දොස්තර සාෆි උළ තබයිද?

නිමල් අබේසිංහ

කුරුණෑගල රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සෙයිගු සිහාබ්දීන් මොහොමඞ් ෂාෆි මේ වනවිට මුළු රටේම අවධානයට ලක්ව සිටින පුද්ගලයෙකි. සිසේරියන් සැත්කම් 8000ක් සිදුකරමින් එයට බඳුන් වූ කාන්තාවන් 4000ක් වඳභාවයට පත්කර ඇතැයි දිනපතා දිවයින පුවත්පතේ පළවූ ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් පළවීම ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේය. පාස්කු ඉරිදා තව්හිද් ජමාද් සංවිධානයේ සහරාන් ඇතුළු පිරිස සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයත් ඒ සමගම රට පුරා මුස්ලිම් ප්‍රජාව එල්ල කරගෙන සිදුවූ විවිධ කටකතාත් හේතුවෙන් මේ පුවත අතිබිහිසුණු වූවක් බවට පත්වූ අතර මේ කී සිද්ධිය නිසා තවත් දරුණු ව්‍යසනයක් ශ්‍රී ලංකාව තුළ සිදුවීමේ දැඩි අවදානමක්ද පැවතුණි.
මේ සිද්ධියත් සමග වැඩ බලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ විමර්ශනයක් සිදුකරන ලෙසටය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව වෛද්‍ය ෂාෆි විසින් එවැනි වඳ සැත්කම් සිදුකර නැති බවට කරුණු අනාවරණය වී ඇති බව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ජූනි 27 දින කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ පිටු 204කින් සමන්විත අධිකරණ ඉතිහාසයේ දිගම බී වාර්තාව වශයෙනි.

අත්අඩංගුවට ගැනීම හා චෝදනා

වෛද්‍ය ෂාෆිට මුලින්ම ඉදිරිපත් කර තිබූ චෝදනාව වනුයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වී ඇති මරාගෙන මැරෙන අයි.එස්.අයිඑස්. ත්‍රස්තවාදීන්ට සහාය ලබාදෙන පුද්ගලයකු වශයෙනි. ඒ බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් 2019.06.27 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒඩි්‍රයන් නිශාන්ත සිල්වා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන්ය. එම බී වාර්තාවේ වැඩිදුර තොරතුරු අනුව 2019.05.24 දින පැය 22ට කුරුණෑගල පොලිස් ස්ථානය විසින් වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගෙන ඇති බවත් එම අවස්ථාව වන විට ඔහුට එරෙහිව තව්හිද් ජමාද් සංවිධානයට ලැදිව කටයුතු කිරීම පිළිබඳවත් සිංහල කාන්තාවන් දරු ප්‍රසුතියේදී නැවත ගැබ් ගැනීම් සිදුනොවන ආකාරයට කටයුතු කරන බවටත් ඔහු සිසේරියන් සැත්කම් 8000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති බවටත් චෝදනා නගා තිබේ.

