පොල්පිටිය – පන්නිපිටිය අධිබලැති විදුලි රැහැනේ පැටලුණු මිනිස්සු

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

පොල්පිටිය සිට පන්නිපිටිය දක්වා ඉදිවෙමින් තිබෙන 220KV අධිබලැති විදුලි සම්ප්‍රේෂණ මාර්ගයෙන් ඉදිරියේදී යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ ද මේ වන විට එහි ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් තිබෙන්නේ ඊට අදාළ ඇතැම් නීතිරීති මෙන්ම මානව හිමිකම් ද කඩවන අයුරින් බව රාවයට වාර්තාවේ. ලංකා විදුලිබල මණ්ඩලය එලෙස කටයුතු කරද්දී ඊට එරෙහිව කටයුතු කළ හැකි ආයතන හා බලධාරීන් ද නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා එම ආයතන වෙත පැමිණිලි කර හෙම්බත්වූ ඇතැම් ප්‍රදේශවල වැසියන්ට අධිකරණයේ පිළිසරණ පැතීමට ද සිදුවී තිබේ. ඔවුහු තමන්ට සිදුවන අසාධාරණයන්ට එරෙහිව උද්ඝෝෂණ ද පැවැත්වූවත් නිසි විසඳුම් නොලැබුණු ගම්වාසීහු තවමත් තම අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරමින් සිටිති.

ව්‍යාපෘතියේ අවශ්‍යතාව

2014 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ කි.මී 73.6ක් දිගු වන 220KV අධිබල විදුලි සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය නව පොල්පිටිය හුවමාරු උපපොළේ සිට දැනට පවත්නා පන්නිපිටිය බෙදාහැරීම් උපපොළ දක්වා ඉදිකිරීම, පවත්නා පොල්පිටිය උපපොළේ සිට නව පොල්පිටිය උපපොළ දක්වා කි.මී 1.3 දිග 132KV සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීම, 220KV / 132KV නව පොල්පිටිය හුවමාරු උපපොළ ඉදිකිරීම, 220KV / 132Kv පාදුක්ක හුවමාරු උපපොළ ඉදිකිරීම යන කටයුතු වලින් සමන්විත වන්නකි. දැනට ලක්ෂපාන සංකීර්ණයේ සිට කොළඹ දක්වා ඒකක 132KV ධාරිතාවක් සහිත සම්ප්‍රේෂණ මාර්ග දෙකක් මගින් ද මහවැලි සංකීර්ණයේ සිට කොත්මලේ-බියගම 220KV සම්ප්‍රේෂණ මාර්ගය මගින් කොළඹ ධාරිතාවට අවශ්‍ය මධ්‍යස්ථාන වෙත බල ශක්තිය සපයනු ලබන්නේය. එහෙත් මේවා ඉතා පැරණි මෙන්ම ඉතා බරපතළ අන්දමින් විදුලිබලය ගෙන යාමේ සීමාවන් පවතින බැවින් ලක්ෂපාන සංකීර්ණය හා ප්‍රධාන අවශ්‍යතා මධ්‍යස්ථාන අතර පවත්නා පැරණි මාර්ග දෙක වෙනුවට වැඩි ධාරිතාවක් සහිත සම්බන්ධතාවක් ඇති කිරීම සහ එම පද්ධතියේ විශ්වසනීයත්වය දියුණු කිරීම මෙම ඉදිවන නව ව්‍යාපෘතිය මගින් අපේක්ෂිත බව විදුලිබල මණ්ඩලය(ලං.වි.ම) සඳහන් කරයි. මේවා ජාතික අවශ්‍යතා බව නම් අවිවාදිතය. ඒ නමුත් ගැටලුව වන්නේ එවන් ඉදිකිරීම් සඳහා වන නීතිරීති පිළිපදිමින් හා මානව අයිතිවාසිකම් සුරැකෙන අයුරින් මේවා සිදුවනවා ද එසේත් නැතිනම් මිනිස් අයිතිවාසිකම් නොතකා හරිමින් හිතුමනාපයේ සහ බලහත්කාරයෙන් එම කටයුතු වෙනවාද යන්නය.

