කොළඹ හේදෙන්නට පෙර

නිමල් අබේසිංහ

දැරණියගල නක්කාවිට ප්‍රදේශයේ සහ රූකාෂල් ප්‍රදේශයේ ඉදිකෙරෙන ජලාශ දෙකක් සම්බන්ධයෙන් මේ වන විට ප්‍රදේශයේ ජනතාව සිටිනුයේ ගිනියම් වෙමිනි. එහෙත් මේ ජලාශ ඉදිකිරීමේ අරමුණ කුමක්ද යන්න ප්‍රදේශයේ ජනතාව තවමත් හරි හැටි නොදනිති. තොරතුරු දැනගැනීමේ පනතට අනුව වාරිමාර්ග අමාත්‍යංශයෙන් ලබාගත් තොරතුරු වලින් පැහැදිලි වන්නේ මෙය දැවැන්ත බහුකාර්ය ව්‍යාපෘතියක එක්තරා කොටසක් පමණක් බවය. මෙම බහුකාර්ය ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරෙන ප්‍රධානම අරමුණ කැලණි ගඟේ ගංවතුර හේතුවෙන් කොළඹ නගරයට සිදුවෙන හානිය වලක්වා ගැනීමය. දෙවැන්න වයඹ පළාතේ ජල ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීමය.
මේ වෙනුවෙන් වූ පර්යේෂණ සිදුකර ඇත්තේ වර්ෂ 1960 සිටදී බව අපට ලැබුණු තොරතුරු අනුව පෙනී යයි. කැළණි ගං ද්‍රෝණිය ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි අතුරින් විශාලත්වයෙන් සත්වන ස්ථානය ගනී. තෙත් කලාපයට අයත් මෙම ප්‍රදේශයට වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2500 සිට 6500 දක්වා පරාසයක වැසි වැටේ. විශාලත්වයෙන් සත්වන ස්ථානය ගත්තද වර්ෂාපතනය පාර්ශ්වයෙන් කැලණි ගං ද්‍රෝණියට හිමි වන්නේ තුන්වන ස්ථානයයි. එයට හේතුව වන්නේ මෙහි වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය මිලි මීටර් 3718ක් හෙවත් කියුබික් මීටර් 8521 ක් වීමය. මෙම ද්‍රෝණියට වසරේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙනුයේ ඔක්තෝබර් මාසයේදීය. කැලණි ගංගා ද්‍රෝණියෙත් 47% ක් මධ්‍යම පළාතටද 34%ක් බස්නාහිර පළාතටද 19%ක් සබරගමුව පළාතටද අයත් වේ.

කැළණි ගංගා ද්‍රෝණියේ පහළ කොටසට අයත් කොළඹ නගරය සහ අවට ප්‍රදේශ ගංවතුර උවදුරට බඳුන් වීම ඉතිහාසය පුරාම සිදු වන්නකි. මේ පිළිබඳ කර ඇති අධ්‍යනයන්හිදී කොළඹ නගරයේ නාගලගම් වීදියේ ගංවතුර ජල මට්ටම අඩි 10ට වැඩියෙන් එනම් ඉතා දරුණු ලෙස ගංවතුර තත්ත්වයක් ඇති වූ අවස්ථා ගණන 9කි. ඒ 1837, 1872, 1906, 1913, 1922, 1925, 1930, 1937, 1940, හා 1947 වසර වලදීය. 2016 මැයි මාසයේදී ඇති වූ ගංවතුර තත්ත්වයේදී නාගලම් වීදියේ පැවති ජලමට්ටම අඩි 7.64කි. මේ අනුව කැලණි ගඟ අශ්‍රිතව වසර 100ක කාල පරාසයක් තුළ සිදුවිය හැකි විශාල ගංවතුර තත්ත්වයක් පාලනය කිරීම සඳහා දිගු කාලීන සහ කෙටිකාලීන විසඳුම් යෝජනා වී තිබේ.

