හේමසිරි, පූජිත් සහ සිරිසේන

පාස්කු ප‍්‍රහාරයෙන් දැනුණු වේදනාව තවත් අලූත් වූයේ ජනපති සිරිසේන ඊට වැරදිකරුවන් සොයා දඬුවම් දීමත් සමගය. දැන් රටම දන්නා පරිදි පාස්කු ප‍්‍රහාරයට වගකිවයුත්තේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ වැඩ තහනමට ලක්වූ පොලිස්පති පූජිත් ජයසුන්දරය. මේ වනවිට ඔවුන් අත්අඩංගුවේය. ඒ මනුෂ්‍ය ඝාතන කිරීමේ චෝදනාව සම්බන්ධයෙනි. චෝදනාව ඉතාම බරපතළය. එහෙත් එහි සත්‍යතාවක් වේද? එය සත්‍යය ලෙස පිළිගත හැකිද?
පාස්කු ප‍්‍රහාරයට ලක්ව මියගිය අයගේ පවුල්වල අය හෝ තුවාල ලැබූවන් තමන්ට මේ දේ වූයේ මොවුන් දෙපළ නිසා යැයි විශ්වාස කරත්ද? එය නරුම ප‍්‍රතිඵලයක් බව කිව යුතුය. එසේම එයින් ජනතාව තුළ සාර්ථකත්වයක් ඇති කර ඇඟ බේරාගත හැකි යැයි ජනපති සිරිසේන හිතන්නේ නම් එයම මිථ්‍යාවක් විනා වෙන කිසිවක් නොවේ. මේ තීන්දුවත් සමග ජනපති සිරිසේනගේ බාල දේශපාලනයේ තරම කොයිතරම් බාලද යන්න තවත් හෙළිවිය. නියම නායකයකු යනු තමන් ළඟ සිටි කෙනා බිලිදී ඇඟ බේරා ගන්නකු නොව රට තුළ මෙවන් විපතක් වූ කල පොදුවේ සමාව ගෙන එය නායකයා ලෙස තමන්ගේ වරද බව පිළිගෙන නැවත ඒවා නොවන්නට ක‍්‍රියා කරන්නාය. සිරිසේන පන්නයේ ජනාධිපති කෙනෙක්ගෙන් මීට වඩා දේ බලාපොරොත්තු විය යුතුය.
පාස්කු ප‍්‍රහාරය සිද්ධවන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ සිට වූ වැරදි නිසාය. පාලකයෝ දඬුවම් දීමට උනන්දු වන්නට තිබුණේ බේරුවල-දර්ගා නගරයේ සහ තෙල්දෙණිය-දිගන නගරවල සිදුවූ සිද්ධි ඇතිකළ වුන්ටය. සහරාන්ලාට උත්තේජන සැපයුවේ ඒ අය විනා හේමසිරි නොවේ. හේමසිරි එකල ආරක්ෂක ලේකම් ද නොවේ. දිගන-තෙල්දෙණිය සිද්ධි වන විට පූජිත් පොලිස්පති හෝ විය. එහෙත් ඉතා කෙටිම කාලයක් ආරක්ෂක ලේකම් ධුර දැරූ හේමසිරි ප‍්‍රනාන්දු මහතා සියලූ පව් කර ගැසීම ඔහුගේ පවක් විය යුතුය.
හිටපු ආරක්ෂක ලේකම් සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති යන දෙකම දේශපාලන චරිතය. හේමසිරි නියෝජනය කළේ ජනපතිවය. පොලිස්පති නියෝජනය කළේ අගමැතිවය. පොලිස්පති ලෙස පූජිත පිස්සු නැටුවේය. ඒවාට ඔහුට දඬුවමක් දී නම් එහි අවැඩක් නැත. එහෙත් ඒවාට දඬුවම් නොදී ඒ වෙනුවට දැන් ව්‍යාජ දේක පටලා දඬුවම් දීම අනුමත කළ නොහැකිය.
