ඒකාබද්ධය 3ට බෙදෙයි – තීරණාත්මක හමුවක් කැඳවයි

ප්‍රාප්ති පැටිකිරි කෝරාළ

සන්ධානයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර අදහස් මත, කණ්ඩායම් තුනක් ක්‍රියා කරමින් සිටීම නිසා, ඒකාබද්ධ විපක්ෂයේ මතුව ඇති බරපතළ බෙදීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අඟහරුවාදා (09) පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම බෙදීම වඩාත් ප්‍රබල ව ඇත්තේ, පොජපෙ පක්ෂ සමුළුව පැවැත්වෙන අගෝස්තු 11 ට පෙර ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා, ගොඩනගන සන්ධානයේ නම සහ සලකුණ මෙන්ම වැඩපිළවෙළ පිළිබඳ එකඟත්වයක් ඇති විය යුතු බවට එක් කණ්ඩායමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලිපියක් යොමු කිරීමත් සමඟිනි. ඒ අනුව වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ප්‍රභා ගනේෂන් ආදීන් අයත් වන එක කණ්ඩායම පසුගිය 26 වනදා මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ට අයත් එක්සත් මහජන පක්ෂය, සන්ධානය සඳහා යොදාගත යුතු බවටද එහිදී අදහසක් මතුව ඇතැයි දැනගන්නට ඇත.

එහෙත් දිනේෂ් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ මෙන්ම ඒකාබද්ධයට අයත් මහජන පක්ෂයේ නායකයාද අදාළ ලිපියට අත්සන් තබා නොමැති අතර සාකච්ඡාවටද සහභාගී වී නොමැත. හිටපු අමාත්‍ය ඒ. එල්. එම්. අතාවුල්ලා සාකච්ඡාවට එක් නොවූවද එම කණ්ඩායම සමඟ සිටින බව වාර්තා වේ.

මේ අතර පොදු ජන පෙරමුණ ශ්‍රීලනිපය සමඟ සන්ධානගත වීම උදෙසා වන සාකච්ඡා අඛණ්ඩව ක්‍රියාත්මක අතර ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ යන නාමයටද එකඟ වී තිබේ. එහෙත් ලකුණ පිළිබඳ තවම එකඟතාවක් නොමැති අතර පොජපෙ පවසා ඇත්තේ සන්ධාන නායකයා, සභාපති හා ලේකම් යන තනතුරු ඇතුළත් විය යුතු බවත්. පොහොට්ටුව ලකුණින් තරඟ කළ යුතු බවත්ය. ශ්‍රීලනිපය පවසා ඇත්තේ සභාපති හා ලේකම් යන තනතුරු දෙක සන්ධානය තුළ තිබිය යුතු බව හා පොදු ලකුණකින් තරඟ කළ යුතු බවය.

එම සාකච්ඡාවල ප්‍රගතියද සලකා සන්ධානය පිළිබඳ තීරණය කරනවා මිස ඉක්මන් වීම අනවශ්‍ය බව දිනේෂ්, ඩිව් හා තිස්ස විතාරණගේ අදහස බවද දැනගන්නට ඇත. මෙම තත්ත්වය මත ඒකාබද්ධ විපක්ෂයෙ සිටින සියලු පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් මහින්ද රාජපක්ෂ මහතා අඟහරුවාදා (9) කැඳවා ඇති අතර එය තීරණාත්මක හා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි පැවසේ. ■