චිත්‍රපට බෙදා හැරීම සංස්ථාවට පැවරීම

රසික ගුණවර්ධන / වින්ද්‍යා ගමගේ

ලාංකීය සිනමාවේ චිත්‍රපට බෙදාහැරීම සම්බන්ධයෙන් දිගු කාලයක සිට මතභේදාත්මක තත්ත්වයක් තිබේ. එක් මතයක් වන්නේ චිත්‍රපට බෙදාහැරීම චිත්‍රපට සංස්ථාව විසින් සිදුකළ යුත්තක් වන බවයි. අනෙක් මතය නම්, චිත්‍රපට බෙදාහැරීම ඒ ඒ මණ්ඩල විසින් එනම් පෞද්ගලික සහ රජය යන පාර්ශ්වයන් දෙකෙහිම මැදිහත්වීම මත සිදුවිය යුතු බවයි. ඉකුත් සමයේ මණ්ඩල පහක් යටතේ චිත්‍රපට බෙදාහැරීමේ කටයුත්ත සිදුවූ අතර, එයින් එක් මණ්ඩලයක් එනම් රිද්මා මණ්ඩලය, ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවට අයත් විය. ඉතිරි මණ්ඩල හතර අයත් වූයේ පෞද්ගලික අංශයටය.

1972 සිට චිත්‍රපට බෙදාහැරීමේ බලය 2000 වර්ෂය දක්වා චිත්‍රපට සංස්ථාව සතුව පැවති අතර ඉන් අනතුරුව 2000 වර්ෂයෙන් පසු චිත්‍රපට බෙදාහැරීමේ බලය පෞද්ගලික අංශයට පැවරේ. කෙසේ වෙතත් 2001 ජූනි මස 18 වැනිදා විෂය භාර අමාත්‍යවරයාව සිටි විජයදාස රාජපක්ෂ විසින් නැවත වතාවක් චිත්‍රපට බෙදාහැරීමේ බලය චිත්‍රපට සංස්ථාවට පවරා ගනු ලැබීය. කෙසේ වෙතත් එම තීරණය වළකාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පසුගියදා ඉවත් කිරීමත් සමඟ නැවත 2019 ජූනි මස 18 වැනිදා සිට චිත්‍රපට බෙදාහැරීමේ බලය නැවත වතාවක් චිත්‍රපට සංස්ථාවට හිමිවීමට නියමිතය.

චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලික අංශයට හිමිව පවතින විට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් නම්, ඔවුන් විසින් සිය කැමැත්ත මත පමණක් තෝරාගත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සහ නිෂ්පාදකවරුන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමක් සිදු කරන බවයි. ඒ හරහා එක් චිත්‍රපට අධ්‍යක්ෂ සහ නිෂ්පාදක කුලකයක චිත්‍රපට නොකඩවා ප්‍රදර්ශනය වන විට තවත් පිරිසකගේ චිත්‍රපට චිත්‍රපට සංස්ථාවේ පුස්කන තත්ත්වයක් උදාවිය. එසේ පුස්කන චිත්‍රපට අතර දෙස් විදෙස් සම්මාන ලද චිත්‍රපට විශාල ප්‍රමාණයක් ද ඇත.
කෙසේ හෝ චිත්‍රපට බෙදාහැරීම පුද්ගලික අංශයට හිමිවීමත් සමඟ ඔක්කොම කුණු බේරෙ වැවට සේ, පෞද්ගලික මණ්ඩලවලින් ප්‍රතික්ෂේප වන චිත්‍රපට සියල්ලම චිත්‍රපට සංස්ථාවේ ගොඩ ගැසුණි. මෑතක් වන තුරු ඒ චිත්‍රපට පෝලිම චිත්‍රපට අසූ ගණනකින් යුක්ත වූ අතර මෑතකදී එය තිස් ගණන දක්වා අඩුකර ඇත. ඒ චිත්‍රපටවල ඇති ගුණාත්මක බව පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුවය.