කෙටි කාලීන හා දිගුකාලීන විසඳුම

කෙටිකාලීන විසඳුම් වෙනුවෙන් රුපියල් මිලියන 18,017ක් වැය කෙරේ. ප්‍රාදේශිය වශයෙන් සිදුවෙන ගංවතුර සහ නියගයේ බලපෑම් අවම කිරීම වෙනුවෙන් මහවැලි අධිකාරියට සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් යටිතල පහසුකම් වර්ධනය කිරීම, නාය යෑම් සහ ගංවතුර තර්ජනයට ලක්ව ඇති මාර්ග ආශ්‍රිත බෑවුම් ශක්තිමත් කිරීම සහ ප්‍රමාණවත් ලෙස සකස්ව නැති බෝක්කු සහ පාලම් වැඩිදියුණු කිරීම අස්ථීර බෑවුම් සහිත ස්ථානවල පිහිටා ඇති පාසල් 18ක නායයෑමේ අවදානම වලක්වා ගැනීම මගින් පාසල් ළමුන් 2500කගේ ජීවිත ආරක්ෂාව සැලසීම කෙටිකාලීන විසඳුම් ලෙස දැක්වේ.
ලෝක බැංකු අධ්‍යනයකට අනුව වාර්ෂිකව ශ්‍රී ලංකාව තුළ ගංවතුර නිසා සිදුවන හානි වෙනුවෙන් වැය කරන මුදල රුපියල් මිලියන 36000කි. ගං වතුර හානි සිදුවන ගංගා ද්‍රෝණි 10 අතුරින් ඉතාමත් ඉහළ හානි සිදුවන ප්‍රදේශ දෙක වනුයේ කැලණි ගංගා ද්‍රෝණියේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක හා මඩකලපුව මුන්දෙනිආරු ගංගා ද්‍රෝණියය. 2016 ගං වතුර තත්ත්වයේදී කොළඹ හා ගම්පහ දිසාවන්හි නිවාස වලට සිදු වූ හානිය රටේ සමස්ත ගංවතුර හානියෙන් 60%කි. මේ නිවෙස් කැලණි ගං දෑලේ පිහිටා තිබීම හානිය ප්‍රබල වීමට හේතුවය. මුලික පියවරක් ලෙස කැලණි ගං දෑලේ ගංවතුර පාලන බැම්ම ඉදිකිරීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. අනෙක් පියවරයන් වන්නේ ඉහළ කැලණි ජලධාරා ප්‍රදේශයන්හි ජලාශ ඉදිකිරීමය. ඒ අනුව වයඹ පළාතේ ජලහිග ප්‍රදේශ වලට ජලය සැපයීමට තවත් අරමුණක් වේ. එමෙන් ඉතා සීග්‍රයෙන් දියුණු වන කොළඹ නගරයට ජලය සපයා ගැනීමද තවත් අරමුණකි.

ජලාශ ඉදි කිරීම

ඒ අනුව ඉදිකිරීමට යෝජිත ජලාශ ගණන හතරකි.
ජලාශයේ නම ගංගාව ජලාශයේ වර්ග කිලෝමීටර් ප්‍රමාණය
1. හොලොම්බුව ගුරුගොඩ ඔය  158Km
2. වී ඔය වී ඔය 53Km
3. නවට (නවත) කැළණි ගඟ 533Km
4. රූකාෂල් සීතාවක ගඟ 184Km

මෙම ජලාශ ඉදිවන්නේ නම් වර්ෂා කාලයේදී කැලණි ගඟේ ඉහළ ප්‍රදේශයේ මෙන්ම කැලණි ගඟේ අතුගංගා මගින් එකතු වන ජලය කැලණි ගඟට එකතු වන ප්‍රමාණය අඩු වේ. මේ වන විට සීතාවක ගඟ හරහා ඉදිකෙරෙන රූකාෂල් ජලාශයන්, වී ඔය හරහා ඉදිකෙරෙන වී ඔය ජලාශයත් ඉදිකිරීමට නියමිත බවට තොරතුරු ඇත. ගංවතුර අවම කිරීමට මෙමන් කොළඹ නගරයට අනාගතයේදී ඇතිවන ජල අවශ්‍යතා සපුරා ගැනීමද මෙම ජලාශ ඉදිකිරීමෙන් අපේක්ෂිත අරමුණු වේ. මෙම ජලාශ ඉදිකිරීම හේතුවෙන් අහිමිවන සම්පත් ප්‍රමාණය හා නැවත පදිංචි කළ යුතු වන පුද්ගලයින් ප්‍රමාණය පිළිබඳ තොරතුරු ද තිබේ.

