අපි ඉන්නෙ තනි කකුලෙන් – මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න

වින්ද්‍යා ගමගේ

ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට ගැටුම් විපරිවර්තනය ( Conflict Transformation ) පිළිබඳව උපාධි පාඨමාලාවක් දේශීය විශ්වවිද්‍යාල පද්ධතියට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්නටයි. ඔහු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ආගමික ප්‍රජාව හා සිවිල් වැසියන් සමග සාමය ගොඩ නැගීම සම්බන්ධව වසර 30කට අධික කාලයක් කටයුතු කර ඇති අතර, සාමය ගොඩනැගීම හා සංහිඳියාව පිළිබඳ මධ්‍යස්ථානයේ ( CPBR ) සම ආදි කර්තෘවරයකු මෙන්ම සභාපති ලෙස ද කටයුතු කරයි.

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ඇතිවී ඇති තත්ත්වය ඔබ විග්‍රහ කරන්නේ කෙසේද?

ශ්‍රී ලංකාව තුළ කිසිදාක සක්‍රීය සහජීවනයක් ( Active  Co – Existance ) නොතිබුණු බව මගේ පෞද්ගලික විශ්වාසයයි. අපේ ජන වර්ග අතර යහපත් සන්නිවේදනයක් තිබුණේ නැහැ. එයට හේතුව අපි එකිනෙකාගේ භාෂාවන් සම්බන්ධව දක්වන නොදැනුවත්භාවයයි. මෙතෙක් කල් පැවති කිසිම ආණ්ඩුවක් විසින් ඒ සඳහා නිර්මාණශීලී වැඩපිළිවෙළක් හඳුන්වා දී නැහැ. සන්නිවේදනය මෙතරම් දුර්වල මට්ටමක පවතින විට අන්තර් ආගමික සබඳතාවලට ඇති ඉඩකඩ ඉතාම අඩුයි. ඒ අනුව බැලූවිට ශ්‍රී ලංකාවේ ආගමික හා වාර්ගික සහජීවනයක් ඇත්ත වශයෙන් තිබුණාදැයි යන්නත් ගැටලුවක්.

අපේ සමාජයේ තවමත් පීඩාකාරී ආර්ථික, දේශපාලන හා වෙනත් සමාජයීය ව්‍යුහයන් තිබෙනවා. විශේෂයෙන්ම දේශපාලන ව්‍යුහය ගත්විට එදා සිටම අප ඉල්ලා සිටියේ රටට ගැළපෙන, සියලු ජන කොටස් සමෝධානය කරගත හැකි සියලු ජන කොටස්වල අභිලාෂයන් සාක්ෂාත් කරගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් පමණයි මේ රටේ සියලු ජනතාව ශ්‍රී ලාංකීය භූමිය තුළ දෙපයින් සිටින්නන් බවට පත් කළ හැක්කේ. එසේ නොකිරීම නිසා මුස්ලිම්වරු එක් කකුළක් අරාබියේත්, දෙමළ ජනයා එක් කකුළක් බටහිර රටවල හා තමිල්නාඩුවේ තබාගෙන සිටින බවත් අපට කකුළ තබා ගැනීමට ඇත්තේ මුහුද පමණක් බවත් සිංහලයන් හිතනවා. එවැනි බිය, සැක, ඇතිවීමට ප්‍රධානතම හේතුව දේශපාලන ප්‍රතිසංස්කරණ හරිහැටි කරගත නොහැකිවීමයි. එයට මේ ආණ්ඩුව ඇතුළු මෙතෙක් පැවති සියලුම ආණ්ඩු වගකිව යුතුයි.
අප අද දේශපාලනමය වශයෙන් ඉතාම දිළිඳු තත්ත්වයක පසුවනවා. එයට හේතුව සියලු ජන කොටස් රාජ්‍යයට එකතු කර ගැනීමට එයට ඇති නොහැකියාවයි. මේ වනවිට ජනතාව විශාල වශයෙන් මානසික ව්‍යසනයකට මුහුණ දී සිටිනවා. ක්‍රිස්තියානි සමාජය පමණක් නොවේ, මුස්ලිම් සමාජයත් බියෙන්, සැකයෙන් ජීවත් වනවා. බෞද්ධයන් ඊළඟ ප්‍රහාරය අපටදැයි සැක කරනවා.