සිනමාව කලාවක්ද, කර්මාන්තයක්ද යන කරුණුද්වය හරහාම විග්‍රහ කරගත යුතුය. එහෙත් එය වචනයක් බවට පමණක් සීමා වී ඇති බව පෙනෙන්නේ නැවත වතාවක් ඉහත චිත්‍රපට පෝලිම දෙස සහ චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමවේදය දෙස හැරී බලා ඒවාට හේතු එකිනෙක විග්‍රහ කරගන්නා විටය. පෞද්ගලික අංශය විසින් තෝරාගනු ලැබුවේ ඒ ඒ කාලසීමාවලදී නිර්මාණය කරනු ලබන චිත්‍රපට ශානරයන්ගේ චිත්‍රපටයන්ය. ඒවායේ ගුණාත්මක තත්ත්වය පිළිබඳව එතරම් සැලකිලිමත් නොවූ අතර එය හුදෙක් බහුතර විඥානයට ගෝචර වන සහ රස හෙජමොනිය විසින් ඉල්ලා සිටිනු ලබන එකක් වීම ප්‍රධානතම සුදුසුකමක් විය. එසේම ඒ හරහා දැකගත හැකිවූයේ කලාත්මක ධාරාවේ චිත්‍රපට පෞද්ගලික මණ්ඩල හරහා අඩු සැලකිල්ලට ලක්වන බවයි. එනම් ඔවුන් වාණිජමය චිත්‍රපට සඳහා අනුග්‍රහය ලබා දුන් බවක් පැවසිය නොහැකිය, මක්නිසාදයත් ලංකාවේ ක්ෂේත්‍රයක් ලෙස වාණිජමය ලක්ෂණ නොදරන බැවින් සහ ලංකාවේ වාණිජමය ලක්ෂණ දරන චිත්‍රපට නිර්මාණය නොවන බැවිනි. එනම් මෙතෙක් කාලයක් ලංකාවේ පෞද්ගලික මණ්ඩල හරහා අවස්ථාව හිමිවූයේ වැඩි ප්‍රේක්ෂක පිරිසක් නරඹන කලාත්මක නොවන චිත්‍රපට උදෙසාය.

කෙසේ හෝ අවසානයේ කලාත්මක චිත්‍රපට සහ අවම ප්‍රේක්ෂකාගාරයක් ඇති චිත්‍රපට චිත්‍රපට සංස්ථාවට එකතුවිය. චිත්‍රපට සංස්ථාවද ඕනෑම කුණු ගොඩක් ප්‍රදර්ශනය නොකළ යුතු නිසා සහ, එයද ලාභ ඉපැයිය යුතු බව අප විශ්වාස කරන නිසා අප ඔවුන් හුදෙක් කලාත්මක චිත්‍රපට පමණක් පෙන්විය යුතු බව විශ්වාස කරන්නේ නැත. සිනමාව යනු වාණිජමය සහ කලාත්මක මාධ්‍යයක් වන නිසා පෞද්ගලික සහ රාජ්‍ය අංශය යන ද්විත්වයම මේ කාරණා දෙක පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
කෙසේ වෙතත් නැවත වතාවක් චිත්‍රපට බෙදාහැරීම ජාතික චිත්‍රපට සංස්ථාව වෙත හිමිවීමට නියමිත මොහොතේ අප ඒ පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකුගෙන් අදහස් විමසුවෙමු.

සංස්ථාවත් ඒකාධිකාරියි
සෝමරත්න දිසානායක ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ

සරලව කියනව නම් බෙදාහැරීමේ ක්‍රමවේදයේ වෙනසක් විය යුතු බව අපි පිළිගන්නවා. එහෙත් එය සිනමාවේ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර සිනමාවේ අභිවෘද්ධිය සඳහා වන නව ක්‍රමවේදයක් විය යුතුයි. දැනට සංස්ථාව චිත්‍රපට බෙදාහැරීම පවරා ගත්තත් ඔවුන්ට ඒ සඳහා ක්‍රමවේදයක් නෑ. ඒ ක්‍රමවේදය කුමක්ද යන්න සිනමා කර්මාන්තයේ සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගෙන් අදහස් ලබාගෙන ස්වාධීනව ගතයුතු තීන්දුවක්. දැනට සංස්ථාව විසින් යෝජනා කරන වැඩපිළිවෙළක් තිබෙනවා. අප ඒ පිළිබඳව සිතන්නේ මෙතෙක් පැවති පුද්ගලික ඒකාධිකාරිය වෙනුවට එක් රාජ්‍ය අධිකාරියක් පමණක් ලෙසයි. දැනට ස්ථිර කර නැති කෙටුම්පත් යෝජනාවක් සාකච්ඡා මට්ටමේ පවතිනවා. අප සිනමාකරුවන් ලෙස ඒකාධිකාරියට කිසිසේත්ම කැමති වන්නේ නැහැ. මෙතෙක් තිබූ පුද්ගලික ඒකාධිකාරිය යහපත් එකක් නොවේ. මෙතෙක් පැවති විවිධ ඒකාධිකාරීන් වෙනුවට එක් රාජ්‍ය ඒකාධිකාරියක් පැමිණීමත් අප අනුමත කරන්නේ නැහැ. එනිසා සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කොට කාටත් යහපතක් වන පොදු ක්‍රමවේදයකට එළඹෙන්නේ නම් එකඟවනවා.

චිත්‍රපට සංස්ථාව විසින් පත් කළ විද්වත් කමිටුවක් තිබෙනවා. එම කමිටුව ස්වාධීනයි. එම කමිටුව දේශපාලනික හෝ වෙනත් කිසිදු ආකාරයක පක්ෂපාතීත්වයක් නොමැති විද්වත් කමිටුවක්. ඒ විද්වත් කමිටුව විසින් යෝජනා කළ බෙදාහැරීමේ ක්‍රමවේදයක් තිබෙනවා. එම ක්‍රමවේදය ක්‍රියාත්මක නොකර ඒ පිළිබඳව නොසලකා හරිමින් චිත්‍රපට සංස්ථාව තනිවම ක්‍රවේදයක් ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරනවා.

බෙදාහැරීමට අලුත් ක්‍රමයක් ඕනෑ
බුද්ධි කීර්තිසේන චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති.

චිත්‍රපට බෙදාහැරීමේ කාර්යය සංස්ථාවට පවරා ගැනීම පිළිබඳව අප එකඟතාව පළකරනවා. චිත්‍රපට බෙදා හැරීම සඳහා චිත්‍රපට සංස්ථාව විසින් පනවා තිබූ කොන්දේසි කිසිවක් හරි හැටි ඉෂ්ට කළේ නැහැ. ඒ නිසා සිනමාහල් හිමියන්ට විශාල ලෙස ගැටලු ඇති වුණා. චිත්‍රපට බෙදාහැරීම නැවත සංස්ථාවට පවරා ගැනීම කෙරෙහි අප සතුට පළ කළේ ඒ නිසයි. සිනමාහල් හිමියන් 117 දෙනෙක් විසින් මෙම පවරා ගැනීමට ලිඛිත එකඟතාව පළකර තිබුණ. ඒ නිසා අපේ සංගමයට සිදුවූවා මේ ස්ථාවරයේ රැඳී සිටීමට.
මෙම බෙදාහැරීමේ කාර්යය විධිමත් විය යුතුයි. අද නවීන තාක්ෂණය අනුව අදට ගැළපෙන ආකාරයට බෙදා හැරීම වෙනස් විය යුතුයි. මේ වන විට චිත්‍රපට ප්‍රදර්ශනය වන්නේ නවීන ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ.

එවිට එක් සිනමාහලක දිනකට චිත්‍රපට හතරක් පහක් වගේ සංඛ්‍යාවක් පෙන්වන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසා චිත්‍රපට සංස්ථාවත් සහභාගි වෙලා, අපිත් ඇතුළුව සිනමාවට සම්බන්ධ සියලුමදෙනා එකතුවෙලා අලුත් ක්‍රමයකට බෙදාහැරීම පිළිබඳව සාකච්ඡා විය යුතුයි. අපි මේ සම්බන්ධව යෝජනා ඉදිරිපත් කරල තියනවා. ඒ වගේම මම හිතනවා අපි හැම කෙනෙක්ම එකතුවෙලා බෙදාහැරීම සම්බන්ධව විධිමත් ක්‍රමයක් සකස්විය යුතු බව.
අපිට ඇමතිවරයා පොරොන්දු වුණා මේ සඳහා නියාමන මණ්ඩලයක් පිහිටුවන බවට. අපි විශ්වාස කරනවා එය දේශපාලන පත්වීම් නොවී ඒ විෂය පිළිබඳ ප්‍රවීණයන්ට ඒ අවස්ථාව ලබාදේවි කියලා.

