තවත් නීති පැනවීමෙන් පමණක් සියල්ලන්ට පොදු නීතියක් ඇති කළ හැකි ද?

මහින්ද හත්තක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාස්කු ඉරිදා සිද්ධියෙන් පසු හට ගත් තත්ත්වය යටතේ (මුස්ලිම්) ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින් රටේ සියලු දෙනාටම බල පැවැත්වෙන පොදු නීතියක් ක්‍රියාත්මක වියයුතු යැයි අවධාරණය කළ බව විවිධ ජනමාධ්‍යවල පළවිය. ප්‍රකාශයක් වශයෙන් වැදගත් වුවත් මින් මතුවෙන බරපතළම කාරණය වන්නේ මෙතෙක් රටේ පැවති නීතිය සියල්ලන්ටම පොදු ආකාරයට ක්‍රියාත්මක වීමට කිසියම් ප්‍රතිපත්තිමය හෝ නීතිමය බාධාවක් පැවතියේ ද යන්නයි. සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් සියල්ලන් නීතිය ඉදිරියේ සමානය. ඉන් අදහස් වන්නේ සියල්ලන්ටම නීතිය එකසේ බලපැවැත්වෙන බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සකස් කළ ජාතික වැඩපිළිවෙළ අනුව මේ දක්වා නීතිය පොදුවේ සියලු දෙනාටම එකසේ ක්‍රියාත්මක වී නැත. තව්හිද් ජමාද් ත්‍රස්තවාදය පැන නැගීමට හේතුවක් වී ඇත්තේ නීතිය පොදුව ක්‍රියාත්මක නොවීම නිසා බව ද ඉන් අදහස් වේ. එම නිසා ඉදිරියේ දී එවැනි සංවිධාන මර්දනය කිරීමට මෙතෙක් නොපැවති ආකාරයට පොදුවේ ක්‍රියාත්මක වන නීති සම්මත කර ගත යුතුය. ඇත්තෙන්ම වෙනස් කොට සැලකීම මානව අයිතිවාසිකම් උල්ලංඝනයක් ද වන නිසා එම තත්ත්වය නිවැරදි කිරීමට කඩිනම් පියවර ගැනීම රටක් වශයෙන් අපට ඉතාමත් වැදගත් ය.

දයාසිරි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඔහු තම බල ප්‍රදේශය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ හැසිරී ඇති ආකාරයෙන් පැහැදිලි වන්නේ මේ රටේ මුස්ලිම් ප්‍රජාවට රටේ සාමාන්‍යයෙන් බලපවත්වන නීති අදාළ නොවීමත් ඔවුන්ට සීමා වූ වෙනත් නීති පැවතීමත් සාමයට බලවත් තර්ජනයක්වීමය. ඔහු ප්‍රකාශ කළ ආකාරයට සමහර මුස්ලිම් ගම්මාන හදිසි නීතිය යටතේ ආරක්ෂක හමුදාවල පරීක්ෂණයට ලක් නොවීමෙන් අවට සිංහල (බෞද්ධ) වැසියන් සිටියේ දැඩි බියෙනි. එම ප්‍රදේශයේ ජනතාව මුස්ලිම් ප්‍රජාවේ ගෙවල් දොරවල් සහ කඩ සාප්පු ගිනිබත් කෙළේ ද එම බිය නිසාය. මෙම භීතිය කෙතරම් උග්‍ර වූයේ ද යත් පොලිස් අත්අඩංගුවේ සිටි පිරිසක් ඉන් නිදහස් කරගෙන ප්‍රවාහනය කිරීමේ වගකීම පැවරුණේ ද දයාසිරි මන්ත්‍රීවරයාටය. එම නිසා කාටත් පොදු නීතියක් ක්‍රියාත්මක වන වාතාවරණයක් සකස් කිරීම විශේෂයෙන්ම එම මන්ත්‍රීවරයාට ද අදාළ ප්‍රශ්නයකි.