හේමසිරි ප‍්‍රනාන්දු මහතා මේ තත්ත්වයට වැටුණේ ඔහුගේ කට නිසා යැයි පොදු මතයය. ඒ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යයකට ඔහු දුන් පිළිතුරක් නිසාය. ඔහු එහිදී කීවේ ප‍්‍රහාරයක් ගැන ඉඟි ලැබී තිබුණද එතරම් ලොකු දෙයක් වේ යැයි විශ්වාස නොකළ බවය. මේ ප‍්‍රකාශය ඉතා ගැඹුරින් සලකා බලන්නේ නම් ඔහු කළ ප‍්‍රකාශය සත්‍යය. එය ඔහු පමණක් නොව සමස්ත ආණ්ඩුවම දැරූ මතයය. ජනපති රටේ ආරක්ෂක ඇමතිය. එහෙත් ඔහු ඒ බවක් නොදන්නා ගාණට එකිනෙකාට බෝලය පාස් කරමින් සිටී. රටක යම් සිද්ධියක් විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක ඇමති නොදන්නේ නම් එය බරපතළය. මුලින්ම ඔහු එම තනතුරින් ඉල්ලා අස්විය යුතුය. එහෙත් එවැනි ලැජ්ජාවක් නැති ජනපති සිරිසේන තම ආරක්ෂක ඇමතිකම ආරක්ෂා කරගෙන ආරක්ෂක ලේකම් බිල්ලට දී ඇත. මෙය විලිලැජ්ජා නැති වැඩකි. ඔහුට වුව තොරතුරු ලැබුණු බව දැන් ඕනෑවටත් වඩා තහවුරුය. එහෙත් ඔහු සේනාධිනායකයා නිසා ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නට කෙනෙක් නැත. ඔහු නොව, මෙම ප‍්‍රහාරය ගැන ඔත්තුව දැන් සියලූදෙනා හිතුවේ එවැනි දෙයක් විය නොහැකි තැනය. එලෙස හිතන්නට උචිත වාතාවරණයක්ද රටේ පැවතුණි. ජනතාව වුව නැවත බෝම්බ හඬවල් ඇසෙනු ඇතැයි නොසිතූහ. මානසිකත්වයන් වෙනස් වූ කල එය එලෙසය. ඒ අනුව මේ ප‍්‍රහාරය වන්නට පෙර කාට තොරතුරු හමුවුවද ඔවුන් ක‍්‍රියා කරනුයේ එය සිදු නොවනු ඇතැයි යන සම්භාවිතාව මතය. හේමසිරි ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කළේ සාමාන්‍ය ජනවිඥානය තුළ පැලපැදියම් වූ පොදු අදහසය. වෙනස ඔහු එය අවංකවම කීමය. පරිපාලකයකු ලෙස දක්ෂයකු වුවත් දේශපාලනිකව කපටියකු නොවන නිසා හේමසිරි සැබැවින්ම අවංකකම නිසා උගුලේ පැටලූණි. එහෙත් ඒ අවංකකම ඔහුට දඬුවම් දිය යුතු වරදක් යැයි අපි නොසිතමු. ඒ වෙන හේතුවක් නිසා නොව පාස්කු ප‍්‍රහාරයට ජනපති, අගමැති ඇතුළු මුළු ආණ්ඩුවම වගකිවයුතු බැවිනි. මෙතරම් ලොකු සිද්ධියකදී එයින් ඇඟ බේරාගෙන ආණ්ඩුව ඒ සියලූ පව් පුද්ගලයන් දෙදෙනකුගේ කර මත දැමීම පාපයකි. මෙවැනි තුච්ඡු පාලකයන් තවදුරටත් බලයේ තබා ගන්නට උත්සාහ කළ යුතුද යන්න ජනතාව ගැඹුරට සිතිය යුත්තකි. ඒ අන් කිසිවක් නිසා නොව මෙවැනි බැ?රුම් අවස්ථාවන්හිදී ආණ්ඩුව ක‍්‍රියාකරන්නේ මෙවැනි ළාමක පන්නයට නම් එයම අභාග්‍යයක් වන බැවිනි.
කල්තබා තීන්දු දීම
පාස්කු ප‍්‍රහාරය ගැන කොතෙක් ජනපති දැනුවත් වුවද ඔහු දැන් සිටිනුයේ ඒ පිළිබඳව ඔහු කිසිත් නොදන්නා ගාණටය. ඒ නිසාම මෙයට දැනුවත්ව සිටි අයට දඬුවම් දිය යුතු යැයි කියන තැනට මොහු තල්ලූ වූයේම ඔහුගේ අඩුව මකා ගන්නටය. පූජිතට කෙලෙස හෝ දඬුවම් දීමට වුවමනාව ඔහුට විය. ඊට මෙය කදිම ඉඩ විය.
