පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳ වැටීම ගැඹුරු ශාස්ත්‍රීය ව්‍යායාමයක්

සුලෝචන වික්‍රමසිංහ

පේරාදෙණිය ගුරුකුලය නොඑසේ නම් පේරාදෙණි සාහිත්‍යය පිළිබඳ විද්‍යානුකූල ක්‍රමවේදයකට ලියැවුණු කෘතියක අවශ්‍යතාව පැන නැගුණේ මෙයට බොහෝ කලකට පෙර සිටය. අතරින් පතර පේරාදෙණි ගුරුකුලය පිළිබඳ යම් යම් අදහස් රැගත් කෘති කිහිපයක් බිහිවුවත් ගැඹුරු ශාස්ත්‍රීය ව්‍යායාමයක නිරත වීමට අවශ්‍ය න්‍යායික දැනුම මෙන්ම ප්‍රායෝගික තත්ත්වයන් පිළිබඳ වාස්තවික ලෙස කරුණු රැස් කොට ඉදිරිපත් කළ හැකි පේරාදෙණි සාහිත්‍යය ඇසුරෙහිම බිහිවූ පර්යේෂකයකුගේ අවශ්‍යතාව කාලයක් පුරා පැවතුණි. එමෙන්ම එම කාර්යය වෙනුවෙන් අධික කාලයක්ද, ශ්‍රමයක්ද වැය කිරීමට හැකියාව ඇති එමෙන්ම රැස් කරගත් දත්ත හා කරුණු කාරණා නිර්මාණශීලී ලෙසද පෙළ ගැස්විය හැකි ගවේෂකයකුගේ අවශ්‍යතාව ද මතුවී තිබුණි. සේන තෝරදෙණිය විසින් සිය නවතම ගවේෂණාත්මක කෘතිය වන ‘පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳ වැටීම’ යන කෘතිය මගින් පුරවා දමනු ලබන්නේ එම රික්තයයි.

උක්ත කෘතිය අපට මෙතෙක් කල් අවශ්‍යව තිබූ නිවැරදි හා තර්කානුකූල දැනුම් කලාපයක් සම්පාදනය කරනුයේ නූතන සිංහල සාහිත්‍යයට එහි ඇති වැදගත්කම සපුරා ප්‍රත්‍යක්ෂ කරවමිනි.

පේරාදෙණි සාහිත්‍ය පිළිබඳ අධ්‍යයනය අපට අවශ්‍යවන්නේ මන්ද? එම කාරණාව පිළිබඳ අපගේ අවධානය යොමුවීම වැදගත්ය. කෙනකුට එය වර්තමානයට අදාළ කාරණාවක් නොවන ලෙස හැඟී යා හැකිය. තවත් කෙනකු තුළ ඒ සම්බන්ධ විවිධ අදහස් මතුවිය හැක. එහෙත් ඒ කිසිදු අදහසක් සාහිත්‍ය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන පිරිසට මතුවන අදහස් නොවේ. මන්ද සාහිත්‍ය පිළිබඳ සැබෑ වුවමනාවක් ඇති ඕනෑම අයකුට සාහිත්‍ය ඉතිහාසය කිසිවිට අමතක කළ නොහැකි බැවිනි. එමෙන්ම සාහිත්‍ය හා බැඳුණු ආර්ථික, දේශපාලනික, සංස්කෘතික හා සමාජ තතු පිළිබඳ සැබෑ අධ්‍යයනයකින් තොරව සාහිත්‍යය සැබෑ ලෙස අධ්‍යයනය කළ නොහැකි බැවිනි. එහෙත් එවැනි අධ්‍යයනයක් අද සිදුවන්නේ නැත. සේන තෝරදෙණියගේ මෙම කෘතිය අපට මෙහිදී විශේෂ වනුයේ එහෙයිනි. එහිදී හමුවන සමහර කරුණු අප දන්නා කරුණුය. එහෙත් අප අවිධිමත් ලෙස දැනගත් එම කරුණු සාක්ෂි සහිතව ඔප්පු කිරීමේ හැකියාව සේන තෝරදෙණිය සතුව පවතී. එය එක් කරුණකින් පමණක් නොව විවිධ කරුණු රාශියක් ඇසුරින් සාකච්ඡා කිරීමට ඔහු ගන්නා වෑයම ප්‍රශංසනීයය. එමෙන්ම මෙම කෘතියෙහි හමුවන සමහර කරුණු අප අනුමානයෙන් ගොඩනගා ගත් දේය. විටෙක අපගේ එම උපන්‍යාස ස්ථිර වෙයි. විටෙක නොසිතූ විරූ ලෙස ප්‍රතික්ෂේප වී යයි. ඒ හැම සිදුවන්නේ ඔහු දිගුකාලීන පර්යේෂණයෙහි ප්‍රතිඵල මත විනා හුදු අදහස් දැක්වීමකින් පමණක් නොවේ. අදහස් වූ කලි අපට ඕනෑම අවස්ථාවක නිර්මාණය කරගත හැකි තත්ත්වයකි. එමෙන්ම එක් අයකුගේ අදහස් තවත් අයකුගේ අදහස්වලින් වෙනස් විය හැක. ඒ ආකාරයටම එක් අයකුගේ එළැඹුම් තවත් අයකුගේ එළඹුම්වලින් වෙනස් විය හැක. එහෙත් සාක්ෂි සහිතව එළැඹෙන නිගමන හුදු අදහස් දැක්වීමකට වඩා ඉහළ වාස්තවික බවක් අත්පත් කරගනී. කතුවරයා අත සිදුවන්නේ එයයි. එහෙයින් එය හුදු උපන්‍යාස ඉක්මවා ගිය නිරීක්ෂණ, පරීක්ෂණ සමගින් නිගමනයකට එළැඹේ. එහෙත් එවැනි විද්‍යාත්මක විධි ක්‍රමයකට එළැඹිය හැක්කේ තුළනාත්මක ලෙස එය අධ්‍යයනය කළහොත් පමණි. එහෙයින් එවැනි තුළනාත්මක අධ්‍යයනයන්ගෙන් විනිර්මුක්තව සිටින බොහෝ විද්‍යාර්ථීන්ට මෙන්ම ආචාර්යවරුන්ට ද උක්ත කෘතිය පෙන්වා දෙනු ලබන පූර්වාදර්ශය වැදගත්ය.

