තක්කඩි දයාවෙන් සෙවනගල හදවත නොපෙළනු

රසික ගුණවර්ධන

මඟ දෙපස වැවූ රූස්ස කොහොඹ ගස්, වියනක් බඳුව මාර්ගයට සෙවණ සපයයි. ඊට අද්දරින් මාර්ගයට එපිටින් සරුවට වැවුණු උක් යාය කෙළවරක් නොපෙනෙන තෙක් විහිදී ඇත. කපන ලද උක් දඬු පටවාගත් විශාල ට්‍රැක්ටර් රථ කිහිපයක් අප පසුකර යයි. ඒවායින් ඉඳහිට ගිළිහෙන උක් දඬු මාර්ගය මත වැටී ඇත. මාර්ගයේ වේගයෙන් යනෙන වාහන උක් දඬු මතින් ඇදී යයි.

පසුගිය බ්‍රහස්පතින්දා දින කොළඹට පැමිණ උක් ගොවීන් සිදුකළ විරෝධතාව අපගේ ගමනේ මූල බීජය විය. මේ අප ඔවුන් සොයා සෙවනගල සීනී කර්මාන්තශාලාවට යනෙන අතරමඟය. උක් ගොවීන් කොළඹට පැමිණ උද්ඝෝෂණයේ නිරත වූයේ සෙවනගල සීනී කර්මාන්තශාලාව නැවත වතාවක් පෞද්ගලීකරණය කිරීම සඳහා රජය විසින් පනතක් ගෙන එන බව පවසමිනි. එම පනත නමින් ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝගී වත්කම් පුනරුදය කිරීම (ඉවත් කිරීමේ) පනත යනුවෙනි. මෙකී පනත ප්‍රකාරව සිදුවන්නේ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත ඉවත් කරනු ලැබීමයි. කෙසේ වෙතත් එම පනත එදිනම වැඩි ඡන්ද විසි දෙකකින් සම්මත විය. මෙම පනත ගෙන ඒමට අදාළව පාර්ලිමේන්තුව වෙත පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා අනුමැතිය පිණිස අමාත්‍ය මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසිනි. අමාත්‍ය මණ්ඩල වෙබ් අඩවිය සඳහන් කරන පරිදි 2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත මඟින් ආයෝජකයන් තුළ අවිනිශ්චිතතාවක් ඇති කරන බැවින් හා රටෙහි ව්‍යාපාර කිරීමේ පහසුව කෙරෙහි අහිතකර අන්දමින් බලපාන බැවින් එකී පනත අවලංගු කිරීම සිදු කරනු ලබයි.

කෙසේ වෙතත් එම පනත අවලංගු කිරීමෙන් අනතුරුව පෙර රජයට පවරා ගත් ආයතන රජයේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වෙත පැවෙරෙයි.
එම පනත යටතේ ආයතන තිස් හයක් (36) ඒවාහි දේපළ සමඟ රජයට පවරා ගැනීම සිදු කරනු ලබයි. එකී ආයතන තිස් හය යටතේ හතරවන සමාගම ලෙස රජයට පවරාගනු ලබන්නේ පැලවත්ත සීනි සමාගම සමන්විත වන දේපළයි. එසේ පවරා ගන්නා අවස්ථාව වන විට පැලවත්ත සීනි සමාගම අයත්ව පැවතියේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතාටය.

මහා සත්‍යග්‍රහයක්

අප සෙවනගල සීනි කර්මාන්තශාලා භූමියට යන විට එහි ප්‍රධාන පිවිසුම අසල සමාගම් සේවකයන් විසින් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි. ඉකුත් 22දා වනවිට එම සත්‍යග්‍රහය ආරම්භ වී දින විසිහතක් ගෙවී ගොස් අවසන්ය.
එම සත්‍යග්‍රහය සඳහා සීනි සමාගමේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව කටයුතු කරයි. ඔවුන් සියල්ලන්ම පවසනුයේ සීනි සමාගම පෞද්ගලීකරණය කිරීම පිණිස මෙම ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම (ඉවත් කිරීමේ) පනත ගෙන එන බවයි.
සෙවනගල සීනි සමාගමේ ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති ලලිත් ශ්‍රීපාල් සේවකයන් විසින් සිදුකරන සත්‍යග්‍රහය පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි.