සිරිමාවෝ මැතිනියගේ පෞද්ගලික ලේකම් ලෙස පරිපාලනය ඇරඹූ හේමසිරි දක්ෂ පරිපාලකයෙකි. ඔහු ආරක්ෂක ලේකම් කර ගන්නට පෙර තම කාර්ය මණ්ඩල ප‍්‍රධානියාද කරගැනීමට ජනපති සිරිසේන ක‍්‍රියා කළේ ඔහු ළංකර ගැනීම වැඩදායක නිසා විය යුතුය. එහෙත් පාස්කු ප‍්‍රහාරයත් සමග හේමසිරි කළ ප‍්‍රකාශයෙන් ආණ්ඩුවට ඍජුවම චෝදනා එල්ල වූ බැවින් එයින් නිදහස් වීමට හොඳම දේ වූයේ එලෙස ප‍්‍රකාශ කළ ආරක්ෂක ලේකම් හිරේ යැවීම බව ජනපති සිරිසේන කල්පනා කරන්නට විය. තමා ළඟ සිටින විශ්වාසවන්තයාට වුව වරදකදී තමන්ගෙන් සමාවක් නැති බව පෙන්වීම ඔහුගේ වැඬේ විය. ඒ නිසා ඒ ගැන සොයන්නට ඔහු කොමිසමක් පත් කළේය. කොමිසම දැමූ ජනපති කොමිසමේ තීන්දු එන්නට පෙර සිටම දේශපාලන වේදිකාවල කීවේ මෙයට ආරක්ෂක ලේකම් සහ පොලිස්පති වගකිව යුතු බවය. ඔවුන්ට දඬුවම් දෙන බවය. දැන් ජනපතිගේ වැඬේ හරිය. ඔහුට ඕනෑ වූයේ පාස්කු ප‍්‍රහාරයේ පවින් මිදීමටය. ඔහු එහිදී කාටත් වඩා ඉක්මන් බවද කිව යුතුය. එනම් සුදනාවීමට ඔහු උපන් දක්ෂයෙකි.
පාර්ලිමේන්තු විශේෂ කමිටුවේ මේ අතර පාස්කු ප‍්‍රහාරයේ සැබෑ හේතු සොයන්නට පාර්ලිමේන්තුවද විශේෂ කමිටුවක් පත් කළේය. එයින් දිගට හරහට එකිනෙකා විවෘතව ප‍්‍රශ්න කරන තැනට පත්විය. එම විශේෂ කමිටුව හමුවට හේමසිරි ප‍්‍රනාන්දු මෙන්ම පූජිත් ජයසුන්දර මහත්වරුද ගෙන්වීය. එහිදී ඔවුන් දන්නා දේ දන්නා තරමින් කීවේය. හේමසිරි ඇත්තම එහිදී ප‍්‍රකාශ කළේ නම් අද හිරේ නොයන බව රාජිත කීවේය. එසේ නම් ඇත්ත කුමක්ද? රාජිතලාගේ ඇත්ත හේමසිරි එම කමිටුව ඉදිරියට පැමිණ ජනපති සිරිසේනව පතරු ගැසීමය. ඔහු එවැනි ගුණමකුවද නොවන්නේ ඔහු පරිපාලකයකු විනා දේශපාලකයකු නොවන නිසාය. අනෙක් අතට ඔහුගේ කතාව දෙස බලන කල ඔහු දන්නා සත්‍ය එය බව පැහැදිලිය.
