උන්ගේ සුදු ජූලිය හා අපේ මළ ජූලිය

විමලනාත් වීරරත්න

වර්තමාන ආණ්ඩුව යනු වසර හතර හමාරක් ඇවෑමෙන් හොඳ පණ ගිය ආණ්ඩුවක් බවට පත්වූවකි. ඉස්ම ගොස් රොඩු බොඩු අතරින් හිස පොවා ජූලි පළමුවැනිදා සිට ආණ්ඩුව කියනුයේ අද සිට සුදු ජූලිය පටන් ගත් බවය. බැඳුම්කර වංචාවේ සිටම ඔවුන් ප්‍රකට කළේ තමන් කළු ආණ්ඩුවක් බවය. ජූලි ගණනාවක් පසුකර විත් අවසාන ජූලිය වන විට මෙතැන් සිට ජූලිය සුදු පැහැ යැයි ඔවුහු කියති. එහෙත් ආණ්ඩුවේ නායකයන්ගේ දුර්වර්ණ බව නම් මකනු නොහැකිය. ජනතාව අන් කවරදාටත් වඩා මේ ආණ්ඩුවල සුදු ජූලිය බඳු අල්ලස් කෙළි ගැන අවබෝධයක් ලබාගෙන ඇත. යමක් කඩා වඩා ගතහැකි අවස්ථාවේ දේශපාලනඥයන් සේ ම එම ස්ථාවරය දැරීමට ඇතැම්හු ඉකුත් සමයේ ක්‍රියා කළහ. මේ වනවිට එකී කල දුටු කල වළ ඉහගන්නා ස්ථාවරයෙන්ද මිදී ඇති ජනයා දෙසිය විසිපහම ගෙදර යායුතු බව කියති. එම සිතුවිල්ල සිල්ලර අරුතකින් නොව සමාජ සාධාරණ අරුතකින් සංවර්ධනය විය යුත්තකි.

සුදු ජූලිය

ආණ්ඩුව කියන්නේ ජූලි පළමුවැනිදායින් ඇරඹෙන ජූලිය සුදු ජූලිය බවයි. එනම් ජනතාවට සහන හා වරප්‍රසාද ලැබෙන කාලයකි. අප ඇසිය යුත්තේ මහජනයාට සහන හා වරප්‍රසාද දීමට ආණ්ඩුව රොඩු බොඩු ආණ්ඩුවක් බවට පත්වන තුරු සිටියේ මන්ද යන ප්‍රශ්නයයි. මේවා කරනුයේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ඉලක්ක කරගන බව නොරහසකි. අගමැති බේගල් මුත්තාටත් වඩා බොරු කියන, වැඩ නොකරන, රස්තියාදු ගහන අගමැති කෙනෙක් බව ඉකුත් වසර හතර හමාර තුළ තෙමේම ඔප්පු කොට පෙන්වීය. සමෘද්ධි සහනාධාරය මගින් රටෙහි දුප්පත්කම නැති කළ නොහැකි බව ඔහු අන් සියල්ලන්ටම වඩා දනී. එහෙත් ලක්ෂ 15කට ලැබුණු සමෘද්ධි සහනාධාරයට ඔහු තවත් ලක්ෂ හයක් එක් කළේය. අනතුරුව ඔහු කියන්නේ වසර 21ක් තිස්සේ මගහැර සිටි දුප්පතුන්ටත් තම රජය සමෘද්ධි ලබා දුන් බවය.