සංස්ථාවටත් මෙතනදි ලොකු වගකීමක් තියනවා. බෙදාහැරීම පෞද්ගලික අංශයට ලබාදෙන විට වසරට චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කළ යුතුයි වැනි කොන්දේසි දැම්මා. සංස්ථාව නැවත බෙදාහැරීම පවරා ගන්නවා නම් සංස්ථාව අතින් ඒ කාරණා ඉටුවිය යුතුයි. අපි විශ්වාස කරනවා සංස්ථාව එහෙම කටයුතු කරයි කියලා.

පුද්ගලික අංශය නිසා සිනමාව විනාශ වුණා

රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රවීණ රංගන ශිල්පී

2001 වසරේදී චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලික අංශයට ලබාදීමට හේතුවූයේ යම් පිරිසක් විසින් ලංකාවේ සිනමාවේ උද්ගත වී තිබූ අර්බුදයට ප්‍රධානතම හේතුව චිත්‍රපට බෙදාහැරීම ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පැවතීම බවට විශාල අසත්‍ය ප්‍රචාරයක් ගෙනයාම. 1971 අංක 47 දරන ජාතික චිත්‍රපට සංස්ථා පනතට අනුව පැහැදිලිවම චිත්‍රපට ආනයනය, බෙදාහැරීම සහ ප්‍රදර්ශනය පිළිබඳ සම්පූර්ණ අයිතිය, වගකීම, භාරකාරත්වය, හිමිකම පවතින්නේ ජාතික චිත්‍රපට සංස්ථාවට. එම පනතේ අකුරක්වත් වෙනස් නොකර, එනම් නීතියට පටහැනි ලෙස භාණ්ඩාගාරයෙන් ආපු උපදෙස් මාලාවක් දරන පත්‍රිකාවක් හරහා පෞද්ගලික අංශයට භාර දුන්නා.
බෙදාහැරීම පෞද්ගලික අංශයට ලබාදෙන විට ඔවුන් එළැඹි ගිවිසුම පරිදි ඔවුන් පැවසුවේ නිෂ්පාදකවරුන්ගෙන් බෙදාහැරීමේ ගාස්තු ලෙස 10% අය නොකරන බව සහ තවත් විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලබාදෙන බවයි. එහෙත් බොහොම කෙටි කාලයක් තුළ ඔවුන් 10%යේ බෙදාහැරීමේ ගාස්තුව අයකරන්න පටන් ගත්තා. එය දේශීය සිනමාවේ සම්පූර්ණ ආදායමෙන් 10% ක්!

මෙතන තියන වැදගත්ම කාරණය තමයි පසුගිය අවුරුදු 18 කාලය තුළ ඔවුන් ලබාගත් ඒ 10% ක මුදලින් ක්ෂේත්‍රයේ උන්නතියට කිසිදු දෙයක් නොකිරීම. ඒ වගේම චිත්‍රපට බෙදාහැරීම සිනමාවේ ප්‍රධාන අර්බුද කියල ඔවුන් 2001 දී චිත්‍රපට බෙදාහැරීම බාරගත්තායින් පසුව මේ දක්වා සිනමාවේ අර්බුදය නිමාවෙලා, සිනමාව ඉදිරියට ගිහිල්ල තියනවද කියන එක ප්‍රශ්න කළ යුතුයි.
චිත්‍රපට සංස්ථාවට ලැබුණු ඒ 10%ක මුදල නීත්‍යානුකූලව රජයට ලැබුණු ආදායමක්. හැබැයි නීත්‍යානුකූල නොවන ලෙස එය පෞද්ගලික අංශයට පවරා ගැනීම මූල්‍යමය වශයෙන් කවර ආකාරයේ කාරණාවක්ද කියල විග්‍රහ කරගත යුතුයි. අවුරුදු 18 තුළ ඔවුන් කොපමණ මුදලක් එසේ ලබා ගත්තා දැයි මට කිව නොහැකියි, නමුත් එක සාර්ථක චිත්‍රපටයක් ආශ්‍රයෙන්ය පිළිබඳව දළ අදහසක් ලබාගත හැකියි. සෝමරත්න දිසානායක මහත්තයගෙ සූරිය අරණ චිත්‍රපටය ලක්ෂ තුන්දාහක් විතර උපයපු චිත්‍රපටයක්. එයින් නිකම්ම ලක්ෂ තුන්සීයක් විතර බෙදාහැරීම සිදු කළ සමාගමට.