රාජිතගේ කෝණයෙන්ම බලන්නේ නම් හේමසිරි ඇත්තම හෙළි නොකළ නිසා හිරේ ගියේ නම් හිටපු පොලිස්පති පූජිත් හිරේ ගියේ ඇත්තම කී නිසාද? ඔහු එදා එම කමිටුවට පැමිණ හතර අත නෙළුවේය. ඇත්ත ප‍්‍රශ්නය නම් මේ කමිටුව කරන්නේද බොරුවක් බවය. ඔවුන් තනිකරම සංදර්ශනයක නියැළෙමින් එකිනෙකා පාවා දෙමින් එළිපිටම ඔවුන් ලවා ජනපතිට බන්නවා ගන්න එකය. එයින් තැලෙන්නේ අවසානයේ ඒ එන අයමය. මන්ද ජනපති පෙරළා පළිගන්නේ ඔවුන්ගෙන්ය. මේ සිදුවූයේද එයමය. හේමසිරි සහ පූජිත් පාර්ලිමේන්තු විශේෂ කමිටුව ඉදිරියට යාමත් සමග ජනපති සිරිසේනගේ කෝපය ඉහවහා ගියේය. ඔහු කළේ ඔබලාගේ කොමිටියෙන් ප‍්‍රශ්න අහ අහ හිටපන්. මං මුන්ව හිරේ යවනවා යන නියමය අනුගමනය කිරීමය. සිරසේන යනු පළිගැනීමේ රුසියෙකි. ඔහු කරනුයේ ඔහුට රිදවන අයගෙන් පළිගැනීමය. ගිය ඔක්තෝබර් මාසයේ මහින්ද අගමැති කරන්නේ රනිල්ගෙන් පළිගන්නටය. රනිල්ට රිද්දවිය හැකි වෙන මගක් ඒ හැර තිබේද? ඔහුට පළිගන්නට ඕනෑ කල ඔහු ඒ දේ ඕනෑම කැත ස්වරූපයකින් කරමින් සිටී. මෙයද ඒ ප‍්‍රතිඵලයමය.
එදා වරද පිළිගත්තා නම් තානාපතිකම් දෙනවා කී සිරිසේන අද ඒ අයව හිරේ යවයි. එදා වරද පිළිගත්තද සිරිසේනගේ උපාය මෙයමය. එහෙත් එදා ඒ උගුලෙහි නොවැටුණු ඔවුහු පාර්ලිමේන්තු විශේෂ කමිටුව විශ්වාස කර යෑමත් සමග අමාරුවේම වැටුණි. එම කමිටුව වලිකනුයේ මේ ප‍්‍රහාරයට ආරක්ෂක ඇමති වගකිවයුතු බව කියන්නටය. මෙරට ආරක්ෂක ඇමති කෙනෙක් නැත. ඉන්නේ ජනපති කෙනකි. ඔහු ඒ නිසා ඒ තනතුර රැුකගන්නට ඕනෑම අයකු බිලිදෙන තැනට පත්වී ඇත. හැම මිනිසකුටම හෘදය සාක්ෂියක් ඇත. පාස්කු ප‍්‍රහාරය ගැන දැන් සැවොම දැනුවත්ය. එහෙත් ඒ අයට ඍජුවම ඊට වගකිවයුත්තේ හේමසිරි සහ පූජිත් යැයි කිව හැකිද? සිරිසේනට හැර කිසිවකුට කිව නොහැකිය. ඒ මේ සිද්ධියට සමස්ත ආණ්ඩුවම වගකිවයුතු බැවිනි. ජනපති මෙන්ම අගමැතිද වගකිවයුතු බැවිනි. අද ජනපති-අගමැති ඇඟ බේරා ගෙන හේමසිරි සහ පූජිත් යන දෙදෙනාව දෙපැත්තෙන් බිලිදී ඇත. මේවාට විරුද්ධව සමාජ හඬක් මතුවිය යුතුය. ඒ නිකරුණේ මිනිසුන් හිරේ යැවීම නිසාය. මිනීමරුවන් කිරීම නිසාය. සහරාන්ට උදව් කළ රැුකවරණ දුන් අය නිදැල්ලේය. අහක සිටි වුන් හිරේය. එදා හේමසිරි අවංකවම ඇත්ත මාධ්‍ය ඉදිරියේ නොකියන්න ඔහු අදත් ආරක්ෂක ලේකම්ය. යස පන්නයේ අය රජ වූ කල ඔවුන්ට ළංවන අය බොහෝ පරිස්සම් විය යුතුය. හේමසිරි පමණක් නොව මින් ඉදිරියට සැමට උගත හැකි කදිම පාඩම එයය.