ගෝලීය උණුසුම නිසා ගොඩබිම අහිමි වීම

ප්‍රභාස්වර

දකුණු පැසිෆික් සාගරයෙහි පිහිටි දූපත් 330 කින් පමණ සමන්විත, වර්‍ග කිලෝමීටර් 18,300කින් යුතු දේශය හඳුන්වනු ලබන්නේ ෆිජි රාජ්‍යය නමිනි. ෆිජිහි ජනගහනය 912, 241 කි. පැසිෆික් කලාපයේ සංවර්ධිත ආර්ථිකයක් සහිත රටවල් අතරින් ෆිජි රාජ්‍යයට ප්‍රමුඛ තැනක් හිමිවෙයි. වන ගහනයෙන් සහ ඛනිජ හා ධීවර සම්පත් වලින් පොහොසත් ෆිජි රටට විදේශ විනිමය ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ සංචාරක කර්මාන්තයෙනි. පළාත් පාලන බල ප්‍රදේශ 14කින් සමන්විත මෙම දේශය, ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් වත්මනෙහි විශාල පීඩනයකට මුහුණ දෙමින් සිටියි. ෆිජිහි කැකඩෲ පළාතට අයත් වුනිඩොගොලෝ ගම්මානය තුළ පදිංචිව සිටි පුද්ගලයන් සංඛ්‍යාව (2014 වන විට) 132ක් පමණ විය. 1950 සිට මුහුදේ ජල මට්ටම ඉහළ යන්නට පටන් ගත් හෙයින් සාගරය අසල පිහිටි මෙම ගම තුළට වරින් වර මුහුදු වතුර ගලා ඒම නොවැලැක්විය හැකි විය. ඒ සමඟම ෆිජි දූපත් ආශ්‍රිතව තිබූ යහපත් කාලගුණික තත්ත්වයන් දැවැන්ත විපරීතකරණයකට බඳුන් විය. වැසි සමය, නියං කාලය බවටත්, නියං සමය වස්සානය බවටත් පරිවර්තනය වූ අතර දශකයෙන් දශකය, මුහුද ගොඩබිම කඩා පාත් වීමේ ප්‍රවාණතාව ඉහළ ගියේය. 2006 වන විට වුනිගොඩොලෝහි පස, වගාවක් කරගත නොහැකි තරමටම නිසරු වූයේ මුහුදු ජලයේ ලවණ සාන්ද්‍රණය දිගින් දිගටම ඊට එකතු වූ හෙයිනි. 2010 වන විට සාගරය ආසන්නයේ තිබූ නිවාස, ගම අභ්‍යන්තරය වෙත ගෙන යන්නට ගම්මුන් තීරණය කළේ, මුහුද ගොඩ ගැලීම හේතුවෙන් ඒවා නිතර නිතර සාගර ජලයෙන් යට වූ නිසාය.

සයිලෝසි රාමතු

වුනිගොඩොලෝහි ගම්මුලාදෑනියා හෙවත් පාලකයා ලෙස කටයුතු කරන්නේ 59 හැවිරිදි සයිලෝසි රාමතුය. මුහුදේ ආක්‍රමණයෙන් වෙරළබඩ සිටි ගම්මුන් බේරා ගැනීම පිණිස ඔවුන්ට ගම ඇතුළේ නිවාස සාදා දුන්නද, වෙරළේ සිට තරමක දුර පිහිටි නිවෙස්ද නිරතුරුව සැඩ පහරට යටවන්නට විය. සයිලෝස් මේ ගැන ෆිජිහි මධ්‍යම රජය සමඟ සාකච්ඡා කළ පසු, ජපන් රජයේ ආධාර සහිතව වුනිගොඩොලෝ වෙරළෙහි ආරක්ෂිත කොන්ක්‍රීට් තාප්පයක් ඉදි කෙරිණි. 2010 අවසානයේදී ඉදිකළ මෙකී පවුර, 2012 වන විට මුහුදේ රළු සැඩ පහර අභියස සම්පූර්ණයෙන්ම කඩා වැටුණි. ඉනික්බිති, එම තප්පයට මීටර් 60ක් මෙහායින් ගොඩ නැඟූ දෙවන ගල් බැම්මද වසරක් ඇතුළත විනාශ වී ගියේය. අවසානයේ සයිලෝසි රාමතුගේ නිවසද මුහුදට බිලි විය. 2014දී වුනිගොඩොලෝ ගම්වාසීන් සියලු දෙනාම වෙරළට සැතපුමක් දුරින් පිහිටි කඳු මුදුනක අලුතින් පදිංචි කිරීමට ෆිජි ආණ්ඩුව ක්‍රියා කළේය. ලෝක බලවතුන් සිදු කරන පරිසර දූෂණය නිසා ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යයි. 20 වන සියවසේදී මුහුදු ජල මට්ටම අඟල් 7.5කින් ඉහළ යාම, වුනිගොඩොලෝ යටවීම කෙරෙහි ඍජුවම බල පෑ වග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් පවසයි. 2019 මැයි මාසයේදී ඇන්ටොනියෝ, ෆිජි රටට පැමිණ තමන් ඇතුළු ප්‍රාදේශීය පාලකයින් හමු වී කතාබහ කළ වග සයිලෝසි කියයි.