ලාභ ලැබුවා

“පැලවත්ත සහ සෙවනගල සීනි සමාගම් රජයට පවරා ගැනීමෙන් අනතුරුව 2011 සිට මේ දක්වා මේ සමාගම් ලාභ ලැබූ සමාගම් බවට පත්වුණා. 2015 අපේ ආයතනය ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා යටතට පත්වූවායින් අනතුරුව ඔහු මේ ආයතනය පාඩු ලබන තත්ත්වයට පත් කරන්න උත්සාහ දැරුවා. ඉන්පසු රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා මේ ආයතනය භාරව සිටි සමයේ රුපියල් බිලියන 600 – 700 වගේ ලාභයක් ලැබුවා. මේ රජය උත්සහ කළේ මේ ආයතනය පාඩු ලබන තත්ත්වයට පත් කරන්න. මොරයිසස් කිලෝ එකක් අපනයනයට රුපියල් දහයක බද්දක් ගැහුවා. ගිය වර්ෂයේ පමණක් අපි රජයට එම බද්ද රුපියල් මිලියන 137 ගෙවල තියනවා.

දයා ගමගේ මහත්තයට අවශ්‍යතාවක් තියනව, මේ ආයතනය කඩා වට්ටල මේක පාඩු ලබන බව පෙන්නල නැවත මේ ආයතනය ඔහුට පවරා ගන්න.
මේ පනතෙ පැහැදිලිවම තියනව චංචල දේපළ, නිශ්චල දේපළ, වැටුප්, ලිපි ලේඛන සියල්ල පෙර හිමි පුද්ගලයා සතුයි කියල. මේකෙ අවශ්‍යතාව තියෙන්නෙ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයට, ඔහුට තියනව ආයතන තිස් හතරක්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයට ඔය ආයතන තිස් හතර පාඩුයි කියල දැනෙනව නම්, එතුමා ඒක වික්කට ගැටලුවක් නෑ. ඒත් අපේ ආයතන තියෙන්නෙ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ඇමතිවරයා යටතෙ. අපි ඉල්ලන්නෙ මේ ආයතනය ආරක්ෂා වෙලා තියන මේ පනත අහෝසි කිරීමෙන් වළකින්න කියලා. දැන් මේ ආයතන භාණ්ඩාගාර ලේකම්වරයා සතුයි, ඔහු තනි පුද්ගලයෙක්, ගිය බ්‍රහස්පතින්දා වෙනකොට අනූහත්දෙනෙක් තමන්ගෙ සල්ලිවලට ගත්ත දයා ගමගේ ඇමතිවරයාට ලේකම්වරය ගන්නව කියන එක මහ ලොකු වැඩක් නෙවේ.”

පක්ෂ භේද නැහැ

ගොවීන් සහ සෙවනගල සීනි කර්මාන්තශාලා සේවකයන්ගේ විරෝධය එල්ල වන්නේ මෙම ආයතනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිවය. ඒ සඳහා ඔවුහු සියලු දෙනා පාට, පක්ෂ අමතක කර එකම වේදිකාවක් මතට ගොඩවී සිටිති. තමන්ගේ වෘත්තීය සමිති හරහා නියෝජනය වන පක්ෂ ආරක්ෂා නොකර ඔවුහු උපයාගෙන ජීවත් වන සෙවනගල ආරක්ෂා කිරීම ප්‍රමුඛ කොට සලකති. එය වඩාත් තහවුරු වූයේ, එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතිය වන ජාතික සේවක සංගමයේ බොහෝ දෙනෙක්ද විරෝධතා භූමියේදී සම්මුඛ වීමය.

