අත ඇරුණු උඩ පන්දුව

ඒ. වික්‍රමසූරිය

මේ මොහොතේ සමස්ත ක්‍රීඩාව පිළිබඳ කතාබහ ක්‍රිකට්වලට ලඝු වී ඇත. ඒ තරමට කතා කළ හැකි, සංවාද ගතවිය හැකි අවසන් තරගයක් මෙවර ක්‍රිකට් ලෝක කුසලානය අරබයා නිර්මාණය වූ බැවිනි. ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසය පෙරළා ගෙන ආවද ඒ හැම අවසන් තරගයකටම වඩා වටිනාම අවසන් තරගය මෙය විය යුතුය. එයට හේතුව අවසන් තරගයක දැකිය හැකි උපරිම තරගකාරීත්වය මේ තරගයේ දෙවැනි වාරය පුරා ප්‍රදර්ශනය වූ බැවිනි. අවසන් තරගයට උචිතම කණ්ඩායම් දෙක මොවුන්ම බව ඔප්පු කළ බැවිනි. නවසීලන්තය මුලින් පහර දී ලකුණු 241 එකකට සීමාවෙද්දී ක්‍රිකට් ප්‍රේක්ෂක මුහුණු මලානික වූවා සහතිකය. ඒ තරගයක් දියහැකි ලකුණු ප්‍රමාණයක් හෝ ලබා නොදුන් නිසාය. එහෙත් පිටියට පිවිසි කල නවසීලන්තය ඔප්පු කළේ තමන්ට ඉලක්කයට යෑමට ලොකු ලකුණුම නුවමනා බවය. ඉන්දියාව හමුවේද ඔවුන් එය ප්‍රේක්ෂක අවධානයක් දිනා නොගත් නවසීලන්තය උඩට උඩට ගියේ කාටවත් නොදැනීමය. ඔවුන් පිළිබඳ කතා පටන් ගත්තේ ඉන්දියාව ගෙදර යැවූ තැන සිටය. එහෙත් එංගලන්තය ඕස්ටේ්‍රලියාවට සැහැල්ලුවෙන් මුහුණ දී පෙන්නුම් කළේ අවසන් ජයග්‍රහණයත් පහසු බවය. එහෙත් නවසීලන්තය ඒ සියල්ල උඩු යටිකුරු කළේය. තරගයේදී සිදුවූ අවැඩ ගැන කතා නොකර නවසීලන්තය ගැන කතා කළ හැකි වටිනාම දෙයක් ඇත. එනම් තරග දිනන්නට පොරවල් ඕනෑම නෑ යන්න ඒ අගනා දෑය. අනෙක් හැම කණ්ඩායමකටම දැවැන්තයන්, යෝධයන් ඇත. ඉන්දියාව ගත් කල ෂර්මා, කෝලි, දෝනි ප්‍රබලය. ඕස්ටේ්‍රලියාව ගත් කල වෝනර්, ප්‍රින්ච්, ස්ටාක්ස්ය. කොදෙව් ක්‍රිස් ගේල් මෙන්ම පාකිස්තානයේ බාබර්, බංග්ලාදේශයේ ෂකිබ් ද ලංකාවේ මාලිංග ද වේ. එංගලන්තයේ බුරුත්තකි. එහෙත් නවසීලන්තයේ මෙයා තමයි පොර යැයි එක නමක් උඩට ගත නොහැකිය. විලියම්සන් තරගාවලියේ වීරයා වුවද ඔහු සුපර් ස්ටාර් කෙනෙක් ලෙස නොපෙනේ. එකොළොස්දෙනාම වුවමනා වූ පිලක් මේ තරගාවලියේ වී නම් ඒ නවසීලන්තය බව අවිවාදිතය.

එමෙන්ම එංගලන්තය ගැනද යමක් කිව යුතුය. තරගාවලියට පෙර සිටම බොහෝ විචාරකයන් එංගලන්තය මෙවර කුසලානය දිනනු ඇතැයි කීවේ අංජනම් එළි බලා නොව දක්ෂතා දෙස බලාය. ඔවුන් ඊට උචිත පරිදි සියලු කැපවීම් කරන බව කල්තියාම ප්‍රදර්ශනය විය. සැබැවින්ම අවසාන තරගයේ ජය කාට වුව කම් නැතැයි සිතූ අය විශේෂයෙන්ම ලාංකිකයෝ අංශක 180ට හැරෙමින් නවසීලන්ත ජය ප්‍රාර්ථනා කළෝය. එයට නවසීලන්ත සටන්කාමීත්වයට අමතරව සුද්දෝ කෙරෙහි ඇති බොරු විරෝධයක්ද හේතුවූවා විය හැකිය. කෙසේ වුවත් එංගලන්තය ආපසු නොහැරිය යුතුය යන්න හිතට ගත් පවුරක් විය. ඒ බෙන් ස්ටෝක්ස්ය. අපේ රටේ තමන් යුතුකම් ඉටු කළායැයි පාරම් බාන ලසිත් මාලිංග බෙන් ඉදිරියේ ළදරුවෙකි. දැන් ඕනෑ නම් බෙන්ට පොර ටෝක්ස් ලොරියක් දිය හැකිය. එහෙත් ඔවුන් එසේ නොවන්නේ ක්‍රිකට් රැකියාව වුව තමන්ගේ කොටස කළා යැයි කියා අත පිහදා ගත නොහැකි රැකියාවක් බව මනාව දන්නා නිසාය. ඒ අනුව බලන කල බෙන් ස්ටොක්ස් කළේ වෘත්තියක් නම් මාලිංගලා කරන්නේ බිස්නස් එකකි. මාලිංග යනු දැන් ක්‍රිකට් ව්‍යාපාරිකයෙකි. ඔහු මෙවර හැසිරුණු, කතා කළ දේවල් අධ්‍යයනය කරන්නකුට පැහැදිලිවන්නේ ඔහු වෘත්තීය ක්‍රීඩකයකුට වඩා ලංකා පිලේ ආයෝජනය කළ කොටස්කරුවකු ලෙසය.

