වකුගඩු රෝගීන් අනාථයි ජාතික වකුගඩු මධ්‍යස්ථානය කබලෙන් ළිපට

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

වකුගඩු රෝගී ලේඛනයට ශ්‍රී ලංකාවෙන් ඇතුළත් වන රෝගීන් සංඛ්‍යාව අවම කරගැනීමට මෙරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතා වෙහෙස මහන්සිවී උනන්දුවෙන් කටයුතු කරන බව පසුගිය කාලයේ අසන්නට ලැබුණේය. ඒ වෙනුවෙන්ම වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායක් ද පිහිටුවා තිබෙන්නේය. එමෙන්ම තවත් ස්ථානවල වකුගඩු රෝගීන් වෙනුවෙන් මධ්‍යස්ථාන විවෘත කැරෙයි. පොළොන්නරුවේ ද වකුගඩු රෝහල් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන්නේය. එමෙන්ම මෙරට සෞඛ්‍ය සේවාවට ලෝකයේ ඉහළම පිළිගැනීමක් ලැබී ඇතැයි ජනාධිපතිවරයා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා පුරසාරම් කියති. ඒවා එසේ සිදුවෙද්දී සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කොළඹ මාලිගාවත්තේ පිහිටා ඇති ජාතික වෘක්කවේද කාන්දුපෙරීම සහ බද්ධකිරීමේ ආයතනය/ජාතික වකුගඩු මධ්‍යස්ථානයට පැමිණෙන රෝගීහු දිගු කලක සිට දැඩි පීඩාවන්ට ලක්ව සිටිති. ඒ එහි දීර්ඝ කාලයක සිට එහි පවතින වෛද්‍ය හිඟය හේතුවෙනි.

සේවාවන්

ජාතික වකුගඩු මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන වකුගඩු රෝගීන්ගේ සායනික පරීක්ෂාවන් සිදුකර ඖෂධ ලබාදීම, කාන්දුපෙරීම (dialysis) සඳහා යොමු කිරීම, ශල්‍යකර්ම සඳහා යොමු කිරීම, වකුගඩු බද්ධ කිරීමට ප්‍රථම දායක/ප්‍රතිග්‍රාහක සැසඳීම සිදුකිරීම, මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු බද්ධ කිරීමට රෝගී පොරොත්තු ලේඛන සැකසීම, වකුගඩු බද්ධ කළ රෝගීන් දීර්ඝ කාලීනව පරීක්ෂා කිරීම, වකුගඩු බද්ධ කිරීම හා පශ්චාත් ප්‍රතිකාර ලබාදීම, නේවාසික රෝගී ප්‍රතිකාර ලබාදීම, කාන්දු පෙරීම මෙම ස්ථානයේ සිදුකරනු ලබයි. මේවා සඳහා සතියකට විශාල රෝගීහු පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට මෙම රෝහල වෙත පැමිණෙති. එහෙත් පසුගිය කාලයක සිටම එසේ පැමිණෙන රෝගීන්ට මුහුණ දීමට සිදුව තිබූ අපහසුතා හේතුවෙන් ඒවාට විසඳුම් ඉල්ලා ඔවුහු සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙන්ම, ජානාධිපතිවරයාට, අගමැතිවරයාට, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආදී වශයෙන් බොහෝ දෙනා වෙත ලිඛිතව දන්වා තිබුණි. එහෙත් තවමත් ඊට නිසි විසඳුම් නම් ලැබී තිබුණේ නැත. රෝහලේ පවතින වෛද්‍ය හිඟය විවිධ ආකාරයෙන් එහි විවිධ අයට අයහපත් බලපෑම් ඇති කර තිබුණි.