බලපෑම් සහ යෝජනා

මෙම ව්‍යාපෘතිය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රථමයෙන් මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් ( IEER ) 2014 වසරේ මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලබා දී තිබුණි. ව්‍යාපෘතිය බස්නාහිර, සබරගමුව හා මධ්‍යම යන පළාත් තුනෙහි නුවරඑළිය, කෑගල්ල, කොළඹ දිස්ත්‍රික්ක හරහා පිළිවෙලින් කි.මී. 43.9, 24.2, 45.5 වශයෙන් සම්ප්‍රේෂණ මාර්ගය දිවෙයි. එම සම්ප්‍රේෂණ මාර්ග රේඛාවේ මධ්‍යයේ සිට මීටර් 100ක ප්‍රදේශය බලපෑම් ඇතිවන ප්‍රදේශය ලෙසත් බෙදාහැරීම් උපපොළ වන මායිමේ සිට මීටර් 300ක් ප්‍රදේශය බලපෑම් ප්‍රදේශය ලෙසත් එම වාර්තාවල සඳහන් කරයි. ජනගහනය හා භූමි වටිනාකම පන්නිපිටිය දෙසට එන විට ඉතා අධිකවන අතර වන රක්ෂිත සහ ජෛව විවිධත්වය අධික ප්‍රදේශ, ජනගහණය අධික ප්‍රදේශ මත බලපෑම් අවම කිරීම සඳහා ප්‍රධාන වශයෙන් රැහැන් මාර්ගය කුඹුරු ඉඩම් හරහා එහි දිගින් 42.83% යොදනු ලැබ ඇති බවත්, 41.69%ක් රබර් වගාවන් ඔස්සේත්, 9.24%ක් ගෙවතු වගා සහ 6.23%ක් පොල්, තේ, පඳුරු හා වගුරු ඔස්සේ යොදන බවත් එම මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවේ සඳහන්ය.
පදිංචි ප්‍රදේශ හෝ පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශ වලින් ගමන් කිරීම නිසා දේපළ වටිනාකම පහළ බැසීම, ඉදිකරන නිවාසවල උස සීමා කිරීමට සිදුවීම, මීටර් 35ක් මංකඩෙහි ගස් ඉවත් කිරීම, ඉදිකිරීම් අවධියේදී සම්ප්‍රේෂණ මාර්ගය නිවාස හෝ කුඩා ඉඩම් වලට ඉහළින් ඉදිවූ පසු වෙළෙඳපොළ වටිනාකම අඩුවීම ආදී බලපෑම් රාශියක් පිළිබදවත් ඒවා ඉතා බරපතළ නමුත් මාර්ගය තේරීමේ දී මෙය සෑහෙන පමණකට අඩුකළ හැකි බව එම වාර්තාව සඳහන් කරයි. සම්ප්‍රේෂණ මාර්ගය නිර්මිත කර ඇත්තේ මීටර් 35ක් පළලින් යුතුව කුඹුරු මතින්, මිනිසුන් පදිංචි නොවූ ස්ථාන ඔස්සේ ගමන් කරවීමට බව ද එහි ඉතා පැහැදිලිව සඳහන්ය. එබැවින් නිවාස හෝ ව්‍යාපෘති ස්ථාන වෙනත් ස්ථාන වලට ගෙනයාමට සිදු නොවන නමුත් යම් සීමාවලට කටයුතු කිරීමට එම ජනයාට සිදුවනු ඇති බව එහි සඳහන් කරයි.