අනිත් අතට මුස්ලිම් කාන්තාවන් මුළු සිරුරම ආවරණය වන ආකාරයට අබායා හෝ වෙනත් නමකින් හැඳින්වෙන ඇඳුමක් ඇඳීම ද ආරක්ෂාවට තර්ජනයකි. ඒ ඔවුන්ට බෝම්බ හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍ය සඟවා ගෙන යා හැකි නිසාය. සිරුරම වැසෙන ආකාරයේ ඇඳුමක් ඇඳීම නිසා ඔවුන් පහසුවෙන්ම මුස්ලිම් ප්‍රජාවට අයත් බව තහවුරු කර ගත හැකි නමුත් ස්වරූපය දැනගත නොහැකිවීම ප්‍රමාණවත් ආරක්ෂාවත් තහවුරු කිරීමට බාධාවකි. සමහරවිට මෙම කාන්තාවන්ගේ පුද්ගල හැඳුනුම්පත පමණක් ඔවුන් හඳුනා ගැනීමට ප්‍රමාණවත් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සැලසුම්කරුවන් සිතනවා විය හැකිය.

කෙසේ වුවත් මුස්ලිම් කාන්තාවන් මුළු සිරුම ආවරණය වන ආකාරයට ඇඳුමක් ඇඳීම ආරක්ෂාවට තර්ජනයක්ව ඇත්තේ මුස්ලිම් විරෝධයක් පවතින රටවලවීම වැදගත් ය. ලංකාවේ අබායා ඇඳුම තහනම් කිරීමට පියවර ගැනීම අසල්වැසි ඉන්දියාවේ හින්දු ආගමික අන්තවාදී කොටස් අතර වැදගත් ප්‍රවෘත්තියක් වූයේ එම නිසා ය. ඉන්දියාවේ ද මෙම ඇඳුම තහනම් කිරීමේ සූදානමක් තිබුණ ද මුස්ලිම් ප්‍රජාවේත් වෙනත් මැදිහත් ජන කොටස්වලත් විරෝධය නිසා එය තවම ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. නව ජනවරමක් ලත් මෝදි පාලනය යටතේ එවැනි තහනමක් පැනවීමට ක්‍රියා කරනු ඇතැයි සිතිය හැකිය. එහෙත් ඉස්ලාමීය අන්තවාදයේ ප්‍රහාරයන්ට ලක්ව ඇති ඉරාකය, සිරියාව, පාකිස්ථානය හා ඇෆ්ඝනිස්ථානය වැනි රටවල කාන්තාවන්ගේ ඇඳුම ත්‍රස්තවාදය වැළැක්වීමේ ප්‍රයත්නයන්ට බාධාවක් කරගෙන නැත. ඒ එම රටවල් මුස්ලිම් ආගමික වීම නිසායැයි කෙනෙකුට තර්ක කළ හැකිය. අනිත් අතට ඒ රටවල ත්‍රස්තවාදී කටයුතුවලට මුස්ලිම් කාන්තාවන් විශාල වශයෙන් සම්බන්ධව ඇති බවට තොරතුරු දක්නට ද නැත.

මුස්ලිම් ප්‍රජාව සම්බන්ධ කරුණු පසකට ලා රටේ නීතිය සියල්ලන්ට පොදුවේ ක්‍රියාත්මක වූයේ ද යන්න විමසා බැලීම ද ජව්හිද් ජමාද් ත්‍රස්තවාදය මෙන්ම වෙනත් ලේබල යටතේ ඇති ත්‍රස්තවාදය සහ අන්තවාදය වැළැක්වීමටත් මර්දනය කිරීමටත් එකසේ වැදගත් ය. ඕනෑම ජන සමාජයක පැවැත්මට මූලික කොන්දේසියක් වන්නේ සියල්ලන්ට සාධාරණ නීති පද්ධතියක් පැවතීම ය. කිසියම් ජන කොටසකට හෝ ප්‍රජාවකට වෙනස් කොට සලකන නීති පවතින රටක් ඉතිහාසයේ කුණු බක්කියට යෑම වැළැක්වීමට කිසිවෙකුට නොහැකිය. මීට හොඳම උදාහරණය දකුණු අප්‍රිකාවයි. දකුණු අප්‍රිකාවේ සුළුතර සුදු පාලකයන් බහුතර කළු ජාතිකයන් පාලනය කිරීමට සහ මර්දනය කිරීමට යොදා ගත්තේ වෙනස් කොට සැලකීමේ නීති පද්ධතියකි. සමේ වර්ණය අනුව නීතිය ක්‍රියාත්මක වීම වෙනස්විය. කල්ලෙකු කරන දෙයක් වරදක් වුවත් සුද්දෙකු එයම කිරීම වරදක් නොවේ. එය පිළිකුළෙන් හෙළා දුටුවේ වර්ණ භේදවාදය යනුවෙනි.