‘පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳවැටීම’ කෘතිය පරිච්ඡේද දාහතකින් සමන්විත පිටු 628ක් පුරා දිවෙන දීර්ඝ පර්යේෂණාත්මක ග්‍රන්ථයකි. මෙම පරිච්ඡේද දාහත පුරාම දිවයන එක් පොදු සාධකයක් වනුයේ පේරාදෙණිය ගුරුකුලය යන්නෙන් පැහැදිලිව හඳුනාගත හැකි සාහිත්‍ය ගුරුකුලයක් සැබෑ ලෙසම බිහිව තිබූ බවයි. එය පේරාදෙණිය යන්නෙන් ගුරුකුලයක් නොතිබූ බවට අදහස් පළකරන පිරිස් හට සාක්ෂි සහිතව පෙන්වා දෙනුයේ එම මතයෙහි ඇති සාවද්‍ය ස්වරූපයයි. කතුවරයාගේ මතය ස්ඵුට කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයටද වඩා සාක්ෂි එහි ඇත. පේරාදෙණිය සාහිත්‍යය යන්නෙන් හඳුනාගත හැකි කිසි දෙයක් නොමැති බවට අදහස් කරන සරච්චන්ද්‍රයන්ගේ අදහස් ඔහුගේම විවිධ ප්‍රකාශ ඇසුරින්ම ඛණ්ඩනය කිරීමට කතුවරයා විසින් යොදා ගනු ලබන ඉතා අප්‍රකට ලිපි ලේඛන එහි වාස්තවික බව තවත් වැඩි කරයි. එමෙන්ම මහාචාර්ය සිරි ගුනසිංහ විසින් ඒ සම්බන්ධව පළකරන අදහස් ද කතුවරයාගේ දැඩි නිරීක්ෂණයට යොමුවේ. සරච්චන්ද්‍රයන්ගේ විචාර කලාවෙහි දැකිය හැකි පක්ෂග්‍රාහී ස්වරූපයද එහි ඉතා පැහැදිලිව විස්තර වේ. කෙසේ වුවද පේරාදෙණි ගුරුකුලයේ අසංවිධිත ස්වරූපය පිළිබඳවද කතුවරයා අවධානය යොමු කරයි. ඔහු පැහැදිලිව පෙන්වා දෙන පරිදි පේරාදෙණි ගුරුකුලය නැතහොත් පේරාදෙණි සාහිත්‍යය එම විශ්වවිද්‍යාලයේ සිංහල අංශය න්‍යෂ්ටිය කොටගෙන ඇතිවන්නක් නොවේ. එහි ප්‍රධානියා වූ සරච්චන්ද්‍ර සිංහල අංශයේය. මහාචාර්ය සිරි ගුනසිංහ සංස්කෘත අංශයේය. ගුණදාස අමරසේකර දන්ත වෛද්‍ය අංශයේය. පේරාදෙණිය ගුරුකුලයෙහි පතාක යෝධයන් වූයේ මේ තිදෙනාය. ඔවුන් ඇසුරෙහි බිහිවූ පේරාදෙණි සාහිත්‍ය සඳහා මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් මුල් කාලයේ ලද අනුග්‍රහය ද සාහිත්‍ය ඉතිහාසය තුළ අපට කෙසේවත් මකා දැමිය නොහැක. එහෙත් පසු කාලයේදී මොවුන් එකිනෙකා ස්වාධීනවීමට ගත් මග ඇසුරෙහි බිහිවූ නව තත්ත්වය තුළ නූතන සාහිත්‍ය ක්ෂේත්‍රය අතු ඉතිලා වැඩුණු බවද අපට අමතක කළ නොහැක.