ප්‍රවේශම හා ආරක්ෂාව සම්බන්ධයෙන් එහි සඳහන් කරන්නේ තාක්ෂණික හෝ වෙනත් ආරක්ෂක විධි විධාන කෙසේ යෙදුවත් එය 100%ක් සහතික කළ නොහැක්කේ කුමන හෝ නොසිතන කරුණක් සිදුවීමෙන් කුලුනු, රැහැන් මාර්ග හා උපපොළවල් වලට තදබල හානි ස්වභාවිකව හෝ ඇතිවිය හැකි බැවිනි යනුවෙනි. එමෙන්ම අධිබල විදුලි රැහැන් ආසන්නයේ කටයුතු කිරීමේ දී විදුලිය වැදීම එයට තරමක දුරින් සිටියත් විය හැක්කේ එය කවාකාරව වායු අවකාශයක් හරහා පැමිණිය හැකි බැවින් බවත් ආරක්ෂිත පියවරක් ලෙස කිසිවෙකුත් අධිබල විදුලි රැහැනකට මීටර 4 කට වඩා කිට්ටුවීමට නොසැලැස්විය යුතුය, විදුලි රැහැන් අසල වාහන හෝ ගොවි උපකරණ භාවිත කරන අය ප්‍රවේසම් විය යුතුය, නිවාස පාරවල් හරහා යාමේදී හෝ කුඹුරු වලින් යාමේදී ලංවිම විසින් අවශ්‍ය වන ආරක්ෂිත දුර ප්‍රමාණය තබනු ඇත, සම්ප්‍රේෂණ නිර්මාණයේදී අවශ්‍ය පමණ සුළං ප්‍රමාණයක් දරා සිටීමේ හැකියාව ලබාදී ඇති නමුත් ටෝර්නාඩෝ වැනි උපද්‍රවකාරී කාලගුණ තත්ත්වයන් යටතේ කුලුනු පෙරළීමේ ඉඩකඩ පවතින බවද එවැනි අවස්ථාවක විදුලිබලය ස්වයංක්‍රීයව කපා හැරීමේ ක්‍රමවේදයක් යොදා ඇත්තේ ඒවා පෙරළුණහොත් හෝ අතුවල ගෑවීමත් සමග විසන්ධි වීම සඳහාය ආදී වශයෙන් ද මූලික පරිසර වාර්තාවේ සඳහන් කරනු ලබයි. නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පරතරය තැබීම සඳහා අධික ජනගහනය ඇති ප්‍රදේශවල සම්ප්‍රේෂණ මාර්ගය ඉතා ඉහළින් දැමීම, සම්ප්‍රේෂණ මාර්ගය තම නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන ඉහළින් යාමෙන් තමන්ට තර්ජනයක් ඇතිවුවවත් ජාතික අවශ්‍යතාව වෙනුවෙන් කැප කළ ජනතාව වෙත ඔවුන්ගේ එම කාර්යය අගය කිරීම හා කැපවීම වෙනුවෙන් සහතිකයක් ලබාදීම වැනි දේ ද එහි සඳහන්ය.

ජනගහනය සහිත හෝ පාරිසරික ලෙස සංවේදී ප්‍රදේශ හරහා ගමන් කිරීමට සිදුවීමේ බලපෑම අවම කිරීමට විකල්ප මාර්ග සෙවීම, දිගුකාලීන ඉඩම් පරිහරණ රටාවට හා නිවාස, ගොඩනැගිලි, ගෙවතු හා ආරක්ෂිත/සංවේදී ප්‍රදේශවලට අවම හානිය වන ලෙස රැහැන් මාර්ග තේරීම ආදී ලෙස බලපෑම් අවම කිරීමේ නිර්ණායක ගණනාවක් වාර්තාව ඉදිරිපත් කරයි.

වාසස්ථාන හරහා

නිවාස සහ ගොඩනැගිලි හරහා යාම වැළැක්වීමට විශේෂ අවධානය යොමුකරන බව සඳහන් කරන නමුත් දැන් සිදුවෙමින් පවතින්නේ යෝජිත මාර්ගය වරින් වර සංශෝධනය කරමින් ඇතැම් ප්‍රදේශවල වාසස්ථාන ගණනාවක් මතින් රැහැන් මාර්ගය ගෙනයාමට කටයුතු කරමින් සිටීමය. වාසස්ථාන මගහැරීම වෙනුවට ඇතැම් ස්ථානවල ඉඩම් විකිණීම් සිදුවන ව්‍යාපාරිකයන්ට ඉඩ දීමට නිවාස නොමැති මාර්ග මගහැර නිවාස සහ ඇතැම් රජයේ පාසල්වලට අයත් ඉඩම් හරහා රැහැන් මාර්ගය ඉදිකිරීමේ කටයුතු දැන් සිදුවෙමින් පවතින බවට ප්‍රදේශවාසීහු චෝදනා නගති. හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් මීගොඩ, පිංහේන වැනි ස්ථානවලත් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ඇතැම් ස්ථානවලත් ඒවාට නිදර්ශන වේ. මේවාට හේතු ලෙස ලං.වි.ම සඳහන් කරන්නේ රබර් හා පොල් වතු හරහා යාම මගහැරීම වෙනුවෙන් කුඹුරු හරහා යාමට අපගමනය කිරීම, ගෙවතු සමූහය මගහැරීමට කුඹුරු දිශාවට අපගමනය කිරීම වැනි දේ වුවත් සැබෑවට ඒ ඇතැම් ස්ථානවල සංශෝධනයන් කර තිබෙන්නේ විශාල කුඹුරු හරහා යන අයුරින් සිතියම්ගත කර තිබූ මාර්ගය වෙනස්කර නිවාස සහ කුඩා කුඹුරු හරහා යන අයුරින් ද පෙර වූවාට වඩා මාර්ගය දීර්ඝ වන ලෙසත්ය. එමෙන්ම තවත් සමහර ස්ථානවල අනුමැතිය ගෙන තිබූ මාර්ගය වෙනුවට වෙනත් ලක්ෂ වල කුලුනු සිටුවා පසුව ඊට අනුමැතිය ලබා ගෙන තිබූ අවස්ථාද වේ.