රටේ ආර්ථිකය බිංදුවට වැටී ඇත. ලක්ෂ හයකට සමෘද්ධි ලබාදීමේ උත්සව පැවැත්වීමට පමණක් කෝටි ගණනක් වැය කෙරෙමින් තිබේ. සියලු වැය කිරීම් අතර ලංකාව බඩගින්නේ දරුවන් මියයන රටක් ලෙස ඉතිහාසයට එක්වී හමාරය. ඇත්තටම සුදු ජූලිය පටන් ගැනීමට තිබුණේ 2015දීය. අප කියන්නේ ඉවක් බවක් නැතුව ඡන්ද අරමුණු කරගෙන දෙන ජාතියේ සහන ජනතාවට දෙන්නට නොවේ. සහන දෙන හිඟන ආර්ථික ක්‍රමයක් වෙනුවට ජනතාව ස්වශක්තියෙන් හරිහම්බ කරගෙන කන බොන ක්‍රමයක් හැදිය යුතු බවය. ඒ සඳහා රටට ව්‍යාජ සහන වැඩපිළිවෙළක් වෙනුවට ඇත්ත ආර්ථික වැඩපිළිවෙළක් අවශ්‍යය. සංවර්ධන වැඩපිළිවෙළක් රහිතව හිඟන්නන්ට බත් බෙදන ආකාරයේ වැඩසටහන් පමණක්ම ලංකාව විටින් විට ක්‍රියාත්මක කරමින් සිටීම ඛේදජනකය. එය අනාගතවාදී අරුතකින් අදූරදර්ශීය.

රාජ්‍ය සේවකයෝ මෙම ක්‍රියාවලියෙහි මෙවරත් තුරුම්පු ආසියා බවට පත්ව සිටිති. රාජ්‍ය සේවක වැටුප් වසර 5ක් තුළ දෙගුණයකින් වැඩි කළ බව මුදල් ඇමති කියයි. රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 15කි. රාජ්‍ය සේවය තවදුරටත් කාර්යක්ෂම කිරීම හා ඵලදායී කිරීම ගැන ආණ්ඩුව සිතා බලා තිබේද? රාජ්‍ය සේවය උදාසීන වී නැද්ද? සංවර්ධන නිලධාරීන් වැනි තනතුරු දේශපාලන කටයුතුවලට යොදා නොගැනේද? රාජ්‍ය සේවක පඩි නඩි වැඩි කිරීමේ අරමුණ එම පවුල්වල ඡන්ද ලබාගැනීමය. රාජ්‍ය සේවයට අල්ලස් දෙනවාට වඩා රාජ්‍ය සේවය විධිමත් කිරීමෙන් මීට වඩා රාජ්‍ය සේවයේ හෘදය සාක්ෂ්‍යයක් ඇති මිනිසුන් ගොඩනගා ගතහැකිය. වැටුප් වැඩි කර ආණ්ඩුව වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ගේ අනුමැතිය ගැනීමට යත්න දැරීම යනු ඔවුන් රාජ්‍ය සේවයේ වැදගත් අරමුණුවලින් බැහැර කර හුදු වරදානවලට පුරුදු කිරීමකි. මේ වරද සෑම ආණ්ඩුවක්ම කළේය. රාජ්‍ය සේවකයා ඒ කාගේත් තුරුම්පුව වූයේය.

සංචාරක ක්ෂේත්‍රයේ සුළු පරිමාණ ව්‍යවසායකයන්ට සුදු ජූලිය යටතේ පොලී රහිතව රුපියල් ලක්ෂ 5ක් ලබාදෙන බව කියයි. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සංචාරක කර්මාන්තය යම් පමණකට නැග ආවේය. එහෙත් දැන් මසට ඇති කළ කුකුළන් මරා වළ දමන තත්ත්වයකට කුකුළු ගොවීහු පත්ව සිටිති. ඒ හෝටල් ක්ෂේත්‍රය තුළ මස් සඳහා ඉල්ලුමක් නොමැතිවීමෙනි. සීගිරිය, දඹුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, ගාල්ල ආදී සංචාරක ව්‍යාපාරය පිරිපුන්ව කැරුණු ප්‍රදේශවල සංචාරක කර්මාන්තය 70%කින් කඩා වැටී තිබේ. සුදු ජූලිය මගින් සංචාරක කර්මාන්තය තුළ සිටින කුඩා පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කරන අතරම සංචාරක ව්‍යාපාරය කඩා වැටීමේ මූලයටද පිළියම් කළ යුතුය. තුවාලය ඇති තැනට බෙහෙත් නොකොට එය අතරමගින් පිළිසකර කළ හැකිද?

