‘කොට තුවක්කු’ ජාතිය බොඳ වෙච්ච තරුණයෙක්ගේ කතාවක් –  ප්‍රියන්ත ලියනගේ

ශාලික විමලසේන

මාධ්‍යවේදියකු ලෙස මෙන්ම සාහිත්‍ය විචාරකයකු ලෙසද ජනතාව හඳුනාගත් ප්‍රියන්ත ලියනගේ ගේ පළමු නවකතාව ‘කොට තුවක්කු’ ලබන 15 වැනිදා පස්වරු 3.30 ට කොළඹ, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී දොරට වඩී. මේ, ඒ නිමිත්තෙන් ඔහු සමග කල සංවාදයකි.

මුලින්ම ඔබව හඳුනා ගැනෙන්නෙ පූර්ණකාලීනව දේශපාලනය කරන්නෙක් විදිහට. ඊට පස්සේ පත්තරකාරයෙක් විදිහට. මේ සංක්‍රමණය සිදුවුණේ කොහොමද?

මේ ප්‍රශ්නෙන් තේරෙන්නේ ඔබ මගේ ඉතිහාසයට යම් එබිකම් කිරීමක් කරලා තියෙන බවකුයි. මේ ප්‍රබන්ධය තුළත් යම් දේශපාලන ඉතිහාසයකුත් කියවෙන නිසාම ඒ දේශපාලන අතීතයත් යම් ප්‍රමාණයකින් හරි පැහැදිලි කරලම මං මේ කතාබහට පිවිසීම හොඳයි කියලා මටත් හිතෙනවා. මං උපදින්නේ 1964. අපේ තාත්තා එවකට තිබුණු ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කම්කරුවෙක්. වෘත්තීය සමිති නායකයෙක්. 71 අප්‍රේල් මාසේ හතරවෙනිද අවුරුදු හතක පොඩි එකෙක් විදිහට අවුරුදු සිහිනෙකුත් එක්ක නින්දට ගිය මං ඇහැරෙන්නෙ පොලිස්කාරයෙක් මගෙ මූණට ඇල්ලුව ටෝච් එළියකින් ගිනිකන වැටිල. ඒ ගිනිකන වැටිච්ච ඇස්වලින් මං දැක්කේ අයියලගේ අම්මලගේ විලාප හඬ මැද්දේ පොලිස්කාරයෝ අපේ තාත්තාව චේගුවේරකාරයෙක් කියලා කුදලගෙන යනවා. අපේ තාත්තා 71කැරැල්ලේ සාමාජිකයෙක්. මං පසුකාලෙක ජවිපෙ දේශපාලනයේ පූර්ණකාලීන දේශපාලනේ නිරතවන්නෙක් වෙන දේශපාලනයේ මූලය තියෙන්නේ එතන.

ඇත්ත කාරණය තමයි ජනමාධ්‍ය සමාජෙ බොහෝ දෙනෙක් මාව දන්නේ නෑ. ඒ නිසා මාව ඔබ හඳුන්වන ඔය නාමකරණයෙන් මාව දන්නේ මාත් එක්ක වැඩ කරපු ඉතාම අතළොස්සක් විතරයි. එහෙම වෙන්න බලපාපු ප්‍රධානම කාරණය තමයි අපි වැඩ කළේ ජාතික යැයි කියා ගන්නා පත්තරවල නෙමෙයි විකල්ප ධාරාව නියෝජනය කරපු ලංකා, ජනරළ වගේ පත්තරවල. ඒව ඇසුරේ හිටියෙ කුඩා සමාජ තීරුවක්. ඒ නිසාම අපිව පත්තරකාරයො වුණා නම් වුණේ ඒ කුඩා සමාජ තීරුවට මිසක් මේ මහා සමාජයට නෙමෙයි.
මගේ මාධ්‍ය කලාව කියන්නෙත් මගේ දේශපාලනයේම දිගුවක් මිසක ඉන් පරිබාහිර එකක් නෙමෙයි. මුලින්ම මං ජනමාධ්‍ය කලාවට පිවිසෙන්නෙ ‘සිතිජය’ සඟරාව හරහා. සිතිජයට තිබුණෙත් දේශපාලන උපතක්. ඊළඟට ලංකා සහ ජනරළ පුවත්පත්. ඒවට තියෙන්නෙත් දේශපාලන උප්පත්ති. ඉන් අද වෙද්දි ජනරළ පත්තරේ වැහිල ගිහින්. ඊළඟ කරුණ මං රස්සාව ආරම්භ කරන්නෙම සිතිජය සඟරාවේ පෲෆ් රීඩර් විදිහට, එහෙම ආරම්භ කරපු ගමන තමයි මං සිතිජයේ සහාය සංස්කාරක කෙනෙක් සහ ලංකා සහ ජනරළ වගේ පුවත්පත්වල විශේෂාංග සංස්කාරක වගේ දුරකට ගෙනාවෙ. ඒත් දැන් පත්තර කලාව ගමන් කරන දිශානතිය දිහා බලද්දි ඒකෙන් තවදුරටත් සමාජ මෙහෙවරක් කරන්න පුළුවන් කියන මිථ්‍යාවෙ මං නෑ. ඒ නිසා දැන් මං කරන්නෙ මගෙ අත්දැකීම් හා මට පුරුදු ක්ෂේත්‍රයක ඉඳගෙන ජීවත් වෙන්න රස්සාවක් කරන එක.