සිදුවන අසාධාරණයන් සහ බලපෑම් හමුවේ ඇතැම් වැසියන්ට සිදුවී තිබුණේ තනිව සටන් කිරීමටය. ඇතැම් ප්‍රදේශවල කණ්ඩායම් ලෙස සටන අරඹා තිබුණි. මාගම්මන අධිබල විදුලි රැහැනින් පීඩාවට පත්වන්නන්ගේ සංගමය මාගම්මන ප්‍රදේශයේ එලෙස අසාධාරණයට ලක්වූ පවුල් 60කගේ එකතුවකි. ඔවුහු තම අත්සන් සහිත ලිපියක් මගින් මෙම ව්‍යාපෘතියට මූල්‍යාධාර සපයන ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයට ද තමන්ට සිදුවන අසාධාරණයන් පිළිබඳ දන්වා තිබූ අතර එම මූලස්ථානයේ සාමාජිකයන් තෙවරක් මෙරටට පැමිණ පරීක්ෂණ පවත්වා ලං.වි.ම, ගම්වැසියන් හා ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිස් සමග සාකච්ඡා පවත්වා තිබුණි.

“2015 මැයි අපේ ඉඩම් උඩින් රැහැන් මාර්ගය යනවා කියලා විදුලි බල මණ්ඩලයෙන් ඇවිත් කීවා. ඒත් රැහැන් මාර්ගය යන්න තිබුණේ මෙහෙන් නෙමෙයි. අපි මේකට විරුද්ධ බව ප්‍රාදේශීය ලේකම්ට දැන්වූවා. පස්සේ උද්ඝෝෂණත් කීපයක් කළා. ලං.වි.ම රැහැන් මාර්ගය යන්නේ කොතැනින්ද කියලා කිසිම තොරතුරක් හරියට අපිට දීලා තිබුණේ නෑ. සමහර අයට තාම දැනුම් දීලා නෑ. මාර්ග අවසරය ඉල්ලලා විතරයි තිබුණේ. ගේ උඩින් යනවා ද නැද්ද කිසිම තොරතුරක් දන්වලා තිබුණේ නෑ. අපි ඒ ගැන විමසුවත් දැන්වූවේ නෑ. කිසිම වන්දියක් නොගෙවා මිනිස්සුන්ගේ ඉඩම් උඩින් මේවා ගෙනියන්නයි හැදුවේ. සමහර අයගෙන් බලහත්කාරයෙන් අත්සන් අරන්. ඒ අය සැරින් සැරේ හොරෙන් ඉඩම්වලට ඇවිත් මැනලා ගියා. මාගම්මන නැගෙනහිර, බටහිර ග්‍රාමනිලධාරී වසම් දෙකම මේකට අයිතියි. ඒ කාලයේ හිටපු විදුලි බල ඇමති පාඨලී චම්පිකට, අගමැතිට, ජනාධිපතිට ඇතුළු බලධාරීන්ට දැන්වුවත් කිසිම විසඳුමක් ලැබුණේ නෑ. පස්සේ අජිත් පී. පෙරේරා අමාත්‍යවරයාගේ කාලයේ දී 2016 ජූලි මාසයේ රැස්වීමකට අපිව කැඳෙව්වා. මාගම්මන, මීගොඩ ප්‍රදේශවල මේ නිසා පීඩාවට පත්වුණු අයත්, ලං.වි.ම, හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරු ඒ රැස්වීමට ආවා. එදාත් වුණේ අපිව රැවටීමයි.” ඒ මාගම්මන ගම්වැසියෙකි.
මාගම්මනට කි.මී 2.5ක් පමණ එපිටින් තිබෙන කටුවාන ප්‍රදේශයේ අඩි 100ක් පමණ පළල් කුඹුරු යායක් මතින් යන බව මුලින් සඳහන් කර තිබූ රැහැන් මාර්ගය මෙලෙස පසුව මීටර් 25ක්වත් පළල් නොවන මාගම්මන කුඹුරු යායකින් යන අයුරින් මාර්ගය වෙනස් කිරීමත් සමග ප්‍රදේශවාසීන් 60 දෙනෙකුගේ ඉඩම් හා නිවාස මතින් යන බව දැන්වීම සමග මේ අර්බුදය පැන නැගී තිබුණි. “අවසාන මාර්ග සිතියම තිබියදී දැන් ඉදිකිරීම කරන්නේ වෙනත් මාර්ගයකයි. දැන් මේ මාර්ගය කලින් යෝජනා වුණ මාර්ගයට වඩා දුරිනුත් වැඩියි, ඒ වගේම මේ මාර්ගය හැරි හැරී යනවා. අපි ඒවා දැනගත්තේ පස්සේයි. අපි ඒ සිතියම් එදා රැස්වීමටත් අරගෙන ගියා. ඇමතිවරයා ඒවා බලලා කීවා මේක වැරදීමක් වෙන්න ඕනෑ, ළඟ පාරකින් යන්න පුළුවන් එකේ මෙහෙම දුර පාරකින් ගියොත් වියදමත් වැඩි වෙනවා, හානියත් වැඩි වෙනවා කියලා. මේක ආපහු මනින්න කියලා නියෝග කළා. අපි මනින්න ඉඩ දුන්නා. ඒත් අනෙක් මාර්ගය මනින්න ඒ පැත්තේ මිනිස්සු ඉඩ දීලා නෑ. ඒ නිසා අවසානයේ මේ මාර්ගය මැන්න නිසා මේක මාර්ගය විධියට ගන්නවා කියලා කියලා තිබුණා. ඇමතිවරයාගේ ගැටයට අපි අහුවුණා.” ගම්වැසියෝ පවසති. එම ප්‍රදේශයේද ව්‍යාපාරිකයන්ගේ විකිණීමට නියමිත ඉඩම් බේරීම වැනි හේතු මත මෙලසෙ අත්තනෝමතික ලෙස මාර්ගය වෙනස් කර ඇතැයි ඔවුහු චෝදනා නගිති.

