි යන ජනප්‍රිය මතයද වෙනස් විය හැකිය. රාජපක්ෂලා නැවත දින්නද අප පුදුම විය යුතු නැත. මන්ද රාජපක්ෂලා පරාජය කිරීමට හේතුවූ කරුණු සාධාරණයි කියා ඔප්පු කිරීමට යහපාලන ආණ්ඩුවට වසර පහකට කිට්ටු වුවද ඔප්පු කළ නොහැකි විය. සිදුවයේ මහින්ද පරදා ගෙනා සිරිසේන නැවත මහින්ද සමග එකතුව හොර ආණ්ඩු හැදීමය. මේ සියල්ල හරහා ජනතාව අවසානයේ වෙනම කෙනෙක් සොයනු ඇත. ඒ කෙනා නරකම කෙනෙක් වුවද ඔහුට කැමති වනු ඇත. ඒ ගෝඨා වුවද කුමක් කරමුද? ඒවාට විසඳුම් තිබිය හැකිය. එහෙත් ඊට සුදුසු මිනිස්සු සොයා ගත යුතුය. නිකං කරු තියා මේ ලොකු ගස් ඔළුවට වැටීම නැවැත්විය හැකිද? එයද තවත් ප්‍රශ්නයකි. එහෙත් ලොකු මුක්කු අස්සේ කරුද සහයක් වනු නියතය.