දැනට පවතින අක්‍රීය සහජීවනය, සක්‍රීය සහජීවනයක් බවට පත් කරන්නේ කෙසේද?

ඒ සඳහා අප මුලින්ම අප අතර අන්තර් රැඳියාව පිළිබඳ තේරුම් ගත යුතුයි. මම සිංහල බෞද්ධ කෙනෙක් වෙන්නේ මුස්ලිම් අයෙක් සිටින නිසයි. මා පුරුෂයෙක් කියා කියන්නේ ස්ත්‍රියක් සිටින නිසයි. අනෙක් ආගමිකයන් හා ජනවර්ගත් එසේ සිතිය යුතුයි. අප්‍රිකාවේ ඉතාම ලස්සන සංකල්පයක් තිබෙනවා. එය ‘උබුන්ටු’ නම් වනවා. එයින් කියැවෙන්නේ මම ඉන්නේ ඔබ නිසයි. ( I am because you are ) අප උත්සාහ කර ඇත්තේ අනෙකාව තමන් කරගන්නයි. එය හොඳින් නොහැකි නම් නරකින් කරගන්න. එයට අප සමග්‍රහණය කියා කියනවා. පසුගිය කාලවල බොහෝ ප්‍රතිසංස්කරණ හරහා උත්සාහ කළේ අනෙකාව බලහත්කාරයෙන් තමා කර ගැනීමට යත්න දැරීමයි. අනෙකාව තමා කරගන්නවාට වඩා අනෙකාට අනෙකා ලෙස ජීවත් වන්නට ඉඩදිය යුතුයි. එය තමා විවිධත්වය කියන්නේ.

මේ සියලුම ආගම්වල සාමයට අවශ්‍ය වන මූලික ඉගැන්වීම් කියා දී තිබෙනවා. අපට තිබෙන ඛේදවාචකය නම් බෞද්ධ අය ඉස්ලාම් ආගමේ මූලික ඉගැන්වීම් දන්නේ නැහැ. ඉස්ලාම් අය බුද්ධාගමේ මූලික ඉගැන්වීම් දන්නේ නැහැ. ඇත්තටම අපි ශාස්තෘවරයා ඉගැන්වූ මූලික ඉගැන්වීම්ද භාවිතයට ගන්නේ. නැතිනම් අපි ආගමේ නම භාවිත කර වෙනත් දෙයක්ද මේ කරමින් ඉන්නේ? සමහර අය ආගමේ නමින් දේශපාලනය කරනවා. තව පිරිසක් ව්‍යාපාර කරනවා. තවත් අය හැමදාම පන්සල්, පල්ලි, කෝවිල් ඉදිකරමින් ජීවත් වෙනවා. මොනවද ඇත්තටම මේ ආගමික නායකයන් කරමින් ඉන්නේ. මේ මොහොතේ ලෝකයේ අලුත් ඉගැන්වීම් තිබෙනවා. සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ ආගමික, ජනවාර්ගික ගැටුම් නිරාකරණයට, ගැටුම් විපරිවර්තනයට දැනුම් සම්භාරයක් තිබෙනවා. ඒවායින් ඈත්වී අපේ ආගම ගැන විතරක් කතා කිරීමෙන් පළක් වන්නේ නැහැ.

අපේ ආගමික සමාජය විශේෂයෙන්ම සක්‍රීය සහජීවනයක් ඇතිකර ගැනීමට එරෙහිව ඇති සන්නිවේදන බාධාවන් ඉවත් කරගත යුතුයි. අපට ඇති සන්නිවේදන බාධාවන් හේතුවෙන් අනෙකාගේ දුක, වේදනාව, අභිලාෂයන්, අවශ්‍යතාවන් ඇසෙන්නේ නැහැ. අප විශාල තාප්පයක් බැඳ ඒ හැඟීම් අපට නොඇසෙන සේ කරුණු සලකාගෙන තිබෙනවා. ඒත් අපි දැන්වත් ඒ සඳහා යමක් කළ යුතුයි. අප ඒ ගැටුම්වලින් බලපෑම් වූ ප්‍රදේශවලට යා යුතුයි.