ඔබ සමාජය හාරා අවුස්සමින් ලියන්නෙක්. ‘පියසටහන්’ වාගේ තීරු ලිපි වලින් මිනිස්සු මේ ක්‍රමය ඇතුලේ ජීවත් වෙන්න දගලන හැටි ඔබ ලිව්වා. ඒවායින් සමාජය මොනවා හරි දෙයක් ගත්තා කියලා හිතනවාද?

ඔබේ ප්‍රශ්නෙට සෘජු හා කෙටි උත්තරයක් දෙනවනම් මට කියන්න තියෙන්නෙ නෑ කියල. ඒත් මං කැමතියි ඒකට තව යමක් එකතු කරන්න. ’පියසටහන්වලින්’ මං උත්සාහ දරුවේ සමාජ ඛේදවාචකයන්, සමාජ සංසිද්ධීන් පිළිබඳ යම් මනුෂ්‍ය හැඟීමක්, යම් සංවේදී බවක් මිනිස්සු තුළ අවදි කරන්න. ඒත් අපි ජීවත් වෙන්නේ දවසින් දවස නරුමත්වය කරා යන සමාජයක. මේක ආතල් හොයන, ආතල් දෙන සමාජයක්. ඒකට මිනිස්සුන්ගෙ දුක් පීඩාවන් හා ඛේදවාචකයන් සියල්ල විකිණුම් භාණ්ඩ විතරයි. මේක ඛේදවාචකයන් සහ ආතල් සියල්ල එකට විකුණන මාකට් එකක්. ප්‍රජාතන්ත්‍රවාදයයි-භීෂණයයි එකට ළගින, දූෂණයයි-දූෂණ විරෝධයයි එකට බුදියන යක්ෂයෝ අරක්ගත්තු, ‘දෙයියෝ සාක්කි’ සමාජයක්. ඒක ඇතුළේ ලිව්වා කියලා මොකුත් වෙන්නේ නෑ.

පැරණි සෝවියට්දේශය අතුළු සමහර රටවලට සාහිත්‍ය, කලාව සහ දේශපාලනය ගැටගැහුණු හැටි අපි කියවලා තියනවා. පූර්ණ කාලීන දේශපාලනයේ යෙදුණු කෙනෙක් විදිහට ඔබ කියන්න, ඇයි අපිට එහෙම සංස්කෘතියක් හදාගන්න බැරි වුණේ. ඒක ලියන්නන්ගේ අඩුවක්ද? කියවන්නන්ගේ අඩුවක්ද?