2019.05.26 දින කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත පිටු අටක වාර්තාවක් යොමුකරමින් වෛද්‍ය සාෆිට එරෙහිව සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී නොසැලකිලිමත් කමින් කාන්තාවකගේ මුත්‍රා නාලවලට හානි සිදුකිරීම, මුස්ලිම් කාන්තාවන්ට එල්ආර්ටී සැත්කම් සිදුකිරීමට නියමිතව තිබුණද එසේ නොකර ඒවා කළ බවට අසත්‍ය සටහන් යෙදීම, සිංහල කාන්තාවන්ගේ සිසේරියන් සැත්කම් කිරීමේදී කුඩා කැපුමක් යොදා අස්වාභාවික අයුරින් හැසිරෙන බව මුස්ලිම් කාන්තාවන්ගේ තුන්වන සිසේරියන් සැත්කම කිරීමේදී එල්ආර්ටී සැත්කම් සිදුකිරීමට නියමිතව තිබුණද එසේ නොකර ඒවා කළ බවට අත්සන් යෙදීමත්, සිංහල කාන්තාවන්ගෙන් බලෙන් එල්ආර්ටී සැත්කම් සඳහා කැමැත්ත ගැනීම, සිසේරියන් සැත්කම්වලදී ඉතා අස්වාභාවික අයුරින් සැකසහිත ලෙස කැපුමට අත දමා හැසිරෙන බවත්, ඒ සම්බන්ධයෙන් අන් නිලධාරීන් හා මිතුරන්ට පැවසූ විට එය ආරංචි වී වෛද්‍ය ෂාෆි විසින් වෛද්‍යවරයකුට කළ නොහැක්කක් නොමැති බවට තර්ජනය කිරීමත්, 2017 සිසේරියන් සැත්කමෙන් පසු නැවත දරු උපතක් නොවූ බවට හා 2011, 2010, 2019 සිසේරියන් සැත්කම් කළ තිදෙනකු දරුවන් නොලද බව ආහාර ගෙන සිටියදී සිසේරියන් සැත්කමක් බලෙන් සිදු කළ බව ඒ සාක්ෂි 10 වේ. 2019.05.24 දින වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුට එරෙහිව නගා ඇති චෝදනා වන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක මුදල් ලබාගෙන එම කණ්ඩායමේ අරමුණ ඉටුකිරීම හා එම මුදල්වලින් දේපළ මිලදී ගැනීමට කටයුතු කිරීම, ප්‍රදේශයේ ඇතිවී ඇති උණුසුම්කාරී තත්ත්වය මත මෙම පුද්ගලයා සහ අනෙකුත් පාර්ශ්ව අතර මුස්ලිම් සිංහල ජාතීන් අතර ඇතිවිය හැකි ගැටුමක් වළක්වා ගැනීම හා මෙම පුද්ගලයා පලා ගොස් සැඟවී සිටීමට ඉඩ ඇති බව යන්නය.

තිබෙන කරුණු කාරණා අනුව නම් වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගැනෙනුයේ සිසේරියන් සැත්කම් කරද්දී එකී සිංහල කාන්තාවන්ට වඳ සැත්කම් (පැලෝපීය නාලය අවහිර වන සේ කිසියම් ක්‍රියාකාරකමක් සිදුකර ඇති බවට තිබූ) චෝදනා මත නොවන බව පැහැදිලිය. මන්ද ඔහුට එරෙහිව එවැනි පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙනුයේ මැයි 24 දිනෙන් පසුවය.

පැහැදිලි සාක්ෂි නැත

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාව අනුව ඔවුන් වෙත ලැබුණ පැමිණිලි සංඛ්‍යාව 615කි. මින් 468ක් පැමිණිලි ඇත්තේ ඔවුන්ගේ පැලෝපීය නාලවලට කිසියම් හානියක් සිදුවී ඇතිද යන සැකය මතය. තවත් පැමිණිලි 147ක් සිසේරියන් සැත්කම කළ පසුව දරු උපත් අපේක්ෂාවෙන් සිටියද එසේ දරුවන් නොලැබීම ගැන ඇතිවූ සැකයෙනි.

මේ අය වෙනුවෙන් ජූනි 30 දින කුරුණෑගලදී වෛද්‍ය සායනයක් සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබුණද 27 දින අධිකරණයේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ විරෝධය මත මහේස්ත්‍රාත්වරයා විසින් එය තාවකාලිකව අත්හිටුවා ඇත.
වෛද්‍ය ෂාෆි සම්බන්ධ විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 07 දෙනකුගෙන්ද ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයකුගෙන්ද, නිර්වින්දන වෛද්‍යවරුන් 14 දෙනකුගෙන්ද, නොමේරු ළදරු ඒකකයේ වෛද්‍යවරුන් 6කගෙන්ද, සැත්කම් සහාය වෛද්‍යවරුන් 14කගෙන්ද, සැත්කම් සහාය හා උපකාරක හෙදියන් 70කගෙන්ද, උපස්ථායකයන් 18 දෙනෙකුගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබේ. මෙම පිරිස ලබා දුන් ප්‍රකාශවලින්ද වෛද්‍ය ෂාෆි වැනි කටයුත්තක් සිදුකළ බවට කරුණු තහවුරු වී නැත. එහෙත් වෛද්‍ය ෂාෆි සිංහල හා දෙමළ කතුන්ගේ ඉතා ඉක්මනින් සිසේරියන් සැත්කම් සිදුකර ඒ සම්බන්ධයෙන් එක් විශේෂඥ වෛද්‍යවරයකු ඔහුට උපදෙස් දුන් බවදඑක් ප්‍රකාශයක සඳහන්ය. මේ හැර ඍජුවම ෂාෆි වෛද්‍යවරයා එසේ කළේයැයි සාක්ෂි ලැබී නැති බව පෙනේ. කෙසේ වුවත් මොහු එවැන්නක් කරන බවට 2018 වසරේ සිට වගේ කටකතා පැතිර තිබූ බවද සඳහන්ය. එහෙත් කිසිදු කාන්තාවකගෙන් ඒ වනවිටත් පැමිණිලි ලැබී තිබූ බවක් ද නොපෙනේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු සාක්ෂි සෙවීම

වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් කඩිමුඩියේ තීරණ ගන්නේ දිවයින පුවත්පතේ පළවූ මුල් පුවතත් සමගය. එයද පදනම් විරහිත චෝදනාවක් බව මේ වනවිට පැහැදිලිය. දිවයින මාධ්‍යවේදියාට මේ පුවත ලබා දුන්නේ කවුද යන්න ඉදිරියේදී හෙළිදරව් වනු ඇත. දිවයින මුල් පුවත පළවීමෙන් පසු දින එනම් මැයි 24 දින ෂාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට පත්වන්නේය. ඔහුව අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි තිබූ බව කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි මහින්ද දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යැවූ ලිපියේ සඳහන්ව තිබුණද ඔහු ඉදිරිපත් කරන ලද ප්‍රබල සාක්ෂි දෙකක් ලබාගෙන ඇත්තේ වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගැනීමෙන් පසුව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත. බී වාර්තාවේ එය මෙසේ සඳහන් වේ.
“පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා ඉහත වෛද්‍යවරයාගේ ප්‍රකාශය සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු 2019.05.25 දින ලේඛනවල සටහන් කර ඇති බවට අසත්‍ය තොරතුරු ඇතුළත් කර ඇති බවට නිරීක්ෂණය වේ. මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා වෙත යොමුකර ඇති වාර්තාව අසත්‍ය වාර්තාවක්. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර ප්‍රමාණවත් කරුණු නොතිබූ බව නිරීක්ෂණය වේ. තවද වෛද්‍ය ෂාෆි දඹුල්ල රෝහලේදී සිසේරියන් සැත්කම් සිදු කරන බවත්, ඊට අදාළ ප්‍රකාශයක් වෛද්‍යවරයා විසින් ලබාදී ඇති අතර මෙම සිද්ධිය දඹුල්ල රෝහලේදී සිදුවූ සිද්ධියට අදාළ වේ. එබැවින් කොට්ඨාස භාර නිලධාරියාට ඔහුගේ කොට්ඨාසයෙන් පිට අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ බලයක් ඔහුට මේ වනතුරු ලබාදී නැත. රැඳවුම් නියෝග ලබාගැනීමට සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙම වෛද්‍ය දීපානි නන්දසේනගේ ප්‍රකාශයද උපයෝගී කරගෙන ඇති බව නිරීක්ෂණය වේ.”