පනත නොතකා කටයුතු කිරීම

මැනීම් කටයුතු සිදු කළ බැවින් පසුව ලං.වි.ම. විසින් පොලිස් නිලධාරීන්ද සමග පැමිණ ගම්වැසියන් බියවද්දා බලහත්කාරයෙන් කුලුනු ඉදිකිරීම ආරම්භ කළ බවත් බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධව පැමිණිලි කිරීමට හෝමාගම පොලිස් ස්ථානය වෙත ගියද පැමිණිලි භාර නොගෙන ඒ වෙනුවට රජයේ ව්‍යාපෘති වලට විරුද්ධ නොවන ලෙස ඉඩම් හිමියන්ටම තර්ජනය කළ බව ගම්වැසියෝ පවසති. පසුව මිරිහාන පොලීසිය වෙත පැමිණිලි කර එහි මැදිහත්වීමෙන් පසු පැමිණිලි භාරගත් බව ඔවුහු පවසති. “බලහත්කාරයෙන් කටයුතු කිරීමට විරුද්ධව දිසා අධිකරණයෙන් අපි තහනම් නියෝගයක් ඉල්ලුවා. එයින් වාරණයක් ලැබුණා. ඒ වගේම රු. 30000ක වන්දියක් පැමිණිලිකරුවන්ට ගෙවීමටත් ලං.වි.ම. ට නියම වුණා. ඒ අය ඒ සඳහා අභියාචනයක් ඉදිරිපත් කළත් එයත් පරාද වුණා. දැන් ලං.වි.ම ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර තිබෙනවා.” මාගම්මන අධිබල විදුලි රැහැනින් පීඩාවට පත්වන්නන්ගේ සංගමයේ සාමාජිකයන් සඳහන් කරයි. ගම්වැසියන් විසින් මෙම ගැටලු සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට මෙන්ම මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ද පැමිණිලි කර තිබුණි. තවත් සමහර ප්‍රදේශවලද දැන් ඉදිකිරීම් කටයුතු සිදුවන්නේ බලහත්කාරයෙන් පොලීසිය සමග ඉඩම්වලට ඇතුළු වෙමිනි. ඒ අතර එම කටයුතු වලට බලපෑම් කළ බවට ලං.වි.ම. විසින් කළ පැමිණිලි මත ගම්වැසියන් අත්අඩංගුවට ගැනීම් ද වාර්තාවේ. “ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය මත විදුලිබල මණ්ඩලයෙන් මිනිස්සුන්ගේ ඉඩම් වලට ඇවිත් ඉදිකිරීමක් කරනවා. ඒවා නීති විරෝධීයි. ඒ අනුව ඉඩමේ ගස් කපන්න වෙනවා නම්, ඉදිකිරීම් කරන්න සීමා පැනවෙනවා නම්, ඉඩම්වල අගය අඩු වෙනවා නම් මේ ඉඩම් අපිට වැඩක් නෑ. මේ සිවිල් අයිතිවාසිකම් අහිමිවීමක්.” විරෝධතාකරුවෙකු පැවසීය.
ඉඩමක අයිතිකරු විරුද්ධ වන විට මාර්ග අයිතියට පවරා ගැනීමට නම් ගත යුතු ක්‍රියා පටිපාටිය පිළිබඳ 2013 අංක 31 දරන විදුලිබල (සංශෝධන) පනතේ 17 වන වගන්තියෙහි පැහැදිලිව සඳහන් වේ. එහෙත් දැන් සිදුවෙමින් පවතින්නේ එම පනත උල්ලංඝනය කරමින් කටයුතු සිදුකරමින් සිටීමය. පනතට අනුව නම් මාර්ග අවසරයක් ලබා ගැනීමට බලපත්‍රලාභියකු විසින් සියලු සාධාරණ ප්‍රයත්නයන් ගෙන ඒවා අසාර්ථක විට අදාළ ඉඩම පිහිටි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉල්ලුම්පතක් ඉදිරිපත් කළ යුතු අතර ඉන් සති හයක් ඇතුළත ඉඩම් හිමියාට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී පරීක්ෂණයක් පවත්වා කොන්දේසිවලට යටත්ව මාර්ග අවසරය ලබාදීමට හෝ නොදීමට තීරණය කළ හැකිය. මාර්ග අවසරය ලබා දේ නම් බලපත්‍රලාභියා ඉල්ලුම්පත ඉදිරිපත් කළ සති හයක් තුළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තම නිර්දේශය මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ද දැන්විය යුතුය. එම නිර්දේශය සම්බන්ධයෙන් කොමිෂන් සභාව සෑහීමකට පත්වේ නම් පනතේ සඳහන් ඉදිරි ක්‍රියාපිළිවෙල අනුගමනය කළ යුතුය.

