මුස්ලිම් අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට වෙනම එයි

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

ඇමති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් නායකයන් නියෝජනය කරන පක්ෂ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රධානත්වයෙන්, ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙනම මුස්ලිම් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගැඹුරු සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
අමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නැයි රිෂාඞ් බදියුදීන් මහතාට බලපෑම් එල්ල වෙද්දී මුස්ලිම් ජනතාව නියෝජනය කරන සියලු අමාත්‍යවරුන්, පක්ෂ භේදයෙන් තොරව ඉල්ලා අස්වූයේද මෙහි මූලාරම්භයක් ලෙස බව, මුස්ලිම් කොංග්‍රසයේ නායකයෙක් කියා සිටියේය. එහෙත් තමන්ට එවැනි සාකච්ඡාවලට එක්විය නොහැකි නිසා එජාපය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා පසුව යළි අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්හ.
වෙනම මුස්ලිම් අපේක්ෂකයකු ඉදිරිපත් කර ජයග්‍රහණය කළ නොහැකි බව පැහැදිලි වුවත් ජයග්‍රහණය කරනු ඇතැයි සිතන අපේක්ෂකයා සමග මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඇමතිකම්වලට එහා ගිය එකඟතාවක් ඇතිකර ගැනීම මෙහි මූලික අරමුණ බව සඳහන්ය. එම එකඟතාව මත ජනාධිපතිවරණය ආසන්න වෙද්දී සිය අපේක්ෂකයා ඉවත් කරගෙන ජයග්‍රහණය කරතැයි සිතන අපේක්ෂකයාට සහය දීම හෝ සිය අපේක්ෂකයාට ඡන්දය දෙන ජනතාවගේ දෙවන මනාපය එම අපේක්ෂකයාට ලබාදීම යන විකල්ප තමන් සතුව ඇතැයි මුස්ලිම් කොංග්‍රස් නියෝජිතයා පැවසීය.
ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන් සඳුදා (8) ජනපති මෛත්‍රීපාලද හමුවී ඇති අතර අමාත්‍ය ධුර පිළිබඳ තවත් සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා (11) පැවැත්වීමට නියමිතව තිබිණි.
මේ අතර ලොව මුස්ලිම් ජනතාව නියෝජනය කරන රටවල තානාපතිවරු, ජනපති, අගමැති හා විපක්ෂ නායකයා හමුවී පසුගිය කාලයේ සාකච්ඡා කළහ. ජනපති හා අගමැති සමග පැවති සාකච්ඡාවලදී මෙරට මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව පිළිබඳ ඇතැම් තානාපතිවරු දැඩිව කතා කර ඇතැයිද දැනගන්නට තිබේ. ■