විශේෂඥ නිර්වින්දන වෛද්‍ය දීපානි ප්‍රියංකා නන්දසේනගේ ප්‍රකාශය 2019.05.24 කුරුණෑගල පොලිස් ස්ථානයේදී සටහන් කරගත් බවට පොත්පත්වල සඳහන්ව තිබුණද ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත්තේ 2019.05.26 දින ගම්පහ ඇයගේ නිවසේදී බව ඇයගේ ප්‍රකාශය අනුව තහවුරු කරගෙන තිබීම විශේෂත්වයකි. එමෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරි නාමල් බණ්ඩාරගේ ප්‍රකාශය ලබාගෙන ඇත්තේ නාඋල පොලිස් ස්ථානයේදී වුවත් එම ප්‍රකාශය සටහන් කරගත් ස්ථානය කෝන්ගහවෙල රෝහල් නිල නිවාසය ලෙසත්, ප්‍රකාශය ලබාගත් දිනය 2019.05.25 දිනය බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද ප්‍රකාශයන්හි සඳහන් වේ.
මෙම වෛද්‍යවරුන් දෙදෙනාම වෛද්‍ය ෂාෆි සිසේරියන් සැත්කම් සිදුකරද්දී සැත්කමට බඳුන් වෙන කාන්තාවන්ගේ පැලෝපීය නාලවලට අනතුරු සිදුකරන බවට සාක්ෂි දී නැතත් වෙනත් කරුණු සම්බන්ධයෙන් සැකසහිත බව එනම් සැත්කමට ගතකරන කාලය, එම වෛද්‍යවරුන් වෙනත් කාර්යයන්ට යොමු කිරීම වැනි ප්‍රකාශ ලබාදී තිබේ.
ෂාෆි වෛද්‍යවරයාගේ දේපොළ ආදායම් පිළිබඳවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකර ඇති අතර එහිදීද අයථා ඉපැයීම් සම්බන්ධව කිසිවක් විමර්ශනය වී ඇති බවක් නොපෙනේ.

“මේ රට යන්නේ කොහොමද? ඇයි බොරුව මේ තරම් රජවෙන්නේ. මේ රෝහලේ ප්‍රධානීන් මාධ්‍යයට දෙන්නෙ බොරු තොරතුරු. මෙහෙම ගියොත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය කෙළෙසනවා. ජාත්‍යන්තර වශයෙන් වැඩ කරමින් සිටින ශ්‍රී ලංකාවේ කිසිම වෛද්‍යවරයකු පිළිගන්නේ නැති තත්ත්වයට පත්වෙනවා!
මේ උපුටනයද බී වාර්තාවෙනි. අදහස පවසා ඇත්තේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකි. මේ ශ්‍රී ලාංකේය වෛද්‍ය වෘත්තියේ අනාගතය කෙබඳු වේද යන්නට සපයන ඉඟියකි.

ප්‍රශ්නගත තත්ත්වයක්

සැබැවින්ම වෛද්‍ය ෂාෆි සම්බන්ධ ප්‍රවෘත්තිය පළකිරීමේ සිට ඉන්පසුව රටේ ඇතිවූ තත්ත්වය අතිශය කනගාටුදායක වූවකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය ෂාෆි වෙනුවෙන් පෙනී නොසිටියේය. නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද නිල වශයෙන් කිසිවක් නොකීවේය. මේ තත්ත්වය තුළ පැලෝපීය නාලයක් කිසිදාක සැබැවින් නොදුටු වාචාල දේශපාලනඥයන් මෙන්ම භික්ෂූන්ද ප්‍රශ්නය අබිමුව ඩෙඟා නැටුවෝය. අදටත් නටමින් සිටිති. ප්‍රශ්නයට සැබෑ වශයෙන් පිළිතුරක් ලබාගැනීමේ අවශ්‍යතාවක් ඔවුන්ට ඇති බවක්ද නොපෙනේ. ඉන් එහා ගිය පටු ජාතිවාදී දේශපාලනික අරමුණු ඉටුකර ගැනීමේ නිහීන වුවමනාවක ඔවුහු එල්ලී සිටිති. ඇතැම් මාධ්‍ය සේ ම සමාජ මාධ්‍යයද නාථ දෙවියන්ගෙන් විසඳුම් අපේක්ෂා කරන මහාචාර්යවරුද අරගල කරති.
පරීක්ෂණය සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙස් දෙවොල් තබති. රටේ උගතුන් බුද්ධිමතුන් යැයි කියන උදවිය පවා සාක්ෂරතාවක් විචාරශීලී කියවීමත් ඇති බවක් ප්‍රදර්ශනය නොකරති. ගැටලුවේ අවසානයක් දකින්නට ඒ වෙනුවෙන් වන විද්‍යාත්මක පරීක්ෂණයක් අවශ්‍ය වේ. එය තවමත් සිදුවී නැත. එයට අවශ්‍ය පසුබිම සැකසී තිබුණද එයද අවුල් වියවුල් කරමින් තමන්ගේ කටකතාවම සහතික කරගන්නට කරනු ලබන උත්සාහය ඛේදජනක බව නොකියා බැරිය.