අපි බොහෝ දෙනෙක් කියවන මිනිසුන් බවට පත් වුණේ සෝවියට් සාහිත්‍ය ඇසුරේ. ඒ කාලෙ අපේ වීරයා දුෂ්ටයෝ හැදුණේ සොවියට් සාහිත්‍යය ඇසුරේ. ඒත් මගේ කියවීම ටිකින් ටික පළල් වෙද්දි සෝවියට් සාහිත්‍යය පිළිබඳ මගේ තිබුණු ඒ ලාලසාව ක්‍රමයෙන් ගිලිහෙන්න ගන්නවා. මොකද මිනිස් ජීවිතය සහ මිනිස් සබඳතා හරිම සංකීර්ණයි. දේශපාලන දඬුඅඬුවක හිරවෙච්චි සෝවියට් සාහිත්‍යයට ඒ සංකීර්ණ මිනිස් ජීවිතය අහුවෙන්නේ නෑ. ඒ දෘෂ්ටිමය දඬුඅඬුව සීමාකාරියි. විශේෂයෙන් ස්ටාලින්ගේ සෝවියට් දේශය තුළ. ඒ සෝවියට් සාහිත්‍ය තුළ එළියට ආවේ ඇත්ත මිනිස් හැඟීම් කැටි වෙච්ච මිනිස් ජීවිතයේ ගුප්ත ස්වභාවය හා සංකීර්භාවයන් නිරූපණය වෙන සාහිත්‍ය නෙමෙයි දේශපාලන අරමුණක් වෙනුවෙන් ලියවුණු පැතලි කළු-සුදු මිනිස්සු ඉන්න කෘති. ඒවායේ ඉන්නේ එක්කො සමාජය වෙනුවෙන් ජීවිතය කැප කරන හරිම පරමාදර්ශී මිනිස්සු. නැත්නම් සමාජ ප්‍රගතියට විරුද්ධ දුෂ්ට මිනිස්සු. ඒත් සැබෑ ජීවිතයෙදි අපිට හමුවෙන්නෙ ඊට වඩා වෙනස් කළු-සුදු කලවම් වෙච්චි නැත්නම් හොඳ-නරක දෙකම කැටිවුණු අළුපැහැති මිනිස්සු. අර මං ඉහතින් කියපු දේශපාලන වුවමනාවෙන් විලිලාපු සෝවියට් සාහිත්‍ය තුළ ඒ සංකීර්ණ මිනිස් හැඟීම් නිරූපණය වුණේ නෑ. ඒ හින්ද අද මං දකින්නෙ ඒක පැතැලි සාහිත්‍යයක් ලෙස. ඒක සීමාකාරි සාහිත්‍යයක්. මං මේ කියන කාරණය තේරුම් ගන්න මට ඔබට දෙන්න තියෙන හොඳම උදාහරණය තමයි සෝවියට් දේශයේ නිර්මාතෘ ලෙනින් සහෝදරය. ලෙනින් විප්ලවයේ කැඩපත කියල හැඳින්නුවේ විප්ලවය වෙනුවෙන් පණ දාගෙන ලියපු ගෝර්කිව නෙමෙයි. විප්ලවයට පට්ට හතුරෙක්ව හිටිය රුසියාවේ මහා සාහිත්‍යවේදියා වුණු ටෝල්ස්ටෝයිව. ඇයි ඒ. මං මේකෙන් කොහෙත්ම අදහස් කරන්නෙ නෑ ගෝර්කිලා, ෂොලහව්ල නරක සාහිත්‍යවේදීන් කියල. පූර්ව විප්ලවීය රුසියාවෙ ලියවුණු ඔවුන්ගෙ කෘති කියවන්න. එතකොට ඔබට තේරෙයි ඔවුන් මොනතරම් ශක්‍යතා තිබුණු සාහිත්‍යකරුවොද කියල. මං මේ කියන්නෙ ඒ ශක්‍යතා සෝවියට් දේශපාලන ඇතුළෙ නිරපරාදෙ නැති නාස්ති වුණා කියලයි. සෝවියට් සාහිත්‍යය කලේ මිනිස් ජීවිතයට තිරයක් දාල වහල තමන්ට කැමැති දේවල් විතරක් අපිට පෙන්නුව. ඒත් සාර්ගෙ කාලෙ බිහිවුණු මහා රුසියානු සාහිත්‍යය ඇතුළෙ අපි දැක්කෙ සබෑ මිනිස් ජීවිතය. ඇනාකැරනිනා, අපරාධය හා දඬුවම, යුද්ධය හා සාමය, මළ මිනිස්සු, හිම කබාය, අපිට ඇත්ත මිනිස් ජීවිතය දැක ගන්න පුළුවන් වුනු කෘතිවලට උදාහරණ කීපයක් විතරයි. ලෙනින් සහෝදරය විප්ලවේ හතුරෙක් වුණු ටෝල්ස්ටෝයිව විප්ලවයේ කැඩපත කියල හැඳින්නුවෙත් ඒ ඇත්ත රුසියන් ජන ජීවිතය ඔහුගෙ කෘති තුළින් නිරූපණය වුණු නිසයි.

