උඩවලවේ සංචාරක ආදායම් පහළට

දිනී ජයසේකර

උඩවලව මාර්ගය අසල වූ බඩඉරිඟු තැම්බීම සදහා යොදාගත් ළිප්, පාස්කු ඉරිදායින් පසු තවම අවුලවා නොමැත. අඩියෙන් අඩියට සෑදූ පලතුරු ලෑලිවල ඇත්තේ තරමක් වේලිච්ච පලතුරු ගෙඩි දෙක තුනක් පමණි. කර්කෂ අව්වත් සමග පොරකමින් අඹ, පේර, නාරං පිරවූ සිලි බෑග් විකුණන විසිදෙකේ විසිතුනේ කොලු ගැටවු පාරවල් ආසන්නයේ සිටිමින් තම තමන්ගේ ගමනාන්ත දක්වා ඇදෙන මගීන්ට ඒවා විකිණීමට උත්සාහ දරිමින් සිටිති. එදෙස බලා සිටි අප දුටුවේ ඔවුන්ගේ උත්සාහයන් ගඟට කැපූ ඉණි මෙන් විසිර යන ආකාර පමණි. මීට මාස කිහිපයකට ඉහතදී ඔවුනොවුන්ගේ ජීවොනෝපය වූයේ සංචාරක ව්‍යාපාරයයි. එහෙත් වර්තමානය වන විට ඔවුන් අඹ, පේර, නාරං විකුණමින් ජීවිතය අරගලය දිනා ගැනීමට මහන්සි වනවා ඇත. මේ ඔවුන් හා බැඳි කතාවයි.

පාස්කු ඉරිදායින් පසු

පාස්කු ඉරිදාත්, ඉරිදායින් පසුවත් සිදුවූ ප්‍රහාර හමුවේ රට මහා අර්බුදයකට ගමන් කළ බව නොරහසකි. එදින සිදුවූ ප්‍රහාර මාලාවෙන් ජීවිතක්ෂයට පත්වූවේ දෙසිය පනහකට පමණ ආසන්න පිරිසක් වුවද වර්තමානය වන විට ජීවිතයත් මරණයත් අතර අරගලයේ යෙදෙන්නෝ බොහෝය.
අප උඩවලවට පැමිණෙන විට වෙනදා තරම් උඩවලව ප්‍රදේශය කලබලකාරී නොවුණි. එයට හේතුව පාස්කු ඉරිදායින් පසු තවමත් සංචාරකයින් ශ්‍රී ලංකාවේ සංචාර සදහා පැමිණීමේ වර්ධනයක් නොමැති නිසාය. එම කාරණාව සම්බන්ධව රත්නායකගේ අදහස මෙසේය.

“වෙනදට උඩවලවට පැමිණෙන කෙනෙකුට සුලබව දකින්නට ලැබුණේ උඩවලවට පිවිසෙන ප්‍රධාන මාර්ගය බදු ගන්නා විදේශිකයන් පටවාගත් ජීප් රථයි. එහෙත් වර්තමානයේ එවැනි දසුන් ඉතා අල්පයි. දවසට ජීප් දෙක තුනයි පාරෙ යන්නේ. මේ නිසා උඩවලවෙ ආදායම වගේම මේක ජීවනෝපායක් ලෙස සිදුකරමින් සිටින අයගෙත් ආදයම් මාර්ගය මහ විශාල අර්බුදයකට ගිහින් තියෙන්නේ.”

ෆිනෑන්ස් එකෙන් අනතුරු ඇඟවීම්

“අපි අප්‍රේල් මාසෙ මැදක් වෙනකන් සංචාරක ව්‍යාපාරයෙන් යැපුණේ. ඒත් දැන් අපිට කරන්න රස්සාවල් නැහැ. මට පුතාල දෙන්නයි දුවයි ඉන්නවා. පුතාල දෙන්නම කළේ විදේශිකයන්ව උඩවලව රක්ෂිතයට සංචාරය සඳහා එක්ක යන එක. ඒ හම්බෙන මුදලෙන් තමයි ජීප් දෙකේ ෆිනෑන්ස් එක ගෙවාගෙන ගෙදර වියහියදම් ටික දරාගත්තේ. ඒත් දැන් අපිට යන එන මං නැතිවෙලා ඉන්නේ. ජීප් දෙක කොයි වෙලේ හරි ගෙනියනවා කියලා ෆිනෑන්ස් එකෙන් අනතුරු අඟවල ගියා. අපිට මුකුත් හිතාගන්න බැරිව ඉන්නේ. දුවට උසස් පෙළින් පස්සෙ විශ්වවිද්‍යාලයට යන්න හැකියාව ලැබුණත් මේ මුදල් ප්‍රශ්නය නිසා යන්න විදියක් නැහැ. රස්සාවලුත් නැහැ. ලෑල්ලක් දාගෙන තියෙන මොන මොනාහරි විකුණගෙන එදා වේල හරිගස්ස ගන්නවා ඇරෙන්න වෙන මොනා කරන්නද අපි. පෙර පැවති තත්ත්වෙට ආයෙ කවදා ඉඳන් එන්න පුළුවන් වෙයිද කියල අදහසක් අපිට තවම නැහැ. රජයෙන් නම් කියනවා සංචාරකයො වෙනද වගේ එනව යනවා කියලා. ඒත් කෝ ඉතින්?”