මුහුදේ බලපෑම

ඉදිරි වසර 100 ඇතුළත සාගර ජල මට්ටම අඩි 03කින් පමණ ඉහළ යනු ඇතැයි දකුණු පැසිෆික් සරසවියේ පරිසර විiා මහාචාර්ය එළිසබෙත් හොලන්ඞ් අවධාරණය කරයි. ගෝලීය උණුසුම වැඩිවීමේ නිශේධනීය බලපෑම වැඩියෙන්ම දැනෙනු ඇත්තේ ලොව පුරා විසිරුණු දූපත්වාසීන්ටය. ෆිජී දූපත් වෙත පසුගිය දශක තුළ හමා ආ සුළි කුණාටු හේතුවෙන් එරටට අහිමිව ගිය නිශ්චල හා චංචල දේපළවල/වත්කම්වල වටිනාකම ඔවුන්ගේ දළ දේශීය නිපැයුමෙන් 05%ක් පමණ විය. 2016දී ෆිජි මුහුණ දුන් වින්ස්ටන් සුළි සුළඟ නිසා ෆිජි වැසියන් 44 දෙනකු මරණයට පත් වූ අතර ඩොලර් බිලියනයක පමණ ආර්ථික හානියක් ද සිදු විය. ෆිජි රටට ආසන්නව, මධ්‍යම පැසිෆික් සාගරයේ පිහිටි කිරිබති දූපත් සමූහයට අයත් බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 800කි. කිරිබතිහි ජනගහණය 110,000කි. 2014 වසරේදී මුහුදු මට්ටම ඉහළ යාම නිසා සිය භූමිය අහිමි වූ කිරිබති වැසියන් නැවත පදිංචි කිරීම පිණිස ෆිජි රාජ්‍යයේ භූමියෙන් වර්ග කිලෝ මීටර් 20ක බිම් කඩක් මිලදී ගැනීමට කිරිබති රටේ ආණ්ඩුව ක්‍රියා කළේය. නිරිත දිග පැසිෆික් සාගර කලාපය තුළ තිබෙන සොලමන් දූපත් රාජ්‍යයට අයත් දූපත් ගණන 900කි. මුහුදු ජල මට්ටම ඉහළ යාම නිසා 20 වන සියවසේ මැද භාගය වන විට ඔවුන්ට අහිමි වූ දූපත් සංඛ්‍යාව 05කි. ඉදිරි වසර දහය තුළ ෆිජිහි වෙරළ ආශ්‍රිත ගම්මාන 676ක් රට තුළට ගෙන යාම හැර, මුහුදෙන් බේරීම සඳහා වෙනත් විකල්පයක් නොමැති බව එරට ආර්ථික කටයුතු පිළිබඳ ආමාත්‍ය ඉයාස් සෙයිඞ් කායුම් පවසයි. එහෙත් මුහුදු ජල මට්ටම තව තවත් ඉහළ ගියහොත් තමන් වැනි දූපත් වාසීන් මුහුදට බිලි වීම නොවැළැක්විය හැකි වග හෙතෙම කියයි. වායු ගෝලය උණුසුම් කිරීමට දායක වන කාබන්ඩයොක්සයිඞ් විමෝචකයින් අතර මුල් තැන හිමි වන්නේ චීනයටයි. (27.21%) දෙවැනි තැන (14.58%) සිටිනුයේ ඇමරිකාවයි. තෙවැන්නා ඉන්දියාවයි (6.82%). ෆිජි රාජ්‍යයේ කාබන් විමෝචන ප්‍රතිශතය 0.004%කි. එහෙත් ඉහත කී බලවත් රටවල් විසින් සිදු කරන පරිසර දූෂණය නිසා ලෝක සිතියමෙන් මැකී යාමේ තර්ජනයට මුහුණ දී සිටින්නේ වායු ගෝලයට අහිතකර වායූන් නිකුත් නොකරන දූපත් වාසීන්ය. වුනිගොඩොලෝ ග්‍රාමය පමණක් මුහුදු මායිමෙන් රට ඇතුලට ගෙන යාම සඳහා ඩොලර් 445.000කට වැඩි මුදලක් වැය කිරීමට තම රජයට සිදු වී යැයි ෆිජි අග්‍රාමාත්‍ය ෆ්‍රෑන්ක් බයිනිමරාමා කියයි.