“දයා ගමගේ මහත්තය අපේ ආයතනයට විරුද්ධව නඩුවක් දාල ඒක දැන් ක්‍රියාත්මක වෙමින් තියනව. ඒ ඌන ක්‍රියාකාරී ව්‍යවසාය පනත යටතේ. ඒ පනත අහෝසි වීම මඟින් එතුමාට කිසියම් විදිහක නීතිමය වසන්වීමකට වගේම නැවත සෙවනගල ආයතනය හිමිකර ගැනීමට හැකියාවක් තියනව කියල අපට විශ්වාසයක් තියනවා.
මොනරාගල දිස්ත්‍රික්කයේ හදවත තමයි සෙවනගල සීනි කර්මාන්තශාලාව. මේ කර්මාන්තශාලාව ආරක්ෂාවෙලා තියෙන්නෙ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත යටතේ. ඒ පනත අහෝසි කරල දයා ගමගේ ඇමතිවරයා වෙත නැවත මේ ආයතනය පවරා ගන්න අපි කිසිම වෘත්තීය සමිතියක් අවස්ථාව දෙන්නෙ නෑ. මේ ආයතනය හරහා ඝෘජු හා වක්‍ර රැකියා බොහෝ ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ ජනතාවට ලැබිල තියනවා. ඒ වගේම ගොවි පවුල් විශාල සංඛ්‍යාවක් මේ හරහා යැපෙනවා. මේ ආයතනය පෞද්ගලීකරණය වුණොත් මේ හැම කෙනෙක්ම අනාරක්ෂිත තත්ත්වයකට තමයි වැටෙන්නෙ.” එසේ කියන්නේ තාරක ආනන්දය. ඔහු සෙවනගල සීනි කර්මාන්තශාලාවේ ජාතික සේවක සංගමයේ සාමාජිකයෙකි.

මොවුන් සියලුදෙනා දින ගණනක් උත්සහ දැරුවද අවසානයේ සිදුවූයේ මොවුන් එරෙහි වූ පනත සම්මතවීමය. එහෙත් ඔවුහු සටන අත්හැර දමා නැත. ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් එස්. බී. සුමතිපාල ඒ සම්බන්ධව දරන්නේ මෙවන් මතයකි.

මාරාන්තික උපවාසයක්

“මේ පනත සම්මත වීමත් සමඟම සේවකයන්ගේ වගේම මෙයින් යැපෙන සියලුම දෙනාගේ අයිතිවාසිකම් සුරක්ෂිත නොවූ ස්වභාවයක් ඉස්මතුවෙලා තියනවා. කොහොම වුණත් මේ පනත යටතේ මේ ආයතනය මහා භාණ්ඩාගාරයට යටතට පත් වුවත්, ඕනෑම මොහොතක මහා භාණ්ඩාගාරයට පුළුවන් මේ ආයතනය පුද්ගලීකරණය කරන්න. ඒ නිසා තමයි සේවකයන්ට ගැටලුවක් තියෙන්නෙ. අපට මහා භාණ්ඩාගාරයෙන් සහතිකයක් ඕනෙ, මේ ආයතනය කුමන හේතුවක් මත හෝ පුද්ගලීකරණය කරන්නෑ කියල. එහෙම එකඟතාවකට පැමිණීමට අපි දින දාහතරක කාලයක් ලබාදීල තියනවා. රජය දිගින් දිගටම අපේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුන් නිසා අපට රජය එහෙම එකඟතාවකට පැමිණෙයි කියල බලාපොරොත්තුවක් නෑ, එහෙත් අපි අපේ සියලුම බලය යොදවල ඒ වෙනුවෙන් උත්සාහ කරනවා. යම් විදිහකට රජය ධනාත්මක ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් අපි මේ සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරනවා.”

අප එහි පැමිණි බව කන වැකී වෘත්තීය සමිතිවල නායකයන් සේම, ආයතනයේ සේවකයන් එකා දෙන්නා අප සිටි තැනට රොක්වන්නට වූහ. ඔවුන් සියලුම දෙනාට පැවසීමට කතාවක් ඇත. ඒ තරමට මේ ප්‍රශ්නය ඔවුන් නොසන්සුන් කර අවසන්ය.