සුදු ජූලිය ඔස්සේ විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් ආණ්ඩුව තවත් පොටක් පාදාගෙන තිබේ. එයත් තුරුම්පු කොළයක් පෙරළීමක් බව පෙනේ. මේ වනවිට විශ්‍රාමික රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ පහමාරකි. ඔවුන්ට අවම රු. 2800 සිට 20,000 දක්වා වැටුප් වැඩි කරන බවට පොරොන්දුවක් දීමෙන් විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ කැමැත්ත ආණ්ඩුව වෙත දිනා ගැනීමට යත්න දරමින් තිබේ. මේ සඳහා මුදල් අයවැයෙන් වෙන් කිරීමට සිදුවන නිසා තවත් වැදගත් ක්ෂේත්‍රයකට වැය කළයුතු මුදල් කප්පාදු කිරීමට සිදුවෙයි. නිදසුනක් ලෙස සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ හා නිර්මාණ සඳහා කරන වැය කිරීම් නතර කිරීමට යෝජනා වී ඇත. තවදුරටත් සංස්කෘතික හා අධ්‍යාපන විෂයයන්ට අදාළ වැය ශීර්ෂ කප්පාදු විය හැකිය. කොහොමටත් විවිධ අධ්‍යයන ක්ෂේත්‍රයන්හි පර්යේෂණ සඳහා අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කෙරෙන්නේම නැත. අධ්‍යාපනයට 6% ඉල්ලීම් කිසිදාක නොලැබෙන අතර ආණ්ඩුවේ නිරර්ථක උත්සවවලට කරන වැය අවම කළ හැකි නම් එම මුදලින් 6%ක් නැතත්, තවත් බහුවිධ අධ්‍යයන අවස්ථා විවර කර දිය හැකිය. අධ්‍යාපන ඇමති දිවුරා කියන්නේ තම ඡායාරූපය පෙළපොත්වල අලුතින් මුද්‍රණය කරන්නට නොකී බවය. ඒ වග කෙසේ වුවත්, මේවා ලංකාව වැනි දුප්පත් රටක නොකළ යුතු තිරස්චීන වැඩ බව ඇමතිවරු පිළිගත යුත්තෝය. පාසල් යාමට ගවුමක් නැති, උදෑසන කහට කෝප්පය බී පාසල් යන දරුවන් සිටින රටක නින්දිත ආකාරයෙන් මහජන මුදල් වැය කරන ඇමතිවරු බුදු දහමට අනුව නම් ලබන ආත්මයේ ඉපදෙන්නේ ගව්වක් උස ඉඳිකටු මලක ප්‍රමාණයේ මුඛයක් ඇති පුද්ගලයන් ලෙසටය.

සුදු ජූලියේදී මැතිවරණ ඉලක්ක කරගත් බාල වර්ගයේ සුබ සාධන මිස, ආණ්ඩුව ආර්ථික දර්ශනයක් සහිත සංවර්ධන ඉලක්ක සපිරි වැඩසටහනක් යෝජනා කර නැත. ඒ වෙනුවට තිරසාර ආර්ථික සංවර්ධන මාවතක් පාදා ගතහොත් ඡන්ද ඉලක්ක කර ගැනීමේ වැඩසටහන වුව මීට වඩා සාර්ථකව කළ හැකිය. රටට අවශ්‍ය මුදල් හම්බ කර වියදම් කරන ක්‍රමයකි. ණයට ගෙන මඟුල් කන ක්‍රමයක් නොවේ. ඉන් රට තවත් අගාධයට යෑම නොවැළැක්විය හැකිය.