අපේ රටේ සමේ වර්ණය අනුව ක්‍රියාත්මක වන නීති නැති නමුත් වර්ගය, ආගම හෝ දේශපාලන තත්ත්වය අනුව වෙනස් ආකාරයට ක්‍රියාත්මක වන නීති පවතින බව පැහැදිලි ය. ගැඹුරු විග්‍රහයකට යෑමට පෙර කිසියම් පුද්ගලයෙකු හැඳුනුම්පත් දෙකක් හෝ එක නමට ගමන් බලපත්‍ර දෙකක් සන්තකයේ තබා ගැනීම සාමාන්‍ය නීතිය අනුව සිර දඬුවම් පවා ලැබීමට හේතුවිය හැකි වරදකි. එහෙත් කට හැකර මන්ත්‍රීවරයෙකුට හෝ ජනාධිපති ආර්යාවක් සම්බන්ධයෙන් එය වරදක් වන්නේ නැත. සමහරවිට ජනමතය යටපත් කිරීමට නොහැකි අවස්ථාවක අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා නමුත් කරන ලද වැරැද්ද අභියෝග කිරීමට නොහැකි බව නීති විශාරදයන් නොවන පුද්ගලයෙකුට පවා පැහැදිලි නමුත් ගරු අධිකරණයට ඒ ගැන විමසීම කල් ගතවන කාර්යයකි. සාමාන්‍ය පුද්ගලයෙකු සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන නීති වෙනත් පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට කල්ගත වන්නේ ඒ නිසාය.

ජාතීන් හා ආගම් අතර වෛරය හෝ ද්වේෂය ඇති කරන ප්‍රකාශ හා ක්‍රියා සම්බන්ධයෙන් පවතින්නේ එකම නීතියක් වුවත් එම නීතියේම ඇති විවිධ ප්‍රතිපාදන, විවිධ ආකාරයට ක්‍රියාත්මක කළ හැකිය. එම තෝරා ගැනීමේ අවස්ථාව ඇත්තේ නීතිය බලාත්මක කරන පුද්ගලයාට ය. ශක්තික සත්කුමාර සිය මුහුණු පොතේ පළකරන කෙටි කතාවක් ආගමික ද්වේෂය දැනවීමක් බව තීරණය කරන බලධාරියා ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයට පිවිසෙන්නේ අන්තර්ජාතික සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සන්ධානය ( ICCPR ) යටතේය. ඒ අනුව ඔහුට ඇප ලබාදීමකින් තොරව දීර්ඝ කාලයකට රක්ෂිත බන්ධනාගාරයට යැවිය හැකිය. එහෙත් මුස්ලිම් ප්‍රජාවට අයත් දේපොළවලට සහ නිවාසවලට ගිනිදමා විනාශ කිරීම ජාතීන් අතර වෛරය හෝ ද්වේෂය දනවන ක්‍රියාවක් නොවේ. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්වන මහසෝනුන් වන පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කෙරෙන්නේ අල්පතර වැරදි ක්‍රියාවක් කළ පුද්ගලයන් සේය. එමනිසා අධිකරණයෙන් ඔවුන්ට අපහසුවක් නැතිවම ඇප ලබා ගත හැකිය.
මෙවැනි දේ සිදුවන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදු වූ අල්පතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඉහතින් සඳහන් කළ අපරානුමත කරන ලද අන්තර්ජාතික සන්ධානය යටතේ නඩු පවරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනමාධ්‍ය ඉදිරියේ පවසා තිබිය දීය. මෙම සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් විදේශගත වීමක දී නිකුත් කරන පොලිස් වාර්තාවේ ද ඒ බව සඳහන් කරන්නැයි ඔහු අවධාරණය කර තිබිණ. මෙය නීතිය සියලුදෙනාටම පොදුවේ ක්‍රියාත්මක වූයේ ද?