“ඕනෑම රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය කිරීමේදී ගෙන එන සාධාරණ තර්කයක් තමයි ආයතනය පාඩු ලැබීම නිසා පුද්ගලීකරණය කරනව කියන එක. එහෙත් අසූතුනේ ආරම්භ වුණු මේ ආයතනය මේ වෙනකන් කිසිම දිනක පාඩුවෙලා නෑ. මේ ආයතනය පාඩු කරන්න උත්සාහ කරපු 2015-2016 කාලෙදි වුණත් සේවකයෙක් රුපියල් 45000 ලාභාංශයකුත් ගොවියෙක් ටොන් එකකට රුපියල් දෙසිය ගාණක ලාභාංශයකුත් ලැබුව. අපට ආණ්ඩු සහ පුද්ගලයො අදාළ නෑ, අපි කුමන පාලකයෙක්, කුමන ආණ්ඩුවක් ආවත් මේක පුද්ගලීකරණය කරන්න දෙන්නෙ නෑ. එහෙම ගන්න ආයෝජකයෙක් ඉන්නවනම් අපි කියන්නෙ එයාට ඇවිල්ල පුළුවන් නම් අඹරන්න. එයාට අඹරන්න වෙන්නෙ නෑ, කර්මාන්තශාලාව වටේ යන්න පුළුවන්.

මේක ඉන්දියාවෙන් ගෙනාපු අවුරුදු ගාණක් පරණ කර්මාන්තශාලාවක්. මේකෙ නවීන උපකරණ තියෙන්නෙ 10% – 15% වගේ ප්‍රමාණයක්. මේ කර්මාන්තශාලාව දුවන්නෙ සේවකයන්ගෙ පළපුරුද්දෙන් හදා ගත්ත ඥානයක් උඩ. ඒ ඥානය කාටවත් ගන්ඩ බෑ. අපේ සහෝදර සේවකයන් අඹරන්නෙ නැතුව ඉවත් උනායින් පස්සෙ ආමි එක එස්.ටී. එෆ්. එක දැම්මත් කාටවත් උක් අඹරන්න බෑ.

අපේ ආයතන 2000 වර්ෂය වෙනකොට උක් ටොන් තුන් ලක්ෂ ගණනක් ඇඹරුවා. ඒත් දයා ගමගේ මහත්තයට 2002 දීල ඔහු නැවත 2011 දීල යනකොට ඇඹරුවෙ උක් ටොන් එක්ලක්ෂ දාසයදාහයි. අපි 2000 – 2001 වර්ෂවල සීනි ටොන් විසිහතරදාහක් නිෂ්පාදනය කරල තිබුණ නමුත් ඒක, 2011 වෙනකොට සීනි ටොන් 6000 දක්වා අඩුවෙලා තිබුණා. දැන් මේ වෙද්දි එක්ලක්ෂ දාසය දහස් ගාණ දෙලක්ෂ අසූදහසකට පමණත්, සීනි ටොන් හයදහසේ තිබිච්ච එක ටොන් දාසයකට – දහ අටකට වගේ ගෙනල්ල තියනවා.

දයා ස්ප්‍රීතු හැදුවා

දයා ගමගේ මහත්තයගෙ කාලෙ ගත්ත උක් ගස් ගාණ අඩු වුණාට ස්ප්‍රීතු ටික ගාණට අරගෙන තියනවා. මොකද එයා එකපාරක් සීනි අරගෙන කෙළින්ම ස්ප්‍රීතු ගත්තා. හැබැයි අපි තුන් පාරක් සීනි අරගෙන, සීනි නැතිම යුෂ ටික තමයි ස්ප්‍රීතු වලට යවන්නෙ. දයා ගමගේ මේ ආයතනයෙක් කරේ සීනි හදපු එක නෙවේ, ස්ප්‍රීතු හදපු එක. එයාට මේ ආයතනය නැවත දුන්නොත් වෙන්නෙ විශාල වශයෙන් සීනි ආනයනය කරන්න වෙන එක.

එයා උක් මිලදී ගත්තෙ ටොන් එක දෙදාස් තුන්සීයක වගේ මුදලකට. 2011 ආණ්ඩුවට ගන්නකොට ආණ්ඩුවට කෙළවෙයන් කියල උක් ටොන් එක රුපියල් එක්දාස් පන්සීයකින් දෙදාහකින් උක් මිල වැඩි කරල යනවා. ඒ වැඩිකරපු එක උක් ටොන් එකකටවත් එයාගෙ කාලෙ ගෙව්වෙ නෑ. එයාට මේ ආයතනය දියුණු කිරීමේ උවමනාවක් තිබ්බෙ නෑ. එයාට තිබ්බෙ මේ ආයතන විනාශ කිරීමේ ප්‍රතිපත්තියක්” ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ඩී. එල්. වික්ටර් එසේ බොහෝ කරුණු අප හා පවසයි.

