දේශපාලන-සමාජ පරිවර්තනයක් දිනා ගැනීම

පසුගිය කලාපයේ පළවූ මාගේ ලිපියේ ජපානය මයික්‍රොවේවි උඳුන් තහනම් කර ඇති බවට සඳහන් ප‍්‍රකාශය වැරදිය. මා වෙත උගත් පුද්ගලයකු විසින් එවන ලද වීඩියෝ ක්ලිප් එකක තිබූ කරුණු මත පිහිටා ලිය ලද්දක් වන අතර, ඒ ගැන පාඨකයන්ට මාගේ බලවත් කනගාටුව ප‍්‍රකාශ කරමි.

මා පුවත්පතට ලියන දේවල් ආශ‍්‍රයෙන් පුවත්පත හරහා නොව වෙනත් ආකාරවලින් (දුරකතනයෙන්, කෙටි පණිවුඩ ක‍්‍රමයට හා මුහුණු පොත හරහා* විවිධ ආකාරයේ ප‍්‍රශ්න අසන පිරිසක් ද සිටිති. මේ කාලයේදී අහන ප‍්‍රශ්න අතර තිබෙන ජනප‍්‍රියම ප‍්‍රශ්නය ලෙස සැලකිය හැක්කේ රටේ පවතින දූෂිත ක‍්‍රමය පරාජය කළහැකි ක‍්‍රමය කුමක්ද යන ප‍්‍රශ්නයයි. එම ප‍්‍රශ්නය නගන ආකාරයේ විවිධ වෙනස්කම් ඇතත්, හරය බොහෝ දුරට එක සමානය.

මැතිවරණ ක‍්‍රමය
සැබෑ වෙනසක් අපේක්ෂා කරන බොහෝ දෙනකුගේ විශ්වාසය වී තිබෙනුයේ මැතිවරණවලට තරග කොට, බලය අල්ලා ගන්නා ක‍්‍රියාමාර්ගයක් මගින් ක‍්‍රමයේ වෙනසක් ඇති කරගත හැකි බවය. ඒ ආකාරයට ලංකාවේ ක‍්‍රමය වෙනස් කිරීම පිළිබඳ ප‍්‍රශ්නය විසඳාගත නොහැකි බව මා දරන මතයයි.
ලංකාවේ මැතිවරණ ක‍්‍රමය සකස් වී තිබෙන්නේම ක‍්‍රමය වෙනස් කිරීමට අපේක්ෂා කරන්නන්ට මැතිවරණවලට තරග කිරීමෙන් බලය ලබාගැනීමට ඉඩක් නැති ආකාරයටය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ඇති බොහෝ රටවල මැතිවරණ ක‍්‍රමය සකස් කර තිබෙන්නේම මහජනයාගේ පරමාධිපත්‍යය බලය මුදලට මිලදී ගැනීමක් කිරීම කළ නොහැකි ආකාරයටය. දේශපාලන පක්ෂවල අරමුදල් සඳහා ද දැඩි නීති පනවා තිබෙන අතර මැතිවරණ අරමුදල් සඳහා හා තරග කරන අපේක්ෂකයන් සඳහා ද පුද්ගලයන්ගෙන් හෝ සමාගම්වලින් ලබාගත හැකි මූල්‍ය ආධාර සඳහා නීතියෙන් බරපතළ සීමා පැනවීම් කර තිබේ. නිදර්ශනයක් වශයෙන් ඉන්දියාවේ සමාගමකට දේශපාලන පක්ෂයකට ආධාර වශයෙන් ලබාදිය හැක්කේ ඉන්දියානු රුපියල් 25,000න උපරිමයකට යටත් මුදලක් පමණය.
1977 සිට ලංකාවේ මැතිවරණ ක‍්‍රමය සකස් වී තිබෙන්නේ මහජනයාගේ පරමාධිපත්‍යය බලය ධනවතුන්ට මිලදී ගතහැකි ආකාරයටය. පක්ෂ අරමුදල්, මැතිවරණ අරමුදල් හා පක්ෂ කරන වියදම් හෝ අපේක්ෂකයන් කරන වියදම් සඳහා නීතියෙන් පනවන සීමා නැති අතර ලැබෙන ආධාර හා කරන වියදම් විගණනය කරන ක‍්‍රමයක්ද නැත.

ක‍්‍රමයේ ස්වභාවය
ජනාධිපතිවරණයක් සඳහා ප‍්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයකු කරන සාමාන්‍ය වියදම රුපියල් බිලියන තුනක් ලෙස සැලකේ. පාර්ලිමේන්තු මැතිවරණවලදී පවා රුපියල් මිලියන 250 ඉක්මවා වියදම් කර තිබෙන අපේක්ෂකයෝ සිටිති.
1977ට පෙර ලංකාවේ මැතිවරණ වියදම් සඳහා දැඩි සීමා නීති තිබුණි. 1970 පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග කරන අපේක්ෂකයකුට නීතිය අනුව වියදම් කළ හැකිව තිබුණ උපරිම වියදම වූයේ රුපියල් 5000ක් පමණයි. මැතිවරණවලට තරග කරන සියලූ අපේක්ෂකයෝ මැතිවරණ කොමසාරිස්වරයාට මැතිවරණය වියදම් ඇතුළත් වාර්තාවක් ලබාදීමට නීතියෙන් බැඳී සිටියෝය.
මැතිවරණ ක‍්‍රමය ශීලාචාර තත්ත්වයක තබා ගැනීම සඳහා පැවති සියලූ විධිවිධාන තොග පිටින් අහෝසි කර තිබෙන අතර අද තිබෙන්නේ මැතිවරණවලදී ධනවතුන්ට ඡුන්දදායකයන් මිලදී ගතහැකි ක‍්‍රමයකි. සාමාන්‍ය ඡුන්දදායකයන් පමණක් නොව, බලයට පත්වූ හා පත්වන්නට නියමිත රාජ්‍ය නායකයන්ද මිලදී ගන්නා ක‍්‍රමයක් ලංකාවේ ක‍්‍රියාත්මක වේ.
ඒ නිසා රටේ පොදු යහපත වෙනුවෙන් ක‍්‍රමයේ වෙනසක් අවංක ලෙස අපේක්ෂා කරන කණ්ඩායමකට හෝ දේශපාලන ව්‍යාපාරයකට මැතිවරණවලට තරග කොට බලය අල්ලා ගැනීමේ හැකියාවක් ඇත්තේම නැති තරම් යැයි කිව හැකිය.
1982 ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් විජේවීර තරග කළේය. එම පක්ෂය, එම මැතිවරණය සඳහා ලොකු වියදමක් දරන ලද අතර එම පක්ෂයට සැලකිය යුතු තරමේ සංවිධානාත්මක බලයක්ද තිබුණි. ශ‍්‍රීලනිප නායිකාවගේ ප‍්‍රජා අයිතිය අහිමිකර තිබීම නිසා ශ‍්‍රීලනිපයෙන් එම ජනාධිපතිවරණයට හෙක්ටර් කොබ්බෑකඩුව තරග කළේය. හෙක්ටර් කොබ්බෑකඩුව සිරිමා බණ්ඩාරනායක තරම් ආකර්ෂණීය නායකයකු නොවූවද ඔහු ඡුන්ද 2,548,438 (39.7%)ක් ලබා ගන්නා විට විජේවීරට ලබාගත හැකිවූයේ ඡුන්ද 273,459ක් (4.19%ක්) පමණය. ජයගන්න බැරි වුවත් ප‍්‍රබල තරගකරුවකු වීම විජේවීරගේ අපේක්ෂාව විය. එහෙත් ඒ අපේක්ෂාව සපුරා ගැනීමට විජේවීර සමත් වූයේ නැත.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව විරුද්ධ පක්ෂය ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයාට එම ජනාධිපතිවරණය ජයගත හැකිවූයේ එජාප එම ඡුන්ද සටනින් ක‍්‍රියාකාරී කොටස්කරුවකු වූ නිසාය. එම වැඩසටහනට එජාපයේ සහාය නොලැබුණේ නම් පොදු අපේක්ෂකයාගේ ඉරණම ඉතා අවාසනාවන්ත වනු නොවැළැක්විය හැකිය.

