19 වන සංශෝධනය අහෝසි කිරීමට යයි

කෝසල කුරුවිට බණ්ඩාර

එළඹෙන ජනාධිපතිවරණයට පෙර 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඒකාබද්ධ විපක්ෂයට සහ එජාපයේ සජිත් පාර්ශ්වයට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.

බදාදා (26) පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ද 19 වන සංශෝධනය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවට රටම ආවරණය වන පරිදි ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට ද එහිදී තීරණය වූ බව ඊට එකතු වූ මන්ත්‍රීවරයෙක් රාවයට අනාවරණය කළේය.

පසුගියදා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ 18 සහ 19 වන ව්‍යවස්ථා සංශෝධන දෙකම අහෝසි කළ යුතු බවයි. එහෙත් 18 වන සංශෝධනය පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ඒකාබද්ධ විපක්ෂය පාර්ශ්වයෙන් දැඩි විරෝධයක් එල්ල විය.

කෙසේ වෙතත් ව්‍යවස්ථා විශාරදයෙක් වන ආචාර්ය නිහාල් ජයවික්‍රම පැවසුවේ නීතියට අනුව 19 අහෝසි කළද 18 වන සංශෝධනය යළි බලාත්මක නොවන බවය.
19 අහෝසි කිරීම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය වන අතර පාර්ලිමේන්තු සංයුතිය අනුව එජාපෙ මන්ත්‍රීවරු 55 දෙනකුගේවත් සහය ලබා නොගෙන එය කිරීමේ හැකියාවක් නොමැත. ■