මැයි මස සංචාරක දත්ත

රටේ ජනතාවට සත්‍ය තොරතුරු නොදෙන දේශපාලනඥයන් සහ අනෙකුත් නිලධාරීන් දත්ත වසන් කර ඇඟ බේරා ගැනීමට සංචාරකයින් ශ්‍රී ලංකාව තුළ පෙර ආකාරයට සංචාරය කරමින් සිටින සිටින වග පුන පුනා පවසනු ඇසේ. එහෙත් රජය පවසන ආකාරයට සංචාරක ව්‍යාපාරය පෙර පැවති තත්ත්වයට පැමිණ නැති වග පැවසිය යුතුය. එසේ පෙර පැවති තත්ත්වය සදහා පැමිණීමට අඩුම අවුරුදු තුනක කාලයක්වත් ගතවන බව නිසැකය. එය පහත දත්ත වගු අධ්‍යයනයේදී ඔබට පසක් වනු ඇත.

 

 

අප්‍රේල්/මැයි උඩවලව සංචාරය කිරීම

වර්තමානය වන විට අප්‍රේල් මස සහ මැයි මස විදේශිකයන් උඩවලව සංචාරය සඳහා පැමිණි අවස්ථා උක්ත වගුවේ සටහන්ව ඇත. එහිදී පැහැදිලි වන ආකාරයට දවසකට ආසන්න වශයෙන් ලක්ෂ තිහ හතළිහක් ඉපැයූ උඩවලව වර්තමානය වන විට මුළු මාසය පුරාවටම ලක්ෂ තිහ හතළිහක් උපයන තත්ත්වයකට පත්ව ඇත.
විදේශිකයන්ගේ සංචාර ශීඝ්‍රයෙන් ඍන දත්ත කරා ගමන් කරද්දී දේශිකයන්ගේ සංචාරයන් වර්ධනය වීමක් දක්නට ඇති බව උක්ත දත්ත සංසන්දනයේදී යමෙකුට වැටහෙනවා ඇත. එහෙත් විදේශිකයන්ගෙන් අය වන ගාස්තු සහ දේශිකයන්ගෙන් අය වන ගාස්තු පරස්පරය. එහෙත් දේශිකයන්ගේ පැමිණීම යම්කිසි වර්ධනයක් වෙනදාට වඩා පැවතියද විදේශිකයන්ගේ සංචාර තරම් දේශිකයන්ගේ සංචාර තුළින් රටේ ආර්ථිකය නැවත නගා සිටුවිය නොහැකි බව අනිල් වර්ණසූරියගේ අදහසයි.

“සාමාන්‍යයෙන් විදේශිකයන් දෙදෙනෙක් සඳහා රුපියල් 8150.00 මුදලක් අය කරනවා. නමුත් දේශිකයෙකුගෙන් රුපියල් 60යි අය කරන්නේ. එතකොට උඩවලවෙ ආදායම රැඳිල තියෙන්නෙ විදේශිකයන් මත. ජීප් රථ ගාස්තුව වෙනසක් නැහැ හැමෝටම එකම ගාණ. නමුත් විදේශිකයන්ව ගෙනිච්චාම එයාල සතුටට කියල වෙනම කීයක් හරි දෙනවා.”
දේශීය සංචාරකයන් සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩිහිටියෙකු සඳහා රුපියල් 60.00කි. ළමා රුපියල් 30කි. එයට දේශීය සේවා ගාස්තු රුපියල් 300ක මුදලක් එකතු වේ. තවද ජීප් රථ ගාස්තුව රුපියල් 250.00 මුදලක්ද වැට් එක 15%ක්ද වේ.

විදේශීය (වැඩිහිටි) ඩොලර් 15කි. විදේශීය (ළමා) ඩොලර් 8කි. සේවා ගාස්තු (එක ප්‍රවේශ පත්‍රයක් සඳහා) ඩොලර් 8 ක් වන අතර ජීප් රථ ගාස්තු රුපියල් 250.00කි. වැට් එක 15% කි. එහිදී විදේශිකයෙකු (වැඩිහිටි) සඳහා රුපියල් 5100.00 කි. ළමා විදේශිකයෙකු සඳහා රුපියල් 1600.00ක්ද වේ. එයින් පැහැදිලි වන්නේ විදේශීය මුදල් තුළින් මීට මාස දෙකකට ඉහතදී සංචාරක ව්‍යාපාරය රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා රුකුළක් වූ බව නොවේද?