ඒ නිසා ඔබ අහන ඔය ප්‍රශ්නය තුළ තියෙන ලංකාවේ සාහිත්‍යය සෝවියට් සාහිත්‍ය වර්ගයේ දේශපාලන සාහිත්‍යයක් ලෙස වර්ධනය නූන එක ගැන නම් ඒක ලියන්නන්ගෙ අඩුවක් වුණත් කියවන්නන්ගෙ අඬුවක් වුණත් ඒක ගැන අද වෙද්දි මට තියෙන්නෙ සතුටක්. හැබැයි ලංකාවෙ සාහිත්‍යය ලෝක සාහිත්‍යයට සාපේක්ෂව වර්ධනයේ ඉතා පහළ මට්ටටමක තියෙන එක ගැන මට දුකක් තියෙනව. සාහිත්‍ය වර්ධනය වෙන්නෙ මිනිස්සුන්ගෙ කියවීම පළල් වෙද්දි කියලයි මට හිතෙන්නෙ. ඒකට නම් කියවන මිනිසුන් වගේම ලියන මිනිසුනුත් වගකියන්න ඕන කියල මට හිතෙනව. මං හැම වෙලේම විශ්වාස කරන දෙයක් තමයි හොඳ සාහිත්‍යක් සීමාකම් අවම පළල් මිනිසෙක් බිහි කරයි කියන එක.

ඔබේ ‘කොට තුවක්කු’ කෘතිය මගින් මේ සමාජය පවත්වාගෙන යන ආකාරය, ඒවට ආරක්ෂක නිලධාරීන් යොදා ගන්නෙ කොහොමද වගේ සංකීර්ණ කරුණු සියුම්ව අල්ලගන්න උත්සාහ දරනවා. සුළුතරයක් එය අවබෝධ කර ගත්තත් බහුතර සමාජය එය අල්ලාගනියි කියලා හිතනවාද?

ඔබ අහන පැනයට පදනම වෙන්නෙ කර්නල් උදය බණ්ඩාරගම, මහතන්තිල වගේ චරිත, ඇත්තටම සමාන්‍ය ජනතාවට මේ චරිත කියන්නෙ තමන්ගෙ ගැලවුම්කරුවො, විශේෂයෙන් පශ්චාත් යුද ලංකාව ඇතුළෙ මේ අය මිනිස්සුන්ගෙ වීරයො. ඒගොල්ලො ජන විඥානය ඇතුළෙ වීරයො වෙන්නෙත් නිකම්ම නෙමෙයි රාජ්‍ය දෘෂ්ටිවාදයේ ප්‍රතිඵලයක් හැටියට. ඒක නිසා සමාන්‍ය ජනතාවට අරගලයක් ඇතුළෙ සිද්ධවෙන එවැනි සංකීර්ණතා අදාළම නෑ. ඒත් රාජ්‍යයක් එක්ක අරගලයක නියැළිලා ඉන්න ව්‍යාපාර ඒ ගැන ගැඹුරින් සිතිය යුතුයි. ලෝකෙ සිද්ධවුණු මහා ලෝක යුද්ධවල සිට රටක් ඇතුළෙ බලය සඳහා සිදු වූ සිදුවෙන ඕනෑම අරගලයක් ඇතුළෙ ඩබල් ඒජන්ට්ල ඉන්නව. ඒක අපිට වලක්වන්න බැරි දෙයක්. ඒත් අරගල කරන ව්‍යාපාර දැනගත යුතු දේ තමයි ඒ ඕනෑම කෙනෙක් දෙපැත්ත කැපෙන අවියක් කියන එක. පරිස්සම් වියයුතු දේ තමයි එහෙම දෙපැත්ත කැපෙන ආයුධයකින් වැඩ ගනිද්දි පිටින් ඇතුළට මිසක් ඇතුළෙන් පිටට යාම. මේ හැම සංවිධානයක්ම වැඩ කරන්නෙත් ඒක දැනගෙන. ඒත් ඔවුන් හැම කෙනෙක්ම මිනිස්සු. මිනිස් හිත් සංකීර්ණයි. ඒව ජයග්‍රහණයේදි, පරාජයේදි, ආදරයෙදි, මර්දනයෙදි, වරදානයන්ගෙදි වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒව පිළිබඳ විමසිලිමත් වීම වැදගත් වෙන්නෙ ඒවායින් වැඩ ගන්න රාජ්‍ය හෝ රාජ්‍ය විරෝධීන්ට. බහුතර සාමාන්‍ය ජනයාට ඒව එතරම් අදාළ නෑ.