මේ හරහා ලාංකීය සිනමා කර්මාන්තයට සිදුවූ හානිය තමයි, එම මුදල් අහිමිව යාම තුළින් ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයට චිත්‍රපට සංස්ථාවට සිදු කිරීමට තිබූ සේවය අඩුවීම. සංස්ථාව ආදායම් විරහිත ආයතනයක් වුණා, රජයෙන් ලැබෙන දීමනාවෙන් සංස්ථාව පවත්වාගෙන යන්නේ. චිත්‍රපට සංරක්ෂණය, සංවර්ධනය, ප්‍රවර්ධනය, ශාලා වැඩිදියුණු කිරීම, චිත්‍රපටවලට මූල්‍ය ආධාර සැපයීම වැනි කිසිම දෙයක් කරන්න සංස්ථාවට පුළුවන්කමක් නෑ. මොකද සංස්ථාවට තිබූ එකම ආදායම් මාර්ගය පෞද්ගලික අංශයට ගිය නිසා.
ඒ වගේම කලාත්මක හෝ අලුතෙන් බිහිවන අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපට පෞද්ගලික අංශය ප්‍රදර්ශනය කිරීමට භාරගන්නේ නැහැ. ඒ වගේ චිත්‍රපට අනූවක් විතර සංස්ථාවෙ ගොඩ ගැහිල තිබුණා. කර්මාන්තයට අලුත් කලාකරුවන්ට පිවිසෙන්න තිබුණ අවස්ථාව පසුගිය කාලයේ වැළකිලා තිබුණෙ. ඒ වගේම පෞද්ගලික අංශයේ විශාල ඒකාධිකාරියක් තිබුණා, චිත්‍රපටයක් හදලා එය ප්‍රදර්ශනයට දෙනවාද නොදෙනවාද කියන කාරණය මත ඔවුන්ට අධිකාරී බලයක් පැවරෙනවා. ඒ අනුව චිත්‍රපට නිෂ්පාදකයන්ට ඔවුන්ගේ පදයටම නටන්න සිද්ධ වුණා. මෙවැනි වසර ගණනාවක් පැවති ගැටලු නිසා දේශපාලන අධිකාරීන් සමඟ දීර්ඝ සාකච්ඡා වට බොහෝ ගණනකින් පසුව කර්මාන්තයේ උන්නතිය සඳහා චිත්‍රපට බෙදාහැරීම නැවත සංස්ථාවට හිමිවිය යුතුයි කියන මතයට ආවෙ.

ධාරා තුනක් යටතේ බෙදා හරිනවා
අනූෂා ගෝකුල ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති

අපි දැනට ක්‍රමවේදයන් තුනක් මත චිත්‍රපට වර්ගීකරණය සිදුකිරීමට නියමිතයි. එනම්, කලාත්මක සිනමාව, වාණිජ සිනමාව සහ කලාත්මක සහ වාණිජ සිනමාව ලෙස. ඒ කාරණය සිදුවෙන්නේ වර්ගීකරණ කමිටුවක් හරහා. ඒ වගේම අනුපෙළ කමිටුව සහ ඇගැයීම් කමිටුව කියල තවත් කමිටු දෙකක් තියනවා. ඇගැයීම් කමිටුවෙන් වෙන්නේ ඉහත වර්ග තුනට චිත්‍රපටය යොමු කිරීම. අනුපෙළ කමිටුව විසින් අදාළ නිර්ණායක වලට අදාළව චිත්‍රපට අනුපිළිවෙල ගන්වනවා. ඒ අනුව ධාරා තුනක් යටතේ චිත්‍රපට ශාලා එකසිය දහනවයක වගේ මේ චිත්‍රපට පෙන්වීමට සැලසුම් කරල තියනවා. එක වතාවක කලාත්මක ධාරාවේ චිත්‍රපටක් පෙන්වූවා නම් ඊළඟ වතාවෙ වාණිජ ධාරාවෙ ආදී වශයෙන් වෙනස් ධාරාවන් වල චිත්‍රපට පෙන්වන්න සැලසුම් කරල තියනවා. එතකොට චිත්‍රපටශාලා වර්ගීකරණය වෙන්නේ නෑ, මේකෙ පෙන්නන්නෙ මේව විතරයි කියලා.