බලපෑම්

“පහුගිය දවසකත් වෛද්‍යවරු නැහැ කියලා සායනයට ඇවිත් හිටිය අය ආපහු යැවුවා. මාසයකින් දෙකකින් සායනයට එන්න කියන එකේ එහෙම දින නියමයක් නැතිව සායන කල් දැම්මාම වෙන්නේ මොකක්ද. වෛද්‍යවරයෙකුත් කීවා වෛද්‍යවරු අඩුයි, ගොඩක් අය අයින්වෙලා ගිහින්, වෙන අය එන්නේත් නැහැ කියලා. සමහර දවසට ලෙඞ්ඩු සෑහෙන්න ඇවිත් ඉන්නවා, ඒත් එක වෛද්‍යවරයෙක් තමයි රෝගීන් බලන්න, පරීක්ෂණ කරන්න ඔක්කෝටම ඉන්නේ, එයාම වාට්ටුවටත් දුවලා ගිහින් බලලා එනවා. මම සතියකට දෙසැරයක් මෙතැනින් ඇවිත් කාන්දු පෙරණය කරගන්නවා. ඊට අමතරව මාස දෙකෙන් දෙකට සායනයට එන්න කියලා තිබුණා. දැන් මාස පහකින් තමයි එන්න කියලා තියෙන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ මේ වෛද්‍යවරුම කරන පෞද්ගලික චැනල්වලට යන්නයි. මොකද මෙහේ මාස දෙකකින් සායනය නැහැ. වකුගඩු සම්බන්ධව තියන ප්‍රධානම මූලස්ථානයේත් මෙහෙම අඩුපාඩු වෙන එක හොඳ නැහැ. හුඟක් දුර පළාත්වල අයත් මෙතැනට එනවා.” ඒ ප්‍රතිකාර ලබා ගැනීමට එම රෝහලට පැමිණ සිටි රෝගියෙකි.
උග්‍ර වෛද්‍ය හිඟයේ ප්‍රතිවිපාක ලෙස නිරන්තර පරීක්ෂා කළ යුතු රෝගීන් පරීක්ෂා කරන වාර ගණන අඩු කිරීම, ඒ වෙනුවට මාසයකට වරක් පරීක්ෂා කිරීම් සිදු කළ ඇතැම් රෝගීන්ට මාස හතරකට පහකට වරක් පමණක් පරීක්ෂා කිරීම වැනි පියවරයන් ගැනීමට සිදුව තිබුණි. එමෙන්ම එහි සතිපතා පැවැත්විය යුතු සායන සංඛ්‍යා ද අඩුකිරීමට සිදුව ඇත. “අපි අවුරුදු දෙකක ඉඳලා පාන්දර තුනට නැගිටලා ලෑස්තිවෙලා මෙහේ එනවා. සමහර දවසට එක වෛද්‍යවරයෙක් විතරයි බලන්න ඉන්නේ. ඒ නිසා අන්තිම අංකවලට එද්දී ඒ අයටත් අමාරුයි. දිගටම බෙහෙත් ගන්නවා, හැමදේම කරනවා, වකුගඩුවක් බද්ධ කරන්න ලැබෙනකම් එහෙමයි. ලේසියෙන් වකුගඩු හොයාගන්නත් බැහැ, ස්වකැමැත්තෙන් වකුගඩුවක් කවුරුහරි දෙන්න හදද්දී ඒවා ගැළපෙන්නේ නෑ. අවුරුදු ගණනාවක් යනකම් වකුගඩු හොයාගන්න බෑ. කවදාහරි වකුගඩුවක් ලැබෙනකම් කාන්දු පෙරණය කරන්න ඕනෑ. ඒත් මෙහෙන් දෙන්නේ තුනයි, ඊට පස්සේ එකකට රු. 8000 බැගින් ගෙවලා සතියකට දෙක ගාණේ එළියෙන් කරගන්න ඕනෑ. දැන් ඉන්න ඉඩකඩම් පවා අපිට විකුණන්න වෙලා. මේ වෙනුවෙන්ම තියන රෝහලේත් ඒවා නොමිලේ කරන්නේ නෑ.” ඒ ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටි තවත් රෝගී මවකි. වකුගඩු රෝගය ජාතික ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබීම අගනේය. ඊට ජාතික වැදගත්කමක් දීම අගනේය. තවත් ප්‍රදේශවල ඒ වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට මධ්‍යස්ථාන පිහිටුවීම ද යහපත්ය. එහෙත් දැනට තිබෙන එකම ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ ද රෝගීන්ට සහන සැලසෙන්නේ නැති නම් රෝගීන් වැටෙන්නේ කබලෙන් ළිපටමය. එහි ජාතික වටිනාකම හෝ ප්‍රචාරණ වටිනාකමෙන් පමණක් අසරණ රෝගීන්ට යහපතක් ඉටුවන්නේ නැත. ගොඩනැගිලිවලින්, යන්ත්‍රවලින් පමණක් සහන සැලසෙන්නේ නැත. ගුණාත්මක සේවාවක් ද සැපයෙනවා ද යන්න පිළිබඳ ද අදාළ බලධාරීන්ගේ සෘජු අවධානය යොමු කළ යුතුය. රටේ පවතින අනෙකුත් සියලුම ප්‍රශ්න මෙන්ම තම ප්‍රශ්න වෙනුවෙන් වැඩවර්ජන කරමින් කෑ ගසන වෛද්‍ය සංගම් ද රෝගීන් වෙනුවෙන් නම් හඬ නගන්නේ නැත.