එක්ව නැගිටීම

ඉහත කී පාරිසරික විපර්යාස නිසා තම දේශයන් මුහුණ දෙන සැබෑ අවධානම මැනවින් වටහාගත් දූපත් රාජ්‍යන් සමූහයක් (ෆිජි, මාෂල් දූපත්, මාලදිවයින හා බහමාස්) ගොලීය උණුසුම ඉහළ යාම වැළැක්වීම අරබයා දැවැන්ත ජාත්‍යන්තර අරගලයක් දියත් කැනු ලැබුවේ 2014 වසරේදීය. 2015 පැරිස් ජාත්‍යන්තර පාරිසරික ගිවිසුමට ලෝක බලවතුන් ඇද බැඳ තබාගැනීම වෙනුවෙන් මොවුහු මහත් හඬක් නැඟූහ. බලවත් රටවල අහංකාර උද්දච්ච ආකල්ප නිසා කඩාවැටීමට ඔන්න මෙන්න කියා තිබූ ගෝලීය පාරිසරික සාකච්ඡා නැවත පණ ගසා අවදි වූයේ මේ දූපත් රාජ්‍ය නායකයින්ගේ සක්‍රීය මැදිහත්වීම හරහාය. 2018 අන්තර් රාජ්‍ය පාරිසරික විපර්යාස අධ්‍යයන කමිටුවේ වාර්තාව කලඑළි දැක්වීම සිදු වූයේ මොවුන්ගේ දැඩි බලපෑම මතය. ගෝලීය පරිසර දූෂණය වැනි අති සංකීර්ණ ගැටළුවක් තනි ජාතියකට විසඳිය නොහැකි බවත්, ජාතීන් ගණනාවක සාමූහිකත්වය මත එය සිදු කළ හැකි බවත් මොවුහු ලොවට පෙන්වා දුන්හ.

භයානක වසංගත පැතිර යාම, ජාත්‍යන්තර ත්‍රස්තවාදය, න්‍යෂ්ටික අවි තර්ජනය යනාදී ගෝලීය ප්‍රශ්න විසඳිය හැක්කේ හුදකලා වී ජාතිමාමකත්වය උත්කර්ෂයට නැංවීමෙන් නොව, ජාතීන් අතර සහෝදරත්වය සහ සාමූහිකත්වය ගොඩ නැගීමෙන් පමණි. 2018 පාරිසරික වාර්තාවට අනුව, මේ ශතවර්ෂයේදී ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 ඉක්මවා ගියහොත් බහුතරයක් දූපත් ලෝක සිතියමෙන් මැකී යාම අනිවාර්යයෙන් සිදුවනු ඇත. 2015 පැරිස් කාලගුණ සාකච්ඡාවට පෙර, 2015 සැප්තැම්බර් මාසයේදී පැසිෆික් දූපත් රාජ්‍යයන්හි නායකයින් සියල්ලම ඒ ඒ දේශයන්හි සිවිල් සමාජ ක්‍රියාකාරීන්ද සමග ෆිජි දූපත් රාජ්‍යට පැමිණ දින 03 පාරිසරික සමුළුවක් පවත්වනු ලැබීය. ලොව ගල් අඟුරු පතල් තහනම් කිරීමටත්, පාරිසරික විපත් වලින් දූපත් වාසීන් බේර ගැනීම සහ අදාළ ක්‍රියාන්විතයන්ට ලෝක බලවතුන්ගේ මූල්‍ය හා තාක්ෂණ සහාය කෙසේ හෝ ලබා ගැනීමටත් සාමූහිකව සටන් කළ යුතු වග මෙම සමුළුවේදී තීරණය විය. සෙල්සියස් අංශක 02 සේ ලෝක බලවතුන් සැලකූ ගෝලීය උණුසුමේ සීමාව, 1.5 දක්වා පහළ දමා ගැනීමේ හැකියාව ලොවට උදා වූයේ ඉහත කී දූපත් රාජ්‍යයන් 15ට පින් සිදු වන්නටය.2015 දෙසැම්බරයේදී පැරිස්හි සමාජ ක්‍රියාකාරීන් ‘ජීවත් වීම සඳහා සෙල්සියස් අංශක 1.5’ යැයි කෑගසමින් වීදි බැස්සේ මොවුන්ගේ සෘජු බලපෑම හේතුවෙනි. අවසානයේ සෙල්සියස් අංශක 1.5 සීමාව පැරිස් ගිවිසුමට ඇතුළත් කිරීමටත්, ඊට අත්සන් කිරීමට මැලි වූ ඇමරිකාව එම සීමාවට එකඟ කර ගැනීමටත් ‘දූපත් සාමූහිතක්වයට’ හැකි වුණි.