එහෙත් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් හිමියන් කැමැත්ත පළ නොකරමින් සිටියදී සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ව්‍යාපෘති කළමනාකරු වෙත ලිඛිතව දන්වා තිබුණේ විෂයගත ස්ථානයේදී ස්ථානීය පරීක්ෂණය සිදුකළ බවත් එහි නිර්දේශ ලෙස ඉඩම් හරහා විදුලි රැහැන් මාර්ගය ගමන් කර ඉඩම්වල හිමිකරුවන්ට අවම හානි සිදුවන ලෙස යෝජිත ආකාරයට විදුලි රැහැන් මාර්ගය ස්ථාපිත කරන ලෙසය. එසේම විදුලි රැහන් මාර්ගය ස්ථාපනය කිරීම නිසා ඉඩම්වල වටිනාකම අඩුවීම වෙනුවෙන් හා ගස් කපා දැමීමට සිදුවීම නිසා වන අලාභය වෙනුවෙන් සුදුසු වන්දි මුදලක් ඉඩම් හිමියන් වෙත ගෙවීමටය. විදුලිබල පනතට අනුව නිවසක් සහිත ඉඩමක් මාර්ග අවසරයට පවරා ගැනීමට ද නොහැක. මෙවැනි නිර්ණායක ඉදිරිපත් කිරීමට පෙර ප්‍රාදේශීය ලේකම් විසින් විරෝධතාකරුවන් සඳහා විරෝධතා පරීක්ෂණයක් ද ලබා දී තිබුණේ නැත. මේ සම්බන්ධයෙන් විරෝධතාකරුවන් මහජන උපයෝගිතා කොමිසමට ද දන්වා ඇති අතර ප්‍රාදේශීය ලේකම් විසින් ව්‍යාපෘති කළමනාකරු වෙත ලිඛිතව දන්වා ඇත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව තමන්ගේ තීරණයට මැදිහත් වීමට නොහැකි බව දන්වා ඇති බවත් ඒ නමුත් විරෝධතාකරුවන්ට සිදුවන අහිතකර බලපෑම හේතුවෙන් පෙර තීරණය සංශෝධනය කිරීමට තීරණය කළ බවය. ඒ අනුව විරෝධතාකරුවන්ගේ නිවෙස්වලට හානියක් නොවන පරිදි ඔවුන් විසින් යෝජනා කර ඇති විකල්ප මාර්ගය තෝරාගැනීම වඩා සුදුසු බව ප්‍රාදේශීය ලේකම්වරිය විසින් දන්වා තිබේ. නැවත කැස්බෑව ප්‍රා.ලේ. ලිඛිතව විරෝධතාකරුවන්ට දන්වන්නේ තමන් යොමු කළ ලිපියේ කරුණුවලට විදුලි බල මණ්ඩලය විසින් විරෝධතාව පළ කරන බවත් එබැවින් අවසන් නිගමනයකට එළැඹීමේ සාකච්ඡාවකට දෙපාර්ශ්වයම කැඳවන බවය. විරෝධතාකරුවන් අවස්ථා කීපයක්ම මහජන උපයෝගිතා කොමිසම වෙත දන්වා තිබුණේ මෙම ව්‍යාපෘතිය නීතියට පටහැනි අයුරින් සිදුවන බවත් සියලු පාර්ශ්වයන් කැදවා පරීක්ෂණයක් පවත්වන ලෙසය. එමෙන්ම තම නිවාස පිහිටි ඉඩම් මාර්ග අවසරය සඳහා කොමිෂන් සභාවට නිර්දේශ කර තිබේද යන්න පිළිබද විමසා සිටියදී කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබුණේ එවැනි නිර්දේශයක් ප්‍රාදේශීය ලේකම් විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර නොමැති බවය. නීති විරෝධී අයුරින් රැහැන් මාර්ගය ඉදිකිරීම් කටයුතු සිදුකරමින් තිබීම සම්බන්ධවත් ප්‍රාදේශීය ලේකම්වරු විසින් පක්ෂපාතී සහ අසාධාරණ නිර්දේශයන් ඉදිරිපත් කරන බවටත් දිගින් දිගටම මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ද දැන්වුව ද මේ සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් ඔවුන් ද නොකරන බවට විරෝධතාකරුවෝ චෝදනා නගති. ඔවුන්ගේ අදහස වූයේ විදුලිබල පනත ද උල්ලංඝනය කරමින් ලං.වි.ම කටයුතු කරද්දී ප්‍රාදේශීය ලේකම් වෙතම බලය පවරා උපයෝගීතා කොමිෂන් සභාව ද කර අරින බවය.

කොමිෂන් සභාවේ වගකීම

මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පාරිභෝගික කටයුතු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යසන්ත රතුවිතාන මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ, මෙම රැහැන් මාර්ගය සම්බන්ධව පැමිණිලි රාශියක් කොමිෂන් සභාවට ලැබී තිබෙන බවය. එමෙන්ම මෙම කටයුතු සම්බන්ධයෙන් විදුලිබල පනත අනුව කටයුතු සිදුවනවාද යන්න පිළිබද සොයා බැලීම කොමිෂන් සභාවේ වගකීමක් බව ද ඔහු සඳහන් කරන්නේය. “විදුලිබල පනතට අනුව ප්‍රාදේශීය ලේකම් තීරණය කරන්න ඕනෑ, රැහැන් මාර්ගයට විරෝධතා දක්වන පාර්ශ්වකරුවන් ඉන්නවා නම් ඒ සෑම දෙනාටම සාධාරණ ඇහුම්කම් දීමක් සිදුකර ඒ සම්බන්ධව තීරණය ලබා දීමට කටයුතු කළ යුතුයි. ඒ කටයුතු නිසි ලෙස සිදුවුණාද කියන දේ සොයා බැලීම කොමිෂන් සභාවේ වගකීමයි. විදුලිබල මණ්ඩලය කළ යුතු වන්නේ ප්‍රාදේශීය ලේකම් ලබා දෙන තීරණය අනුව කටයුතු කිරීමයි. මහජන උපයෝගීතා කොමිෂන් සභාවට තිබෙන්නේ මේ නීතිමය තත්ත්වය පැහැදිලි කිරීමේ බලය මිස වෙනත් තීරණයක් ගැනීමේ බලයක් පනත අනුව ලැබිලා නැහැ. පනත අනුව ඒ බලතල සම්පූර්ණයෙන් ලබා දී තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම්ටයි. එහෙම පැවරූ බලයකට කොමිෂන් සභාවට ඇඟිලි ගහන්න පුළුවන්කමක් නැහැ.” නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය. එහෙත් පනතට අනුව ඒ සම්බන්ධ අධිකාරී බලය පවතින්නේ කොමිෂන් සභාව සතුව වුවත් ඇතිව තිබෙන තත්ත්වය හමුවේ කොමිෂන් සභාවේ නිසි මැදිහත්වීම සිදුව නොමැති බවත් පනත අනුව කොමිෂන් සභාවට හිමි බලතල අනුව කටයුතු කිරීම සිදුව නැති බවත් පැහැදිලිවේ.