මැයි මස උඩවලවේ ජීප් රථ දත්ත

“අප්‍රියල් 21ට කලින් සාමාන්‍ය ජීප් රථ 350කට ආසන්න ප්‍රමාණයක් උඩවලව ජාතික වනෝද්‍යානයට ඇතුළත් කළා. සමහර දවස්වලට ඊටත් වැඩී. දැන් සමහර දවස්වලට ජීප් රථ 20 යි. මැයි 23 වෙනිදා ජීප් රථ 09යි ඇතුළත් කළේ. ඉස්සර අපිට නවත්තගන්න බැහැ. ඒ තරම් ජීප් රථ එයාලගෙ පාටි යනවා.” එසේ පැවසුවේ උද්‍යාන පාලක විසිනි. ඒ අනුව මැයි මස ජීප් රථ දත්ත පහත වගුවේ දක්වා ඇත.

පාස්කු ඉරිදාට පෙර උඩවලව ජාතික වනෝද්‍යානයට දවසට ජීප් රථ 350කට අධික ප්‍රමාණයක් ඇතුළත් කළද වර්තමානයේදී එය ශීඝ්‍රයෙන් පහළ බැස ඇති ආකාරය පැහැදිලිව ඉහත වගුවේ අනුව වේ. එබැවින් උඩවලවේ සංචාරක ව්‍යාපාරය මත රඳා පැවති ජීවිත සහ ඒ මතින් ගොඩනැගුණු හෝටල් ක්ෂේත්‍ර ආර්ථිකයට පවා පහර වැදී ඇති බව කිව යුතුය. ඒ සම්බන්ධව සෙන්චූරියා වයිල්ඞ් හෝටලේ නුවන් උඩුගේපොළගේ අදහස මෙසේය.

“පාස්කු ප්‍රහාරයෙන් පසු අපි බින්දුවට වැටුණා. මේ සිද්ධියෙන් පස්සෙ මේ දක්වා අපේ කාමර 1500කට 2000කට කිට්ටු වෙන්න රූම් බුකින් කැන්සල් වෙලා තියෙනවා. සාමාන්‍ය වක්‍රාකාරව අප සමග ඉන්න සේවකයන්ව සේවක කප්පාදුවක් කරල තියෙනවා. කිසිවෙක් මේ වෙනකන් අස්කරල නැහැ. ඔවුන්ව නිවාඩු යවලා තියෙන්නේ. කියන්න කනගාටුයි සංචාරක ව්‍යාපාරය මත යැපුණු බොහොමයක් මේ වන විට කුලියට උක් කපනවා. අපිටත් හිතාගන්න බැරිව ඉන්නේ ඉස්සරහට මොනවා වෙයිද කියලා.

අපි මේ සිදුවීමෙන් පස්සෙ සාමාන්‍ය ඔෆර්ස් ක්‍රමයක් පටන් ගෙන තියෙනවා. මොකද මෙවැනි තත්ත්වයක් මත විදේශිකයන් එවැනි දේවල් බලාපොරොත්තු වෙන නිසා. කොහොමත් නැවත පෙර පැවති තත්ත්වයට පැමිණීම සඳහා අඩුම අවුරුදු තුනක කාලයක්වත් ගතවේවි කියල අපි හිතනවා.”

යෝජනා

“හෝටල් ක්ෂේත්‍රයේ 50%ක ඔෆර්ස් දීල තියෙනවා. නමුත් රජයෙන් කිසිදු සහන ක්‍රමයක් හදුන්වා දීලා නැහැ මේ වනතෙක්. අපි කියන්නේ මෙවැනි තත්ත්වයක් මතවත් සේවා ගාස්තු, ප්‍රවේශ පත්‍ර ගාස්තු සහ වැට් එක කප්පාදුවකට ලක් කරලා සහන ක්‍රමයකට හඳුන්වාදීමක් කළොත් විදේශිකයන්ගේ පැමිණීමේ වර්ධනයක් නැවත වරක් ඇතිවේවි. අපි රජයට යෝජනා කරනවා උඩවලවෙ විතරක් නෙවෙයි සංචාරකයන්ගේ ඇස් යන සියලු තැන්වල ප්‍රවේශ ගාස්තු යම් කප්පාදුවකට ලක් කරල විදේශිකයන්ව දැනුවත් කරන්න කියලා. එතකොට නැවත වාරයක් සංචාරක ව්‍යාපාරයට අඩුම වශයෙන් හිස ඔසවන්න හරි හැකියාවක් ලැබේවි. නැතිනම් අපටත් සිදුවන්නේ හිඟා කන්න.” යන්න සම්පත්ගේ අදහසයි.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් පසුවත් ශ්‍රී ලංකාව මේ වසරේදී සංචාරය සඳහා සුදුසුම රටවල් අතර පළමු ස්ථානයේ පසුවන බව ලෝ ප්‍රකට “ලෝන්ලි ප්ලැනට් සඟරාව” සඳහන් කර ඇත. එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තිබූ අනතුරු ඇඟවීම පහළ දැමීමට කටයුතු කර ඇති බවත් ඔවුන් සඳහන් කර ඇත. එහිදී අනෙකුත් වගකීම් සියල්ල රඳා පවතින්නේ ශ්‍රී ලංකා රජය මත බව කිව යුතුය.