“කාන්දු පෙරණයට එන අයට තමන්ගේ වැඩ කරගන්න අමාරුයි, බට දාලා ඉන්නේ. ලෙඩාගේ කාටවත් ලෙඞ්ඩු ළඟ ඉන්න දෙන්නේ නෑ. ඒත් සාත්තු සේවයට ඉන්නේ දෙන්නයි. සමහර ලෙඞ්ඩු සීනි අඩුවෙන නිසා අමාරුවෙලා විකාරයෙන් වගේ වැඩ කරනවා. ඒත් බලන්න කෙනෙක් හරියට නැහැ. පහුගිය දවසක එක අම්මා කෙනෙක් එහෙම වෙලා වැසිකිළියට යන්න යද්දී වැටිලා තිබුණා. එතැන වැඩ කරන කෙනෙක් ඒ අම්මා වැටිලා වැඩි වෙලාවක් යන්න කලියෙන් තමන්ගේ වුවමනාවෙන් නැගිටලා යන්න ගිහින් වැටුණා කියලා ලියුමක අත්සන් අරගෙන තිබුණා. ඇඳෙන් බහින්න එපා කියලා තිබුණත් ලෙඞ්ඩුන්ට වැසිකිළියට යන්නහරි, තේ එකක් හදාගන්නහරි ඕනෑවෙලා කතා කළත් ගොඩක් වෙලා යනකම් එන්නේ නැහැ. පස්සේ මොකක් හරි වුණාම ලෙඞ්ඩුන්ටම කෑ ගහනවා, ඒත් ලෙඩාගේ කෙනෙක්ට ඇවිත් ළඟ ඉන්න දෙන්නේත් නැහැ.” ඒ අතර එවැනි ගැටලු ද පවතින බව අසන්නට ලැබුණි. “සමහර වාර්තා එළියේ පෞද්ගලික තැන්වලින් අරගෙන එන්න යවනවා. ඒවාට ලොකු වියදමක් යනවා. රෝගියාට සමහර බෙහෙත් වර්ග දෙන්නේ ඒ වෙනුවට ඒ වර්ගයේම එකක් එළියෙන් ගෙනත් දෙන්න කියලා රෝගියාට ලියලා දීලායි. උනන්දුවෙන් වැඩ කරන සමහර වෛද්‍යවරුත් ඉන්නවා, ඉන්න සමහර අයත් රෝගීන් ගැන එච්චර සැලකිල්ලක් නැහැ. සමහර වෛද්‍යවරු තමන්ගේ පෞද්ගලික චැනල් එකට වාර ගාණක් ගියාට පස්සේ තමයි රෝහලේ සායනයට එන්න කියන්නේ. තමන්ගේ පෞද්ගලික චැනල් වලට ආවේ නැති අයට වඩා වැඩි සැලකිල්ලක් දක්වන්නේත් චැනල් එකට ආව කෙනාටයි.” ඔවුන් පීඩා වින්දේ දරුණු රෝගී තත්ත්වයෙන් පමණක් නොවේ. ආර්ථික මෙන්ම මානසික වශයෙන් ද ඔවුන්ට පීඩා විඳීමට වටපිටාව සකස්වී තිබුණි. එහෙත් එහි කෑම බීම ආදිය හෝ වෙලාවට සැපයීම ඔවුන්ට කිසියම් අස්වැසිල්ලක් වී තිබුණි.