ඒ වගේම යම් චිත්‍රපටයක් ආවොත් ලංකාවෙ සිනමා ශාලා එකසිය දහනවයෙම පෙන්නල ආදායම් ලැබිය හැකි, අප එයටත් අවස්ථාව ලබා දෙනවා. අපි පූර්ණ වශයෙන් නම්‍යශීලීයි.
ඒ වගේම අපි ප්‍රධාන වශයෙන් ධාරාවන් තුනක් පවත්වාගෙන ගියත් එය යම් විදිහකට වෙනස්විය හැකියි. උදාහරණයක් අනුව යම් නිෂ්පාදකවරයෙක් කියනව නම් මගේ චිත්‍රපටය කොළඹ තියන සිනමා ශාලාවල පෙන්නුවා නම් ඇති කියල එතකොට අපි ඒකත් බෙදල ධාරා ප්‍රමාණය වැඩි කරනව. එතකොට ප්‍රධාන වශයෙන් ධාර තුනක් යටතේ කතා කළාට ඇතැම් අවස්ථාවල සියලුම සිනමා ශාලාවල එක් චිත්‍රපටයක් පෙන්වලා එක ධාරාවක් වෙන්නත්, විවිධ විත්‍රපට පෙන්නලා වැඩි ධාරාවන් ගණනක් වෙන්නත් පුළුවන්.
අප පැහැදිලිවම ප්‍රකාශ කළ යුතුයි මෙහි කිසිම ඒකාධිකාරියක් නෑ. සියලු පාර්ශ්වයන් නියෝජනය වන ආකාරයට තමයි අපි අනුපෙළ කමිටු නිර්මාණය කරල තියෙන්නේ. උදාහරණයක් විදිහට චිත්‍රපට ශාලා පහකට වැඩිය හිමි අයට මේ කමිටුවලට සම්බන්ධ වෙන්න පුළුවන්, ඒ වගේම චිත්‍රපට ශාලා පහට අඩු අයට පළාත් නවයට නව දෙනෙක් බැගින් නියෝජනය වෙනාව. මීට අමතරව මේ අනුපෙළ කමිටුවට ස්වාධීන පුද්ගලයන් තිදෙනෙකුගෙන් සමන්විතයි.

ඒ වගෙම මේ හැමදේකදිම අපි ප්‍රේක්ෂකයා පිළිබඳව සිතිය යුතුයි. ලංකාවෙ ජනගහණය මිලියන විස්සක් විසි එකක් උනාට ෆයිල්වල තියන සංඛ්‍යා ලේඛනවලට අනුව මිලියන හැත්තෑවක් හිටපු ප්‍රේක්ෂකයෝ චිත්‍රපට නරඹල තියනවා. ඒ කියන්නේ එක මනුස්සයා දහපාරක් විතර චිත්‍රපටයක් බලල තියනවා. හැබැයි ඒ මිලියන හැත්තෑවක් වෙච්ච ප්‍රේක්ෂක ප්‍රමාණය සියලුදෙනාම එකතුවෙලා මිලියන හතක් බවට අඩුකරගෙන තියනවා. ඒ වගේම පුද්ගලික අංශයට බෙදාහැරීම බාරදෙනකොට චිත්‍රපට ශාලා තුන්සිය ගාණක් තිබිල තියනවා. දැන් එකසිය ගාණකට අඩුවෙලා තියනවා. ප්‍රේක්ෂකයො දහයෙන් එකකකට අඩුවෙලා තියනව. ඒකම ඇති මේක සාර්ථකද අසාර්ථකද කියන්ඩ.