මීළඟට සක්‍රීය සංහිඳියාවක් ඇතිවීම සඳහා ජනමාධ්‍යවල හැසිරීම ප්‍රබුද්ධ විය යුතු බව මාගේ අදහසයි. විශේෂයෙන්ම ජනමාධ්‍යවේදීන් ගැටුම් සංවේදී ජනමාධ්‍යවේදය කරා නැඹුරු විය යුතුයි. එමෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල සක්‍රීය තරුණ- තරුණියන්ට මෙන්ම අනෙකුත් ප්‍රජාවටත් මා ආරාධනා කරනවා. තමන්ට හිතට එන හැඟීම ඍජුවම ප්‍රකාශ කිරීමට, සමාජ මාධ්‍ය ජාලා භාවිත නොකරන ලෙසට. විද්‍යුත් මාධ්‍යයක, මුද්‍රිත මාධ්‍යයක අපට එසේ කළ නොහැකියි.

කැනඩාවේ ‘ෂෙරෝකිවරුන්’ නම් ඉතාම දියුණු ආදිවාසී කණ්ඩායමක් සිටිනවා. ඔවුන්ට ඉංග්‍රීසි, ප්‍රංශ වැනි භාෂා කතා කරන තමන්ගේම අධ්‍යාපන ක්‍රමයක් තිබෙනවා. මේ ෂෙරෝකිවරුන්ගේ මුත්තා කෙනකු දිනක් තම මුණුබුරු මිණිබිරියන්ට කතාන්තරයක් තියනවා. ඔහු කියනවා, ‘දරුවනේ මගේ පපුව ඇතුළේ වෘකයෝ දෙදෙනෙක් සටන් කරනවා. එක් වෘකයෙක් හරිම නපුරුයි. කිසිම සහකම්පිත හැඟීමක් නැහැ. අනෙකා ගැන තැකීමක් නැහැ. අනෙකාගේ දේ හැමවිටම උදුරාගෙන කන්න තමයි බලන්නේ. කොයිවෙලේ හපයිද කියලා බියයි. ඌ හැම වෙලාවෙම බියෙන් සැකයෙන් ජීවත් වෙනවා. අනෙක් වෘකයා එහෙම නොවේ. හරිම ආදරණීයයි. අනෙකා ගැන හැමවිටම හිතනවා. හරිම සතුටින් ජීවත් වෙනවා. හැමකෙනාටම වලිගෙ වනනවා. ඒ වෘකයන් දෙදෙනා මගේ පපුවෙ විතරක් නොවේ, ඔබේ පුංචි පපු තුළත් සටන් කරනවා. ඔබේ නෑදෑයො, දෙමව්පියන්ගෙ පපු තුළත් ඔවුන් සටන් කරනවා. රටේ හැම කෙනාගෙම පපු තුළත් මේ වෘකයො දෙදෙනා සටන් කරනවා.” මෙහෙම කියාගෙන යනකොට මිනිබිරියක්, අහනවා. “සීයේ ඔය සටනින් මොන වෘකයාද දිනන්නේ?” සීයා කියනවා. “ඔබ පෝෂණය කරන වෘකයා තමයි දිනන්නේ.” කියා.

ගැටුම් විපරිවර්තනය පිළිබඳව ඇති විදේශීය අත්දැකීම් මොනවාද?

රාජ්‍ය ගොඩ නැගීම එක්තරා විදියක කර්මාන්තයක්. ඒ සඳහා හොඳම උදාහරණය ගතහැක්කේ අපේ අසල්වැසි ඉන්දියාවෙන්. ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන විට අප කල්පනා කළේ නැහැ අපට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගත යුතු බව. ගාන්ධිලා සැලකුවේ අනාගත ඉන්දියාව ගොඩනැගීමට සුදුසුම පුද්ගලයා අම්බෙක්කාර් ලෙසයි. අම්බෙක්කාර් මහතා ඉන්දියානු ව්‍යවස්ථාව තනිවම නිර්මාණය කළේ නැහැ. ඔහු ව්‍යවස්ථා කමිටු පත්කර, එම කමිටු විදේශ රටවලට පිටත් කර හැර, එම රටවල තිබූ අත්දැකීම් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව හදාරා ඒ සියලු අත්දැකීම් මත රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළා. එහෙත් ශ්‍රී ලංකාවේ අපට එවැනි ක්‍රියාවලියන් කිරීමට නොහැකි වුණා. එතැනින් තමයි අප රට මුහුණ දෙන ඛේදවාචකය ආරම්භවන්නේ.