ක‍්‍රමය වෙනස් කරගැනීම සඳහා තෝරාගත හැකි මග
ඊළඟට පැවැත්වීමට නියමිත මැතිවරණ දෙකේදී (ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තු මැතිවරණය* ක‍්‍රමය වෙනස් කර ගැනීමේ අරමුණින් තරග කරන තුන්වැනි පිරිසට ලොකු ධන බලයක් නැතිනම් ජය ගැනීම කෙසේ වෙතත්, හොඳ තරගකරුවකු වීමේ හැකියාව පවා හිමිකර ගැනීමට හැකිවනු ඇතැයි සිතිය නොහැකිය.
දැන් ලංකාවේ රාජ්‍යය තිබෙන්නේ ශක්තිමත් තත්ත්වයක නොව, කුණුවී බිඳ වැටෙමින් තිබෙන තත්ත්වයකය. සමස්ත රාජ්‍යය ප‍්‍රතිනිර්මාණය කරගත යුතු ඓතිහාසික තත්ත්වයකය.
එම තත්ත්වය ඉදිරියේ ජයගත නොහැකි මැතිවරණවලට ක‍්‍රමයේ වෙනසක් අපේක්ෂා කරන්නන්ද තරග කිරීමෙන් විය හැක්කේ හොඳටම කුණුවී බිඳ වැටෙන තත්ත්වයකට පත්ව තිබෙන, කුණුවී තිබෙන පරණ රාජ්‍යයට අලංකාර හා ගාම්භීර පෙනුමක් ලබාදෙනවාට අතිරේකව පොදු යහපතට හේතුවන ලෙස ක‍්‍රමය වෙනස් කර ගැනීමට උනන්දුවක් දක්වන්නන්ගේ උද්යෝගයද විනාශ කරන සාධකයක් ලෙස ක‍්‍රියා කළ හැකිය.
මගේ මතය වන්නේ ක‍්‍රමය වෙනස් කරගැනීමට උනන්දුවක් දක්වන සියලූදෙනා එළැඹෙන ජනාධිපතිවරණය ක‍්‍රමයේ පැවැත්ම තීරණය කරන තීරණාත්මක ජනමතවිචාරණයක් බවට පත් කරගත යුතු බවය. ඒ සඳහා ඡන්ද පත‍්‍රිකාවට Nota කොටුව මෙම ජනාධිපතිවරණය සඳහා යොදා දෙන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිය හැකි අතර, එසේ නොවෙතොත් ඒ සඳහා තෝරාගත හැකි ඊළඟ ක‍්‍රමය ලෙස සලකා ඡුන්දපොළට ගොස් ඡුන්ද කටුගාන සංවිධානාත්මක වැඩසටහනක් මගින් ක‍්‍රමයට අදාළව පැවැත්වෙන ජනමතවිචාරණයක් බවට හරවා ගත හැකිය.
ක‍්‍රමය පරාජය කරන ජනමතවිචාරණය වෙනුවෙන් වැඩ කිරීම සඳහා මහජන සංවිධාන ඇතුළත් කරගත් ජාතික මධ්‍යස්ථානයක් ඇති කරගත යුතු අතර මහජනයා දැනුවත් කිරීම සඳහා බලවත් ප‍්‍රචාරක වැඩසටහනක්ද ඊට තිබිය යුතුය. සමස්ත වැඩසටහනේ ප‍්‍රධාන අරමුණ විය යුත්තේ මහජනයාට දැනුම ලබාදෙන සමස්ත සමාජ-දේශපාලන ක‍්‍රමයේ ව්‍යුහාත්මක වෙනසක් කරා යා හැකි මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීමය. මහජන ව්‍යවස්ථා සම්පාදනය යන දේශපාලන සංකල්පය ලංකාවේ සාමාන්‍ය ජනයාට පමණක් නොව උගතුන්ටද ආධුනිකය. එය ප‍්‍රචණ්ඩ විප්ලවයකින් තොරව සමාජ දේශපාලන ක‍්‍රමයේ පූර්ණ විපර්යාසයක් ළඟා කර ගැනීම සඳහා හඳුන්වා දී තිබෙන ජාත්‍යන්තර නීතියෙන්ද පිළිගත් රටවල් ගණනාවකම සාර්ථක ලෙස ක‍්‍රියාවට නගා තිබෙන ක‍්‍රමවේදයකි. එය ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන ක‍්‍රියාදාමයට පමණක් කටයුතු සීමා නොකළ, ඊට අතිරේකව සියලූ දේවල් ගැන සොයා බලන්නට අවකාශය ලබාදෙන පුළුල් සමාජ දේශපාලන ක‍්‍රියාදාමයකි. ඒ ගැන ලියවී ඇති විශාල සාහිත්‍යයක් ඇති නිසා ඒ ක‍්‍රමවේදය මේ අවස්ථාවේ විස්තර කරන්නට බලාපොරොත්තුවන්නේ නැත. ඉතාම කෙටියෙන් කියතොත් එය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පමණක් සීමා නොකළ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වැඩි බලයක් මහජනයාට ලබාදෙන, ක‍්‍රියාදාමයේ ආරම්භයේ සිට අවසානය දක්වා කෙරෙන සියලූ කටයුතු මහජනයාට විවෘත, මහජනයාට ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධ විය හැකි මහජන ක‍්‍රියාදාමයක් ලෙස සැලකිය හැකිය.
සමස්ත වැඩසටහනේ අරමුණ විය යුත්තේ නූතන ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම හා රාජ්‍යයේ ගරා හැලීම කෙරෙහි බලපා තිබෙන හේතු හඳුනා ගනිමින් නූතන ජාතිය හා නූතන රාජ්‍යය ප‍්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ හඳුනාගෙන ඒවා ක‍්‍රියාත්මක කිරීමය. එම වැඩසටහන මෙහෙයවන්නා ලෙස ක‍්‍රියා කළයුත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ට අඩු බලයක්ද, මහජන නියෝජිතයන්ට වැඩි බලයක්ද ලැබෙන ආකාරයට ඇති කරගත් මහජන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගිනි.
ඒ මගින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගන්නවාට අතිරේකව
(1) රාජ්‍යයේ ඇතිව තිබෙන පරිහානිය කෙරෙහි බලපා තිබෙන
(අ) දූෂණය ගැන
(ආ) මානව හිමිකම් උල්ලංඝනයන් ගැන
(ඇ) ආයතන ක‍්‍රමයේ ඇතිවී තිබෙන පරිහානිය ගැනද
(2) ජාතිය භේද භින්න කිරීමට බලපා තිබෙන
(අ) කුලභේද ගැන
(ආ) වර්ග භේද ගැන
(ඇ) ආගම් භේද ගැනද
ක‍්‍රමවත් ලෙස කරුණු සොයා බලන තැනකට යායුතුය.

