සෙල්ලමට බැණ වැදීම

ඒ. වික්‍රමසූරිය

රටේ සෙසු ප්‍රශ්න මෙන්ම ක්‍රීඩාවේ අර්බුදවලද නිමක් නැත. එහෙත් ඒවාට විසඳුම් සෙවීමක්ද නොවේ. ක්‍රීඩා ඇමතිවරු ආව ගියද ක්‍රීඩාව තිබූ තැනමය. යහපාලන ආණ්ඩුව යටතේ ක්‍රීඩා ඇමතිවරු හතර දෙනෙක් වූහ. පස් වසර අවසන් වන විට ඒ සිව්දෙනාට කරන්නට හැකිවූයේ කයිවාරු ඇද බෑම පමණකි. කයිවාරුවලට යා හැකි දුර තරගවලදී මනාව පෙන්නුම් කෙරේ. ක්‍රිකට්වල තත්ත්වය අද තහවුරුය. ක්‍රිකට් එසේ වුවද එය වෙනස් කරගත හැකිය. එහෙත් සෙසු ක්‍රීඩාවල ඉදිරිය රැකගන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි. මලල ක්‍රීඩාව, පිහිනුම්, පාපන්දු, දැල්පන්දු, හොකී, වොලිබෝල් යන ක්‍රීඩා අප කලක් ජය කෙහෙළි නැංවූ ක්‍රීඩාය. එහෙත් කාලයත් සමග අප ඒ ක්‍රීඩා තුළින් ගව් ගණනක් ආපස්සට තල්ලු වූයේ නැවත ගොඩ ආ නොහැකි ලෙසය. මේ ක්‍රීඩා අභාවයට යෑමට දේශපාලකයන් සේ ම එහි පරිපාලකයන්ද වගකිව යුතුය. සංගම් නිලවරණ හරහා ජය ලබා පිරිස් එන්නේ ක්‍රීඩාව නගා සිටුවන්නටය. එහෙත් නගා සිටවූ ක්‍රීඩාව කෝ? ඒවා එලෙස වන්නේද? නොවන්නේද? අධීක්ෂණය කරන්නේ කවුද? ක්‍රීඩා ඇමතිවරයෙක් අමාත්‍යාංශයක් ඇත්තේ ඒ සඳහා නොවේද? එහෙත් අමාත්‍යවරු අමාත්‍යාංශ නිලධාරීන් ඒවා නිසි ලෙස ඉටු කළේද? අප සැමවිටම ක්‍රීඩාවේ කඩා වැටීම ගැන දෝෂාරෝපණය කරන්නේ ක්‍රීඩා ඇමති ප්‍රමුඛ අමාත්‍යාංශ නිලධාරීන්ටය. ඒ වෙන හේතුවක් නිසා නොව එහි මැදිහත්වීමකින් තොරව ක්‍රීඩාවේ සාර්ථකත්වයක් අත් නොවන බැවිනි. ක්‍රීඩාව සාර්ථක නම් එහි වගකීම්ද ක්‍රීඩා ඇමති ප්‍රමුඛ පිරිසට අයත් වන්නා සේ ම එහි විනාශය, අගාධය පවා ඔවුන්ම භාරගත යුතුය. දැන් සිදු නොවන්නේ එයය.
මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ඇමතිව සිටින කාලයේ සිටම ක්‍රීඩා පනත ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට සමගාමීව සකස් කරන්නට කතිකා පැවැත්වීය. එහෙත් අදටත් එය ක්‍රියාත්මක නොවේ. තවමත් ඇත්තේ සාකච්ඡාය. මේ ප්‍රමාදය ඇයි? අපගේ හැඟීම වුවමනාවක් නැතිකම සේ ම අවංක නැතිකමය. ක්‍රීඩා ඇමති ප්‍රමුඛ බලධාරීන් වුව ක්‍රීඩා පනත වෙනස් කරන්නට උත්සාහ කරනුයේ ක්‍රීඩාවේ යහපතට වඩා ඒ ඒ අයගේ වුවමනා සහ ඕනෑඑපාකම් මතය. මහින්දානන්දට ඕනෑවූයේ ඔලිම්පික් කමිටුවට තම මිත්‍රයා වූ ඩිලාන් පෙරේරා යැවීමටය. අවසානයේ ගැටලු මිස ඉතිරි වූ දෙයක් නැත. ක්‍රීඩා තරගවලට යාමට ඇති උනන්දුව කැපවීම, ක්‍රීඩා තරග පුහුණුවට ජයග්‍රහණ වර්ධනය කරගැනීමට නැත. රටේ ඇති දේශපාලන අස්ථාවර බවම මේ මොහොතේ ක්‍රීඩාව තුළත් තිබේ. ක්‍රීඩාව තනි විෂයක් ලෙස ගෙන ඇමතිකම ලබා නොදී අමාත්‍යාංශ ගණනාවක හිමිකරුවකුටම පුරුද්දා දීම අපරාධයකි. අද හරීන්ට ක්‍රීඩාවට වැඩක් කිරීමට කාලයක් නැත. ඔහු ක්‍රීඩාව වෙනුවෙන් කරනුයේ රට යෑම පමණි. ක්‍රීඩා ඇමති ප්‍රමුඛ නිලධාරීන් රට යන තරමට මේ රටට වැඩක් වෙනවා නම් ක්‍රීඩාවෙන් අපි ඉතා දියුණුය. එහෙත් ඒ අය දියුණු වී ක්‍රීඩාව වළපල්ලටම ගියේය. කොතරම් ක්‍රීඩාව විනාශ වුවද ඒ ගැන කිසිදු හැඟීමක් ඒත් බලධාරීන්ට ඇතැයි නොපෙනේ. ඒ තරමට ඔවුන් මේ තත්ත්වය බලාපොරොත්තු වූ ගාණය. නව ක්‍රීඩා ඇමතිවරයාට ක්‍රීඩාව ගැන එතරම් ලොකු උනන්දුවක් ඇති බවක් නොපෙනේ. ඔහු ඩිජිටල් අමාත්‍ය ධුරයට ඊට වඩා කැමතිය. දයාසිරි ජයසේකර කතාවට වඩා උනන්දු වුවද ක්‍රීඩාවට යමක් කළ යුතුය යන උණක් ඔහුට විය. යහපාලනයෙන් එලෙස උනන්දුවක් තිබූ එකම කෙනා ඔහුය. එහෙත් දයාසිරි ඉවත්වීමත් සමග ක්‍රීඩා ඇමතිකම නන්නත්තාරම විය. හරීන්ට හෝ දැන්වත් ක්‍රීඩාවට යමක් කිරීමට උත්සාහ කළ හැකිය. ඒ සඳහා නව පනත මුලින්ම හදාගත හැකිය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අනුව නව පනත සකස් කොට ක්‍රීඩා සංගම් ඒ පනත ප්‍රකාරව ක්‍රියාත්මක වන තැනකට යා යුතුය. පරිපාලනය නිවැරදි නොකර ක්‍රීඩාව හැදිය නොහැකිය. එහෙත් පරිපාලකයන්ට වුව දැන් ක්‍රීඩාව ඔසවා තබන්නට කිසිදු වුවමනාවක් නැත. ඒ සංගම්හි පරිපාලනය කරන පිරිස් ඒවායේම අවුරුදු 10-15 විසූ අය බැවිනි. එකම තැන එකම පිරිසක් කාලාන්තරයක් පල්වන විට ඒ හරහා හමන්නේ දුගඳමය. මේ අය අද ඒ තැන්වල සිටිනුයේ පුරුද්දට සහ ඒවායෙන් ලැබෙන වරප්‍රසාද භුක්ති විඳින්නටය. එසේ නොවේ නම් මේ තත්ත්වයන් වෙනස් කරවන්නට වුවමනා වන්නේ අලුත් පිරිස් ඒකරාශීවීමය. කලින් කලට ඇමති මාරු වුවද පරිපාලනය කරන්නේ එකම පිරිසකි. ක්‍රීඩා සංගම්වල එකම පිරිසය. මේ තත්ත්වය නිසා ක්‍රීඩාවට අලුත් පරිපාලන ව්‍යුහයක් සැකසෙන්නේම නැත. ක්‍රිකට්වලට කාලය කා දමමින් සෙසු සියලු ක්‍රීඩා වළ දැමීම යහපත් නැත. දැන්වත් ක්‍රීඩාවම එකක් ලෙස ගෙන ව්‍යාප්ත කළ යුතුය. එය කොතැනින් පටන් ගනිත්දැයි බලා හිඳ අපි වෙහෙසට පත්ව සිටිමු.