ශක්තික සත්කුමාරගේ කෙටිකතාවෙන් බුද්ධාගමට අගතියක් හෝ අසාධාරණයක් වන බවට චෝදනා එල්ල විය. ඒ ගැන පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ බෞද්ධ භික්ෂුවක් විසිනි. ඒ සම්බන්ධයෙන් නොයෙකුත් ආකාරයේ කට කතා පවතින නමුත් එය සිද්ධියට අදාළ වන්නේ නැත. වැදගත්ම කාරණය වන්නේ මුස්ලිම් ප්‍රජාවට අයත් දේපොළ විනාශ කිරීම සහ ගෙවල් ගිනිබත් කිරීම අල්පතර වැරැද්දක් වීම සහ ශක්තික සත්කුමාරගේ කෙටිකතාව ආගම් අතර හෝ ජනවර්ග අතර ද්වේෂය වෛරය ඇති කරන ක්‍රියාවක්යැයි තීරණය කෙළේ කුමන පදනමක් යටතේ ද යන්නයි. උසස් නිර්මාණාත්මක කලා කෘතියකින් සමාජයට කළ හැකි බලපෑම සමහරවිට ගෙවල් ගිනි තැබීමට වඩා බලවත්, ජන විඥානයට දීර්ඝකාලීන විය හැකි බවට සැකයක් නැත. ප්‍රංශ විප්ලවයට රූසෝ වැනි දාර්ශනිකයන්ගේ චින්තනයෙන් ඇති කළ බලපෑම, චීන විප්ලවයට ලූ සුන් වැනි ලේඛකයන්ගේ නිර්මාණවලින් කළ දායකත්වය, රුසියන් විප්ලවයට ටෝල්ස්ටෝයි, මැක්සිම් ගෝර්කි, ඩෙස්ටොවොස්කි වැනි ලේඛක පරපුරකින් ලබා දුන් ශක්තිය අපට සිහිපත් කළ හැකිය. අපේ රටේ සිංහල සංස්කෘතික ප්‍රබෝධයට මාර්ටින් වික්‍රමසිංහ සහ තවත් ලේඛක පරපුරකින් කළ සේවය අමතක කළ නොහැකිය. එම කලා නිර්මාණ තුළින් පුද්ගලයන් පමණක් නොව සමාජ ක්‍රමයක් විවේචනයට, හාස්‍යයට ලක් කිරීම අපරාධයක් වශයෙන් සැලකෙන්නේ නැත. එවැනි නිර්මාණ අපරාධ සේ සලකා ලේඛකයන් සිරගත කෙළේ නම් ලෝකය නැවත වරක් වනචාරි යුගයට පිවිසෙන්නේ බොහෝ කලකට පෙර ය.

අපේ රටේ නීතියේ කුමක් සඳහන් වුවත් භාවිතයේ දී ආගම, ජාතිය, වර්ගය සහ සමාජ පදනම අනුව වෙනස්කම් කිරීම සාමාන්‍ය පුරුද්දක් බවට පත්ව ඇති බව පසුගිය දශක කීපය තුළ ඉතිහාසය විමසීමෙන් පසක් කර ගත හැකිය. රටේ ජනාධිපතිවරයාගෙන් සමාව ලබන සමහර භික්ෂූන් වහන්සේලා ආගම් සහ ජාතීන් අතර වෛරය, ද්වේෂය හා කෝපය ඇති කරවන ප්‍රකාශ පමණක් නොව ක්‍රියාමාර්ග ද ගෙන ඇත. 2014 පොසොන් සමයේ අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා ආකස්මිකව හටගත්තේ නැත. එය කලක් තිස්සේ පෝෂණය කළ විෂඝෝර සර්පයෙකි. කනගාටුවටත් කෝපයටත් පත් කරවන හේතුව වන්නේ පොදුවේ නීතිය ක්‍රියාත්මක නොවීම ය. සිදු වූ අලාබ හානි වෙනුවෙන් මහජනයාගෙන්ම බදු වශයෙන් ලබා ගත් අරමුදල් වලින් සොච්චම් වන්දි මුදලක් ගෙවන ලද නමුත් එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට අනුබල දීම මෙහෙයවීම සිදු කළ සංවිධානවලට හෝ පුද්ගලයන්ට විරුද්ධව මෙතෙක් ගත් ක්‍රියා මාර්ගයක් නැත. පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයේ දී ආරක්ෂක අංශවලින් වගකීම් පැහැර හැරීමක් සිදුව ඇත්ද යන්න ගැන කරුණු විමසා බලා වාර්තා කිරීමට කඩිමුඩියේ විමර්ශන කොමිසම් පත් කළ ද ඉහත කී සිද්ධිය, අම්පාර හා මහනුවර සිද්ධීන් ගැන විමසා බැලීමක් සිදුවූයේ නැත. ඒ මහ ජාතියට ලැබී ඇති මුක්තියක් නිසාද?