ඉන්දියාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කළ අවධියේ නේරු අගමැතිතුමා සිතුවා මහා බි්‍රතාන්‍යයේ ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව කළ නිසා ඉන්දියාවේ බහුතරයක් කතා කරන බලවත් භාෂාව වන ‘හින්දි’ භාෂාව එහි රාජ්‍ය භාෂාව කළ යුතු බව. එහෙත් රාජ්‍ය භාෂාව ලෙස ‘හින්දි’ භාෂාව නම් කළ විට ඉන්දියාව පුරාම හින්දි භාෂාව කතා නොකරන ප්‍රාන්තවල කැරලි මතුවුණා. එම කැරලි බොහොම ප්‍රචණ්ඩකාරී ලෙස එදා මදුරාසි ප්‍රාන්තය (අද තමිල්නාඩුව) තුළ ඇතිවුණා. ආන්ද්‍රා ප්‍රදේශයේ විරෝධතාකරුවන් තෙළිඟු දේශම් නමින් වෙනම රටක් සාදනවා යැයි විරෝධතාවක් මතු කළා. එයට හේතුවූයේ දෙමළ හා තෙලිඟු භාෂාවන් බොහෝ අතීතයක් තිබුණු ගෞරවනීය භාෂා වීමයි. එසේම හින්දි භාෂාව ඉගෙන ගැනීමට මදුරාසියටත්, තෙළිඟු දේශයටත් බලකිරීම වැරදි බව ඔවුන් සිතුවා. මේ කැරැල්ලේදී ‘නේරු’ අගමැතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ සිටි සර්දාර් පටේල් ඇතුළු පිරිසක් කල්පනා කළා මේ කැරලිකරුවන් මර්දනය කිරීමට හමුදාමය විසඳුමක් අවශ්‍ය බව. එහෙත් නේරු අගමැතිතුමා එසේ සිතුවේ නැහැ. මේ ප්‍රශ්නය විසඳා ගැනීමට ඇති හොඳම ක්‍රමය අපට වැරදීමක් සිදුවුණා, එම වැරදීම නිහතමානීව පිළිගත යුතුයි කියා කීවා. වරක් ඔහු කීවා භාෂාව වනාහි ඕනෑම ජනවර්ගයක සංස්කෘතික කැඩපත බව. ඒ නිසා වහාම මේ භාෂාමය ප්‍රශ්නය විසඳා ගැනීමට කොමිෂන් සභාවක් පත්කර නව භාෂා ක්‍රමයක් ‘රාජ්‍යය තුළ ස්ථාපිත කළා. එම භාෂා ක්‍රමය ‘ත්‍රෛභාෂා ප්‍රතිපත්තිය’ ( Trilingual Policy ) ලෙස හඳුන්වනවා. මෙහිදී සෑම ඉන්දියානුවකුටම තමන් ජීවත් වන ප්‍රාන්තයේ භාෂාව අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතු යැයි නීතියක් පැනවූවා. ඉන්දියාවේදී ප්‍රාන්ත නැතිනම් දේශසීමා වෙන්කර තිබෙන්නේ භාෂාව පදනම් කරගෙනයි. එනිසා අප එයට ( Linguistic Federal System ) යැයි කියනවා. එය අර්ධ ෆෙඩරල් ක්‍රමයක්. දෙවනුව නේරු කීවා සෑම ඉන්දියානුවකුම ඉංග්‍රීසි භාෂාව අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතු බව. එයත් ව්‍යවස්ථාවට ඇතුළත් කළා. තෙවනුව සෑම ඉන්දියානුවකුටම තමන්ගේ ප්‍රාන්තයේ භාෂාවට අමතරව වෙනත් ප්‍රාන්ත භාෂාවක් ඉගෙන ගත යුතු යැයි කීවා. එනිසා පසුව හින්දි භාෂාව ප්‍රතික්ෂේප කළ, හින්දි අකුරුවල තාර ආලේප කළ මිනිස්සු තීරණය කළා තමන්ගේ තෙවන භාෂාව ලෙස හින්දි භාෂාව ඉගෙන ගැනීමට. ඉන්දියාවේ උතුරු ප්‍රදේශවල හින්දි භාෂාව කතා කළ අය තෙළිඟු, ද්‍රවිඩ වැනි ‘ද්‍රවිඩයන්’ භාෂාවක් ඉගෙන ගත යුතු යැයි තීරණය කළා. මෙය තමයි රාජ්‍ය කර්මාන්තයට අවශ්‍ය කරන සූක්ෂ්මභාවය, දැක්ම හා දුරදක්නා නුවණ. අප රටේ නිදහසේ සිට අද දක්වා රටේ කිසිදු නායකයකුට එවැනි දැක්මක් නැහැ. ලංකාවේ සිටින්නේ දේශපාලනඥයන්. ඉන්දියාවේ හිටියේ රාජ්‍යතාන්ත්‍රිකයෝ. රාජ්‍යතාන්ත්‍රිකයන් හැමවිටම රටේ අනාගතය ගැන සංවේදීව හිතනවා. දේශපාලනඥයා තීරණ ගන්නේ ඉදිරි මැතිවරණය දෙස බලලයි. මේක තමයි ලංකාවේ ඛේදවාචකය.