ජනමාධ්‍ය ශීලාචාර කිරීම
ලංකාවට දේශපාලන තලයේ ගැඹුරු පරිවර්තනයක් දිනාගත හැකිවනු ඇත්තේ දේශපාලන පරිවර්තනයකට යන්නට පෙර ලංකාවේ ජනමාධ්‍ය තලයේ රජකරන අශීලාචාර තත්ත්වය වෙනස් කොට ජනමාධ්‍ය ශීලාචාර තත්ත්වයට එනම් ඒවා වෙත පැවරී තිබෙන සමාජ වගකීම් නිසියාකාරව ඉටු කරන තත්ත්වයකට ගැනීමට සමත් වේ නම් පමණය. පළමු කොට ජනමාධ්‍ය වෙනස් කරගත හැකි නම් පොදු යහපත පිණිස අවශ්‍ය කරන සියලූ පරිවර්තන දිනාගැනීම පහසු වනු ඇත. එවිට ඒවා පරිවර්තන අවශ්‍යතාවන්ට බාධා කරන බලවේගයන් වෙනුවට ආධාර කරන බලවේගයන් ලෙස ක‍්‍රියා කරනු ඇත. ලංකාවේ ජනමාධ්‍ය වෙනස් කිරීමේ ඇත්ත හැකියාව ඇත්තේ මහජනයාට පමණමය. එහිදී මහජනයා පළමු ඉලක්කය බවට පත් කරගත යුත්තේ විද්්‍යුත් ජනමාධ්‍යයයි. විද්්‍යුත් ජනමාධ්‍ය පාවිචිච් කරන්නේ මහජනයාට හිමිකමක් ඇති ගුවන් තරංග වන නිසාම පොදු යහපත පිණිස ක‍්‍රියාකිරීමේ වැඩි වගකීමක් ඒවාට තිබෙන අතර ඒවා කෙරෙහි බලපෑමේ අයිතියක්ද මහජනයාට තිබෙන්නේය.
ඒ සඳහා යොදා ගන්නා මහජන වැඩසටහනක් බලහත්කාරී ක‍්‍රියාදාමයක් නොවිය යුතුය. යුක්තිගරුක, නීතිගරුක හා විනයගරුක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාදාමයක් විය යුතුය. විද්‍යුත් ජනමාධ්‍ය ආයතන ඉදිරියට ගොස් උද්ඝෝෂණය නොකළ යුතු අතර රටේ පොදු යහපතට හේතුවන ප‍්‍රතිපත්ති රාමුවකට මාරුවන ලෙස විද්‍යුත් ජනමාධ්‍යයෙන් ඉල්ලා සිටින අතර එසේ කරන තෙක් මහජනයා වශයෙන් තමන්ගේ නිවෙස්වල තිබෙන රූපවාහිනී හා ගුවන්විදුලි යන්ත‍්‍ර වසා තබන ප‍්‍රතිපත්තියක් මහජනයා විසින් අනුගමනය කරනු ඇති බව එම ආයතනවලට දැනුම් දිය යුතුය.
ඒ සඳහා එම ආයතන වෙත මෙවැනි දැනුම්දීමක් ඉදිරිපත් කළ හැකිය.