අවිනිශ්චිත ඉදිකිරීම්

මෙම ජලාශ්‍ර අතුරින් නවට සහ කොළොම්ඹුව මේ වන විට ඉදිකරන්නේද නැතිද යන ගැටලුවක් පැන නැගී ඇති අතර ඒ ගැන නිශ්චිත නිගමනයකට එළඹ ඇති බවක්ද නොපෙනේ. කෙසේ වුවත් වැඩි භූමී ප්‍රමාණයක් මෙන්ම ජනගහනයක්ද අයත් වන්නේ මේ ජලාශ දෙක ආශ්‍රිතවය. කෙසේ වුවත් මෙම ජලාශ ආශ්‍රිත ප්‍රදේශ දැක්වෙන සිතියම් ඇතුළු සම්පූර්ණ වාර්තාවක් මේ වන විටත් වාරිමාර්ග අමාත්‍යංශය සතුව පවතී. කලින්ද සඳහන් කළ පරිදි මෙම වාර්තාව සකසා ඇත්තේ දිගු කාලීන අධ්‍යනයකින් පසුව බවද එකී වාර්තාව කියවීමේදී වැටහේ.

වාර්තාවට අනුව කෙලොම්බුව ජලාශය සම්බන්ධයෙන් දක්වා ඇති තොරතුරු මෙලෙස මෙම ජලාශය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවය. කැලණි ගංගාවේ උතුරු ද්‍රෝණියෙන් මා ඔය ද්‍රෝණියටත් එතැනින් දැදුරු ඔය ද්‍රෝණියටත් ජලය මුදා හරිනු ඇත. ඒ වයඹ පළාතේ වියළි කාලය පවතින විටදීය. කෙසේ වුවත් කොළොම්ඹුව ජලාශයේ රැස් කරන ජලය වයඹ පළාතේ වියලි කාලයට අවශ්‍ය තරම් ප්‍රමාණයක් නිදහස් කිරීමට හැකි නොවේ. එසේ නම් එම ජලාශ්‍රටද අනෙක් ජලාශ වලින් ජලය රැගෙන ආයුතුමය. එහෙත් එවැන්නක් මෙහි සඳහන් නොවේ.
වී ඔය ජලාශය සම්බන්ධයෙන් අධ්‍යයනය සිදු කර ඇත්තේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයය. මහ කොළඹ ප්‍රදේශයට ජලය සපයා ගැනීම මෙම ජලාශයෙන් අපේක්ෂිත ප්‍රධාන අරමුණු වේ. ගංවතුර පාලනය හා ජල විදුලිය නිෂ්පාදනය අනෙක් අරමුණු වේ. නවට ජලාශය ඉදිකිරීමේ අරමුණු ගං වතුර පාලනය, ජල විදුලිය නිෂ්පාදනය හා ජල සම්පාදනයය. එයට අමතරව මෙම ජලාශය වෙතින් වී ඔය ජලාශයට ජලය මුදා හැරීමද සිදු වේ. මෙම ජලාශයේ රැස් කරගන්නා ජලය වී ඔය හා කොළොම්ඹුව ජලාශ ඔස්සේ මහ ඔය සහ දැදුරු ඔය වෙත මුදා හැරීමට කටයුතු කෙරේ. මෙය දැවැන්ත ව්‍යාපෘතියක් වන අතර එය කැලණි මා ඔය හා දැදුරු ඔය ව්‍යාපෘතිය වශයෙන් නම් කර ඇත. එමෙන්ම නවට ජලාශය වෙතින් අත්තනගලු ඔය වෙත ජලය මුදා හැරීමේ ව්‍යාපෘතියක්ද මෙයට අන්තර්ගතය.
රූකාෂල් ජලාශයද ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සිදුවන්නක් වන අතර වී ඔය ජලාශයෙන් පසුව ජල සම්පාදනය සඳහා වන දෙවැනි තේරීම වන්නේ මෙම ජලාශය වේ. දැරණියගල ගංවතුර පාලනය කුඩා ජල විදුලි බලාගාර පිහිටුවීමද මෙම ජලාශ ඉදි කිරීමේ තවත් අරමුණකි. ගං වතුර පාලනය ද තවත් අරමුණකි. ජල සම්පාදනය අනෙක් අරමුණය. නවට හා කොළොම්ඹුව ජලාශ ඉදිකිරීමත්, ඒ ඔස්සේ වයඹ පළාතට ජලය සැපයීමත් පිළිබඳ කාරණය මේ වන විට කිසියම් ආකාරයකින් යටපත්ව ඇතත් රූකාෂල් හා වී ඔය ජලාශ ඉදිකිරීම නම් අනිවාර්්‍යයෙන් ම සිදුවෙන බවට තොරතුරු පවතී.