දයා ගමගේ මන්ත්‍රීවරයා පසුගිය දිනක මේ කාරණය සම්බන්ධව ඇතිවූ සංවාදයකදී පැවසූවේ තමන්ට මෙම ආයතනයෙන් ලැබිය යුතු වන්දි මුදලක් ඇති බවයි. ඒ මත පිහිටා විවිධ මන්ත්‍රීවරු මෙම පනත සහ යම් ආකාරයකට මේ සඳහා දයා ගමගේ මැදිහත්වීම සාධාරණීකරණය කරනු දක්නට ලැබුණි. එහෙත් සෙවනගල සීනි කර්මාන්තශාලාවේ ජාතික සේවක සංගමයේ සංවිධායක තිලකරත්න ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි.

යකඩත් වික්කා

“දයා ගමගේ මහත්තය කියනව, රජයට පවරා ගනිද්දි දෙවැනි අදියර නවීකරණය කිරීම සඳහා මිලියන 2800ක යකඩ ගෙනත් බාල තියනව කියලා. මේකට මිලියන 2800ක යකඩ ගෙනත් එතුමා බෑවෙ නෑ, මට හිතෙන විදිහට මිලියන 2800 විතර මේකෙ තිබුණ යකඩ වික්කා. එතුමා 2002දි මේක ගන්නකොට එවකට තිබ්බ රජය මේකෙ යකඩ විකුණල තිබ්බෙ නෑ. දයා ගමගේ මහත්තය තමා මේකෙ තිබ්බ යකඩ ටික වික්කෙ.
එතුමා සීනි හදනවට වඩා, ස්කාගාරෙට වෙනමම බට මාර්ගයකින් මොලැයිසස් අදින්ඩ මාර්ගයක් හැදුවා. ඔහුම නිලධාරීන්ව සහ සේවකයන්ව රවට්ටලා, ඔහුම උක් වගා වලට ගිනි තියල, පරණ වුණහම උක්ගස් ටික ගෙනල්ල, ඒකෙන් සීනි හදන්ඩ බෑ කියල රජයට පෙන්නල තමයි එතුමා වැඩි මොලයිසස් ප්‍රමාණයක් හැදුවෙ.

දයා ගමගේ මහත්තය සේවකයන්ට සැලකුවෙ නෑ. ගොවියට සැලකුවෙ නෑ. සේවකයො තුන්සිය හැත්තෑවක් තියාගෙන, එයාගෙ විවිධාකාර ආයතන මඟින් මිනිස්සු සේවයට බඳවගෙන, මිනිස්සුන්ට රුපියල් දෙසිය පනහෙ තුන්සීයෙ පඩි දීල තමයි මේක පවත්වගෙන ගියෙ. එයා හැමදාම කීවෙ මේක පාඩුයි කියල. එහෙම පාඩු වුණේ නෑ, එහෙම පාඩු වුණා නම් එතුමට චොපර් වලින් ඇවිල්ල ජනාධිපතිතුමාටත් චොපර් දෙන්න එතුමට පුළුවන්කමක් නෑ. මම ගොඩක් කල් එතුමා ළඟ වැඩ කළා.

2015 අපේ ආණ්ඩුව පත්වුණාාට පස්සෙ එතුමට ලොකු බලාපොරොත්තුවක් තිබ්බා මේ ආයතනය නැවත ඩැහැගන්න. නියෝජ්‍ය කතානායකතුමා මේකට සේවකයො තිස් අටක් දාන්න හදනකොට දයා ගමගේ මහත්තය ඒක දිගින් දිගටම වැළැක්වුවා. එතුමා අපට කීව ඕගොල්ලො සේවයට බඳව ගන්නෙ මම ආවහම කියල. අපට වරප්‍රසාද දෙන්නම් කියල එතුම අපිව එතුමා වෙත පොළඹවගන්න හැදුවා.”

