විදුලි ගාස්තු ඉහළට?

නිමල් අබේසිංහ

විදුලි ගාස්තු ඉහළ දැමීමේ උත්සාහයක විදුලිබල අමාත්‍යංශය යෙදෙන බවට තොරතුරු රාවයට දැනගන්නට ඇත. මීට පෙර විදුලි ගාස්තු ඉහළ දැමීමට අමාත්‍යංශය උත්සාහයක් ගත්තද මහජන උපයෝගිතා කොමිසම විසින් ඊට ඉඩදෙනු නොලැබිණ. මේ වනවිට විදුලිබල පනත සංශෝධනය කරමින් විදුලිබිල ඉහළ දැමීමේ බලතල විෂය භාර අමාත්‍යවරයාට පවරා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව රාවයට දැනගන්නට තිබේ.

මෙසේ විදුලි බිල ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇත්තේ හදිසි විදුලිය මිලදී ගැනීමෙන් සිදුවූ පාඩුව වශයෙන් සැලකෙන රුපියල් කෝටි 10000ක පියවා ගැනීමය.

මේ අනුව ඒකක 90කට වැඩි පරිභෝජනයකදී ඒකකයක මිල රුපියල් 7. 50කින් ඉහළ යනු ඇති බව සැලකේ. ඒ අනුව අඩු ආදායම් ලාභීන්ට දුන් සහනාධාරය අහෝසි වී එවැන්නෙකුගේ මාසික විදුලිබිල තවත් රුපියල් 300කින් පමණ ඉහල යෑම සිදු වෙතැයි කියැවේ. ඒකක 180කට වඩා විදුලිය පරිභෝජනය කරන්නවුන්ගේ ඒකක මිල රුපියල් 45 සිට 32 දක්වා අඩුකිරීමට ද යෝජිතය. පන්සල් හා දේවස්ථානවලට ලබාදුන් සහන මිල ඉවත් කර ඒවායේ පරිභෝජනය කරන විදුලි ඒකකයකට රුපියල් 12 දක්වා ඉහළ දැමෙන බවද ලැබෙන තොරතුරු අනුව කියැවේ.

මේ පිළිබඳව විදුලිබල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසීමට කළ උත්සාහය අසාර්ථක විය. අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩගෙන් විමසූ විට පැවසුවේ පනත වෙනස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සත්‍යයක් මුත් විදුලි බිල වැඩි කිරීමක් සිදු නොවන බවය. ■