ශඛ්‍යතා අධ්‍යනය

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තවමත් නිසි ශඛ්‍යතා අධ්‍යයනයක් සිදුකර නැති බවත් එය සිදුවෙමින් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. විශේෂයෙන් ම ජලාශ ඉදිකෙරෙන ප්‍රදේශ ආශ්‍රිතව තවමත් එය සිදු වී නැත. මේ තත්ත්වය යටතේ මේ ප්‍රදේශ ආශ්‍රිතව වෙසෙන ජනතාව තවමත් සිටිනුයේ අවිශ්වාස සහගත සහ අවිනිශ්චිත වාතාවරණයකය. විශේෂයෙන් දැරණියගල ප්‍රදේශය ආශ්‍රිතව මෙය දරුණු ලෙස පවතී. එනිසාම ගොඩනැගිලි ආශ්‍රිත වෙළදාම් කටයුතු කරන්නවුන් දැඩි අපහසුතාවයට පත්ව සිටීම දක්නට ලැබෙන්නකි.
සමස්ත ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු දෙකින් එකක් වන කොළඹ ගංවතුර පාලනය අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුත්තක් බව අවිවාදිතය. එහෙත් මෙහිලා වඩාත් සැලකිය යුතු අධ්‍යයනයන් සිදුකර ඇතිද යන ප්‍රශ්නය මෙහිදී ප්‍රබලව මතු වේ. මෙහිලා සැලකිය යුතු වැදගත් කරුණක් වන්නේ කැලණි ගංගා පහළ ද්‍රෝණියේ ගං වතුර උවදුරට ලක්වන්නේ ගං වතුර නියාමද යන පැනයය.

විසදුම් හරියාවිද?