ඇතැම් දිනවල සායනය වෛද්‍යවරු හිඟය හේතුවෙන් උදේ 7 සිට රාත්‍රී 7 පමණ වන තුරු පැවතීම නිසා රෝගීන් මෙන්ම එහි සිටින වෛද්‍යවරු ද අධික අපහසුතාවට පත්වන බව පුදුමයට කරුණක් නොවන්නේය. “වෛද්‍ය හිඟය නිසා සේවාවන් අඩු කරන්න සිදුවෙලා තියනවා. සමහර දවසට සායනයට ඉන්නේ එක වෛද්‍යවරයෙක් විතරයි. එහෙම වෙද්දී අන්තිමට බලන රෝගීන් ගැන වෛද්‍යවරයාගේ සැලකිල්ලත් අඩු වෙනවා. සමහර වෛද්‍යවරු රෑත් ඉඳලා උදේ සායනයේ රෝගීන් බලනවා. වෛද්‍යවරුත් පීඩනයකයි ඉන්නේ. ඒ අය සමහර වෙලාවට හදිසියේ නිවාඩු ගත්තොත් ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉඳලා එන රෝගීන් හරවා යවන්න වෙන වෙලාවල් තියනවා. මොළේ මිය ගිය රෝගීන්ගේ වකුගඩු හොඳ තත්ත්වයේ තියනවා නම් වකුගඩු රෝගීන්ට බද්ධ කිරීමට ඉන්න ලේඛනයට අනුව කෙනෙක්ට බද්ධ කිරීම කරනවා. ඒ සඳහා වන එක ඒකකයක සම්පූර්ණයෙන්ම කටයුතු නවත්වලා තියනවා වෛද්‍යවරු නැති නිසා. ඒ නිසා ඒ වකුගඩුව ගැළපෙන රෝගියෙක් තෝරාගන්න එතැනට ගෙනෙන රෝගීන්ගෙන් දැන් ගෙන්න ගන්නේ වෙනදා ගෙනා රෝගීන් සංඛ්‍යාවෙන් භාගයක් විතරයි. ඒ අයගෙන් කෙනෙක්ට වකුගඩුව ගැළපුණොත් බද්ධ කරනවා, නැත්නම් නැහැ. මෙතැන වැඩ වැඩි බව දන්න නිසා මෙතැනට මාරුවීම් ලැබෙන වෛද්‍යවරුත් නෑවිත් ඉන්නවා. රෝගීන් පවා පැමිණිලි කරන්න පුළුවන් හැම තැනටම පැමිණිලි කරලා තිබුණා. සතියට සායන හතරක් තියෙන්න ඕනෑ වුණත් දැන් තියෙන්නේ සතියකට සායන දෙකක් විතරයි. ඒ වගේම මාස දෙකෙන් බලන්න ඕනෑ රෝගීන් මාස පහෙන් හයෙන් බලනවා.” ඒ මාළිගාවත්ත වකුගඩු මධ්‍යස්ථානයේ කටයුතු කළ වෛද්‍යවරයෙකු දැක්වූ අදහසකි.