අන්තර් සමාගම් සේවක සංගමයේ එච්. ඩී. කේ. ජයසුන්දර මේ පිළිබඳව දරන්නේ මෙවන් අදහසකි. “මේ ආයතනය ලාබ ලබමින් අඛණ්ඩව පවත්වාගෙන යන තත්ත්වයක තියනකොට, ආණ්ඩුවට මොකක්ද තියන හේතුව, මේ ආයතනයට අලුතෙන් පනතක් ගෙනල්ල මහා භාණ්ඩාගාරයට මේ ආයතනය පවරන්න. පැහැදිලිවම අපට පේන හේතුව තමා දයා ගමගේ මහත්තයට මේ ආයතනය නැවත පවරන්න ආණ්ඩුවට වුවමනාවක් තියනවා. තාත්ත කෙනෙක් මියැදෙන්න ඔන්න මෙන්න තියෙද්දි පුත්තුන්ට දේපළ ටික ලියා දෙනව වගේ, මේ ආණ්ඩුව මියැදෙද්දි රටේ සම්පත් ටික රනිල් වික්‍රමසිංහ මහත්තය කට්ටියට ලියල දෙන්න හදන්නෙ.”

දයා දුන් දුක

අප සත්‍යග්‍රහ භූමියෙන් නික්ම ගම්මානය දෙසට ගමන් කළේ මේ ප්‍රශ්නය පොඩි උක් ගොවියාට දැනී ඇති ආකාරය සොයා බලන්නටය. බැලූ බැල්මටම සෙවනගල පිළිබඳව ඉතිහාසයක් දන්නවා යැයි කිව හැකි මුහුණක් අපට කඩ පිලකදී හමුවුණි. ඔහු බොහෝ වයෝවෘද්ධ නමුදු තවමත් උක් වගාවේ නිරත වේ. හේ නමින් ඩබ්ලිව්. ඒ. කේ. විල්සන්ය.
“සෙවනගල පුද්ගලීකරණය කරනව නම් ගොවීන් විදිහට අපි කැමතිවෙන්නෙ නෑ. ඕක පුද්ගලීකරණය කරල තිබුණ. ඒ වෙලාවෙ මිනිස්සුන්ට සාධාරණ මුදලක් ලැබුණෙ නෑ. ඒකට අපිට එක්කෙනෙකුට දොස් කියල වැඩක් නෑ. මොකද පුද්ගලික ව්‍යාපාරිකයෙක් බලන්නෙ තමන්ගෙ ලාබෙ හොයා ගන්නනෙ. කොහොම වුණත් අපි ඒ කාලෙ ගොඩක් දුක් වින්දා. උක් මිල ගොඩක් පල්ලෙහ තිබුණෙ. දැනටත් තියන මිල ගොවීන්ට මදි. හැබැයි දැන් යම් තරමකින් හරි ගැටගහගෙන ඉන්නවා. සෙවනගල කියන්නෙ සම්පතක්. දාස් ගාණකට ලැබෙන්න තියන දෙයක් එක්කෙනෙක් ගන්නව නම් වැරදියිනෙ.

සෙවනගල වැඩි හරියක් වැඩ කරන්නෙ ගොවීන්ගෙම දරුවො, එයාලගෙ වැටුප් කවදාවත් මේ ගාණට ගෙව්වෙ නෑ. හිටිය වගේ සේවකයොත් දෙගුණයක් ඉන්නවා. ගොවීන් විදිහට මේක පුද්ගලීකරණය කරනව දැකල නිකන් ඉන්න අපට බෑ.”

විල්සන්ගෙන් සමුගෙන අපි තවත් ගම්මානය තුළට ඇදුණෙමු. මේ උක් අස්වනු නෙළන කාලය බැවින් බොහෝ උක් වගාවන් බිම හෙළීම ආරම්භ කර ඇත. අපි ඒ මැදින් වැටී දුහුවිලි විසිරෙන පාර දිගේ ගමන් කළෙමු. ඩබ්ලිව්. සරණපාල අපට මුණගැසෙන්නේ මේ අතරතුරය. ඔහු වෘත්තියෙන් ගොවියෙකි.