අනෙක් කාරණය, ‘කොට තුවක්කු’ කියන්නෙ තරුණයෙක්ගෙ හිත අස්සෙන් යන ගමනක්. ඒකෙන් කියන්න උත්සාහ දරන්නෙ ජාතියේ දූල, පුතාල ඉන්න සමාජයක, ජාතිය බොඳ වේච්චි තරුණයෙකුගෙ කතාවක්. ඉහත චරිත අපිට හමුවෙන්නෙ ඔහුගෙ ජීවිත කතාව ඇතුළෙ.

ප්‍රකාශනයේ නිදහස අන්තවාදීන්ගේ කර උඩ තියෙන වෙලාවකයි ඔබේ කෘතිය එළියට එන්නෙ. ශක්තික සත්කුමාර වෙනුවෙන් ලේඛක ප්‍රජාව තෝරා-බේරාගෙන කටයුතු කරනව දකින්න ලැබෙන මොහොතක, ඒ ප්‍රජාව තුළට ඇතුළු වන නව සාමාජිකයෙක් හැටියට මොකද හිතන්නේ?

සිංහල ජාතියයි, සිංහල බුද්ධාගමයි අධිතක්සේරු වූ සමාජයක වර්තමානයේ ජීවත්වෙන්නෙ. අද මේ නෙළන්නෙ අපි හැමෝම අඩුවැඩි වශයෙන් දායක වෙලා වපුරපු බිජුවටවල අස්වැන්නයි. මොකද මේ වර්තමානය කියන්නෙ අතීතයේ දී අඩු වැඩි වශයෙන් අපිම දායක වෙලා ගත් වැරදි දේශපාලන තීන්දුවල ප්‍රතිඵලම මිසක් වෙන දෙයක් නෙමෙයි. ඊට අද ගොදුරු වී ඇති ශක්තිකටම පවා මං හිතන්නෙ දැන් ඒක හොඳින් වැටහෙනව ඇති. ඒක අපි හැමෝම එකතු වෙලා නිවැරදි කරගත යුතු වරදක්. ඒ නිසා බෝලෙ එක එක්කෙනාට පාස් නොකර සමස්ත සමාජයක් නිවැරදි කළයුතු වරදක් එය. අද ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් සටන් කරන අපිට, ශක්තික නිදහස් කරන්න කියන අපිට නැත්නම් හෙට වෙද්දි සටන් කරල ඉවරයක් නැති උද්ඝෝෂණ භූමි දහස් ගණනින් බිහිවේවි. එතකොට අපි උද්ඝෝෂණය කරලම හති වැටේවි. ඒ නිසා මම කියන් නෑ කෙටිකතාවක් ලියපු ශක්තික හරි මේ ආගමික අන්තවාදය වෙනුවෙන් බැට කන වෙන කවුරුන්ම හරි හිරේ ලැගිය යුතුයි කියල. ඔවුන් සියලු දෙනා නිදහස් කරගන්න කළ යුතු හැම දෙයක්ම කළ යුතුයි. ඒ සඳහා කොන්දේශි විරහිතව පෙනී සිටිය යුතුයි. හැබැයි අප අමතක නොකළ යුතු දේ තමයි නිදහස සම්පූර්ණයෙන්ම අහිමි වෙමින් යන රටක ප්‍රකාශන නිදහස විතරක් හුදෙකලාව පවතින්නේ නැති වග. නිදහස යනු ලිවීමේ නිදහස පමණක්ම නොවන බවත් අපි අවබෝධ කරගත යුතුයි.