වගකිවයුත්තන්ගේ පිළිතුරු

ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මාළිගාවත්ත ජාතික වෘක්කවේද කාන්දුපෙරීම සහ බද්ධකිරීමේ ආයතනයේ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය එම්.ඒ.සී රිෆායිගෙන් අප විමසුවෙමු. ඔහු ප්‍රකාශ කළේ එම ආයතනයේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත් එහි දැනට සිටින්නේ වෛද්‍යවරු අවශ්‍ය ප්‍රමාණයෙන් 50%ක් පමණක් බවත්ය. “මම මෙතැනට ඇවිත් තවම මාසයක් පමණයි. මීට කලියෙන් හිටිය අධ්‍යක්ෂවරයාත් මේ තත්ත්වය වෙනස් කරන්න සෑහෙන මහන්සිවෙලා තිබුණා. නමුත් වෛද්‍යවරුන්ගේ මාරුවීම් අපිට අවශ්‍ය විධියට කරන්න බැහැ. එන්න ඉන්න වෛද්‍යවරුත් ඒ අදාළ රෝහල්වලින් නිදහස් කරන්නේ නැහැ. මේ රෝහලට දැනට මාරුවීම් ලබා දීලා තියන වෛද්‍යවරු දහහතර දෙනාගෙන් දෙන්නෙක් විතරයි එවලා තියෙන්නේ. ඒ නිසා මම ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාටත් ලිඛිතව දැනුම් දුන්නා. ඒ අතර මෙතැන සේවය කළ එක් වෛද්‍යවරයෙක් පශ්චාත් උපාධි ආයතනයට යෑමටත්, තවත් ගර්භණී තත්ත්වයේ ඉන්න වෛද්‍යවරියක් නිදහස් කරන්න සිදුවුණා. ඒ හේතු නිසා තත්ත්වය තවත් නරක අතට පෙරළුණා. ඒ නිසා එක්කෙනා දෙන්නා හරි මේකට ගෙන්වාගන්න උත්සාහ කරන්න මට හැමදාම උදේට අමාත්‍යාංශයට යන්න සිද්ධවෙලා තියනවා.” අප රෝහලට ගිය අවස්ථාවේ ද ඔහු එහි නොසිටි අතර කාර්ය මණ්ඩලය පැවසුවේ අධ්‍යක්ෂවරයා අමාත්‍යාංශය වෙත ගොස් ඇති බවය. කෙසේ හෝ ඔහු දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට හැකි විය. අධ්‍යක්ෂවරයා පැවසුවේ වෛද්‍ය පත්වීම් ලබාදීම මෙතෙක් ප්‍රමාදවීමත් මීට හේතුවී ඇති බවය. “මේ රෝහලට මාරුවීම් ලබාදීලා තියන වෛද්‍යවරු දොළොස්දෙනා හෝ එවීමට කටයුතු කිරීමට අමාත්‍යාංශ ලේකම්තුමියට බලය තියනවා. රජයේ ආයතන නිසා පියවරෙන් පියවර අදාළ නිලධාරීන්ට දැනුම් දීලා තියනවා. ලබන සතියේ අමාත්‍යාංශ ලේකම්තුමියට දැන්වීමට කටයුතු කරනවා.” අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය. කාන්දු පෙරීම සඳහා පිටතින් මුදල් ගෙවා රෝගීන්ට සිදුකර ගැනීමට සිදුවීම සම්බන්ධයෙන් විමසූ විට අධ්‍යක්ෂවරයා පැවසුවේ ඉල්ලුම අධික වීම හේතුවෙන් සියල්ලන්ටම අවස්ථාව ලබාදීමට එවැනි සීමා කිරීමක් සිදුකර ඇති බව දැන ගැනීමට ලැබුණු බවය. ඇතැම් බෙහෙත් වර්ග ලබාදුන් විට ඒ වෙනුවට පිටතින් එම වර්ගයම ගෙනැවිත් රෝහලට ලබාදීමට රෝගීන්ට සිදුවීම සම්බන්ධයෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ ඔහු ඒ සම්බන්ධව දැනුවත් නැති බැවින් සොයා බලන බවය. එක් ඒකකයක වකුගඩු බද්ධ කිරීම සම්පූර්ණයෙන් නතර කර දමා තිබීම පිළිබඳ විමසූ විට ඔහු ප්‍රකාශ කළේ අදාළ උපදේශක වෛද්‍යවරයා මෙම දිනවල විදේශගතව ඇති බවත් ප්‍රධාන වශයෙන්ම එම ශල්‍යාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් ද සිදුවන බවකි. එහෙත් බද්ධ කිරීමේ කටයුතු නතර වී නොමැති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තුගෙන් රාවය කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ද වෛද්‍යවරුන්ගේ අඩුවක් පවතින බවය. “වැඩ කරන්න ඉන්න වෛද්‍යවරු පෙත්සම් අත්සන් කරනවා, මාධ්‍ය සමුළු තියනවා, පාරවල්වල ඉන්නවා. වෛද්‍යවරුන්ගෙන් කීදෙනෙක් තමන්ගේ රැකියාවේ පැය හය අවංකව වැඩ කරනවාද, දුෂ්කර ප්‍රදේශයක අවුරුදු දෙක තුනක් සේවය කරන්න කීදෙනෙක් ඉන්නවාද, ස්ථාන මාරුවීම් ලබා දුන්නාම ඉන් කීයෙන් කීදෙනාද ස්ථාන මාරුවීම අනුව යන්නේ. ජාතික රෝහලේ ඉඳලා ළමා රෝහලට මාරු කළත් යන්නේ නැතිව බොරු කියාගෙන මෙහේ එන අය ඉන්නවා. වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිවත් ඇවිත් මේවා වෙනුවෙන් සහාය දෙන්නේ නෑ, බාහිරින් ගිහින් මාධ්‍ය ඉදිරියේ බොරු කියනවා. මාළිගාවත්තේ එහෙම ප්‍රශ්නයක් තියනවා නම් ඒකට අදාළව වෛද්‍යවරු ඉන්න අය නිදහස් කරනවා වගේම එතැනට ඉන්න අය ගන්න ඕනෑ. ජාතික රෝහලේ හයදෙනෙක් හෝ හත්දෙනෙක් මාරුවීමේ නියෝග ඇවිත් ඉන්නවා. මාතලේ රෝහලේත් ඉන්නවා මෙතැනට ස්ථාන මාරු ලැබුණු වෛද්‍යවරයෙක්. මේ විධියට මාළිගාවත්ත රෝහලට වාර්ෂිකව ස්ථාන මාරුවීම් එන අයත් ඉන්නවා, ඒකෙන් යන අයත් ඉන්නවා. ප්‍රාදේශීය රෝහල්වල ඉන්න අධ්‍යක්ෂවරු වාර්ෂික ස්ථාන මාරු අනුව නිසි පරිදි නිලධාරීන් නිදහස් කරන්න ඕනෑ. මාළිගාවත්ත වකුගඩු රෝහලේ අධ්‍යක්ෂවරයාත් තමන්ගේ රෝහලේ වෛද්‍යවරු හිඟනම් විදේශ නිවාඩු ඉල්ලද්දී ඒවා නොදී ඉන්නත් ඕනෑ. මේ සමාජ යථාර්ථය මනුෂ්‍යයෙක් විධියට පාලනය නොකරන තාක් කල් මාධ්‍යවලට සහ ප්‍රජාවට ගැටලු තියනවා.” වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේය.

එමෙන්ම ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ මේ දිනවල ඔවුන් නව පත්වීම් ලබාදීමේ ලැයිස්තු සාදමින් සිටින බවය. “පත්වීම් දෙන්න බලාගෙන අවුරුද්දක් තිස්සේ වෛද්‍යවරු ඉන්නවා. දැන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා රාජිත ඇමතිතුමා ඒකපාර්ශ්විකව ලැයිස්තු හදනවා කියලා කියනවා. නමුත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවුරුද්දක් තිස්සේ අපි ලියලා යවනවා තමන්ගේ යෝජනා දෙන්න කියලා, ඒත් දෙන්නේ නෑ. ඒත් මාධ්‍ය වලට බොරු කියනවා.” වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේගෙන් අප කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ ද වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක නොවෙන බවය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අනුමත කළ ස්ථාන මාරු ලැයිස්තුවක් ද ප්‍රකාශට පත් කර තිබුණ ද ඒ ප්‍රකාශයට පත් කරන ලැයිස්තු ද අදාළ කාලරාමු වල ක්‍රියාත්මක නොවන බව ඔහු පවසයි. “ඒ ලැයිස්තු ප්‍රසිද්ධියට පත් කිරීමත් ප්‍රමාද වෙනවා. ප්‍රමාද වී හෝ ඉදිරිපත් කරන ලැයිස්තු ක්‍රියාත්මක