“පනතට අනුව විදුලිබල මණ්ඩලයට බලහත්කාරයෙන් රැහැන් මාර්ග අදින්න යන්න බැහැ. විරෝධතා දක්වන පාර්ශ්වකරුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන්ම ප්‍රාදේශීය ලේකම් පවත්වන පරීක්ෂණයකට අනුව ඔහුගේ තීරණය අනුව ක්‍රියා කරන්න ඕනෑ. ඒ හැර වෙනත් ක්‍රමවේදයකට විදුලිබල මණ්ඩලයට රැහැන් ඉදිකරන්න බැහැ. ප්‍රාදේශීය ලේකම් ලබාදෙන තීරණයක් ක්‍රියාත්මක කිරීමට යෑමේදී යම් යම් පාර්ශ්වවලින් අවහිරතා එල්ල වෙනවා නම් එවැනි අවස්ථාවකදී පොලිස් ආරක්ෂාව ඉල්ලිය හැකියි. අවසර ගන්නේ නැතිව රැහැන් ඉදිකරලා තිබෙනවා නම් හෝ කොන්දේසි කඩකර කටයුතු කර තිබෙනවා නම් එවැනි කණු ඉවත් කිරීමට අදාළ ක්‍රමවේද ඇතුළත් කර මාර්ගෝපදේශයක් සකස් කර තිබෙනවා. සමහර ප්‍රදේශවල ඒ අනුව කටයුතු කරලා තියනවා. නමුත් සමහර තැන්වල මේ ප්‍රශ්නය තියනවා වෙන්න පුළුවන්. අපිට පැමිණිලි ලැබෙන්නේත් එවැනි තැන්වලින්. ඒවාට අනුව බලපත්‍රලාභියාට අවශ්‍ය උපදෙස් කොමිෂන් සභාව ලබාදීලයි තියෙන්නේ. ඒවා බලපත්‍රලාභියා පිළිපැදිය යුතුයි.” නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය සිදුවෙමින් තිබෙන්නේ පවතින නීතිරීතිවලට අනුකූලව නොවන බව පැහැදිලිය. ඉන් පීඩාවට පත් වන ජනයාට දැන් කිසිදු පිළිසරණක් නොමැති තත්ත්වයකට පත්ව තිබේ. තමන් දීර්ඝ කාලයක් පුරා වෙහෙසවී ගොඩනගා ගත් නිවාස හා දේපොළ මතින් ගමන් කිරීමට යන මෙම අධිබල විදුලි ව්‍යාපෘතියත්, ඒ ඉදිකිරීමට සිදුකරමින් සිටින බලහත්කාරකම් ද හේතුවෙන් ඔවුහු දැඩි ලෙස මානසික පීඩනයන්ට පත්ව තිබෙන බව ද පැහැදිලිය. එමෙන්ම අධිබලැති විදුලි රැහැන් වලින් අධිබලැති විද්‍යුත් කිරණ නිකුත් වන අතර ඒවා මිනිසාගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බවත් පිළිකා, ස්නායු රෝග, ජානගත රෝග, ගබ්සාව ආදී බරපතළ මෙන්ම දීර්ඝකාලීන සහ කෙටිකාලීන රෝග ඇති කළ හැකි බවට ඔවුන් තුළ බියක් පවතී. මේවා සම්බන්ධ නිසි අවබෝධයක් ලබාදීම ද අදාළ බලධාරීන්ගේ වගකීම වන අතර ඒ සියල්ලටම ඉහළින් එම මිනිසුන්ගේ අයිතිවාසිකම් අහිමි නොවන ලෙසත් නීත්‍යනුකූල ලෙසත් කටයුතු කිරීමට වගබලාගත යුතුව තිබේ.