1. විද්‍යුත් විකාශන ගුවන් තරංග මහජනයාට අයත් සීමිත සම්පතකි. ඒ නිසාම පොදු යහපත වෙනුවෙන් ක‍්‍රියාකිරීමේ විශේෂ වගකීමක් විද්‍යුත් මාධ්‍යවලට තිබෙන අතර ඒ වගකීම එම ආයතන ඉටු නොකරන අවස්ථාවලදී ඒ සඳහා නීතිගරුක ලෙස මැදිහත්වීමේ අයිතියක් මහජනයාට තිබෙන්නේය.

2. මහජනයා වශයෙන් රටේ පොදු සුබ සිද්ධිය සඳහා පහත සඳහන් වෙනස්කම් ඇති කරන ලෙස විද්‍යුත් ජනමාධ්‍යවලින් ඉල්ලා සිටිමු.

3. එම වෙනස්කම් ඇති කරන තෙක් මෙම වැඩසටහනට සම්බන්ධ මහජනයා නිවෙස්වල තිබෙන රූපවාහිනී හා ගුවන්විදුලි යන්ත‍්‍ර වසා තබනු ඇත. එම ක‍්‍රියාව සිදුකෙරෙනු ඇත්තේ සාමකාමී, විනයගරුක හා නීතියට අනුකූලවය.