‘යතිවර පරමාදර්ශය’ හා ‘කල්පනා ලෝකවාදය’ යන පරිච්ඡේදයන්හි අපට හමුවන සරච්චන්ද්‍රයන්ගේ විරල ලිපි කිහිපය ඉයන් ගුණතිලකට අනුව සරච්චන්ද්‍රයන් විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද ප්‍රථම ලිපි මාලාවට අයත් වන්නකි. එහෙත් ඒ පිළිබඳ කිසිදු ආකාරයක විමසීමක් මේ වනවිට සිදුවී නැත. එවැනි මොහොතක කතුවරයා එම ලිපි පිළිබඳ අවධානය යොමු කොට තිබීම ශාස්ත්‍රීය ව්‍යායාමයක කැපී පෙනෙන ලක්ෂණයකි. එම ලිපි හරහා යතිවර පරමාදර්ශයන් පිළිබඳ අදහස් දැක්වීමක නිරත වන සරච්චන්ද්‍රයන් සිය නවකතා විචාරය හා නිර්මාණ මගින් මෙම යතිවර පරමාදර්ශයට එරෙහිව කැරලි ගැසූ බව කතුවරයා පැහැදිලිව පෙන්වා දෙයි. එම යතිවර කැරැල්ලෙහි ආනුෂාංගික අංග බවට පත් සමස්ත පේරාදෙණි සාහිත්‍ය මෙන්ම එයින් බැහැර වූ නවකතාකරුවන්ටද සරච්චන්ද්‍රයන්ගේ එම අදහස් පොදුවූ ආකාරය කතුවරයා ඉතා දීර්ඝ ලෙස විස්තර කරයි.

පේරාදෙණි ගුරුකුලය ස්ථාපිතවීමට බලපෑ ප්‍රධාන පරිච්ඡේද හතරක් යටතේ සංග්‍රහ කරනු ලබන කතුවරයා එම පරිච්ඡේද කිහිපය තුළ සමස්ත පේරාදෙණි සාහිත්‍යයෙහි ස්වරූපය මෙන්ම එම විචාර කලාවේ ඇති ඒකපාර්ශ්වීය ස්වරූපයද එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුනගෙන් ගිලිහී යන පූර්වගාමී නවකතාකරුවන්ගේ ප්‍රබන්ධ පිළිබඳ විවේචනාත්මක විග්‍රහයක යෙදේ. එමෙන්ම එම පරිච්ඡේද හතර මගින් පේරාදෙණි සාහිත්‍යයෙහි හැඩරුව ඉතා පුළුල් පරාසයකට රැගෙන යන අතර එම පරිච්ඡේද හතර නිම කිරීම සඳහා කතුවරයා ඉතා විශාල වෙහෙසක් ගෙන ඇත.

හෙළ හවුල හා ලංකා විශ්වවිද්‍යාලය යන පරිච්ඡේද තුළ හෙළ හවුල විසින් දැඩි ලෙස විවේචනයට ලක් කරනු ලබන සරච්චන්ද්‍ර ලිපි ලේඛන පිළිබඳ ප්‍රමාණවත් ඉඩ ප්‍රස්තාවක් ලබා දේ. එම පරිච්ඡේදය පේරාදෙණිය ගුරුකුලය විසින් බැහැර කරන ලද හෙළ හවුලද හෙළ හවුල විසින් පේරාදෙණිය ගුරුකුලය වෙත එල්ල කරනු ලබන ප්‍රතිප්‍රහාරද හමුවේ පාඨකයාට මෙතෙක් නොලද නව මානයන් කිහිපයක් ළඟා කරදෙනු ලබයි. පේරාදෙණිය ස්ථාපිත කළ නවකතා තුනක් යටතේ සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ’, ‘මළවුන්ගේ අවුරුදු දා’ ‘වල්මත් වී හසරක් නුදුටිමි’ මෙන්ම අමරසේකරගේ ‘ගන්ධබ්බ අපදානය’ වෙතද කතුවරයා තම විචාරශීලී ඇස යොමු කරවයි. ඒ තුළ එම නවකතා පිළිබඳ තුළනාත්මක අධ්‍යයනයකට ඔහු යොමු වෙයි. එමෙන්ම පේරාදෙණි සාහිත්‍යයෙන් මිදීමේ අමරසේකර වෑයම ද උක්ත පරිච්ඡේදය තුළ ගැඹුරින් සාකච්ඡා වේ.