ශ්‍රී ලංකා පිලේ තත්ත්වය ගැන සැබැවින්ම සතුටුවිය හැකිය. දිමුත් මෙරටට පැමිණ කළ එම කතාව සහතිකය. අප නොසිතුවාට වඩා තැනකට ආවේය. ඒ අපේ උපරිමය වේ. ඉන් එහාට යන්නට නම් අප ඊට වඩා බොහෝ කැපකිරීම් මෙන්ම සූදානමක් තිබිය යුතුව තිබුණි. දැන් මෙරට ක්‍රිකට් නැවත අලුතින් හිතන්නට කාලය විවර කර ඇත. ඊට අලුත්ම අය සමග සූදානම් වීම වටී. සංගා, මහේල ගිය කල ඇතිවූ හිඩැස මාලිංග හෝ මැතිව්ස් ගියා යැයි හෙට ඇතිවන්නේ නැත. මේ මොහොතට අනුව ඒවා වහගන්නට බැරි තරම් ලොකු ගුල් නොවේ. දැන් වැදගත්වන්නේ මාලිංග සමුගන්නවාද නැද්ද යන්න කතා කිරීම නොව, අලුතින්ම ශක්තිමත් කණ්ඩායමක් ගොඩනගන්නට වෙහෙසීමය. අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට මුහුණදීමය. ක්‍රිකට් තරග ජයගැනීම් යනු මහා අමාරු කාර්යයක් නොවේ. එයට උචිත කණ්ඩායමක් හැදිය යුතුය. එය වෘත්තියක් මෙන්ම බරපතළ වගකීමක් බවත් සැමට කියා දිය යුතුය. බොරුවට නම් නඩත්තු නොකර අලුත් නම් මතුකර ගත යුතුය. එසේ නොවුවහොත් අපට මේ තැනින් එහාට යා නොහැකි වනු ඇත. තම වෘත්තිය උපරිමයෙන් කරන්නා ජය ගනී. එදිනට සාර්ථකවීම ඒ අතර තවත් වැදගත් සාධකයක්ය. ඉන්දියාව කොතරම් ප්‍රබල වුවත් නවසීලන්තය දක්ෂයන් බව ඔප්පු කළේ මේ සාමූහික කැපකිරීම් මතය. අවශ්‍ය සැම එකාවන්ව කැප කොට පොදු අරමුණක් ජය ගන්නා බව කල්පනා කිරීමය. එකිනෙකාට බැණ වදිමින් තමන් තමන්ගේ යුතුකම ඉටුකළා යැයි පාරම්බාන අය ඒ හරහා කරන්නෙත් තව තැනකට තමා විකුණා ගැනීමට අවැසි වටපිටාව හදා ගැනීමය. ඉතිහාසය පුරාවට කොතෙක් නම් ක්‍රිකට් ක්‍රීඩකයන් බිහිවී ඇත්ද?

අර්ජුන, අරවින්ද මෙන්ම ගුරුසිංහ නොවැදගත්ද? මුරලි මෙන්ම වාස් නොවැදගත්ද? කළු, සනත්, හෂාන් මෙන්ම මහානාම, ධර්මසේන පමණක් නොව උපුල් චන්දනද අනිවාර්ය සාධකයක් නොවිණි නම් අප ලෝක ශූරයෝ වේද? ඒ නිසි කිසිවකුට තමන් මුදුනා තමන් යුතුකම් ඉටුකළා යැයි කයිවාරු ගැසිය නොහැකිය. හැම ක්‍රීඩකයකුගේම දක්ෂතාවලට එම කණ්ඩායමම දායකත්වයක් සපයනු ලැබේ. කණ්ඩායම් තරගවල ස්වභාවය එයය. එහිදී එකෙකු දෙන්නකු මතු වුවද? එය සාමූහික ප්‍රයත්නයක ගොඩනැගීමකි. කෝලි ලකුණු අතර තෙන්ඩුල්කා පරදන තරම් දුර යන්නට අනෙක් අන්තයෙන් ඔහුට සහය කොතෙක් ලැබිය යුතුද? කඩුලු ලබා ගන්නා විට ඒ අයිතිය තනිව පන්දු යවන්නාට ලැබෙනමුත් ඊට උඩ පන්දු රැක කොතරම් සෙසු පිරිස් සහයෝගය දෙන්නේද? අති දුර්ලභ උඩ පන්දුවක් රැකගත්තද ඒ කඩුල්ල අයිති පන්දු යවන්නාටය. එයට දායක වූ අය ඒ තරගයෙන් පසු අමතකව යන්නේය. එසේ නම් කාටවත් තනිව විරුවන් විය නොහැකිය. එහෙත් විරුවන් ලෙස ඇඳිය හැකිය. විරුවන් යනු සාමූහික ප්‍රයත්නයන්ය.
ඒ නිසා ශ්‍රී ලංකා පිලේ අනාගතය සැකසීමේදී වඩා උගත යුත්තේ ඉන්දියාවෙන් නොව නවසීලන්තයෙන් බව සිහි මනාය.