පුදුම කරුණාව

සුදු ජූලිය යටතේ තොරණ නිර්මාණ ශිල්පීන්ට හා සංගීත කණ්ඩායම්වලට රුපියල් ලක්ෂ පහක ණය සහන හිමිවේ. පාස්කුදා ප්‍රහාරය නිසා තොරණ නිර්මාණ ශිල්පීහු ඉකුත් වෙසඟෙහි අමාරුවේ වැටුණෝය. එහෙත් සංගීත සංදර්ශන නොමැතිවීම නිසා සංගීත ශිල්පීන්ගේ ආදායම අඩුවීම මිස වෙනත් ප්‍රශ්නයක් වූයේ නැත. මෙම ණයෙහි පොලියෙන් රජය හතරෙන් තුනක්ම ගෙවන බව කියයි. ණයකරුවන් ගෙවිය යුතු වන්නේ 3.46%ක පොලියක් පමණි. වේදිකා නාට්‍ය දර්ශන නොපෙන්වීම නිසා ඔවුන්ට සිදුවූ පාඩුව රජයට අමතක වී තිබේ. එහෙම බලාගෙන ගියහොත් පාස්කු දා ප්‍රහාරය රටෙහි සෑම පුරවැසියකුටම, වෘත්තියක නියැලෙන්නකුටම බලපෑවේය. එබැවින් ප්‍රශ්නවලට විසඳුම් අවශ්‍යවන්නේ සංගීත කණ්ඩායම්වලට හෝ නාට්‍ය කණ්ඩායම්වලට පමණක් නොවේ. උද්ගතවූ තත්ත්වය නිසා රටෙහි ඇතිවූ ව්‍යාකූලත්වය සමනය කරදීමට රජය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ යුතුය. ආණ්ඩුවත් සහරාන්ගේ පිල නියෝජනය කරන බවට කැරෙන නරක චෝදනා චෝදකයන්ගේ මෙන්ම ඊට නැමියාවක් දක්වන අයතේ සිත් තුළින් ඉවත් කරන තත්ත්වයක් ආණ්ඩුව ඇති කරගත යුතුය. ඒ සඳහා මීට වගකිවයුත්තන්ට නීතිප්‍රකාරව දඬුවම් කරන අතරම ජාතීන් අතර ඇතිවූ මතභේදය සමනය කරදීමට මගක් සෙවිය යුතුය. දෙමළ සතුරා වෙනුවට මුස්ලිම් සතුරකු නඩත්තු කිරීමට මෙතැන් සිට පාලකයෝ හා සිංහල ජනතාව සූදානම් නොවිය යුතුය. එමෙන්ම ස්වීප් ටිකට් දිනුම් ඇදීම පිළිබඳ රූපවාහිනී දැන්වීම්වල ආකාරයට රටේ එක් එක් ක්ෂේත්‍රවල බොරු බලාපොරොත්තුවලින් ප්‍රශ්න විසඳීම සිදු නොකර ජනයාගේ ඇත්ත සමෘද්ධිය උදාකරන්නේ කෙසේද යන්න ගැන ආණ්ඩුව කල්පනා කළ යුතුය. සුදු ජූලිය මගින් ලොතරැයි සිහිනයට වඩා වැඩි දෙයක් රටට හා ජනයාට ශේෂ නොකරයි. එසේ කීමට සිදුවන්නේ ජනයා මුලා කරන තුට්ටු දෙකේ සහන මිස ආර්ථික සංවර්ධනයට මගක් සුදු ජූලියෙහි නැති නිසාය.

ක්‍රිස්තුස් වහන්සේ සිය ප්‍රධාන ගෝලයන්ගෙන් කෙනකු වන පේදුරුට වෙරළේදී අවධාරණය කළේ මාළු ලැබෙන තුරු බලා නොඉඳ මාළු අල්ලන සැටි ඉගෙන ගැනීමේ වැදගත්කමය. ජනපති හා අගමැති මේ දිනවල ජනතාවට මාළු දෙති. එහෙත් ඒ කිසිවෙක් ජනතාවටත් මාළු අල්ලන්නට හැකි වැඩසටහනක් සම්පාදනය කර නොදෙති. ඒ කෛරාටික ව්‍රතය අනාගත නායක සිහිනය තිබෙන අය පවා කිසිදු හිරිකිතයකින් තොරව නඩත්තු කරනුයේ බලයට පැමිණීමේ හා බලය රඳවා ගැනීමේ නියත මත මේ හිඟන ක්‍රමය පවත්වාගෙන යාම ලෙස පෙනෙන බැවිනි. ඇත්තටම මේ හිඟන ක්‍රමය වෙනුවට පොහොසත් ක්‍රමයක් ළඟාකර ගතහැකි නම් සුදු ජූලිය බඳු ව්‍යාජ වැඩසටහන් වුවමනා නැත.