පසුගිය දශක කීපය දෙස ආපසු හැරී බලන විට සුළුතරයැයි හැඳින්වෙන ජාතික කොටස් සම්බන්ධයෙන් දඬුවම් නොලැබ සිටීමේ මුක්තියක් ක්‍රියාත්මක වූ බවට සාක්ෂි අනවශ්‍ය ය. 83 දී දෙමළ ජාතියට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩකාරීන්ට ද මුක්තියක් හිමිවිය. රජයේ ආරක්ෂාව යටතේ බන්ධනාගාරයේ රඳවා සිටි සුළු ජාතීන්ට ද ආරක්ෂාවක් හිමිවූයේ නැත. සමහර අවස්ථාවල ජාත්‍යන්තර බලපෑම යටතේ එවැනි වැරදි සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර වැරදිකරුවන්ට අධිකරණයෙන් දඬුවම් නියම වූ අවස්ථාවල පවා බහුතර ජන කොටසේ නියෝජිතයන්යැයි හඳුන්වා ගත් පිරිස් එය නීතිය නොමග යෑමක් සේ හැඳින්වීමට තරම් ප්‍රචණ්ඩ වූහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බෞද්ධ රටක්යැයි නම් කර ඇති නිසාත් රටේ බහුතරය සිංහල බෞද්ධයන් වන නිසාත් ජන වර්ගයක් ලෙස ඔවුන්ගෙන් සමහර කොටස් බහුතරයේ නාමයෙන් සිදුකරන අපරාධ අල්පතර වැරදියැයි හැඳින්වීම අප නැවතත් වනචාරි යුගයකට කැඳවීමකි. ගෙවල් හෝ ව්‍යාපාරික ස්ථාන ගිනි බත් කරන විට එය වර්ගය හෝ ආගම අනුව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සන්ධානය යටතට නොගැනෙන අල්පතර අපරාධයක්යැයි තීරණය කිරීම නීතිය සියලුදෙනාට සමානව ක්‍රියාත්මක නොවීමක් බව නීතිඥයෙකු වන දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට අමුතුවෙන් කිවයුතු නොවේ. රටක තව්හිද් ජමාද් හෝ එල්ටීටීඊ හෝ චේ ගුවේරා ත්‍රස්තවාදය හට ගැනීමේ බීජය වන්නේ නීතිය සියලු දෙනාටම සාධාරණ සමසේ ක්‍රියාත්මක නොවීම නිසා ය.

මෙවැනි පසුබිමක සියලු දෙනාටම එක සේ බලපාන නීතිය ක්‍රියාත්මක කිරීමට සැබැවින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එහි නායකත්වයත් කටයුතු කරන්නේ නම් එය බෙහෙවින් අගය කළ යුතු කාලීන අත්‍යවශ්‍ය කටයුත්තකි. එහෙත් ඒ වෙනුවට මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගෙන නීති සම්පාදනය කිරීම ත්‍රස්තවාදය පෝෂණය කරවීමේ උත්සාහයකි. කිසියම් ජන කොටසකගේ ඇඳුම පමණක් නොව අනෙකුත් චාරිත්‍ර වාරිත්‍ර ඔවුන්ගේ සාමයික පසුබිම අනුව ගොඩ නැගෙන්නකි. ඔවුන්ගේ අනන්‍යතාව වන්නේ එයයි. ඒවා නීතිය මගින් හෝ බලහත්කාරයෙන් වෙනස් කිරීමට හෝ යටපත් කිරීමට උත්සාහ ගන්නේනම් කවර තත්ත්වයක් යටතේ හෝ සමාජයීය සාමය හෝ සංහිඳියාව අපේක්ෂා කළ නොහැකිය.
ඇත්තෙන්ම මෙතෙක් සිදුව ඇත්තේ නීතිය ජන සමාජයේ සියලු දෙනාටම පොදුව ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයකි. එය ආගමික, වාර්ගික සහ සමාජයීය වශයෙන් පැහැදිලිය. කළයුත්තේ අලුතින් නීති හෝ ප්‍රතිපත්ති සම්පාදනයට වඩා සියලු දෙනාටම පොදු ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ එවැන්නක් නොවන අවස්ථාවල ඊට ඵලදායි පියවර ගැනීමට ප්‍රතිපාදන සැලසීමය. එසේ නොමැතිව නීතිය හිතුවක්කාර ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සහ නව නීතිවලින් එය තවදුරටත් තහවුරු කිරීමට ගන්නා උත්සාහය කෙළවර වන්නේ තවත් විනාශයකිනි.