අප ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ සංචාරය කළ එක් අවස්ථාවක එවකට සිටි මහ ඇමති චන්ද්‍ර බාබු නායිදු අපට එතුමාගේ ප්‍රධාන අමාත්‍ය භවනේ පැවති ඉන්දීය ජාතික උත්සවයකට ආරධනා කළා. එහිදී ලංතා මංගේෂ්කාර් ගායිකාව ජාතික ගීය ගායනා කළා. එතැන සිටි හැමකෙනාම කෙළින් සිටගෙන සිටියා. ජාතික ගීය කියා අවසන් වනවිට හැම කෙනාගේම ඇස්වලින් කඳුළු වැටුණා. මා ළඟ සිටියා හයිද්‍රාබාද් විශ්වවිද්‍යාලයේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහාචාර්ය රෙඞ්ඩි. මා ඔහුගෙන් ඇසුවා ජනතාව ජාතික ගීය කියද්දී මෙතරම් හැඟීම්බර වුණේ ඇයි කියා. ඔහු දුන්නේ ඉතා කෙටි පිළිතුරයි. “ජයන්ත ඒ තමයි අපේ රටේ වෙනස. අපි ඉන්දියානු පොළොව මත හැම මිනිසාම කකුල් දෙකෙන් සිටුවා තිබෙනවා. ඔබේ රටේ වගේ නොවෙයි. ඔබේ රට එක කකුළෙන් මිනිස්සු ඉන්න රටක්” කියා කීවා. ඒ කතාවේ විශාල බරක් තිබෙනවා. සත්‍ය නම් අපි ඇත්තටම සියලු ජන කොටස් ලංකා පොළොවේ සිටුවා තබා නැහැ. ඒ නිසා දෙමළ මිනිස්සු දශ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් යුද්ධයත් සමග රට අතහැර ගියා. මුස්ලිම් මනුෂ්‍යයත් දැන් ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් සමග ගනුදෙනු කර ලංකාව තුළ කැරැල්ලක් ඇති කර තිබෙනවා. මොකද්ද මේ රට? ජාත්‍යන්තර ත්‍රස්තවාදයෙන් මුස්ලිම් ජනතාව කඩා වෙන් කළ යුතුයි. එසේ කර ඔවුන් අපේ යැයි වැළඳගත යුතුයි. එසේ කළොත් තමයි ජනවර්ග සියල්ලටම සාමයෙන්, සංහිඳියාවෙන් සිටින්නට හැකිවන්නේ.