“කොම්පැණියට දෙනවට නම් අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඉස්සල්ල දයා මහත්තයට දීල තිබ්බවෙලේ එයා ගොවීන් කෙරෙහි කිසිම සැලකීමක් නෑ. උඹලට ඕනෙ නම් වගා කරපල්ල, වගා කරල පුළුවන්නම් උක්ගස් දියල්ල කියල තමා එයා හිටියෙ. රජය තියෙද්දි දුන්න සහනාධාර මිසක්ක එයා ඇවිල්ල අමුතුවෙන් සහනාධාර දුන්නෙ නෑ. එයා ආවට පස්සෙ ඇළ පද්ධති ඇතුළු හැම දෙයක්ම සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියා. එයාගෙ කාලෙ තිබ්බ නොසැලකිලිමත්කම නිසා අදත් ගොවියො දුක් විඳිනව. මේක කොම්පැණි කරල තියෙනෙ කොට දහස් ගාණක් මිනිස්සු මේකෙන් අයින් කළා. දයා ගමගේ මහත්තයගෙ කාලෙ ගොවීන්ට දුන්න පොහොර වල මිල වැඩි කළා. උක් කැපුවට පස්සෙ ගොවීන්ට දීපු තෙල් පොහොර වලට මුදලක් අය කරනවා. එයා ඉන්න කාලෙ තමා ඒකෙ පොලිය වැඩි කළේ.

එයා ඉන්න කාලෙ ගොවීන් වගාවල් අත ඇරලා වෙනත් බෝග කළා. ආයෙ රජයට ගත්තට පස්සෙ පොල් වගේ ස්ථිර බෝග දාපු අය ඇර අනිත් අය ආයෙ උක් වගා කළා. ආයෙ සෙවනගල පුද්ගලීකරණය කළොත් ඉන්න ගොවීන් ටික පවා තව අඩු වෙනවා.”

අවසානයේ ගොවීන් සියලුම දෙනාගේ නියෝජනයක් වන ගොවිසෙත උක් ගොවි බලමණ්ඩලයේ සභාපති ඩී.ඩී. ජයතිලක අපට හමුවිය. ඔහුගේ සමිතිය විසින් උක් ගොවි සමිති තිස් දෙකක් නියෝජනය කරනු ලබයි.

“අපි දැක්ක පෞද්ගලීකරණය වෙලා තියෙනකොට වුණු දේවල්. පොහොර කියල එප්පාවල පොස්පේට් නිධියෙන් කඩාගෙන එන ගල් කුඩු කවලං කරල දුන්නෙ. ඒකෙන් අස්වැන්නට විශාල වශයෙන් හානි උනා. වගාවේ පැවැත්ම අඩු උනා. වගා විනාශ උනා. ගොවීන්ගේ ආදායම් තත්වයන් ඉතාම පහළට වැටුන. හැබැයි නැවත රජයට ගැනීමත් එක්ක ගොවියට සහන ලැබුන. පොහොර ටික හොඳට හම්බ උනා, මිලේ වෙනසක් උනා. ටාගට් ඉක්මවා ගියහම දිරි දීමනා ලැබුන, දැන් සාමාන්‍යයෙන් එක උක් ඉඩමක් කරන ගොවියෙකුට රුපියල් තිස් හතළිස් දාහක් හොයන්ඩ පුළුවන් වෙලා තියනවා. ලෙහල බලපු මල්ල ඔබල බලන්න දෙයක් නෑ. මේක ආයෙ පුද්ගලීකරණය කළොත් ආයෙ අපි වළට වැටෙනව කියල අපි දන්නවා.”

සන්ධ්‍යාවේ දුහුවිල්ලෙන් කහ ගැසුණු පාරවල් දියේ ඇවිද යමි. උක් දඬු පටවාගෙන උඩ පනිමින් යනෙන ට්‍රැක්ටර් රථ අප පසුකර යන විට කහ ගැහුණු දුහුවිල්ල වැහැරී ගිය උක් යායන්ට ඉහළින් ඇදී යයි. මේ ජීවිත එම දුහුවිල්ලේ කාෂ්ටක තාපයට හසුවිය යුතු නැත.