මෙහිදී ඉහළින් ගලාඑන ජලය පාලනය කිරීමේ හැකියාව ඇතත් පහළ දෝණියේ අතුරු ජල මාර්ග වලින් ගලා එන ජලය නවතාලීමේ උපක්‍රම හඳුනාගෙන ඇති බවක් පෙනේ. විශේෂයෙන් හංවැල්ල සහ සීතාවක අතර ප්‍රදේශයන් සැලකිල්ලට ගෙන ඇති බවත් පෙනේ. එමෙන්ම කැලණි ගංගාවේ ඉහළ කොටසේ තවත් අතුරු ජල පෝෂකයක් වන රිටිගහ ඔය පිළිබඳ සැලකිල්ලක් දක්වා නැත. අනෙක් අතින් පහළ ගං ද්‍රෝණියේ පිහිටි ස්වභාවිත වගුරුබිම් එදා පැවති විලසින්ම පවතී. ගංගා දෑලෙහි ගංමුවවිටෙහිම නිවාස ඉදිකිරීම් බහුලව සිදුව ඇති තත්ත්වයකි. වගුරු බිම් ගොඩකිරීමද එළෙසින්ම සිදුව ඇත.
වර්ෂ 1981 වන විට කොළඹ කේන්ද්‍රීයව පැවති භූමි පරිභෝජනය හෙක්ටයාර් වලින් මෙලෙස දැක්විය හැකිය.
ජලාශ 97.57 වගුරු බිම්, 378.94 වානිජ බිම්, 200 කාර්මික, 151.01 උයන් වතු හා ක්‍රීඩා භූමි 127.53, ප්‍රවාහන 406.88, වෙනත් දෑ 203.23 වේ. විශේෂයෙන්ම මෙම භූමිවලින් ජලාශ, වගුරු බිම් හා උයන් වතු බිම් එම ප්‍රමාණයෙන්ම පවතීද යන්න සැක සහිතය. කොළඹ ගං වතුර පාලනයේදී මෙම කරුණු සැලකිල්ලට බඳුන් නොකර තීන්දු තීරණ ගැනීමද නොකළ යුත්තකි.

ඕනෑම සංවර්ධන කාර්යයකදී තවත් සලකා බැලිය යුතු වැදගත්ම කරුණක් වන්නේ එයින් ලැබෙන ආර්ථික සැලකිල්ල සේම එම ප්‍රදේශවල ජනතාවගේ සමාජ සංස්කෘතික වටපිටාවය. එය ගණනය කළ නොහැක්කක් වුවද මිනිස් මූලික අයිතිවාසිකමක් ද වේ. එනිසා එය පහසුවෙන් අත්හැර දැමිය හැක්කක් ද නොවේ. අනෙක් විශේෂතම හා වැදගත්ම කරුණ වන්නේ මෙම ව්‍යාපෘති මගින් උලුප්පාලන දැවැන්ත සංවර්ධනය එලෙසම සිදුවී ඇති ද යන්නය. ඒ සඳහා එලෙසම වැය වන මුදලට සාපේක්ෂව ප්‍රමාණවත් සංවර්ධනයක් සිදුවේද යන්නය. එහිදී නම් තත්ත්වය කණගාටුදායක වනු ඇත. හොඳම උදාහරණය කඩිනම් මහවැලි ව්‍යාපාරය ඔස්සේ දියත් වුණු සංවර්ධන ක්‍රියාවලියට වැයවුණු මුදල් නිසිලෙස වියදම් වූයේද යන්නය. එදා පැවසුවේ කොත්මලේ, රංදෙණිගල, රන්ටැඹේ හා වික්ටෝරියා ජලාශ ඔස්සේ නිපදවන විදුලිය ලංකාවේ පරිභෝජනය ඉක්මවමින් ඉන්දියාවට පවා විදුලිය ලබාදීමට හැකිය යන්නය. එහෙත් ජල විදුලියේ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන සිතන විට එදා කතාව සිනා උපදවන සුළුය. අනෙක ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධන ක්‍රියාදාමයන් සියල්ලක්ම පාහේ අන්ත දූෂීත ඒවා බවට නැගෙන බිහිසුණු චෝදනාවන්ය. ඒවාද අත්හැර දැමිය හැකි ඒවා නොවේ. ඉදින් අප මෙම ව්‍යාපෘතීන්ද කතාව දෝලාවෙන් ගමන පයින් යන ගැමි කියමන විනා වෙනකක් සිතන්නට සිදු වූ සහ සිදුවන දේවල් අනුව නම් රටේ ජනතාවට විශ්වාසයක් නැතිවනු ඇත. මේවාට එරෙහිව බොහෝ ජන විරෝධතා නැගෙන්නේ ද එවැනි දෑ සැලකිල්ලට බදුන් කරගෙන බවත් අවශ්‍ය පුද්ගලයින් අවබෝධ කරගැනීම වටනේය.