පේරාදෙණිය ගුරුකුලයේ විභේදනයේ පෙර ලකුණු, පේරාදෙණිය ගුරුකුලය බිඳීයාමට හේතුවූ අභ්‍යන්තර සාධක මෙන්ම බාහිර සාධකද, විභේදනය මාක්ස්වාදී ඇසකින්, මෙන්ම පශ්චාත් පේරාදෙණිය යන මූලික පරිච්ඡේද සමග සම්බන්ධව තවත් අනු මාතෘකා රාශියක් දීර්ඝ ලෙස මෙම කෘතිය තුළ සාකච්ඡා වේ. එමෙන්ම නිසඳැස් කවිය, පියදාස සිරිසේනගේ හා ඩබ්ලිව්.ඒ. සිල්වාගේ නවකතා, කොළඹ කවිය ඇතුළු තවත් බොහෝ අංශ පිළිබඳ සවිස්තරාත්මක වූ ද, විවේචනාත්මක වු ද අදහස් රාශියක් උක්ත කෘතිය තුළ අන්තර්ගත වේ. මේ සෑම සංසිද්ධියක්ම තුළනාත්මක ලෙස අධ්‍යයනය කිරීම කතුවරයා අතින් සිදුවී ඇති වැදගත්ම කාර්යභාරයයි. කතුවරයාගේ ස්වාධීන අදහස් ද එම තුළනාත්මක අධ්‍යයනයේ ප්‍රතිඵල ලෙස බිහිවන අතර එම අදහස් මූලික වශයෙන් ඔහුගේ අත්දැකීම් මත පදනම් වේ.

උක්ත කෘතිය පුරා පැහැදිලිවම පෙනී යන මූලික ලක්ෂණයක් වනුයේ එම ගුණදාස අමරසේකරයන්ගේ සාහිත්‍ය භාවිතය පිළිබඳ වැඩි අවධානයක් යොමු කොට ඇති බවයි. අනිකුත් සියලු කරුණු කාරණා ඇසුරෙහි එම කෘතියෙහි න්‍යෂ්ටිය බවට පත්වනුයේ අමරසේකරයන්ය. අමරසේකරගේ සාහිත්‍ය භාවිතය ගැඹුරු ලෙස අධ්‍යයනය කිරීම සඳහා සරච්චන්ද්‍රයන්ද සිරි ගුනසිංහයන්ද කතුවරයා භාවිත කරයි. මෙහිදී සිරි ගුනසිංහයන්ගේ ස්වාධීන චින්තනයෙහි ඇති පැසුණු ස්වරූපය පාඨකයාට නිතැතින්ම ප්‍රත්‍යක්ෂ වේ. පේරාදෙණි සාහිත්‍යයෙන් මිදී වෙනත් දිශානතියකට තම නිර්මාණ භාවිතය යොමු කරනු ලබන අමරසේකරයන්ගේ පසුකාලීන නිර්මාණ භාවිතය පිළිබඳව මෙන්ම නූතන සිංහල සාහිත්‍යයෙහි හැඩරුව පිළිබඳවද කතුවරයා විවේචනාත්මක අදහස් රාශියක් ඉදිරිපත් කරනු ලබයි.

මෙවැනි විවේචනාත්මක මෙන්ම ශාස්ත්‍රිය වශයෙන් වැදගත් වන්නා වූ කෘතියක් බිහි කරගත හැකිවනුයේ උක්ත සන්දර්භය තුළ සජීවී ලෙස ක්‍රියාකාරී වූ පුද්ගලයකුට විනා පොතපතින් පමණක් එය අධ්‍යයනය කරන්නකුට නොවේ. කතුවරයා පේරාදෙණිය සාහිත්‍යය නැතහොත් එම ගුරුකුලයේ ආරම්භයේ සිටම එහි බිඳ වැටීම දක්වා කාලපරාසය තුළ එය හා සජීවී ලෙස සම්බන්ධ වී එය නිරීක්ෂණය කළ අයෙකි. ඒ පිළිබඳ විමසිලිමත් සිතින් පසුවූ අයෙකි. දශක ගණනාවකට පසු තම අත්දැකීම්, නිරීක්ෂණ හා ගවේෂණාත්මක හැදෑරීම් මත තාර්කික හා වාස්තවික වශයෙන් නිගමනවලට එළැඹණු අයෙකි. එහෙයින් එම කෘතිය පරිශීලනය කොට ඒ සම්බන්ධ කතිකාවත් ගොඩනැංවීම අප අතින් සිදුවිය යුතු කාර්යයකි.