කරන්නේත් නැහැ. මේවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝග. සාමාන්‍යයෙන් ස්ථාන මාරුවක් ලැබුණාම එතැනට මාරු වෙලා යන්න ඕනෑ. ඒ එකක්වත් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන්නේ නැහැ. වකුගඩු මධ්‍යස්ථානයේ වගේම නුවරඑළිය, මුලතිවු, කිලිනොච්චි රෝහල්වල විශාල වෛද්‍ය හිඟයක් තියනවා. නුවරඑළිය රෝහලේත් වෛද්‍යවරු එකසිය හතළිස් ගණනක් සිටිය යුතු වුණත් දැන් ඉන්නේ හැත්තෑහතක් විතරයි. ඒවාට වෛද්‍යවරු එවන්නේ නැහැ. සමහර දුෂ්කර ප්‍රදේශවල තිබෙන රෝහල් දැන් වැහෙන තත්ත්වයට පත්වෙලා තියනවා. වෛද්‍යවරු හතරදෙනෙක් ඉන්න ඕනෑ එවැනි සමහර රෝහල්වල මේ වෙද්දී ඉන්නේ එක්කෙනෙක් විතරයි. ඒ වගේම පශ්චාත් සීමාවාසික ලැයිස්තුව දෙන්නේ නැහැ, උතුරු නැගෙනහිර දුෂ්කර සේවයේ ස්ථාන මාරු ලැයිස්තුව හදන්නේවත් නැහැ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් නියෝගයක් දුන්නා ඒක හදලා ඉවර කරන්න, ඒත් හදන්නේ නැහැ.” වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. ඔවුන් ජූලි 12 වන දින මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා ඇති බවත් එහිදී සමස්තයක් ලෙස රටේම වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් සහ වෛද්‍යවරු නිසි පරිදි ස්ථානගත නොකිරීමේ ප්‍රශ්නයට විරෝධය දැක්වීමට වැඩවර්ජනයක් සඳහා තීන්දුවක් ප්‍රකාශ කරන බවද සඳහන් කළේය.

කෙසේ වෙතත් වැඩවර්ජන කිරීම් වලින් තවදුරටත් පීඩා විඳීමට සිදුවන්නේ ද වෛද්‍යවරුන්ට නොව වෛද්‍ය හිඟයෙන් පීඩා විඳින රෝගීන්ටමය. නිසි ක්‍රමවේදයකට අනුව මහජන හිතකාමී ලෙස ක්‍රියාත්මක වන රාජ්‍ය සේවයක් මෙරට කවදා ක්‍රියාත්මක වේදැයි පුරවැසියන්ට බලාපොරොත්තුවක් හෝ තබා ගත හැකි අන්දමට පාලකයන් හෝ බලධාරීන් කටයුතු කරන බවක් පෙනෙන්නේ නැත. එසේ කටයුතු කිරීම සැබෑ උනන්දුවක් සහිත අයෙක්ට හෝ කටයුතු කිරීමට සහාය වන අන්දමේ වැඩපිළිවෙලක් ද සැකසෙන්නේ නැත. මෙරට බොහෝ විෂයන්ට අදාළව තිබෙන්නේ එවැනි වියවුල්සහගත තත්ත්වයක් බව පැහැදිලිය. වකුගඩු රෝගය ජාතික ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධව සෘජුව මැදිහත්ව ගැටලු නිරාකරණය කිරීමට කටයතු යෙදිය යුතුය. සෞඛ්‍ය අමාත්‍යවරයාට, සෞඛ්‍ය ලේකම්වරයාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට, වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට, වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුළු ජාතික වකුගඩු ආයතනයේ අධ්‍යක්ෂවරයාට ඒ සම්බන්ධ විශාල වගකීමක් තිබේ. රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන වකුගඩු රෝගීන් විශාල ප්‍රමාණයකට නොමිලයේ ප්‍රතිකාර ගැනීම සඳහා ඇති කළ ආයතනයෙහි නිසි ගුණාත්මකභාවය රඳවා ගැනීමට නොහැකි නම් ජනාධිපතිවරයා තැන තැන තවත් ඉදිකිරීමට යන වෛද්‍ය මධ්‍යස්ථාන වලට යන කල දවස පිළිබඳව ද සිතා ගැනීම අපහසු නැත.