4. මහජනයාගේ ඉල්ලීම් මෙසේය.

(i) විකාශන කාලයෙන් හරි අඩක් පොදු යහපත අරමුණු කරගත් වැඩසටහන් සඳහා යොදාගත යුතුය.
(ii) ඒවා උසස් ප‍්‍රමිති තත්ත්වයක තිබිය යුතුය.
(iii) ඒ සඳහා විකාශනය කෙරෙන වැඩසටහන්වලට ඇතුළත් කරුණු නිවැරදි අපක්ෂපාත හා මහජන උනන්දුවට හේතුවිය යුතුය.
(iv) මතභේදාත්මක දේවලට අදාළ සංවාද හා වාර්තාකරණයන්හිදී සියලූ වැදගත් දෘෂ්ටි කෝණයන් නරඹන්නන්ට හා අසන්නන්ට දැනගන්නට සැලැස්විය යුතුය.
(v) ලිංගිකත්වය, කුලය, වර්ග හා ආගම් අනුව සමාජයේ පවත්නා බෙදීම් වර්ධනය කිරීමට හෝ ඒවා කවර සමාජ කණ්ඩායමක් කෙරෙහි හෝ අවමානයක්, පිළිකුලක් හෝ ද්වේෂයක් ඇති කිරීමට හේතු නොවිය යුතුය.
5. මහජන සුබ සිද්ධිය යන අදහසට පහත සඳහන් කාරණා ප‍්‍රධාන වශයෙන් අදාළය.
(i) ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම.
(ii) ජාතික ආරක්ෂාව සහතික කිරීම.
(iii) ලිංග, කුල, වර්ග හා ආගම් භේදයන්ට තිබෙන පිළිගැනීම නැති කොට ජාතික සංහිඳියාව හා ඒකාග‍්‍රතාව ආරක්ෂා කොට වර්ධනය කිරීම.
(iv) මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම.
(v)සමාජයේ සත්‍යගරුකභාවය හා බහුත්වවාදය වර්ධනය කිරීම.
(vi) විද්‍යාත්මක දැනුම වර්ධනය කිරීම.
(vii) පරිසරය ආරක්ෂා කිරීම.
(viii) ජන ජීවිතය හා රටේ පැවැත්ම කෙරෙහි බලපාන ප‍්‍රශ්න ගැන සමාජය හා රජය දැනුවත් කිරීම.
(x) රටේ සිදුවන බරපතළ වැරදි ගැන රජය හා සමාජය දැනුවත් කිරීම.

5. ඉහත 4 සහ 5 යන ෙඡ්දවලට ඇතුළත් කාරණා සමස්තයක් වශයෙන් ගෙන මහජනයාටද පිළිගත හැකි ප‍්‍රතිපත්ති රාමුවක් සකස් කරගනිමින් ඒවා මහජනයාගේ දැනගැනීම සඳහා ප‍්‍රසිද්ධ කළ යුතුය. ඒ ඒ ආයතන විසින් ප‍්‍රසිද්ධියට පත් කරන ප‍්‍රතිපත්ති රාමුව මහජනයා විසින් පිළිගන්නේ නම් එම ආයතනයේ නාලිකාවලට එරෙහිව කරන මහජන වර්ජනයද ඒ සමග අවසන් කරනු ඇත.
එවැනි මහජන වැඩසටහනක් සාර්ථක ලෙස ක‍්‍රියාවට නැගිය හැකි නම් විද්‍යුත් මාධ්‍ය ආයතනවල භාවිතය පොදු යහපතට හේතුවන ලෙස වෙනස් කරගත හැකිවනු නොඅනුමානය. එය මහජන සුබ සිද්ධියට පමණක් නොව, විද්‍යුත් ජනමාධ්‍යවල සුබ සිද්ධියටද හේතුවනු ඇති අතර රටේ ඇති කරගත යුතු පරිවර්තන ක‍්‍රියාදාමයද ශක්තිමත් කිරීමට හේතුවනු ඇත.